Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 21, 2008

පන්දු යවන්නන්ගේ දඹුලු දඩබිමේ තියුණු සටනකින් ශී‍්‍ර ලංකාව පරදී

වර්නන් ගුණසේකර දඹුල්ලේ සිට ...
තරගයේ වීරයා සහීර් ඛාන්
පන්දු යවන්නන්ගේ දඩබිමක් බවට පත් වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව ඊයේ ඉන්දියාවට එරෙහිව තියුණු සටනක් දෙමින් කඩුලු 3කින් පරාජය විය.
දෙපිල අතර පැවැති මෙම දෙවැනි ජාත්‍යන්තර එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිලේ සියළුම කී‍්‍රඩකයෝ ඕවර 38.3කදී ලකුණු 142කට දැවී ගිය අතර ඉන්දියාව ඕවර 39.4කදී කඩුලු 7ක් දැවී ලකුණු 143ක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය. මේ අනුව දෙපිල අතර තරග 5 කින් සමන්විත එක් දින තරගමාලාව දැන් ජය 1 - 1 බැගින් සම තත්ත්වයට පත්ව තිබේ.
ලකුණු 21ට කඩුලු 4ක් බිඳ හෙලු සහීර් ඛාන් තරගයේ වීරයා විය.
ලකුණු 143ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඉන්දියා පිලේ මුල් කඩුලු 2 මුළු ලකුණු 16 වන විට බිඳ වැටිණි. නුවන් කුලසේකර එම කඩුලු ද්විත්වය ලබා ගත්තේය.
ඉර්ෆාන් සතන් (5) මුළු ලකුණු 8දීත් සුරේස් රයිනා (1) මුළු ලකුණු 16 දීත් දැවී ගිය අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ විරාට් කෝලි හා යුවරාජ් සිං ලකුණු 36ක් එක් කරමින් සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව යුවරාජ් ලකුණු 20කට දැවී ගියේය.
එය මෙන්ඩිස්ගේ 50 වැනි ජාත්‍යන්තර කඩුල්ල විය. පන්දු 32කට මුහුණ දුන් යුවරාජ් හතරේ පහර 4ක් එල්ල කළේය. කෝලි පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර හයක් සමග ලකුණු 37ක් රැස් කළේය. කෝලිගේ මෙන්ම ඉන් පසුව දැවී ගිය රෝහිත් එර්මාගේ කඩුල්ලද එකම ඕවරයේ ලබා ගත්තේ තිලිණ තුෂාර මිරැන්ඩෝ ය.
නායක මහේන්ද්‍ර සිං දෝනි හා සිය මංගල ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරගයට පිවිසි සුබ‍්‍රමනියම් බද්රිනාත් හයවැනි කඩුල්ල සඳහා පන්දු 96 කදී ලකුණු 60ක් එක් කළහ.
එම සබදතාවය බිඳ දැමුවේ දිල්හාර ප‍්‍රනාන්දුය. ඔහුගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දෝනි ලකුණු 39කට දැවී ගිය අතර හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුලත් විය. අනතුරුව මෙන්ඩිස් විසින් හර්බජන් සිං (1) දවාලනු ලැබීය.
බද්රිනාත් නොදැවී ලකුණු 27ක්ද සහීර් ඛාන් නොදැවී ලකුණු 2ක්ද ලබා ගත්හ. කුලසේකර, මිරැන්ඩෝ සහ මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ කැඳවීම අනුව ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම සහීර් ඛාන්ගේ ප‍්‍රබල වේග පන්දු හමුවේ දැඩි ලෙස අසරණ විය.
ශී‍්‍ර ලංකා පිලේ මුල් පිතිකරු පෙළ විනාශ කිරීමට ඛාන් සමත් වූ අතර කුමාර් සංගක්කාර (2), මහේල ජයවර්ධන (2) , චාමර කපුගෙදර (0) හා සනත් ජයසූරිය (13) ඔහුගේ ගොදුරු බවට පත්විණි.
තරගයේ 7 වැනි ඕවරය නිමා වන විට ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුලු 4 ලකුණු 11කට බිඳ වැටී තිබිණි. ජයසූරියද කී‍්‍රඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරවමින් 14 වැනි ඕවරයේදී 5 වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 33 දී දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් (16) ඊයේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ සුබ‍්‍රමනියම් බද්රිනාත්ගේ අති දක්ෂ උඩ පන්දු රැකීමකිනි. ඉර්ෆාන් පතන් එවූ පන්දුවකට බද්රිනාත් එම උඩ පන්දුව රැක ගත්තේ ඩීප් මිඩ් විකට් හිදීය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 44ක් විය.
ගරා වැටුණු ඉනිමට යම් ජීවයක් එක් කළේ නුවන් කුලසේකර හා තිලිණ තුෂාර මිරැන්ඩෝ ය. මේ දෙදෙන පන්දු 95කට මුහුණ දෙමින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් අති අගනා සබඳතාවයක් ගොඩනගමින් ලකුණු 74 ක් එක් කිරීමට සමත් වූහ.
අවසානයේ මේ අභියෝගාත්මක සබඳතාවය බිඳ දැමුවේ ප‍්‍රවීන් කුමාර් ය.
තරගයේ 34 වැනි ඕවරය යවමින් ඔහු පළමු පන්දුවෙන් තිලිණ තුෂාර ද සිවුවැනි පන්දුවෙන් කුලසේකර ද දවාලීය. තිලිණ තුෂාර පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් ඇතුළුව වටිනා ලකුණු 44ක් රැස් කළ අතර ඊයේ ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වූ එය තුෂාරගේ කී‍්‍රඩා දිවියේද වැඩිම ලකුණු ප‍්‍රමාණය විය. කුලසේකර පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමග ලකුණු 25ක් වාර්තා කළේ ය.
ඔහු ලකුණු 13ක් ලබාගෙන සිටියදී හර්බජන් සිං ගේ පන්දුවකට දුන් උඩ පන්දුව ‘ස්ලිප්’ හි රෝහිත් ෂර්මා අත හැරියේය.
චමින්ද වාස් පාදයේ සුළු ආබාධයක් මත ඊයේ විවේක ගන්වා තිබිණි.
දිල්හාර ප‍්‍රනාන්දු ඒ වෙනුවට කී‍්‍රඩා කළේ ය. ඉන්දියා පිලේ වෙනස්කම් දෙකක් සිදුකොට තිබිණි. ගෞතම් ගාම්භීර් හා ප‍්‍රගසාන් ඔජා වෙනුවට සුබ‍්‍රමනියම් බද්රිනාත් හා ප‍්‍රවීන් කුමාර් කැඳවා තිබිණි.

No comments: