Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 8, 2008

කොටින්ගේ ප‍්‍රකාශ විශ්වාස කරලා ආණ්ඩුවට කටයුතු කරන්න බෑ- ඩග්ලස් දේවානන්ද සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති

නැඟෙනහිර පළාත තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳත්, ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දියත් කර ඇති උතුරේ මෙහෙයුම පිළිබඳත්, උතුරු - නැඟෙනහිර ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති දේශපාලන යෝජනාවලිය පිළිබඳවත් මෙසේ තම අදහස් දක්වන්නේ සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතායි.
නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන රජය විසින් එම පළාතේ සංවර්ධන කටයුතු රැසක් සිදුකරමින් පවතින බව කියවෙනවා. මොනවගේ පහසුකම් ද ලැබිලා තියෙන්නේ කියන එක කතා කරමින් ම අපි කතාබහ ආරම්භ කරමු.
ත‍්‍රස්තවාදයෙන් සෑම අතින්ම පීඩාවට පත්වෙලා හිටිය නැෙඟනහිර ජනතාව එයින් මුදවාගෙන තියෙනවා. ඇත්තෙන්ම මේ ආණ්ඩුව නැෙඟනහිර ජනතාව ගලවා ගත්තේ ත‍්‍රස්තවාදයෙන් විතරක් නොවේ.
ඔවුන් හිරවෙලා පීඩාවට පත්වෙලා තිබුණු මානසිකත්වයෙනුත් අපි ඔවුන් ගලවා ගත්තා. ඒ එක්කම නැෙඟනහිර ඡන්දය පවත්වලා ඒ ජනතාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නව බලාපොරොත්තු රැසක් ඇති කරවලා තියෙනවා.
මේ වන විට නැෙඟනහිර ජනතාවට කතා කිරීමේ නිදහස, රැකියා කිරීමේ නිදහස, වගේම ඕනෑ ම තැනකට යාමේ ඒමේ නිදහස අපිට ලබාදෙන්න පුළුවන්වෙලා තියෙනවා. ඇත්තෙන්ම මේක අපි බලාපොරොත්තු වුණු තත්ත්වයක්. ඒ හැරුණම යටිතල පහසුකම් ආදිය නංවලා ප‍්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇති කරලා තියනවා. තවදුරටත් කරමින් තියෙනවා.
ඊළඟට අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ උතුරත් කොටින්ගෙන් මුදාගෙන ජනතාව අතට ලබාදීමයි. උතුරේ එවැනි තත්ත්වයක් ඇතිවෙන තුරු දැනටමත් අන්තර්වාර උපදේශක සභාවක් පිහිටුවලා තියෙනවා. මෙතෙන් දී නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය ඇතුළුව උතුරු පළාතේ සංවර්ධනය සම්බන්ධ කටයුතු රැසක් ඉටු කිරීමට නියමිතයි.
විශේෂයෙන් ම සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල මඟින් උතුරු පළාතේ දියත් කෙරෙන සංවර්ධන කි‍්‍රයාදාමයන් සඳහා උපදේශනයන් මඟ පෙන්වීම් මේ මඟින් කෙරෙනවා. මේ අනුව බලපුවාම නැෙඟනහිර වගේ ම උතුරේ ජනතාවත් නිදහස ලබන දිනය වැඩි ඈතක නොවෙන බව අපිට පෙන්න තියෙනවා.
ආණ්ඩුව උතුරේ මෙහෙයුම් මගින් කොටි සංවිධානයට පරාජයන් රැසක් ලබා දී තිබෙන බව මාධ්‍ය මඟින් වාර්තා වෙනවා. යුදවාදී වැඩපිළිවෙළකින්ම මේ ප‍්‍රශ්නය විසැඳීමට නොහැකි බවට විපක්ෂයේ ඇතැම් පිරිස් ප‍්‍රකාශ කරනවා. ආණ්ඩුව ගෙන යන මෙහෙයුම් ඔබ දකින්නේ කොහොමද ?
මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණ දවසේ ඉඳලම මේ ප‍්‍රශ්නය සාමයෙන් විසඳ්‍ර ගන්න බැලුවා. නමුත් ඒකට කොටි කැමැති වුණේ නැහැ. ඒ අනුව අහිංසක ජනතාවගේ යහපත වෙනුවෙන් මානුෂීය මෙහෙයුම් අද දියත් කරලා තියෙනවා.
ඒක සාර්ථක ප‍්‍රතිඵලත් අරගෙන තියෙනවා. මම ඔබට කලින් කීවා වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආණ්ඩුව දෑතම දියත් කරලත් තියෙනවා. කොටින් මේකට අකැමැති නිසානේ මෙහෙම කටයුතු කරන්න ආණ්ඩුවට වෙලා තියෙන්නේ. කොහොම වුණත් අවසානයේ දේශපාලන විසැඳුමකට යන්න ඕනේ. ඒක තමයි ප‍්‍රායෝගිකම වැඩපිළිවෙළ. ඒකට මේ රජය මුල පුරලා ඉවරයි.
ඒ නිසා ආණ්ඩුව යුද්ධයෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳන්න යනවා කියන එක කියන්න බැහැ. කොහොම වුණත් එකක් ඔබට කියන්න ඕනේ ප‍්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නකම් මේ ප‍්‍රශ්නය විසඳ්‍ර ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
උතුරු - නැඟෙනහිර ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔබ දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබුණා. එහි දැනට තත්ත්වය කොහොමද ?
ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ. ඒක ඒ විදිහට කි‍්‍රයාත්මක කරගන්න පුළුවන් වේවි. විශේෂයෙන් ම මම මෙතෙන් දී කියන්න ඕනේ දැනට රජය අනුගමනය කරලා තියෙන ක‍්‍රමය අනුව අපිට පේන්නේ දේශපාලන විසඳුමක් කරා යන පළමු පියවර රජය තබලා තියෙන බවයි.
නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නැෙඟනහිර පළාත සඳහා පොලිස් සහ ඉඩම් බලතල ඉල්ලා තිබුණා. මෙවැනි තත්ත්වයකට ආණ්ඩුව යොමු වුවහොත් එය දේශපාලනව යම් ගැටලු මතුවිය හැකි බව පෙනෙනවා නේද ?
අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා, පොලීසිය යුද හමුදාව ආදියට ජන කොටස්වල ප‍්‍රතිශතය අනුව නියෝජනයක් සෙසු ජාතිකයන්ටත් තියෙන්න ඕනේ කියලා. එහෙම බලපුවාම චන්ද්‍රකාන්තන් ඉල්ලන ඉල්ලීම අලුත් දෙයක් නොවෙයි.
ඒක බලය බෙදා හැරීමේ එක කොටසක්. ඊට අමතරව ලාංකිකයන් වශයෙන් මෙම ප‍්‍රතිපත්තිය තහවුරු කරන්න පොලීසිය සහ වෙනත් ආරක්ෂක අංශවල ප‍්‍රතිශතයක් ආරක්ෂා වෙන්න ඕනේ.
මෙතෙක් කල් දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් ආරක්ෂක අංශවලට සම්බන්ධ වෙන්න බාධාවක් තිබුණේ නැහැනේද ?
ඇයි නැත්තේ. ආරම්භයේ දී එහෙම ප‍්‍රශ්නයක් මේ රටේ තිබුණා. මට දැන් අවුරුදු 50 ක් වෙනවා. අපි මේ ඔක්කොම යුග පහුකරලා ඇවිල්ලා ඉන්නේ. ඒක වසන් කරන්න කාටවත් බැහැ. එහෙම වුණේ නැතැයි කියලා කියන්න කාටවත් පුළුවක්කමකුත් නැහැ. ඒ හින්දා අපි කි‍්‍රයාත්මක වෙලා ඒක නිසි මාර්ගයකට ගන්න ඕනේ.
අනික් අතට දැන් යුද්ධයක් පවතින නිසා දෙමළ තරුණ පිරිස් හමුදාවට පොලීසියට එක්කහු වෙන්න මැලි වෙනවා. කාලයක් යනකොට ඒ තත්ත්වය මඟහැරිලා යාවි. මුලදි ජාති භේදයත් තිබුණා. දැන් එකත් නැහැ.
පොලිස් බලතල සහ ඉඩම් බලතල කියන ප‍්‍රශ්නයේ දී මම ඔබෙන් ඇහුවේ දකුණේ දේශපාලනය තුළ විරසක වීමත් මතුවෙන්න ඉඩ තියෙනවා කියන එකයි ?
හොඳයි, දකුණේ අය විරසකයි කියලා ඒ බලතල දෙමළ අයට නොදුන්නොත් දෙමළ අය තුළ ඒ විරසකය ඇතිවෙන්නේ නැද්ද ? ඇතිවෙන වනේ. ඒ නිසා දෙපාර්ශවයම එකතු වෙලා මේක සාකච්ඡා කරන්න ඕනේ. අපිත් ආණ්ඩුවට විරුද්ධව සටන් කරපු අයයි. නමුත් අපි තේරුම් අරගෙන තියෙනවා. ආයුධවලින්ම මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ කියලා. අපේ විශ්වාසය තියෙන්නේ සාමය මඟින් මේ ප‍්‍රශ්නය විසඳන්න ඕනේ කියලයි. ඒ නිසයි අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට එක්කහු වෙලා ඉන්නේ.
ඒ වගේම අනික් සිංහල, දෙමළ, මුස්ලිම් අයගේ විශ්වාසයත් දිනාගන්න පුළුවන් පරිදි අපි කටයුතු කරන්න ඕනේ. ඒ හින්දා පළමුව විශ්වාසය ගොඩනගන්න ඕනේ. මුලදි ඒ විශ්වාසය අපිටත් තිබුණේ නැති හින්දා තමයි ආයුධ අතට ගත්තේ. නමුත් ඉන්දු-ලංකා ගිවිසුමට පස්සේ අපි පිළිගත්තා.
එක්සත් ලංකාවක් තුළ අපි විසැඳුමකට යන්න ඕනේ කියලා. ඒ විශ්වාසය ගොඩ නැගුණා. ඒ නිසා අපි කටයුතු කරනවා. එක්එක්කෙනාගේ දේශපාලන අදහස තේරුම් අරගෙන විශ්වාසයක් ඇති ව කටයුතු කරනවා නම් ප‍්‍රශ්න ඇතිවන එකක් නැහැ.
ඊ.පී.ඩී.පී. සාමාජිකයන් සහ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ටී. එම්. වී. පී. සාමාජිකයන් අතර මෑතක දී යම් යම් ගැටලු ඇතිවුණු බව වාර්තා වුණා. එවැනි ප‍්‍රශ්නයක් දෙමළ ප‍්‍රජාව තුළ එක මතයකට ඒමට ගැටලුවක් නේද?
ඒ අය ආයුධ අතහැරල ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යූහයට ආවේ මෑතකදීයි. එතකොට ඒ අයයි අපියි අතරේ ඇතිවුණු මේ ප‍්‍රශ්න අද ඊයේ ඇතිවුණු ඒවා නෙවෙයි. ඒවායේ සත්‍ය තත්ත්වය ටික ටික ක‍්‍රමයෙන් ඉදිරියට ඒවි. එහෙම තවත් කාලයක් ගතවෙද්දී මේවා සම්පූර්ණයෙන්ම නැතිවෙලා යාවි.
අනික ඊපීඩීය සහ ටී.එම්.වී.පී. පක්ෂ වශයෙන් අපි දේශපාලනයට ආවේ අද ඊයේ කියලා හිතමු. එතකොට ඔබ අහපු ප‍්‍රශ්නයේදී බලන්නකෝ අවුරුදු 50-60 ක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිටියා කියන දකුණේ දේශපාලන පක්ෂවල තත්ත්වය ඒ අය අතර මොනතරම් ගැටුම් තියෙනවාද ?
ඔබ නියෝජනය කරන ඊ.පී.ඩී.පී. සංවිධානයට වඩා ටී.එම්.වී.පී. පක්ෂය අද ආණ්ඩුවට සමීපව කටයුතු කරනවා. එතකොට ඔබගේ පක්ෂයේ බලයට යම් බලපෑමක් මේකෙන් එල්ල වෙන්නේ නැද්ද ?
ටී. එම්.වී.පී. විතරක් නොවේ. අනෙකුත් සෑම පක්ෂයක්ම ආණ්ඩුවත් එක්ක එක්කහු වෙනවා නම් අපි කැමැතියි. අපිට අවශ්‍ය මේ ප‍්‍රශ්නය හැකි ඉක්මනින් ඉවරයක් වෙනවා දකින්නයි ඒ සඳහා අපි අපේ පටු අරමුණු පෙරට දාන්නේ නැහැ. අපිට එහෙම අරමුණු ඇත්තේ නැහැ.
විනයාගමුර්ති මුරලිදරන් මහතා දැන් පාර්ලිමේන්තුවට එන්න සූදානම් බව ප‍්‍රකාශ වෙනවා.
ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒක අපි පිළිගන්න ඕනේ. එවාට තවත් උදවු කරන්න ඕනේ නම් ඒකත් කරන්න ඕනේ.
එක්සත් ජනතා සන්ධාන ආණ්ඩුව බලයට පත්වුණේ ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වගේ පක්ෂවල සහාය ඇතිවයි. මේ පක්ෂ කියන්නේ ආණ්ඩුවේ ජනමතය තියෙන්නේ ඒකීය රාජ්‍යයකට මිසක් පෙඩරල් රාජ්‍යයකට නොවෙයි කියලයි. එතකොට කොහොමද බලය බෙදීමකට යන්නේ ?
මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ ඒකීයද ? පෙඩරල්ද ? කියන එක නොවේ. ඇත්තෙන්ම ඒ වචනවලින් අල්ලාගෙන මේ ප‍්‍රශ්නවලට විසැඳුම් හොයන්න බැහැ. විවිධ අයට විවිධ මතවාද ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක් නේ. මොනවාද විවාද ඇතිවුණත් අපි පෙඩරල් වත් ඒකීයවත් කියලා කියන්නේ නැහැ.
දැන් බලන්න ඒකීය රාජ්‍යයන් ඇතුළේ බලය බෙදනු රටවල් කීයක් ලෝකයේ තියෙනවද ? බි‍්‍රතාන්‍යය, දකුණු අපි‍්‍රකාව, චීනය වගේ රටවල එහෙම ක‍්‍රමයක් තියෙනවා. ඒ නිසා ඒකීයද පෙඩරල්ද කියන ප‍්‍රශ්නය මෙතෙන්දී වැදගත් නැහැ.
මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවට තියෙන චෝදනා නිතරම කරළියට එනවා. ඔබ මේ සඳහා පිළිතුරු දෙන්නේ කොහොමද ?
නහය තියෙනකම්ම හොටු තියෙනවා. ඒවාගේ තමයි යුද්ධය තියෙනකම්ම මේ ප‍්‍රශ්නයත් තියෙනවා. යුද්ධයට නිත්‍ය විස¼ඳුමක් ලැබුණු දවසක. වළාකුළුවලින් තොර අහසක් වගේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වෙනවා. ඒ නිසා පළමුව කළයුත්තේ නිත්‍ය විසඳුමක් සොය ගැනීමයි. එතකොට මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්න වෙන්නේ නැහැ.
කොටි සංවිධානය ඒකපාර්ශවීය සටන් විරාමයක් ප‍්‍රකාශ කරලා තිබුණා. ඒ ගැන ආණ්ඩුව මීට වඩා සැලකිල්ලක් යොමු කළානම් නරකද ?
කොටින් කාලෙන් කාලෙට මේ වගේ දේවල් ප‍්‍රකාශ කරනවා. තමන්ගේ බෙලහීනතාවත් වහගන්නයි මෙවැනි අවස්ථා කොටි යොදා ගන්නේ.
ඒ නිසා ඒ ගැන විශ්වාස කරලා කටයුතු කරන්න ආණ්ඩුවට බැහැ.
සංවාදය – මලික් චමින්ද ධර්මවර්ධන

No comments: