Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

ත‍්‍රස්තවාදය සහ අපරාධ වැළැක්වීමේ ප‍්‍රඥප්තියට සාර්ක් විදේශ ඇමැතිවරුන්ගේ පූර්ණ එකඟතාව කලාපයේ අනාගතය යහපත් කිරීමට තීරණ රැස

දුමින්ද ගුරුගේ සහ ජයසිරි මුණසිංහ
පහළොස්වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී අස්සන් කිරීමට නියමිත ත‍්‍රස්තවාදය සහ අපරාධ වැළැක්වීම පිළිබඳ කලාපීය ප‍්‍රඥ්ඥප්තියට සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන් පූර්ණ එකඟතාව පළ කළ බව ශ‍්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවසීය.
ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා කලාපීය රටවල් එකට එකතු වී සාකච්ඡා කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව ද ඇමැති බෝගොල්ලාගම මහතා කීවේය.
අගෝස්තු 03 වැනි දින කොළඹ දී පැවැත්වෙන සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී මෙම ප‍්‍රඥ්ඥප්තියට අස්සන් කිරීමට නියමිත බව ද ඇමැතිවරයා කීය.
ඊයේ (31) පැවැති සාර්ක් විදේශ ඇමැතිවරුන්ගේ සමුළු සැසිවාරයේ දී පැමිණි එකඟතාවන් පිළිබඳ ඊයේ (31) සවස
බණ්ඩාරනායක සමරු ශාලාවේදී පැවැති කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැති බෝගොල්ලාගම මහතා මේ කරුණු අනාවරණය කළේය.
තව දින දෙකකින් පැවැත්වෙන සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සාර්ක් විදේශ ඇමැතිවරුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම සාකච්ඡා සැසිය පැවැති බව පැවසූ ඇමැති බෝගොල්ලාගම මහතා සාර්ක් කලාපයේ අනාගතය යහපත් කිරීම සහ කලාපයේ ජනතාව කේන්ද්‍ර කොට ගෙන තීන්දු තීරණ ගනු ලැබූ බව ද කීවේය.
ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා ඉහතින් දැක්වූ ප‍්‍රඥ්ඥප්තිය පිළිබඳ මෙන්ම කලාපයට බලපාන ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණ බවද ලබන නොවැම්බරයේදී පැවැත්වෙන කලාපීය කෘෂිකර්ම ඇමැතිවරුන්ගේ සමුළුවේදී මේ පිළිබඳ යෝජනාවලියක් එළි දැක්වීමට නියමිත බව ද ඇමැතිවරයා කීවේය.
ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ යෝජනාව ශ‍්‍රී ලංකාව විසින් සමුළුවට ඉදිරිපත් කළ බවද ශ‍්‍රී ලංකා සමුළු සභාපතිත්වය දරන කාලය තුළ දී කලාපීය ආහාර ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දීමට හැකි වුව හොත් එය විශාල ජයග‍්‍රහණයක් වන බව ද ඇමැති බෝගොල්ලාගම මහතා ප‍්‍රකාශ කළේය.
මෙරට දී සාර්ක් සමුළුව පැවැත්වීමට අවස්ථාව උදා වූයේ ද නවදිල්ලියේදී පැවැති විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවකදී තමන් මේ පිළිබඳ කළ යෝජනාවකින් පසුව බවද ඇමැතිවරයා කීවේය.
සාර්ක් කලාපයට බලපාන බලශක්ති සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ගුවන් ගමන් ආදී අංශ ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණ බව ද ඇමැති බෝගොල්ලාගම මහතා කීවේය.
සාර්ක් රටවල් අතර දැනටමත් ඇති කරගෙන තිබෙන සප්තා වෙළඳ ගිවිසුමට ඇෆ්ගනිස්ථානය ද එකතු කර ගැනීමට විදේශ ඇමැතිවරුන්ගේ එකඟතාව පළ වූ බව ද ලබන 03 වැනි දා සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී එය සිදු කර ගැනීමට නියමිත බව ද ඇමැති බෝගොල්ලාගම මහතා කීය.
මේ සියලු යෝජනා ඇතුළත් කොළඹ ප‍්‍රකාශනය සාර්ක් රාජ්‍ය නායක සමුළුවේදී එළි දක්වන බව ද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
මේ මාධ්‍ය සාකච්ඡාවට විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන, අතිරේක ලේකම් සහ සාර්ක් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රසාද් කාරියවසම්, සාර්ක් අධ්‍යක්ෂ ජනරාල් ග්‍රේස් ආශිර්වාදන් සහ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

No comments: