Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, August 5, 2008

බෞචර් මහතා ගේ අගනා දේශනය

රිචර්ඩ් ඒ. බෞචර් මහතා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කතාවක් කර තිබේ. මේ කතාවේ සමස්ථා'ර්ථය නො ගෙන එක් - එක් අදහස් වල පමණක් එල්ලී ම නිසා ඒ මහතා ගේ මතය (අමෙරිකාවේ මතය) නිය ම ලෙස වාර්තා වූ බවක් පෙනෙන්නට නැත. සමහරු එය මානව හිමිකම් පිළිබඳ දෝෂාරෝපණයක් ලෙස ගත් හ.
තවත් අය ආධාර පිළිබඳ සහයෝගයක් ලෙස ගත් හ. තවත් පිරිසක් ත‍්‍රස්තවාදයට එරෙහි තර්ජනයක් ලෙස ගත් හ. බෞචර් මහතා ගේ කතාවට ඉහත කී මාතෘකා ද ඇතුළත් වූ නමුත් එම කතාවේ හරය එය නො වේ. තමන් ගේ දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව ඒ මහතා ගේ කතාවේ කෑලි වාර්තා කිරීම නිසා සමස්ථාර්ථය විකෘති විය.
රිචර්ඩ් ඒ. බෞචර් යනු දකුණු ආසියාවේ හා මධ්‍යම ආසියාවේ දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ සහකාර ලේකම්වරයා වේ. එතුමා නිරන්තරයෙන් ම මේ කලාප දෙකෙහි දේශපාලනය හා කලාපීය ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් උනන්දුවෙන් සොයා බලන්නෙකි. ඔහු ගේ කතාවෙන් කියැවුණේ ත‍්‍රස්තවාදයට එරෙහි සටන පිළිබඳ ඉතා හොඳ ආදර්ශයක් ශ‍්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතෙන් ලද හැකි බව ය.
එම පළාත් ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන නිදහස් මැතිවරණ පවත්වා සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම ඇමෙරිකාව අනුමත කරන බව ද එබඳු යහපත් වෙනස්කම් වලට ඇමෙරිකන් රජයේ සහාය ලැබෙන බව ද බෞචර් මහතා කියා සිටියේ ය.
ශ‍්‍රී ලංකාව තුළ යම් තරමක මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති බව ද බෞචර් මහතා ගේ අදහස විය. ඒ සම්බන්ධයෙන් සොයා බලා විධිමත් ලෙස පරීක්ෂණ පැවැත්වීම කඩිනම් කළ යුතු බව ඒ මහතාගේ උපදේශය විය. එහෙත් ප‍්‍රධාන ලෙස මානව හිමිකම් උල්ලංඝණයට අදාළ දැඩි චෝදනාවක් එල්ල කිරීම ඇමෙරිකාවේ මතය නො වේ.
ත‍්‍රස්තවාදය පවතින බොහෝ රාජ්‍යයන් තුළ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ප‍්‍රශ්න තිබේ. ත‍්‍රස්තවාදයට අදාළ නීති ප‍්‍රතිපාදන වල අඩුවක් ද මේ රටවල දක්නට ලැබේ. පහළොස්වන සාර්ක් සම්මේලනයේ කොළඹ ප‍්‍රකාශනය මගින් එම නීති ප‍්‍රතිපාදන ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.
බෞචර් මහතා සිය කතාවේ දී සඳහන් කළ තවත් වැදගත් අදහසක් තිබේ. එනම්; තම රජය කිසිවිටෙකත් ත‍්‍රස්තවාදය අනුමත නො කරන බව ය. කොටි සංවිධානය විසින් සිදු කරනු ලබන ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම පිළිබඳ ඇමෙරිකාවේ දැඩි විරෝධය ද මෙහි දී ප‍්‍රකාශ විය. උතුරු - නැඟෙනහිර පළාත් හි ළමයින් ගේ අධ්‍යාපනය මුළුමනින් ම විනාශ කළේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය. නැඟෙනහිර පළාතේ දරුවන් දැන් එම තත්ත්වයෙන් නිදහස් ය. උතුරේ දරුවන් නිදහස් කර ගැනීමට තිබේ. දැන් සිදුවෙමින් පවතින්නේ එය යි.
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනකු අමතක කරන දෙයක් තිබේ. එනම්; කොටි සංවිධානය විසින් සිදු කරනු ලබන අති අමානුෂික පහරදීම් ය. එක් අතකින් දකුණේ අහිංසක ජනතාව බෝම්බ තබා අමු - අමුවේ ඝාතනය කරන කොටි තව අතකින් කිලිනොච්චියේ හා මුලතිව් හි දෙමළ ජනතාව බලහත්කාරයෙන් තම යුදමය කටයුතු සඳහා යොදා ගනිති.
ඔවුන් ගේ තවත් තිරිසන් කි‍්‍රයාවක් වන්නේ යුදමය කි‍්‍රයාදාමයේ දී මිනිස් පළිහක් ලෙස දෙමළ ජනතාව යොදා ගැනීම ය. මේ හැරෙන්නට කප්පම් ගැනීම, තර්ජනය කිරීම, බලහත්කාරයෙන් වැඩ ගැනීම දිගින් - දිගට ම සිදු වේ. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කරන පළමු කණ්ඩායම කොටි ත‍්‍රස්තවාදීන් වේ.
බෞචර් මහතා මෙවර ශ‍්‍රී ලංකාවට පැමිණියේ පහළොස් වන සාර්ක් සමුළුවේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ය. වඩාත් නිවැරැදි ව කිවහොත් එම දේශපාලන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ය. යුරෝපා සංගමය, ජපානය, ඉරානය, චීනය යන රටවල නියෝජිතයෝ ද සාර්ක් සමුළුවේ නිරීක්ෂණ කටයුතු වලට සහභාගී වූහ. ඒ සියලු දෙනා ගේ අදහස වූයේ ඉතා දුෂ්කර අවස්ථාවක වුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ව සාර්ක් සංවිධානයේ මහා සමුළුව ඉතා විධිමත් හා අභිමානවත් ලෙස පැවැත් වූ බව ය. එහි දී කලාපීය ත‍්‍රස්තවාදයට එරෙහි ව සමුළුවෙන් නැඟුණු හඬ පිළිබඳ පැහැදීමක් ද මේ නිරීක්ෂකයන්ට තිබේ.
සාර්ක් සංවිධානයට අයත් රටවල් අට අතරින් ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඉදිරි පියවර රැසක් ගෙන ඇති බව සියලු දෙනා ට දැක ගත හැකි ය. එම වැඩ පිළිවෙළ යුදමය කි‍්‍රයාදාමයන්ට පමණක් සීමා නො වේ. ඊට කදිම නිදසුන ලෙස දැක්විය හැක්කේ නැඟෙනහිර පළාත ය. අද එම ප‍්‍රදේශයෙහි සිදු වන සංවර්ධන කි‍්‍රයාදාමය එක අතකින් පුදුම සහගත ය.
මේ සංවර්ධන කි‍්‍රයාදාමය ගැන කල්පනා ව යොමු කරන විට බැසිල් රාජපක්ෂ වැනි ජනතා නියෝජිතයකු ගේ කැපවීම මහා ඉහළින් කැපී පෙනෙ යි. අනෙක් අත ට ආණ්ඩු ව යථාර්ථවාදී දේශපාලන කි‍්‍රයාවලියක් ඔස්සේ දෙමළ ජනයා ගේ ප‍්‍රශ්න වලට විසැඳුම් සොයන බව ද ඉන් පැහැදිලි වේ.
බෞචර් මහතා පෙන්වා දෙන ලෙස ඔවුන් ගේ අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් හි වෙසෙන සියලු ජනතාව වෙත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය ගෙන යෑම ය. එම අරමුණ ඉටු කර ගැනීමට නම් පළමුව ත‍්‍රස්තවාදය විනාශ කළ යුතු වේ. ආණ්ඩුව ඒ සඳහා පියවරෙන් - පියවර ඉදිරියට යන බව සහතික ය.
පළමු ව ත‍්‍රස්තවාදය මර්දනය කිරීම, දෙවනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම හා තෙවනුව සංවර්ධනය උදා කිරීම යන අනුපිළිවෙළට මේ කි‍්‍රයාවලිය සිදු වේ. ඇමෙරිකාවත් එම වැඩසටහන අනුමත කර තිබේ. රිචර්ඩ් ඒ. බෞචර් මහතා ගේ කතාවෙන් පැහැදිලි වන්නේ එම යථාර්ථය යි.

No comments: