Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 8, 2008

ඔබතුමා මට ගැහුවත් මට හැදෙන්න බැරි වුණා - ඇමැති මර්වින් ජනාධිපතිතුමාට කියයි

පසුගිය සතියේ පමණක් නොව පසුගිය මාසය පුරාම දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩි අවධානයක් යොමුව තිබුණේ කොළඹදී පැවැත්වුණු 15 වෙනි සාක් රාජ්‍ය නායක සමුළුව දෙසටය. විරුද්ධ පක්ෂය දිගින් දිගටම කියා සිටියේ මෙම සමුළුව මේ අවස්ථාවේදී පැවැත්වීම නුසුදුසු බවයි.
නමුත් ආණ්ඩුව දිගින්දිගටම කියා සිටියේ සාක් රාජ්‍ය නායක සමුළුවක් මෙරටට ප‍්‍රතිලාභ රැසක් ලැබෙන බවයි. විරුද්ධ පක්ෂය කෙතරම් චෝදනා එල්ල කළ ද සාක් රාජ්‍ය නායක සමුළුවෙන් සාර්ථකව පැවැත්වීම ආණ්ඩුව පමණක් නොව රටම ලබාගත් ජයග‍්‍රහණයක් බවද රජය කියා සිටී.
නේපාල අගමැතිගෙන් ජනපතිතුමාට තෑග්ගක්
නේපාල අග‍්‍රාමාත්‍ය ප‍්‍රසාද් කොයිරාල මහතා සාර්ක් සමුළුවට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ත්‍යාගයක්ද රැගෙනය. ලුම්බිණියේ සිදුහත් කුමරුගේ උපත පිළිබිඹු කෙරෙන ඉතා අලංකාර චිත‍්‍රයක් නේපාල අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමාට ත්‍යාගයක් වශයෙන් ප‍්‍රදානය කරන ලදී.
නේපාල අග‍්‍රාමාත්‍යවරයාගේ පරිවාර අමාත්‍යවරුන් ලෙස කි‍්‍රයා කළේ දොස්තර රාජිත සේනාරත්න හා පණ්ඩු බණ්ඩාරනායක යන අමාත්‍යවරුන්ය. විදේශ රටවල් අපේ රටවල්වල ප‍්‍රශ්නවලට අතදාන්නේ නැත්නම් අපිට අපේ ප‍්‍රශ්න පහසුවෙන් විසඳගන්න පුළුවන්" යනුවෙන් නේපාල අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේය.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට තියන හොඳම කි‍්‍රයාමාර්ගය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම බවද ඒ මහතා පැවසීය. නේපාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනාධිපතිතුමා කවදත් අගය කර කතා කර තිබෙන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය.
වයස අවුරුදු 84 ක් වන ගිරිරාජ් ප‍්‍රසාද් කොයිරාල අග‍්‍රාමාත්‍යවරයා සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණියේ වෛද්‍ය උපදෙස්ද නොතකාය. අසනීප තත්ත්වය හේතුවෙන් මෙම සමුළුවට සහභාගි නොවන ලෙසට වෛද්‍යවරුන්දැඩි ලෙස අවවාද කොට තිබුණි . තමාට පැමිණීමට නොහැකි වුවහොත් සාර්ක් සමුළුව පැවැත්වීමට නොහැකි වන නිසා කෙසේ හෝ සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට නේපාල අග‍්‍රමාත්‍යවරයා තීරණය කළේ ය.
වෛද්‍ය උපදෙස් නොතකා සාර්ක් සමුළුවට සහභාගිවීම ගැන ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් රාජ්‍ය නායකයින් සියලුදෙනාම ම නේපාල අග‍්‍රාමාත්‍යවරයාට ස්තුති කිරීමට අමතක නොකිරීමද විශේෂ සිද්ධියකි. තම පරිවාර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ කථාබස් කිරීමේදී තමාගේ ජීවිතේ පෞද්ගලික යම් යම් කරුණු කීමද නේපාල අග‍්‍රාමාත්‍යවරයා ගේ විශේෂත්වයෙකි.
මං දේශපාලනයට ආවේ වයස අවුරුදු 18 දී. දේශපාලනය නිසා අවුරුදු 7 ක් හිරගෙදර ඉන්නත් මට සිදුවුණා. මං ඉපදුණේ ඉන්දියාවේ. මට සහෝදරයින් තුන් දෙනෙක් හිටියා. ඔවුන් තිදෙනාම අගමැතිවරුන් වුණා. අපි පොඩි කාලේ තාත්තා කියපු කතාවක් මට තාමත් මතකයි. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කරපු ගාන්ධිකෝ කියලා තාත්තා අහනකොට අපි කියනවා ගානධි හිරේ කියලා.
නේරු කෝ කියලා තාත්තා අහනකොට අපි කියනවා නේරුත් හිරේ කියලා. යුද්ධයට එරෙහිව අරගල කරන නායකයෝ කොහේද ඉන්නේ කියලා තාත්තා අහනකොට අපි කියනවා ඒ ජනනායකයින් බොම්බේ ඉන්නවා කියලා. දැන් තේරෙනවා නේද? සාමකාමීව ඉන්න අය හිරේ යනවා. ආයුධ ගත්තු අය නිදහස් කියලා තාත්තා මටත් සහෝදරයින්ටත් කිව්වා.
මේක මගේ හිතට සෑහෙන්න වැදුණු කතාවක් වුණා. මාස 6ක් කැරලි ගහලා කොමියුනිස්ට් පක්ෂය හදාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරගෙන ඉස්සරහට ආවා" යනුවෙන් නේපාල අග‍්‍රාමාත්‍යවරයා තමාගේ පෞද්ගලික තොරතුරු දිර්ඝ වශයෙන් ඉදිරිපත් කරන විට රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම තොරතුරු අසාගෙන සිටියේ දැඩි අවධානයක් යොමු කරමිණි
මන්මෝහන් සිංගෙන් ප‍්‍රශංසා
සාර්ක් රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින්ගේ හමුවක් ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබුණි. මේ පිළිබඳව ජනාධිපතිතුමාගෙන් විමසූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ හෝටලයකට වඩා වෙනත් ස්ථානයක මෙම හමුව පැවැත්වීම වඩාත් සුදුසු බවයි. "මෙම හමුව පාර්ලිමේන්තුවේ පැවැත්වූවොත් වඩාත් හොඳයි.
පාර්ලිමේන්තුව කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර දෙවොළනේ. ඒක නිසා මේ රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තුවට ගෙන යන වැඩ පිළිවෙළක් සකස් කරන්න. මේ ගැන කථානායකතුමාටත් දැනුම් දෙන්න" යනුවෙන් ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණි රාජ්‍ය නායකයින් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් එහි සංවිධාන කර තිබුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රෞඪත්වය තවදුරටත් වැඩිවන ආකාරයෙනි.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා පාර්ලිමේන්තුවේ පියගැට පෙළ නගින ගමන් ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් රාජ්‍ය නායකයින්ට කියා සිටියේ දැන් අපිට අභියෝගයක් තියෙන බවයි. " ශී‍්‍ර ලංකාවේ සාර්ථකම හා උසස් ආකාරයෙන් මෙම සාර්ක් සමුළුව පැවැත්වීම අපි කොහොම හරි ඉදිරියට ගෙන යන්න ඕන. ඉදිරි සමුළු පවත්වන්න වෙන්නේ මේ අභියෝගයත් එක්ක යනුවෙන් මන්මෝහන් සිං මහතා ප‍්‍රකාශ කළේ ය.
දියවන්නා ඔය මධ්‍යයේ ඉදිකරන ලද පාර්ලිමේන්තු සංකීර්ණය ඉතා සිත් ගන්නා සුළු ස්ථානයක් බව රාජ්‍ය නායකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවසූහ. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය හා අවට පරිසරය පිළිබඳව රාජ්‍ය නායකයින් කතා කළේ ඉතාමත් සතුටකිනි.
පාර්ලිමේන්තු සංකීර්ණය සමහර ස්ථාන දෙස ඇතැම් රාජ්‍ය නායකයින් බලා සිටියේ වෂීවූවාක් මෙනි. රාජ්‍ය නායකයින් අතරින් වැඩිපුරම පාර්ලිමේන්තු සංකීර්ණය දෙස බලා සතුටට පත්ව සිටියේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඩ් කර්තායි මහතායි.
ඇෆ්ගනිස්ථානයට පාර්ලිමේන්තුවක් නොමැතිවීම ඊට හේතුවයි. එම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරයාගේ දැඩි අධීක්ෂණයට ලක්විය. ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තු සභා ගර්භයේ විදුලි බුබුළු දල්වා එහි අලංකාරය නැරැඹීමටද ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරයා අමතක නොකළේ ය.
ඉතා අලංකාර පාර්ලිමේන්තු සංකීර්ණයක් ශී‍්‍ර ලංකාව සතුව තිබෙන බව පැවසූ ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරයා කියා සිටියේ මෙහි ඇති සුන්දරත්වය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැදෑරීමට මෙය හොඳ ස්ථානයක් බවයි.
"යුරෝපය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුනාගන්නකොටම අපටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා. ඒක හරිම වැදගත් සිද්ධියක්. මේ හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සංවිධාන කළේත් මෙහි ඇති වැදගත්කම නිසයි" යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රනිල්, චන්ද්‍රිකා සාර්ක් සමුළුවේ
සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවයට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණියේ කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයටය. රනිල් වික‍්‍රමසිංහ මහතා සාර්ක් සමුළුවට පැමිණ සිටින බව රූපවාහිනියෙන් දුටු එක්සත් ජාතික පක්‍ෂයේ එක්තරා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.
“අපි ලව්වා සාර්ක් සමුළුවට බන්නලා දැන් සම්මේලනයට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. රනිල් මහත්තයා මෙහෙම සාර්ක් සමුළුවට යන්න කලින් අපි දැනුවත් කළේ නැහැ. මෙයා සමාරම්භක උත්සවයට යන්න කලින් අපිට දැනගන්න ලැබුණා යන්න සූදානමක් තියෙනවා කියලා. මේක මං රනිල් මහත්තයාගෙන් ඇහුවා. එතකොට ඔහු කිව්වා, ජනාධිපතිතුමා උදෙන්ම කතා කරල එන්න කිව්ව නිසා සමුළුවට යනවයි කියලා.
මේක ඇත්තක්ද?” කියලා එම මන්තී‍්‍රවරයා බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් විමසුවේ ය. “හරිනම් නායකයෙක් හිතන්න ඕන මේ වගේ දේකට පහර ගහන එක නොවෙයි. රනිල් මහත්තයා අද උදේ ඉඳන් නායකයෙක් හිතන විදියට හිතන්න පටන් අරගෙන” කියලා බැසිල් රාජපක්‍ෂ මහතා ඊට ප‍්‍රතිචාර දැක්වීය “එහෙනම් සාර්ක් සමුළුවේ අවසන් උත්සවයට අපිත් එනවා.
දැනටමත් පක්ෂයේ සභාපති රුක්මන් සේනානායක මහතාත් ඇවිල්ලා නේද?” යනුවෙන් කියමින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයා නැවත වරක් විමසුවේ ය. “රටක් හැටියට හිතලා ඔයගොල්ලන් හැමෝම මේ උත්සවයට එන්න” කියලා බැසිල් රාජපක්‍ෂ මහතා විවෘත ආරාධනයක් කළේ ය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් සාර්ක් සමුළුවේ සමාරම්භක උත්සවයට පැමිණ සිටියා ය. හිටපු ජනාධිපතිනිය සමඟ කථාබස් කිරීමට මැති ඇමැතිවරුන් කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. දි. මු. ජයරත්න අමාත්‍යවරයා ඈත සිට අතවනා සංඥාවක් කරමින් ගෞරවාන්විත ලෙස හිස පහත් කර හිටපු ජනාධිපතිනිය වෙත ෂේප් න්‍යායෙන් යම් බැල්මක් හෙළුවේ ය.
හිටපු ජනාධිපතිනිය කථා කිරීමට කිසිවෙකුත් නොමැතිව සිටිනු දුටු චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් හිටපු ජනාධිපතිනිය සමඟ සුහදව කතා කළේ ය. ඉන් අනතුරුව දි. මු. ජයරත්න, ආචාර්ය සරත් අමුණුගම, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු ද පැමිණ හිටපු ජනාධිපතිනිය සමග කථාබස් කළහ.
කියුබානු තානාපතිනියගේ සමුගැනීමේ සාදය
ශී‍්‍ර ලංකාවේ කියුබානු තානාපතිනියගේ සමුගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී දිවා භෝජන සංග‍්‍රහයක් පැවැත්විණි. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, දොස්තර රාජිත සේනාරත්න යන අමාත්‍යවරුද සහභාගි වූහ. පිළිකාවලට කියුබාව හොඳ ප‍්‍රතිකර්ම සොයාගෙන තිබෙනවා. අමෙරිකාව කියුබාව එක්ක අඩු සබඳකම් පැවැත්වුවත් විවිධ ක‍්‍රම මගින් අමෙරිකාව කියුබාවේ ප‍්‍රතිකර්ම ක‍්‍රම අරගෙන.
ඩෙංගු මර්දනය කරන්න හොඳම ක‍්‍රම තියෙන්නේ කියුබාවේ. මං මෙම වසංගත රෝග නිවාරණ කමිටුවට මෙම ක‍්‍රම ගැන යෝජනා කළාම ඔවුන් ඒක පිළිගත්තත් තවම කි‍්‍රයාත්මක කරලා නැහැ. මං සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් මේ ගැන ඇහුවාම කියනවා මේ ක‍්‍රම ගන්න අමාත්‍යාංශයේ සූදානමක් නැහැ කියලා කිව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා කරන්න සූදානම් නැහැ’ කියලා මහාචාර්ය තිස්ස විතාරණ අමාත්‍යවරයා පැවසීය.
‘කියුබාවේ යහපත් දේවල් ගන්න ඇමෙරිකාවට හොඳනම් ඇයි අපට නරක’ යනුවෙන් ජනාධිපතිතුමා ප‍්‍රතිචාර දැක්වීය. ‘සර් පසුගිය දවස්වල ආසියානු ෆැසිපික් සහයෝගිතා මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මාධ්‍යවේදීන් සෑහෙන පිරිසක් මේ සඳහා ආවා. ඒ වුණාට කියුබානු සහයෝගිතාවට අදාළ කිසිම වාර්තාවක් පළවෙලා තිබුණේ නැහැ’ යනුවෙන් පැවසුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාය.
මාධ්‍යවලටත් කියුබානු විරෝධී නායකයින් රිංගා ඇති බව මෙම ස්ථානයේ සිටි අමාත්‍යවරු තුන්දෙනාම ජනාධිපතිතුමාට පැවසූහ. මහ ලොකුවට මාධ්‍ය නිදහස ගැන කතා කළාට මේ අය ආවඩන්නේ බටහිර රටවලට පමණක් බවද එම අමාත්‍යවරු පැවසූහ.
‘මහින්ද ඉලේපෙරුම සමග මෙච්චර හොඳ සම්බන්ධයක් තියෙද්දී හොඳ ප‍්‍රචාරයක් ඒ මාධ්‍ය හමුවට ගන්න තිබුණනේ. මීට පස්සේ ඔය වගේ වුවමනාවක් වුණොත් මහින්ද ඉලේපෙරුමට කතා කරන්න. එයා හොඳට ඒක කරල දෙයි. අපට අවශ්‍ය කරන්නේ වඩාත් සාධාරණ දෙය ඉදිරියට ගේන්න’ කියලා ජනාධිපතිතුමා පැවසුවේය.
මර්වින් සිල්වා ඇමැතිට ජනාධිපතිතුමාගෙන් දොස්
කියුබානු තානාපතිවරියගේ සමුගැනීම වෙනුවෙන් පැවති දිවා භෝජන සංග‍්‍රහයේදී ජනාධිපතිතුමා, රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමඟ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් කථාබස් කළේ ය. "රූපවාහිනී සංස්ථාවේ සිද්ධියේදී මං මර්වින්ට දඬුවම් කරන්න හා ඒ සිද්ධිය ගැන සොයා බලන්න කමිටුවක් පත් කළා.
මර්වින් ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගත්තු නිසා මං දඬුවම් කළේ නැහැ. අනික් එක තමයි, සමාව ගන්න විතරක් නොවෙයි එතනදි ගුටිත් කාලයි මර්වින්ට එන්න වුණේ. මුත‍්‍රවලිනුත් නාවලයි මර්වින් වාහනයට නැග්ගුවේ.
ඇමැතිවරයෙකුට පහරදීම ගැන මං කථා කළේ බොහොම කල්පනාවෙන්. ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රතික්ෂේප කරන අය ප‍්‍රචණ්ඩ ලෙස හැසිරිලා ප‍්‍රචණ්ඩත්වය නතර කරන්න බැහැ. හැබැයි මං එදා බලපු විදියට නොවෙයි. අද ප‍්‍රශ්නය බලන්නේ. මර්වින්ට මේ වැඩේදී දඬුවමක් කරන්න ඕන" යනුවෙන් ජනාධිපතිතුමා පැවසූවේය.
ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම පසුගිය අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේදී රැස්වුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි. ජනාධිපතිතුමා රැස්වීමට සහභාගිවන විට මැති ඇමැතිවරුන් පී‍්‍රති ඝෝෂා කරමින් කියා සිටියේ අපේ සාර්ක් නායකතුමා එනවා' කියායි.
සාර්ක් සමුළුව සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ආරක්ෂක අංශවලටත් අදාළ බලධාරීන්ටත් ජනාධිපතිතුමා ප‍්‍රශංසා කරමින් රැස්වීම ආරම්භ කළේ ය.
එක රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්න බැරි විදියට සාර්ක් සමුළුව සාර්ථකව සංවිධාන කරලා තිබුණා. අපේ ආරක්ෂක අංශවල තිබුණු කැපකිරීම ඒ සඳහා හුඟක් බලපෑවා. ජනතාව රටේ ගෞරවය වෙනුවෙන් ඔවුන්ට සිදුවුණු අපහසුතා විඳදරාගත්තා. රජය වෙනුවෙන් රටේ සියලුම ජනතාවට ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූූති කරන්න ඕන.
ඉන් අනතුරුව මර්වින් සිල්වා අමාත්‍යවරයාට ජනාධිපතිතුමා තදින් දෝෂාරෝපණය කළේ ය. "දින 52ක් ඇතුළත ගිනස් වාර්තාවක් පිහිටුවලා කැලණියේ ගුවන් පාලම හැදුවා. එහි දෙවන අදියරත් ඉතා සාර්ථකව වැඩ අවසන් කළා. මෙම පාලම් දෙකම හදන්න වැයවුණු මුදල රුපියල් මිලියන දෙදහස් එකසීයක්. වේගවත් සංවර්ධනයකට යන බව අපි මුළු ලෝකෙටම පෙන්නුවා.
එහෙම කරපු යෝධ සංවර්ධන වැඩේ මර්වින් විනාශ කළා. ඒක යට ගැහුවා. බොහොම අමාරුවෙන් හදාගත්තු කිරි මුට්ටියට ගොම දැම්මා. මේ වගේ මෝඩ වැඩ කරන්න එපා' යනුවෙන් ජනාධිපතිතුමා දෝෂාරෝපණය කරන විට මර්වින් සිල්වා අමාත්‍යවරයා සිටියේ කිසිවක් ප‍්‍රකාශ නොකර බිම බලාගෙනය.
'සාර්ක් රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තුවට කැඳවාගෙන ගියෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කිරීම සඳහායි. අපේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතා ඉහළින් අගය කරනවා. ඒක විනාශ කරන්න එපා" යනුවෙන් ජනාධිපතිතුමා පැවසුවේ මර්වින් සිල්වා අමාත්‍යවරයා දෙස බලාගෙනයි.
"ඔබතුමා කුඩා කාලේ ඉදලම මට අවවාද දුන්නා. මං තරුණ කාලෙදිත් ඔබතුමාගෙන් බොහෝ අවවාද ලබා ගත්තා. ඔබතුමා මට ගහලත් තියෙනවා. ඒත් මට හැදෙන්න බැරිවුණා. මීට පස්සේ මං වැරැදි කරන්නේ නැහැ කියලා මං පොරොන්දු වෙනවා' යනුවෙන් මර්වින් සිල්වා අමාත්‍යවරයා පැවසුවේය.
තිස්ස අත්තනායකගේ වාහනය පොලිස් වාහනයක ගැටේ
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයාට පසුගිය 02 වෙනිදා අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූයේ වාරියපොළදීය. තිස්ස අත්තනායක මහතා අනුරාධපුරය බලා ගමන් ගනිමින් සිටියදී ඔහු ගිය ජීප් රථය තවත් මෝටර් රථයක ගැටුණේය.
ජීප්රථය ගැටී තිබුණේ නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා ගමන්ගත් මෝටර් රථයේය. ක්ෂණිකවම කැබ් රථයක් හැරවීමත් සමග කිංස්ලි ඒකනායක මහතා රැගත් මෝටර් රථයේ වේගය අඩුකිරීම නිසා පිටුපසින් ගිය තිස්ස අත්තනායක මහතා රැගත් ජීප් රථය එහි ගැටී ඇත.
අනුරාධපුරයේ රැස්වීමකට යමින් සිටි නිසා තිස්ස අත්තනායක මහතාගේ ජීප් රථය ගොස් ඇත්තේද තරමක වේගයකිනි. මෙම හදිසි අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූවද වාහන දෙකට නම් අලාභහානි සිදුවී තිබුණි.
විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතාගේ මෝටර් රථයේ ඉදිරිපස කැබ් රථයේ හා පිටුපස තිස්ස අත්තනායක මහතාගේ ජීප් රථයේ ගැටීම නිසා දෙපැත්තටම හානි සිදුවී තිබුණි. කිංස්ලි ඒකනායක මහතා නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති නිසා ඔහු ගමන් කරමින් සිටියේ නැඟෙනහිර පළාතට රාජකාරි ගමනකි.
ඔහුට නැගෙනහිරට යාමට සිදුවූයේ අසල පොලිස් ස්ථානයකින් ගෙන්වාගත් ජීප් රථයකිනි. කුරුණෑගල මිත‍්‍රයෙකුට දුරකථන ඇමතුමක් ලබාදුන් තිස්ස අත්තනායක මහතා එම මිත‍්‍රයාගේ මාර්ගයෙන් ගෙන්න ගත් වාහනයකින් අනුරාධපුරය බලා යළි ගමන් ඇරඹීය.
හදිසි අනතුර හේතුවෙන් අනුරාධපුර දිස්ති‍්‍රක් යොවුන් හමුවට තිස්ස අත්තනායක මහතා යනවිට අනෙක් පිරිස එම ස්ථානයට පැමිණ සිටියහ. ගැමිණී ජයවික‍්‍රම පෙරේරා, පී.හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම හමුවට සහභාගි වී සිටියහ.
පසුගිය සඳුදා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට පක්ෂ ප‍්‍රධානීහු කිහිපදෙනෙක් පැමිණ සිටියහ. සුසිල් පෙ‍්‍ර්මජයන්ත, තිස්ස අත්තනායක, ටිල්වින් සිල්වා, රවී කරුණානායක, විජිත හේරත් යන මහත්වරුන් පැමිණ සිටි මෙම සාකච්ඡාවට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාද පැමිණ සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් දිගින් දිගටම පොලිස්පතිවරයාට කියා සිටියේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට එරෙහිව පොලිසිය නියමාකාරයෙන් කි‍්‍රයාත්මක නොවන බවයි.
ප‍්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පළාත් 2 කටම යැවීමට පියවර ගෙන ඇති බව පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේය. නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීම සඳහා මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඩලීමේ වැදගත්කම මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් මානික්කම් මහතා වෙනුවෙන් පැවති සමුගැනීමේ සාදයක් පසුගියදා පැවැත්වුණේ එම්.ජේ.එම්.මුසම්මිල් මහතාගේ නිවසේදීය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ සේවා කාලය අවසන් වී නැවත ඉන්දියාවට යාමට පෙර පැවති මෙම සාදයට දේශපාලනඥයෝ රැසක්ද පැමිණ සිටියහ. අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, තිස්ස අත්තනායක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රම, සරත් කෝංගහගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ලක්ෂ්මන් සෙනෙවිරත්න, කබීර් හෂීම්, ආර්. යෝගරාජන් යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පසුගියදා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විය. පක්ෂයේ ආසන මට්ටමින් පවතින යම් යම් අඩුපාඩු දුර්වලතා ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. මීට අදාළ කරුණු දයාසිරි ජයසේකර හා දොස්තර රංජිත් අතපත්තු යන මහත්වරු ඉදිරිපත් කළහ.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, මෛතී‍්‍ර වික‍්‍රමසිංහ මහත්මිය සමඟ ඊයේ ඉන්දියාව බලා පිටත්වූයේ ඉන්දීය ව්‍යාපාරිකයෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගිවීමටය.
කථානායකතුමාගේ උපන් දිනයට සාර්ක් නායකයින්ගෙන් සුබ පැතුම්
සාර්ක් රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි පසුගිය 03 වෙනිදා කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාට වැදගත් වන්නේ එය සාර්ක් රාජ්‍ය නායකයින් පැමිණි නිසාම නොවේ. එදිනට වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ උපන් දිනය ද යෙදී තිබීම තවත් විශේෂත්වයකි.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අසල කථානායක සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරු කථාබස් කරමින් සිටියහ.
“ඔබතුමාගේ උපන් දිනේ දවසේනේ රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තුවට එන්නේ. අද හොඳ දවසක් වෙන්න ඇති. ඔබතුමාගේ උපන් දිනේ අද කියලා දැනගෙනම සාර්ක් රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවට එන වැඩේ සංවිධාන කෙරුණද දන්නේ නැහැ” යනුවෙන් හෙට්ටිගේ මහතා පැවසුවේය.
“හෙට්ටි, මං හුඟක් පිං අතේ වැඩ කරනවානේ. මරණයට කැපවුණු හරක් මං උපන් දිනේට නිදහස් කරනවා. එහෙම බේරගත්තු එක වැස්සියෙක් දැන් පැටියෙකුත් දාලා” යනුවෙන් කථානායකතුමා පැවසුවේය. ජනාධිපතිතුමා පැමිණි පසු කථානායකතුමාගේ උපන් දිනයත් එදිනට යෙදී තිබෙන බව හෙට්ටිගේ මහතාගෙන් දැනගත්තේය. රාජ්‍ය නායකයන්ට කථානායකතුමා හඳුන්වා දෙන විට ඔහුගේ උපන් දිනය එදිනට යෙදී තිබෙන බව මතක් කර දීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරයාට ජනාධිපතිතුමා කියා සිටියේ කථානායක නිල නිවස පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති බවයි. පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරයා කථානායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් කථානායක නිල නිවසට යාමට කැමැත්ත පළකළේය.
ඊට අදාළ කටයුතු වහාම සංවිධාන කරන ලද්දේ නිමල් සිරිපාල ද සිල්වා, කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන් විසිනි. පාර්ලිමේන්තුවේ උත්සවය අවසන් වීමෙන් අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සමඟ කථානායක නිල නිවස වෙත ගිය පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරයා උපන් දින කේක් කෑමෙන් අනතුරුව සුබ පැතීය.
අගමැතිවරයාට ස්තූති කළ කථානායකතුමා තිළිණයක් ද ලබා දීමට අමතක නොකළේය. මෙම දුර්ලභ අවස්ථාව උදාකිරීම ගැන කථානායකතුමා හෙට්ටිගේ මහතාට තම හෘදයාංගම ස්තූතිය පුද කළේය.
ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

No comments: