Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 28, 2008

දේශපාලනයට ඇවිත් සති 6කින් මෙපමණ මනාප ඡන්ද ප්‍රමාණයක් ලැබීම ගැන ආඩම්බරයක් ඇති වෙනවා - මේජර් ජෙනරාල් ජානක පෙරේරා

පළාත් සභා ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය පැරදී නැහැ. තිබුණු ජයග්‍රහණය සන්ධානය විසින් අවසන් මොහොතේ බලහත්කාරයෙන් උදුරා ගත්තා. ඒනිසා මේ අසික්ඛිත දේශපාලනය තුරන් කිරීමට මා රජරට ජනතාව සමඟ තවදුරටත් කටයුතු කරනවා යැයි උතුරු මැද පළාත් සභාවට අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ මේ ජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා පැවසීය.

උතුරු මැද පළාත් සභා ඡන්දයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමක් අනුව ඔහු පසුගිය 24 වැනිදා කොළඹ බලා පිටත්ව ගිය අතර, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂ නායකයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව අනුරාධපුරයට නැවතත් පැමිණියේ 26 වැනිදා පෙරවරුවේය.
ඒ මහතා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයෝ විශාල පිරිසක් පැමිණ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා මහත් හරසරින් පිළිගත්හ. ඉන්පසු පැවති රැස්වීමේදී එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයින් අමතා ඔහු මෙසේද කීය.
අපි ඡන්ද ගණන් කරත්දී ලොකු භීෂණයකට මුහුණ දී සිටියා. එක්තරා ඇමැතිවරයෙකු ගණන් කිරිමේ මධ්‍යස්ථානයට ඇතුළු වුණා. එජාප බලයලත් නියෝජිතයින් බිය ගන්වා පලවා හැරියා. මේ ගැන අප පරීක්‍ෂණයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.
මේ ඡන්ද ප්‍රතිඵල අනුව මා වැඩිම මනාප ලබාගෙන තිබෙනවා. මට ලැබුණු මනාප ඡන්ද ගණන 116,430 යි. මේ මනාප ගැන මට ලොකු සතුටක් ඇති වුණා. දේශපාලනයට ඇවිත් සති හයක් පමණයි ගත වුණේ. මේ තරම් විශාල මනාප ඡන්ද ප්‍රමාණයකින් මාව පිළිගැනීම ගැන ආඩම්බරයක් ඇති වෙනවා.
සන්ධානයේ මහ ඇමති අපේක්‍ෂක බර්ටි ප්‍රේමලාල් මහතා ලැබුණු මනාප ඡන්ද ප්‍රතිශතය සියයට 52යි. නමුත් මට ලැබුණු මනාප ප්‍රතිශතය සියයට 81කටත් වැඩියි.
මේ මැතිවරණයෙන් මට ලැබුණ ජයග්‍රහණය අනුව ඉදිරියේදී මා අනුරාධපුරයේ ස්ථීර පදිංචියට එනවා. රජරට දුක් විඳින ජනතාවට සේවය කිරීම සඳහා ගම් මට්ටමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මාගේ අරමුණයි.
මා කෙරෙහි විශ්වාසය තැබූ සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා.
මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කළහ.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ එජාප පළාත් සභා අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ද සහභාගී වූහ.

නාච්චිකුඩා බංකර් පෙළක් මුළුමනින්ම සුන්

මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කිලිනොච්චි නාච්චිකුඩා ප‍්‍රදේශයට ඊයේ (27) පෙරවරුවේ එල්ල කළ ප‍්‍රහාරවලින් කොටි ඉදිරි ආරක්ෂක වලල්ලේ පිහිටා තිබූ බංකර් පෙළක් සම්පූර්ණයෙන් විනාශවී තිබේ.
ප‍්‍රහාරක ජෙට් යානා උපයෝගී කැර ගනිමින් එදින උදෑසන 9.30ට පමණ මෙම ප‍්‍රහාරය ගුවන් හමුදාව විසින් එල්ල කැර ඇත්තේ ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ඇදෙන 58 වැනි සේනාංකයේ භට පිරිස්වලට සහාය ලෙස බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
නාච්චිකුඩා සිට කිලෝමීටර් දෙකක් පමණ නැඟෙනහිරින් පිහිටි මෙම ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් බංකර් තුළ හා අවට ප‍්‍රදේශයේ ප‍්‍රහාර සඳහා සැඟවී සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර තිබිණි.
මේ අනුව නිවැරදි ඉලක්ක වෙත පහරදුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය. මේ අතර කිලිනොච්චිය, මුලතිව්, වැලිඔය සහ මුහමාලෙයි ප‍්‍රදේශවලදී පෙරේදා (26) ආරක්ෂක හමුදාවත් කොටි ත‍්‍රස්තවාදීනුත් අතර පැවති සටන්වලදී ත‍්‍රස්තවාදීන් 27ක් මියගොස් තවත් 60ක් තුවාල ලදැයි ආරක්ෂක අංශ පවසයි.
කොටි බංකර රැසකට පහරදී ඒවා විනාශ කර ඇති අතර මෙම සටන්වලදී යුද හමුදාවේද දෙදෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
ති‍්‍රකුණාමලයේ වරායේ නාවික හමුදා කඳවුරු දෙසට පෙරේදා (26) රාති‍්‍රයේ කොටි ගුවන් යානයකින් බෝම්බ හෙළීම නිසා නාවික හමුදාවේ දසදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී රනිල් ගේ නායකත්වයට අභියෝගයක්

නිරූෂි විමලවීර
සුදුසු නායකයකු පත් කර ගන්නා තුරු රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිටිය යුතු බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එක් පිරිසක් කියා සිටී.
එහෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයකගේ මතය වී ඇත්තේ පක්ෂ නායකත්වයෙන් සහ විපක්‍ෂ නායක තනතුරෙන් වික‍්‍රමසිංහ මහතා වහාම ඉවත් විය යුතු බවය.
මේ තත්වය යටතේ අද (28) පස්වරුවේ වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
විපක්‍ෂ නායකවරයා විසින් පත් කරන ලද එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා කමිටු වාර්තාව අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කරන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගම්පහ දිසා මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා ප‍්‍රකාශ කෙළේය.
එජාපයට නියෝජ්‍ය නායකයකු හා උප නායකයන් තිදෙනකු මහා සභාවේදී බහුතර ඡන්දයෙන් පත් කළ යුතු බව ඇතුළු යෝජනා ගණනාවක් ලැබී ඇති බවද එම යෝජනා අද ඉදිරිපත් කරන බවද ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන ජෝන් අමරතුංග ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, රේණුකා හේරත්, අමරා පියසීලි හා සරත්චද්‍ර රාජකරුණා යන මහත්ම මහත්මීන් එම කමිටුව සඳහා පත් කර තිබිණි.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් 60 පමණ සිටින බවත්, ඉන් බහුතරයකගේ මතය විපක්‍ෂ නායකවරයා අදාළ තනතුරුවලින් ගෞරාවාන්විතව ඉවත් වී යායුතු බවද එජාප මන්තී‍්‍රවරයෙක් “ දිනමිණ “ කීවේය.
පක්‍ෂයේ බහුතරයකගේ හා බහුතර ජනතාවගේ මතය විපක්‍ෂනායකවරයා සියලු තනතුරු වලින් ඉවත් විය යුතු බව කී ඒ මහතා ජනතා මතයට පක්‍ෂ නායකයා කි‍්‍රයා කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව පැවැසීය.

පුරාණ වැල්ල ධීවර වරාය නව පණ ලබයි

සුනාමි උදම් රළ පහර අපේ ධීවරයාට අහිමි කළ ධීවර වරායන් 10 න් ධීවර වරායන් 09ක්ම ප‍්‍රතිසංස්කරණය කොට යළිත් ධීවරයා වෙත ලබාදීමට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට හැකිවී තිබේ.
එසේ පිළිසකර වුණු නව වැන්න වන දෙවුන්දර – පුරාණ වැල්ල ධීවර වරාය පසුගියදා ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා, ඇමරිකානු තානාපති රොබට් ඕ.බ්ලේක් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතන (USAID) ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් දශලක්ෂ 580ක වියදමින් යළි ඉදිවුණ පුරාණ වැල්ල ධීවර වරාය වඩාත් පහසුකම් සහිතව ධීවර ජනතා අයිතියට පැවරී ඇත.
වර්ෂ 1978 දී නැංගුරම්පොළක් ලෙස මුල්ගල් තැබුණු පුරාණවැල්ල ධීවර වරාය, ධීවර වරායක් ලෙස උසස්වීම් ලැබුවේ 1990 වසරේදීය.
ධීවර වරාය විවෘත කළ දා
දෙවුන්දර - පුරාණවැල්ල ධීවර වරාය මගින් ධීවරයින් 11,000කට පමණ සෙත සැලසෙන අතර මීටර 118දිග ජැටියක්, මීටර 705ක් දිග දියකඩනයක්, මීටර් 465 දිග ගල් බැම්මක්, ලීටර් 30,000ක ධාරිතාවයෙන් යුතු ජල ටැංකි පද්ධතියක්, ඉන්ධන ගබඩාවක්, මසුන් වෙන්දේසි ශාලාවක්, ආපන ශාලාවක්, දියත්මගක්, දැල් සැකසුම් මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විත වෙයි.
මේ ධීවර වරායේ බහුදින ධීවර යාත‍්‍රා 475ක් සහ එක්දින යාත‍්‍රා 30ක් නවතා තැබීමේ පහසුකම් ස්ථාපිත කර ඇත.
පුරාණ වැල්ල ධීවර වරාය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා
USAID ආයතනය අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දක්වන සහයෝගය අතිවිශාලයි. සුනාමියෙන් විනාශ වුණු ධීවර වරායන් 03ක් ප‍්‍රතිසංස්කරණයට බර පැන දරා ඇත්තේ මෙම ආයතනයයි.
සුනාමියෙන් පසු මුහුදේ වෙනස් වීම් අපට තේරුම් ගැනීමට අපහසු වී තිබෙනවා. ඒ නිසා අද ධීවර කර්මාන්තයේදී අපට නොසිතූ විරූ පීඩාවනට මුහුණදීමට සිදුවෙලා. පසුගියදා ඇතිවුණු දැඩි සුළං තත්ත්වය මෙවැනි එක් අවස්ථාවක්.
එවන් හදිසි ආපදා තත්ත්වයකදී ධීවරයින් මුහුණපාන අනතුරු අවම කිරීම සඳහා මුහුදු යාමේදී ජීවිත ආරක්ෂක කබා පැළදීම අනිවාර්ය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මම ධීවර ඇමැතිවරයා ව සිටින තාක් කල් ධීවරයා යාචකයෙක් නොකිරීම මගේ අරමුණයි. රටේ ආර්ථිකයට හොඳ දායකත්වයක් ලබාදෙන රටටම වැඩදායී පුද්ගලයකු ලෙස ධීවරයා ඉදිරියට ගෙන ඒම මගේ පරමාර්ථයයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් ජී.පියසේන මහතා
උදම් රළ පහරින් විනාශ වුණු ධීවර වරායන් 10 ම මේ වනවිට නවීකරණය කර පිළිසකර කර තිබෙනවා. එයින් නවවැන්න ලෙස විවෘත වුණු පුරාණවැල්ල සහ හික්කඩුව, මිරිස්ස ධීවර වරායන් සඳහා අපට ආධාර ලබාදී ඇත්තේ ඇමෙරිකානු ජනතාවයි. මෙම ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමට අපට දායකත්වය ලබාදුන්නේ USAID ආයතනයයි.
නවීන අංගෝපාංග සහිතව විවෘත වුණ මේ ධීවර වාරයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ධීවර ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කිරීම වැදගත්. ලංකාවේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වැඩිම දායකත්වයක් සැපයෙන්නේ ධීවර අංශයෙන්. ඒ නිසා ලක්වාසීන්ගේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට අපේ සංවර්ධන ව්‍යාපෘති ඉලක්ක කර තිබෙනවා.
සුනාමිය උදුරාගත් තම ධීවර වරාය වෙනුවට නවීකරණය කොට යළි ඉදිවුණ පුරාණවැල්ල ධීවර වරාය පිළිබඳ ධීවර ඇමැතිවරයා ප‍්‍රමුඛ ධීවර වරාය නීතිගත සංස්ථාවට සිය කෘතඥතාව පළකරන දෙවුන්දර ධීවරයින් පවසන්නේ මෙහි තවත් ඉදිවිය යුතු අංගයන් සහ සපුරාලිය යුතු අවශ්‍යතාවන් තිබෙන බවයි. ඒවාත් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉටුවන්නේ නම් තම රැකියාව වඩාත් පහසුවන බව ඔවුනගේ අදහසයි.
අදහස් දැක්වූ ධීවරයන්
තමන් මුහුණ පා සිටි තත්වයට විසැඳුමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන පුරාණවැල්ල ධීවර වරාය කමිටු සභාපති දයාපාල තේනුවර මහතා
අද මේ වරායේ නිදහසේ කටයුතු කරගෙන යාමට යම් යම් පිරිස් බාධා කරනවා. මේ නිසා හැකි ඉක්මනින් නාවික හමුදා අනුඛණ්ඩයක් වරායට ලබාදෙන ලෙස ධීවර ඇමැතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා. එම අනුඛණ්ඩයේ සේවයට අවශ්‍ය ති‍්‍රරෝද රථයක් අපේ ධීවරයින්ගේ ධන පරිත්‍යාගයෙන් ලබාදෙන්න අපි සූදානම්.
අපි ධීවර ව්‍යාපාරිකයන් නොවෙයි. එදා වේල හම්බකරන්න මුහුදු යන ධීවරයොයි ඉන්නේ. අද ඉන්ධන මිල ඉහළයි. අයිස්වලටත් සෑහෙන වියදම්. ජීවන වියදමත් ඒ වගේමයි. මේ නිසා අපිට රක්ෂණ වාරික ගෙවීම ගැටලුවක්. ධීවර යාත‍්‍රා රක්ෂණය අනිවාර්ය කරන්න එපා කියලා අපි ධීවර ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ජයමිණි – 5 ධීවර යාත‍්‍රාවේ හිමිකරු පී.එම්.තිලක් මහතා
අපිට මේ වරායෙ තියෙන ලොකුම අඩුපාඩුව තමයි අයිස් කම්හලක් නැති එක. අපිට එක වරකට මුහුදු යන්න අයිස් හොණ්ඩර 150ක් වත් ඕනෑ. මේ අයිස් අපි ගේන්න ඕන මාතර කූල් රූම්වලින්.
ඒ ගෙන්න ගන්නත් කුලිය රුපියල් 3000ක් වත් ගෙවන්න ඕනෑ. අයිස් ගේන්නයි, කුලියයි, තෙල් මිලයි එකතු වුණහම ගේන මාළුවලින් ලාභ ගන්න අමාරුයි.
මේ වරායට නාවික හමුදාවෙන් දානව නම් හොඳයි. මොකද බෝට්ටු 2 – 3 තියෙන අය චණ්ඩිපාට් දාලා එයාලගේ බෝට්ටු වරාය ඇතුළේ නවත්ත ගන්නවා. අහිංසක ධීවරයින්ට ඉඩ නෑ.
මේ නිසා ඉක්මනින්ම නාවික හමුදාව මේ වරායේ කටයුතු සොයා බලනව නම් හොඳයි. මේ ප‍්‍රශ්න 02 විසඳලා දෙන්න කියලා අපි ධීවර ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඉමේෂ් පුතා යාත‍්‍රාවේ ජේ.එල්.පී.රංජිත් මහතා
මේ වරාය පිවිසුම අවට තිබෙන ස්වභාවික ගල්පර නිසා ධීවර යාත‍්‍රාවලට හානි සිදුවනවා වැඩියි. පසුගිය දැඩි සුළං තත්ත්වයේදී පුරාණවැල්ලේ යාත‍්‍රා කිහිපයකට මේ නිසා අලාභහානි වුණා. රළේ උසට වදින කාලයට (වාරකන් සමයට) අපිට බෝට්ටු හසුරුවන්න අමාරුයි මේ ගල්පර නිසා.
අනෙක් කරුණ තමයි මේ ගල්පර නිසා රෑට අපිට බෝට්ටු යන්න බෑ. එහෙම යන්න ගිය ටැංකි බෝට්ටු කිහිපයකටම අලාභහානි වුණා. අපි ධීවර අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගල්පර ඉවත් කරලා දෙන්න කියලයි.
කරුණු කෙසේ වුවද ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා ධීවර වරාය සංවර්ධන ක්ෂේත‍්‍රයෙහි ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළෙහි යෝධ සෙවණැල්ල වී සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති අසංග අබේගුණසේකර මහතායි.
‘තොටුපොළ අරුණ’ වැඩපිළිවෙළෙහි අරමුණු ඉටුකරගනිමින්, අභියෝග ජයගනිමින් සුනාමි රළ පරදා හිස එසවූ නව වැනි ධීවර වරායත් ධීවර ජනතා අයිතියට පැවැරීමට හැකිවීම පිළිබඳව ඔහු අදහස් දක්වන්නේ ඉමහත් ආඩම්බරයකිනි.
සුනාමියෙන් විනාශ වුණු ධීවර වරායන් 10 දැක්කම හැම දෙනාටම හිතුණේ කවදා මේවා ගොඩනගන්නද කියලයි.එහෙත් අපි එතරම් අවාසනාවන්ත වුණේ නෑ. අපට විදේශ ආධාර හිතුවටත් වඩා හොඳින් ලැබුණා.
ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ යටතේ අප ඇරැඹි ‘තොටුපොළ අරුණ’ වැඩසටහන ඔස්සේ එම ආධාරවලින් නිසිඵල නෙලා ගත්තා.
සුනාමි ව්‍යසනයෙන් වසර 04 ක් නික්ම යන්නටත් පෙර එයින් විනාශ වූ ධීවර වරායන් සියල්ලම ප‍්‍රතිසංස්කරණය කරන්නට හැකිවුණේ එම වැඩපිළිවෙළ නිසයි.
මේ වරායේ අඩුපාඩු ඇති. විවෘත වුණු අනෙක් වරායන්ගේද අඩුපාඩු ඇති. ඒවා නුදුරු දිනයන්හිදීම ඉක්මනින් සපුරාදීමට අප කටයුතු යොදනවා. මෙහිදී ධීවර ජනතා අදහස් යෝජනා අපි හොඳින් සැලකිල්ලට ගන්නවා. මේ සියලු දේ තුළින් අපි වෑයම් කරන්නේ අපේ ධීවරයාට යහපත් හෙට දිනක් උදාකරන්නයි.
ස්තුතිය :– ධීවර අමාත්‍ය මාධ්‍ය ලේකම් කුªෂාන් තිලකරත්න මහතාට සහ ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයට.
බුද්ධිකා ඉඹුලාන
සේයාරූ :- සමන් ශ‍්‍රී වෙදගේ

ශී‍්‍ර ලාංකික පිතිකරණයේ ප‍්‍රබල පසුබෑමක් ඉන්දියාව 3-1 කින් තරගමාලාව ජය ගනී

වර්නන් ගුණසේකර
ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ අපරීක්‍ෂාකාරී කී‍්‍රඩාව හේතුවෙන් ඉන්දියාවට එරෙහි සිවුවැනි ජාත්‍යන්තර එක් දින කි‍්‍රකට් තරගයෙන් ශී‍්‍ර ලංකාව ඊයේ ලකුණු 46 ක පරාජයක් ලැබීය.
මේ ජයග‍්‍රහණයත් සමග ඉන්දියාව තරග 3-1 කින් මෙවර තරගමාලාව ජය ගත්තේ ය. මේ අනුව හෙට දෙපිල අතර පැවැත්වෙන පස්වැනි හා අවසාන එක්දින තරගය හුදෙක් වාර්තා පොතට පමණක් වැදගත් වනු ඇත.
ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ දී ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 258 ක් වාර්තා කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 212 ක් පමණි.
තරගයේ වීරයා සම්මානය සුරේෂ් රයිනා ට හිමි විය. ශී‍්‍ර ලංකා පිල ලකුණු 259 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමේදී මලින්ද වර්ණපුර (0) හා කුමාර් සංගක්කාර (06) ගේ කඩුලු මුළු ලකුණු 28 හා 38 දී බිඳ හෙලීමට මූනාෆ් පටෙල් සමත් විය.
මහේල ජයවර්ධන දුවද්දී දැවී ගිය අතර ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි.
සනත් ජයසූරිය කලකට පසුව ඊයේ ආක‍්‍රමණශීලී පිති හරඹයක නියැලෙමින් පන්දු 47 කදී අර්ධ ශතකයක් වාර්තා කළේ ය. හර්බජන් සිං ගේ තෙවැනි පන්දුවට පළමු ‘ස්ලිප්’ හි සුරේෂ් රයිනා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ජයසූරිය හතරේ පහර 8 ක් හා හයේ පහර 2 ක් සමග ලකුණු 60 ක් රැස් කරගෙන සිටියේ ය.
පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ තිළිණ තුෂාර මිරැන්ඩෝ.
ඔහු මහේල හා එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් එක් කළේ ය. ඉන්දියාව ඕවර 25 ක් අවසානයේ කඩුලු 3 කට ලබා ගෙන සිටි ලකුණු 113 ට එරෙහිව ශී‍්‍ර ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 112 ක් ලබා ගෙන සිටියේ ය.
චාමර කපුගෙදර (30) හා චමින්ද වාස් (17) දැවී ගියේ යුවරාජ් සිං ගේ පන්දුවලට ය. දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූහ. තිලිණ තුෂාර මිරැන්ඩෝ ඊයේ සටන්කාමී ඉනිමක නිරත විය.
ඔහු යුවරාජ් සිං ගේ එක් ඕවරයක දී දැවැන්ත හයේ පහර 2ක් එල්ල කළේ නරඹන්නන් පී‍්‍රති ප‍්‍රමෝදයට පත් කරවමිනි. තිළිණ තුෂාර පන්දු 29 කදී හතරේ පහර 2 ක් හා හයේ පහර 2 ක් සමගින් අගනා ලකුණු 40 ක් වාර්තා කිරීමට සමත් විය.
වාස් කඩුලු 400 සමාජයට
ශී‍්‍ර ලංකා ආරම්භක වේග පන්දු යවන චමින්ද වාස් ඊයේ ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් කඩුලු 400 සමාජයට එක්විය. ආක‍්‍රමණශීලී පිතිකරුවකු ලෙසින් සැලකෙන යුවරාජ් සිං, වාස්ගේ 400 වැනි ගොදුර බවට පත්විය. වාස් ඊයේ යැවූ ඔහුගේ 7වැනි ඕවරයේ පළමු පන්දුවට “ෂෝට් මිඩ් විකට්” හි මහේල ජයවර්ධන අතට උඩපන්දුවක් ලබාදෙමින් යුවරාජ් ලකුණු නොලබාම ආපසු කී‍්‍රඩාගාරයට ගියේය.
මෙම තරගමාලාවේදී ඉන්දියාව පිට පිට සිවුවැනි වතාවටත් ඊයේ කාසියේ වාසිය දිනාගත් අතර මුලින් පන්දුවට පහරදීමට පිවිසි ඉන්දියා පිලේ ප‍්‍රථමයෙන් දැවී ගිය පිතිකරුවා වූයේ ගෞතම් ගම්භීර් (17) ය.
නුවන් කුලසේකර එම කඩුල්ල ලබා ගත්තේය. ගම්භීර් හා විරාට් කෝලි ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක් එක් කළහ. මුළු ලකුණු 51දී යුවරාජ් සිං දවාලීමත් සමඟ වාස්, වසීම් අක‍්‍රම් (502) මුත්තයියා මුරලිදරන් (478) හා වකාර් යුනුස් (416) යන එක්දින කඩුලු 400 සමාජයට ඇතුළත් විය.
කෝලි හා සුරේෂ් රයිනා එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක් රැස්කරමින් සිටියදී කෝලි දැවී ගියේය. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟ ලකුණු 54ක් වාර්තා කළේය. තිළිණ තුෂාර මිරැන්ඩෝ ඊයේ ඔහුගේ තෙවැනි පන්දුවෙන්ම එම කඩුල්ල ලබාගැනීමට සමත් විය. මේ අනුව ඉන්දියා පිලේ තෙවැනි කඩුල්ල 18 වැනි ඕවරයේදී මුළු ලකුණු 81 දී බිඳ වැටිණි.
වාස් කඩුලු 400 යි.
ඉන්දියා ඉනිමේ හොඳම කඩුලු සබඳතාවය වාර්තාවූයේ ඉන් අනතුරුවය. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ සුරේෂ් රයිනා සහ නායක මහේන්ද්‍ර සිං දෝනි මිනිත්තු 96ක් තිස්සේ පන්දු 141කට මුහුණ දෙමින් ඉනිම ගොඩනගන්නට වූ අතර අවසානයේ රයිනා දැවී යන විට මේ දෙදෙනා ලකුණු 143ක් රැස්කර සිටියහ.
රයිනා හතරේ පහර හයක් හා හයේ පහරක් සමඟ ලකුණු 76ක් ලබා ගත් අතර තිලිණ තුෂාර යැවූ තරගයේ 41 වැනි ඕවරයේදී ඔහු නුවන් කුලසේකර අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
තුෂාර ඔහුගේ ඊළඟ ඕවරයේදී දෝනිගේ කඩුල්ල ලබා ගත්තේය. එම උඩ පන්දුව දර්ශනීය අයුරින් ‘මිඩ් ඕෆ්’ හිදී රැක ගත්තේ සනත් ජයසූරියය. පන්දු 80 කට මුහුණදුන් දෝනි හතරේ පහර 4ක් සමඟ ලකුණු 71ක් වාර්තා කළේය.
තිලිණ තුෂාර මිරැන්ඩෝ ලකුණු 47කට කඩුලු 5ක් බිඳ හෙලමින් ඔහුගේ කී‍්‍රඩා දිවියේ හොඳම පන්දු යැවීම ඊයේ සටහන් කළේය.
ශී‍්‍ර ලංකාව ඊයේ චාමර සිල්වා වෙනුවට මලින්ද වර්ණපුර කැඳවා තිබිණි.
කී‍්‍රඩා ඇමැතිගෙන් වාස් ට සුබ පැතුම්
ශී‍්‍ර ලංකාවත් ඉන්දියාවත් අතර ඊයේ (27) ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ දී පැවැති සිවු වැනි එක්දින තරගයේ දී එක්දින ජාත්‍යන්තර කඩුලු 400 ක් ලැබූ චමින්ද වාස් වෙත කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා සිය උණුසුම් සුබ පැතම් පළ කර සිටී.
වාස් ගේ කි‍්‍රකට් දිවිය සර්වප‍්‍රකාරයෙන් සාර්ථක වේවායි ඇමැතිවරයා සුභාශිංසනය කරයි.

Wednesday, August 27, 2008

ති‍්‍රකුණාමල නාවික තටාකාංගණයට කොටින්ගෙන් ගුවන් ප‍්‍රහාරයක්

විජයානි එදිරිසිංහ, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්, මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
ති‍්‍රකුණාමල නාවික හමුදා කඳවුරේ නැව් තටාකාංගණ ප‍්‍රදේශයට කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඊයේ (25) රාතී‍්‍ර ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
ඒ අවස්ථාවේ ආරක්‍ෂක හමුදා එල්ල කළ ප‍්‍රති ප‍්‍රහාර හමුවේ කොටි ගුවන් යානය පලාගොස් තිබේ.
බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ලකර ඇති බවත් ගුවන් ප‍්‍රහාරක ආරක්‍ෂක පද්ධතිය වහාම කි‍්‍රයාත්මක කර ඇති බවත් මෙම ප‍්‍රහාරයන්ගෙන් ජීවිත හෝ දේපළවලට කිසිදු හානියක් නැති බවත් හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය

හමුදා ප‍්‍රහාරවලින් කොටි 15ක් මරුට

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය සහ වැලිඔය ප‍්‍රදේශ වලදී ආරක්ෂක හමුදා ප‍්‍රහාර වලින් පෙරේදා (25) දිනය තුළදී කොටි ත‍්‍රස්තවාදීන් 15 දෙනකු මිය ගොස් තවත් 17 දෙනකු තුවාල ලබා තිබේ.
වවුනියාව වෙල්ලාන්කුලම්, මුලතිව් බටහිර, අරියමඩු, තුනුකායි, කිලිනොච්චිය, නන්ඩිවේල්, පණ්ඩිමුරුප්පු, සහ වැලිඔය ආන්දන්කුලම් ප‍්‍රදේශවලදී මෙම ත‍්‍රස්තවාදීන් මරුමුවට පත්වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

කොටිනට ඔත්තු සැපයූ සිංහල රියැදුරකු දැලේ

ඉන්දික පොල්කොටුව
දඹුල්ල බස් බෝම්බය ඇතුළු මහනුවර කදුකරයේ පසුගිය වකවානුව තුළ සිදු වූ බෝම්බ පිපිරීම් 13ක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පවත්වන මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් එම සිද්ධීන් සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යට ඔත්තු සැපයූ බවට සැකකරන දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ රියැදුරෙකු වන සිංහල ජාතිකයෙකු පසුගියදා (24) අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට අඹතැන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන සැකකරු එම සිද්ධීන් සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යට ඔත්තු සැපයූ බවට පොලිසිය සැකකරයි.
දඹුල්ල පොල්ගොල්ල බස් බෝම්බ ප‍්‍රහාර, කදුරකරයේ අධිබලැති විදුලිය ට‍්‍රාන්ස්ෆෝමර් පුපුරුවා හැරීම යන මෙම ත‍්‍රස්ත කි‍්‍රයා 13 සම්බන්ධයෙන් අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 13ක් සමග මේ වන විට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගෙන ඇත.

අවතැන් ජනයාට යන ආධාර ගිලින්න එල්ටීටීඊය බොරු ගහනවා - මහින්ද සමරසිංහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති

උතුරේ අවතැන් ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධව විපක්‍ෂයෙන් ආණ්ඩුවට එල්ල වෙන චෝදනා හා ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ජාත්‍යන්තර වශයෙන් හිමි වන සහාය පිළිබඳ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් පහත පළවේ.
ත‍්‍රස්තවාදයෙන් ජනතාව මුදා ගැනීම සඳහා වන්නි මෙහෙයුම ඉතා සාර්ථකව සිදු වන නමුත් මෙහිදී උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් විශාල වශයෙන් අවතැන් වී සිටින බවත් ඔවුන් ගැන ආණ්ඩුව කිසිම සොයා බැලීමක් නොකරන බවටත් චෝදනා එල්ල වෙනවා.
එම චෝදනාව පදනම් විරහිතයි. අවතැන්වන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ආණ්ඩුව කි‍්‍රයා කරමින් සිටිනවා.
මේ ගැන තවදුරටත් කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමා කමිටුවක් පත්කර තිබෙනවා, මගේ ප‍්‍රධානත්වයෙන්. ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතු, මානුෂික ආධාර ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා වෙනවා.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ජාත්‍යන්තර ප‍්‍රජාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන නියෝජිතයින්, තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන, රජයේ අදාළ සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්, පොලිසිය හා ති‍්‍රවිධ හමුදාවත් නියෝජනය වෙනවා.
මේ සියලු නියෝජිතයින් ඉදිරියේදී මෙම කාරණා සාකච්ඡා කරන නිසා අභූත චෝදනා රජයට එරෙහිව එල්ල කිරීමට කිසිවෙකුට බැහැ.
පසුගියදා තිබුණු රැස්වීමට කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වව්නියාව දිසාපතිවරුන් පැමිණ සිිටියා. එහි තිබෙන නියම තත්ත්වය ජාත්‍යන්තර ප‍්‍රජාවට අවබෝධ කරලා දෙන්න අවස්ථාවක් ලැබුණා.
නමුත් මේ වන විට අවතැන් වූවන් විශාල පිරිසක් ඒ 9 මාර්ගය දෙපසේ ගස් යට සිටින බවට ඇතැම් මාධ්‍ය හා ඇතැම් දේශපාලන පක්ෂ පෙන්වා දෙනවා
ඒ ගොල්ලන් විතරක් නොවෙයි. කොටි සංවිධානයත් වෙබ් අඩවිවලට අසත්‍ය තොරතුරු ඇතුළත් කරලා විශාල ප‍්‍රචාරයක් ගෙන යනවා.
මේ ගැන එම රැස්වීමේදී අදාළ දිසාපතිවරුන්ගෙන් විමසීමක් කළා. කිසිම වැසියෙක් ඒ 9 මාර්ගය දෙපසේ ගස් යට නැහැ කියලා දිසාපතිවරුන් අවධාරණයෙන් කියා සිටියා.
සියලුම දෙනාට නවාතැන් ලබාදීලා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවට කිලිනොච්චිය දිසාපතිවරයාත් සහතික වුණා. පිසූ ආහාර හා වියළි සලාක ලබා දෙන බවටත් දිසාපතිවරයා කියා සිටියා.
සති දෙකකට ප‍්‍රමාණවත් ආහාර මේ වන විටත් ගබඩා කරලා තියෙනවා. මුලතිව් දිසාපතිවරයාත් මේ කරුණු පැහැදිලි කළා.
අවතැන් වී එන පිරිස ඉහළ ගියොත් ඔවුන්ට පහසුකම් ක්ෂණිකව සැලසීමට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද ?
කිලිනොච්චි හා මුලතිව් දිසාපතිවරුන් කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් දැනටමත් අදාළ ස්ථාන සකස්කර ඊට සූදානම් වී ඇති බවයි.
එවන් අවශ්‍යතාවකදී අවතැන් වූ සියලු ජනතාවට තාවකාලික වාසස්ථාන ලබාදීම කෙරෙහිත් අවධානය යොමු වෙලා තියෙනවා. මේ ප‍්‍රශ්න මමත් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේදී අදාළ දිසාපතිවරුන්ගෙන් විමසා සිටියා.
කොටි සංවිධානය බොරු ප‍්‍රචාරයක් ගෙනි යනවා, ලක්ෂ ගණනක් අවතැන්වෙලා. ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ආණ්ඩුව ඉදිරිපත් වෙලා නැහැ කියලා.
මේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අදාළ දිසාපතිවරුන් කියා සිටියේ අවතැන් වී සිටින ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවයි. දිසාපතිවරුන්ගේ ප‍්‍රකාශ ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිගත්තා.
ඔබ කියන ආකාරයට අසත්‍ය ප‍්‍රචාර ගෙන යන්න කොටි සංවිධානයට යම් කිසි අවශ්‍යතාවක් ඇතිවෙලාද ?
ආරක්ෂක අංශ ගෙන යන සාර්ථක මෙහෙයුම් එක්ක විශාල ගැටලුවකට මුහුණ පාන්න කොටි සංවිධානයට සිදුව තිබෙනවා. ඉතා ශීඝ‍්‍රයෙන් අපේ ආරක්ෂක අංශ ත‍්‍රස්තවාදී බලකොටු බිඳදමමින් ඉදිරියට යමින් සිටිනවා.
කිලිනොච්චියේ ගම්මාන කිහිපයකම බලය මෙතරම් ඉක්මනට හමුදාව යටතට ගන්න පුළුවන් වෙයි කියලා සමහරුන් හිතුවෙත් නැහැ.
කොටි සංවිධානය මේ වන විට අභ්‍යන්තර අවුල් ජාලයකට මුහුණ දී ඇති බව ඔවුන්ගේ පණිවිඩ හුවමාරුවලින් පැහැදිලි වෙලා තියෙනවා.
කිලිනොච්චිය, මුලතිව් දිස්ති‍්‍රක්කවල සාමාන්‍ය ජනතාවගේ සහයෝගයත් ආරක්ෂක අංශවලට ලැබෙන්න පටන් අරගෙන.
කොටි සංවිධානය දිගින් දිගටම පරාජයට පත්වෙන නිසාත් ජනතාවගේ සහයෝගය නොලැබෙන නිසාත් ඔවුන්ට වුවමනා වෙලා තියෙන්නේ කෙසේ හෝ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය දිනා ගන්නයි.
ඒ හරහා කොටි සංවිධානයට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ ආරක්ෂක අංශ වලට එරෙහිව බොරු මානව හිමිකම් චෝදනා එල්ල කරන්න.
ඒ හරහා ජාත්‍යන්තර ප‍්‍රජාව ලව්වා ආණ්ඩුවට බලපෑම් කරන්න උත්සාහ ගන්නවා, මෙහෙයුම් නවත්වන්න කියලා.
එම නිසා කොටි සංවිධානයට කලින් ඉස්සර වෙලා ඇත්ත තත්ත්වය ජාත්‍යන්තර ප‍්‍රජාවට තේරුම් කර දෙන්න අපි කි‍්‍රයා කරනවා. කොටි සංවිධානයේ අවසන් තුරුම්පුවටත් ආණ්ඩුව සූදානම්.
උතුරේ කොපමණ පිරිසක් අවතැන් වෙලා සිටිනවාද කියලා වාර්තා වෙලා තියෙනවාද ?
කොටි සංවිධානය ඇතුළු බෙදුම්වාදයට පක්ෂ ඇතැම් දේශපාලඥයින් කියන්නේ ලක්ෂ දෙකක් අවතැන් වෙලා කියලා. ඒ කතාව අසත්‍යයක්. එතරම් ප‍්‍රමාණයක් කිසිම අයුරකින් අවතැන් වෙලා නැහැ.
සංඛ්‍යා ලේඛන වැඩිපුර ප‍්‍රකාශ වෙන්නේ කොහොමද කියලා අපි හොඳ හැටි දන්නවා. නැගෙනහිර මුදා ගැනීමේදී වාකරේ ඇතිවූ තත්ත්වය උදාහරණයක් ලෙස පෙන්නන්න පුළුවන්.
වාකරේ අවතැන් වූවන් හතලිස් හත් දහසක් ඉන්නවා කියලා දිසාපතිවරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් කිව්වා. අන්තිමට අවතැන් වූවන් වශයෙන් වාකරේ හිටියේ දොළොස්දහසක් පමණයි.
කොටි සංවිධානයේ බලපෑම් මත කිලිනොච්චියෙන් පැමිණෙන සංඛ්‍යා වාර්තා වැඩිවෙලා තියෙන බව අපි දන්නවා.
අපි කිලිනොච්චියේ මුලතිව් සිටින සාමාන්‍ය ජනතාවට යවන ආහාර ද්‍රව්‍ය ඖෂධ කොටසක් කොටි සංවිධානය පැහැරගෙන ඔවුන්ගේ සාමාජිකයින්ට ලබා දෙනවා.
මා ජාත්‍යන්තර සමුළුවලට ගියාම මේ බව සඳහන් කරලා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාව සුවිශේෂී රටක් හැටියටයි. මේවගේ දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දෙන ගමන් අවතැන්වන ජනතාව අමතක නොකරන එකම රට ශ‍්‍රී ලංකාව වෙන්න ඇති කියලා මං ජාත්‍යන්තර ප‍්‍රජාවට දැනුම් දුන්නා.
කිලිනොච්චිය, මුලතිව් දිසාපතිවරුන්ට කොටි සංවිධානය බලපෑම් කරලා වැඩි සංඛ්‍යා ලේඛන දාගන්නේ එම බඩු ඔවුන්ට ගන්න තියෙන වුවමනාව නිසයි. ඒකනිසා ලක්ෂ ගණන් අවතැන් වූ පිරිස් කිලිනොච්චියේ මුලතිව්වල නැහැ. ඉතාම අඩු පිරිසක් තමයි අවතැන් වෙලා ඉන්නේ.
ඔබ කියන්නේ අදාළ දිසාපතිවරුන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා කියලද ?
මං දිසාපතිවරුන්ට චෝදනා එල්ල කරන්නේ නැහැ. ඔවුන්ට කොටි සංවිධානයෙන් සිදුවන බලපෑම් අකමැත්තෙන් හරි වැඩිපුර සංඛ්‍යා ලේඛන හරිගස්සන්න වෙනවා.
කිලිනොච්චියේ ජීවත්වන රජයේ නිලධාරීන්ට ඇත්ත කියන්න බැහැ. ඇත්ත කිව්වොත් කොටි ත‍්‍රස්තවාදීන් ඇවිල්ලා එම නිලධාරියා ඝාතනය කරාවි. මීට පෙරත් එවැනි සිද්ධි වලට ඕන තරම් උදාහරණ අපි දැකලා තියෙනවා.
ඉන්දියාවේ ආරක්ෂක උපදේශක නාරායන් මහතා ප‍්‍රකාශයක් කරලා තිබුණා. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මෙහෙයුම් දිනුවට යුද්ධය දිනන්න නම් දේශපාලන විසඳුමකට යන්න අවශ්‍යයි කියලා. මේ ප‍්‍රකාශය ගැන ඔබ හිතන්නේ කුමක්ද ?
ඒ ප‍්‍රකාශයට අපේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා හොඳ පිළිතුරක් ලබාදී තිබුණා. සාර්ථක මෙහෙයුම ඉවරවුණාට පසුව එම පළාතේ සිටින සියලු ශ‍්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන වැඩපිළිවෙළකට යනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.
දේශපාලන විසඳුමක් මේ ප‍්‍රශ්නයට දෙන්න ඕන කියන කාරණය ඉන්දියාව වගේම අපිත් පිළිගන්නවා. ඒ සඳහා තමයි, ජනාධිපතිතුමා සර්ව පාක්ෂික කමිටුව රැස් කළේ.
ඉන්දියාව කියන ස්ථාවරයේම තමයි අපිත් ඉන්නේ. ඒක නිසා මෙවැනි ප‍්‍රකාශ උලුප්පලා අනවශ්‍ය ගැටුම් ඇති කරන්න සමහරුන් උත්සාහ ගත්තට ඒවට අහුවෙන්න නරකයි.
මේකට හොඳම උත්තරය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වරයා වශයෙන් කියල තියෙනවා. තමිල්නාඩුවෙන් කෑගහන්න කලින් අපි සියලු ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න කි‍්‍රයා කරනවා.
ත‍්‍රස්තවාදයට එරෙහිව පමණයි, මෙහෙයුම් සිදු කරන බව ඉන්දියාවත්, ජාත්‍යන්තර ප‍්‍රජාවත් දන්නවා.
උතුරු ප‍්‍රදේශය මුළුමනින්ම මුදා ගන්නාතුරු අවතැන් වී සිටින ජනතාවට අවශ්‍ය ආහාර පාන සෞඛ්‍ය ඇතුළු පහසුකම් ලබාදීමට ප‍්‍රමාණවත් තොග තිබෙනවාද ?
ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ජනතාවට ලැබිය යුතු ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ඕනෑම තරම් කාලයකට තියෙනවා.
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා කියලා තියෙනවා, වව්නියාව ප‍්‍රදේශයේ ගබඩා යොදාගෙන මෙම ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරින්න කි‍්‍රයා කරනවා කියලා. ලෝක ආහාර සංවිධානයත් මේ සඳහා එක්වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා.
සති දෙකකට අවශ්‍ය ආහාර දැනටමත් අදාළ ගබඩාවල තියෙනවා. ඒ අතරතුර ඉදිරි කාලයට අවශ්‍ය ආහාර ගබඩා කෙරෙමින් පවතිනවා.
උතුරු පළාත මුළුමනින්ම මුදා ගන්නාතුරු අවතැන්වී සිටින ජනතාවගේ සියලු වගකීම ආණ්ඩුව ගෙන ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කි‍්‍රයා කරනවා. ඒ ගැන සැකයක් ඇති කරගත යුතු නැහැ.
සාක් රාජ්‍ය නායක සමුළුව අවසන් වුණා. මෙහිදී ශ‍්‍රී ලංකාවට වාසි රැසක් අත්වූ බව ආණ්ඩුව කියා සිටින විට විරුද්ධ පක්ෂය කියා සිටින්නේ නිකරුණේ මුදල් නාස්තියක් පමණක් සිදුවුණු බවයි. ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුවක් දක්වන දේශපාලනඥයකු ලෙස මේ ගැන ඔබේ ස්ථාවරය කුමක්ද ?
කොටි සංවිධානය වෙනුවෙන් හඬ නගන උදවිය මොනව කිව්වත් ශ‍්‍රී ලංකාවේ කිසිදු ගැටලුවක් නොමැතිව ජාත්‍යන්තර මට්ටමේ ඕනෑම උත්සවයක් පැවැත්වීමට හැකි බව මුළු ලෝකයම පිළිගත්තා.
ආයෝජකයින් පැමිණීම, සංචාරක ව්‍යාපාරය දියුණු වීම, වෙළෙඳ ගිවිසුම්වලින් ප‍්‍රතිලාභ ලැබීම ඇතුළු ප‍්‍රතිලාබ රැසක් මෙමගින් ශ‍්‍රී ලංකාවට හිමි වෙනවා.
ජනාධිපතිතුමා සාක් සමුළුවේ සභාපතිධුරයට පත්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපයට හොඳයි.
ජනාධිපතිතුමාගේ ප‍්‍රතිරූපයට හොඳක්වුණා කියලා රටට සිදුවෙන යහපතක් නොමැති බවයි විරුද්ධ පක්ෂය පෙන්වා දෙන්නේ
ඒක බොළඳ තර්කයක්. ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපයට හොඳයි කියන්නේ රටට හොඳයි කියන එකනේ. මේ රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිතුමායි.
මීළඟ හමුව දක්වාම සාක් කලාපයේ නායකයා අපේ ජනාධිපතිතුමා. එ්කට විපක්ෂය ලාමක විහිළු කළාට ඒ තනතුර සුළුවෙන් තකන්න බැහැ. ඉදිරි කාලයේදී එම තනතුර නිසාම විශාල ප‍්‍රතිලාභ අපේ රටට ලැබෙනවා.
සාකච්ඡා කෙළේඩබ්ලිව්.කේ. ප‍්‍රසාද්මංජු

නම්බු පිටින් අයින්වෙන්න නැත්නම් එළවනවා එජාප මන්තී‍්‍රවරු රනිල්ට කියති




විජයානි එදිරිසිංහ
පක්ෂ නායකත්වයෙන් ගෞරවාන්විතව ඉවත්වන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු ඉල්ලා සිටිති. පෙරේදා (25) හදිසියේ රැස්වී එම තීරණය ගෙන ඇත.
විපක්ෂ නායකවරයා එම ඉල්ලීමට එකඟ වී පසුව නායකත්වයෙන් ඉවත් නූණොත් නීතිමය වශයෙන් හෝ පක්ෂ සාමාජිකත්වය දැනුවත් කැර හෝ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ දැඩි තීරණයකට එම මන්තී‍්‍ර කණ්ඩායම එකඟ වී ඇත.
එම මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කලින් තීරණය කර තිබුණද පසුව හදිසියේ ගත් තීරණයක් මත පෙරේදා රාති‍්‍රයේ ඔවුන් රැස්වී එම තීරණය ගෙන තිබේ.
උතුරු මැද සහ සබරගමු පළාත් සභා ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය 18 වැනිවරටත් ලැබූ පරාජයක් බව පවසන එම මන්තී‍්‍ර කණ්ඩායම පක්ෂය මෙවැනි පරාජයන් ලබන්නේ පක්ෂ නායකත්වයේ දුර්වලතාව නිසා බවත් කියති.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (28) රැස්වීමට තීරණය කර ඇත. එම රැස්වීමට පෙර ඊයේ හෝ අද හෝ එ.ජා.ප. මන්තී‍්‍ර කණ්ඩායමේ ඉල්ලීම පක්ෂ නායකත්වයට දැනුම් දීමට නියමිතව තිබිණි.
මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මන්තී‍්‍රවරුන්ගේ ඉල්ලීමට රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදෙනු ඇතැයි එම මන්තී‍්‍ර කණ්ඩායම විශ්වාස කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ තරුණ මන්තී‍්‍රවරයෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිට නිරතුරුවම ඉහළ වටිනාකමකින් යුත් පක්ෂයක්ව තිබුණු බවත් අද වන විට එම පක්ෂය බොහෝ දුරට පහතට ඇද වැටී ඇති බවත් ඔවුහු පවසති.
දේශපාලන පක්ෂයක් පවත්වාගෙන යා යුත්තේ බලය සඳහා බව පවසන මන්තී‍්‍රවරු බලය අහිමි වී යන්නේ නායකයාගේ දුර්වලතාවය නිසා බවද පවසති.
පක්ෂ නායකයා තම තීරණය දින 14ක් ඇතුළත දැනුම් නොදුන්නොත් ඔවුන් සාකච්ඡාවේදී ගත් කි‍්‍රයාමාර්ග අනුගමනය කරන බවද පවසති.
රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමේ තීරණයට මන්තී‍්‍රවරු දෙදෙනෙක් හැර සෙසු සියලුම මන්තී‍්‍රවරු එකඟ වී සිටින බවත් පක්ෂයේ මන්තී‍්‍රවරයකු “දිනමිණ”ට පැවසීය.

ශ‍්‍රී ලංකා - ඉන්දියා සිවුවැනි එක්දින ගැටුම වැස්ස ගිල ගනී තරගය යළි අද පැවැත්වේ

බලාපොරොත්තු සුන් වූ දෑසින්වැසි බර අහස් කුස දෙස බලමින්... ඡායාරූපය - ඒ. එෆ්. පි


වර්නන් ගුණසේකර
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්.පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සිවුවැනි ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරගය (දිවා /රාතී‍්‍ර) වර්ෂාව හේතුවෙන් නොපැවැත්විණි.
එම තරගය දිවා රාතී‍්‍ර තරගයක් ලෙසින්ම අද පැවැත්වෙනු ඇත. දෙපිල අතර තරග 5 කින් සමන්විත තරගමාලාවේ ඉන්දියාව දැනට තරග ජය 2- 1ක් ලෙසින් පෙරමුණේ සිටී.
තරගමාලාව ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකාව අද පැවැත්වෙන තරගය හා අනිද්දා (සිකුරාදා) පැවැත්වෙන පස්වැනි තරගයද ජය ගත යුතු වේ.
යම් හෙයකින් තරගය අදත් පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියාව මෙම තරගාවලියෙන් පරාජය නොවනු ඇත.
එවිට තරගමාලාව සම කර ගැනීමට නම් ශ‍්‍රී ලංකාව අනිවාර්යයෙන්ම සිකුරාදා තරගය ජය ගත යුතු වනු ඇත.

Thursday, August 21, 2008

පළාත් සභා අපේක්ෂකයෙකුගේ වාහන දෙකකට ගිනි තබයි

උතුරුමැද පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකුගේ අනුරාධපුර කහටගස්දිගිලිය නිවස ඉදිරිපිට නවතා තිබූ වාහන දෙකකට කිසියම් පිරිසක් විසින් අද (20) අලුයම ගිනි තබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේල අද අලුයම 3.30 ට පමණ දසදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ මෙම ගිනි තැබීම සිදුකොට පලාගොස් ඇති බවට කහටගස්දිගිලිය පොලිසියට පැමිණිලි ලැබී ඇති බවය.
මෙසේ ගිනි තබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින නීතිඥ නෙයිනා අනුර්දීන් මහතාගේ නිවාස ඉදිරිපිට නවතා තිබූ වාහන දෙකකට බව ද ඔහු සදහන් කළේය.

එම නිවස ඉදිරිපිට පිහිටා ඇති එම අපේක්ෂකයාගේ බිරිඳගේ පියාගේ නිවසට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළ ආකාරයටල එම වෙඩි ප්‍රහාරය නිවසට වැදී ඇති අතර එහි තිබූ හිස් පතුරොම් 19 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 147 දක්වා ඉහළ යයි - කැෆේ

Wednesday, 20 August 2008
උතුරු මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයට අදාළව පැමිණිලි 212 ක් තමන් වෙත ලැබී ඇති බවත්, ඉන් 147 ක් ප්‍රචණ්ඩ ක්‍රියා වන බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ, රජයේ දේපොළ අයථා ලෙස යොදා ගැනීම් 52 ක් හා වෙනත් පැමිණිලි 13 ක් තමන් වෙත වාර්තා වන බවයි. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා දිස්ත්‍රික් වශයෙන් ගත් කල, පොළොන්නරුවෙන් 29 ක්, රත්නපුරෙන් 29 ක්, කෑගල්ලෙන් 31 ක් හා අනුරාධපුරෙන් 58 ක් වශයෙන් එකී පැමිණිලි 147 වාර්තා වී තිබෙන බව ඔහු වැඩි දුරටත් කීය.

පුනරීන් කොටි පාලන ප‍්‍රදේශයේ සිට සිවිල් වැසියෝ 8ක් හමුදා පෙදෙසට එති

මහින්ද කුලතුංග
කාන්තාවෝ දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයෝ හයදෙනෙක් පුනරීන් හි කොටි පාලන ප‍්‍රදේශවල සිට මන්නාරමේ පල්ලිමුනෙයි ප‍්‍රදේශයට කුඩා ඩිංගි බෝට්ටුවකින් පෙරේදා (19) පැමිණියහ.
පුනරීන්හි සෙයිමන්ගුන්ඩු ප‍්‍රදේශයේ සිට මෙම පිරිස පැමිණ පල්ලිමුනෙයි ආරක්ෂා මුරපොල වෙත බාරවී තිබේ. ඔවුනට අවශ්‍ය පහසුකම් සපයාදීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

වැලිඔය-මුලතිව්-කිලිනොච්චි ගැටුම්වලින් කොටි 25ක් මරුට

මහින්ද කුලතුංග සහ භක්ති මෙන්ඩිස්
වැලිඔය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයන්හි මනියන්කුලම් දකුණ හා වවුනියා වෙඩම්කුªලම් ප‍්‍රදේශවලදී පෙරේදා (19) යුද හමුදාව සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් හටගත් අතර එදින ගැටුම්වලදී කොටි ත‍්‍රස්තවාදීන් 25 ක් මියගොස් තවත් 35 ක් තුවාල ලබා තිබේ.
මුලතිව් ගැටුම්වලදී මියගිය ත‍්‍රස්තවාදීන් තිදෙනකුගේ මළ සිරුරු හමුදාව සොයාගත් අතර මුලතිව් හි වෙයිලන්කුලම් හා වව්නිකුලම් ප‍්‍රදේශවලදීද ගැටුම් හටගත් බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.
යුද හමුදා 57 වන සේනාංකයේ සෙබළුන් ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කිරීමේදී මෙම ගැටුම් හටගත් අතර මෙහිදී හමුදාවේ සිවු දෙනකු මිය ගොස් තවත් 24 ක් තුවාල ලැබූහ.

සුසන්තිකා හත් වැනියා අවසන් තරගයට වරම් නෑ

මීටර් 200 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව තරගයට ඊයේ ඉදිරිපත් වූ සුසන්තිකා ජයසිංහට හිමි වූයේ පළමු අවසන් පූර්ව තරගයේ 7 වැනි ස්ථානයයි. ඒ නිසා ඇයට අවසන් තරගයට ඉදිරිපත් වීමේ අවස්ථාව ගිලිහී ගියේය.
එහිදී ඇය තරගය නිම කළ කාලය තත්පර 22.98 කි. පළමු හා දෙවැනි ස්ථාන ජැමෙයිකාවේ වෙරොනිකා කැම්බල් හා කැරන් ස්ටිවර්ට්ට හිමි වු අතර තෙවැනි ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ මුනාලීට හිමි විය.
තරගයෙන් අනතුරුව සිය කටහඬ අවදි කළ සුසන්තිකා. ‘ මම රට වෙනුවෙන් මගේ උපරිමය සිදු කළා. ඔලිම්පික් පදක්කමක් හා ලෝක සුරතා පදක්කම් දෙකක් මවු බිමට ලබා දුන්නා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මගේ ස්තූතිය පුද කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. එතුමා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති තනතුර දරන කාලයේ සිටම මගේ කී‍්‍රඩා ජීවිතයට විශාල පිටුවහලක් වුනා’
මලල කී‍්‍රඩාවෙන් සමුගන්නවාද කියන එක මම තවම තීරණය කරළා නැහැ. ඒත් මෙය මගේ අවසන් ඔලිම්පික් කී‍්‍රඩා උලෙළයි යැයි පැවැසුවාය.

පන්දු යවන්නන්ගේ දඹුලු දඩබිමේ තියුණු සටනකින් ශී‍්‍ර ලංකාව පරදී

වර්නන් ගුණසේකර දඹුල්ලේ සිට ...
තරගයේ වීරයා සහීර් ඛාන්
පන්දු යවන්නන්ගේ දඩබිමක් බවට පත් වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව ඊයේ ඉන්දියාවට එරෙහිව තියුණු සටනක් දෙමින් කඩුලු 3කින් පරාජය විය.
දෙපිල අතර පැවැති මෙම දෙවැනි ජාත්‍යන්තර එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිලේ සියළුම කී‍්‍රඩකයෝ ඕවර 38.3කදී ලකුණු 142කට දැවී ගිය අතර ඉන්දියාව ඕවර 39.4කදී කඩුලු 7ක් දැවී ලකුණු 143ක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය. මේ අනුව දෙපිල අතර තරග 5 කින් සමන්විත එක් දින තරගමාලාව දැන් ජය 1 - 1 බැගින් සම තත්ත්වයට පත්ව තිබේ.
ලකුණු 21ට කඩුලු 4ක් බිඳ හෙලු සහීර් ඛාන් තරගයේ වීරයා විය.
ලකුණු 143ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඉන්දියා පිලේ මුල් කඩුලු 2 මුළු ලකුණු 16 වන විට බිඳ වැටිණි. නුවන් කුලසේකර එම කඩුලු ද්විත්වය ලබා ගත්තේය.
ඉර්ෆාන් සතන් (5) මුළු ලකුණු 8දීත් සුරේස් රයිනා (1) මුළු ලකුණු 16 දීත් දැවී ගිය අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ විරාට් කෝලි හා යුවරාජ් සිං ලකුණු 36ක් එක් කරමින් සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව යුවරාජ් ලකුණු 20කට දැවී ගියේය.
එය මෙන්ඩිස්ගේ 50 වැනි ජාත්‍යන්තර කඩුල්ල විය. පන්දු 32කට මුහුණ දුන් යුවරාජ් හතරේ පහර 4ක් එල්ල කළේය. කෝලි පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර හයක් සමග ලකුණු 37ක් රැස් කළේය. කෝලිගේ මෙන්ම ඉන් පසුව දැවී ගිය රෝහිත් එර්මාගේ කඩුල්ලද එකම ඕවරයේ ලබා ගත්තේ තිලිණ තුෂාර මිරැන්ඩෝ ය.
නායක මහේන්ද්‍ර සිං දෝනි හා සිය මංගල ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරගයට පිවිසි සුබ‍්‍රමනියම් බද්රිනාත් හයවැනි කඩුල්ල සඳහා පන්දු 96 කදී ලකුණු 60ක් එක් කළහ.
එම සබදතාවය බිඳ දැමුවේ දිල්හාර ප‍්‍රනාන්දුය. ඔහුගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දෝනි ලකුණු 39කට දැවී ගිය අතර හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුලත් විය. අනතුරුව මෙන්ඩිස් විසින් හර්බජන් සිං (1) දවාලනු ලැබීය.
බද්රිනාත් නොදැවී ලකුණු 27ක්ද සහීර් ඛාන් නොදැවී ලකුණු 2ක්ද ලබා ගත්හ. කුලසේකර, මිරැන්ඩෝ සහ මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ කැඳවීම අනුව ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම සහීර් ඛාන්ගේ ප‍්‍රබල වේග පන්දු හමුවේ දැඩි ලෙස අසරණ විය.
ශී‍්‍ර ලංකා පිලේ මුල් පිතිකරු පෙළ විනාශ කිරීමට ඛාන් සමත් වූ අතර කුමාර් සංගක්කාර (2), මහේල ජයවර්ධන (2) , චාමර කපුගෙදර (0) හා සනත් ජයසූරිය (13) ඔහුගේ ගොදුරු බවට පත්විණි.
තරගයේ 7 වැනි ඕවරය නිමා වන විට ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුලු 4 ලකුණු 11කට බිඳ වැටී තිබිණි. ජයසූරියද කී‍්‍රඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරවමින් 14 වැනි ඕවරයේදී 5 වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 33 දී දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් (16) ඊයේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ සුබ‍්‍රමනියම් බද්රිනාත්ගේ අති දක්ෂ උඩ පන්දු රැකීමකිනි. ඉර්ෆාන් පතන් එවූ පන්දුවකට බද්රිනාත් එම උඩ පන්දුව රැක ගත්තේ ඩීප් මිඩ් විකට් හිදීය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 44ක් විය.
ගරා වැටුණු ඉනිමට යම් ජීවයක් එක් කළේ නුවන් කුලසේකර හා තිලිණ තුෂාර මිරැන්ඩෝ ය. මේ දෙදෙන පන්දු 95කට මුහුණ දෙමින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් අති අගනා සබඳතාවයක් ගොඩනගමින් ලකුණු 74 ක් එක් කිරීමට සමත් වූහ.
අවසානයේ මේ අභියෝගාත්මක සබඳතාවය බිඳ දැමුවේ ප‍්‍රවීන් කුමාර් ය.
තරගයේ 34 වැනි ඕවරය යවමින් ඔහු පළමු පන්දුවෙන් තිලිණ තුෂාර ද සිවුවැනි පන්දුවෙන් කුලසේකර ද දවාලීය. තිලිණ තුෂාර පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් ඇතුළුව වටිනා ලකුණු 44ක් රැස් කළ අතර ඊයේ ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වූ එය තුෂාරගේ කී‍්‍රඩා දිවියේද වැඩිම ලකුණු ප‍්‍රමාණය විය. කුලසේකර පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමග ලකුණු 25ක් වාර්තා කළේ ය.
ඔහු ලකුණු 13ක් ලබාගෙන සිටියදී හර්බජන් සිං ගේ පන්දුවකට දුන් උඩ පන්දුව ‘ස්ලිප්’ හි රෝහිත් ෂර්මා අත හැරියේය.
චමින්ද වාස් පාදයේ සුළු ආබාධයක් මත ඊයේ විවේක ගන්වා තිබිණි.
දිල්හාර ප‍්‍රනාන්දු ඒ වෙනුවට කී‍්‍රඩා කළේ ය. ඉන්දියා පිලේ වෙනස්කම් දෙකක් සිදුකොට තිබිණි. ගෞතම් ගාම්භීර් හා ප‍්‍රගසාන් ඔජා වෙනුවට සුබ‍්‍රමනියම් බද්රිනාත් හා ප‍්‍රවීන් කුමාර් කැඳවා තිබිණි.

චීනය අභිමානවත්ව ඉදිරියෙන්....

“බීජිං” ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මේ වන විට සත්කාරක චීනය රන් පදක්කම් 42 ක්, රිදී පදක්කම් 14 ක් හා ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින් ඉදිරියෙන් ම පසුවන්නේ කිසිදු රටකට අභිබවා යෑමට අපහසු තරම් ඉහළම දක්ෂතා ප‍්‍රකට කරමිනි. චීනය ඉදිරියේදී තවත් රන් පදක්කම් 4 ක් බලාපොරොත්තුවෙන් පසුවෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ “රන් ආකරය” මයිකල් ෆෙල්ප්ස් පිහිනුම් ඉසව්වලදී ලබාගත් වාර්තාගත රන් පදක්කම් 8 ත් සමග ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 25ක්, ලෝකඩ පදක්කම් 26ක් හා රිදී පදක්කම් 26ක් දිනා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර තුන්වැනි ස්ථානය ලබාගෙන ඇති එංගලන්තය ලබාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15 කි.
සිව් වැනි ස්ථානයට ඔස්ටේ‍්‍රලියාවද, පස්වැනි ස්ථානයට ජර්මනිය ද මේ වනවිට පත්ව සිටී.
මීටර් 400 (කාන්තා) තරගයෙන් රන් පදක්කම දිනා ගත්තේ එංගලන්තයේ කි‍්‍රස්ටින් ඔහුරොගොය. ඇය මේ වසරේ ඇගේ හොඳම කාලය සටහන් කරමින් තත්පර 49.62 කින් තරගය නිම කළාය. රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ ෂෙරිකා විලියම්ස් (තත්පර 49.69) ය. ලෝකඩ පදක්කම හිමි වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සාන්යා රිචඩ්ස් (තත්පර 49.93) ට ය.
බහරේනයට ප‍්‍රථම ඔලිම්පික් පදක්කම
බහරේන් රාජ්‍යයේ රෂීඩ් රම්සි මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් බහරේනයට ප‍්‍රථම ඔලිම්පික් පදක්කම දිනා දීමට සමත් විය. මෙය 1984 වසරේ ලෝස් ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලින් පසු ගල්ෆ් කලාපයේ රටක් ලැබූ පළමු පදක්කම ලෙස ද හැඳින්විය හැකිය.
28 හැවිරිදි රෂීඩ් රම්සි මොරොක්කෝවේ උපත ලැබූවෙකි. 2005 වසරේ පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවති ලෝක සූරතා මලල කී‍්‍රඩා තරගාවලියේදී ද මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ ඔහුය. ;ම් ඉසව්වේ රිදී පදක්කම කෙන්යාවේ ඇස්බෙල් කිප්රුටෝ ටද, ලෝකඩ පදක්කම නවසීලන්තයේ විලිස්ට ද හිමි විය.
මීටර් 200ටත් උසේන් බෝල්ට්
බෙයිජිං ඔලිම්පික් උලෙළේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වූ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මීටර් 200 ඉසව්වද ජය ගැනීමට සූදානමින් පසුවෙයි.
මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව තරගවල හොඳම කාලය (20.09) වාර්තා කිරීමට උසේන් බෝල්ට් සමත්විය.
උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්ව තත්පර 9.69 කින් අවසන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය.
පාපන්දු අවසන් තරගයට ආජෙන්ටිනාව හා නයිජීරියාව
අජෙන්ටිනාව හා නයිජීරියාව බෙයිජිං ඔලිම්පික් කී‍්‍රඩා උලෙළේ පාපන්දු අවසන් තරගයට සුදුසුකම් ලබා සිටී. දෙරට අතර අවසන් මහ තරගය සෙනසුරාදා ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ආජෙන්ටිනාව බ‍්‍රසීලය පරාජය කරමින්ද, නයිජීරියාව බෙල්ජියම පරාජය කරමින්ද, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූහ.
මේ අතර බීච් වොලිබෝල් අවසන් තරගයට චීනය හා ඇමරිකා එක්සත් ජනපදය සුදුසුකම් ලබා සිටී.

Wednesday, August 20, 2008

යුද හමුදාව යටතට ගත් “ජීවන් බේස්” කඳවුරේ ඡායාරූප

මුලතිව් මහ වනයේ කොටි ත්‍රස්තවාදීන් පවත්වාගෙන ගිය ප්‍රධාන පුහුණු කඳවුරක් වන “ජීවන් බේස්” කඳවුරෙහි බලය අල්ලා ගැනීමට 59 වන සේනාංකයට අයත් යුද හමුදා භට පිරිස් පසුගිය ඉරිදා (16) සමත් විය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මෙම කඳවුර ගරිල්ලා සටන් පුහුණු කටයුතු සඳහා වසර කිහිපයක් පුරා භාවිතා කර ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම කඳවුර කොක්කුතුඩාවයි සිට කි.මී. 10ක් පමණ වයඹ දෙසින් පිහිටා තිබේ.මෙම කඳවුරෙහි භූගත බංකර 100ක්, ගොඩනැගිලි 04ක්, වැසිකිළි 25ක් සහ කොන්ක්‍රීට් බංකර් 02ක් පිහිට බව ආරක්ෂක වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.























































































































23 දා උතුරු මැද මම ජයග්‍රහණය කිරීමෙන් පසුව මම උතුරු මැද පළාත බලා ගන්නම්, ජනාධිපතිතුමා යුද්ධය බලා ගන්න - මේජර් ජෙනරාල් ජානක පෙරේරා

යුද්ධය සහ පළාත් සභා මැතිවරණය පටලවා නොගන්නා ලෙස තමන් ජනාධිපතිවරයා වෙත දන්වා සිටින්නේ යැ යි උතුරු මැද පළත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂ මහ ඇමති ධූර අපේක්‍ෂක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා පවසයි.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා එසේ පැවසුවේ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (12) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළි අමතමිනි.
එහිදී වැඩිදුරටත් කථා කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
"1993 දී ඩී බී විජේතුංග ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙරට පාලනය කළ සමයේ පළාත් සභා මැතිවරණයක් පැවතියදී ම රටේ යුද්ධයකුත් පැවතුණා. ඒත් එදා පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළහොත් යුද්ධය දිනිය හැකි බව රටේ පාලකයන් සඳහන් කළේ නැහැ.
ඒත් වත්මන් ආණ්ඩුවේ නායකයින් කියන්නේ පළාත් සභා මැතිවරණය දිනා යුද්ධය ශක්තිමත් කළ හැකි බවයි. යුද හමුදාවේ දීර්ඝ කලක් සේවය කළ අත්දැකීම් ලැබූ නිළධාරියෙකු ලෙස මට කිව හැක්කේ එහි කිසිඳු සත්‍යක් නොමැති බවයි. එනිසා මා ජනාධිපතිවරයාට කියන්නේ යුද්ධය සහ පළාත් සභා මැතිවරණය පටලවා නොගන්නා ලෙසයි.
එදා මා උතුරු මැද පළාත ආරක්‍ෂා කරගත්තා. ඒත් වත්මන් ආණ්ඩුව යටතේ මේ පළාත අනාරක්‍ෂිත ස්ථානයක් බවට පත් වෙමින් පවතිනවා. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වුණු දරුණු ප්‍රහාරය මෙන් ම කැබිතිගොල්ලෑවේ දී බස් රථයකට ප්‍රහාරයක් එල්ල වීම ඊට නිදසුන්.
ඒ නිසා ජනාධිපතිතුමා, 23 දා උතුරු මැද පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මම උතුරු මැද පළාත බලා ගන්නම්. ඔබතුමා යුද්ධය බලා ගන්න!

උතුරේ ගැටුම්වලින් කොටි 21 ක් මරුට

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
ආරක්ෂක හමුදා පෙරේදා (18) වවුනියාව මුලතිව්,කිලිනොච්චි, වැලිඔය හා යාපනය ප‍්‍රදේශවල දි එල්ල කළ ප‍්‍රහාර වලින් කොටි ත‍්‍රස්තවාදීහු 21 දෙනකු මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලැබූහ.
යාපනය නගර් කෝවිල් මුහමලේ, වවුනියාව පාලමොඩෙයි, මුලතිව් තුනුකායි හා උයිලන් කුලම්, කිලිනොච්චි නාච්චිකුඩා, සහ වැලිඔය ආන්දන්කුලම් හා කොක්කුතුඩුවායි ප‍්‍රදේශවලදී ආරක්ෂක හමුදා ප‍්‍රහාර එල්ල කොට තිබේ.
‘තුනුකායි ප‍්‍රදේශයේදී ආර්.පී.ජී. ගිනි අවියක්, ටී 56 ගිනිඅවි 04 ක්, ආර්.පී.ජී.බෝම්බ 06 ක් මාලිමා යන්ත‍්‍රයක්, අස්කොම් වර්ගයේ ගමන් කථනයක් හා ජී.ජී.එස්. උපකරණයක් ද ආරක්ෂක හමුදා සොයා ගෙන තිබේ.
මෙම ගැටුම්වලදී හමුදා සාමාජිකයකු මියගොස් තවත් 11 දෙනෙකුට තුවාල සිදුවු බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

රණවිරු ප‍්‍රභාත් අද දැයෙන් සමු ගනී

අක්මීමන විශේෂ - සුනිල් ගමගේ
ශ‍්‍රී ලංකා යුදහමුදා 08වැනි පාබල හමුදාවේ සෙබළ කේ.එච්.එච්.ලක්ෂිත ප‍්‍රභාත් රණවිරුවා මන්නාරම් ප‍්‍රදේශයේ මානුෂික මෙහෙයුමේ යෙදී සිටියදී විල්ලම්කුලම් හිදී සතුරු මෝටාර් ප‍්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත්තේය.
1987 වසරේ ජුනි මස උපන් ලක්ෂිත ප‍්‍රභාත් ගා / හියාරේ මහා විද්‍යාලයෙන් අ.පො.ස (උ/ පෙළ) දක්වා අධ්‍යාපනය ලබා 2007 වසරේ ජුනි මස ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙක් ලෙසින් හමුදා සේවයට එක්විය.
මේ මස 17 වෙනිදින විල්ලම්කුලම් හිදී මෙහෙයුම්වල යෙදී සිිටියදී මෝටාර් ප‍්‍රහාරයකට ලක්ව මිය ගියේය.
සතුරු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මිය ගිය ප‍්‍රභාත් අද (20) හියාරේ රතඹලකැටිය පවුලේ සුසානභූමියේදී හියාරේ ප‍්‍රදේශයම හඬවමින් දැයෙන් සමුගැනීමට නියමිතය.

එජාපයට නියත පරාජයක් ඇමැති ඩලස් හේතු 13ක් දක්වයි

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර

සබරගමුව සහ උතුරු මැද පළාත් සභා ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය ලබන නියත පරාජයට හේතු වන ප‍්‍රධාන කරුණු 13ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (19) මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙළේය.


එම කරුණු දහතුන මෙසේය.
එක්සත් ජාතික පක්ෂය සබරගමුව හා උතුරු මැද පළාත් සභාවලට කොළඹින් අපේක්ෂකයන් අපනයනය කිරීම,
මැතිවරණ ව්‍යාපාරයක් නොතිබීම,
විපක්ෂ නායකවරයා එම පළාත්වලට ගොස් කරන අසත්‍ය ප‍්‍රකාශ,
පක්ෂය අභ්‍යන්තරයේ නායකත්වයට එරෙහිව පවතින කැරැල්ල,
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට අභියෝග කිරීමට අසමත් වීම,
පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මන්තී‍්‍රවරුන් 47 දෙනා මැතිවරණ සටනට ඉදිරිපත් කර ගත නොහැකි වීම,
ප‍්‍රාදේශීය නායකයන් පක්ෂය හැර යාම,
එක්සත් ජාතික පක්ෂයට දෙන ඡන්දය එල්. ටී. ටී. ඊ යට එරෙහි ජයග‍්‍රාහී සංග‍්‍රාමය ආපස්සට හැරවීමක් බව ජනතාව තීරණයක් ගෙන තිබීම,
එජාපයට ප‍්‍රචාරක ව්‍යාපාරයක් නොතිබීම,
රටට ආදරය කරන සියලු පක්ෂ නායකයන් ජනාධිපතිතුමා ප‍්‍රමුඛව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එකතුවීම,
මහා සංඝරත්නය ප‍්‍රමුඛ පූජ්‍ය පක්ෂයේ ආශීර්වාදය නොතිබීම,
ගමට, ගොවි ජනතාවට නොගැළපෙන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටීම,
අවාසනාව.

සුසන්තිකා මීටර් 200 අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාවේ එකම අපේක්ෂාව අද තරග බිමේ

බීජිං ඔලිම්පික් උළෙලේ මීටර් 200 (කාන්තා) දෙවැනි වටයේ දෙවැනි තරගයට සහභාගි වූ සුසන්තිකා ජයසිංහ තත්පර 22.94 කින් තරගය නිම කරමින් තුන්වැනි ස්ථානය ලබා එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.
එම දෙවැනි වටයේ තරගයේ ප‍්‍රථම ස්ථානය ලබා ගත්තේ තවත් ආසියානු රටක කී‍්‍රඩිකාවකි. ඇය අල් ගසාරා ය. ඇය බහරේනයේ කී‍්‍රඩිකාවකි.
ඇය තරගය නිම කළේ තත්පර 22.76 ක කාලයක් සටහන් කරමිනි.
තත්පර 22.89 කින් තරගය නිම කළ ප‍්‍රංශයේ හර්ට්ස් හුආරි මුරියෙල් දෙවැනි ස්ථානය ලබා ගත්තාය.
බහරේනයේ අල් ගසාරා 2006 වසරේ දෙසැම්බර් මාසයේ කටාර් රාජ්‍යයේ දී පැවැති ආසියානු කී‍්‍රඩා උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම දිනූ කී‍්‍රඩිකාවයි. (සුසන්තිකාට එහිදී හිමි වූයේ ලෝකඩ පදක්කමයි)
මීටර් 200 (කාන්තා) ඉසව්වේ අවසන් පූර්ව තරග අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අවසන් පූර්ව තරගයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා රටට කීර්තිය ගෙන ඒම තම බලාපොරොත්තුව බව තරගය අවසානයේ සුසන්තිකා පවසා සිටියාය.
මීටර් 200 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ සුසන්තිකා ජයසිංහ කී‍්‍රඩිකාවට එම ඉසව්වෙන් ඔලිම්පික් පදක්කම් ලබා ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි කී‍්‍රඩා හා පොදු විනෝද කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා සුසන්තිකා වෙත සුබ පැතුම් පණිවිඩයක් යවමින් කියා සිටියේය.
බීජිං ඔලිම්පික් උළෙලේ ඊයේ උදෑසන පැවැතී මීටර් 200 ඉසව්වේ ප‍්‍රථම වටයේ තරගයෙන් දෙවැනි ස්ථානය ලැබූූ ශී‍්‍ර ලංකාවේ වේග රැජින සුසන්තිකා ජයසිංහ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තාය. (තත්පර 23.04)
ඇය පරාජයට පත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලියන් ෆිලික්ස් වෙතිනි. (තත්. 23.02) ඇය ලෝක සූරතා මලල කී‍්‍රඩා තරගාවලි දෙකක මීටර් 200 ඉසව්ව ජයග‍්‍රහණය කිරීමට සමත් වූ කී‍්‍රඩිකාවකි.
2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම ලැබූූ ඇය සුසන්තිකාට එල්ල විය හැකි ප‍්‍රබලතම තර්ජනය බවට අනාවැකි පළ වූයේ තරගාවලිය ආරම්භයේ සිටය.
මීටර් 200 ඉසව්වේ පළමු වටයේ සමස්ත ප‍්‍රතිඵල සටහන අනුව ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මුතාලීය. ඇය තරගය අවසන් කළ කාලය තත්ත්පර 22.71 කි.
26 හැවිරිදි මුතාලී ඇමරිකානු තේරීම් තරගවලදී මීටර් 100 ඉසව්ව ජයග‍්‍රහණය කළ කී‍්‍රඩිකාවයි.
මුතාලී 2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්ව නිම කළේ සත්වැන්නිය ලෙසය. සුසන්තිකා ජයසිංහ පළමු වටයේ තරගය නිම කළේ තත්පර 23.04 ක් සටහන් කරමිණි.
මේ කාලය අනුව ඇය මූලික වටයට සහභාගි වූ කී‍්‍රඩිකාවන් 46 දෙනෙකු අතර 11 වැන්නිය ලෙස පසු වූවාය.
ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් ද එම කාලයම වාර්තා කර තිබිණි. පළමු වටයෙන් කී‍්‍රඩිකාවන් තිස් දෙදෙනෙකු දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
ෂැරොන් සිම්සන් (ජැමෙයිකාව), කෙරන් ස්ටිවර්ට් (ජැමෙයිකාව), වෙරොනිකා කැම්බල් (ජැමෙයිකාව), ඩෙබී ෆර්ගියුසන් (බහමාස්) මීටර් 200 ඉසව්වට ඉදිරිපත් වී සිටින ලොව සුපිරිතම කී‍්‍රඩිකාවෝය.
මේ අතරින් ෂැරොන් සිම්සන් මීටර් 100 ඉසව්වේ රිදී පදක්කමද, කෙරන් ස්ටිවර්ට් ලෝකඩ පදක්කමද දිනාගත් කී‍්‍රඩිකාවන් බව සඳහන් කළයුතුය.

පන්දු යවන්නන්ට වාසිදායක දඹුල්ලේදී දෙවැනි එක්දින තරගය අද මෙන්ඩිස්ව අවබෝධකරගෙන පහරදීම ඉලක්කයයි - දෝනි

වර්ණන් ගුණසේකර දඹුල්ලේ සිට....
සංචාරක ඉන්දීය කි‍්‍රකට් පිල හා ශ‍්‍රී ලංකාව අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගය අද රංගිරි දඹුලු කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
එක්දින තරග 5 කින් සමන්විත ශ‍්‍රී ලංකා ඉන්දියා කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රථම තරගයේ පහසු ජයග‍්‍රහණයත් සමඟ 1 – 0 කින් ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. එය අද තරගයට එක්වන ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ට ප‍්‍රබල මානසික ශක්තියක් ඇතිකරවන්නකි.
ප‍්‍රථම තරගයට එක්නොකළ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස සංචිතයේ සිටින මහේල උඩවත්ත හෝ මලින්ද වර්ණපුර අද තරගයට කී‍්‍රඩා කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
එයට හේතුව ලෙස දැක්විය හැකිවන්නේ සනත් ජයසූරිය සමඟ ශ‍්‍රීී ලංකා ඉනිම ආරම්භක කළ කුමාර සංගක්කාරගෙන් බලාපොරොත්තු වූ සේවය නොලැබී යෑමය.
ප‍්‍රථම එක්දින තරගයේදී පන්දු යවන්නන්ට සාර්ථක ප‍්‍රතිඵල ගෙනදුන් රන්ගිරි දඹුලු විකට්ටුවේදී අජන්ත මෙන්ඩිස් හා මුත්තයියා මුරලිදරන් කඩුලු 6 ක් බිඳහෙළීය.
තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ නායක මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේ පන්දු යවන්නන්ට උචිත විකට්ටුවේ කලින් කඩුලු ලබාගැනීමට හැකිවීම ජයග‍්‍රහණයට ප‍්‍රධානතම හේතුව වූ බවයි.
“ඉන්දියාව පාලනය කරන්න මුල් කඩුලු තුන හතර ඉක්මනින් ලබාගත යුතුයි. වැදගත් වන්නේ අපේ උපරිම ශක්තිය යෙදවීමයි. මේ දිනවල අපේ කී‍්‍රඩා විලාශය සාර්ථකව ඒ දේ කරනවා” යැයි ජයවර්ධන ප‍්‍රකාශ කළේය.
ප‍්‍රථම තරගයේදී ඉන්දීය පන්දු යැවීමේ අංශය සාර්ථක වූ බව නායක මහේන්ද්‍ර සිං දෝනි ප‍්‍රකාශ කෙළේය. එහෙත් පිතිකරුවන්ට ආරක්ෂාකාරිව පන්දුවට පහරදීමට නොහැකිවීම පරාජයට හේතුව වූ බව දෝනිගේ අදහස විය.
“මෙන්ඩිස්ට මුහුණදීමේදී කඩුලු ආරක්ෂා කිරීමත් ලකුණු ලබාගැනීමත් අභියෝගාත්මකයි. මෙන්ඩිස්ව අවබෝධ කර ගැනීම දුෂ්කරයි. මුරලිව අපට බොහෝවිට හමුවී තිබෙනවා. මුරලිට වඩා මෙන්ඩිස් භයානකයි.
ඔහුව තේරුම් ගන්නාවිට හොඳ ප‍්‍රහාරයකට යෑම ප‍්‍රමාදයි. අපට සාර්ථක වන්නට නම් ඔහුට මුහුණ දෙනවා වගේම වටේටම ප‍්‍රහාර එල්ල කිරීමත් කළ යුතු වෙනවා.” යැයි දෝනි මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
අද තරගයට හා ඉදිරි තරග තුනටම ඉන්දීය ප‍්‍රබල පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ගේ සේවය අහිමිවී යනු ඇත. පාදයේ වළලුකර පෙදෙසේ ආබාධයක් ඇතිවීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
ෂෙවාග් එක්දින ජාත්‍යන්තර තරග 191 කදී ශතක 9 ක් හා අර්ධ ශතක 29 ක්ද සමඟ ලකුණු 5810 ක් ලබා ඇති ප‍්‍රබල ප‍්‍රහාරකයෙකි.

Tuesday, August 19, 2008

අනුන් බිල්ලට දී තමා බේරීම ප‍්‍රභාකරන්ගේ අන්තිම තුරුම්පුවයි

දෙවන ලෝක මහා යුද්ධයේ ගිනිදැල් ඇවිළුයේ හිට්ලර් ය. මහා මිනිස් සංහාරයක් කොට යුදෙව් ජනතාව සමූලඝාතනය කරන්නට සැරසුණේ ඔහුය. ලක්‍ෂ ගණනක් මිනිසුන් වධකාගාරවලට දමා පණපිටින් පුළුස්සා දැමූ මිනීමරුවා ඔහුය.
ලෝකයම බිය වද්දා තමා පරාජය කරන්නට කිසිවෙකුටත් නොහැකැයි ඔහු පාරම් බෑවේය. එහෙත් මිත‍්‍ර හමුදා විසින් ඔහු වටලනු ලබද්දී යටත්වීමට බියේ බංකරයක සැඟවී සිය දිවි නසා ගත්තේ ය.
ඔහුගේ සගයා වූ ඉතාලියේ මුසොලිනී බිය වැද පලායද්දී සතුරු හමුදාවන්ට හසු වී මැරුම් කෑවේ බල්ලෙකු මෙන්ය.
රටක් හොල්ලා ලෝකය සොලවන්නට වලි කෑ ඉරාකයේ සදාම් හුසේන් සිය රටේම වැසියන් දස දහස් ගණනක් දස වධ දී මරා දැමීය.
හරි හෝ වැරදි හෝ අනතුරුව ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කරද්දි සිය හමුදාව හා හිතවතුන් විසින් හැර දමනු ලදුව තනිවූ ඔහු භූගත බංකරයක සැඟවී සිටියේ හිඟන්නකු පරිදිය.
එල්ලා මරද්දි ඔහු වෙනුවෙන් කතා කරන්නට නීතිඥයකුවත් සොයා ගැනීම උගහට විය.
මෙවන් මිනිස්සු ඉතිහාසයේ බොහෝ සිටියහ. ප‍්‍රභාකරන්ද එවන් වියරු මිනිසෙකි.ලබා ගත නොහැකි ඊළමක් වෙනුවෙන් දහස් ගණනක් අහිංසක දෙමළ වැසියන් නොමඟ යැවූ ඔහු සිය මරාගෙන මැරෙන ඝාතකයන් මගින් දහස් ගණන් අහිංසකයන් මරා දැමීය.
දේපළ විනාශ කරවීය. අන්තර්ජාතික ජනතාව නොමඟ යැවීය.
එහෙත් ඔහුට තකට තක ගහක් හමු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මේ වන විට හතරවන ඊළම් යුද්ධය පරාජය වෙමින් සිය සිහින රාජ්‍යය හකුළා ගනිමින් දැන් ඔහු කිලිනොච්චියේ හෝ මුලතිව් හි බංකරයක සැඟවී සිටී.
ඒ සිය ජීවිතාශාව නිසාය, බිය නිසාය. මුලතිව් හා කිලිනොච්චි දිස්ති‍්‍රක්කවලට සීමා වූ ඔහුගේ සිහින රාජ්‍යය බලා සිටියදී කුඩාවෙයි.
දිනෙන් දිනම බලෙන් නතුකරගත් ගම් බිම් බලකොටු ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා අතට පත්වෙයි.
එක්තරා පුවත් පතකට කරුණා අම්මාන් පවසා සිටි පරිදි කොටි නායකයාට සිංහල හෝ දෙමළ තරුණයින් ගේ ජීවිතවල වටිනාකමක් නැත. ඔහු විකල් වූ මනසක් ඇත්තෙකි.
ශී‍්‍ර ලංකාව පුරා භීෂණය වැපිරවීය. එහෙත් ආරක්‍ෂක හමුදාවන් ගේ කැපවීමත් මහජනතාවගේ දැඩි විමසීමත් අවධානයත් නිසා දැන් භීෂණය අඩුවෙමින් පවතී.
10000 ක් පමණ සිටි ප‍්‍රභාකරන්ගේ භීෂණ ත‍්‍රස්ත බලකාය තුනෙන් දෙකක් පමණ අඩුකරන්නට ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදාව සමත්ව සිටිති. ඔහුගේ දක්‍ෂ සටන් කරුවෝ හමුදාව අතින් මැරුම් කෑහ.
මේ වන විට ඔහුගේ ත‍්‍රස්ත හමුදා වෙන් දිනකට 30 – 50 අතර ප‍්‍රමාණයක් මියයන්නේ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා වෙතිනි.
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා මෙවර ත‍්‍රස්තවාදය තුරන් කරන තුරා සටන් වදින්නට සපථකොට ඇත්තේ නිවැරදි නායකත්වය නිසාය.
පසුගිය සතියේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට නම් එල්.ටී.ටී. ඊ ත‍්‍රස්තවාදීන් සහමුලින්ම විනාශ කළ යුතු බවයි .
ඔවුන් වනාන්තරයට යන්තම් තල්ලුකොට දැමීමෙන් වැඩක් නැති බවත් වනාන්තර පීරා ඔවුන් සොයා මුළුමනින්ම විනාශ කළ යුතු බවත් ඒ මහතා ඩේලිනිවුස් පුවත්පතට කියා තිබේ.
මන්නාරම වෙල්ලන්කුලම අත්පත් කර ගෙන ඉදිරියට යන 58 සේනාංකයේ මීළඟ ඉලක්කය ‘නාච්චිකුඩා ‘ කොටි කඳවුරයි.
නාච්චිකුඩා ප‍්‍රදේශය තමන්ට ආරක්‍ෂා කර ගැනීමට නොහැකි බව දන්නා කොටි සංවිධානය ඊට නුදුරින් විශාල පස් බැම්මක් තනාගෙන යන බව හමුදා ආරංචි මාර්ග පවසයි. මෙයට කලින් ද ආරක්‍ෂක හමුදා ගමන් වළකන්නට යෙදූ පස් කදුවලින් පලක් වුයේ නැත.
තුනුක්කායි හා මල්ලාවි අල්ලා ගැනීමට ඉදිරියට යන ආරක්‍ෂක හමුදාවන් ගේ ගමන අඩාල කරන්නට ද මේ වන විට මල්ලාවි හා තුනුක්කායි වටකොට විශාල පස් බැම්මක් ගොඩනගන බව හමුදා බුද්ධි අංශවලට රහසක් නොවේ. මල්ලාවි හා තුනුක්කාවි දෙසට ඉදිරිපස යන 57 වන සේනාංකයේ 582 බලසේනාව පසු ගිය බදාදා තුනුක්කායි නගරයට කි.මී. 3 ක් පමණ නිරිත දිගින් පිහිටි ‘කල්විලාන් ‘ ගම්මානය අල්ලා ගත්හ.
මල්ලාවි දෙසට යන හමුදා නවත්වන්නට පිහිට වූ කොටි හමුදා රැදවුම් පොළක් වන කල්විලාන් ආරක්‍ෂක හමුදාව වට කළේ දින දෙකකට පෙරය. දින දෙකක් පුරා මල්ටි බැරල් එල්ල කරමින් කොටි සාමාජිකයන් සමග දරුණු සටනක යෙදෙන්නට හමුදාවට සිදුවිය.
අවට අටවන ලද මර උගුල් හා බිම්බෝම්බ ද විශාල ප‍්‍රමාණයක් තිබිණ. ඒ සියල්ල ඉවත් කරමින් ඉදිරියට යා යුත්තේ ඉතා පරිස්සමිනි.
කල්විලාන් පිහිටා ඇත්තේ වෙල්ලන්කුලම් , මාන්කුලම්, මහාමාර්ගය එනම් ඒ 14 මාර්ගයට යාබද වය . එය මල්ලාවි හා තුනුක්කායි රැක ගැනීමට කොටින්ට තිබූ වාසියකි.
එහෙත් ආරක්‍ෂක හමුදාවන්ගේ මල්ටි බැරල් ප‍්‍රහාර හමුවේ කොටින්ට මේ බලකොටුව රැක ගැනීම අපහසු විය. අන්තිමේ කල්විලාන් අතහැර පසුබැසීමට කොටි තීරණය කළහ.
මුහුණට මුහුණ ලා කළ එම සටන දරුණු එකක් විය. ත‍්‍රස්තවාදීන් 15 දෙනකු පමණ එහි දී මිය ගිය බවද වාර්තා වෙයි. එක් යුද භටයෙකු දිවිපුදා ඇති අතර තවත් භටයෙකුට තුවාල සිදුවී ඇත.
මේ වන විට සටන් පෙරමුණට ආ බොහෝ එල්.ටී.ටී.ඊ. දක්‍ෂ සටන්කරුවන් මියගොස් ඇතිබව හමුදා ආරංචි මාර්ග පවසයි.
ඉතිරිව ඇති දක්‍ෂ සටන්කරුවන් සිය අවසන් සටන් සඳහා කිලිනොච්චියට කැදවන කොටි නායකත්වය දැන් දැන් සටන් සඳහා සිය කොටි කාන්තාවන් හා බලෙන් අවිපුහුණුව දුන් සාමාන්‍ය වැසියන්ද යොදවන බව වාර්තා වෙයි. මේ අතර කිලිනොච්චි දිස්ති‍්‍රක්කයට අවතීර්ණ වී සිටින බි‍්‍රගේඩියර් ශෂීන්ද්‍ර සිල්වා ගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය පසුගියදා මුලන්කාවිල් හා පල්ලවරායකඩ්ඩු ප‍්‍රදේශ වල කොටි බලය බිද දැමූහ.
මුලන්කාවිල් නගරය වෙල්ලන් කුලමට කි.මී. 9 ක් උතුරින් පිහිටි නගරයකි. ඒ 32 මාර්ගයේ පිහිටා ඇති මුලන්කාවිල් එල්.ටී.ටී.ඊ. යට ඉතා වැදගත් වෙයි. එය එල්.ටී.ටී. ඊ ය විසින් මහාවීර නගරය ලෙසද හඳුන්වනු ලබයි. ඊට හේතුව එල්.ටී.ටී.ය වසරක් පාසා සුප‍්‍රසිද්ධ මහාවීර සැමරුම පවත්වන්නේ මේ නගරයේ වීමය .
එමෙන්ම මෙය එල්.ටී.ටී. ඊ ය සතු පරිපාලන ස්ථානයකි. විශාල කී‍්‍රඩා පිට්ටනියක්, පාසල් විශාල රෝහලක් ඇතුළු රජයේ කාර්යාල බොහෝමයක් මෙහි පිහිටා ඇත. මන්නාරම හා කිලිනොච්චි ප‍්‍රදේශ වල ජනතාවට පහසුවෙන් එක් තැන් විය හැකි මෙන් විශාල එල්.ටී.ටී. ඊ සුසාන භූමියක් ද වෙයි.
තුනුක්කායි ප‍්‍රදේශයේ කිට්ටුවටම පැමිණ සිටින ආරක්‍ෂක හමුදා එහි දරුණු සටන්වල යෙදී සිටිති. 57 වන සේනාංක යේ සෙබළුන්ගේ ප‍්‍රහාර වලින් සිකුරාදා වනවිට කොටි 21 ට මරු කැදවා ඇත. හමුදාභටයො දෙදෙනෙක්ම මේ ගැටුම් වලදී මිය ගියහ.
ඉදිරියට යන හමුදාවන්ගේ සහාය පිණිස ගුවන් හමුදාව තුනුක්කායි ප‍්‍රදේශයේ කොටි ගරිල්ලන්ගේ ඉලක්ක හතරකට ප‍්‍රහාරක ජෙට් යානා මගින් ප‍්‍රහාර එල්ල කළේය. සෙබළුන්ගේ ප‍්‍රහාර හමුවේ තුනුක්කායි බලය රැක ගැනීමට එල්.ටී.ටී. ඊ ය ආරක්‍ෂක වෑයමක නිතර වන බව ආරංචි මාර්ග වලින් පැවසේ.
මුලන්කාවිල් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ කිලිනොච්චි නගරය ළඟට ඇති විශාල ම නගරය යි. ‘මුලන්කාවිල්’ අල්ලාගත් යුද හමුදා සෙබළුන්ට දැකගත හැකි වූයේ සුපුරුදු පරිදි එල්ටීටීඊ ය එහි ජන ජීවිතය විනාශ කොට ඇති අයුරුයි. එහි පාසල හා රජයේ ගොඩනැගිලි එල්ටීටීඊ ය තමන් ගේ ප‍්‍රයෝජනයට ගෙන තිබිණ. රෝහලේ වටිනා ඖෂධ වර්ග හා රෝහල් උපකරණ ද කොල්ල කා ගෙන ගොස් තිබූ අතර ඒවා මුළුමනින් ම එල්ටීටීඊ සාමාජිකයින් ගේ ප‍්‍රයෝජනයට ගෙන තිබිණ.
රජය අහිංසක සිවිල් වැසියන් ගේ ප‍්‍රයෝජනය සඳහා වෙන් කර තිබූ රජයේ දේපළ සියල්ල එල්ටීටීඊ ය කොල්ලකා තිබුණු අයුරු ඛේදජනකය. මෙය හමුදාව යටත් කරගත් සියලු ම එල්ටීටීඊ පාලන ප‍්‍රදේශවල දකින්නට ලැබුණු තත්ත්වයකි.
මියගිය ත‍්‍රස්තවාදීන් ගේ මළසිරුරු 5000 ක් පමණ භූමදානය කළ මුලන්කාවිල් හි විශාල සොහොන් බිම ද දැන් එල්ටීටීඊයට අහිමිය.
මැයි 20 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා වැළලූ කොටි මළ සිරුරු 500 ක් පමණ ද දක්නට ලැබිණ. මේ සටනේදී ත‍්‍රස්තවාදීන් 20 පමණ මිය ගිය බව හමුදා ආරංචි මාර්ග පවසයි.
එල්ටීටීඊය ක‍්‍රමයෙන් පරාජය වී පසුබසිද්දී ඔවුන් අත්පත් කරගෙන සිටි රෝහල්, සොහොන් පිටි ආදිය ද ඒ බලකොටු ද සමඟ ඔවුන්ට අහිමි වෙයි.
මෙසේ තව තවත් කිලිනොච්චි දෙසට හා මුලතිව් වනාන්තරයට පසු බැස යනවිට අන්තිමේදී ඔවුන්ට සිය මිය ගිය සගයන්ගේ සිරුරු වළදා ගැනීමට සොහොන් පිටියක්වත් ඉතිරි වෙන්නේ දැයි සැකයකි.
මෙසේ පාබල හමුදා ඉදිරියට යද්දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පාබල හමුදාවන්ගේ ගමන ඉක්මන් කිරීම උදෙසා ගුවනින් ත‍්‍රස්ත බලකොටු ඉලක්ක කොට බෝම්බ ප‍්‍රහාර එල්ල කරයි.
කිලිනොච්චි බලා යන 58 වන හා 57 වන සේනාංක ඉදිරියේ ඇති කොටි කඳවුරුවලට ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කරන්නේ නිකරුණේ නොවේ.
බුද්ධි අංශ මගින් සනාථ කරන තොරතුරු අනුව කොටි බල කඳවුරු ආයුධ ගබඩා, කළු කොටි පුහුණු කඳවුරු, වෙඩි පිටි මහ කොටියන් ගැවසෙන ස්ථාන, ගුවන් හමුදාවේ එම් අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර හා ප‍්‍රහාරක ජෙට් යානා බල ගණයේ ඉලක්ක වෙයි.
පසුගියදා ඉරණමඩු ප‍්‍රදේශයේ කළු කොටි පුහුණු මධ්‍යස්ථානයකටත් නයාරු මුහුදේ කොටි බෝට්ටු කඳවුරු ද ඉලක්ක කොට එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් එල්ටීටීඊයට බරපතළ හානි සිදු වූ බව රහසක් නොවේ.
මුලතිව් නගරයේ කොටි කඳවුරු වෙත එල්ල කළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය ගිය බව කොටි හිතවාදී වෙබ් අඩවිවල පළවී තිබිණ.
ඒ සඳහා මුලතිව් දිසාපතිපතිනිය කළ ප‍්‍රකාශයක කොටස් ද එක් විය. කොටි වෙබ් අඩවි මේ ප‍්‍රචාර ගෙනයන්නේ ආරක්ෂක හමුදා වෙත වරද පටවන්නට හා අන්තර්ජාතික වශයෙන් රජය අපකීර්තියට පත් කරවන්නට ය. එල්ටීටීඊ ය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස රඳවාගෙන සිටින බවත් යුද හමුදාව එ දෙසට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල නොකල බවත් හමුදාපතිවරයා පවසයි.
එමෙන් ම සාමාන්‍ය ජනතාව රැඳී සිටින්නේ ඉදිරි ආරක්ෂක වැටට කිලෝමීටර් 15 දුරින්. එ දෙසට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කරන එල්ටීටීඊ ය එ වරද හමුදාව මත පටවන්නට තැත් කරන බව ද යුද හමුදාපතිවරයා තවදුරටත් අවධාරණය කරයි.
මේ වනවිට කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කයන්හි කොටි බලය බොහෝ දුරට සීමා වී ඇති අතර ඒ ප‍්‍රදේශවල කොටු වී සිටින සාමාන්‍ය වැසියන් 200000 ක් පමණ වන බව ද ඉන් අවතැන්ව ඇත්තේ 30000 ක් පමණ බව ද හමුදාපතිවරයා අවධාරණය කරයි.
ඒ පිරිස් හමුදාව විසින් මුදාගත් රජයේ පාලන ප‍්‍රදේශ කරා පැමිණෙන්නේ නම් ඔවුන්ට ආහාර හා නවාතැන් දීමට රජය සූදානම් බව ද හමුදාපතිවරයා තවදුරටත් පවසයි.
එහෙත් එල්ටීටීඊය සිවිල් වැසියන්ට රජයේ පාලන ප‍්‍රදේශවලට එන්නට නොදී මඟ අහුරාගෙන ඔවුන් බලෙන් රඳවා ගෙන සිටියි.
මේ අතර තම ගුවන් ප‍්‍රහාරවලින් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු නොවූ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක පවසයි.
“අපි අපේ ප‍්‍රහාර එල්ල කරන්නේ භූමිය හොඳින් නිරීක්ෂණය කළ පසුවයි. අපි අපේ ඉලක්කය හරියටම ගන්නවා. ඒවායින් එල්ටීටීඊයට බරපතළ ලෙස හානි සිදුවෙනවා. ඔවුන්ට අවශ්‍ය මේ ගුවන් ප‍්‍රහාර නවත්වා ගන්නයි. ඔවුන් මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරන්නේ ඒ නිසයි.”
ගුවන් හමුදාපතිවරයා එසේ කියා ඇත්තේ ‘ඩේලිනිවුස්’ පුවත්පතට ය.
මේ වනවිට යුද හමුදාව ත‍්‍රස්තවාදීන් හා සටන් කරන ප‍්‍රදේශවල මහා මිනිස් ඝාතනයක් ඇතිවන තත්ත්වයක් නිර්මාණය කරන ලෙස කොටි නායකයා උපදෙස් දී ඇතැයි වන්නියේ මුදා නොගත් ප‍්‍රදේශවලින් එන විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසේ.
එම ආරංචි මාර්ගවලින් තවදුරටත් පැවසෙන පරිදි කිලිනොච්චි ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන ආයතන රජයේ කාර්යාලවල හා රෝහල්වල ඇති සියලුම වාහන සිවිල් වැසියන් සටන් පවතින ප‍්‍රදේශ කරා ප‍්‍රවාහනය කිරීම සඳහා බලෙන් ලබාගන්නා ලෙසත් කොටි නායකයා නියෝග කොට තිබේ.
“සටන් පවතින තුනුක්කායි මල්ලාවි හා වවුනිකුලම් බලා යාමට සූදානම් ව සිටින ලෙසත් කොටි කාඩරයත් සිවිල් ජනතාවට නියම කොට තියෙනවා. ඒ වගේ ම ඔවුන් ගේ ත‍්‍රස්ත කඳවුරු හැරදා යාමේ දී ඔවුන්ට සහාය වන ලෙසත් සිවිල් ජනතාවට අණ කොට තිබෙනවා.
කඳවුරු වල ඇති ආයුධ වෙඩිඋණ්ඩ හා අනෙක් යුද උපකරණ වෙනත් තැන්වලට ප‍්‍රවාහනය කිරිමටත් සූදානම් ව සිටින ලෙස ඔවුන් සිවිල් ජනතාවට පවසා තිබෙනවා.” එම ආරංචි මාර්ග දුන් පුද්ගලයින් කියන්නේ එසේ ය. මේ කි‍්‍රයාවන් ගේ අරමුණ වන්නේ සටන් පවතින ප‍්‍රදේශවලට සිවිල් ජනතාව බලෙන් ගෙන ගොස් මිනිස් ඝාතනයකට ඔවුන් යොමුකොට එහි වරද රජයේ හමුදාවන් පිට පවරා කොටි සංවිධාන එයින් ප‍්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීම බව වන්නි ආරංචි මාර්ග අවධාරණය කරයි.
මේ දෙමළ ප‍්‍රජාවගේ ගැලවුම්කරුවා යයි කියා ගන්නා ප‍්‍රභාකරන් තමන්ගේ ම වැසියන් බිල්ලට දී තම පණ රැකගන්නට ගන්නා උත්සාහයයි.
කෙසේ වෙතත් ඉදිරියට එන සටන වඩාත් දරුණු විය හැකි බව හමුදා නිලධාරීන්ගේ මතයයි. ඊට හේතුවන්නේ ඔවුන් තමන් සතු සියලු සම්පත් හා සියලු ශක්තීන් අවසන් සටනට යොදවන බැවිනි.
එහෙත් ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය මේ ඕනෑම තර්ජනයකට මුහුණපෑමට සූදානමින් සිටිති.
සිළුමිණ ඇසුරෙනි

පිටරට NGO කොටින්ට පිටුපායි මුදල් හිඟයෙන් කොටි අලි අමාරුවේ

විජයානි එදිරිසිංහ
කොටි සංවිධානයට උදව් කළ රාජ්‍ය නොවන සංවිධාන 12 ක් එම සංවිධානයට උදව් කිරීම දැන් මඟ හරිමින් සිටින බවට තොරතුරු ලැබී ඇත. නැඟෙනහිර බලය අහිමි වූ කොටි සංවිධානයට උතුරේ බලය ද අහිමි වෙමින් යන බව පැහැදිලිව පෙනී යන බැවින් එම සංවිධානයට උදව් උපකාර කළ ජාත්‍යන්තර සංවිධාන මෙසේ මඟහරිමින් සිටින බව ජාත්‍යන්තර බුද්ධි තොරතුරුවලින් මෙරට බුද්ධි අංශවලට දැනගැනීමට ලැබී තිබේ.
උතුරු නැඟෙනහිර ප‍්‍රදේශවල බලය පැවැති කාලයේ කොටි සංවිධානයට අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන විස්සකින් පමණ උදව් ලැබී ඇත. ඔවුන් නැඟෙනහිර පළාතේ සහ උතුරේ කොටි සංවිධාන කටයුතු වැඩි ප‍්‍රමාණයක් කරගෙන ගොස් තිබුණේ එම රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබෙන ආධාරවලිනි. කොටි සංවිධානය සතුව තිබූ වාහන, සන්නිවේදන උපකරණ, දුරකථන, පහසුකම් ඇතුළු නවීන තාක්‍ෂණය ඔස්සේ ලැබී තිබූ බොහෝ දේවල් ලබාගැනීමට රාජ්‍ය නොවන සංවිධානවලින් සහාය ලැබී තිබුණි.
මූල්‍යමය වශයෙන්ද බොහෝ ද්‍රව්‍ය ඇතුළු වෛද්‍ය පහසුකම් ද එම රාජ්‍ය නොවන සංවිධානවලින් කොටි සංවිධානයට ලැබී තිබුණු බව මෙරට බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබිණි.
අන්තර් ජාතික වශයෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක සාමාජිකත්වය ලබාගත් සංගම් ගණනාවක්ද මෙරට සිටී. ඔවුන් සෘජුවම නැතත් වක‍්‍රාකාරව හෝ සංවිධානයට උදව් කරන බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ඒ සඳහා මෙම සංගම්වලට ඩොලර් මිලියන ගණනින් උදව් කර තිබේ.
විදේශීය රටවල සිටින කොටි සාමාජිකයන්ද අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවලින් උදව් ලැබීම අඩුවී ඇති බව කොටි සංවිධානයට දැනුම් දී ඇත.
නැඟෙනහිර පළාතේ කොටි බලය අහිමි වූ කොටි සංවිධානයට උතුරේ ද විශාල පරාජයකට මුහුණ දෙමින් සිටින නිසා රාජ්‍ය නොවන සංවිධාන තවදුරටත් කොටි සංවිධානයට උදව් දීමෙන් පළක් නොමැති බව තේරුම් ගෙන මෙසේ මඟහරිමින් සිටිනු ඇතැයි බුද්ධි අංශ විශ්වාස කරයි.
එම රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර නොලැබීම නිසා මෙරට තිබෙන සංගම්වලටද විශාල මූල්‍ය හිඟයකට මුහුණ පෑමට සිදුවී ඇත.

නන්දිමිත‍්‍ර ශී‍්‍රලනිපයට

හිටපු කැබිනට් ඇමැතිවරයකු හා මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයකු වූ නන්දිමිත‍්‍ර ඒකනායක මහතා රජය සමඟ එක්වෙයි. පසුගිය 17 වැනි දින මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවෙන් පසු තමා රජය සමඟ එක්වීමට තීරණය කළ බව ඒකනායක මහතා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රුවන්වැල්ලේ පැවැති ජනතා රැලියේදී ජනතාව ඇමතීමටද ඔහු අදහස් කර ඇත. වර්ෂ 1983 මාතලේ මහ නගරසභාවෙන් දේශපාලන ජීවිතය ආරම්භ කළ ඒකනායක මහතා 1989 දී පැවැත්වූ මහ මැතිවරණයේදී ශී‍්‍ර. ල. නි. ප. යෙන් මාතලේ දිසාවෙන් තේරීපත්වූ එකම මන්තී‍්‍රවරයා ද වේ.
1994 දී පැවැත්වූ මහ මැතිවරණයෙන් මාතලේ දිසාවට තරග කර ජය ලැබූ ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජයේ ප‍්‍රවාහන - මහාමාර්ග හා වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
1995 දී ඉඩම් හා වනසම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඒකනායක මහතා 1996 දී වනසම්පත් හා පාරිසරික කටයුතු කැබිනට් අමාත්‍යවරයා වූයේය. 2000 මැතිණරණයේ දී මාතලේ දිසාවට තරග කර ජයග‍්‍රහණය කළ ඒ මහතා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2001 දී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ ඇතිවූ දේශපාලන අමනාපය නිසා ශී‍්‍ර. ල. නි. පයෙන් ඉවත්වී එ. ජා. ප. සමඟ එක්විය

විප්ලවවාදී අපූරු මිනිසා ඇන්. ඇම්

ලංකා සමසමාජ පක්ෂය ප‍්‍රථම දේශපාලන සංවිධානයයි. ඇන්. ඇම්. පෙරේරා සමාරම්භක සාමාජිකයෙකි. ‘සම සමාජයෙන්’ තොරව ඇන්. ඇම්. ගැන කථා කළ නොහැකිය. ඔහු හා පක්ෂය අතර ඇත්තේ එකින් එක වෙන් කළ නොහැකි සම්බන්ධයකි.
නානායක්කාර පතිරගේ මාවින් පෙරේරා යන්න ඔහුගේ් සම්පූර්ණ නාමයයි. පියා නානායක්කාර පතිරගේ ඒබ‍්‍රහම් පෙරේරාය. රනවලගේ ජොහානා පෙරේරා මව වේ. සිය මාපියන්ට දාව 1905 ජූනි 06 දින ඇන්. ඇම්. මෙලොව එලිය දුටුවේය.
සාමාන්‍ය පවුලක උපන් ඔහු අධ්‍යාපනය ලැබීමේ භාග්‍ය වන්තයෙකු විය. කොළඹ ශාන්ත ජෝෂප් ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ ආනන්ද යන විද්‍යාවලින් සිප්සතර හදාරනු ලැබිනි. පාසල් සමයේ ශිෂ්‍ය නායකයෙකු මෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුද විය. ඇන්. ඇම්. උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේදීය. ඩී. ඇස්. සී. හා පී. එච්. ඩී. යන උපාධි ඔහු හිමිකර ගත්තේය. මේ නිසා ඔහුට ඇතැම්මු ‘ඩබල් ඩොක්ටර්’ යන නාමයෙන් ඇමතූහ. ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යාපනයේ එක් අංගයක් වූයේ ‘පාර්ලිමේන්තු’ ක‍්‍රමයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මුණගැසුණු මහාචාර්ය හැරල්ඩ් ලෑස්ති නිසා ඇන්. ඇම්. සමාජවාදියෙක් විය.
මෙරටට පැමිණි ඇන්. ඇම්. ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක් භාර ගත්තේය. අර්ථ ශාස්ත‍්‍ර පීඨාධිපති තනතුරක් ඇතිකරන ලෙස ඉල්ලා සටන් කළේය. එයට විරෝධය දක්වන ලද්දේ අධිරාජ්‍යවාදී ගැත්තකු වු ආචාර්ය මාස්ය. මේ වනවිට සූරියමල් ව්‍යාපාරය ඔස්සේ අධිරාජ්‍ය විරෝධී පන්නරයක් ඇන්. ඇම්. ප‍්‍රමුඛ තරුණ පිරිස ලබා සිටියහ. ඒ ඔස්සේ 1935 දෙසැම්බර් 17 දින ‘ලංකා සමසමාජ පක්ෂය’ පිහිටවනු ලැබීය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ඩොරික් ද සුසා, එස්. ඒ. වික‍්‍රමසිංහ යන තරුණ විප්ලවාදියෝ පක්ෂයේ සමාරම්භක සමකාලියෝ වූහ.
මෙසමයෙහි ප‍්‍රභූවරුන් රැස්වීම් ඇමතුවේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. 1934 දී ගෝනපල්දෙනියේ ගොවි රැස්වීමක් ඇන්. ඇම්. සිංහලෙන් ඇමතීය. සිංහල ප‍්‍රජාව අතරේ විශාල ප‍්‍රසාදයක් ඇතිවිය. මැලේරියා වසංගතයට ලක්වූ ජනතාවට සත්කාර කිරීමට ඇන්. ඇම්. තුන් කෝරළයට පැමිණියේය. ඔහු සමඟ දොස්තර වික‍්‍රමසිංහ හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි උගත්තු වූහ. රෝගීන්ට ඖෂධ මෙන්ම ආහාර සඳහා පරිප්පු බෙදන ලදි. මේ නිසා ඇන්. ඇම්. ට ‘පරිප්පු මහත්තයා’ යන ආදර නාමය පටබැදුණි.
ඇන්. ඇම්. ‘සමසමාජය’ සමාරම්භයේදී ප‍්‍රධාන කරුණු දෙකක් සමාජගත කෙළේය.
ඒ ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම සහ සමාජවාදී සමාජයක් සඳහා කි‍්‍රයාත්මකවීමයි.
පූර්ණ නිදහස ඉල්ලා සිටීම රදල ක‍්‍රම්පදෝරු පන්තියට ඉවසා දරාගත නොහැකිවුණි. ඔවුන් අපේක්ෂා කලේ බි‍්‍රතාන්‍ය හා සහජීවනයෙන් පැවතිය හැකි දෙවෙනි රාජ්‍යයකි. ඇන්. ඇම්. ගේ පූර්ණ නිදහස් අරගලය ජනතාවට ආකර්ෂනීය සටන්පාඨයක් විය.
1936 දෙවන රාජ්‍ය තන්ත‍්‍රණ සභා මැතිවරණය සඳහා ඇන්. ඇම්. ඉදිරිපත් විය. සමසමාජ නායකයා රුවන්වැල්ල ජයගත්තේය. රදළකුල බලවන්නියක් වූ මොළමුරේ කුමාරිහාමි පරාජය වුණි. පැරන්නන් පවසන්නේ මෙය යුද්ධ ජයග‍්‍රහණයක් බඳු වු බවය. කෙසේ වෙතත් ඇන්. ඇම්. ගේ දිනුම පීඩිත ජනතාවට විජයග‍්‍රහණයකි.
ඇන්. ඇම්. ගේ විප්ලවීය ජීව ස්වභාවය අපූරුය. ඔහු තුළ ගැඹුරු මනාව භක්තියක් පිරී තිබුණි. සියලු අභියෝග හමුවේ පැවැති අචලභාවය ආදර්ශමත්ය. ඔහුගේ පරාර්ථ චර්යාවෙන් සමාජය ඒකාලෝක වුණි. මහා මානුෂ්‍ය ගුණයෙන් පිරී උත්තම පිරි උත්තම පුරුෂයෙකු විය.
1940 දී අධිරාජ්‍යවාදී ආණ්ඩුව ඇන්. ඇම්. හිරභාරයට ගත්තේය. කොල්වින්, පිලිප් හා එඩ්මන් සමරක්කොඩිද සිරගත වූහ. 1942 දී සිය දේශපාලන සගයන් සමඟ සිරෙන් පැන ඉන්දියාවට පලා ගියේය. යලි 1943 දී අත්අඩංගුවට පත් ඇන්. ඇම්. ප‍්‍රමුඛ පිරිස 1945 දක්වා හිරබත් කෑහ. ඔහු පූර්ණ නිදහසින් මෙහා කිසිවක් බලාපොරොත්තු නොවුනි. එය ‘සමසමාජයේ’ අනන්‍යතාවයයි. සිරගතව සිටියේදී, ශ‍්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ඇයි” යනුවෙන් ග‍්‍රන්ථයක් ලියනු ලැබීය.
හාල් සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමට එරෙහිව 1953 අගෝස්තු 12 හර්තාලය මෙහෙයවන ලදි. මෙහි අභීත සෙන්පතිවරයා වූයේ ඇන්. ඇම්. ය. එවක ප‍්‍රබල වූ එ.ජා.ප. ආණ්ඩුවේ පරාජය ඇරඹුණි. ‘සමසමාජය’ මෙහෙය වූ අරගලයට පිලිප් ගුණවර්ධන මහතාගේ සහ කොමියුනිස්ට් පක්ෂයේ සහය ලැබුණි.
1946 – 1947 කාලයෙහි ඇන්. ඇම්. ගේ නායකත්වයෙන් මහා වැඩවර්ජන පෙළක් මෙහෙයවන ලදි. රජයේ අනිසි නියෝග මායිම් නොකළේය. එය ඔහුගේ උදාර විප්ලවීය ජීවිතයේ ලක්ෂණයක් වේ. මෙම සටන්වලදී ;පාලිසිය සමඟ හැප්පීමට සිදුවිය. වරක් පොලිස් වෙඩි පහරින් ඇන්. ඇම්. බේරුනේ දසමයෙනි. එහෙත් ඒ වෙනුවෙන් කන්දසාමි ජීවිතය පුදනු ලැබීය.
1964 දී සභාග පෙරමුණු දේශපාලනය කරලියට පැමිණියේය. එය මල්ඵල ගැනුනේ 1970 ‘සමගි පෙරමුණ’ ආණ්ඩු බලය ලබා ගැනීමෙනි. මුදල් ඇමැති වූ ඇන්. ඇම්. ධනපතියන් සමඟ සටන් වැදුනේය. ජනතාවට නානාවිධ සහන, වරප‍්‍රසාද රැසක් ලබාදෙමින් රට සංවර්ධනය කරන ලදි. දේශීය හා විදේශීය සතුරු බලවේගයන්ට මුහුණ දුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සටන් කරමින් මෙරට ආර්ථිකය සුරක්ෂිත කෙරීය. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණකරුවෝ එහි වටිනාකම ජනතාවට තේරුම් ගැනීමට ඉඩ තැබුවේ නැත.
වර්ෂ 1952 දී ‘අයවර් ජෙනිස්’ කළ ප‍්‍රකාශයක් මෙසේය. “..... ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඉතා දක්ෂ පාර්ලිමේන්තුවාදියෙකි. ඔහුට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක විශිෂ්ටම අගමැතිවරයෙකු විය හැකිය.” එම උදාන වාක්‍ය සඵල කර ගැනීමට ලාංකික ජනතාව වාසනාවන්ත වූයේ නැත. 1977 පාර්ලිමේන්තු සටනින් ඔහු පරාජයට පත්විය. යළි පක්ෂය ප‍්‍රතිසංවිධානය කරමින් නව දිශාවකට දේශපාලනය මෙහෙයවන ලදි.
ජයග‍්‍රහණයේදී උදම් නොවුවා සේම පරාජයේදී සැලුනේද නැත. ඔහු මිය යන තෙක්ම පොදුජන උන්නතිය උදෙසා සටන් වැදුනේය. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා මිය ගොස් වසර විසි නවයකි. එහෙත් ඔහු ඉදිරිපත් කළ දේශපාලන දර්ශනය නොනැසී පවතියි. එයින් ප‍්‍රයෝජන ගැනීම හෝ නොගැනීම ජනතාව සතුය.
වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල්

ප‍්‍රථම එක්දින තරගයෙන් ශී‍්‍ර ලංකාවට පහසු ජයක් ශී‍්‍ර ලංකා පන්දු බළඇණිය ඉන්දියාව අසරණ කරයි

වර්නන් ගුණසේකර දඹුල්ලේ සිට... අජන්ත මෙන්ඩිස්ගේ දඟ පන්දුවකට ඉන්දීය පිතිකරු යුවරාජ් සිං ගොදුරුවීමෙන් අනතුරුවශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර රංගිරි දඹල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති පළමු ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරඟයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලු 8 ක පහසු ජයක් හිමිවිය. ලකුණු 147 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකාව ඕවර 15 ක් හා තවත් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය ජය ගැනිමට සමත් විය. නායක මහේල ජයවර්ධන හා චාමර කපුගෙදර පිළිවෙලින් ලකුණු 61 ක් හා 45 ක් නොදැවී ලබා ගනිමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක නොබිදුනු සබඳතාවයක් වාර්තා කළහ. ජයවර්ධන හතරේ පහර 7 ක්ද කපුගෙදර හතරේ පහර 4 ක්ද එල්ල කළහ. ශී‍්‍ර ලංකාව ඉනිමේ හරි අඩක් නිමා වන විට කඩුලු 2 ක පමණක් දැවී ලකුණු 103 ක් රැස් කර ගෙන සිටියේය. ඉන්දියාව ඔවුන්ගේ පළමු ඕවර 25 අවසානයේ වාර්තා කොට තිබුනේ කඩුලු 5 ට ලකුණු 87 කි. ඕවර 20 ක් අවසානයේ දෙපිලම ලකුණු 74 ක් සටහන් කර තිබුනද ඒ වන විට ඉන්දියාවේ කඩුලු 4 ක් බිද වැටි තිබුනු අතර ශි‍්‍ර ලංකාවට අහිමව තිබුනේ කඩුුලු 2 ක් පමණි. ඕවරයකට ලකුණු 2.94 ක් ජයග‍්‍රාහි වේගයක් රඳවා ගෙන යා යුතුව තිබු ශී‍්‍ර ලංකා පිල ඉනිම ආරම්භයේ සිටම ඕවරයකට ලකුණු 3 කට වැඩි වේගයක් පවත්වා ගෙන ගියේය. ආක‍්‍රමණශීලී පිතිකරු සනත් ජයසුරියට ඊයේ ලබා ගත හැකි වුයේ ලකුණු 10 ක් පමණි. 7 වැනි ඕවරයේ මුනාෆ් පටෙල් ගේ පන්දුවකට ඔහු ලොන්ග් ඕන් හරහා හයේ පහරක් එල්ල කිරිමට ගත් උත්සාහය වැරදි එක තැන ඉහළට ගිය පන්දුව ඉදිරි තරග විනිසුරු අසලදී ඉර්ෆාන් පතන් රැක ගත්තේය. කුමාර් සංගක්කාර පන්දු 41 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් එල්ල කොට පටෙල්ගේ පන්දුවකට ඔහුටම උඩ පන්දුවක් දෙමින් ලකුණු 19 කට දැවී ගියේය. ලකුණු 21 ට කඩුලු 3 ක් බිදහෙලූ අජන්ත මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාව තීරණය කළද ඔවුන්ගේ පිතිකරණය අසාර්ථක වෙමින් සියළුම කී‍්‍රඩකයෝ ඕවර 46 ක් තුළදී ලකුණු 146 කට දැවී ගියහ. ශි‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ප‍්‍රබල අභියෝගයකට මුහුණ දීමට සිදුවු ඉන්දියානුවන්ගේ මුල් පෙල කඩුලු ති‍්‍රත්වය චමින්ද වාස් හා නුවන් කුලසේකරගේ වේග පන්දු ප‍්‍රහාරයට ගොදුරු වු අතර මැද පෙල හා අග පෙල මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස්ගේ දඟ පන්දු හමුවේ බිඳ වැටිණි. මෙන්ඩිස් ලකුණු 21 කට කඩුලු 3 ක්ද මුරලිදරන් ලකුණු 37 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූහ. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වුයේ යුවරාජ් සිංය. ලකුණු 5 ක් ලබාගෙන සිටියදී කුලසේකරගේ පන්දුවකට දුන් උඩ පන්දුව දෙවන ‘ස්ලිප්’ හි මහේල ජයවර්ධන අත හැරිම නිසා දැවී යාමෙන් බේරුණු ඔහු අවසානයේ ලකුණු 23 කට දැවී ගියේය. පන්දු 30 කට මුහුණ දුන් යුවරාජ් හතරේ පහර 2 ක් හා හයේ පහරක් එල්ල කලේය. මෙන්ඩිස්ගේ තෙවන පන්දුවට ලෝන්ග් ඔන් හරහා හයේ පහරක් එල්ල කළ ඔහු ඊළඟ පන්දුව කෙළින්ම කඩල්ලේ වැදිමෙන් දැවී ගියේය. ඉන්දියානු ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය සෑම විටම පාහේ ලකුණු 3 කට අඩුවෙන් තබා ගැනීමට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෝ සමත් වූහ. පළමු ඕවර 12 අවසන් වන විට ඉන්දියාව පිලේ පළමු කඩුලු 3 ලකුණු 36 කට බිඳ වැටී තිබිණි. පෙරේදා පුහුණුවීම් වලදි පාදයේ ආබාධයකට ලක්වීම නිසා විරේන්ද්‍ර සෙවාග් ඊයේ තරගයට සහභාගි නොවු අතර ඒ වෙනුවට කී‍්‍රඩා කළ විරාට් කෝලි (12) හටද සාර්ථක ඉනිමක නියැලීමට නොහැකි විය. ආක‍්‍රමණශීලී පිතිකරුවකු ලෙසින් සැලකෙන කෝලි මේ වසරේ වයස 19 න් පහළ ලෝක සූරතාව දිනු ඉන්දියා පිලේ නායකයා විය. ඉන්දියා ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට ඔවුන්ගේ කඩුලු 5 ක් ලකුණු 87 කට බිඳ වැටි තිබිණි. 5 වැනි කඩුල්ල ලෙසින් දැවී ගිය රෝහිත් ෂර්මා දෙවැනියට වැඩිම ලකුණු රැස් කළ කී‍්‍රඩකයා වෙමින් හතරේ පහරක් හා හයේ පහරක් සමග ලකුණු 19 ක් ලබා ගත්තේය. ඔහු මේ ලකුණු 19 ලබා ගැනීමට පන්දු 31 කට මුහුණ දුන්නේය. ඉන්දියා පිලේ මුළු ලකුණු 100 වාර්තා වූයේ 35 වැනි ඕවරයේදිය. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 7 ක් බිඳ වැටී තිබිණි. ඉන්දියා පිලේ අග පිතිකරු යුගලය වු ප‍්‍රග්‍යාත් ඔජා සහ මුනාෆ් පටෙල් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 29 ක් එක් කළහ.

Friday, August 15, 2008

අවසන් රන්දෝලි පෙරහර හෙට


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන හෙට (16) වීදි සංචාරය කිරීමට නියමිතය.

අධි ආරක්ෂක කලාපයට ඇතුළුවීමටතැත් කළ සරසවි පා ගමනට ජල ප‍්‍රහාර

දයා පෙරේරා
පා ගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සරසවි සිසුන් කොළඹ කොල්ලුපිටිය මංසන්ධියේ දී අධි ආරක්ෂක කලාපයට ඇතුළුවීමට උත්සාහ කිරීම නිසා කඳුළුගෑස් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට සිදුවූ බව පොලීසිය කියයි.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට ඊයේ දහවල් 2.00 ට ආරම්භ වූ පාගමන කොල්ලුපිටිය මංසන්ධියට පැමිණෙන විට සවස 5.30 ට පමණ විය.
මෙහිදී සිසුන්ගේ ගල් පහරක් වැදීම නිසා තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයෙක් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප‍්‍රකාශකයෙක් කීවේය.
විශ්ව විද්‍යාල සිසුන්ගේ ගැටලු විසදන ලෙසත් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා ජනාධිපතිතුමාට බාරදීමට සංදේශයක් රැගෙන සෑම විශ්ව විද්‍යාලයක්ම නියෝජනය වන පරිදි සිසුන් පාගමනින් පැමිණි බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයෝ පැවසූහ.
මිනී පෙට්ටි දෙකක් ද රැගෙන හයිලෙවල් පාර දිගේ පැමිණි පාගමන නිසා පැය තුනක පමණ කාලයක් එහි වාහන ගමනාගමනයට ඇති වූ අවහිරතාව නිසා ජනතාව මහත් පීඩාවට පත්ව සිටියහ

කොටි මර්මස්ථාන 4කට ගුවනින් ප‍්‍රහාර

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් තුනුක්කායි ප‍්‍රදේශයට කිලෝ මීටරයක් පමණ නැඟෙනහිරින් පිහිටි කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ස්ථාන හතරකට ගුවන් හමුදාව ප‍්‍රහාරක ජෙට් යානා මගින් ඊයේ (14) පහරදී තිබේ.
ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින 57 වැනි බළ සේනාංකයේ භට පිරිස්වලට සහායවීම සඳහා මෙම ප‍්‍රහාර එල්ල කැර ඇතැයි ගුවන් හමුදාව පවසයි.
මෙසේ ප‍්‍රහාරයට ලක්වූ ස්ථානවල සිට ත‍්‍රස්තවාදී කණ්ඩායම් පාබල හමුදා භට පිරිස් වෙත පහරදීම් සිදුකරන බව හෙළිවීමෙන් පසු ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කර එම ස්ථාන විනාශ කැර ඇත. නිවැරැදි ඉලක්ක වෙත මෙම ප‍්‍රහාර එල්ල කළ බව සනාථ වී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කොමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය.

කෙහෙළිය ඇමැතිතුමා ඝාතනයට අපි කිහිප වතාවක් සැලසුම් කළා - මාතලේ දී කොටු වූ කොටි පොලිසියට කියති

විජයානි එදිරිසිංහ
මාතලේදී ඉකුත්දා අත්අඩංගුවට ගත් කොටි කණ්ඩායම මහනුවර ප‍්‍රදේශයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමට කිහිප වතාවක් උත්සාහ දරා ඇතැයි ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
එම සැලැසුම් කි‍්‍රයාත්මක කිරීමට පැමිණි කොටි බෝම්බ උපදේශකයකු ඇතුළු පිරිස මීට මාස ගණනාවකට පෙර කිලිනොච්චියට ගොස් ඇති බවත් අනාවරණය විය. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොයි මොහොතේ හෝ ඝාතනය කිරීම මෙම කොටි කණ්ඩායමට පැවරී තිබූ ප‍්‍රබලම කර්තව්‍යයක් වී ඇත.
ඊට අමතරව මෙම කොටි කණ්ඩායමේ ප‍්‍රථම අපරාධය දිගනදී 2006 වසරේදී විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් සෙනෙවිරත්න මහතා ඝාතනය කිරීමේ සිද්ධිය බවත් හෙළිවී තිබේ.
ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මහනුවරට පැමිණෙන රජයේ ප‍්‍රභූවරුන් ආරක්ෂක ප‍්‍රධානීන් ඝාතනය කිරීමට ද සැලැසුම් සකස් කැර තිබිණි.
මහනුවර ප‍්‍රදේශය පුරා වරින් වර සැරිසරමින් ඒ සඳහා ඔත්තු බැලීමට කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඔත්තුකරුවන් යොදවා තිබී ඇත. වතුකරයේ කොටි සාමාජිකයන්ගේ සහාය ලබාගෙන තිබෙන්නේ උතුරේ සිට පැමිණි එම කොටි කණ්ඩායමකි.
කොටි ත‍්‍රස්තවාදීන් මහනුවර ප‍්‍රදේශයේදී සිදුකිරීමට සැලැසුම් කර ඇති විවිධ අපරාධවලට සම්බන්ධව තොරතුරු බුද්ධි අංශ මගින් අදාළ ආරක්ෂක අංශවලට දැනුම් දීමෙන් අනතුරුව ඊට සැක කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස මහනුවර ප‍්‍රදේශයට පත්ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මීට වසරකට පමණ පෙර විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා තිබිණි.
මෙම පොලිස් කණ්ඩායම් යෙදවීම සම්බන්ධව කොටි ත‍්‍රස්තවාදීන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු කිලිනොච්චියේ සිට පැමිණි කණ්ඩායම ආපසු පලා ගිය බවත් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.
මෙම කොටි කණ්ඩායම සිදුකිරීමට සැලැසුම් කර තිබූ තවත් අපරාධ ගණනාවක තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බවත් පරීක්ෂණ අංශ සඳහන් කරයි.
රඳවා ගැනීමේ නියෝග යටතේ තවදුරටත් මොවුන්ගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.

අපේ අය කවි ලියන්නේ සමාජය වෙනස් කරන්න- ඊ. එම්. ඩී. උපාලි

"මට ධ්‍යානගතවෙලා කවි ලියන්න වෙලාවක් තිබුණේ නෑ"
ඔහු දුවමින් කවි ලියන මිනිසෙකි.
"මට කවි ලියන්න තැනක් වෙලාවක් නෑ. මහ රෑ නින්දෙන් නැඟිටලා කවි ලියනවා. වාහනේ ඉඳගෙනත් කවි ලියනවා."
"කර්තෘ අඥානයි" කවි පොත් උපත ලබන්නේ ඒ ආකාරයෙනි.
"කර්තෘ අඥාන මගෙ දෙවැනි එකීළපැටි විය ගසා බසාදොර මුල්ලට උනේ අදයි"
ඔහුගේ කර්තෘ අඥාතයි කවි පොතේ එසේ සටහන් වී තිබිණි. ගණිකාවකගේ ජීවිතය දෙස සානුකම්පිත බැල්මක් හෙළන ඔහු, ඇයට ගොදුරු කරගන්නවුන් දෙස හෙළන්නේ දැඩි විරෝධයකි.
කර්තෘ අඥාතයි කවි පොතට උපත ලබා දෙන්නේ මේ දක්වා ම නාට්‍ය නිෂ්පාදකයකුª ලෙස අප හඳුනාගත් ඊ. එම්. ඩී. උපාලි ය. මෙතනින් මාරුවෙනු, පියාඹන අස්සයා, එව බලව, චර පුරෂ, වන තාරාවි ආදී සම්මානයට පාත‍්‍ර වූ නාට්‍ය රැසක නිෂ්පාදනයට පාත‍්‍ර වූ නාට්‍ය රැසක නිෂ්පාදනය ඔහු ය.
විවිධාකාර කාව්‍ය ආකෘති භාවිත කරමින් ඔහු කියන්නට උත්සාහ ගන්නා තේමා රැසකි. විටෙක ඔහු සමාජ අසාධාරණයක් හමුවේ තම කවිය කඟපතක් කරගනී.
තවත් විටෙක සොබා දහම් සෞන්දර්ය විඳින්නෙකි. විටෙක මවට බැදි ස්නේහය කියාපෑමට යත්න දරන්නේ ය. ඉතිහාසගත ශෝචනීය සිදුවීමක බරපතලකම කියාපාන්නට ඔහු දැරූ මේ උත්සාහය අපූරු ය. "පෙ‍්‍රාමිනියස් ගඩපි" නමින් ඔහු තම කවියට මැයක් යොදයි.
කොකේසස්ගිරි බෙයෙදේගිජු ලිහිණින්අක්මාව අමුවෙන් මකා දමද්දීත්මා හදේ ඇවිලුණේ නැමෙහෙම ගින්දරයක්83 ජූලි මාසේ තරම්
වචන විවිධාකාර ලෙස ස්ථානගත කරමින් විවිධ ආකෘති ඔස්සේ ඔහු තම ප‍්‍රකාශණ ඉදිරිපත් කරයි. ඔහු ඒ පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවකි.
"චිත‍්‍ර ශිල්පියෝ එක් එක් වස්තූූන් තැන් තැන් වල තබමින් විවිධ අරුත් මතු කරනවා. අකුරුවලින් ඒ දේ කරන්න පුළුවන් ද කියලා මට හිතුණා. වචන තැන් තැන්වල තියලා මම කරපු මේ දේ කවියක් ද නැද්ද කියන්න මම දන්නේ නෑ. මගේ අදහස් ප‍්‍රකාශ කරන්න මම ඒක යොදා ගත්තා.
පිටසක්වළ ජීවින් නමැති කවිය ඔහු යොදා ගන්නේ යුද්ධය පිළිබඳ ඔහුගේ ආකල්පය හුවා දැක්වීමට ය. එහි වූ මේ පදපේලි තුළින් ඔහු පවසන දේ අපූරු යි.
"සෙත් පිරිත් හුය බැඳුණුමල් පිදූ අතින් ගිනි අවි රැගෙනයුද්ධානුස්සති භාවනාවෙන් සිත එකඟකොට"
ඔහු නිදහසේ තම කවියට ගලා යාමට ඉඩ සලසා ඇත්තේ ය. කවිය පිළිබඳ ඔහු කිසිඳු සීමාවකට, වාරණයකට කොටු වී නැත.
"කවිය නිදහස් වෙන්න ඕන. මට ඒ ගැන නිර්දේශ නෑ. අපේ අය කවි ලියන්නේ සමාජය වෙනස් කරන්න ඕන කියලා හිතාගෙන. සමහරු ගුරු කුලපිලට කොටු වෙලා කවි ලියනවා. කවි ලිවිය යුත්තේ එක් එක් සීමාවන්ට කොටු වෙලා නෙමෙයි. නමුත් අද අපේ තරුණ පිරිස් කවි ලියන්නේ ස්වයං වාරණයක් කරගෙන. මට නම් කවි ලියන්න ගුරු කුළ නෑ. ගුරුවරුන් නෑ."
කවිය පිළිබඳ තවත් විටෙක ඔහුගේ ආකල්පය මෙවැන්නකි.
"කවි ලියන එක අමාරුයි. මම කොතනින් දණ බිම ඇනගෙන ද දන්නේ නෑ. කවිය කියන්නේ පෙරේතකමින් . වචන භාවිත කරලා කරන්න ඕන දෙයක්.
ඔහු පෙම්බැඳ තිබුණේ කවියට පමණක් නොවේ. ඔහු සිය තරුණ වියේ සිට ම නෝරාට ද පෙම් බැන්දේ ය. එහෙත් නෝරාට බැඳි ඔහුගේ පෙ‍්‍ර්මය කාලයක් තිස්සේ ම ඔහුගේ හදවතේ නිදන්ගතව තිබුනි. නෝරාට බැඳි ඔහුගේ පෙම කළ එළි බසින්නේ ඔහුට පනස්වැනි විය සපිරුණු මොහොතක ය.
"මම නෝරාගේ ඇත්මවී මගේ හද බසට පෙරළීමි" ඔහු තෙපළයි.
හෙන්රික් ඉබ්සන්ගේ "ඒ Doll's House " නාට්‍ය "බෝනික්කිගෙ සෙල්ලං ගේ" නමින් ඔහු සිංහලයට පරිවර්තනය කරන්නේ ඔහු තුල නෝරාට බැඳි පෙ‍්‍ර්මය නිසාවෙනි.
"මගේ වචන නෝරාගේ මුවට නගන්නේ මම නෝරාට වැඩියෙන් ආදරය කරපු කෙනෙක් විදිහට මේක පරිවර්තනය කරන තවත් කෙනෙක් මෙහි සමාජ අර්ථය මූලික කරගන්න පුළුවන්. ඒත් මම මූලික කර ගත්තේ නෝරා. එහෙම වෙනස් අර්ථ කථන බිහි වෙන එක හොඳයි. මගේ හිතේ නෝරා ගැන චිත‍්‍රයක් තිබුණා. මම මේක පරිවර්තනය කළේ ඒ නිස යි. මහ නෝරා ගැන සංවාදයක යෙදෙන්න න වුණා.
එහෙම නැතිව මෙහි හතරවැනි පරිවර්තනය මම කළා කියලා වාර්තා තියන්න මට ඕන වුණේ නෑ. මම කළේ ඉබිසන් හරහා නෝරා ගැන ගනුදෙනුවක් කිරීම යි. මොකද ස්ති‍්‍රයට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැරි තත්ත්වයක් පැවැති, දේශපාලනය, පල්ලිය, අධ්‍යාපනය හා වෙනත් සමාජ ආයතන ස්ති‍්‍රය නිහඩ කරලා තිබුණු වෙලාවක ඒ පිළිබඳව ඇය මුලින් ම කෑ හමුවේ ඉබ්සන්ගේ කට හඩින්."
බෝනික්කිගෙ සෙල්ලං ගෙයින් නොනැවතුණු ඔහු ප‍්‍රවිශ්ට වන්නේ නවකතා මාධ්‍යයට ය. ඒ ඔහුගේ "ළය විරේකය" නවකතාව තුළිණි. 2004 වසරේ ඩී. ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානයේ දී මෙහි අත්පිටපතට කුසලතා සහතිකයක් හිමි විය. ඔහු එම අත්පිටපත තවදුරටත් සංවර්ධනය කර මුද්‍රණයෙන් එළි දක්වයි.
"මේ නවකතාව ළමා කාලේ දිහා හැරිලා බලපු වැඩිහිටියෙකුගේ අතීතාවර්ජනයක් . මේකට පාදකවෙලා තියෙන්නේ මගේ අම්මා.
නීතීඥ වෘත්තියේ නියැළෙමින් කාර්ය බහුල දිවියක්ගත කළ ද නාට්‍යයට, නවකතාවට, කවියට පෙම් බඳින්නට කාලය යොදා ගන්නට තරම් ඔහු දක්ෂයකු විය. කෙසේ වෙතත් ඔහුගේ කවිය පිළිබඳ කළ විචාර අතුරෙන් ඔහු වැඩියෙන්ම ඇලුම් කරන්නේ ඔහු ගේ බිරිඳගේ විචාරයට යි. අවසානයේ මම එය ලියා තබමි.
"ඔයාට කවි ලියන්න වෙලාව තිබුණට මට ඕවා කියවන්න වෙලාවක් නෑ.
නිවන්ති තිලකරත්න

අජන්ත මෙන්ඩිස්ට මුහුණ දීමට සුදානම් විය යුතුයි - මහේන්ද්‍ර දෝනි

සම්පත් බණ්ඩාර
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන හා ඉන්දීය එක්දින කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං ද්‍රෝනි . ඡායාරූපය – හර්බට් පෙරේර
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නවතම දඟ පන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස් වෙත තම පිතිකරුවන් එළැඹෙන එක්දින තරගාවලියේ දී ධන ප‍්‍රතිචාරයක් දැක්විය යුතු යැයි ඉන්දීය එක්දින කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පැවැසීය. ‘අපි ඔහුට මුහුනදීමට සුදානම් විය යුතුයි.’
දෝනි මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලිය පිළිබඳව කොළඹ ‘ටාජ්’ සමුද්‍ර හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
අජන්ත මෙන්ඩිස්ගේ පන්දු හඳුනා ගැනීමට කල්වේලා ගත වෙනවා යැයි ද ද්‍රෝනි කීය.
ඉන්දීය පිල එක්දින තරගයක දී අජන්ත මෙන්ඩිස්ට මුහුණ දී ඇත්තේ එක්වරක් පමණි. ඒ කරච්චියේ දී පැවැති ආසියානු කුසලාන අවසන් තරගයේදී ය. එහි දී ඔහු ලකුණු 13 ට කඩුලු 6ක් බිඳ දමමින් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළේය.
ඉන්දීය පිතිකරුවන් අජන්ත මෙන්ඩිස් ඇතුළු ශ‍්‍රී ලාංකික පන්දු යවන්නන්ට මුහුණදෙන නව සැලැසුම කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරුදුන් මහේන්ද්‍ර දෝනි එය දැන්ම ප‍්‍රකාශ කිරීම අපහසුයි. නමුත් අප කළ යුත්තේ කුමක් දැයි දන්නවා. අපේ හැකියාවන් ගැන හොඳ තක්සේරුවක් මෙන් ම විශ්වාසයක් ද අප තුළ තිබෙනවා යැයි පැවසීය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ‘දැන් අපට තරග දිනවන දඟ පන්දු යවන්නන් දෙදෙනකු ම සිටිනවා. අපට දැන් ප‍්‍රහාරක විකල්ප වැඩියෙන් තිබෙනවා’ යනුවෙනි.
‘මුරලිට අවශ්‍ය සහය දැන් අජන්තගෙන් ලැබෙනවා. එය නායකයකු වශයෙන් මට විශාල සහනයක්. ඒ වුණත් හැම විට ම මෙය කණ්ඩායම් තරගයක් බවත් අප අමතක නොකළ යුතුයි.’
‘ටෙස්ට් තරගාවලියේ ජයග‍්‍රහණයෙන් පමණක් අපි තෘප්තිමත් වෙන්නේ නෑ. එක්දින තරග ටෙස්ට් තරගවලට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්.’
සචින් තෙන්ඩුල්කාර් එක්දින තරගාවලියට නොමැතිවීම පිළිබඳව අදහස් දැක් වූ ඉන්දීය නායකයා ‘සචින් වැලමිටේ ඇති වූ තුවාලයක් නිසා තරගාවලියෙන් ඉවත් වුනා. ඔහුගේ අඩුව සම්පූර්ණ කිරීම අපහසු කාර්යයක්, ඔහු පිතිකරුවකු හා පන්දු යවන්නකු ලෙස පමණක් නොවෙයි වැදගත් උපදෙස් ලබාදෙන්නකු ලෙසත් ඉතාමත් වැදගත් පුද්ගලයෙක් යැයි කීවේය.

ආසියානු පිහිනුම් කී‍්‍රඩකයෝ අවධානය දිනා ගනිති

මයිකල් ෆෙල්ප්ස් ඇතුළු පිරිස දෙසට යොමුව තිබූ අවධානය ඊයේ තමන් වෙතට හරවා ගැනීමට ආසියානු පිහිනුම් කී‍්‍රඩකයෝ සමත් වූහ.
ජපානයේ ළය ආර පිහිනුම් රජා ලෙස සැලකෙන කොසුකි කිටජිමා ලොව හොඳම කී‍්‍රඩකයකු ලෙසට තහවුරු කරමින් මීටර 100 හා මීටර 200 රන් පදක්කම් ද්විත්වය පිට පිට දෙවැනි ඔලිම්පික් උළෙලෙදීත් දිනා ගැනීමට සමත් විය.
මීටර 100 ලය ආර ඉසව්ව ලෝක වාර්තාවක් පිහිටුවමින් පසුගිය සඳුදා ජය ගත් කිටජිමා ඊයේ මිනිත්තු 2 යි තත්පර 07.64 කින් මීටර 200 ඉසව්ව ජය ගත්තේ ය.
සත්කාරක චීනයේ ලියූ සිජ් හා ජියෝ ලියන්ග් පිහිනුම් පූජාව විශ්මයට පත් කරමින් කාන්තා මීටර 200 සමනල ආර ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගත්හ.
මෙය චීනය මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ලබා ගත් ප‍්‍රථම පිහිනුම් රන් පදක්කම වූ අතර 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 4 ක් දිනා ගැනීමෙන් පසුව ඔවුන් ලබා ගත් තෙවන රන් පදක්කම විය.
අයහපත් කාලගුණය
තද වර්ෂාව හා විදුලි කෙටීම් බීජිං ඔලිම්පික් උළෙලේ ඔරු පැදීම් හා රුවල් ඔරු තරගවලට බාධා එල්ල කළ අතර ටෙනිස් අර්ධ අවසන් පූර්ව තරග කල් දැමීමට සිදු විය.
බීජිං නුවරට මඳක් උතුරින් පිහිටි ‘ෂුන්යි’ හිදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ද්විබ ඔරු හා ඇස්කිටෝ ඔරු අවසන් පූර්ව හා අවසන් තරග මේ නිසා අදට කල් තැබිනි.එම ස්ථානයේම පැවැත්වීමට නියමිතව තිබූ රුවල් ඔරු අවසන් පූර්ව තරගද අවලංගු කරන ලද අතර ඒවා ද අද (15) ට කල් දැමිණි.
දර්ශන තලයේ අපැහැදිලි බව සුලං හැමීමේ අඩු බව මෙම තරග නියමිත අන්දමින් පැවැත්වීමට නොහැකි වූ බව සංවිධායකයකු පැවැසීය.
තද වර්ෂාව ටෙනිස් තරග සඳහා ද දැඩි බලපෑමක් ඇති කෙළේ ය. අකුණු ගැසීම් හා අයහපත් කාලගුණය තරගාවලිය අවුල් සහගත තත්ත්වයට පත් කළේ ය.
සුපිරි ටෙනිස් කී‍්‍රඩක රොජර් ෆෙඩෙරර් ඇමරිකා එක්සත් ජනපදයේ අංක එකේ කී‍්‍රඩක ජේම්ස් බ්ලේක් සමඟ ද රෆායෙල් නඩාල් ඔස්ටේ‍්‍රලියාවේ ජාර්ගන් මෙල්සර් සමඟ තරග වැදීමට නියමිතව සිටියේ ය.
මේ අතර කාන්තා තරගාවලියේ දී සෙරීනා විලියම්ස් එලිනා ඩිමෙන්ටිසේවා සමඟ ද, වීනස් විලියම්ස් චීනයේ ලී නා සමඟ ද තරග වැදීමට නියමිතව සිටියේ ය. ලොව අංක එකේ කී‍්‍රඩිකා ජෙලීනා ජාන්කොවික් හා රුසියාවේ දිහරා සෆිනා, සිබිලෙ ඔමර් හා වෙරා ස්වොරිනරිවා අවසන් පූර්ව තරග සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටියේ ය.
ඇලිසන් ෆිලික්ස්
දෙවරක්ම මීටර් 200 ඉසව්වේ ලෝක සූරතාව දිනූ ඇලිසන් ෆිලික්ස් එම ඉසව්වේ ජයග‍්‍රහණය සඳහා බලාපොරොත්තුවෙන් පසු වෙයි.
ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නා විට ඇයගේ වයස අවුරුදු 18 කි.
මීටර් 200 කාන්තා ඉසව්ව එළැඹෙන අඟහරුවාදා ඇරැඹෙන අතර එහි අවසන් පූර්ව තරග බදාදා ද අවසන් තරග බ‍්‍රහස්පතින්දා ද පැවැත්වෙයි.
වෙරොනිකා කැම්බල් මේ ඉසව්වේ සුවිශේෂ තරගකාරියක් බව ඇලිසන් ෆිලික්ස් කියයි.
ෆිලික්ස් පවසන්නේ පසුගිය ඔසාකා ලෝක සූරතාවලියේ දී තම හොඳම පෞද්ගලික කාලය ලෙස වාර්තා කළ තත්පර 21.81 අලුත් කිරීමට බලාපොරොත්තු වන බවය.
මීටර් 100 ඉසව්ව දුර්වල නොවනු ඇතැයි යනු ඇලිසන් ෆිලික්ස් ගේ අදහසයි. එය මීටර් 200 ඉසව්වේ ආරම්භක අර්ධය වනු ඇතැයි ඇය කියයි.

Thursday, August 14, 2008

අනුරපුර බස් ගැටුම...


බස් රථ දෙක එකිනෙක ගැටී තිබූ අයුරු. ඡායාරූප - කිත්සිරි වනසිංහ

අධි බලැති පුපුරන ද්‍රව්‍ය සමඟ ප‍්‍රබල කොටි 6ක් දැලේ

විජයානි එදිරිසිංහ
මාතලේ මහනුවර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක මහා පරිමාණ පිපිරවීම් ගණනාවක් සිදු කිරීමට පැමිණි ප‍්‍රධාන පෙලේ කොටි ත‍්‍රස්තවාදීන් හය දෙනකු සමඟ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 13ක් සොයාගෙන තිබේ.
මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් උකුවෙල ප‍්‍රදේශයේ දී පෙරේදා (12) රාතී‍්‍ර කරන ලද මෙම මෙහෙයුමෙන් සොයාගත් අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 13ට අමතරව ඩෙටනේටර් කෝඩ් අඩි 11, ඩෙටනේටර් 30, සයනයිඩ් කරල් 6, ටයිමර් 3 ඇතුළු තවත් උපකරණ රැසක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසීය.
මාතලේ පන්විල අලවතුගොඩ මහනුවර කටුගස්තොට ඇතුළු ප‍්‍රදේශ ගණනාවක සිදු වූ බෝම්බ පිපිරවීම් 13කට මෙම ත‍්‍රස්තවාදීන් සම්බන්ධ වී ඇති බව ප‍්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත.
මෙම තරුණයින් අවුරුදු 20 – 30 අතර අයවෙති. මාතලේ ප‍්‍රදේශවල වසර කීපයක සිට පදිංචි වී නුවරඑළිය ප‍්‍රදේශයේ කොටි නායකයකුගේ උපදෙස් මත මෙම පිපිරවීම් සිදු කිරීමට මොවුන් කටයුතු කර තිබේ.
මහනුවර ප‍්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගත් අතර වැඩිදුර ප‍්‍රශ්නකරගෙනයයි

මුලතිව්හි කල්විලාන් සහ කිලිනොච්චියේ මුලන්කාවිල් කොටින්ගේ පරිපාලන නගර 2ක යුද හමුදාව අත්පත් කර ගන

චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
මුලතිව්, කල්විලාන් සහ කිලිනොච්චි මුලන්කාවිල් ප‍්‍රදේශ දෙකේ බලය තහවුරු කර ගැනීමට ඊයේ (13) යුද හමුදාව සමත් විය . මුලන්කාවිල් ප‍්‍රදේශය, කිලිනොච්චියේ ත‍්‍රස්තවාදීන් සතුව පිහිටා තිබූ දෙවැනි ප‍්‍රධානතම පරිපාලන නගරයයි.
එහි රෝහලක්, සන්නිවේදන මධ්‍යස්ථානයක්, කී‍්‍රඩාපිටියක් හා මියගිය ත‍්‍රස්තවාදීන් 5000ක් පමණ මිහිදන් කළ සුසාන භූමියක් ද එහි තිබේ. මෙම ස්ථානයේ සිට කිලිනොච්චි නගරයට කිලෝමීටර් 15 පමණ දුරක් තිබෙන බව යුද හමුදාව පවසයි.
මෙම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමේදී 58 වැනි සේනාංකය හා ත‍්‍රස්තවාදීන් අතර ඇතිවූ ගැටුම්වලදී කොටි නායක තෙන්නමන් ඇතුළු 20ක් පමණ මියගොස් ඇත. සුගිය වසරේ කොටි පොන්ගුතමිල් උත්සවය මෙම ප‍්‍රදේශයේ ඇති කී‍්‍රඩාපිටියේ පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
මෙසේ උතුර මුදාගැනීමේ අවසන් මෙහෙයුමේ යෙදී සිටින පාබල හමුදා සේනාංක ප‍්‍රදේශ පහකින් මුලතිව් හා කිලිනොච්චිවලට ඇතුල්වී සිටිති.
ඒ 32 මාර්ගය ආවරණය කරමින් මන්නාරම සිට කිලිනොච්චි දෙසට ගමන්ගත් 58 වැනි සේනාංක භට පිරිස් වෙල්ලම්කුලම් සිට කිලෝමීටර් හතක් පමණ ඉදිරියට ගොස් කිලිනොච්චි මායිම පසුකරමින් ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුතුවල නිරත වේ.
වවුනියාව තුනුක්කායි දෙසින් මෙහෙයුම්වල නිරතවන 57 වැනි සේනාංකය මේ වනවිට මල්ලාවි දකුණ ප‍්‍රදේශයද කාර්ය සාධක බලකාය 2 ඒ නවය මාර්ගයෙන් බටහිර පාලමොඩෙයි දෙසින්ද වැලිඔය සිට මුලතිව් වෙත ගමන් කරන 59 වැනි සේනාංකය නයාරු කලපුවට දකුණ දෙසින්ද නීතිකායිකුලම් දකුණෙන්ද ගමන් කරමින් ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම්වල නිරතවන බව යුද හමුදාව පවසයි.
මෙසේ කිලිනොච්චි හා මුලතිව් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත පාබල හමුදාවලට ගුවන් හා නාවික හමුදාද අවශ්‍ය සහාය ලබාදෙන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා සඳහන් කරයි.
කල්විලාන් ප‍්‍රදේශයේදී හමුදාව සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර මුහුණට මුහුණලා දරුණු සටන් පැවැති අතර එහිදී කොටි ත‍්‍රස්තවාදීන් 15 දෙනෙකු මියගොස් තිබේ.
මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ මෙහෙයවීමෙන් 57 වැනි සේනාංකය මුලතිව් දිස්ති‍්‍රක්කයේ පිහිටි කොටින්ගේ ප‍්‍රබල කඳවුරු රැසක්ම අත්පත් කර ගැනීමට සමත් වූහ.
කල්විලාන් ගම්මානය යුද හමුදාව අත්පත් කරගන්නා අවස්ථාවේ එහි සිටි කොටි ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් බඩු භාණ්ඩ රැගෙන පසු බැස ඇති බව භූමියේ භට පිරිස් තහවුරු කර තිබේ.
ගැටුමෙන් පසු එම ප‍්‍රදේශයේ තිබී කොටින්ගේ අවිආයුධ රැසක්ද ඛ්මුදාව විසින් සොයාගෙන ඇත.

මෙහෙයුම් පිටදාලා ඡන්දෙ දිනන්න අපට ඕනෙ නෑ-ලසන්ත අලගියවන්නමාර්ගස්ථ මගී ප‍්‍රවාහන ඇමැති

අද සංවාදයට එක්වන්නේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතායි. උතුරු මැද, සබරගමු පළාත් සභා මැතිවරණය, වෘත්තීය සමිති පවත්වනවායැයි කියන වැඩවර්ජනය සහ හිටපු ජනපතිනියගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙහි දී අමාත්‍යවරයා අදහස් දක්වයි.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළයාම, ලෝකයේ ම ආර්ථිකය කඩා වැටීම ආදී තත්ත්වයන් ආණ්ඩුව ජනතාවට පෙන්වමින් සිටින බව පේනවා. ජනතාව විශාල ලෙස පීඩාවට පත්වෙලා තිබෙන එවැනි පසුබිමක ඡන්ද පැවැත්වීම සාධාරණ ද?
අපේ රටේ ඉතිහාසයේ විවිධ අර්බුදකාරී තත්ත්වයන් හා ප‍්‍රශ්නකාරී තත්ත්වයන් විවිධ කාලවල දී මතුවුණා. ඒවා දේශපාලන අර්බුද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික විපත් නැත්නම් ආර්ථික විපත් වෙන්න පුළුවන්.
නමුත් ඒ සෑම කාලයක ම අපි මැතිවරණ නිය ම වෙලාවට මැතිවරණ නීතියට අනුව තියලා තියෙනවා. එතකොට මේ සෑම නීතියක් ම හදන්නෙත් මහජනතාව විසින් තෝරාගන්නා පාලක පිරිස්වල දායකත්වයෙන්.
ඒ නිසා පළාත් සභා විසුරුවලා ඡන්දයකට යන්න අපිට කිසි ම බාධාවක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ඒ වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් වශයෙන් අපි කටයුතු කරන නිසයි මෙවැනි ඡන්දයකට යන්න තීරණය කරලා තියෙන්නේ.
අනික ඕනෑ ම පක්ෂයක් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ දිනන්න, ජයග‍්‍රහණය කරන්නයි. ආණ්ඩු පක්ෂය වශයෙන් අපිත් එහෙමයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයට වාසි සහගත අවස්ථාවක් බලලා තමයි අපි මේ මැතිවරණයට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි ජනතාවට බලෙන් මැතිවරණ පැටෙව්වෙ නෑ.
මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන වාසිය මොකක් ද? මෙහෙයුම් පිට පටවලා නේද ඡන්ද දිනාගන්න හදන්නේ?
නැහැ. එහෙම කියන එක වැරැදියි. මෙහෙයුම් විතරක් පෙන්නලා ජයගන්න තරම් පටු තත්ත්වයකට අපි පත්වෙලා නැහැ. ඔබ ගිහින් ජනතාව එක්ක කතා කරලා බලන්න. කොළඹ වගේ දිස්ති‍්‍රක්කවල ජනතාවට බඩු මිල ආදිය පිළිබඳ යම් යම් ප‍්‍රශ්න තියෙන්න පුළුවන්.
ඒත් ඔය ඡන්ද තියෙන පළාත්වල ජනතාවට අපේ රජයේ ප‍්‍රතිපත්ති නිසා විශාල සහන ලැබිලා තියෙනවා. කෘෂිකර්මය ගත්තම අපි වී ගොවියාට විශාල සහනයක් ලබාදීලා ඔවුනගේ ආර්ථිකය නංවලා තියෙනවා.
එතකොට සුළු අපනයන බෝගවල මිල අද ශීඝ‍්‍රයෙන් ඉහළ ගිහිල්ල තියෙනවා. මේ වැඩිවීමේ වාසිය ඒවා නිෂ්පාදනය කරන ප‍්‍රදේශවල ජනතාවටයි. මෙහෙම ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන අතර ම අපි විශාල ලෙස ග‍්‍රාමීය ප‍්‍රදේශවල පහසුකම් නංවලා සංවර්ධනයක් කරලා තියෙනවා.
සමහර වෙලාවට ඒක සියයට 300ක, 400 ක විතර ගුණයකින් වැඩිවෙලා කිව්වොත් නිවැරැදියි.
ඒ නිසා මෙහෙයුම් පිට දාලා අපි ඡන්ද ජයගන්න යන්නේ නැහැ.
අපිට එහෙම වුවමනාවක් නැහැ. අපි පසුගිය කාලේ රජයක් වශයෙන් කරපු සේවය මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා ඒ ජනතාව අපි ගැන ඉහළ විශ්වාසයක් තියෙනවා. අපිට මේ මැතිවරණය ජයගන්න එක කොහෙත් ම අභියෝගයකුත් නෙවෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, උතුරු මැද හා සබරගමු පළාත් සදහා ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තුව බලපුවාම ඇමැති ඥාති සංග‍්‍රහයන් තිබෙන බවක් හැඟෙනවා. ජානක පෙරේරා, රන්ජන් රාමනායක යන මහත්වරුන් පිට පළාත්වලින් පැමිණ ඡන්දයට ඉදිරිපත් වෙන බවත්, එජාපයට පළාතේ අපේක්ෂකයකු හොයා ගන්න බැරිබවත් කියන සන්ධානයට ඥාති පවුල්වලින් තොර අපේක්ෂකයන් හොයාගන්න බැරි ද?
ඒ ප‍්‍රශ්නයට මට එකඟ වෙන්න බැහැ. සන්ධානයේ අපේක්ෂකයෝ තෝරාගෙන ඉන්නේ ඇමැති පවුල්වලින් විතරක් ම නෙමෙයි. සුළු පිරිසක් එහෙම ඉන්නවා තමයි. නමුත් බහුතරයක් ම ඉන්නේ වෙනස් අයයි.
මේ වගේ දේවල් අපි වගේ රටවල දක්නට තිබෙන ප‍්‍රවණතාවක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා මේක අපේ රටට විතරක්, අපේ පක්ෂයට විතරක්, මේ මැතිවරණයට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි.
පළාතේ අපේක්ෂකයෝ දාන්න ඕනේ කියන කතාව අපි කියපු දෙයක් නො වේ. ඒක ඒකාලේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ම කියපු දෙයක්. මම මේ ළඟක දී ඒ සම්බන්ධ ඔහු කළ කතාවකුත් නාලිකාවක විකාශනය වෙනවා අහගෙන හිටියා.
ඒ නිසා පළාත් සභා ක‍්‍රමයේ නිර්මාතෘවරයා හඳුන්වා දුන්නු දේවල් අද අමතක කරලා තියෙන්නේ එජාපයමයි' කොහොමටත් එජාපයට අද පරණ දේවල් අමතක වෙලා වගේ තමයි කතා කරන විදිහට පෙන්නේ.
හැබැයි ජනතාවට ඒවා අමතක වෙලා නැහැ. ඒ නිසා ජනතාව නියම සුදුස්සෝ තෝරා ගනීවි.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිය ගණනක් මේ වන විටත් සිදු වී තිබෙන බව වාර්තා වෙනවා. ආණ්ඩුවට මේ හා සම්බන්ධව විශාල චෝදනාවකුත් තියෙනවා. ආණ්ඩුව මැතිවරණයට බයවෙලා ද?
අපට වාසිසහගත වෙලාවක් බලලයි අපි ඡන්දවලට යායුත්තෙ. එතකොට අපිට වාසියක් තියෙන මේ වෙලාවේ, අපි මොකට ද මේ ඡන්දයට බය වෙන්නේ. අනික ඔබ ඔය ප‍්‍රශ්නය ආණ්ඩුව පැත්තට විතරක් දාලා කතා කරන්න එපා.
ඇයි එජාපයයි, ජවිපෙයි ගැටෙන්නෙ නැද්ද ගැටෙනවා. ජවිපෙයි අපියි ගැටෙනවා. අපියි එජාපයයි අතරත් ගැටුම් ඇතිවෙලා තියෙනවා. එතකොට මේවා අපේ පැත්තටම දාලා ප‍්‍රශ්න කරන එක සාධාරණ නැහැ.
මොකද අපි විතරක් සංවිධානවෙලා නොවේනේ මේවා කරන්නේ. මේවා පසුපස අනිවාර්යෙන් ම වෙනත් දේශපාලන පක්ෂත් ඉන්නවා.
මම ඔබට නැවතත් කියන්නේ අපිට මේ ඡන්දය ගැන කිසි ම බයක් නැහැ. අපිට එරෙහිව තරගයක් දෙන්න තරම් පුළුවන් පක්ෂයක්, අපේක්ෂකයෙක් ජවිපෙවත්, එජාපයේවත් ඉන්නවද? එහෙම තත්ත්වයක් අපිට පෙන්නේ නැහැ.
මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වළක්වා ගැනීම සම්බන්ධයෙන්, ආරක්ෂා ව සම්බන්ධයෙන් වැඩි වගකීමක් ආණ්ඩුවටයි තියෙන්නේ?
ඔව්, ඇත්ත. ආණ්ඩුව සම්පූර්ණයෙන් ම ඒවට වගකියනවා. අපි නීතියට කිසි ම බලපෑමක් කරලා නැහැ. පොලීසියට ස්වාධීනව තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඉඩ දීලා තියෙනවා. ඒවාට අපි ඇගිලි ගහන්න යන්නේ නැහැ. ඒ නිසා රජය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසි ම බලපෑමක් කරලවත්, වගකීම්වලින් ඉවත්වෙලාවත් නැහැ.
නැවත වරක් වෘත්තීය සමිති දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බවට අනතුරු අඟවලා තියෙනවා. පෞද්ගලික බස් සංගම් පවා මේකට එකතුවෙන බවට දැනට ප‍්‍රකාශ කරලා තියෙනවා. කොහොම ද ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ?
අපි ගියවර වර්ජනයට මුහුණ දුන්න ආකාරයට ම තමයි ඉදිරියටත් මේවාට මුහුණ දෙන්නේ. පසුගිය වැඩවර්ජනයක් තියලා කෑගහපු අයට මේ රටේ ජනතාව හොඳ පාඩමක් කියලා දුන්නා.
රජයක් වශයෙන් අපි ගත්තු කි‍්‍රයාමාර්ග වගේ ම අපි එතෙන්දිත් බුද්ධිමත් ජනතාවගේ තීරණයට ගරු කරලා කතා කරන්න ඕනේ. අපේ රටේ සමස්ත ජනතාව එදා හඳුනාගත්තා මේ රටේ මේ වගේ තීරණාත්මක මොහොතක කරන්න ඕනේ වැඩවර්ජනයක් නොවේ, ආණ්ඩුවට සහය දීම කියල.
ඒ අනුව ජනතාව කි‍්‍රයා කළා, බුද්ධිමත් ජනතාවක් රටේ ඉන්නකම් වර්ජනවලට මුහුණ දෙන්න අපිට අපහසුනැහැ. ජනතාවගේ සහාය අපටයි තියෙන්නේ කියන විශ්වාසය අපිට තියෙනවා.
ඔබ ඔහොම කිව්වට ගියවර වැඩවර්ජයට දින දෙක තුනක් ම ආණ්ඩුව ආයතන සේවකයන්ට විවිධ බලපෑම් එල්ල කළ බවට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් ම සේවකයන්ට සිය රැකියා අහිමි කරන බවට තර්ජනය කළ බවට වාර්තාවෙනවා. වර්ජකයන්ගේ ප‍්‍රධාන ඉලක්කයක් බවට පත්වෙලා තිබුණ බස් රථ ප‍්‍රවාහනය අඩාලකිරීමට එරෙහිව ඔබ අමාත්‍යාංශයන් කි‍්‍රයා කළේ එවැනි ම ආකාරයකින් නේද?
දැන් මෙතැන බිය ගැන්වීම කියන එක විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරන්න පුළුවන්. දැන් 80 වර්ජනයේ දී ලක්ෂ ගණනක් රැකියාවලින් එළියට දැම්මා. නමුත් අපි එහෙම කිසි ම කෙනෙකුට වෘත්තීමය කි‍්‍රයා මාර්ග අරගන්නේ නැහැ.
නීතිමය කි‍්‍රයා මාර්ග අරගෙන නැහැ. රටේ තියෙන නීති රීති අනුව ඔබේ සේවය අවශ්‍යයි කියන පණිවිඩය අපි ප‍්‍රධානීන්ට දන්වලා තියෙනවා. ලංගමේ වුණත් සිද්ධ වුණේ ඒකයි.
ඔබ කියන්නේ අපිට ඒකත් නො කර ඉන්න කියලද? මතක තියාගන්න එදා මේ රටේ වර්ජකයෝ උත්සාහ කළේ පාසල් වහන්න, මගී ජනතාව අතරමං කරන්න, සෞඛ්‍ය සේවා කඩා කප්පල් කරන්නයි.
එතකොට අපි වගකිව යුතු රජයක් හැටියට මැදිහත්වෙලා පාසල් නිසි පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම, ප‍්‍රවාහනය නිසි ආකාරව කරගෙන යාම, සෞඛ්‍ය සේවය නිසි අයුරින් කරගෙන යාම කරන්න ඕනේ.
නැතිනම් මේවායින් පීඩාවට පත්වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව මිසක් අවස්ථාවාදී දේශපාලඥයෝ නොවේ. කාටහරි වර්ජනය කරන්න, ඒ ගැන මතවාදයන් පළ කරන්න තියෙන අයිතිය වගේ ම ඒක වළක්වා ගන්න කටයුතු කරන්න, මතවාදයක් පතුරවන්න රජයට වගකීමක් තියෙනවා.
අපි ඒක වටහාගෙන නිසි පරිදි එදා කටයුතු කළා. ඒකයි එතැන්දි වුණේ.
මෙවර පවත්වනවා යැයි කියන වර්ජනයට පෞද්ගලික බස් සංගම් සහයෝගය ලබාදෙන බවට ප‍්‍රකාශවෙලා තියෙනවා. ඔවුන් මෙහි දිී රජයට ඉන්ධන සහනාධාරය ගැන ලබාදුන්නු පොරොන්දුවක් පදනම් කරගෙන තියෙනවා නේද?
ඉන්ධන සහනාධාරය අපි නිකම්ම දෙනවා කියලා නැහැ. ඒ සඳහා ක‍්‍රම වේදයක් සකස් කරන්න ඕනේ. ගමනා ගමන කොමිෂන් සභාවටයි, පෞද්ගලික බස් සංගම්වලටයි තමා ඒ වගකීම අපි බාරදීලා තියෙන්නේ. එතකොට එතෙන්දි පෞද්ගලික බස් හිමියන්ගේ වගකීමකුත් තියෙනවා.
විශේෂයෙන් ම සමාගම් පිහිටුවීම ආදී කි‍්‍රයාමාර්ග ඉක්මනින් කරනවා නම් මේ ගැන අපිට ඉක්මණින් කටයුතු කරන්න තිබුණා. සහනාධාරය ගැන සාකච්ඡා පවත්වපු දවසට පහුවෙනිදා ඉදන් ම සහනාධාරය දෙනවා කියලා අපි පොරොන්දු වෙලා නැහැ.
සහනාධාරය දෙන්න අපි පොරොන්දු වුණේ ඒ සඳහා නිසි පරිපාලන ව්‍යුහය පිහිටුවා ගැනීමෙන් පසුවයි. එතකොට ඒ පරිපාලන ව්‍යුහය සකස් කර ගැනීමේ වගකීමක් පෞද්ගලික බස් හිමියන්ටත් තියෙනවා.
හිටපු ජනාධිපතිතුමිය විශේෂයෙන් ම අත්තනගල්ල ප‍්‍රදේශයේ පවත්වන මහජන රැස්වීම්වලදීත්, ජනමාධ්‍ය මගිනුත් නිතර ම ප‍්‍රකාශ කරනවා. ඇගෙන් කාපු අය ඇයට ම අද ගරහන තත්ත්වයකට පත්වෙලා කියලා. ඔබත් එතුමියත් අතරේ බොහෝ ළඟ සම්බන්ධයක් තිබුණා. ඔබට මේ ප‍්‍රකාශය වලංගු වෙන්නේ නැද්ද?
මගේ දේශපාලන ජීවිතයේ මුල් ම කාලයේ අතහිත දුන් ප‍්‍රධානතම කෙනෙක් තමයි චන්ද්‍රිකා මැතිනිය. ඒ ගෞරවය මගේ එදත් තිබුණා. අදත් තියෙනවා. ඒහින්දා ඔබ අහපු ප‍්‍රශ්නයට යනවා නම් ඇය විවිධ තැන්වල කියන ප‍්‍රකාශ මට අදාළ වෙන්නේ නැහැ.
සංවාදය – මලික් චමින්ද ධර්මවර්ධන

වේග පන්දු විප්ලවයක් කිරීම මගේ අරමුණයි- නවක කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද්

චමින්ද වාස්ගෙන් බලාපොරොත්තු වූ තරම් සහායක් නොලැබෙද්දී ඒ අඩුව ධම්මික ප‍්‍රසාද් වැනි නවකයෙකු පිරවීම පිළිබඳ තමන් සතුටුවන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි.
කාරියවසම් තිරාණගමගේ ධම්මික ප‍්‍රසාද් ටෙස්ට් භෞතිස්මය ලැබූ තරගයේදී ම දැක් වූ දක්ෂතා අගයනු වස් මහේල මෙය ප‍්‍රකාශ කරන්නට ඇත.
‘මහේල මට ලබාදුන් සහතිකය ඉතා වටිනවා. මම නිතර ම උත්සාහ කළේ හොඳින් පන්දුයවා කඩුලු දවාගන්න. මහේල කී‍්‍රඩාංගණයේ දී ත් පැවසුවේ සාමාන්‍ය තරගයක් ලෙස හිතා හොඳින් සෙල්ලම් කරන්න කියලයි. ඒ වගේ ම අනෙකුත් කී‍්‍රඩකයන් ද මට උපරිම සහයෝගයක් දැක්වූවා’. ධම්මික ප‍්‍රසාද් ‘දිනමිණ’ හා කෙටි කතාබහකට එක්වෙමින් පැවසීය.
දකුණත් වේග පන්දුයවන්නෙකු ලෙස ශ‍්‍රී ලංකා ඉන්දියා තෙවැනි ටෙස්ට් තරගයට එක් වූ ධම්මික පළමු ඉනිමේ දී ලකුණු 82කට කඩුලු 3ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 60කට කඩුලු 2ක් ද දවාලමින් දක්ෂතා දැක්වූවේ ය. ඔහුගේ ප‍්‍රථම කඩුලු ගොදුර බවට පත්වූයේ විජේන්ද්‍ර ෂෙවාග් ය.
‘මම හොඳ විශ්වාසයකින් යුතුව තරගයට පිවිසියේ. මට උවමනා වුණේ වාස්ට හොඳ සහයෝගයක් දෙන්න. ෂෙවාග් වගේ දක්ෂ කී‍්‍රඩකයෙක්ගෙ කඩුල්ල ලබා ගනිමින් මේ ගමන ආරම්භ කරන්නට ලැබීම සතුටක්...’ ධම්මික පවසනුයේ නිහතමානීව ය.
ධම්මික ඉන්දියාව සමඟ වූ පුහුණු තුන්දින තරගයේ දී දක්ෂ ලෙස කී‍්‍රඩා කළේ ය. ඒ දක්ෂතා හේතුවෙන් ම දෙවැනි ටෙස්ට් තරගයේ සිට ශ‍්‍රී ලංකා සංචිතයට එක්වීමට ධම්මික සමත් විය.
‘සංචිතයට කැදවද්දීම මට හිතුනා තරගයක් ලැබෙයි කියලා. තරගයට එක් වෙද්දී බයක්, චකිතයක් තිබුණෙ ම නෑ. හැමෝම මා පිළිබඳ තබා තිබූ විශ්වාසය ඉටු කරන්නයි මට අවශ්‍ය වුණේ.’
ධම්මික වේගයෙන් පන්දු යැවීමට දැඩි කැමැත්තක් දක්වන ලෙසත් දිස්වේ. ඔහුගේ රිද්මය ද ඒ බවක් පෙන්නුම් කරයි. නමුත් පෙනෙන දේ සත්‍යයක් නොවන බව ඔහු පවසයි.
‘මම තරගයක දී කරන්නෙ නායකයට අවශ්‍ය දේ. මම උත්සාහ කරන්නෙ කඩුලු දවාගන්න. ඒක වේග පන්දුවකින් ද මදවේග පන්දුවකින් ද කියල වර්ගීකරණයක් මම කරන්නෙ නෑ. කඩුල්ලක් දවාගන්න පුලුවන්නම් මම ඕනෑම පන්දුවක් යවනවා. අනිත් එක විවිධාකාරයෙන් පන්දුයවා පිතිකරුවා අමාරුවේ දාන තරමට විප්ලවයක් කරන්නයි මම නිතර ම උත්සාහ කරන්නේ.’
වේග පන්දුයවන්නෙක් ලෙස කණ්ඩායමට එක්වෙද්දී චමින්ද වාස්ගෙන් ලැබූ උපදෙස් ඉතා වැදගත් වූ බව ද ධම්මික පැවසුවේ ය.
‘වාස් මට පැවසූ මුල් ම දේ තමයි ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝල් කරන්න කියලා. කඩුලු දවා ගැනීමට නම් ඒ රිද්මය දිගට ම පවත්වාගෙන යන්න කියල උපදෙස් දුන්නා. ක‍්‍රීඩා පිටියේ දී වගේ ම ඩෙ‍්‍රසින් රූම් එකේදීත් වාස් දීපු උපදෙස් මට ඉතා වටිනවා.’
ධම්මික ටෙස්ට් පිටියට පිවිසීමට ප‍්‍රථම එක්දින ජාත්‍යන්තර තරග ති‍්‍රත්වයක දී ශ‍්‍රී ලංකාව නියෝජනය කර තිබේ. එමෙන් ම 2002 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය නියෝජනය කිරීමට ද ධම්මික වාසනාවන්ත වී තිබේ. කදාන ද මැසිනද් විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි ධම්මික එකල දිල්හාර ප‍්‍රනාන්දු සමඟ පාසල් කණ්ඩායමේ දී කී‍්‍රඩා කර ඇත.
‘මම අද පැමිණි ගමන ගැන සතුටු වෙනවා. මේ ගමන පිටුපස මගේ අම්මා, තාත්තාගෙ සිට විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ව මේ අවස්ථාවේ සිහිපත් කරන්නෙ ඉතා ගෞරවයෙන්.
ධම්මික මේ මස 19 දා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග දකුණු අප‍්‍රිකානු සංචාරයට එක් වෙයි. එහි දී උපරිම දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින ධම්මිකගේ දිගු කාලීන සලසුම වී ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තමන්ට ලැබුණ ස්ථානයේ තවදුරටත් රැදී සිටීමට හැකිවන ලෙස දක්ෂතා දැක්වීමයි.
සටහන - ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර