Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 24, 2008

කොටි නායක ස්වර්ණම්ට වෙඩි පුනරීන් කොටි කාලතුවක්කු මුහුදට

කිලිනොච්චි, මුලතිව් ඇතුළු ප‍්‍රදේශ රැක ගැනීමට කොටි ත‍්‍රස්තයෝ නොයෙක් උපක‍්‍රම යොදමින් සිටිති. එහෙත් උපක‍්‍රමශීලීව ඉදිරියට ඇදෙන යුද හමුදාවෝ කොටින්ගේ බළ මුළු රැසක්ම ඉකුත් සතියේ අත්පත් කර ගැනීමට සමත් වූහ.
වන්නි සටන ක‍්‍රමයෙන් උණුසුම් වෙයි. හමුදා ප‍්‍රහාර දැඩි කිරීමට යුද හමුදාව කටයුතු කරයි. මේ ප‍්‍රහාර හමුවේ කළ යුත්තේ කුමක්ද යන්න කොටි ත‍්‍රස්තවාදීන්ට සිතා ගැනීමට වත් නොහැකි වී තිබේ.
පුනරින් අත්පත් කර ගත් 58 වැනි සේනාංකයේ සෙබළු මේ වන විට පුනරින් පරන්තන් මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටිති. බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවන මෙම සේනාංකය පරන්තන් දෙසට කිලෝමීටර් දාහතක් පමණ ගමන් කෙළේය. පරන්තන් නගරයට ඇතුළු වීම සඳහා මේ සේනාංකයේ සෙබළුන්ට තව ඇත්තේ කිලෝමීටර් හත අටක් පමණි.
පුනරින් නගරයේ සිට පරන්තන් දෙසට කිලෝමීටර් දාහතක් ගමන් කිරීම සඳහා 58 වැනි සේනාංකයේ සෙබළුන් ගත කළේ ඉතා කෙටි කාලයකි. මෙම සේනාංකයේ සෙබළුන්ගේ උපක‍්‍රමශීලීත්වය නිසා දින හතරක දී මේ තරම් විශාල භූමි ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකි විය..
හමුදාපති වන්නි සංචාරයක
පෙරියමඩු ඉලුප්පකඩවායි නච්චිකුඩා, මුලන්කාවිල්, විඩුතලතිව් වැනි ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේදී කොටි ත‍්‍රස්තවාදීන් සමග දින ගණනක් සටන් කිරීමට යුද හමුදාවට සිදු විය. ඊට හේතුවූයේ කොටි ත‍්‍රස්තවාදීන් මේ ප‍්‍රදේශවල විශාල දිය අගල් සහ ඒ අසලම විශාල වැලිකඳු සකස් කිරීමය. එහෙත් මේ වන විට කොටි ත‍්‍රස්තයන්ට එවැනි වැලි කඳු සකස් කිරීමට හමුදාව ඉඩ නොතබයි. කොටින්ගේ ආරක්ෂක වළලු දුබල කිරීමට 58 වැනි සේනාංකයේ සෙබළුන් කටයුතු කර තිබේ.
අනෙයිවෙන්තාන්, මුදුකන්පන්, නෙවිල් ගම්මානය ඇතුළු ගම්මාන පහක් අත්පත් කර ගැනීමට 58 වැනි සේනාංකය ඉකුත් සතියේ සමත් විය. කොටි ත‍්‍රස්තවාදීන් මේ ගම්මානවල සංවර්ධනයට කිසිදු පියවරක් ;ගන නොතිබෙනු දක්නට ලැබිණි. මේ ගම්වල සිටි අහිංසක සිවිල් වැසියන් පොල් අතු පැලකට සීමා කිරීමට කොටි ත‍්‍රස්තවාදීහු ක‍්‍රියා කළහ.
ගම්මානවල පදිංචිව සිටි අහිංසක වැසියන්ගේ සියලු දේපළ කොටි සිය සංවිධානය වෙත පවරාගෙන තිබෙනු දැක ගත හැකි විය. ගම්මානවල තිබුණු බොහෝ නිවාස කොටි බංකර් සකස් කර ගැනීමට යොදා ගෙන තිබුණි.
12 වැනි ගජබා, 11 වැනි පාබල, 9 වැනි ගජබා, 8 වැනි ගජබා රෙජිමේන්තු වල සෙබළුන් මෙලෙස පුනරින් පරන්තන් මාර්ගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටිති.
මෙම සෙබළුන් පරන්තන් දෙසට ගමන් කරන අවස්ථාවේ බී 69 මාර්ගයේ පුනරින් සිට පරන්තන් දෙසට කිලෝමීටර් 12 පමණ දුරින් ඉතා සුවිශේෂී ස්ථානයක් හමුවිය. මාර්ගයේ සෙසු ප‍්‍රදේශ මෙන් නොව මේ ප‍්‍රදේශයේ මාර්ගය අඩි හතළිහක් පමණ පළලට තාර දමා කිලෝමීටර් තුනක් පමණ දුරට සකස් කර තිබුණි.
මේ කිලෝමීටර් තුන ඇතුළත මැදට වන්නට කොටි ත‍්‍රස්තවාදීන් ගුවන් පථයක් සකස් කර ඇත. ගුවන් පථය දෙපසට වන්නට සුදු පැහැති කොන්කී‍්‍රට් කණු යොදා තිබිණි.
ගුවන් යානායක් ගොඩ බැස්සවීම සඳහා භාවිත කරන සියලුම උපක‍්‍රම මෙහි සකස් කිරීමට කොටි ත‍්‍රස්තවාදීහු වග බලා ගත්හ.
කොටි ත‍්‍රස්තවාදීන් ගුවන් පථය ඉදිකර තිබුණේ නෙවිල් ගම්මානයේය. ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී එහි ආරක්ෂාවට ගුවන් පථය දෙපස විශාල පස් බැමි දෙකක් සකස් කිරීමටත් ඔවුහු කටයුතු කළහ. කොටි ත‍්‍රස්තවාදීන් ගුවන් යානයක් කැබලිවශයෙන් ලොරි මගින් මෙතනට ගෙනවිත් පසුව එය සකස් කර ගුවන් ගත කරන බවට සැක සිතිය හැකි යැයි එහි සිටි උසස් හමුදා නිලධාරියෙක් ‘මුර අඩවියට ‘ පැවසීය.
අපි මේ ප‍්‍රදේශයට පැමිණෙන කොට කොටින්ට කළහැකි කිසිවක් තිබුණේ නැහැ. අපේ සේනාංකයේ සෙබළුන් කොටින්ට දිගට හරහට පහර එල්ල කළා.
කොටි මේ ප‍්‍රදේශය අතහැර පලා ගියා යැයි ද ඔහු පැවසීය.
කොටි ත‍්‍රස්තවාදීන් නොසිතන මොහොතක ප‍්‍රහාර එල්ල කිරීමට 5ද වැනි සේනාංකයේ සෙබළුන් වග බලා ගනිති. පුනරින් පරන්තන් මාර්ගයේ ඇති වූ ගැටුම් වලින් කොටි ත‍්‍රස්තවාදීන් 50 කට වැඩි පිරිසක් මිය ගිය බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අතර කොටි පුනරින් අතහැර පලා යන අවස්ථාවේ කොටි සතුව තිබූ කාලතුවක්කුවක් මුහුදට දමා ගොස් ඇති බවට භූමියේ භට පිරිස් වෙත තොරතුරු ලැබී තිබිණ.
පුනරින් අත්පත් කර ගැනීමෙන් පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී කොටින්ගේ මරාගෙන මැරෙන යාත‍්‍රා 04 ක් ටී. 56 ගිනි අවි 100ක්, ආර්. පී. ජී. අවියක්, බෝම්බ විදිනයක්, අත් බෝම්බ විශාල ප‍්‍රමාණයක් සහ පතරොම් ද කොටින්ගේ ඇඳුම් ඇතුළු ආහාර තොගයක් ද භට පිරිස් විසින් සොයා ගනු ලැබ ඇත.
මේ අතර 58 වැනි සේනාංකයේ ඉදිරියෙන් ම ගමන් කරන කමාන්ඩෝ සෙබළු කොටින්ට ප‍්‍රබල තර්ජන එල්ල කරමින් සිටිති.
මේ අතර 57 වැනි සේනාංකයට අනුයුක්ත 19 වැනි පාබල රෙජිමේන්තුව ඉකුත් සතියේ දී සුවිශේෂී ජයග‍්‍රහණයක් අත්පත් කර ගත්හ. කොටින්ගේ ප‍්‍රබල ප‍්‍රදේශයක් සියතට ගත් මෙම රෙජිමේන්තුව එහි සිය අණසක පැතිර වූයේ පැය හයක ප‍්‍රබල සටනකින් පසුවය.
ඕලුමඩු සහ අඩිපකාමන් අතර ප‍්‍රදේශයෙන් මාන්කුලමට ඇතුළු වූ මේ බළඇණිය කොටින්ට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කෙළේ ය.
කුඩා කණ්ඩායම් යොදවා මාන්කුලම උතුරු ප‍්‍රදේශය සෝදිසි කෙළේ ය. එහිදී කුඩා කණ්ඩායම්වලට කිසිවක් නෙත ගැටුණේ නැත. කොටි ත‍්‍රස්තවාදීන් එහි රැඳී සිටින බවට තොරතුරු නොවීය.
එහෙත් එම පිරිසේ එක් සෙබළෙක් යමක් දුටුවේ ය. විශාල නුග ගසක් ඉහළින් ඇන්ටනාවක් පෙනෙනු දැක ගත හැකි විය. වහාම කි‍්‍රයාත්මක වූ මෙම කුඩා කණ්ඩායම පණිවිඩ හුවමාරු මඟින් තම ප‍්‍රධානියාට මේ බව සැළ කෙළේ ය.
ප‍්‍රධානියා සියල්ල තේරුම් ගෙන කොටි ත‍්‍රස්තවාදීන්ට පහර එල්ල කරන මොහොත ගැන සිතන්නට විය. ප‍්‍රධානියාගේ අණින් නුග ගස තුන් පැත්තකින් වට කෙරිණි. විශාල නුග ගස යට බංකර් සංකීර්ණයක් දැකගත හැකි විය.
භූමියේ අණදෙන නිලධාරියාගේ අණින් මේ බංකර් සංකීර්ණයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්, කෙරිණි. මෙහිදී කොටි ත‍්‍රස්තවාදීහු ද ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළහ. සෙබළු උපක‍්‍රමශීලීව කොටින්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්, කළහ. කඳවුරු සංකීර්ණය අතහැර කොටි පලා ගියහ.
මේ ගැටුම අතර මේ ප‍්‍රදේශයට සුවිශේෂි රියක් පැමිණියේ ය. යුද පෙරමුණේ සිටි හමුදා සෙබළු එය හොඳින් දැක ගත්හ. බංකර් සංකීර්ණයේ සිටි කොටි නායකයෙකු දිව ගොස් රියට ගොඩ විය. එහෙත් ඒ මොහොත වනවිට එම සුවිශේෂි රථයට භට පිරිස් වෙඩි වරුසාවක් එල්ල කර හමාරය. එම වෙඩි වරුසාවට මැදි වූ කොටි නායකයා රැගෙන කොටි ත‍්‍රස්තවාදීහු පලා ගියහ.
ඔවුහු සුවිශේෂී රථය ද අත්හැර දැමූහ. සෙබළු වහාම රථය අත්අඩංගුවට ගත්හ.
රථයේ ඉදිරි පස කොටසට වෙඩි වැදී තිබිණි. රථයේ සිටින අයට වෙඩි නොවදින ලෙස එය සකස් කැර තිබිණි. රථයේ දී සාකච්ඡා පැවැත්වීමටත් පහසුකම් තිබුණු අතර එක් අයකුට නිදා ගැනීමටත් ආහාර පාන ගැනීමටත් හැකිවන ලෙස සුඛෝපභෝගී පහසුකම් සලසා තිබිණි. මෙම රථය කොටි නායකයකු වන ස්වර්ණම් නමැත්තාගේ බවත් හමුදාව එල්ල කළ වෙඩි ඔහුටත් වැදී ඇති බවත් අනාවරණය විය.
ස්වර්ණම් කොටි සන්නද්ධ අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි.
යුද හමුදාව පුනරීන්වලට ළඟාවීමත් සමඟම ස්වර්ණම් කිලිනොච්චි භූමියේ සිට පරන්තන් ප‍්‍රදේශයට කැඳවීමට කොටි නායකත්වය කටයුතු කෙළේ ය. මීට පෙර මේ ප‍්‍රදේශයේ නායකත්වය භානු විසින් උසුලන ලදී.
මාන්කුලම් උතුරු ප‍්‍රදේශයේ භූගත කොටි සංකීර්ණයට හමුදා භටයෝ ඇතුළු වූහ. මේ බංකර් සංකීර්ණය පොළොව යට තට්ටු දෙකකින් යුක්ත වන ලෙස සකස් කිරීමට කොටි ත‍්‍රස්තවාදීහු වගබලා ගත්හ. බංකර් සංකීර්ණයට ඉහළින් විශාල නුග ගසක් ඇති අතර මෙම බංකර් සංකීර්ණය කිසිවකුටත් නොපෙනෙයි.
බංකර් සංකීර්ණයේ නිදා ගැනීමේ පහසුකම්, කණ්ඩායම් ලෙස මේසයක් වටා රැස්ව සාකච්ඡා කිරීමේ පහසුකම්, ජල පහසුකම් ඇතුළු තවත් පහසුකම් රැසක් විය. විශාල තේක්ක කඳන් යොදා එහි බිත්ති සහ ඉහල කොටස ශක්තිමත් කර තිබිණි.
රාජ්‍ය නොවන සංවිධානවල ලාංඡන සහිත භාණ්ඩ රැසක් ද බංකර් සංකීර්ණයේ දැක ගත හැකි විය.
මේ බංකර් සංකීර්ණය මැදි කර ඊට පිටතින් වර්ග කිලෝමීටර් හතරක පමණ ප‍්‍රමාණයක තවත් බංකර් විසිපහක් පමණ සකස් කර තිබිණි.
එම බංකර් අතර සැපයුම් කඳවුරක්ද විය. ආහාරපාන සකස් කර බෙදා හැරීමට මෙම ස්ථානය කොටි විසින් යොදාගනු ලැබ තිබේ.
සිවිල් පුද්ගලයකුට අයත් ගොඩනැගිල්ලේ සීනි ගෝනියක් අමු අඹ ගෝනි පහක්, පරිප්පු, සහල්, අමු මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් හමුදා සෙබළුන්ට හමුවිය. තවත් කොටි බංකරයක තිබී අවිආයුධ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්ද හමුදා භට පිරිස් අතට පත්විය. හමුදා ප‍්‍රහාරවලින් තුවාල ලැබූ ස්වර්ණම් ගැන මෙතෙක් කිසිම තොරතුරක් නැත.
එයින් හැඟෙන්නේ හමුදා ප‍්‍රහාරවලින් ඔහු මියයන්නට හෝ දරුණු ලෙස තුවාල ලබා ඇති බවයි.
අපේ යුද ශක්තිය අතිවිශාලයි. අපට මේ වනවිට හොඳ චිත්ත ශක්තියක් තිබෙනවා. කොටි අපේ ප‍්‍රහාර හමුවේ පලා යනවා. කොටින්ට කළ හැකි කිසිවක් නැහැ. අපට මානුෂික මෙහෙයුම් ඉතා ඉක්මනින් ජයග‍්‍රහණය කළ හැකියි යනුවෙන් පෙරමුණේ සිටින සෙබළෙක් පැවැසීය.
මෙම ගැටුමේදී හමුදා සෙබළුන් දෙදෙනෙක් දිවිපිදූහ.
මාන්කුලම් ප‍්‍රදේශය මෙලෙස අත්පත් කැර ගැනීම නිසා කොටින්ට තවත් සැපයුම් මාර්ගයක් අහිමිවෙයි. මාන්කුලම් ප‍්‍රදේශය 57 වන සේනාංකයේ භට පිරිස් අත්පත් කරගන්නා අවස්ථාව වනවිටත් 58 වැනි සේනාංකයේ විශේෂ භට කණ්ඩායමක් පුනරින් පරන්තන් මාර්ගයෙන් ඉදිරියට පැමිණ කිලිනොච්චි නගරය දෙසට හැරී මෙහෙයුම්වල නිරතව සිිටිති.
යුද පෙරමුණ මෙසේ උණුසුම් වෙද්දී ඉකුත් සතියේ තවත් වැදගත් සිද්ධියක් හට ගත්තේය. අවස්ථා ගණනාවකදී දැඩි ප‍්‍රහාර එල්ල කරමින් අත්පත් කර ගැනීමට උත්සාහ ගෙන තිබූ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල 53 සහ 55 සේනාංක විසින් අත්පත් කරගනු ලැබුහ.
නාගර්කෝවිල් සහ මුහමලේ ප‍්‍රදේශවලින් කොටි ත‍්‍රස්තවාදීන් පසු බැසීමත් සමඟ කොටින්ට අලිමංකඩ අතහැර දමා යාමට සිදුවනු ඇත. 58 වැනි සේනාංකයද පරන්තන් දෙසින් පැමිණීම නිසා කොටින්ට මෙහිදී බලඇණි තුනක් සමඟ මුහුණට මුහුණලා සටන් කිරීමට සිදුවෙයි.
කොටි ත‍්‍රස්තවාදීන් අලිමංකඩ දක්වා යාපනය දිසාවට පලවා හැරීමෙන් කොටින්ගෙන් එල්ල වූ තර්ජන අඩුවෙයි. එපමණක් නොව යාපනයේ සිටින හමුදා සෙබළුන් මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ කර ගැනීමේ අවස්ථාවක්ද උදාවෙයි.
මේ අතර 57 වැනි සේනංකයේ සෙබළුන් යාපනය ඒ - 9 මාර්ගයේ කොටසක්ද අත්පත් කර ගැනීම නිසා කොටි ත‍්‍රස්තවාදීහු ප‍්‍රබල ගැටලුවකට මුහුණ දෙති. කොටින්ගේ සැපයුම් මාර්ගය වී ඇත්තේ මුලතිව් සිට නාගර්කෝවිල් දක්වා මුහුදු ප‍්‍රදේශයේ ප‍්‍රවාහන කටයුතු සිදුකිරීමේදී මුහුදු මාර්ගයෙනි. කොටින්ට ගුවන් හමුදා ප‍්‍රහාර සහ නාවික හමුදා ප‍්‍රහාරවලට මුහුණදීමට සිදුවෙයි.
කොටින්ට ඕමන්තේ මුරපොළ පිටුපසට ගෙනයාමට සිදුවී ඇත.
වවුනියාව ඕමන්තේ ප‍්‍රදේශයේ මෙහෙයුම්වල නිරත පාබල හමුදාවෝ දැඩි ප‍්‍රහාර එල්ල කරති. මේ සමඟම කොටි ත‍්‍රස්තවාදීහු මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශවල කොටුවෙති.
හමුදාව ජයග‍්‍රහණ රැසක් ලබන මේ මොහොතේ ඇතැම් කණ්ඩායම් එම ජයග‍්‍රහණ විවේචනය කිරීමට උත්සාහ ගනියි.
එහෙත් මෙවර පුනරින් මුදාගැනීමත් සමඟ යාපනයේ වැසියෝ වීදි බැස සිය සතුට ප‍්‍රසාදය හමුදාවන්ට පුදකර සිටියහ.
- සටහන භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් වන්නි යුද පෙරමුණේ සිට....

No comments: