Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 28, 2008

පුරාණ වැල්ල ධීවර වරාය නව පණ ලබයි

සුනාමි උදම් රළ පහර අපේ ධීවරයාට අහිමි කළ ධීවර වරායන් 10 න් ධීවර වරායන් 09ක්ම ප‍්‍රතිසංස්කරණය කොට යළිත් ධීවරයා වෙත ලබාදීමට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට හැකිවී තිබේ.
එසේ පිළිසකර වුණු නව වැන්න වන දෙවුන්දර – පුරාණ වැල්ල ධීවර වරාය පසුගියදා ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා, ඇමරිකානු තානාපති රොබට් ඕ.බ්ලේක් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතන (USAID) ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් දශලක්ෂ 580ක වියදමින් යළි ඉදිවුණ පුරාණ වැල්ල ධීවර වරාය වඩාත් පහසුකම් සහිතව ධීවර ජනතා අයිතියට පැවරී ඇත.
වර්ෂ 1978 දී නැංගුරම්පොළක් ලෙස මුල්ගල් තැබුණු පුරාණවැල්ල ධීවර වරාය, ධීවර වරායක් ලෙස උසස්වීම් ලැබුවේ 1990 වසරේදීය.
ධීවර වරාය විවෘත කළ දා
දෙවුන්දර - පුරාණවැල්ල ධීවර වරාය මගින් ධීවරයින් 11,000කට පමණ සෙත සැලසෙන අතර මීටර 118දිග ජැටියක්, මීටර 705ක් දිග දියකඩනයක්, මීටර් 465 දිග ගල් බැම්මක්, ලීටර් 30,000ක ධාරිතාවයෙන් යුතු ජල ටැංකි පද්ධතියක්, ඉන්ධන ගබඩාවක්, මසුන් වෙන්දේසි ශාලාවක්, ආපන ශාලාවක්, දියත්මගක්, දැල් සැකසුම් මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විත වෙයි.
මේ ධීවර වරායේ බහුදින ධීවර යාත‍්‍රා 475ක් සහ එක්දින යාත‍්‍රා 30ක් නවතා තැබීමේ පහසුකම් ස්ථාපිත කර ඇත.
පුරාණ වැල්ල ධීවර වරාය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා
USAID ආයතනය අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දක්වන සහයෝගය අතිවිශාලයි. සුනාමියෙන් විනාශ වුණු ධීවර වරායන් 03ක් ප‍්‍රතිසංස්කරණයට බර පැන දරා ඇත්තේ මෙම ආයතනයයි.
සුනාමියෙන් පසු මුහුදේ වෙනස් වීම් අපට තේරුම් ගැනීමට අපහසු වී තිබෙනවා. ඒ නිසා අද ධීවර කර්මාන්තයේදී අපට නොසිතූ විරූ පීඩාවනට මුහුණදීමට සිදුවෙලා. පසුගියදා ඇතිවුණු දැඩි සුළං තත්ත්වය මෙවැනි එක් අවස්ථාවක්.
එවන් හදිසි ආපදා තත්ත්වයකදී ධීවරයින් මුහුණපාන අනතුරු අවම කිරීම සඳහා මුහුදු යාමේදී ජීවිත ආරක්ෂක කබා පැළදීම අනිවාර්ය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මම ධීවර ඇමැතිවරයා ව සිටින තාක් කල් ධීවරයා යාචකයෙක් නොකිරීම මගේ අරමුණයි. රටේ ආර්ථිකයට හොඳ දායකත්වයක් ලබාදෙන රටටම වැඩදායී පුද්ගලයකු ලෙස ධීවරයා ඉදිරියට ගෙන ඒම මගේ පරමාර්ථයයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් ජී.පියසේන මහතා
උදම් රළ පහරින් විනාශ වුණු ධීවර වරායන් 10 ම මේ වනවිට නවීකරණය කර පිළිසකර කර තිබෙනවා. එයින් නවවැන්න ලෙස විවෘත වුණු පුරාණවැල්ල සහ හික්කඩුව, මිරිස්ස ධීවර වරායන් සඳහා අපට ආධාර ලබාදී ඇත්තේ ඇමෙරිකානු ජනතාවයි. මෙම ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමට අපට දායකත්වය ලබාදුන්නේ USAID ආයතනයයි.
නවීන අංගෝපාංග සහිතව විවෘත වුණ මේ ධීවර වාරයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ධීවර ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කිරීම වැදගත්. ලංකාවේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වැඩිම දායකත්වයක් සැපයෙන්නේ ධීවර අංශයෙන්. ඒ නිසා ලක්වාසීන්ගේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට අපේ සංවර්ධන ව්‍යාපෘති ඉලක්ක කර තිබෙනවා.
සුනාමිය උදුරාගත් තම ධීවර වරාය වෙනුවට නවීකරණය කොට යළි ඉදිවුණ පුරාණවැල්ල ධීවර වරාය පිළිබඳ ධීවර ඇමැතිවරයා ප‍්‍රමුඛ ධීවර වරාය නීතිගත සංස්ථාවට සිය කෘතඥතාව පළකරන දෙවුන්දර ධීවරයින් පවසන්නේ මෙහි තවත් ඉදිවිය යුතු අංගයන් සහ සපුරාලිය යුතු අවශ්‍යතාවන් තිබෙන බවයි. ඒවාත් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉටුවන්නේ නම් තම රැකියාව වඩාත් පහසුවන බව ඔවුනගේ අදහසයි.
අදහස් දැක්වූ ධීවරයන්
තමන් මුහුණ පා සිටි තත්වයට විසැඳුමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන පුරාණවැල්ල ධීවර වරාය කමිටු සභාපති දයාපාල තේනුවර මහතා
අද මේ වරායේ නිදහසේ කටයුතු කරගෙන යාමට යම් යම් පිරිස් බාධා කරනවා. මේ නිසා හැකි ඉක්මනින් නාවික හමුදා අනුඛණ්ඩයක් වරායට ලබාදෙන ලෙස ධීවර ඇමැතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා. එම අනුඛණ්ඩයේ සේවයට අවශ්‍ය ති‍්‍රරෝද රථයක් අපේ ධීවරයින්ගේ ධන පරිත්‍යාගයෙන් ලබාදෙන්න අපි සූදානම්.
අපි ධීවර ව්‍යාපාරිකයන් නොවෙයි. එදා වේල හම්බකරන්න මුහුදු යන ධීවරයොයි ඉන්නේ. අද ඉන්ධන මිල ඉහළයි. අයිස්වලටත් සෑහෙන වියදම්. ජීවන වියදමත් ඒ වගේමයි. මේ නිසා අපිට රක්ෂණ වාරික ගෙවීම ගැටලුවක්. ධීවර යාත‍්‍රා රක්ෂණය අනිවාර්ය කරන්න එපා කියලා අපි ධීවර ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ජයමිණි – 5 ධීවර යාත‍්‍රාවේ හිමිකරු පී.එම්.තිලක් මහතා
අපිට මේ වරායෙ තියෙන ලොකුම අඩුපාඩුව තමයි අයිස් කම්හලක් නැති එක. අපිට එක වරකට මුහුදු යන්න අයිස් හොණ්ඩර 150ක් වත් ඕනෑ. මේ අයිස් අපි ගේන්න ඕන මාතර කූල් රූම්වලින්.
ඒ ගෙන්න ගන්නත් කුලිය රුපියල් 3000ක් වත් ගෙවන්න ඕනෑ. අයිස් ගේන්නයි, කුලියයි, තෙල් මිලයි එකතු වුණහම ගේන මාළුවලින් ලාභ ගන්න අමාරුයි.
මේ වරායට නාවික හමුදාවෙන් දානව නම් හොඳයි. මොකද බෝට්ටු 2 – 3 තියෙන අය චණ්ඩිපාට් දාලා එයාලගේ බෝට්ටු වරාය ඇතුළේ නවත්ත ගන්නවා. අහිංසක ධීවරයින්ට ඉඩ නෑ.
මේ නිසා ඉක්මනින්ම නාවික හමුදාව මේ වරායේ කටයුතු සොයා බලනව නම් හොඳයි. මේ ප‍්‍රශ්න 02 විසඳලා දෙන්න කියලා අපි ධීවර ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඉමේෂ් පුතා යාත‍්‍රාවේ ජේ.එල්.පී.රංජිත් මහතා
මේ වරාය පිවිසුම අවට තිබෙන ස්වභාවික ගල්පර නිසා ධීවර යාත‍්‍රාවලට හානි සිදුවනවා වැඩියි. පසුගිය දැඩි සුළං තත්ත්වයේදී පුරාණවැල්ලේ යාත‍්‍රා කිහිපයකට මේ නිසා අලාභහානි වුණා. රළේ උසට වදින කාලයට (වාරකන් සමයට) අපිට බෝට්ටු හසුරුවන්න අමාරුයි මේ ගල්පර නිසා.
අනෙක් කරුණ තමයි මේ ගල්පර නිසා රෑට අපිට බෝට්ටු යන්න බෑ. එහෙම යන්න ගිය ටැංකි බෝට්ටු කිහිපයකටම අලාභහානි වුණා. අපි ධීවර අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගල්පර ඉවත් කරලා දෙන්න කියලයි.
කරුණු කෙසේ වුවද ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා ධීවර වරාය සංවර්ධන ක්ෂේත‍්‍රයෙහි ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළෙහි යෝධ සෙවණැල්ල වී සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති අසංග අබේගුණසේකර මහතායි.
‘තොටුපොළ අරුණ’ වැඩපිළිවෙළෙහි අරමුණු ඉටුකරගනිමින්, අභියෝග ජයගනිමින් සුනාමි රළ පරදා හිස එසවූ නව වැනි ධීවර වරායත් ධීවර ජනතා අයිතියට පැවැරීමට හැකිවීම පිළිබඳව ඔහු අදහස් දක්වන්නේ ඉමහත් ආඩම්බරයකිනි.
සුනාමියෙන් විනාශ වුණු ධීවර වරායන් 10 දැක්කම හැම දෙනාටම හිතුණේ කවදා මේවා ගොඩනගන්නද කියලයි.එහෙත් අපි එතරම් අවාසනාවන්ත වුණේ නෑ. අපට විදේශ ආධාර හිතුවටත් වඩා හොඳින් ලැබුණා.
ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ යටතේ අප ඇරැඹි ‘තොටුපොළ අරුණ’ වැඩසටහන ඔස්සේ එම ආධාරවලින් නිසිඵල නෙලා ගත්තා.
සුනාමි ව්‍යසනයෙන් වසර 04 ක් නික්ම යන්නටත් පෙර එයින් විනාශ වූ ධීවර වරායන් සියල්ලම ප‍්‍රතිසංස්කරණය කරන්නට හැකිවුණේ එම වැඩපිළිවෙළ නිසයි.
මේ වරායේ අඩුපාඩු ඇති. විවෘත වුණු අනෙක් වරායන්ගේද අඩුපාඩු ඇති. ඒවා නුදුරු දිනයන්හිදීම ඉක්මනින් සපුරාදීමට අප කටයුතු යොදනවා. මෙහිදී ධීවර ජනතා අදහස් යෝජනා අපි හොඳින් සැලකිල්ලට ගන්නවා. මේ සියලු දේ තුළින් අපි වෑයම් කරන්නේ අපේ ධීවරයාට යහපත් හෙට දිනක් උදාකරන්නයි.
ස්තුතිය :– ධීවර අමාත්‍ය මාධ්‍ය ලේකම් කුªෂාන් තිලකරත්න මහතාට සහ ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයට.
බුද්ධිකා ඉඹුලාන
සේයාරූ :- සමන් ශ‍්‍රී වෙදගේ

No comments: