Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, December 22, 2008

ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.


දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් අධිකාරි ලැබූ හමුදා නිලධාරීන් 151 දෙනකුගේ විසිර යාමේ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (20) දියතලාවේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු. යුද හමුදාපති සරත් පොන්සේකා සහ බි‍්‍රගේඩියර් කුමුදු පෙරේරා මහත්වරු ද මෙහි වෙති.

නැදුන්කර්නි නගරය හා අවට ගම් රැසක් යුද හමුදාව යටතට 4වැනි කාර්ය සාධක බළකායේ ප‍්‍රථම ජයග‍්‍රහණය

මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් දිස්ති‍්‍රක්කයේ නැදුන්කර්නි නගරය සහ අවට ගම්මාන සියල්ල ඊයේ (21) උදේ වන විට සම්පූර්ණයෙන්ම අත්පත්කර ගැනීමට යුද හමුදාව සමත් විය.
හමුදාවේ 4 වැනි කාර්ය සාධක බළකායේ රණවිරුවන් මේ ජයග‍්‍රහණය අත්පත්කරගත් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා කීය.
අලුතින් පිහිටවූ 4 වැනි කාර්ය සාධක බළකායේ ප‍්‍රථම මෙහෙයුම සහ ප‍්‍රථම ජයග‍්‍රහණය මෙම නැදුන්කර්නි ප‍්‍රදේශය අත්පත්කරගැනීම බවත් ඒ මහතා පැවැසීය.
පෙරේදා සවස සිට පැවැති දරුණු සටන් වලින් අනතුරුව ත‍්‍රස්තවාදීන් පළවා හැර නැදුන්කර්නි නගරය හා අවට ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම නිදහස්කර ගැනීමටයුද හමුදාව සමත් විය.
නැදුන්කර්නිවලට උතුරු දෙසින් ඔඩ්ඩුසුඩාන් කොටි පාලන ප‍්‍රදේශයත්, ඊසාන දිග ප‍්‍රදේශයෙන් මුලතිව් මාර්ගයත් පිහිටා ඇති අතර හමුදාව නැදුන්කර්නි සම්පූර්ණයෙන් අත්පත්කර ගැනීම යුදමය අතින් ඉතාමත් වැදගත් බව බි‍්‍රගේඩියර් නානායක්කාර සඳහන් කෙළේය.
නගරයේ ඇති රජයේ ගොඩනැඟිලි සහ නිවාස ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් විනාශ වී ඇති අතර එම ගොඩනැගිලිවල ත‍්‍රස්තවාදීන් බංකර තනා තිබී ඇත.
මර උගුල් හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීමට බිම් බෝම්බ සහ විශාල පස්බැම්මක් නගරය වටා ඉදිකර තිබී ඇත.
මේ අතර කිලාලි, මුලතිව්, නැදුන්කර්නි, ඔටියමලේ, අම්පකාමම් උතුර, කිලිනොච්චි නිවිල්, මුලතිව් නැදුන්කර්නි, ඔටියමලේ අක්කරායන්කුලම් හා ඉරණමඩු බටහිර ප‍්‍රදේශවලදී කොටි ත‍්‍රස්තවාදීන් හා යුද හමුදා භට පිරිස් අතර දරුණු ගැටුම් පැවතිණි.
මේ ගැටුම්වලින් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ත‍්‍රස්තවාදී මළ සිරුරු තුනක් හා තවත් අවි ආයුධ තොගයක් සොයා ගත් බව යුද හමුදාව පවසයි.

පාවෙන අවි ගබඩාවක් නාවික හමුදාවෙන් ගිල්වයි කොටි 30ක් මරුට

චන්ද්‍රිකා පෙරේරා
ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු නවීන අවි ආයුධ තොගයක් කොටි ත‍්‍රස්තවාදීන්ට ලබා දීම සඳහා ගෙන යමින් තිබූ විශාල ප‍්‍රමාණයේ යාත‍්‍රාවකට පෙරේදා (20) අලුයම 2.00 ට පමණ මුලතිව් ඊසාන දිග මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් ප‍්‍රහාර එල්ල කර විනාශ කැර තිබේ.
මෙහිදී ඇතිවූ ගැටුමේදී මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් තිස්දෙනකුට ආසන්න පිරිසක් මියගිය බව අනාවරණය වී තිබේ.
අවි ආයුධ ප‍්‍රවාහනය කෙරුණු මීටර් 40 ක් පමණ දිග විශාල යාත‍්‍රාව හා එයට ආරක්ෂාව සපයමින් යාත‍්‍රා කළ තවත් කොටි යාත‍්‍රා හතරක් නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශ වී ඇත.
කොටි අවි යාත‍්‍රාව මුලතිව් සිට ඊසාන දෙසින් මුහුදු සැතපුම් 70 ක් (කිලෝ මීටර් 140 ක්) පමණ දුර මුහුදු සීමාවේ දි යාත‍්‍රා කරමින් තිබියදී නාවික හමුදාව නිරීක්ෂණය කැර තිබේ.
යාත‍්‍රාවේ කිසිදු නිල ලාංඡනයක්, නාමයක් හෝ ධජයක් දක්නට නොවීමත් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ යාත‍්‍රාවක් ගමන් ගන්නා බවට කිසිදු රටකින් දැනුම්දීමක් නොකර තිබීමත් හේතුවෙන් අභිරහස් යාත‍්‍රාව පිළිබඳ සැක ඇති වූ බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව චැනල් 16 හරහා (ජාත්‍යන්තර පණිවිඩ හුවමාරුව මගින්) අදාල යාත‍්‍රාව සමඟ සම්බන්ධ වී තොරතුරු විමසීමේදී පිළිතුරු ලබාදී නැත.
ආරක්ෂක යාත‍්‍රා සමඟ එම යාත‍්‍රාව වේගයෙන් ගමන් කරන විට නාවික හමුදාව අවවාදාත්මක වෙඩි ප‍්‍රහාර එල්ල කැර නවතින ලෙස සංඥා කිරීමේදී යාත‍්‍රාවේ සිට හමුදා යාත‍්‍රා වලට වෙඩි ප‍්‍රහාර එල්ලවී ඇත.
ගොඩබිම සිට මුහුදු සැතපුම් 30 ක (කි. මී. 60) පමණ දුර මුහුදේ දී අලුයම 2.00 සිට පැය හයකට ආසන්න කාලයක් දෙපිරිස අතර ගැටුම් ඇතිවූ බව නාවික හමුදාව පැවැසීය.
ගැටුමේදී නාවික හමුදාවට හානි සිදුවි නොමැති අතර ත‍්‍රස්තවාදීන්ගේ ආරක්ෂාවට තිබූ බෝට්ටුවක් ප‍්‍රහාර හමුවේ පළා ගිය බවට තොරතුරු ලැබී තිබේ. යාත‍්‍රාවේ තිබූ අවි ආයුධ මුලතිව් චලේ ප‍්‍රදේශයෙන් ;ගාඩබිමට රැගෙන යාම සඳහා කොටි උත්සාහ ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

අපේ නැවියන්ගේ දස්කම් යළිත් වරක් ලෝකය හමුවේ

කොටි ත‍්‍රස්තවාදීන් තවමත් ඊළම අත්නොහැර ඇති බව පෙරේදා (20) අලුයම මුලතිව් මුහුදේදී ඇති වූ සිද්ධියත් සමඟ මනාවට පෙනීයයි.
කොටි සිය සංවිධානය ශක්තිමත් කිරීම සඳහා හැකි සෑම පියවරක් ගැනීමට උත්සාහ දරයි එහෙත් ති‍්‍රවිධ හමුදාවේ උකුසු ඇසට ඒ සියල්ල හොදින් පෙනෙන බව ඉකුත් දින කිහිපයේ සිදුවු සිදුවීම්වලින් පසක් වෙයි.
නාවික හමුදාව සිය නාවික ශක්තිය යොදමින් ශ‍්‍රී ලංකාව වටා වූ මහ සයුර ජයගෙන ඇති බව ලෝකයාට නැවත වතාවක් කීමට සමත්වූහ.
ඉකුත් සෙනසුරාදා (20) අලුයම කාලයේ නාවික හමුදාව සිය ආරක්ෂක මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් සිටියහ. ලංකාව වටා වූ මහසයුරේ කුමන ස්ථානයක කුමන වෙනසක් වේදෝ යන්න පිළිබඳව නාවික හමුදා යාත‍්‍රා සහ නාවික හමුදා මූලස්ථානය දැඩි අවධානයෙන් පසුවූහ.
රාතී‍්‍රය අවසන් වී කෙමෙන් කෙමෙන් අලුයම් කාලය ළගාවෙමින් පැවතුනි. අලුයම 1 පමණ වනවිට මුලතිව් මුහුදේ යමක් සංඥා වනු මුර යාත‍්‍රාවලට රේඩාර් පද්ධතිවලින් නාවික හමුදා නිලධාරිහු දැකගත්හ. කිසිදු ගැටලුවකින් තොරව නාවික හමුදා නිලධාරිහු රේඩාර් පද්ධතියේ සංඥා වන දේ හඳුනා ගත්හ. එය සැක කටයුතු යාත‍්‍රාවක් බව එයට ළඟා වූ මුර යාත‍්‍රාවලට තහවුරු විය.
මීට අමතරව නාවික හමුදාවේ බුද්ධි තොරතුරු රැස්කරන බුද්ධි අංශ සාමාජිකයෝ මේ පිළිබඳව අධ්‍යයනය කරමින් කරුණු රැස්කරමින් සිටියහ.
මුලතිව් මුහුදට ඊශාන දිගින් මුහුදු සැතපුම් 140 ක් පමණ දුරින් සැක කටයුතු යාත‍්‍රාව ගමන් කරමින් තිබුණි. නාවික හමුදා මුර යාත‍්‍රා මගින් සැක කටයුතු යාත‍්‍රාව පිළිබඳ වහාම සොයා බැලීය. එය කුමන රටක සිට කුමන ප‍්‍රදේශයකට ගමන් කරනවාද යන්න ප‍්‍රථමයෙන් සොයා බැලීය. අන්තර්ජාතික ක‍්‍රමයක් භාවිතා කරමින් නාවික හමුදාව සොයා බැලූ මේ නෞකාව සැකකටයුතු එකක් බවත් එහි අයිතිය කිසිවෙකුත් භාර නොගන්නා බව නාවික හමුදාව අනාවරණය කර ගත්තේය.
අනතුරුව නාවික හමුදාව විසින් දිගින් දිගටම මේ නෞකාවට පණිවුඩ නිකුත් කෙළේය. එහෙත් එම පණිවුඩවලට නෞකාවෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණි. නෞකාව කොටින්ට ආයුධ ප‍්‍රවාහනය කරන එකක් බවත් එහි පුපුරණ ද්‍රව්‍ය ඇතුලු අවි ආයුධ රැසක් තිබෙන බව නාවික හමුදාව විසින් තාක්ෂණික ක‍්‍රම භාවිතා කරමින් හඳුනා ගත්තේය. මුර යාත‍්‍රාවල සිටි නාවික නිලධාරිහු වහාම මේ පිළිබඳව උසස් නාවික නිලධාරින්ට දැනුම් දුන්නේය.
වාහම මේ නෞකාව නතර කරන ලෙස නාවික හමුදා යාත‍්‍රාවලින් නෞකාවට පණිවුඩ ලබා දුන්නේය. එහෙත් අවි ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් සහිත මේ නෞකාව නතර නොකළේය. වහාම කි‍්‍රයාත්මක වූ නාවික හමුදාව සිය ප‍්‍රහාරක ඩෝරා යාත‍්‍රා ඒ මොහොත වනවිට මුලතිව් මුහුදේ මේ ප‍්‍රදේශයට කැඳවා තිබුණි.
නාවික හමුදාව දිගින් දිගටම කොටි යාත‍්‍රාවට ප‍්‍රහාර එල්ල කළහ. නාවික හමුදා ප‍්‍රහාරවලින් විශාල පිපිරුමක් සහිතව නෞකාව දියබත් විය. ඒ මොහොත වනවිට මුහුදු කොටි බළකාය විසින් ඔවුන්ගේ ප‍්‍රහාරක යාත‍්‍රා හතරක් නාවික හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීමට කැඳවා තිබුණි. එහෙත් නාවික හමුදාවේ ප‍්‍රහාරවලින් කොටින්ගේ මේ යාත‍්‍රා හතරද සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
නාවික හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීමට මුලතිව්හි සිට පැමිණි තවත් යාත‍්‍රා කිහිපයක් වහාම පසු බැස්සේය.
නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශයට පත් වූ නෞකාව දියබත්වන අවස්ථාවේ එයින් නැඟුණු පිපිරුම් හඬවල්වලින් අනාවරණය වන්නේ “මේ නෞකාවේ අවිආයුධ මෙන්ම පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් තිබූ බවයි” නාවික හමුදාව මේ සම්බන්ධයෙන් එසේ ප‍්‍රකාශ කරයි.
කොටි ත‍්‍රස්තයෝ මේ නෞකාවේ කාලතුවක්කු උණ්ඩ ඇතුළු පතොරම් වැඩි වශයෙන් ගෙන එන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.
කොටි ත‍්‍රස්තයන් භූමියේ ලබා ඇති පරාජය මෙන් ම ඔවුන්ගේ මුහුදු කොටි බළකායට ද එල්ල වූ මේ ප‍්‍රහාරයෙන් තවත් ප‍්‍රබල පසුබෑමකට ලක් වෙයි. මේ වන විට කොටි සාමාජිකයින් ප‍්‍රබල ලෙස පහතට වැටී ඇත. කොටි සාමාජිකයින්ගේ චිත්ත ධෛර්ය ද ඉතා පහත් මට්ටමකට පත්ව තිබේ.
නාවික හමුදාව ඉකුත් වසර තුන මේ ආකාරයේ ප‍්‍රහාරයන් රැසක් කොටින්ට එල්ල කරන්නට සමත් වූහ. කොටි ත‍්‍රස්තයන්ගේ පාවෙන ආයුධ ගබඩා ලෙස සැලකෙන විශාල නෞකාවන් දහයකට වැඩි සංඛ්‍යාවක් මේ ආකාරයෙන් නාවික හමුදාව විසින් විනාශ කර දැම්මේය.
වෙනදා ආයුධ ප‍්‍රවාහනය කරන ක‍්‍රමවලට වඩා වෙනස් ක‍්‍රමයක් මෙවර කොටි භාවිතා කර ඇත. මීට පෙර නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශයට පත් වූයේ මීටර් හැටක් අසූවක් හෝ ඊට වඩා දිගින් යුත් නෞකාවන් ය.
මෙවර නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශයට පත් වූ නෞකාවේ දිගට මීටර් තිහක් හතලික් පමණ වන බව නාවික හමුදාව පවසයි. කොටි මෙවැනි නෞකාවක් මෙවර යොදා ගෙන ඇත්තේ නාවික හමුදාවේ සැකයෙන් මිදීමටය. එහෙත් නාවික හමුදාවේ තියුණු ඇස පරාජය කිරීමට කොටි ත‍්‍රස්තවාදීන්ට හැකියාවක් නොමැති බව නාවික හමුදාව මේ ප‍්‍රහාරයෙන් ද ඔප්පු කර හමාරය.
කොටින්ගේ අවි ආයුධ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ නෞකාවක් මෙලෙස නාවික හමුදාව විසින් විනාශ කර දැමීමෙන් කොටින්ට සිදු වූ හානිය අති විශාලය. කොටි ත‍්‍රස්තයන් යුද හමුදා භට පිරිස් වෙත එල්ල කරන කාලතුවක්කු සහ මෝටාර් ප‍්‍රමාණය පහතවැටීමට ප‍්‍රධානතම හේතුවක් වූයේ කොටි අවි නැව් නාවික හමුදාව විසින් විනාශ කර දැමීමය. කොටි සංවිධානයේ යුද ශක්තිය බිද දැමීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරන මෙහෙය අති මහත්ය.
මේ අතර ඉකුත් සතිය පුරාවට යුද බිමේ වූ සුවිශේෂි සිද්ධියක් වන්නේ කොටි සාමාජිකයින් රැසක් යුද බිමෙන් පැනවිත් යුද හමුදාව වෙත භාර වීමයි. මෙලෙස භාර වන වැඩි පිරිසක් ප‍්‍රකාශ කර සිටින්නේ කොටි සංවිධානය මේ වන විට දේශපාලන, ආර්ථික, සමාජීය, යුදමය ඇතුළු සියලුම අංශයන්ගෙන් බිඳවැටී ඇති බවයි. තමන්ට කොටි සංවිධානය පිළිබඳව මේ වන විට ඇත්තේ ඉමහත් කලකිරීමක් බව ද ඔවුහු සඳහන් කරති.
මේ ආකාරයට ඉකුත් සිකුරාදා (19) පරන්තන් දෙසින් පැමිණ 58 වන සේනාංකයේ භට පිරිස් වෙත භාර වූ කොටි සාමාජිකයින් දෙදෙනා වැදගත් තොරතුරු හෙළි කළහ.
‘මගේ නම ශිවචන්ද්‍රනාත් මට අවුරුදු විසිඅටයි. 2002 දී තමයි කොටි සංවිධානයට මාව බඳවා ගත්තේ. මම හැටන්වල පිහිටි ගෞරව තොලුවන් කියන වත්තේ පදිංචිව සිටියේ. 2002 දී මම කිලිනොච්චියට ගිහිල්ලා පාවාහන් වෙළඳ්‍රම් කරා. එහෙම වෙළඳ්‍රමේ යන දවසක තමයි කොටි සාමාජිකයින් දෙදෙනෙක් ඇවිල්ලා මට මරණ තර්ජන එල්ල කරලා කොටි සංවිධානයට මාව බඳවා ගත්තේ.
කොටි සංවිධානයට තිබුණු බය නිසා මට දිගට ම කොටි සංවිධානයේ රැදී සිටින්නට සිදු වුණා. කොටි ත‍්‍රස්තයෝ මට යුද පුහුණුව ලබා දුන්නා. මාව යුද්ධයට යෙදෙව්වා. මට නොයෙක් වද හිංසා කලා. මාව මරන්නත් හැදුවා. සමහර වේලාවට දවස් තුනකට එක සැරයයි කන්න දුන්නේ. නොයෙක් තැන්වලට අපිව අරගෙන යනවා රාති‍්‍ර කාලයේ දී අපි ඉන්න තැනැක්වත් හරියට දන්නේ් නැහැ.
මම කසාද බැඳලා හිටියේ සිංහල කාන්තාවක් ඇය මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි. ඇගේ නම රේණුකා. මම රේණුකාට ගොඩක් ආදරෙයි. ඒත් මට අවුරුදු හයකින් රේණුකාව බලන්න බැරිවුණා. ඒත් මට හමුදාවේ උදව්වෙන් දැන් රේණුකා බලන්න පුළුවන්. මට ඒ ගැන ගොඩක් සතුටුයි.
මාව අන්තිමට පරන්තන් ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයට යෙදෙව්වා. ඒ අවස්ථාවේ තමයි කොටින්ගෙන් මිදිලා කිලාලි කලපුව පැත්තෙන් ඇවිල්ලා හමුදාවට භාර වුණේ. හමුදාවේ අය වෙඩි තියලා මාව මරයි කියලා හිතුනා ඒත් එහෙම වුණේ නැහැ. හමුදාවේ අය මට කන්න බොන්න දීලා මාව හොඳින් පිළිගත්තා.’
ශිවචන්ද්‍රනාත් හමුදාව වෙත භාර වීමෙන් පසුව හමුදාව වෙත එසේ ප‍්‍රකාශ කර තිබේ.
පරන්තන් සිට පැමිණ හමුදාවට භාර වූ මරියකාර්, හමුදාව වෙත සිය අත්දැකීම් මෙසේ ප‍්‍රකාශ කළහ.
“මම පරන්තන්වල සිටියදී තමයි කොටි ග‍්‍රහණයෙන් පලා ආවේ. මට දැන් අවුරුදු තිස්තුනක්. පුදුකුඩුඉරිප්පු ඉරණපායි පස්වන පටුමගේ මම පදිංචි වෙලා සිටියේ. වසර දහයකට කලින් කොටි ත‍්‍රස්තයෝ මාව පැහැර ගත්තේ එදා ඉදලා මම අනන්ත දුක් වින්දා මගේ ජීවිතේ බේරා ගන්න.
කොටි ත‍්‍රස්තයෝ අහිංසක වැසියන් දහසකට වඩා හිර කරලා සිර ගෙවල්වල දාලා තියෙනවා. සමහර හිරගෙවල් කම්බිකූඩුවලින් හදලා තියෙන්නේ. පොඩි කූඩු වල දෙදෙනා බැගින් සිර කරලා ඒ කූඩු එලිමහනේ් තබලා තියනවා.
වල්ලිපුරම්, වානම්පාළු ඇතුළු ප‍්‍රදේශ කිහියක තමයි කොටි සංවිධානය මේ සිර කඳවුරු සකස් කරලා තිබෙන්නේ. මමත් ඒ සිරකදවුරක කාලයක් සිටියා. එහිදී සිදුවුනු දේවල් මතක් වන විට ඇස්වලට කඳුලු එනවා.
කොටින්ගේ නොයෙක් වද හිංසා විඳී කාලය දැන් අවසන් බව මට දැනෙනවා. මා දැන් ගොඩක් සතුටෙන් ඉන්නේ.
මේ ආකාරයට කොටි සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් හැත් තෑවකට වැඩි පිරිසක් ඉකුත් සතියේ හමුදා ප‍්‍රදේශවලට පැමිණ භාර වූහ.
මේ සියලුම දෙනා ප‍්‍රකාශ කර සිටින්නේ කොටි ත‍්‍රස්තයන් දස දහස් ගණනක් සිවිල් වැසියන් බලහත්කාරයෙන් රදවාගෙන සිටින බවයි.
මේ අතර උතුරේ මානුෂීය මෙහෙයුම් ඉතා උණුසුම් වෙමින් පවතියි. කොටින්ගේ ප‍්‍රබලම ප‍්‍රදේශයක් ලෙස සැලකෙන නැදුන්කර්නි ප‍්‍රදේශය ඊයේ (21) දහවල් වන විට සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට 4 වන කාර්යසාධක බළකායේ භට පිරිස් සමත් වූහ.
ඉතාම උපායශීලීව මේ ප‍්‍රදේශයට ඇතුළු වූ හමුදා භට පිරිස් නැදුන්කර්නි මුළුමනින්ම අත්පත් කරගනු ලැබුවේ කොටි ත‍්‍රස්තයෝ හතළිහකට වැඩි පිරිසක් ඝාතනය කරමිනි.
මේජර් ජනරාල් ජගත් ඩයස් යටතේ කි‍්‍රයාත්මක වන 57 වන සේනාංකයේ භට පිරිස් ඉරණමඩු වැවේ සිට අක්කරායන්කුලම් අඩම්පන් ප‍්‍රදේශය හරහා කිලිනොච්චි නගරය ආවරණය වන පරිදි කොටි පස් බැම්ම බිඳ දැමීමට කටයුතු කළහ.
මේ අතර බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන 58 වන සේනාංකයේ භට පිරිස් අඩම්පන් සිට යාපනය කලපුව දක්වා පරන්තන් මාර්ගයෙන් දිවෙන කොටි පස් බැම්ම අත්පත් කර ගත්හ. මේ සඳහා සෙබළුන් පුරා දින දෙකක් කොටින් සමග මුහුණට මුහුණලා දරුණු සටනක නිරත වූහ.
58 වන සහ 57 වන සේනාංකයේ ප‍්‍රහාර කි‍්‍රයාත්මක වන මොහොතේම කොටින්ගේ මුලතිව් ප‍්‍රදේශයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට 59 වන සේනාංකය ද කටයුතු කෙළේ ය.
මේ සේනාංක වලට කාර්ය සාධක බළකාය 2, 3, 4 යන බළකායන් ගෙන් ද විශාල සහයෝගයක් ලැබුණි. කොටි ත‍්‍රස්තයෝ නොසිතූ මොහොතක එල්ල කළ මේ ප‍්‍රහාරවලින් කොටින්ට ඔවුන්ගේ කිලිනොච්චි ප‍්‍රදේශයේ සහ මුලතිව් කුමදමුනේ ඉදිරියේ පිහිටා තිබූ ශක්තිමත් පස් බැම්ම අතහැර දමා පළායාමට සිදු විය. මේ ස්ථානවල දී කොටි මෙලෙස ආපස්සට හැර වීම හමුදාව ලද විශාල ජයග‍්‍රහණයක් මෙන්ම කොටින්ට තවත් ප‍්‍රදේශ රැසක් අහිමි කිරීමට බලයක් විය.
මේ මෙහෙයුම් වලට ගුවන් හමුදාව ද විශාල සහයක් ලබා දෙමින් ඉකුත් සතියේ කොටින්ගේ ප‍්‍රබල ඉලක්ක රැසක් විනාශ කර දැමීමට සමත් වූහ.
මේ අතර දියතලාවේ පිහිටි යුද හමුදාවේ පුහුණු කඳවුරේ නිලධාරීන් විසිර යාමේ උත්සවයට සහභාගි වූ සේනාධි නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ලෝකයේ ප‍්‍රබලතම හමුදාවක් වන අපේ හමුදාව තව නොබෝ දිනකින් ත‍්‍රස්තවාදයට විරුද්ධව ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ජයග‍්‍රහණය කරන බවයි.
සටහන භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

කොටි නායකයෙක් ගිය කැබ් රියකට දැඩි ප‍්‍රහාර

මහින්ද කුලතුංග
කිලිනොච්චියේ නිවිල් උතුරු ප‍්‍රදේශයේ ගමන්කරමින් තිබූ කොටි ත‍්‍රස්තවාදීන්ගේ කැබ් රථයකට යුදහමුදාව විසින් ඊයේ (21) සවස දැඩි ප‍්‍රහාරයක් එල්ලකර එය විනාශ කර තිබේ.
එම කැබ් රථයේ ගමන්කළ කොටි ප‍්‍රාදේශීය සන්නද්ධ නායකයකු මියයන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.
මේ අතර කිලිනොච්චියේ පුදුමුරිප්පුකුලම් වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කොටි ඉලක්ක කීපයකට ඊයේ (21) උදේ ගුවන් හමුදාවේ එම්.අයි. 24 හෙලිකොප්ටර් යානා මගින් ප‍්‍රහාරයක් එල්ලකර තිබේ.
එම ප‍්‍රහාරයෙන් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග්කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පවසයි.
අලිමංකඩ ප‍්‍රදේශයේ සිට ඊයේ දහවල් සිවිල් සාමාන්‍ය වැසියන් 16 දෙනකු පුනරීන්හි නාගතෙවන්තුරෙයි ජැටියට පැමිණ යුද හමුදාවට බාරවී තිබේ. හමුදාව එම වැසියන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදී මන්නාරම ප‍්‍රදේශයේ සරණාගත කඳවුරකට යොමුකර තිබේ.

එල්ටීටීඊය තුවක්කු බලයෙන් සිවිල් ජනතාව රඳවන් ඉන්නවා

ජනපති මහින්ද රාජපක්‍ෂ
නිව් ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පත, ඉකුත් බ‍්‍රහස්පතින්දා කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා දැක්වූ අදහස් මෙසේ පළකෙරේ.
වත්මන් සංවර්ධනයේ ඉතාම සිත්ගන්නා කරුණකින් මම මේ සම්මුඛ සාකච්ඡාව ආරම්භ කරනවා. ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට යුදමය විසඳුමක් නැති බව ඔබතුමා සඳහන් කර තිබෙනවා. ඔබ මේ ප‍්‍රශ්නය විසඳීමට අදහස් කරන්නේ කෙසේ ද?
ඔබ කියන දේ නිවැරැදියි; ශී‍්‍ර ලංකාවේ වත්මන් ගැටලුවට යුදමය විසඳුමක් නැති බව මම තරයේ විශ්වාස කරනවා. මම දිගින් දිගටම කීවේ මෙයයි. ත‍්‍රස්තවාදීන්ට යුදමය පිළිතුරු දෙන අතර, ශී‍්‍ර ලංකා වාසීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට අප උනන්දු වෙනවා.
නොබෙදු ශී‍්‍ර ලංකාවක සාකච්ඡාමය දේශපාලන විසඳුමකට එළඹීමට අප ඇප කැපවී සිටින බව මම යළිත් අවධාරණය කරන්නට කැමැතියි. දමිළ ජාතිකයන් ඇතුළු සියලුම ජන කොටස්වල අපේක්ෂාවන් පිළිබද මෙහිදී සැලකිල්ලට යොමු කරනවා.
මීට අදාළ දේශපාලනමය කි‍්‍රයාදාමය සර්ව පාක්ෂික කමිටුව විසින් දැනට සකසාගෙන යනවා. මෙය තවදුරටත් ව්‍යාප්ත කරන්න, දෙමළ ජාතික සන්ධානයටත් (ටී. එන්. ඒ) සහභාගි වන ලෙස අප ආරාධනා කළා.
නොබෙදුණු රටක සියල්ලන්ටම සාධාරණය ඉටුකිරීම සඳහා වන ඔවුන්ගේ යෝජනා සහ අදහස් සතුටින් පිළිගැනීමට අප කැමැත්තෙන් ඉන්නවා.
මා බලා ඉන්නේ සර්ව පාක්ෂික කමිටුවේ අවසන් යෝජනාව ලැබෙන තුරුයි. ඒ කමිටුව මා වෙත ඉදිරිපත් කළ අන්තර් යෝජනාව දැනටමත් කි‍්‍රයාත්මක කර අවසන් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගත් නැඟෙනහිර පළාතේ ඡන්දය පැවැත්වූයේ එය පදනම් කරගෙනයි.
ඒ පළාතේ නායකත්වයට අප දමිළ ප‍්‍රධාන ඇමැතිවරයෙක් තෝරාගත්තා. අප දැන් නැඟෙනහිර පළාතට තවත් බලය බෙදාහැරීමට කටයුතු කරගෙන යනවා.
එහි කොටසක් වශයෙන් නැඟෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දමිළ ජාතිකයෙක් පත්කර තිබෙනවා. නැඟෙනහිර පළාතේ අප ලැබූ මේ සාර්ථකත්වය, උතුරු පළාතේත් ඇති කරන්නට අප බලාපොරොත්තු වෙනවා.
කරුණා සහ පිල්ලෙයාන් සමඟ කරන කටයුතු බලාපොරොත්තු වූ තරම් හොඳින් සිදුනොවන බව අපට වාර්තා වී තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ කටයුතු සහ උතුරු - නැඟෙනහිර යුද්ධය පිළිබඳ උනන්දුවකින් කටයුතු කළ ඔබ, ප‍්‍රධාන අමාත්‍ය චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුරලිදරන් (කරුණා) එල්. ටී. ටී. ඊ යේ සාමාජිකයන්ව සිටියදී රජයට විරුද්ධව අවුරුදු ගණනාවක් යුද වැදී සිටි බව දන්නවා විය යුතුයි.
ඔවුන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අත්හැර, ඡන්ද කි‍්‍රයාපද්ධතියේ සහ ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්වන තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මඟට යොමුවීමම ජයග‍්‍රහණයක්.
එකම පක්ෂයේ නායකයන් දෙදෙනෙක් වෙනස් මත දැරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දක්නට ලැබෙන ප‍්‍රකට දෙයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල බොහෝවිට මෙය දක්නට ලැබෙනවා. ඒ නිසා, ඔවුන් නියෝජනය කරන ජනතාවගේ පොදු යහපත උදෙසා, ඔවුන් අතර ඇති මතභේද නිරාකරණය කර ගන්නවා ඇතැයි මම සිතනවා.
යුද කි‍්‍රයාපද්ධතියේ දී සිවිල් වැසියන් මරා දමන බවට තමිල්නාඩුවේ මත පළවී තිබෙනවා. ඔබතුමා මීට ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක් බව මම පැහැදිලිව කියනවා. අපේ යුදමය කි‍්‍රයාපද්ධතිය හුදෙක්ම එල්. ටී. ටී. ඊයට විරුද්ධ එකක්, එය දමිළ ජාතිකයනට විරුද්ධව කෙරෙන්නක් නොවන බව, මම දිගටම කියා තිබෙනවා.
සිවිල් ජනයා අනතුරට පත් නොකරන ලෙසට මම හමුදාවට දැඩි නියෝග දී තිබෙනවා. මේ අතර, එසේ නොවන්නට වගබලා ගැනීමට හමුදාවද උපරිමයෙන් කැපවී කටයුතු කරනවා.
කෙසේ වෙතත්, මේ ගැටුමේ ස්වභාවය නිසා සිවිල් වැසියන්ගේ දේපළවලට හානි සිදුවී ඇති බව මමත් පිළිගන්නවා.
නැඟෙනහිර පළාතේ කළාක් මෙන් ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගත් වහාම රජය මේවා නැවත ගොඩනැගීමටත්, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරනවා. ඉදිරි වසර තුන ඇතුළත නැඟෙනහිර පළාත් සංවර්ධනයට රජය ඩොලර් බිලියන 1.8 ක් වැය කරනවා.
කෙසේවෙතත්, එල්. ටී. ටී. ඊ ය අහිංසක සිවිල් වැසියන් තම ආරක්ෂාවට පළිහක් ලෙස යොදා ගන්නවා.
යුද හමුදාව සහ ආණ්ඩුව සපයා ඇති දකුණට පැමිණිය හැකි ආරක්ෂිත ‘කොරිඩෝව’ හරහා වඩා සුරක්ෂිත ප‍්‍රදේශ කරා ඔවුනගේ පැමිණීම එල්. ටී. ටී. ඊ ය වළකා තිබෙනවා.
ගැටුම් පවතින ප‍්‍රදේශවල සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ උනන්දුව දක්වන දේශපාලන නායකයන්, මෙම කොරිඩෝව හරහා ආරක්ෂිත ප‍්‍රදේශවලට සිවිල් වැසියන්ට පැමිණීමට අවසර දීමට එල්. ටී. ටී. ඊ ය නම්මාගැනීමට කටයුතු කරනවා නම් හොඳයි.
ගැටුම් පවතින ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් තරම් සහන නොලැබෙන බව තමිල්නාඩුව මැසිවිලි නඟනවා. ඊට පිළියම් යෙදීමට ගෙන ඇති පියවර මොනවා ද?
කවරකුගේ වුවත් සත්‍ය මත පදනම් නොවූ මැසිවිලිවලට ප‍්‍රතිචාරය දැක්වීම අසීරුයි. අභ්‍යන්තරික වශයෙන් අවතැන්වී ඇතැයි මාධ්‍ය කියන සංඛ්‍යාව අතිශයෝක්තියෙන් දක්වා තිබෙනවා.
දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව අවතැන්වූ සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂයක් පමණ වනවා.
කිලිනොච්චි සහ මුලතිව් දිස්ති‍්‍රක්ක දෙකේ සහ වවුනියා දිස්ති‍්‍රක්කයේ කොටසක වාසය කරන අය විදින දුක් කම්කටොලු ගැන සලකා, මේ ප‍්‍රදේශවල සිටින සියලුම සිවිල් වැසියන්ට නොමිලේ සහනාධාර ලබාදීමට මම නියෝග කර තිබෙනවා. මේ ආහාර ද්‍රව්‍යවලින් කොටසක් නිසැකවම එල්. ටී. ටී. ඊ ය අතට පත්වන බව මම හොඳින්ම දන්නවා.
මේ වසරේ සැප්තැම්බර් සිට අද දක්වා, අප ආහාර ටොන් 11,058 ක්, ආහාර නොවන ද්‍රව්‍ය ටොන් 598 ක් කිලිනොච්චි සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලට යැව්වා. මේ අතර, මෙම කාලය ඇතුළත, ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම ප‍්‍රදේශවල ආහාර ටොන් 4,370 ක් බෙදා දී තිබෙනවා.
තමිල්නාඩුවේ ජනතාව විසින් එවන ලද ආහාර ද්‍රව්‍ය මෙහි එවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප ඉන්දීය ආණ්ඩුවට කෘතඥ වෙනවා. මේ සියලුම ආහාර ද්‍රව්‍ය, ගැටුම් පවතින ප‍්‍රදේශවල සිවිල් වැසියන් අතර දැනටමත් බෙදා දී තිබෙනවා.
සරණාගතයන් විශාල වශයෙන් තමිල්නාඩුවට යාම නිසා ගැටලුවක් ඇතිවේදැයි ඔබතුමා සිතනවාද?
සරණාගතයන් විශාල වශයෙන් යන වගක් නම්, මා දන්නේ නැහැ. නිවැරැදි තත්ත්වය මම කියන්නම්. පසුගිය වසරේ නැඟෙනහිර පළාත මුදාගැනීමේ දී අභ්‍යන්තරික වශයෙන් අවතැන්වුවන් 1,70,000 ක් පමණ සිටියා.
දැනට උතුරේ අවතැන්වුවන් 1,00,000 පමණ සිටිනවා. තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ සංඛ්‍යා ලේඛන අනුව, 2006 ජනවාරි සිට තමිල්නාඩුවට ගොස් සිටින සරණාගතයන් සංඛ්‍යාව 22,800 යි.
මොවුන් අතුරින් 5,429 ක් සිය කැමැත්තෙන්ම ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සරණාගතයින් විශාල වශයෙන් තමිල්නාඩුවට ඇදීනොයන බව මෙයින්ම පෙනී යනවා.
නැඟෙනහිර පළාත මුදාගැනීමෙන් පසුව, තමිල්නාඩුවේ සිටි නැගෙනහිර පළාතේ සරණාගතයන් සමහරෙක් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බව මට දැනගන්නට ලැබී තිබෙනවා.
එසේ නැවත පැමිණෙන සියලුම සරණාගතයන්ට හැකි සෑම සහයක්ම ලබාදීමට මගේ රජය සූදානම්.
ඔබතුමා ධීවර ඇමැතිවරයා වශයෙන් කලක් කටයුතු කළා. දිනකට තමිල්නාඩු යාත‍්‍රා ඔබගේ මුහුදු සීමාව ඇතුළත ධීවර කටයුතුවල කොතරම් දුරට යෙදෙනවාද කියා ඔබතුමාට කියන්න පුළුවන්ද?
නාවුක හමුදාව සපයා ඇති තොරතුරු අනුව, සාමාන්‍යයෙන් තමිල්නාඩු ධීවර යාත‍්‍රා 500 ක් පමණ දිනකට ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල යෙදෙනවා.
මෙය කලක සිටම කෙරීගෙන යනවා. මා ධීවර ඇමැතිවරයාව සිටි කාලයෙත් මෙසේ සිදුවුණා. අසල්වාසි රටවල් දෙකක් වන අප දෙරට මෙය මිත‍්‍රශීලිව විසඳ්‍රගත යුතුයි.
එල්.ටී.ටී.ඊ.ය පැහැදිලිවම සටන් විරාමයකට සූදානම්. තමිල්නාඩු මහ ඇමැතිවරයා මෙයට සහාය පළ කරනවා. එහෙත් ඔබතුමා මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප කළා. ඒ ඇයි?
සටන් විරාමයක් ඇතිකරන ලෙස එල්.ටී.ටී.ඊ.ය ඉල්ලා සිටීමට හේතුවී ඇති පසුබිම ඔබ හඳුනාගත යුතුයි. තමන් යුදමය වශයෙන් දුබල වූ විට, සටන් විරාම ඉල්ලා සිටීම එල්.ටී.ටී.ඊ.ය දිගින් දිගටම කර ඇති දෙයක්.
ඔවුනට අලුතින් යුද හමුදාව ලබා ගැනීමට සහ සටන්කරුවන් බඳවා ගැනීමට කාලය අවශ්‍ය වූ විට මෙසේ කරනවා. 2005 නොවැම්බරයේ දී මා ජනාධිපති ධූරයට පත් වූ පසුව මහවිරු දින කථාවේදී එල්.ටී.ටී.ඊ. නායකයා මා “ප‍්‍රඥාගෝචර” නායකයෙක් ලෙස හඳුන්වා දුන්නා. ජනවාර්ගික ගැටලුව විසඳීමට මගේ රජයට එක් අවුරුදු කාලයක් ලබාදෙන බවත් කීවා.
කෙසේ වෙතත්, මා ප‍්‍රඥාගෝචර නායකයෙක්ද යන්න ඔප්පු කිරීමට ඔහු මට සුළු ඉඩ ප‍්‍රස්ථාවක් දුන්නේ නැහැ. එම කථාව පවත්වා සති දෙකක් ඇතුළත ඔහු අපේ හමුදාවට ප‍්‍රහාර එල්ල කළා. අහිංසක සිවිල් වැසියන්ටත් හානි කළා.
මේ අනුවත් අප අතීතයේ ලැබූ වෙනත් අත්දැකීම් පදනම් අනුවත් සටන් විරාමයක් සඳහා වූ එල්.ටී.ටී.ඊ.යේ ඉල්ලීම අවංක එකක් යැයි සිතන්නට බැහැ.
ඊට වඩාත් හේතුවන්නේ එල්.ටී.ටී.ඊ.ය මෙවර ඉල්ලීම කරන්නේත් අපගේ හමුදාව ඔවුන් දැඩිසේ දුර්වල කළ අවස්ථාවක වන නිසයි. එල්. ටී. ටී. ඊ ය වැනි ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කටයුතු කළ යුත්තේ යථාර්වාදීවයි.
යුද්ධමය ජයග‍්‍රහණයක් ප‍්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කොන්දේසි මොනවාද? එය කිලිනොච්චියෙන් අවසන් වනවාද?
මම දැනටමත් කියූ පරිදි, මම යුද්ධමය විසඳුමකට කැමැති නැහැ. කෙසේ වෙතත්, රජයට නීත්‍යානුකූල ලෙස පාවිච්චි කළ හැකි බලය යෙදවීම අනිවාර්ය වී තිබෙනවා.
ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරාපත්වූ රජයකට එසේ කරන්නට පුළුවන්. ඒ නිසා, කිලිනොච්චිය වැටීම, එම ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්තිවිදීමට ඉඩ සලසන කි‍්‍රයාපද්ධතියේ එක් ඉදිරි පියවරක් පමණයි.
මේ ප‍්‍රදේශවල ජනයා එල්. ටී. ටී. ඊ යේ අමානුෂික කි‍්‍රයාවලින් දුක්ගැහැට විඳී අය. මෙය යුදමය ජයග‍්‍රහණයක් වනවාට වඩා, ප‍්‍රජාතන්ත‍්‍රික නිදහස යළි ලබා දීමක් වෙනවා ඇති. සැබෑ ජයග‍්‍රහණය මෙයයි.
කිලිනොච්චි සහ මුලතිව් ප‍්‍රදේශ වාසීන් සහ සරණාගතයන් ලක්ෂ හතරක් පමණ සිටිනවා යයි මම සිතනවා. මෙවැනි ජනාකීර්ණ ප‍්‍රදේශයක යුද්ධයක් තුළින් මෙම ගැටලුවට විසඳුම් සෙවිය හැකිද? සාමාන්‍ය ජනතාව එල්. ටී. ටී. ඊ යෙන් බැහැර කරවා ගැනීමට සිතන්නේ කවර ආකාරයෙන් ද?
ඔබ සඳහන් කළ සංඛ්‍යා ලේඛන ප‍්‍රශ්න සහගතයි. නමුත් මම ඒ ගැන කථා කරන්නේ නැහැ. සිවිල් වැසියන් එල්. ටී. ටී. ඊ යෙන් බැහැර කර ගත යුතු බව සිතීම වැරැදියි. ඔවුන් එල්. ටී. ටී. ඊ ය ට ඇපකැපවී ඇති බව පෙන්වීමට කිසිම සාක්ෂියක් නැහැ.
එමෙන්ම ඔවුන් එල්. ටී. ටී. ඊ පෝෂණය කළ අයත් නොවේ. වැරැදි සහගත බලාපෙරොත්තු ලබාදුන් නොමග ගිය සුළු පිරිසක් පමණක් තවමත් ඔවුන් සමග ඉන්නට පුළුවන්.
එල්. ටී. ටී. ඊ ය කිසිවිටකත් දමිළ ජනතාව ගේ සැබෑ නියෝජිතයා වුණේ නැහැ. කිලිනොච්චියේ සහ මුලතිව්හි සිටින සුළු පිරිස රඳවාගෙන සිටින්නේ එල්. ටී. ටී. ඊ යේ තුවක්කුවේ බලයෙන්.
එම බලය බිඳ දැමූ පසුව දෙමළ ජාතිකයන්ට නිදහසේ තම නායකයන් තෝරා ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයට එකතුවීමට පුළුවන්. උතුරේ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ එයයි.

උදේ කාන්තා විමුක්තිකාමියා හවසට බීරියට තඩිබානවා

වෑගල ඥානවිමල හිමි - මල්වතු මහා විහාරවාසී නියංගොඩ කුඹුරේගම ශ‍්‍රී ධර්මාලෝක මහ පිරිවෙන්පති
මේ ගත වෙන උඳුවප් මාසය කාන්තාවන්ට සුවිශේෂී කාල පරිච්ඡේදයකි. මෙහෙණි සසුන පිහිටුවීම, ශ‍්‍රී සංඝමිත්තා මහ රහත් මෙහෙණිය සිරිලක වැඩම කිරීම සිදු වූයේද මේ උඳුවප් මාසයේදීයි. නුතන කාන්තාවට බුදු දහම, සමාජය දී ඇති ගරුත්වය වටිනාකම පිළිබඳ කතා කිරීමට අද ධර්ම සභාවට වැඩම කරන්නේ මල්වතු මහා විහාරවාසී නියංගොඩ කුඹුරේගම ශ‍්‍රී ධර්මාලෝක මහ පිරිවෙන්පති වෑගල ඥානවිමල හිමිපාණෝය.
වර්තමාන සමාජය කාන්තා හිංසනය, ගෘහ ප‍්‍රචණ්ඩත්වය, පිළිබඳ බොහෝ සේ කතා වෙනවා. එයින් අපට පෙනෙන්නේ කුමක්දෝ අසාධාරණයක් කාන්තාවට සිදු වී ඇති බවයි. එබැවින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර බුදුන් දවස කාන්තාවට තිබූ තත්ත්වය කෙබඳුද යන්න ඔබ වහන්සේගෙන් දැන ගන්නට කැමැතියි.
ඔබගේ මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට මත්තෙන් බුදුන් වහන්සේ පහළ වීමට පෙර සමාජයේ කාන්තාවට තිබූ තත්ත්වය පිළිබඳ අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.
ඒ සමාජයේ බමුණන් විසින් සැලකුවේ කාන්තාවක වී ඉපදීම පවා ශාපයක්, පාපයක් නිවසට සමාජයට විනාශයක් හැටියටයි. එදවස කාන්තාවගේ තත්ත්වය ඉතාමත් ඛේදජනක වී තිබුණා.
මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඇයට හිමි වී තිබුණේ නැහැ. උපන්ගෙයි මරා දමන ලද බිළිඳියන් ගේ ප‍්‍රමාණය කෙතරම් වන්නට ඇද්ද ? තම ස්වාමියා අකලට මිය ගිය කල්හි ඔහු ගේ සෑයට පැන බිරිය ද සිය ජීවිතය අවසන් කරගත යුතු තත්ත්වයක් තිබුණේ.
බුදුන් වහන්සේටත් එක පාරටම මේ තත්ත්වය වෙනස් කිරීමට නොහැකි වුණා. මන්දයත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ස්තී‍්‍රය පිළිබඳ ඉහත සඳහන් කළ ආකාරයේ ඛේදජනක තත්ත්වය මිනිස් මනසේ තැන්පත් වී තිබුණු නිසයි.
ස්තී‍්‍රය පවා ඇතැම් විට මේ තත්ත්වය මෙලෙසම පැවැතීමට රුකුල් දී තිබෙනවා. බුදුන් වහන්සේ ක‍්‍රම ක‍්‍රමයෙන් එකී තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දැරුවේ කාන්තා නිදහස වෙනුවෙන් කතා කරන ලද ලොව පළමු දාර්ශනිකයා බුදුන් වහන්සේයි.
මවක් ලෙස, සහෝදරියක් ලෙස, බිරියක් ලෙස කාන්තාවට කෙසේ ගරු කළ යුතුද කෙසේ සැලකිය යුතුද වශයෙන් සමාජයේ නෙත් පෑදු බුදුන් වහන්සේ කාන්තාව ඉතා ඉහළින් අගය කළා.
සිද්ධාර්ථ කුමාරයා ඉපදී දින හතෙන් මහාමායා දේවිය මිය පරලොව ගියා. මාතෘ දිව්‍ය රාජයා වී ඉපදෙන්නේ මහාමායා දේවියයි.
දෙව්ලොව වැඩි මාතෘ දිව්‍ය රාජයාට ‘විජම් පිටකයෙන්’ ධර්ම දේශනා කරන ලද්දේ සිය මවට කරන උපහාරයක් ලෙසයි.
තමන් වහන්සේගේ සුළු මව වන ප‍්‍රජාපතී ගෝතමිය ගේ ඉල්ලීම පරිදි භික්ෂූණී ශාසනය පිහිටුවීම, සමාජයෙන් ප‍්‍රතික්ෂේප වූ පටාචාරා, රජ්ජුමාලා, කිසාගෝතමී වැනි ස්තී‍්‍රන්ට පිහිටවීම මේ අතර ඉතා වැදගත් වෙනවා.
බුදුන් වහන්සේ කාන්තාව අගය කළ තැන් කිහිපයක් සුත‍්‍ර නිකායේ සඳහන් වෙනවා. ‘මළ මිනියක් – මළ මිනියක් හා විසීම, මළ මිනියක් දෙව් දුවක හා විසීම, දේව පුත‍්‍රයෙක් දෙව්දුවක හා විසීම, දේව පුත‍්‍රයෙක් මළ මිනියක හා විසීම ආදී වශයෙන් පැහැදිලිවම ස්ති‍්‍රය අගය කර තිබෙනවා.
‘නකුල මාතා’ සුත‍්‍රය ද මේ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයක් ‘පතිවත – පතිනි වත’ උදාර මිනිස් ගුණයක් ලෙස සලකමින් ස්තී‍්‍රන්ට සමාජයේ සම තැන දීමට කටයුතු කර තිබෙන්නේ බුදුන් වහන්සේයි.
‘බිරිය නිතරම ස්වාමියාට කීකරුව අවනතව කි‍්‍රයා කරන නමුදු ස්වාමියා නිවසේ ඓශ්චර්යය බාර දෙන්නේ බිරියට. ඔහු ඇයට ගරු සරුව කතා කරයි. අවමන් නොකරයි. විශ්වාසය කඩ නොකරයි.
අභරණ සැරහුම් ලබා දෙයි. අන්න එහෙමයි සිඟාලෝවාද සුත‍්‍රයේ සඳහන් වෙන්නේ. මේවා විප්ලවකාරී අදහස් ලෙස අපට සැලකිය හැකි වන්නේ බුදුන් පහළවන කාලය හා සැසඳීමෙන්.
ඔබ වහන්සේ හිතනවද කාන්තාවට අද ඒ තත්ත්වය තිබෙනවා කියලා ?
අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද ස්තී‍්‍රන්ට ගරු කරන සමාජයක් අපට දැක ගැනීමට අපහසුයි. මවුවරුන්ගේ දින, කාන්තා දින, ආදි වශයෙන් දින වෙන්කළාට ඒවා නිකම්ම දින විතරයි.
උදේට කාන්තා අයිතිය රකින්න කියා බෝඩ් එල්ලන සමහර පිරිමි දවස ඉවර කරන්නේ තමන්ගේ බිරියට තඩිබාලා. තරගකාරී සමාජ ආර්ථික දේශපාලන රටාවක් තුළ අම්මා, සහෝදරිය, බිරිය, දියණිය හඳුනන්නේ නැති තත්ත්වයක් උදා වෙලා.
වැඩිහිටි නිවාස අම්මලාගෙන් පිරිලා. වාණිජකරණය වූ සමාජයක ස්තී‍්‍රය හුදු වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා. ටයර් විකුණන වෙළෙඳ දැන්වීමක පවා ස්තී‍්‍රය පහත් ලෙස යොදා ගෙන. බලන්න කෙතරම් නොගැලපීමක් ද කියලා.
ටයර් සහ ස්තී‍්‍රය අතර මොකක්ද තියෙන සම්බන්ධය. ටයර් එකට ටියුබ් එකක් පෙන්නුවා නම් ඒක තව ගැළපෙනවා. රාග ගින්න හැම තැනම බුර බුරා ඇවිලෙනවා. මව සහෝදරිය දියණිය යැයි නොසලකමින් ඇතැමුන් හැසිරෙන ආකාරය පිරිමි සංහතියටම නිගාවක්.
හැබැයි අධ්‍යාපනය, කී‍්‍රඩා වගේ පැති වලින් කාන්තාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙත් ප‍්‍රමාණාත්මක නෑ. ගැඹුරක් නෑ. කාන්තාවට කාන්තාවම නිග‍්‍රහ කරන තත්ත්වයක් අද ඇති වෙලා.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කරන කාන්තාවන් මොකද කරන්නේ ? මෙහෙ කාන්තාව ගේ දුක, වේදනාව, පීඩනය ගැන ලියමින් ඡායාරූප ගත කරමින් පිටරට වලට පෙන්නා තමන්ගෙ මල්ල තර කර ගන්න එක විතරයි.
දුප්පත් පවුල්වල කාන්තාවන්ට දරුන්ට ටොෆි බෙදලා විතරක් දුප්පත්කම නැති කරන්න බැහැ. ගමට රටට විතරක් නෙමේ තුන් ලෝකෙටම ඇහෙන්න කෑ ගැහැව්වට දුප්පත් පවුල්වලට සත පහක උදවුවක් කරන්නේ නෑ.
සමහරු වහල් සේවයට කුඩා දරුවන් යොදාගන්නවට විරුද්ධව කතා කරනවා. ගෙදර ගිහින් බැලුවොත් ගෙදර වැඩට ඉන්නේ පොඩි ළමයි.
අපේ රටේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ඒ සංවිධාන වල කි‍්‍රයාකාරිනියන් ගේ කතා බහ සහ යෝජනා දෙස බලන විට නම් අපේ රටේ කාන්තාව කෙතරම් ඉහළ තලයක ඉන්න ඕනද ?.
එහෙම නම් මේ තත්ත්වයෙන් මිදෙන්නට පුරුෂ පාර්ශවයට ගත හැකි කි‍්‍රයා මාර්ග මොනවාද ?
මේ තත්ත්වයෙන් ස්තී‍්‍රය මුදවා ගන්නට කි‍්‍රයා මාර්ග රාශියක් ගත යුතු වන්නේ පුරුෂ පාර්ශවයටයි. පිරිමි කල්පනා කරන්න ඕනෑ තම මව දෙස, සහෝදරිය දෙස, දියණිය දෙස බලනා ආකාරයට අවට සමාජයේ සෙසු කාන්තාවන් දෙසද බැලීමට, පිරිමින් තමන්ගේ නෙත, මනස සංවර කර ගත යුතුයි. කාන්තාව යනු දැහැටි කූරු නොවන බව පිරිමි මතක තබා ගත යුතුයි.
කුකරි ක්ලාස් ගිහින් සහතික, ඩිප්ලෝමා, උපාධි ගත්තට, පොල් බෑයක් ගාන්න දන්නේ නැතිව පවුල් ජීවිතේ උසාවියෙන් ඉවර කරගන්නා අයත් ඉන්නවා. ඒ වුණාට ගත්ත සම්මාන ඇවිදිනකොටත් ඇඟේ හැප්පෙනවා.
මෙතැනදී කාන්තාව දුර්වල චරිතයක් ලෙස දැක මේ අරමුණ කරා යා නොහැකියි. අපි සරල අත්දැකීමක් ගෙන බලමු. බස් රථයක ගමන් ගන්නා කාන්තාවන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් කිසියම් ආකාරයක ලිංගික අතවරයන්ට ලක්වෙන බව මේ මෑතක පළ වී තිබුණා.
විශේෂයෙන් පාසල් දැරියන් පවා ඉතා උග‍්‍ර ලෙස මේ අතවර වලට ලක් වෙනවා. හවස ගමන් ගන්නා බස් රථ වල වැඩි පිරිසක් බී ගත්ත පිරිමි. ඉතිං මේ අයත් එක්ක ද අපි ස්තී‍්‍රය ආරක්ෂා කරන්න කතා කරන්නේ. නිරෝගී පිරිමි අය ‘ගැබිනි මවුවරුන්ට වෙන් කළ ආසනයේ පවා අසුන් ගෙන යනවා. ගැබිනි අම්මලා හිටගෙන යනවා.
කාන්තාවගෙ පැත්තෙන් ඔවුන් ගේ කි‍්‍රයා මාර්ග කෙසේ විය යුතු දැයි සඳහන් කළොත් ?
කාන්තාවන් මේ සඳහා දැඩි කි‍්‍රයාමාර්ගයක් ගත යුතු වෙනවා. තමන් විසින්ම වළ කපාගෙන එයට බැස තමන්ම පස් දාගන්න තත්ත්වයකට කාන්තාව අද පත්වෙලා.
විශේෂයෙන් යෞවනියන් තමන්ගේ විලාසිතා පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. නිතර මවුපිය, ගුරුවර සෙවණේ කල් ගත කිරීමට කටයුතු කළ යුතු වෙනවා.
සිය කැමැත්තෙන් විනාශයට පත් වෙන තත්ත්වයක් නේ අද තියෙන්නේ. දින දෙකේ තුනේ සම්බන්ධතා මත පදනම් වී විවාහ වී පසුව මුළු ජීවිතයම කාලකණ්ණි කර ගන්නවා. දූෂණය වීම එකක්. දූෂණය කර ගැනීම එකක්. මේ තත්ත්ව දෙකම අද දකින්නට ලැබෙනවා.
ඒ නිසා කාන්තාව මීට වඩා අවදියෙන් සිටිය යුතු වෙනවා. අද පන්සලකට විහාරයකට දේවාලයකට ගියත් ඇතැම් තරුණියන් හැසිරෙන ආකාරය හරිම අප‍්‍රසන්නයි.
සමහරු පන්සලට අඳීන ඇඳුම නැවිලා වඳීන්නවත් බැහැ. මොකද අඟලේ රෙදි කෑල්ලක්නේ. ඒකත් දෙකට පළලා. සමහරු නාන්න යන ඇඳුම වගේ ඒවත් ඇඳගෙන පන්සලට එනවා.
බුදුන් ඉදිරියෙත් පෙම් කෙළි. මල් පූජා කරන්නෙත් මේ ප‍්‍රාර්ථනා සඵල කර ගැනීමට මිසක වෙන අරමුණක පිහිටා නොවේ. පෙම්වතියගෙ නම් අකුරු ගණනට හරියන්න මල් තියා පූජා කරනවා.
වයසට හරියන්න මල් තියා පුජා කරනවා. හදවතේ හැඩයට මල් අසුරා පූජා කරනවා. උත්තරීතර පිරිත් නූල පවා අද පෙ‍්‍ර්ම සංකේතයක් ලෙස පාවිච්චි කරනවා.
ඇතැම් තරුණියන් මෙසේ නූල් ගැටගසාගෙන ඉන්නේ තමන්ට පෙම්වතෙක් ඉන්නවාය කියා සංකේතාත්මකව පෙන්නුම් කිරීමට බව සමාජය දෙස විමසුම් ඇසින් බලන කළ පෙනෙනවා.
අද බොහෝ කාන්තාවන් සංස්කෘතිය දන්නේ නැහැ. ඉස්සර කාන්තාවන් දිහා බැලුවම සංස්කෘතිය කියාපානවා. ඒත් අද කාන්තාවන් බුදුන් වඳීන්නෙත් සන්ග්ලාස් දාගෙන. මේව සුපිරි පන්තියේ ඩල්සිලාට, රෝසිලාට. පිංකිලාට විතරයි අවසර තියෙන්නේ. ගමේ මැගිලින් ගේ රොසලින් ගේ දුවලට මේවා ඔට්ටු නෑ.
අපේ සංස්කෘතිය රැකගන්න කාන්තාවන්ගෙන් විශේෂ කැපවීමක් අවශ්‍යයි. විලාසිතා කිරීම අවශ්‍යයි. ඒත් අපේ සංස්කෘතියට ගැළපීම ඉතා අවශ්‍යයි.
කාන්තාවගෙන් මේ සමාජයට වැඩක් වේවිද ?
අද පන්සල් වල පවා පෝය දිනයට වැඩිපුරම දකින්න ලැබෙන්නේ සැදැහැවතියන්. පිරිමි පාර්ශවයට පෝය දිනටත් බැරෑරුම් රාජකාරි. ගමේ මරණාධාර සමිතියේත් බහුතරය කාන්තාවො.
සමෘද්ධි සමිතියේත් කාන්තාවො. මේ තත්ත්වය යටතේ නුතන කාන්තාව සමාජයෙන් පිටමං කළ නොහැකියි. පඩි නොලබා, නිවාඩු නොලබා, ගෙදර දොරේ දරුවන් ගේ ස්වාමියාගේ ඇය කරන වැඩ රාජකාරි ටිකම ගෙන බැලුවත් ඇය මේ සමාජයට කෙතරම් අත්‍යාවශ්‍යදැයි අපට පෙනෙනවා නේද ?.
සංවාද සටහන අයන්ති විතාන

වයඹට-මධ්‍යමට අපේක්ෂකයන් රැසක්

වෙල්ලස්සේ බණ්ඩාර
වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වී ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් එස්. එච්. ආරියසේන මහතා පැවැසීය.
පසුගිය 17 දින සිට 20 දින දක්වා මේ පළාත් සභා දෙක සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කරනු ලැබූ නාමයෝජනා මණ්ඩල දෙකක් විසින් මෙම පිරිස සම්මුඛ පරීක්ෂණවලට භාජන කළ බවද පාලක ලේකම්වරයා සඳහන් කෙළේය.
වයඹ පළාත් සභාව සඳහා වැඩිපුර අපේක්ෂකයින් ඉදිරිපත් වී සිටි බවද පැවැසූ පාලක ලේකම් ආරියසේන මහතා ලබන 24 දින වනවිට අපේක්ෂක ලැයිස්තු සකස් කැර අවසන් කරන බවද කීවේය.

එජාප වයඹ මහ ඇමැති අපේක්ෂකයා නම් කිරීම ලබන සතියේ

නිරූෂි විමලවීර
එක්සත් ජාතික පක්ෂයේ වයඹ මහ ඇමැති අපේක්ෂකයා ලබන සතියේ නම් කරන බව, එජාප සභාපති කුරුණෑගල දිසා මන්තී‍්‍ර ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා කීය.
වයඹ එජාප මහ ඇමැති අපේක්ෂකයා ලෙස කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් නම් කිරීමට පක්ෂයේ අවධානය යොමුවී ඇතැයිද ඒ මහතා කීය.
වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා නාම යෝජනා ලබා ගැනීමට අයදුම් කළ අපේක්ෂකයන්ට මේ මස 22, 23 දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකර සුදුස්සන් තෝරාපත් කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා එජාප නාමයෝජනා පත‍්‍රවල සියයට අනූවක වැඩ අවසන් බව කී සභාපතිවරයා, ඒ සඳහා අපේක්ෂකයන් දහසක පිරිසක් නාම යෝජනා ඉල්ලා අයදුම්පත‍්‍ර ඉදිරිපත් කර තිබූ බවද පැවැසීය.
මධ්‍යම පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස එස්. බී. දිසානායක මහතාගේ නම දැනටමත් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.

ජාතික එල්ලේ තරගාවලියේ සූරතාව තෙවැනි වරටත් තොටළඟ අරුණ දිනයි දහසික් බැඳි පියලි පිරිනැමීමේ යෝජනාව කෙළේ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ

ප‍්‍රින්ස් ගුණසේකර
දිවංගත මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙහෙය වූ ජාතික එල්ලේ සූරතාව තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජය දිනාගත්තේය.
රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය දිනාගත් තොටළඟ අරුණ කී‍්‍රඩකයන් වෙතින් පරාජයට පත්වූයේ පිට පිට ජාතික එල්ලේ සූරතා 2 ක් දිනා සිටි ප‍්‍රබල කණ්ඩායමක් වන මූදුකටුව පාතිමා කී‍්‍රඩා සමාජයයි.
සුගතදාස කී‍්‍රඩාංගණයේ විදුලි ආලෝකධාරා මැද පසුගියදා පැවැති ජාතික සූරතා අවසන් එල්ලේ මහා තරගයේදී ඉනිමක හා ලකුණු 2 ක ජයග‍්‍රහණයක් අරුණ ක‍්‍රීඩකයෝ අත්කර ගත්හ.
තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජය මෙතෙක් පැවැති ජාතික එල්ලේ සූරතා 3 ක් දිනා ඇති අතර ඔවුන් මෙයට පෙර 1981 හා 1989 වසරවල සූරතාව දිනා ගැනීමට සමත්ව ඇත.
මෙවර පරාජයට පත්වූ මූදුකටුව පාතිමා පිල 2003 හා 2004 වසරවලදී ජයග‍්‍රහණය හිමිකරගෙන තිබුණි.
දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ලෙස පත්වනතුරුම සම්මේලනයේ විටින්විට පැවැති අර්බුද හේතුවෙන් ජාතික එල්ලේ සූරතාවලිය පැවැත්වීමට නොහැකිවිය.
එමෙන්ම ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ අදහසක් අනුව ප‍්‍රථමවරට වැඩිම මුදල් ප‍්‍රමාණයක් ජයග‍්‍රාහකයන්ට පිරිනැමීමටද සංවිධායකයෝ කටයුතු කළහ.
එමෙන්ම තරගාවලියේ වීරයාට රුපියල් ලක්ෂයක් වටිනා යතුරුපැදියක් ප‍්‍රදානය කිරීමට දිවංගත අමාත්‍යතුමා කළ යෝජනාවද කි‍්‍රයාවට නැංවිය. ඒ අනුව තරගාවලියේ වීරයාට හිමි සම්මානයද සමඟ යතුරුපැදිය තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජයේ අරුණ හර්ෂනට හිමිවිය.
එල්ලේ තරග ඉතිහාසයේ දොළොස් දහසකට අධික නරඹන්නන් ඉදිරියේ පැවැති අවසන් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මූදුකොටුව පාතිමා පිල ලකුණු 3 කට දවා ගැනීමට තොටළඟ අරුණ කී‍්‍රඩකයෝ සමත්වූහ.
තොටළඟ අරුණ පිලේ දක්ෂ උඩපන්දු රැකීම හා පන්දු යැවීම හමුවේ මූදුකටුව පාතිමා පිලට දෙවැනි ඉනිමද ලකුණු 4 කට සීමාවීමට සිදුවිය.තොටළඟ අරුණ කී‍්‍රඩකයෝ ප‍්‍රථම ඉනිමට ලබාගත් ලකුණු නවය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් විය.
අවසන් තරගයේ ජය සංකේත ප‍්‍රදානයට පැමිණ සිටි කටාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජයට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමුවාය.
අනුසූරතාව දිනාගත් මූදුකටුව පාතිමා පිලට රුපියල් 50000 ක්ද තෙවැනි ස්ථානය දිනූ කෝපියාවත්ත ජයශ‍්‍රී කී‍්‍රඩා සමාජට රුපියල් 25000 ක්ද පිරිනැමුණි.
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් කී‍්‍රඩකයා ලුණුවිල ප‍්‍රදීප කී‍්‍රඩා සමාජයේ අසේල උදයංගම හා වැඩිම උඩපන්දු ලැබූ තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජයේ ප‍්‍රදීප් සුරංගට රුපිල් 7500 බැගින් හිමිවිය.ජය සංකේත ප‍්‍රදානය සඳහා සතොස සභාපති දේශමාන්‍ය නලින් ප‍්‍රනාන්දු හා පළාත් සභා මන්තී‍්‍ර නිහාල් ජයවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.
කී‍්‍රඩාංගණ 20 කදී කණ්ඩායම් 161 ක සහභාගිත්වයෙන් මෙවර ජාතික එල්ලේ සූරතාවලිය පැවැත්වුණි.

Wednesday, December 17, 2008

වාද්දුවේ දී බස් 3ක් ගැටී 4ක් මරුට 25කට තුවාල


භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්, පාණදුර සමූහ, වාද්දුව සමූහ, දකුණු පළාත් විශේෂ හා අළුබෝමුල්ල සමූහ
කොළඹ - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ වාද්දුව පොහොද්දර මුල්ල ප‍්‍රදේශයේදී පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ තුනක් ඊයේ (16) උදෑසන ගැටීමෙන් එහි ගමන් ගත් සිවු දෙනකු මියගොස් විසිපස්දෙනෙක් තුවාල ලැබූහ.තුවාලකරුවන් පාණදුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව පාණදුර රෝහලේ නිලධාරියෙක් සඳහන් කෙළේය.
මාතර–කොළඹ, ගාල්ල-කොළඹ සහ කළුතර-කොළඹ ධාවනය වන බස්රථ තුනක් මෙලෙස ගැටී ඇතැයි වාද්දුව පොලීසියේ රථවාහන අංශය පවසයි.
කළුතර කොළඹ මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයට දැඩි අලාභහානි සිදු වී තිබේ. එම බස්රථය අනෙක් බස්රථ දෙකේ ගැටී අසල තිබූ තාප්පයක වැදී සිර වී ඇත. එම බස්රියේ ගමන් ගත් පිරිසට අනතුරෙන් වැඩිම තුවාල වී තිබේ.

තුවාල ලැබූ පුද්ගලයන් මාතර, ගාල්ල, කළුතර, කුරුණෑගල, වේයන්ගොඩ හා වාද්දුව ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසේ. මියගොස් ඇති තිදෙනා වේයන්ගොඩ සහ හැඳල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
එන්.ඩී. 2009, 62-4648, එන්. බී. 6619 අංක දරන බස්රථ මේ අනතුරට මුහුණ පා තිබේ. අනතුර සිදුවී ඇත්තේ උදෑසන 10.35 ට පමණය.
අනතුරෙන් තුවාල ලැබු දාහත් දෙනෙක් ඊයේ (16) පස්වරුව වනවිටත් පාණදුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියහ.
ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිස් නිලධාරින් රෝගීන් රෝහල වෙත ගෙන ගොස් තිබේ.
මම මගේ පෙම්වතා සමඟ කළුතර බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට යන අවස්ථාවේ තමයි බස් රථය අනතුරට පත්වුණේ. අපි බස් රථයේ මැද හිටියේ. වාද්දුව නගරය පසුවනවාත් සමඟම බස් රථය ඩෝං ගාලා තව බස් රථ දෙකක වැදුණා.
මට සිහිය නැති වුණා. සිහිය එනකොට මම රෝහලේ ඇඳක් උඩ” යැයි තුවාල ලබා සිටින සුපිපි කල්හාරි ‘දිනමිණ’ට පැවැසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක බැම්මේ කොටි ත‍්‍රස්තයන් 120ක් මරුට කිලෝ මීටර් 5ක බලය හමුදාව අතේ

මහින්ද කුලතුංග සහ භක්ති මෙන්ඩිස්
කිලිනොච්චියේ සිට පරන්තන් දක්වා දිවෙන එල්.ටී.ටී.ඊ ඉදිරි ආරක්ෂක බැම්මේ කිලෝ මීටර පහක බලය ඊයේ (16) තහවුරු කරගත් ආරක්ෂක හමුදාව එම සටනේ දී කොටි ත‍්‍රස්තවාදීන් 120 ක් මරාදමා තවත් 250 ක පමණ පිරිසකට තුවාල සිදු කැර තිබේ.
ඊයේ දවස පුරාම කිලිනොච්චිය ඉරණමඩු, කිලිනොච්චිය දකුණ සහ අඩම්පන් යන ප‍්‍රදේශවලදීත් මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලේත් හමුදාව සහ ත‍්‍රස්තවාදීන් අතර ඉතා දරුණු සටන් ඇවිලී ඇත.
මේ සටන්වලදී ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගිය බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා “දිනමිණ” ට කීය.
එම සටන්වලදී යුද හමුදාවේ රණවිරුවන් 25 දෙනකු මියගොස් 10 ක් අතුරුදන්ව 160 දෙනකු තුවාල ලද බවත් ඒ මහතා කීය.
ඉරණමඩු සිට පරන්තන් දක්වා කිලෝමීටර් ගණනාවක් දිගට එල්.ටී.ටී.ඊ ය විසින් අගල් කපා මහ පස්කදු නිර්මාණය කැර ඒවා අතර බංකර තනා තිබිණි. ඊයේ පැවැති සටන්වලින් ත‍්‍රස්තවාදීන් එම බංකර අතහැර පලාගොස් ඇති බවත් බි‍්‍රගේඩියර්වරයා කීය.
කිලිනොච්චිය නගරය වටකොට තිබූ එම මහ පස් බැම්මේ ස්ථාන පහකින් හමුදාව ඇතුළු වී බලය අත්පත් කැරගෙන ඇති අතර මේ නිසා කිලිනොච්චියට ඇතුළු වීමේ ගමන පහසු වන බවත් හෙතෙම සඳහන් කෙළේ ය.
මේ මහ පස් බැම්ම ආශි‍්‍රතව යුද අගල්, මර උගුල් සහ බිම් බෝම්බ සිය ගණන් එල්.ටී.ටී.ඊ ය විසින් අතුරා තිබූ අතර හමුදාව දැඩි පරිශ‍්‍රමයකින් යුතුව ඒවා මැඩගෙන ඉදිරියට ගොස් ඇත.
ඊයේ එල්.ටී.ටී.ඊ යට අත්වූ දැඩි හානියත් සමඟම හැකි පමණ ආධාරක භට පිරිස් සටන් බිමට එවන ලෙස කොටින්ගේ සංඥා මගින් මුලතිව් කොටි නායකයන් ගෙන් ආයාචනා කැර තිබේ.
ඊයේ රාතී‍්‍ර වන විටත් කිලිනොච්චි ප‍්‍රදේශයේ ඉතාමත් දරුණු ගැටුම් පැවැතිණි. මේ අතර ඊයේ සවස 6.15 ට පමණ යුද හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීමට යාපනය කළපුව හරහා පැමිණි ත‍්‍රස්ත බෝට්ටු රැසකට ගුවන් හමුදාවේ එම්. අයි. ප‍්‍රහාරක හෙළිකොප්ටර් යානා මගින් ප‍්‍රහාරයක් එල්ලකර කොටි යාත‍්‍රාවක් සම්පූර්ණයෙන්ම විනාශ කැර තිබේ.
ඒ සමඟම සෙසු බෝට්ටු පළාගිය බවත් ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා කීය.

මුදා නොගත් ප‍්‍රදේශවල සිටි දමිළ වැසියන් 18ක් වවුනියාවට

මහින්ද කුලතුංග
වවුනියාව, ඕමන්තේ මුරපොළ හරහා මුදා නොගත් ප‍්‍රදේශ වල සිට සාමාන්‍ය දෙමළ වැසියන් 18 දෙනකු පෙරේදා (15) සවස වව්නියාවට පැමිණ තිබේ.
පවුල් පහකට අයත් මේ පිරිසට අවශ්‍ය ආහාර පාන, මූලික සෞඛ්‍ය පහසුකම් ආදිය යුද හමුදාව සපුරා ඇති අතර ඔවුන් සුබ සාධන කඳවුරු වෙතට යොමු කර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

එස්. බී. ගේ පෙත්සම විභාගයට අවසර

නෙල්කා මැදගෙදර
ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 2ක සිර දඬුවම් නියමව සිටි එස්. බී. දිසානායක මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම ප‍්‍රතික්‍ෂේප කරමින් මැතිවරණ කොමසාරිස් වරයා විසින් නිකුත් කර ඇති ලිපිය කි‍්‍රයාත්මක වීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.
මැතිවරණ කොමසාරිස් වරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් එස්. බී. දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය පැනවීය.
පෙත්සම විභාග කර අවසන් වන තෙක් මේ අතුරු තහනම් නියෝගය බල පැවැත් වේ. පෙත්සම් විභාගය 2009 අපෙ‍්‍ර්ල් මස 01 වැනිදා ඇරැඹීමට නියම කැරිණි.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ විරාජ් දයාරත්න මහතා කියා සිටියේ එස්. බී. දිසානායක මහතා දඬුවම් ලැබිය හැකි වරදක් කැර ඇති බවය.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 105 (3) වගන්තිය අනුව අධිකරණයට අපහාස කිරිම වෙනුවෙන් දඬුවම් කිරීමේ සීමාවක් දක්වා නැතැයි හෙතෙම කීය. ඒ අනුව ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමට නුසුදුස්සකු වන බවය.
මෙහිදී විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කෙළේ දිසානායක මහතාගේ මන්තී‍්‍රධූරය අහෝසි කිරීමට, අදාළ සිර දඬුවම හේතුවක් බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය කිසිදු අවස්ථාවක සඳහන් කැර නොමැති බවය.
මාස 1ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම ඊට හේතුව නොවේදැයි ප‍්‍රශ්න කළ අවස්ථාවේ රජයේ නීතීඥවරයා එය පිළිගත්තේය. කෙසේ වුවද 2005 වසරේ සිට දිසානායක මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙහි ලියාපදිංචි කැර නොමැති අතර ඒ අවස්ථාවේදී එය ඔහු අභියෝගයට ලක්කර නැතැයි රජයේ නීතිඥවරයා කීය.
නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා එස්. බී. දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ජය අපටයි ශ‍්‍රී ලංකාවේ සැම තැන ජය දද නංවන යුද හමුදාවට වසරේ පාපන්දු කිරුළ


වටිනාම කී‍්‍රඩකයා - යුද හමුදාවේ ඉසෙඩීන්
කසුන් ජයසූරියට ගෝල්ඩන් බූට් සම්මානය
ප‍්‍රින්ස් ගුණසේකර
සැමතැන සැමවිට ජයදද නංවන යුද හමුදාව වසරේ ප‍්‍රධානතම පාපන්දු කිරුළ දිනාගැනීමට ඊයේ සමත්විය.
පිට පිට දෙවතාවක්ම ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතාව දිනා සිටි රත්නම් කී‍්‍රඩා සමාජය ගෝල් 2 – 1 කින් පරදවා අපරාජිත යුද හමුදා කී‍්‍රඩකයෝ රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගය හා ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතාවට හිමිකම් කීය.
කොළඹ සී.ආර්.පිටියේ ඊයේ පැවැති මේ තරගයේ ආරම්භයේ පටන්ම යුද හමුදා කී‍්‍රඩකයෝ ඉදිරියෙන් සිටියහ.
ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු පිලට කී‍්‍රඩා කරන සුපිරි පාපන්දු තරු 9 ක් සිටි ප‍්‍රබල රත්නම් කී‍්‍රඩා සමාජයට එරෙහිව යුද හමුදා කී‍්‍රඩකයෝ වේගවත් මෙන්ම සිත්ගන්නා සුළු කී‍්‍රඩා විලාශයක් දැක්වූහ.

උතුරු - නැගෙනහිර මානුෂික මෙහෙයුමෙන් ජයගෙන ඉදිරියට ඇදෙන සමස්ත හමුදා විරුවන්ටම ධෛර්යය හා ශක්තිය පිණිස අවසන් තරගය ජයගන්නා බව තරගය ආරම්භවීමට පෙර යුද හමුදා පිලේ පුහුණුකරු පැවැසීය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියක අවසන් තරගයට වසර 23කට පසුව පිවිසි යුද හමුදාව සූරතාව දිනා ගැනීමද විශේෂත්වයක් විය.
තරගයේ ප‍්‍රථම භාගය ගෝල් 1 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත් වූහ.
තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත් යුද හමුදා පිලේ මොහොමඩ් ඉසෙඩීන් 30වැනි මිනිත්තුවේදී එල්ල කළ අලංකාර පහරකින් වාර්තා වූ ගෝලයඑම පිලේ විශ්වාසය වැඩි කිරීමට ඉවහල් වුණි.
දෙවැනි භාගයේදී යුද හමුදාවේ අසංකද සිල්වා (තරගයේ 55 වැනි මිනිත්තුවේදී) එල්ල කළ පහරක් රත්නම් පිලේ ආරක්ෂක වළල්ලේ කී‍්‍රඩක ඩඩ්ලි ස්ටෙන්වෝල්ගේ ඇඟේ වැදී ගෝලයක් බවට පරිවර්තනය විය.
රත්නම් කී‍්‍රඩක චතුර මධුරංග වෙනුවට දෙවැනි භාගයේ ආදේශ කළ මොහොමඩ් රවුම් තරගයේ 85 වැනි මිනිත්තුවේදී රත්නම් පිලට ගෝලයක් එක් කෙළේය.
අනතුරුව ඩඩ්ලි ස්ටෙන්වෝල්ට නිදහස් පහරකින් ගෝල් වාර්තා කිරීමට අවස්ථාවක් උදා වුණද එහි ප‍්‍රතිඵලය රත්නම් පිලට වාසිදායක නොවීය.
පිටිය පුරා වේගවත් කී‍්‍රඩා විලාශයක් දැක්වූ යුද හමුදා කී‍්‍රඩකයන්ගේ වේගය පාලනය නොවීම හේතුවෙන් නීති විරෝධී කී‍්‍රඩා විලාශයට ලැබෙන කහ කාඩ්පත් අවවාද 3 ක් ලැබුණි.
එස්.ඩී.ඛාන් කාකි තා ජයතුංග හා අසංක ද සිල්වා එසේ කහ කාඩ්පත් අවවාද ලැබූහ.
රත්නම් පිලේ ෆ‍්‍රැන්සිස් කැම්ලස් හා ඩබ්ලිව්.ඒ. තරුෂ ද කහ කාඩ්පත් අවවාද ලැබූහ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල බංග්ලාදේශ සංචාරයට සූදානම් වෙයි

බංග්ලාදේශයේ කි‍්‍රකට් සංචාරයකට සූදානම්වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම මේ දිනවල කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටී.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන ඊයේ ‘නෙට්’ පුහුණුව සඳහා කී‍්‍රඩාංගණයට පැමිණි අවස්ථාවයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම ද්විත්ව ටෙස්ට් තරගමාලාවකට හා තුන් කොන් එක් දින තරගාවලියකට සහභාගි වීම පිණිස හෙට (18) අලුයම දිවයිනෙන් පිටත්ව යයි.
ඡායාරූපය - ඒ. එෆ්. පී.

ජාතික කණිෂ්ඨ බර ඉසලීමේ තරගාවලිය චින්තන ගේ වාර්තාවක් දිසානායක බිඳ හෙළයි නව වාර්තා 19ක්

ජගත් පේ‍්‍රමචන්ද්‍ර
ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය සංවිධානය කළ ජාතික කණිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ සූර චින්තන ගීතාල් විදානගේ සතුව තිබූ පාසල් වාර්තාවක් මහනුවර තරුණ කි‍්‍රස්තියානි සංගමයේ ඉන්දික දිසානායක විසින් බිඳහෙළන ලදි.
වයස අවුරුදු 20 න් පහළ ‘ස්නැච්’ ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 105 ක බර ඔසවමින් චින්තන සතුව තිබූ එම වාර්තාව දිසානායක බිඳහෙළනු ලැබූවේ කිලෝ ග‍්‍රෑම් 106 ක් බර ඔසවමිනි. එම දක්ෂතාවෙන් පෙළහර පෑ දිසානායක එම වයස් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ද නම් කෙරුණි.

මෙම තරගාවලියේදී ජාතික සූරයෙකු වන රන්සිලු ජයතිලක සතුව තිබූ වාර්තා 4 ක් පිළිමතලාව ධීරනන්ද විද්‍යාලයේ ඩී. ආර්. එන්. සී. විජේකෝන් සහ කුරුණෑගල එස්. ඒ. සී. ඒ. ශාන්ත විසින් බිඳහෙලන ලදි.
කොළඹ විශ්වවිද්‍යාලයී ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ දී නව කණිෂ්ට වාර්තා 19 ක් බිහිවීම කැපී පෙනුණි.
මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ සසික ලියනාරච්චි තමා විසින්ම තබා තිබූ ස්නැච් (කිලෝ ග‍්‍රෑම් 85) ක්ලීන් ඇන්ඩ් පර්ක් (කිලෝ ග‍්‍රෑම් 110) සහ එකතුව (කිලෝ ග‍්‍රෑම් 193) යන ඉසව් ති‍්‍රත්වය නව වාර්තාවක් ලෙස නැවත ලියා තැබීමට සැලැස්වීය.
ඔහු මෙවර එම ඉසව් පිළිවෙලින් කිලෝ ග‍්‍රෑම් 86, 115 සහ 201 ලෙස අලුත් කරමින් 17 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙසද සම්මාන ලැබුවේය.
වයස අවුරුදු 17 න් පහළ බාලිකා නව තරග වාර්තා ති‍්‍රත්වයක් පිහිට වූ වාද්දුව ශක්ති කී‍්‍රඩා සමාජයේ හංසනී ගෝමස් එම වයස් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ඇය ‘ස්නැච්’ කිලෝ ග‍්‍රෑම් 42, ක්ලීන් ඇන්ඩ් පර්ක් කිලෝ ග‍්‍රෑම් 50 සහ එකතුව කිලෝ ග‍්‍රෑම් 92 ක් ලෙස තම නව වාර්තා බිහි කළා ය.
වයස අවුරුදු 20 න් පහළ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස පොළොන්නරුව ආනන්ද බාලිකා විද්‍යාලයේ චමරි වර්ණකුලසූරිය සම්මාන ලැබුවාය.
එම වයස් කාණ්ඩයේ බාලක සුරතාව මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය සහ කුරුණෑගල බර ඉසිලීමේ සමාජය අතර බෙදී යද්දී බාලිකා සූරතාව ගලෙන්බිඳුණුවැව කී‍්‍රඩා සමාජය දිනාගත්තේය.
අනුසූරතා පිළිවෙළින් මහනුවර තරුණ කි‍්‍රස්තියානි සංගමය සහ ආනන්ද බාලිකා, තරුණ කි‍්‍රස්තියානි සංගමය හා දේවිබාලිකා විද්‍යාල අතර බෙදී ගියහ.
වයස අවුරුදු 17 න් පහළ බාලක සූරතාව මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයද අනුසූරතාව පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයද දිනා ගත්හ. බාලිකා සූරතාව මාතලේ විජය විද්‍යාලය සතු වූ අතර අනුසූරතාව ගලෙන්බිඳුණුවැව කී‍්‍රඩා සමාජය සතුවිය.

තරගාවලියේ සෙසු තරග වාර්තා මෙසේය.
17 න් පහළ බාලිකා - එම්. ශානිකා සංදීපනි (දේවි බාලිකා - කොළඹ) ස්නැච් කිලෝ ග‍්‍රෑම් 53 (පෙර වාර්තාව කිලෝ ග‍්‍රෑම් 52)
අවු. 17 (බාලක),
ඒ. යූ. එම්. එම්. විජේසිංහ (කුරුණෑගල) - ස්නැච් කි.ග‍්‍රෑ. 65 (පෙර වාර්තාව - 57 ඒ. යූ. එම්. එම්. විජේසිංහ, කුරුණෑගල)
යූ. පී. ආර්. පී. කුමාරතුංග (ගලෙන්බිඳුණුවැව) - ස්නැච් කි.ග‍්‍රෑ. 80 (පෙර වාර්තාව - කි.ග‍්‍රෑ 77, ටී. යූ. වෙලගෙදර, මවුන්ට් රෝයල්)
ක්ලීන් ඇන්ඩ් පර්ක් කි.ග‍්‍රෑ. 100 (පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 98 ඔහුගේම)
එකතුව කි.ග‍්‍රෑ. 180 (පෙර වාර්තාව කි.ග‍්‍රෑ. 173 ඔහුගේම)
එම්. සිරාස් (තරුණ කි‍්‍රස්තියානි සංගමය) - ස්නැච් කි.ග‍්‍රෑ 75 (පෙර වාර්තාව කි.ග‍්‍රෑ. 74, පී. එන්. දයානන්ද ති‍්‍රත්ව විද්‍යාලය)
ක්ලීන් ඇන්ඩ් පර්ක් කි.ග‍්‍රෑ. 96 (පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 90, ඒ. ඩී. එම්. බණ්ඩාර ධර්මරාජ විද්‍යාලය)
එකතුව කි.ග‍්‍රෑ. 171 (පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 161, පී. එන්. දයානන්ද ති‍්‍රත්ව විද්‍යාලය)
ඩී. ආර්. එන්. සී. විජේකෝන් (ධීරානන්ද විද්‍යාලය, පිළිමතලාව)
ස්නැච් කි.ග‍්‍රෑ. 75 (පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 70 රන්සිලු ජයතිලක කිංස්වුඩ් විද්‍යාලය)
ක්ලීන් ඇන්ඩ් පර්ක් කි.ග‍්‍රෑ. 100
(පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 90 රන්සිලු ජයතිලක කිංස්වුඩ් විද්‍යාලය)
එකතුව කි.ග‍්‍රෑ. 175
(පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 160 රන්සිලු ජයතිලක කිංස්වුඩ් විද්‍යාලය)
එස්. ඒ. සී. ඒ. ශාන්ත (කුරුණෑගල) – ක්ලීන් ඇන්ඩ් පර්ක් කි.ග‍්‍රෑ. 103
(පෙර වාර්තාව - කි.ග‍්‍රෑ. 102 රන්සිලු ජයතිලක කිංස්වුඩ් විද්‍යාලය)

Thursday, December 4, 2008

ප‍්‍රභා ගේ ආරක්ෂාවට අලුත් කණ්ඩායමක්

විජයානි එදිරිසිංහ
කොටි නායක ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාව මේ වන විට විශේෂ පුහුණුව ලැබූ කොටි කොමාන්ඩෝ භට පිරිසක් යටතට පත් කර ඇති අතර ඔහු විදේශ රටකට යැවීමේ සැලසුමක්ද තිබෙන බව ආරක්ෂක බුද්ධි අංශ පවසයි.
ආරක්ෂක හමුදා කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශ අත් පත් කර ගනිමින් ඉදිරියට පැමිණීම නිසා ප‍්‍රභාගේ ආරක්ෂාව ඔහුගේ ආරක්ෂක අංශ වලට බරපතල ගැටලුවක් වී ඇත.
මුලතිව් හරහා එහා මෙහා යැවෙන කොටි පණිවිඩ හුවමාරු පවා සියයට අසුවකින් පමණ අඩු වී ඇති බව පැවැසේ.
කොටි නායකයාගේ පළා යාම වැළැක්වීමට නාවික හමුදාව මුහුදු වෙරළ ඔස්සේ මේ වන විට දැඩි රැකවල් යොදා තිබේ.

කොටි ත‍්‍රස්තයන් මා හිර කර යුද්ධයට යොදා ගන්නවා පුංචි නන්දනී අම්මාට ලියූ ලිපියක් බංකරයකින් හමුවෙයි


භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් පුනරින්, පරන්තන් සංචාරයකින් පසු
”අම්මා මුළු ලෝකයම ආලෝකවත් කරනවා. අම්මා ලෝකයේම පහන් දල්වනවා. දරුවකුගේ දුක හොඳින්ම දන්නේ අම්මා පමණයි” ඒත් මට අද මගෙ අම්මා ළඟ ඉන්න විදියක් නැහැ. කොටි ත‍්‍රස්තයන් මාව හිර කරලා යුද්ධයට යොදා ගන්නවා.
කොටි ත‍්‍රස්තවාදීන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ටී. නන්දනී නමැති තරුණිය සිය මවට ලියූ ලිපියක එසේ සඳහන් කරයි.
මේ ලිපිය හමු වුණේ ඉකුත් සතියේදී 58 වැනි සේනාංකයේ සෙබළුන් අත්පත් කර ගත් පරන්තන් පුනරින් මාර්ගය අසල තනා තිබූ කොටි බංකරයක තිබියදීය. 57 වැනි සේනාංකය සහ 58 වැනි සේනාංකය මෙහෙයුම්වල නිරත ප‍්‍රදේශවල තිබී මේ ආකාරයේ ලිපි රැසක් එහි සංචාරය කළ අපට හමු විය. ටී. නන්දනී ගේ වයස අවුරුදු 16ක් බව එම ලිපියෙහි සඳහන් එක් කරුණකින් හෙළි වෙයි.
මීට පෙර මෙම තරුණිය කොක්කුතුඩුවායි සහ මුරුකන්ඩිවල පදිංචිව සිටියාය.
ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් සිවුදෙනෙකි. එක් සොහොයුරකු කොටි සංවිධානයට බැඳී සිටි අතර ඔහු දැනට වසරකට ඉහත දී හමුදා ප‍්‍රහාරයකින් මියගොස් තිබේ.
අනෙක් සොයුරන් දෙදෙනාගෙන් එක් අයකු යුද හමුදා ප‍්‍රහාරයකින් තුවාල ලබා මුලතිව් රෝහලක දැනට ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද මෙම ලිපියෙහි සඳහන් වේ.
එම තරුණියගේ ලිපියෙහි මෙසේද සඳහන් වේ.
”අම්මා මට ගොඩක් ප‍්‍රශ්න. කෑම කන්න නැහැ. කොටි ත‍්‍රස්තවාදීන් අපට නිතරම පහර දෙනවා.
යුද වදින ප‍්‍රදේශවල රාජකාරිවලට යවනවා. අපි තුන්දෙනා ගස් යට රාජකාරිවලට යොදවනවා.
වැස්සට හොඳටම තෙමෙනවා. සර්පයෙක් දෂ්ඨ කරලා ගිය සතියේ එක් අයෙක් මිය ගියා.” ”අම්මා, තාත්තා, මල්ලී මතක් කළ බව කියන්න. මම කොහොම හරි පැනලා එන්න බලන්නම්. හැබැයි ඒකත් විශ්වාස නැහැ.
මාව යුද්දෙදි මැරෙයිද දන්නේ නැහැ. අපේ ගොඩාක් සාමාජිකයන් හමුදාව එක්ක සටන් කරන්න ගිහිල්ලා මිය ගියා.

අපේ සරසවියක සෙනසුරු අපලයක්

විශ්වවිද්‍යාලයක් යනු ස්වාධීන චින්තනයේ සහ ස්වාධීන අදහස් ප‍්‍රකාශ කිරීමේ තෝතැන්නකි. පසුගිය දශක කිහිපයේ දී ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය, භෞතික සම්පත් වන භූමිය, ගොඩනැගිලි, විද්‍යාගාර, රසායනාගාර, යාන වාහන, පොත්පත් සහ අධ්‍යයන උපකරණ ආදියෙන් වර්ධනය වී ඇත. එමෙන් ම මානව සම්පත් වන කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව සහ ශිෂ්‍ය සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබේ.
මේ වර්ධනය හුදෙක් ශිෂ්‍ය සංගම්වල වෘත්තීය සංගම්වල උද්ඝෝසණ, වර්ජන, ගර්ජන, පිකටිං කිරීම නිසා හෝ දේශපාලනඥයන්ගේ දූරදර්ශී ප‍්‍රතිපත්ති නිසා හෝ සිදුවූවක් නොවේ. පොදු මහජනතාවගේ සහ බදු ගෙවන්නන් නිසා සුබසාධන පිරිවැයේ වර්ධනය පාදක කරගෙන ඇතිවූවකි.
විශ්වවිද්‍යාලවල සැකැස්ම ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යයන්, පරිපාලන, අනධ්‍යයන සහ අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් සමන්විත ය. මෙවැනි අධ්‍යාපන ආයතනයක ප‍්‍රධාන අරමුණ ඉගැන්වීම සහ ඉගෙන ගැනීම නිසා, ඉගැන්වීමට ආචාර්ය මණ්ඩලය ද, ඉගෙන ගැනීමට ශිෂ්‍යයෝ ද සිටිති.
මේ උභයවිධ කි‍්‍රයා විධිමත්ව කිරීමට අනෙකුත් කාර්ය මණ්ඩල අවශ්‍ය ය. මේ නිසා එක් කොටසකට වඩා අනෙක් කොටස වැදගත් යයි සිතනවා නම්, ඔවුන් අඥානයන් ය. විශ්වවිද්‍යාලයක් සුමඟව පවත්වාගෙන යාමට මෙකී සියලු පාර්ශ්වයන්ගෙන් වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටුවිය යුතු ය.
එහෙත් එවැනි මඟකට අවතීර්ණ නොවීම හේතුවෙන් තත්ත්වය ශෝචනීය අතට හැරී ඇත. තමන් සෙසු පාර්ශ්වයන්ට වඩා සුවිශේෂ යැයි සිතීමේ උපනතියක් ගොඩනැඟී තිබීම නිසා, කාර්ය සාධනය සුමඟ මාවතෙන් පිට පැන, රළු දුර්ග මඟකට ප‍්‍රවිශ්ට වී තිබේ.
එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ පොදු පරමාර්ථ සඳහා යා යුතු ප‍්‍රජාවක් පටු, පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීමෙන්, තමන්ගේ හාම්පුතුන් වන පොදු ජනයාගේ දෝෂ දර්ශනයට ලක්වීම ය. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම අතිශයින් ම ස්වභාවික ය.
මෙවන් තත්ත්වයකට මඟ සකසන්නේ බාහිර පාර්ශ්වයන් නොවේ. විශ්වවිද්‍යාල පද්ධතිය මගින් ම ජනිත කරන ලද්දෝ ම ය. මෙවන් තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයෙහි සෑම වගකිවයුතු තනතුරක් දරන්නකුට වගකීමට සිදුවේ.
තනතුරුවලට පත්වන ඇතැම් පුද්ගලයන්, වැඩිකල් නොගොස් යුතුකම්, වගකීම් සහ ආචාර ධර්ම අමතක කර, එක්කෝ තම තමන්ගේ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරති. නැතිනම් තමන් බැල මෙහෙවරකම් කරන ඉහළ බලධාරියකුට හෝ කණ්ඩායමක පොදු න්‍යාය පත‍්‍රයකට අනුව කි‍්‍රයා කරති.
එක් විශ්වවිද්‍යාලයක කිසියම් අංශයක අංශ ප‍්‍රධාන වූ එක්තරා ජ්‍යෙෂෂ්ඨ කථිකාචාර්යවරයකුගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයේ තිබුණේ හැකි ඉක්මනින් මහාචාර්ය ධූරයක් ලබාගැනීම ය.
එවැනි ධූරයක් ලබාගැනීමේ දී ඇගැයීමට ලක්කෙරෙන විවිධ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් තමන්ගේ දායකත්වය පෙන්නුම් කෙරෙන්නා වූ ලිඛිත සාක්ෂි සහිත ස්වයං ඇගැයීමක් ඉදිරිපත් කළ යුතු ය. එම ස්වයං ඇගැයීම සහ ලිඛිත සාක්ෂි සනාතන සභාව මගින් පත්කරනු ලබන පරීක්‍ෂකයන් දෙදෙනෙකුට යවනු ලැබේ.
සරසවි බිහිරි අලි
පරීක්‍ෂකයන්ගේ වාර්තා ලැබුණු පසු සනාතන සභාව මගින් ලබා ඇති ලකුණු මට්ටම් සලකා මහාචාර්ය හෝ සහාය මහාචාර්ය ධූර පිරිනැමීම හෝ ප‍්‍රමාණවත් ලකුණු ප‍්‍රමාණයක් නැත්නම් අයදුම්පත ප‍්‍රතික්‍ෂේප කිරීම සිදුකරයි.
ඉහත කී අංශ ප‍්‍රධානියා ආරම්භයේ පටන් ම කෙළේ අංශයේ ඇති සම්පත් සියල්ල තම ලිඛිත සාක්ෂි නිර්මාණය කිරීම සඳහා යෙදවීම ය. ඒ සඳහා ආධුනික සහ තාවකාලික ආචාර්යවරුන් ද, තාක්ෂණික නිලධාරියා ද බලහත්කාරයෙන් යොදවා ගත්තේ ය.
ඔහු පසු කලෙක පීඨාධිපතිවරයා වශයෙන් තේරී, එම තනතුරේ වැඩ භාරගත් පසු හෙතෙම ප‍්‍රථමයෙන් ම කෙළේ තමන් කළින් දැරූ අංශ ප‍්‍රධාන ධූරයට, තමන්ට හිතවත් ආචාර්යවරියක් පත්කර ගැනීම ය. මේ නිසා ඇයට සිදුවූයේ ඔහුගේ හිතැඟි අනුව කටයුතු කිරීමටය.
ඒ නිසා වගකීම්, යුතුකම් සහ ආචාරධර්ම සියල්ල අමතක කරන්නට ඇයට සිදුවිය. වැඩිකල් යන්නට මත්තෙන් පීඨාධිපතිවරයා මහාචාර්ය ධූරයට පත් විය. මෙයින් දිරිගැන්වුණු අංශ ප‍්‍රධානතුමිය ද තම පූර්වගාමියාගේ අඩි පාරේ යමින්, ඉක්මනින් ම මහාචාර්ය ධූරයක් ලබා ගත්තාය.
කලක් ගතවන විට ප‍්‍රධානතුමියගේ කටයුතු විනිවිදභාවයෙන් තොර විය. ඒ හේතුවෙන් අධ්‍යයන අංශයේ පොදු පැවැත්ම ක‍්‍රමයෙන් අනතුරට පත්විණි. මෙයින් අසහනයට පත් ඇතැම් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් අධ්‍යයන අංශය විධිමත් තත්ත්වයටත් පත්කර ගැනීමේ අරමුණින් යුතුව උපකුලපතිවරයා වෙත ගොස් කියා සිටියේ අංශ ප‍්‍රධානතුමිය අත්තනෝමතිකව කටයුතු කරන බවත්, වැදගත් තීරණ ගැනීමේදී අවම වශයෙන් සෙසු ආචාර්යවරුන් දැනුවත් කිරීමටත් අධ්‍යයන අංශ ආචාර්යවරුන්ගේ රැස්වීමක්වත් නොකැඳවන බවත් ය. උපකුලපතිවරයා ගත් කටටම කීවේ අධ්‍යයන අංශ රැස්වීම් පිළිබඳ පනතේ සඳහන් නොවන බැවින් තමන්ට කරන්නට දෙයක් නැති බව ය.
ආචාර්යවරුන් කියා සිටියේ පනතේ සඳහන් නොවුණත් මෙතෙක් විශ්වවිද්‍යාල සම්ප‍්‍රදාය වී තිබුණේ බොහෝ වැදගත් තීරණ ගැනීමේදී සෙසු ආචාර්යවරු දැනුවත් කිරීම සඳහා අංශ රැස්වීම් කැඳවූවා පමණක් නොව, ආචාර්යවරුන්ගේ පැමිණීමේ වාර්තා ද රැස්වීම ආරම්භයේදී ඉදිරිපත් කළ බව දැන්වීය. එහෙත් එම කරුණු දැක්වීම බීරි අලියාට වීනා වාදනයක් කරන්නා වැනි විය.
වැටත් නියරත් ගොයම් කන බව ආචාර්යවරුන්ට තේරුණේ එවිට ය. එම සිද්ධියෙන් පසු අංශයේ අංශ ප‍්‍රධානතුමිය තවත් සැඩපරුෂ වූවා ය. “අපි කරන්නේ අපට ඕනෑ දේ” යැයි ජ්‍යෙෂ්ඨවරියකට තර්ජනය කරමින් පැවැසීමට තරම් ඈ එඩිතර වූවා ය. ඇතැම් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් එතෙක් යම් යම් ප‍්‍රශ්න පත‍්‍ර සම්බන්ධයෙන් කරන ලද අධීක්‍ෂණ තමන්ගේ හිතවතුන්ට දීමට උදුරා ගත්තීය. අංශයේ යම් යම් ප‍්‍රශ්න පත‍්‍ර සම්බන්ධයෙන් කරන ලද අධීක්‍ෂණ කටයුතුවලින් අඩක් පමණ පීඨාධිපතිවරයාට පූජා කර, සැලකිය යුතු ප‍්‍රමාණයක් තමන් වෙත රඳවා ගත්තීය.
ශාස්ත‍්‍රීය හිංසන
අධ්‍යයන අංශයේ සියලු ම කටයුතු අංශ ප‍්‍රධාන සහ පීඨාධිපති ඇතුළු ජුන්ටාවකට අයත් විය. ජුන්ටාවේ ඔත්තුකරුවන් වශයෙන් ආධුනික කථිකාචාර්යවරුන් සහ තාවකාලික කථිකාචාර්යවරුන් තෝරාගත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් පසුපස යවන්නට පටන් ගති.
ආධුනික කථිකාචාර්යවරුන් සහ තාවකාලික කථිකාචාර්යවරුන් එම සදාචාර විරෝධී කි‍්‍රයාවේ යෙදෙන්නට වූයේ ස්ව කැමැත්තෙන් නොව, තම තනතුරු බේරාගැනීමේ වෙනත් මඟක් නොමැති වූ නිසා ය. ජුන්ටාවේ නියෝග නොපිරිහෙලා ඉටු නොකිරීමේ වරදට එක් තාවකාලික කථිකාචාර්යවරියකගේ සේවය වර්ෂය මැදදීම නවත්වා දමා, ඒ වෙනුවට තමන්ට අවනත අයෙක් එම තනතුරට පත්කර ගත්තේ ය.
එකී අසාධාරණයට ලක්වූ ආචාර්යවරිය තමන්ට සිදුවූ අවනඩුව උපකුලපතිට කියා සිටියත්, එය බීරි අලියාට කළ වීණා වාදනයක් ම වූයේ ය. ඇය තම අවනඩුව ජනාධිපති ලේකම් සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය වෙත ගෙන ගියත්, ජුන්ටාවේ බල බිඳ නොහැකිව ඇය අසරණව සිටින්නීය.
එම අධ්‍යයන අංශය මගින් පවත්වන ලද පාඨමාලාවන්ගෙන් උපරිම ලකුණු ලබාගත් සිසුන්ට අවම වශයෙන් අවුරුද්දක තාවකාලික කථිකාචාර්ය තනතුරක් දීමේ සම්ප‍්‍රදායක් ගොඩනඟා තිබුණේ සිසුන් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් වඩ වඩාත් උන්නදු කරවනු සඳහා ය.
එහෙත් එම සම්ප‍්‍රදාය අද වැළලී ඇත. 2006 වර්ෂයේ දේශපාලන විද්‍යා විශේෂවේදී පාඨමාලාවෙන් ඉහළ ම ලකුණු ලබාගත් සිසුවියට එම වරප‍්‍රසාදය අහිමි කර ඇත. ඇය එම වර්ෂයේදී පවත්වන ලද එකී පාඨමාලාවෙන් ඉහළ ම ලකුණු ලබාගත් බවට අංශ ප‍්‍රධානතුමිය නිකුත් කරන ලද සහතිකය ද අතැතිව කනස්සල්ලෙන් සිටින්නී ය.
කාන්තාවට එරෙහිව කාන්තාවක් කි‍්‍රයාත්මක කර ඇති ශාස්තී‍්‍රය හිංසනය පිළිබඳ කවුරු නැති වුණත්, කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිතුමියවත් පියවරක් ගත යුතුව ඇත.
එකී අධ්‍යයන අංශයේ ආධුනික කථිකාචාර්ය තනතුරුවලට පත්වීම් දීමේදී යම් යම් ක‍්‍රම විරෝධතා වූ බවට යම් යම් ආරංචි පැතිර ඇති බැවින්, ඒ පිළිබඳ සොයා බලන ලෙස එම අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් කීප දෙනෙක් ජනාධිපති ලේකම්, උසස් අධ්‍යාපන අමාත්‍ය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යවා ඇත.
එහෙත් ඒ පිළිබඳ සොයා බැලීම පසෙක තබා, අවම වශයෙන් එවැනි ලිපියක් ලැබුණ බවවත් දන්වා එවීමට තරම් ඔවුන් ද ආචාරශීලී වී නොමැත.
දැනට ආරංචි වී ඇති පරිද්දෙන් අදාළ අයදුම්කරුවන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කර ඇත. සම්මුඛ පරීක්‍ෂණය තබා මසක්වත් ගතවන්නට මත්තෙන් ස්ථිර තනතුරුවලට පත්වීම් ලබාදීම මවිතයට කරුණකි.
එයට හේතුව සම්මුඛ පරීක්‍ෂණවල තීරණ පාලක සභාවෙන් අනුමැතිය ලබා එම වාර්තා ඊළඟ පාලක සභා වාරයේදී තහවුරු කරන තෙක් පත්වීම් ලිපි නිකුත් කිරීම පවත්නා රෙගුලාසි යටතේ කළ නොහැක්කක් වීම ය.
මේ රෙගුලාසි පසෙකලා පත්වීම් ලබා දීමට පාලක සභාව ආවරණ අනුමැතියක් දී ඇත්නම්, එය ජුන්ටාව මගින් උප කුලපතිවරයා සහ පාලක සභාව කඩේ යැවීමකි. එවැනි පාලක සභාවක් තබාගැනීම පිළිබඳ යළි සලකා බැලිය යුතුව ඇත.
මෙලෙස ස්ථිර සහ තාවකාලික පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් එම පීඨක කූප‍්‍රසිද්ධ ය. පසුගිය දිනෙක එක් අධ්‍යයන අංශයකට ආධුනික සහකාර කථිකාචාර්යවරුන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්‍ෂණයකදී පීඨාධිපතිවරයාගේ හිතවතියකට අනුග‍්‍රහ දැක්වීමට ඔහු සෙසු සුදුස්සන් කපාහැරීමට ගත් උත්සාහයට එරෙහි වූ අධ්‍යයන අංශ ප‍්‍රධානියා සමඟ දීර්ඝ වේලාවක් බහින්බස් වී ඇත.
ඇඳීම් සහ කැපීම්
ගැටලුව සමථයකට පත්වූයේ පීඨාධිපතිවරයාගේ හිතවතිය ද තවත් අයදුම්කාරියන් දෙදෙනෙක් ද ඇතුළුව අයදුම්කාරියන් තිදෙනෙකුට තනතුරු ප‍්‍රදානය කිරීමේ එකඟතාව ඇතිව ය. අධ්‍යයන අංශ ප‍්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු තුනක් පිරවීමට හැකියාව ඇති බව දැනගත්තේ එවිට ය.
එක් දෙපාර්තමේන්තුවකට තිබෙන තනතුරු ගණන ක්ෂණිකව වැඩි තම අභිමථාර්ථය සාධනය කර ගැනීමට තරම් අදාළ පීඨාධිපතිවරයා ශූරයෙකි. පීඨයට අදාළ සෑම අධ්‍යයන අංශයක ම තම ආධිපත්‍ය පැතිරවීමට හේ බලවත් වී ඇත්තේ අදාළ අධ්‍යයන අංශ ප‍්‍රධානීන් දාම් පුවරුවක ඉත්තන් මෙන් ඇදීමට හෝ කැපීමට තරම් ඔහු බලවතෙකු වී ඇති හෙයිනි.
තමාට හිතවත් ආධුනික ආචාර්ය මණ්ඩලයක් තබාගැනීමේ අභිලාෂය ඔහු කෙරෙහි ඇත්තේ ද තම අභිමතාර්ථ සාධනය උදෙසා ම ය. එයට බලපාන වැරැදි පූර්වාදර්ශයක් ද ඇත. එනම් සියලු ම ආධුනික කථිකාචාර්යවරුන්ට පීඨ සාමාජිකත්වය පිරිනමා තිබීමයි.
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම එක්තරා වැටුප් ප‍්‍රතිශෝධනයකදී තනතුරු නාම ප‍්‍රතිශෝධනයක් කර ඇත. එමඟින් එතෙක් කථිකාචාර්ය වශයෙන් පැවැති තනතුර අහෝසි කර, එම තනතුර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙවැනි ශ්‍රේණිය නමින් හැඳින්වීමට තීරණය කර ඇත.
එසේ ම එතෙක් පැවැති ආධුනික සහකාර කථිකාචාර්ය තනතුර වර්ෂයක ඇවෑමෙන් ආධුනික කථිකාචාර්ය තනතුර බවට පත්කරමින් ප‍්‍රතිශෝධනය කර ඇත. විශ්වවිද්‍යාල පන්තිවලට අනුව පීඨ මණ්ඩල සාමාජිකත්වය හිමිවන්නේ කථිකාචාර්ය තනතුරින් ඉහළ ශ්‍රේණිවලට ය.
මෙහිදී කථිකාචාර්ය යන තනතුර ලබාගත හැකි වූයේ ආධුනික සහකාර කථිකාචාර්ය තනතුර දරන පුද්ගලයන් තමන්ට අදාළ පරිවාස කාලය අවසන් වන විට අදාළ පශ්චාත් උපාධි සුදුසුකම් ලබා හිමිකර ගත් උසස් වීමක් ලෙසිනි.
එතැන් පටන් ඔවුන්ට දී තිබූ ආධුනික භාවය වෙනුවට සේවයේ තහවුරු භාවය ලැබේ. කිසියම් තනතුරක තහවුරු නොවුණු කිසිවකුට පීඨ සභාව වැනි ස්ථාවර අනුමණ්ඩලයක සාමාජිකත්වය දීම නීති විරෝධී ය.
එහෙත් ආධුනික සහකාර කථිකාචාර්යවරුන් ද පීඨ මණ්ඩලයක දී නියෝජනය විය යුතු යයි සැලකුන හෙයින්, ඔවුන්ගේ ඡන්දයෙන් දෙදෙනෙකුට පීඨ මණ්ඩලය නියෝජනය කිරීමට පනත්වලින් අවකාශ දී තිබුණි. එහෙත් එය වසරින් වසර වෙනස් වූ නියෝජනයකි.
ආධුනික සහකාර කථිකාචාර්යවරුන් ආධුනික කථිකාචාර්යවරුන් වූ පමණින් පීඨ මණ්ඩල සාමාජිකත්වය හිමිවීම නිත්‍යානුකූල නැත. එයට හේතුව “ආධුනික” යන්න තවමත් ඔවුන්ගේ තනතුර සතු නිසා ය. විශ්වවිද්‍යාලයක හෝ වෙනස් ඕනෑම තැනෙක “ආධුනික” තත්ත්වයේ සිටින කිසිවකුට තනතුරෙහි තහවුරු වූ පුද්ගලයකුට හිමි වරප‍්‍රසාද කිසිවක් හිමි නොවේ.
එහෙත් ඇතැම් විශ්වවිද්‍යාලවල කි‍්‍රයාත්මක වන මේ වැරැදි පූර්වාදර්ශය නිසා, බොහෝ නෛතික ගැටලු මතු වී තිබුණත්, එයට පිළියම් යොදා නැත්තේ කිසිවෙකු නීතිය ඉදිරියට මේ ප‍්‍රශ්නය ගෙන ගොස් නැති නිසා විය යුතු ය.
එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් මෙය නිවැරැදි කළ යුතුව ඇත. මෙකී තත්ත්වය නිසා පැන නැඟී ඇති ප‍්‍රබල ගැටලුවක් වී ඇත්තේ පීඨාධිපතිවරුන් ආධුනිකයන් හට නොනිසි අනුග‍්‍රහයන් ලබා දෙමින්, තම පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමට නොපසුබට වීම ය.
නිදසුනක් ලෙස යට කී විශ්වවිද්‍යාලයේ අදාළ පීඨාධිපති එක්සත් රාජධානියේදී පවත්වන ලද කිසියම් විදේශ සම්මන්ත‍්‍රණයක පර්යේෂණ පති‍්‍රකා ඉදිරිපත් කිරීම සඳහා, එම සම්මන්ත‍්‍රණ සංවිධායකයන් අනුමත කර තිබූ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ට තම පති‍්‍රකා ඉදිරිපත් කිරීමට පහසුකම් සැපැයීම වෙනුවට සම්මන්ත‍්‍රණ පති‍්‍රකා ඉදිරිපත් කිරීමට පූර්ව අනුමැතියක් නොමැති, එහෙත් තමන්ට හිතවත් ආධුනික කථිකාචාර්යවරුන් පිරිසකට එම ඉඩ සලස්වා දෙමින් තමන් ද එයට සහභාගි වීම ය. මේ සඳහා විශ්වවිද්‍යාල අරමුදල්වලින් රුපියල් මිලියන හතරකට වැඩි මුදල් ප‍්‍රමාණයක විදේශ විනිමයක් වැය කර ඇත.
සම්මන්ත‍්‍රණ කුමන්ත‍්‍රණ
ආධුනික කථිකාචාර්යවරුන්ට වීසා ලබාගැනීමට අවශ්‍ය පෝර්ම පත‍්‍ර පිරවීමේ නිසි උපදෙස් දී නොමැති වු නිසා, පෝර්ම පිරවීමේ සංගතභාවයක් නොතිබීමෙන් ඔවුන්ට වීසා ලබාදීම ප‍්‍රමාද විය.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අදාළ සම්මන්ත‍්‍රණයට සහභාගි වීමට හැකි වී ඇත්තේ සම්මන්ත‍්‍රණය අඩක් පමණ නිම වෙද්දී ය. මෙහි අන්තර්ගත තවත් උපහාසාත්මක පැත්තක් නම් “ශී‍්‍ර ලංකා අධ්‍යයන” නමින් හැඳින්වූ එම සම්මන්ත‍්‍රණයට විදේශිකයන් සහභාගි වී ඇත්තේ කීප දෙනෙක් පමණක් වීමත්, එවැනි දෙයකට විදේශ විනිමය මිලියන ගණනින් වැය කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්නත් ය.
මේ සම්බන්ධ සියලු තොරතුරු එම සම්මන්ත‍්‍රණයට අදාළ වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.තම හිතවතුන්ගේ විදේශ සංචාර සඳහා කිසිම සදාචාරාත්මක පදනමක් නැතිව, විදේශ විනිමය පාවිච්චි කර තිබීම මේ පීඨාධිපතිවරයාගේ ධූර කාලයේ කැපී පෙනෙන්නකි. මේ පීඨයේ ශාස්තී‍්‍රය දියුණුව සඳහා ස්වීඩන් රජයේ ආධාර වැඩපිළිවෙළක් යටතේ ව්‍යාපෘතියක් 1998 සිට කි‍්‍රයාත්මක වේ.
ඒ යටතේ අධ්‍යයන අංශ දෙකක ආචාර්යවරුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමට ආධාර දීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මකව තිබුණි. තවමත් ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි වී ඇත්තේ එක් ආචාර්යවරයෙකුට පමණි. එයට හේතුව අදාළ සෙසු ආචාර්යවරුන්ට නිසි ආකාරයේ අධීක්‍ෂණයක් ලබා නොදීම ය.
දැන් ව්‍යාපෘතිය අවසන් වීමට ද ආසන්න ය. එම ව්‍යාපෘතිය යටතේ “භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධතියක්” සඳහා විශාල ධනස්කන්ධයක් වෙන්කර තිබුණි. මේ තොරතුරු පද්ධතිය සකස් කිරීමට සහ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට ආචාර්යවරුන් කීප දෙනෙක් පස් වතාවක් පමණ ස්වීඩනයට යවා ඇත. එහෙත් අද වනතෙක් මේ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියටවත් එහි පිහිටීම පිළිබඳ සිතියමක්වත් ඇතුළත් කිරීමට සමත්ව ඇත.
විශ්වවිද්‍යාලයේ කෙසේ වෙතත්, අදාළ පීඨයේ පරිගණක ජාලයෙන්වත් අවම වශයෙන් ලංකාවේ සිතියමක් ලබා දීමට මේ ව්‍යාපෘතිය අසමත් ය. අන්තර්ජාතික තාක්ෂණික ආධාර ක‍්‍රමයන්ගෙන් ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලයක් ලබාගත හැකි මහඟු පල අපතේ හැර ඇත්නම් වෙනත් ආයතන ගැන කවර කතා ද?
මුදල් ගිලීම
මෙකී ව්‍යාපෘතියෙන් ආධාර ලබාගත් පුද්ගලයන්, අදාළ පීඨයේ ශාස්තී‍්‍රය වර්ධනයට කර ඇති දායකත්වය පිළිබඳ කා අතරත් කුකුසක් පැන නැඟී ඇතත්, හිටපු උප කුලපතිවරයා නම් මේ ව්‍යාපෘතියේ කණ්ඩායම් නායකයන් දෙපළගේ සේවය ඉමහත් ලෙසින් අගයා වාර්ෂික උපහාර උළෙලේ දී වටිනා පදක්කම් දෙකක් ප‍්‍රදානය කර ඇත.
ඇතමුන් මේ සම්බන්ධයෙන් කියන්නේ එකිනෙකාගේ පිට කසාගැනීම විශ්වවිද්‍යාල සම්ප‍්‍රදායක් වී ඇති බවයි.
ජාතික ධනය භාවිත කරන ආකාරය විමසා බැලීම සඳහා පත්කර ඇති රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇසට වැලි ගසා බේරීමට, රාජ්‍ය ආයතන සමත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් විශ්වවිද්‍යාලයන්හි මුදල් භාවිතය සහ ලබා ඇති ප‍්‍රගති සමාලෝචනය කිරීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අසමත් වන්නේ කුමක් නිසාද යන්න ගැටලුවකි.
එසේ ම රජයේ විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ ඇසට වැලි ගසා තිබීමත් තවත් ගැටලුවකි. අදාළ විශ්වවිද්‍යාලයේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ඇත.
එහෙත් එහි සේවයට එන විගණක අධිකාරීන් එක් එක් පීඨවල පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි කරවාගෙන ඔවුන්ගේ ඇසට වැලි ගැසීමට නම් අදාළ විශ්වවිද්‍යාලය සමත් ය. කිසිම අමාත්‍යාංශයකට යටත් නොමැති රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටපු ලබන නිලධාරීන් සිටින දෙපාර්තමේන්තුවක අධිකාරීන්ගේ ඇසට වැලි ගැසීමට තරම් ශූර පීඨාධිපතින්ට දිය යුතු පදක්කම කුමක්දැයි කෙනෙකුට සිතා ගැනීමටත් බැරිය.
අදාළ විශ්වවිද්‍යාලයේ අදාළ පීඨයේ පශ්චාත් උපාධි ව්‍යාපාරය ද ගජරාමයට කෙරෙන්නකි. සැබවින් ම එය මහා පරිමාණ වෙළෙඳ්‍රමකි. වර්තමානයේ උපාධි සඳහා බොහෝ ඉල්ලුමක් ඇත.
එක් අතකින් හොඳ රැකියා අවස්ථා උදාකර ගැනීමේදීත්, දැනට දරන තනතුරේ සේවය තහවුරු කර ගැනීමේදීත් පශ්චාත් උපාධි සුදුසුකම් අත්‍යවශ්‍ය අවස්ථා ඇත. නිදසුනක් ලෙස වර්තමානයේ රාජ්‍ය පරිපාලන තනතුරු දරන පුද්ගලයන්ගේ සේවය තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් උපාධි සුදුසුකම් අත්‍යවශ්‍යව ඇත.
මේ නිසා ජනිත වී ඇති ඉල්ලුම තෘප්ත කිරීමට පශ්චාත් උපාධි වෙළෙන්දෝ උත්සුක වෙති. අධික ලියාපදිංචි ගාස්තු අයකර ගනිමින් පවත්වනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ගුණාත්මක තත්ත්වයට වඩා ප‍්‍රමාණය ගැන හිතන අධිකාරීහු ප‍්‍රමිතියෙන් තොර පශ්චාත් උපාධි ලබාදීමේ ව්‍යාපාරයේ නිරත වෙති.
උපාධි වෙළෙන්දෝ
එමඟින් ඔවුන්ගේ මඩි තදකර ගනිති. මේ හැරුණුවිට තම හිතවතුන්ට පශ්චාත් උපාධි පහසුවෙන් ලබාදීමේ ප‍්‍රයත්නයන්හිද ඔවුන් යෙදී සිටිනු දැකිය හැකි ය. කලින් සඳහන් කරන ලද විශ්වවිද්‍යාලයේ අදාළ පීඨයේ පීඨාධිපතිට තම හිතවතියකට පශ්චාත් උපාධියක් පිරිනැමීමේ අවශ්‍යතාවක් තිබුණි. බාධාවකට තිබුණේ එකී හිතවතියගේ පශ්චාත් උපාධි නිබන්ධන උපදේශකයා අකුරට වැඩ කරන්නෙකු වීමයි.
ඔහුගේ උපදේශකත්වය යටතේ අදාළ කාන්තාව සතුටුදායක ප‍්‍රගතියක් පෙන්වීමට අසමත් වීමෙන් කාලය ගියේ ය. මෙයින් මිදීමට අදාළ පීඨාධිපති අදාළ අංශ ප‍්‍රධාන ද එකතු වී උපක‍්‍රමයක් යෙදවීය.
අදාළ රෙගුලාසි යටතේ පත්කර ඇති පශ්චාත් උපාධි නිබන්ධන උපදේශකයාගේ අනුමැතිය නැතිව, වෙනත් නිබන්ධන උපදේශකයෙක් පත් කිරීමට අවකාශයක් නැත. එබැවින් අදාළ අයදුම්කාරිය ලවා ඉතා සානුකම්පික අභියාචනයක් ලියවා ගෙන, මුල් උපාධි නිබන්ධන උපදේශකයාගේ අනුමැතිය උපක‍්‍රමශීලීව ලබාගැනීමට ඔව්හු සමත් වූහ. 2005 දෙසැම්බර් මාසයේ මැද භාගයේදී ය.
මේ අනුමැතිය ලැබීමත් සමඟ ම යුහුසුළු වූ ඔවුන්, අලුත් නිබන්ධන උපදේශක ලෙස අංශ ප‍්‍රධානගේ නම 2005 – 12 – 29 දින පවත්වන ලද අධ්‍යයන මණ්ඩල රැස්වීමේදී නිර්දේශ කෙරිණි.
අලුත් නිබන්ධන උපදේශක වූ අංශ ප‍්‍රධානගේ නම අනුමත වී ඇත්තේ 2006 – 02 – 03 දින පවත්වන ලද පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ මණ්ඩල රැස්වීමේදී ය. අදාළ අයදුම්කාරිය වෙනුවෙන් පශ්චාත් උපාධි නිබන්ධන උපදේශක ලෙස අංශ ප‍්‍රධාන පත්කර ඇත්තේ 2006 – 03 – 01 දිනදී ය. නිල වශයෙන් අදාළ අයදුම්කාරියට තම පශ්චාත් උපාධි නිබන්ධන උපදේශක කවුරුන්ද යන්න දන්වන්නට ඇත්තේ එම දිනයේදී ම ය.
එහෙත් අංශ ප‍්‍රධාන තමන් අදාළ අයදුම්කාරියගේ පශ්චාත් උපාධි නිබන්ධය සඳහා තනිවම උපදෙස් දුන් බවට නිබන්ධයට අමුණන ලද සහතිකයට අස්සන් කර ඇත්තේ 2006 – 02 – 01 දිනයේ ය.තමන් වෙත නිල වශයෙන් පත්කරන ලද කාර්යයක් ඊට මාසයකට පෙර අවසන් කරන ලදැයි සහතික කිරීමට තරම් අංශ ප‍්‍රධාන වංචා සහගත වී තිබියදීත්, ඈ එම තනතුරේ ම නිරුපද්‍රිතව ඉන්නේ තමන්ට ඉහළින් සිටින අයගේ අනුග‍්‍රහය නිසා පමණක් ම මිස, නිත්‍යානුකූලව නම් නොවේ.
ඉහත දැක්වූ කරුණු එක් විශ්වවිද්‍යාලයක එක් අංශයක සහ එක් පීඨයක කටයුතුවල අංශු මාත‍්‍රයක් පමණි. පුවත්පත් ලිපියකින් එම විශ්වවිද්‍යාලය පසුගිය වකවානුවේදී කි‍්‍රයාත්මක වී ඇති ආකාරය නිරාවරණය කරන්නට යෑම අතිශය දුෂ්කර ව්‍යායාමයකි.
අනෙක් විශ්වවිද්‍යාලවල තත්ත්වය දන්නේ එම විශ්වවිද්‍යාලවල අය ය. එබැවින් එක් එක් විශ්වවිද්‍යාල පසුගිය දශක කිහිපයේ දී කි‍්‍රයා කොට ඇති ආකාරය සොයා බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවන් පත්කිරීමේ කාලය දැන් එළැඹ ඇත.
විවිධාකාරයෙන් වන ප‍්‍රභූ මරණ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා නිරතුරුවම පත්කෙරෙන මේ යුගයේදී, රටේ අනාගත සෞභාග්‍යය උදාකිරීමේ අරමුණින් පිහිටුවා ඇති අති විශාල රාජ්‍ය වියදමක් දරන විශ්වවිද්‍යාලය වැනි ආයතනවල කටයුතු සොයා බලා කරුණු වාර්තා කිරීමට මහින්ද චින්තන යටතේ ප‍්‍රමාද නොවිය යුතු ය.
සංස්කරණය - ශ්‍යාමා සමරසිංහකැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්

ව්‍යවස්ථා සංශෝධනය නොකළහොත් ජී.එස්.පී.+ නොලැබේවි- විපක්ෂ නායක

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක නොකළහොත් ජී.එස්.පී + පහසුකම් නොලැබී යනු ඇතැයි විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ (03) ප‍්‍රකාශ කෙළේය.
එම ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වේ. නිදහසින් පසු අස්සන් කරනු ලැබූ අන්තර්ජාතික ගිවිසුම් බොහොමයක නෙතික භාවය සහ ඒවායේ කි‍්‍රයාත්මක වීම පිළිබඳ බොහෝ ප‍්‍රශ්නයන් මෙයින් මතුවී ඇත.
එසේම අන්තර්ජාතික කම්කරු සංවිධානයේ(ධ්ඹ්ර්‍ණ) ප‍්‍රඥප්තිය අනුව අවශ්‍ය සෑම අවස්ථාවකදීම එහි අඩංගු ප‍්‍රඥප්තීන්වලට නෙතික බලපෑම දීම සඳහා සියලුම සාමාජික රටවල් බැඳී සිටිය යුතුය. මෙවැනිම විධිවිධාන වෙනත් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම්වල අඩංගුවී තිබේ. මෙයින් අදහස් වනුයේ දැනට පවතින ජාත්‍යන්තර ගිවිසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනත් බොහොමයක් සම්මත කිරීමට තිබෙන බවයි.
මේ පනත් සම්මත කිරීමට අපොහොසත් වීම යුරෝපා සංගමය සමග ගනුදෙනු කිරීමේදී ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. මෙහිදී(ට්ඉර්‍ථ+) රෙගුලාසි අනුවඑයින් පහසුකම් ලබන සියලුම රටවල් යහපාලනය සහ සංවර්ධනයට අදාළ අන්තර්ජාතික සම්මුතීන් සම්මත කර ඒවා කි‍්‍රයාත්මක කළ යුතුයි. 2004 දී පළමු වරට අප ට්ඉර්‍ථ+ පහසුකම් සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළ විට මේ සම්මුතීන් අප විසින් සම්මත කර කි‍්‍රයාත්මක කළ බවක් සඳහන් කරන ලදී.
එහෙත් 2006 දී “සිංහරාස නඩුව“ නෙතික තත්ත්වය වෙනස් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සම්මුති 27ක් කි‍්‍රයාත්මක කිරීම සඳහා අප වෙත වූ වගකීම අප විසින් පැහැර හැර ඇත. 2009 වර්ෂය සඳහා ට්ඉර්‍ථ+ පහසුකම් ලබාගැනීමට මෙය ප‍්‍රධාන බාධකයක් වී ඇත.
මේ ගැටලු දෙක නිරාකරණය කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා ඉදිරිපත් කරන ලදී. මේ සංශෝධනවල අඩංගුවිය යුතු මූලික සිද්ධාන්ත පහත සඳහන් වේ.
පවතින නීති හා ගැළපෙන මේ දක්වා රජය විසින් අස්සන් කරන ලද සියලුම ජාත්‍යන්තර ගිවිසුම් වහාම කි‍්‍රයාත්මක වීම. අනාගතයේදී රජය විසින් සම්මත කරනු ලබන අන්තර්ජාතික ගිවිසුම් කිසිවක් වේ නම් එය පවත්නා නීති වලට අනුකූලවන්නේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ වහාම කි‍්‍රයාත්මක කළ යුතුය.
රජය විසින් සම්මත කරන ලද යම්කිසි අන්තර්ජාතික ගිවිසුමක් පවතින නීති හා ගැටෙන වගන්ති අඩංගු වේ නම් පවතින නීති සංශෝධනය කිරීමෙන් පසු ඒවා කි‍්‍රයාත්මක විය යුතුය.
පවතින නීති රජය විසින් අස්සන් කරනු ලබන ජාත්‍යන්තර ගිවිසුම් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමාණවත් නොවන අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් පසු එම ගිවිසුම් කි‍්‍රයාත්මක කළ යුතුය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය ට්ඉර්‍ථ+ පහසුකම් රඳවා ගැනීම සඳහා අපට ආධාරකයක් වනු ඇත. එසේ නොවුනහොත් ට්ඉර්‍ථ+ පහසුකම අපට නොලැබී යනු ඇතිවා පමණක් නොව විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි වනු ඇත.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් අවුරුදු 3 ක කාල සීමාවක් සඳහා සෑම අවුරුද්දකටම රුපියල් කෝටි 2100ක් නිමි ඇඳුම් කර්මාන්තයට පමණක් ලබාදෙන බව රජය විසින් ප‍්‍රකාශ කර ඇත.
එහෙත් 2009 විසර්ජන පනත් කෙටුම්පතට මේ මුදල රජය විසින් අඩංගු කර නොමැත. අයවැය යෝජනා වලින් පසුව රජයේ සංශෝධනය කළ ආදායම රුපියල් කෝටි 3000 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
වැට් බදු 2%කින් වැඩි නොකර රජයට 2009 වර්ෂයේදී මෙම මුදල ලබාගැනීමට හැකි වන්නේද යන්න පිළිබඳව සැකයක් මතුවෙයි.අප සමග සාකච්ඡා කරන්නේවත් නැතිව එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනා ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණකි.
2008 නොවැම්බර් මස 17 වැනි දින මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළ අගමැතිතුමා අප වෙත චෝදනාවක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සංශෝධන වලට එකඟ වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ වලට එරෙහිව විදේශ රටකට අභියාචනා ඉදිරිපත් කිරීමේ බලය ලැබෙන බැවින් පෙර පැවති “ප‍්‍රිවී කවුන්සිලයට” සමාන වරප‍්‍රසාද ලබාදීමට නොහැකි බවයි. එවැනි සංශෝධනයක් ම විසින් යෝජනා කර නැත.
“ප‍්‍රිවී කවුන්සිලය” යටත් විජිතයක් වශයෙන් අපේ ඉහළම අභියාචනාධිකරණය වූ අතර නිදහස ලැබීමෙන් පසුද ස්වාධීන රාජ්‍යයක් වශයෙන් එය අපේ ඉහළම අභියාචනාධිකරණය විය.
උසාවි ආඥා පනත අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ මූලික අධිකරණයන් “ප‍්‍රිවී කවුන්සිලයේ” තීන්දු කි‍්‍රයාත්මක කිරීමට බැඳී සිටි.

ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව එකඟ නැහැ - අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
ඇඟලුම් කර්මාන්තය සඳහා ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලබා ගැනීමට විපක්‍ෂ නායකයා යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාත්මක කළ හොත් ශ‍්‍රී ලංකාවේ ජනරජ ස්වභාවය නැති වී ස්වෙරීත්වයට හානියක් සිදුවන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) ප‍්‍රකාශ කෙළේය.
විපක්‍ෂනායකයා යෝජනා කරන කිසිම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට රජය එකඟවන්නේ් නැතැයි ද අගමැතිවරයා අවධාරණය කෙළේය.
එම ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක කළ හොත් ශ‍්‍රී ලංකාවේ ස්වෙරීත්වය අන්තර් ජාතික නීතිය හමුවේ හෑල්ලුවට ලක්විය හැකි අතර පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ උත්තුංගභාවයට හානියක් විය හැකි යැයි ද අගමැතිවරයා පැවැසීය. අගමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පෙරවරුවේ සිදුකළ විශේෂ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
ශ‍්‍රී ලංකාව වෙනත් බලවේගයකට අවනත කර ගත හැකි ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ කිසිම මන්තී‍්‍රවරයකු කැමති වේ යැයි තමා නොසිතන බව ද අගමැතිවරයා පැවැසීය.
අගමැතිවරයා මෙසේද ප‍්‍රකාශ කෙළේය.
ශ‍්‍රී ලංකාවේ නීතිය හා අන්තර්ජාතික නීතිය අතර පවතින සම්බන්ධතාවය ගැන මට උපදෙස් ලැබී තිබෙනවා. නල්ලරත්නම් සිංහරාසා නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ හා අන්තර්ජාතික නීතියේ ස්වභාවයේ වෙනසක් සිදු වන්නේ නැහැ.
අප රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හා මේ සභාව අනුගමනය කරන නෙතික තීන්දු අනුව අන්තර් ජාතික නීතිය හා ශ‍්‍රී ලංකා නීතිය අතර දෙවැදෑරුම් ක‍්‍රමයක් පවතිනවා. අන්තර් ජාතික ප‍්‍රඥප්ති ශ‍්‍රී ලංකා නීතියට අනුගත කරන විට දේශීය වශයෙන් එහි ගුණ අගුණ සොයා සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට බාර දෙනවා.
අපි අන්තර්ජාතික ගිවිසුම් අස්සන් කළ පසු එය අප රටේ නීතියට ස්වයංකී‍්‍රයව අනුගත වෙනවා.
විපක්‍ෂ නායකවරයා සඳහන් කරන ආකාරයේ කිසිදු ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නැහැ.
ශ‍්‍රී ලංකාවේ නීතිය නිර්වචනය කරන විට අන්තර් ජාතික නීතිය පිළිගන්නා රටක් වශයෙන්, නීතිය නිර්වචනය කිරීමේ අයිතිය අධිකරණයට තිබෙනවා.
මෝනිස් ක‍්‍රමය පවතින රටවල් කිහිපයක් තිබෙනවා. එවැනි ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ කිසි විටෙක අනුගමනය කර නැහැ.
ජී. එස්. පී. + බදු සහනය ලබාදීමේ දී යුරෝපා කොමිසම ජාත්‍යන්තර ප‍්‍රඥප්ති විසිහතක් ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුගත වී ඇත්දැයි සොයා තීන්දු කරනු ඇති.
ඔවුන් සිවිල් හා දේශපාලන අයිතිය පිළිබඳ ප‍්‍රඥප්තිය, හිංසනයට එරෙහි ප‍්‍රඥප්තිය, ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය යන ප‍්‍රඥප්ති කි‍්‍රයාත්මක වීම ගැන යුරෝපා කොමිසම උනන්දුවකින් කි‍්‍රයා කරනවා. ඒවා අප හොඳින් කි‍්‍රයාත්මක කරනවාදැයි බලනවා.
විපක්‍ෂ නායකවරයා කියන ආකාරයේ සංශෝධනයක් කරන්නැයි යුරෝපා කොමිසම අපට කියා නැහැ. ඉහත ප‍්‍රඥප්ති නිසි පරිදි කි‍්‍රයාත්මක වෙනවාදැයි බැලීමටයි, කියා ඇත්තේ.
බදු සහනය ලබාදීමට ය‍්‍රුරෝපා කොමිසමට විමර්ශනයක් සඳහා ඉඩ නොදෙන බව අප කියා තිබෙනවා. එසේ ඉඩ දුන්නා නම් එය ස්වෙරී රටක් වශයෙන් අපේ රටේ ගරුත්වයට හානියක්.
විපක්‍ෂ නායකවරයා කියා සිටින ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කළ හැක්කේ නම් අපේ රට ද්විත්ව නෙතික ක‍්‍රමය පවතින රටක සිට මෝනිස් ක‍්‍රමය පවතින රටක් බවට පත්වෙනවා. එය සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවා.
අන්තර් ජාතික නෙතික ගුණධර්ම අනුව ප‍්‍රඥප්තියක් අස්සන් කළ වහාම එය දේශීය නීතියට අනුගත වී ජාතික නීතියක් බවට පත්වෙනවා.
අපේ රටේ නීතියට අනිසි ලෙස ඇඟිලි ගැසීම මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. සංශෝධනය කළ විට අපේ රටේ ජනරජ ස්වභාවය නැති වී ස්වෙරීත්වය නැති රටක් බවට පත්වීමට පුළුවන්.

බ‍්‍රැඩ්මන්ගේ 1948 කැප් තොප්පිය වෙන්දේසියේ


වෙන්දේසිකරු චාල්ස් ලෙස්කි (ඡායාරූපයේ නැත) මේ ප‍්‍රදර්ශනය කරන්නේ ඔස්ටේ‍්‍රලියාවෙන් බිහිවූ අද්විතීය කි‍්‍රකට් කී‍්‍රඩක ඩොන් බ‍්‍රැඩ්මන් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී පැළඳි වර්ෂ 1948 “බැගී ග‍්‍රීන්” කැප් තොප්පිය සහ ඒ සමග එන බ‍්‍රැඩ්මන් විසින් ඔහුගේ සුරැකි පුත‍්‍රයාට ලියන ලද සත්‍යතාව ඔප්පු කරන ලියුමයි. කැප් තොප්පිය දෙසැම්බර් 15 වැනිදා මෙල්බර්න්හිදී වෙන්දේසි කෙරෙන අතර එය ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 600 - 750,000 (අමෙරිකානු ඩොලර් 390 - 487,000) ක මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂිතය.

පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා -ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට තර්ජනයක් නෑ-ඉන්දියාව කියයි

ඒ. එෆ්. පී.
මුම්බායි නුවර සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ඉන්දියාවේ ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට බ¼ඳුන්ව ඇතත් 2010 පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල සහ 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය කලින් නියමිත පරිද්දෙන් ම ඉන්දියාවේ පැවැත්වෙනු ඇතැයි එරට ඉහළ පෙළේ නිලධාරීහු පවසති.
2010 වසරේ ඔක්තෝබර් 3 සිට 14 දක්වා නවදිල්ලියේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට කිසිම තර්ජනයක් නැතැයි ඉන්දියා ඔලිම්පික් සංගමයේ මහ ලේකම් රන්ධීර් සිං කියයි
”මුම්බායි හි සිදුවූ දෙය ශෝකාන්තයකි. එහෙත් කී‍්‍රඩාව පවත්වාගෙන යා යුතුයි. අපි මේ කී‍්‍රඩා උළෙල පවත්වන්න දැඩි ලෙස අදිටන් කරගෙන සිටිනවා.” ජගත් ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ද වන සිං පවසයි.
”බොහෝ අන්තර්ජාතික කී‍්‍රඩා තරගවල මෙන්ම අධි ආරක්‍ෂාවක් තියේවි. කලබල වෙන්න වුවමනාවක් නැහැ. විරෝධතා පෙළපාළි තිබුණත් මේ වසර මුලදී නවදිල්ලියේදී ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම ප‍්‍රශ්නයක් නැතිව සිදුවූයේ දැඩි ආරක්‍ෂාව යොදා තිබූ නිසයි.”
2010 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ආසියානු නගරයකට පිරිනමන ලද දෙවැනි අවස්ථාව මෙය වේ. පළමු අවස්ථාව වූයේ 1998 වසරේ මලයාසියානු අගනුවර වන ක්වාලාලම්පූර් ය.
188 දෙනෙකුට මරු කැඳවූ මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර තානාපති සබඳතා පළුදු වීම හේතුවෙන් දකුණු ආසියානු ටෙස්ට් රටවල් හතරේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පිළිබඳ සැකයක් ද මතු විය.
එහෙත් එම තරගාවලිය තර්ජනයට ලක්ව ඇතැයි කෙරෙන අනුමාන ෆෙඩරල් ඇමැතිවරයකු මෙන්ම වසර 2010 දී ජගත් කි‍්‍රකට් කවුන්සලයේ සභාපති ලෙස පත්වන ෂරාඩ් පවාර් ඉවත හළේය. “මින් ඉදිරියට එවැනි ත‍්‍රස්ත කි‍්‍රයාවක් මෙහි සිදු නොවන පරිදි සැකසෙන ආරක්‍ෂක වැඩපිළිවෙළක් ළඟදීම දැකගන්නට ලැබේවි” ඔහු පැවැසීය.
පාකිස්තාන සංචාරය
මේ අතර ජනවාරියේ පාකිස්තානයේ සංචාරයක් සඳහා රජයෙන් අවසර ලැබෙන තෙක් ඉන්දියා කි‍්‍රකට් බලධාරීහු බලා සිටිති. එහෙත් මාධ්‍ය වාර්තා පවසන්නේ එම සංචාරය සිදු නොවනු ඇති බවයි. මුම්බායි හි ප‍්‍රහාරයට ත‍්‍රස්තවාදීන් පැමිණියේ පාකිස්තානයේ සිට බවට ඉන්දියාව චෝදනා කිරීම මීට හේතුවයි.
අසල්වැසි දෙරට අතර හටගෙන තිබෙන උණුසුම් වාතාවරණය ලිහිල් කිරීමට කි‍්‍රකට් තානාපති සබඳතා හේතුවනු ඇතැයි පවසන පාකිස්තාන කි‍්‍රකට් නායක ෂොයිබ් මලික් ඉන්දියා කණ්ඩායම තම රටට පැමිණෙන ගමන එලෙසින් ම සිදුකරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටී.
”අපි කි‍්‍රකට් තරග කී‍්‍රඩා කළොත් දෙරටේම ජනතාවට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකිරීමට අවස්ථාව ලැබේවි. එවිට දැන් තියෙන තත්ත්වය පැහැදිලිව හොඳ අතට හැරේවි. අතීතයේත් මේ අයුරින් ම කි‍්‍රකට් සබඳතා උපකාරි වෙලා තියෙනවා.”
මලික් වාර්තාකරුවනට කීවේය. ලබන වසරේ ජනවාරි - පෙබරවාරි පාකිස්තාන සංචාරයේදී ඉන්දියාව ටෙස්ට් තරග තුනකට අන්තර්ජාතික එක්දින තරග පහකට හා ඕවර විස්සයි 20 තරගයකට සහභාගි වීමට නියමිතය. කි‍්‍රකට් යනු ඉන්දියා උප මහද්වීපයේ ලොකුම ආලය බව පැවසූ මලික් එමඟින් මීට පෙරත් ඉන්දියාව හා පාකිස්තානය ළංකර වූ උදාහරණ ගෙන හැර දැක්වීය.
පාකිස්තානයේ හමුදා පාලක ජනරාල් සියා උල් හක් පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ 1987 ඉන්දියා සංචාරය මැදදී ඉන්දියාවට පැමිණෙමින් කි‍්‍රකට් කී‍්‍රඩාව දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ ආයුධයක් ලෙස පාවිච්චි කෙළේය. පාකිස්තාන පිලද ඉන්දියා සික් අන්තවාදීන්ගේ මරණ තර්ජන තිබියදීත් 1999 වසරේදී ඉන්දියාවේ සංචාරය කෙළේය.
තම කණ්ඩායම ඉක්මනටම තරග කී‍්‍රඩා කළ යුතුව ඇතැයි පාකිස්තාන කි‍්‍රකට් නායකයා පවසා සිටියේය. ”අපට කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතාමත් දැඩි ලෙස අවශ්‍ය වී තියෙනවා. හේතුව අපි මේ අවුරුද්දේ එක ටෙස්ට් තරගයක්වත් කී‍්‍රඩා නොකළ නිසයි.
ඒ නිසා අපි ඉන්දියා පිල මෙහි පැමිණෙන තුරු පුන පුනා බලා සිටිනවා” මලික් කීවේය.
ඉස්ලාමීය යුදවාදීන්ගෙන් එල්ල වීමට ඉඩ තිබූ ප‍්‍රහාරවලට බියෙන් ඔස්ටේ‍්‍රලියාව මේ වසර මුලදී පාකිස්තානයේ සංචාරය කිරීම ප‍්‍රතික්‍ෂේප කළ නිසා පාකිස්තානයට වසර පුරාම ටෙස්ට් තරගයක් නොලැබිණි.
ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීම ප‍්‍රතික්‍ෂේප කළොත් පාකිස්තාන පිලේ ඊළඟ ටෙස්ට් තරගාවලිය යෙදී ඇත්තේ 2009 ජූලි මාසයේ ශී‍්‍ර ලංකාවේය. මුම්බායි හි ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා කල් දැමුණු ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට එංගලන්ත කණ්ඩායම යළි ඉන්දියාවට පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ෂොයිබ් මලික් කීය.
”ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දියාවට යන්න එංගලන්තය එකඟ වුණොත් එය ඉතා හොඳ තීරණයක් වේවි. හේතුව කි‍්‍රකට් දිගටම තිබිය යුතු නිසායි” මලික් වැඩිදුරටත් සඳහන් කෙළේය.
එංගලන්ත කණ්ඩායම
එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම යළි ඉන්දියාවට යාම ඔවුන්ගේ ආරක්‍ෂක උපදේශක රෙග් ඩිකාසන් මත රැඳී තිබේ. ඉන්දියාව විසින් වඩාත් දැඩි ආරක්‍ෂාවක් සැපයීමට පොරොන්දු වී ඇති බැවින් එංගලන්තය එම සංචාරයේ නියැලීමට එකඟ වීමට ඉඩ ඇතත් ඔවුන් අවසාන තීරණය ගනු ඇත්තේ තවත් දින කිහිපයකට පසුව ඩිකාසන්ගේ අලුත්ම වාර්තාව ලැබීමෙන් පසුව පමණි. ඒ අතරවාරයේ අබුඩාබියට ගොස් එහි නේවාසික පුහුණුවක යෙදීම ගැන එංගලන්තය සලකා බලමින් සිටී.
ඩිකසන්ගෙන් “කොළ එළිය” ලැබුණු පසුව ඔවුන් එතැනින් චෙන්නායි බලා යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එංගලන්ත කණ්ඩායම අබුඩාබි කි‍්‍රකට් සමාජයේ පුහුණුව ලබමින් පුහුණු තරගයකට සහභාගි වනු ඇතැයි අබුඩාබියෙන් වාර්තා වෙයි. එංගලන්තය විසින් ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි පැවසෙන කාරණා අතර සෑම තරග ස්ථානයකම 20 දෙනෙකුගෙන් යුත් කොමාන්ඩෝ හමුදාවක් සැපයීම හා ප‍්‍රහාරයක් හමුවේ සැනින් එම ස්ථානයෙන් ඉවත්ව යාමේ වැඩපිළිවෙළක් ද වෙති.

Wednesday, December 3, 2008

‘සන්ඩේ ලීඩර්’ පුවතකින් හැන්සාඩ් කරුණු විකෘති කරලා කතානායක පාර්ලිමේන්තුවේ දී කියයි


දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
‘සන්ඩේ ලීඩර්’ පත‍්‍රයේ පළ වූ ප‍්‍රවෘත්තියකින් හැන්සාඩ් වාර්තාවේ සඳහන් කරුණු විකෘති කර ඇති බව කථානායක වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙළේ ය.
කතානායකවරයා ඊයේ (2) මෙසේ ප‍්‍රකාශ කෙළේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා තමා සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් 30 වැනිදා සන්ඩේ ලීඩර් පත‍්‍රයේ පළවූ ප‍්‍රවෘත්තියකින් වරප‍්‍රසාද කඩවී ඇති බවට
පාර්ලිමේන්තුව ඊයේ පෙරවරුවේ ඉදිරිපත් කළ වරප‍්‍රසාද ප‍්‍රශ්නය පිළිබඳව අදහස් පළ කරමිනි. එම ප‍්‍රවෘත්තිය හා හැන්සාඩ් වාර්තා කියවා බැලූ බවත් ප‍්‍රවෘත්තිය හැන්සාඩ් වාර්තාවේ කරුණු විකෘති කර ඇති බවත් වරප‍්‍රසාද ප‍්‍රශ්නය වරප‍්‍රසාද කමිටුවට යොමු කිරීමට යෝජනා කරන බවත් කථා නායකවරයා කීවේය.
එම අවස්ථාවේ නැගී සිටි සභා නායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙය පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමේදී රජය අපහසුවට පත් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් බවත් මේ පිළිබඳව දැඩි තීරණයක් ගත යුතු බවත් මෙය එම අමාත්‍යවරයාට පමණක් නොව සියලුම මැති ඇමැතිවරුන්ට බලපාන කරුණක් බවත් කීවේ ය.
හැන්සාඩ් වාර්තාවේ නම තිබූ පලියට මෙහි සඳහන් සංඛ්‍යා ලේඛන විකෘති කිරීමට බලයක් තිබෙනවාදැයි ප‍්‍රශ්න කළ කථා නායකවරයා හැන්සාඩ් වාර්තාවේ සඳහන් පිළිතුරෙහි එම අමාත්‍යාංශ ලේකම්වරයා එවා ඇති කරුණු ගැන ඩිව් ගුණසේකර ඇමැතිවරයා සෑහීමට පත්වන නමුත් වාර්තාකරණය වැරැදි බව පවසන්නේ යැයිද ප‍්‍රකාශ කෙළේ ය.

මීගමුව ඇළ පාරේ නිවෙසක කොටි දුරකථන මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකාවේ දුරකථන සම්බන්ධතා ජාලයට හසු වී නැහැ

මීගමුව විශේෂ එච්.ප‍්‍රනාන්දු
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට අන්තර්ජාතික දුරකථන පණිවිඩ ලබා දීමේ රහසිගත මධ්‍යස්ථානයක් වැටලූ මීගමුව පොලිසියේ නිලධාරීහු එම සන්නිවේදන උපකරණ සමගින් ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු ඊයේ (2) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ මීගමුව කුඩාපාඩුව ප‍්‍රදේශයේ ඇළ පාරේ නිවසකය.
පොලිසිය මේ මධ්‍යස්ථානයේ සඟවා තිබූ දුරකථන 80ක කොටස්, බැටරි හා ඒවාට අදාළ උපාංග තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන අන්දමට රහසිගත පණිවිඩ ලබා ගැනීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන්නේ ජර්මනියේ ත‍්‍රස්තවාදීන් පිරිසක් සමගයි.
පරිඝනක ආධාරයෙන් ශ‍්‍රී ලංකාවේ දුරකථන සම්බන්ධතා ජාලයට හසු නොවී මේ දුරකථන පද්ධතිය ක‍්‍රියාත්මකවී තිබේ. අන්තර් ජාලයේ සම්බන්ධතා ඔස්සේ මේ රහසිගත දුරකථන පද්ධතිය කි‍්‍රයාත්මක කර තිබෙන බැව්ද වැඩිදුරටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නීති රීති උල්ලංඝනය කරමින් මේ ජාවාරම ඉතාමත් රහසිගතව පවත්වාගෙන ගොස් තිබෙන බව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මීගමුව ප‍්‍රාදේශීය කාර්යාලයේ උසස් නිලධාරියෙක් “දිනමිණ”ට පැවසීය.
මේ ජාවාරම හරහා රුපියල් කෝටි ගණන් මුදල් ලබාගෙන තිබෙන බවද පැවසේ.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පෙ‍්‍ර්මසිරි විතාන මහතාගේ අධීක්ෂණය මත මේ පිළිබඳව විමර්ශන පවත්වාගෙන යනු ලබන්නේ මීගමුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ මහතා ප‍්‍රධාන පොලිස් නිලධාරීන් පිරිසකි.
සැකකරුවන් තිදෙනා රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරීක්ෂණ සිදුකැරේ.

පෙරියකුලම් ගම්මානය යුද හමුදාව යටතට

මහින්ද කුලතුංග
මුලතිව් දිස්ති‍්‍රක්කයේ පෙරියකුලම් ගම්මානය ඊයේ (02) සවස ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදී.
මුලතිව් කොටියමලේට කිලෝමීටරයක් බටහිරින් මේ ගම්මානය පිහිටා තිබේ. බි‍්‍රගේඩියර් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් යුත් යුද හමුදාවේ 59 වැනි සේනාංකය විසින් මේ ගම්මානය අත්පත් කරගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙම ගම්මානයේ වැසියන්ගේ නිවෙස් ආශි‍්‍රතව ත‍්‍රස්තවාදීන් බංකර ඉදිකර තිබී ඇති අතර හමුදාව ඉතාමත් විමසිලිමත්ව ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කර ගම්මානය අත්පත් කර ගෙන තිබේ.
ගැටුමේදී ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවී ඇති අතර ත‍්‍රස්තවාදීන් ගම්මානය හැර දමා පළාගොස් තිබේ.
එම ප‍්‍රදේශයේ තවදුරටත් ආරක්ෂක මෙහෙයුම් සිදු කැරේ.මේ අතර උතුරේ මෙහෙයුම් වල නිරත හමුදා සේනාංක මහවැසි මැද ඊයේ (2) දිනයෙත් තම මෙහෙයුම් ඉදිරියට කි‍්‍රයාත්මක කරමින් හමුදා ඉදිරි ආරක්ෂක වළලු පුළුල් කර ගැනීමට සමත් වූහ.
මුලතිව් බලා මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන 59 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (2) දහවල් වන විට ආන්දන්කුලම් කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට පහර දී කොටි බංකර් හතරක් විනාශ කරමින් ඉදිරියට ගමන් කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මේ අතර කොකාවිල් ප‍්‍රදේශය අත්පත් කර ගත් 57 වැනි සේනාංකයේ භට පිරිස් කොකාවිල් ප‍්‍රදේශයෙන් ඉදිරියට ගමන් කරමින් ඉදිරි ආරක්ෂක වළල්ල පුළුල් කර ගෙන තිබේ.
නාගර්කෝවිල් දෙසින් මෙහෙයුම් ආරම්භ කර ඇති 53, 54 වැනි සේනාංක වල සෙබළුන් ඊයේ (2) කොටින්ට දැඩි ප‍්‍රහාර එල්ල කර ඇත. මේ අතර යාපනයේදී හමුදාව කිලෝ පහක් බරැති ක්ලෝමෝ බෝම්බයක් ඊයේ (2) සොයා ගෙන තිබේ.

මහවිරු පවුල්වල අයට කොටි පහර දී එළවති

මහින්ද කුලතුංග
ඊළාම් සිහින උන්මාදයෙන් දෙමළ ජනතාව නිදහස් කරන්නැයි ඉල්ලා කොටි නායක ප‍්‍රභාකරන්ට විරෝධය පළ කරමින් මුලතිව් ඔඩ්ඩුසුඩාන් හන්දිියේ විරෝධතාවක් පළ කිරීමට පැමිණෙමින් සිටි කොටි මහා වීර පවුල්වල සාමාජිකයන්ට එල්ටීටීඊ ය පෙරේදා (1) පහර දී පලවා හැර තිබේ.
මුලතිව්, පුදුකුඩුඉරිප්පු සහ විශ්වමඩු යන ප‍්‍රදේශවල සිට මේ මහා වීර පවුල්වල සාමාජිකයන් පැමිණි අතර කොටි සාමාජිකයන් එම ජනතාවට තුවක්කු එල්ල කර වෙඩි තබන බවට තර්ජනය කර පහර දී පලවා හැර ඇති බවත් වාර්තා වේ.
යුද්ධයට දරුවන් ලබා දී ඇති පවුල් එල්. ටී. ටී. ඊ. ය මඟින් මහා වීර පවුල් ලෙස නම්කර ඔවුන්ට විවිධ විශේෂ වරප‍්‍රසාද ලබා දී තිබේ.
එහෙත් තම පවුල්වල ඉතිරිව සිටින අනෙකුත් දරුවන්ද එල්. ටී. ටී. ඊ. ය බලහත්කාරයෙන් රැගෙන ගොස් යුද්ධයට යොදවා මරා දැමීමට විරෝධය පළකරමින් සහ එල්. ටී. ටී. ඊ. නායක ප‍්‍රභාකරන්ට සාප කරමින් මහා වීර පවුල්වල සාමාජිකයන් මේ උද්ඝෝෂණය සඳහා පැමිණි බවත් ආරක්‍ෂක අංශ වාර්තා සඳහන් කෙළේය.
කොටි නායකයා තම මහා වීර පවුල්වලට දුන් පොරොන්දු කඩ කරමින් අවුරුදු 12 ට අඩු දරුවන් යුද්ධයට බලහත්කාරයෙන් බඳවාගන්නා බවත් එම මහා වීර පවුල්වල සාමාජිකයෝ චෝදනා කළහ.
සාමාන්‍ය වැසියන් සිටින ස්ථානවල එල්. ටී. ටී. ඊ. ය තම බංකර සහ වෙඩි තැබීමේ ස්ථාන අටවා තිබීමත් මහා වීර පවුල්වල විරෝධතාවට හේතු වී තිබේ.
”එල්. ටී. ටී. ඊ. නායකයා අපිව රැවැට්ටුවා. අපේ දරුවන් අපිට ලබාදෙන්න. බලහත්කාරයෙන් දරුවන් යුද්දෙට බඳවා නොගන්න. ඊළාම් සිහින උන්මාදයෙන් දෙමළ ජනතාව නිදහස් කරන්න” යනුවෙන් සටන් පාඨ ඔසවාගෙන මහා වීර පවුල්වල සාමාජිකයෝ පැමිණෙමින් සිටියදී කොටින්ගේ පහරකෑමට ලක්ව ඇති අතර ඔවුන් කොටි සංවිධානයට සාප කරමින් පලා ගොස් ඇති බවත් එම ආරක්‍ෂක අංශ වාර්තා සඳහන් කෙළේය.

ත‍්‍රස්තවාදයේ සැබෑ මුහුණ මුම්බායි සිද්ධියෙන් පෙනුණා

අධිනීතිඥ ගෝමින් දයාසිරි
මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාරයට ඉන්දියාව මුහුණ දුන් ආකාරය, ත‍්‍රස්තවාදයට එරෙහි ඉදිරි කි‍්‍රයාමාර්ග කෙසේ වේද, ත‍්‍රස්තවාදය විනාශ කිරීම සඳහා ලෝකය කෙසේ කි‍්‍රයා කළ යුතු ද, ත‍්‍රස්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකාව යෙදී සිටින අරගලය ආදී කරුණු පිළිබඳ අධිනීතිඥ ගෝමින් දයාසිරි අප සමඟ මෙලෙස අදහස් දක්වයි.
මුම්බායි ප‍්‍රහාරයත් සමඟ යළිත් ලෝකයට ම දැකගත හැකි වූ ත‍්‍රස්තවාදයේ වියරු ස්වභාවය හඳුනා ගනිමින් ම අපි මේ සාකච්ඡාව අරඹමු?
ඉන්දියාවට පසුගිය මාස 18ක වගේ කාලයක දී නොකඩවා වගේ ත‍්‍රස්තවාදී බලපෑම් ඇති වුණා. මුම්බායි ප‍්‍රහාරයට දෙසතියකට කලින් ගුහාවතී ප‍්‍රදේශයෙත් විශාල ප‍්‍රහාරයක් සිදු වුණා.
එම චෝදනාව එල්ල වුණේ බංග්ලාදේශයෙන් ආ ත‍්‍රස්තවාදීන් ට යි. ඊට කලින් දිල්ලි, ජයිපූර්, අලහබාද්, බැංගලෝර් ආදී ප‍්‍රදේශ ගණනාවක විවිධ කණ්ඩායම් ප‍්‍රහාර සිදු කළා.
එරටේ ඇසෑම් බෙදුම්වාදීන්, කාශ්මීර බෙදුම්වාදීන්, නැක්සලයිට්වාදීන් වැනි ත‍්‍රස්ත කණ්ඩායම් රාශියක් කි‍්‍රයාත්මක වෙනවා. ඉන්දීය ආරක්ෂක අංශයන්ට මේ කණ්ඩායම්වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා.
පසුගිය සාර්ක් සමුළුවේ දී, මේ කලාපයෙන් ත‍්‍රස්තවාදය තුරන් කළ යුතු යැයි ඉන්දීය අගමැතිවරයා යෝජනාවක් ගෙනාවෙත් මේ අත්දැකීම් ඇති නිසා.
දකුණු ආසියාවෙනුත් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය වගේ රටවලට මේ ප‍්‍රශ්නය වඩාත් දැනෙනවා.
ආර්ථිකයට වගේ ම දේශපාලනයටත් ත‍්‍රස්තවාදයෙන් ප‍්‍රබල තර්ජනයක් එල්ල වෙනවා. මුම්බායි ප‍්‍රහාරයෙනුත් එය පැහැදිලියි. මේ තර්ජනය සමස්ත ලෝකයට ම එල්ල වෙන තර්ජනයක් ලෙස හඳුනා ගත යුතුයි. එය මැඩලීම සඳහා සියලු රටවල් එකට නැඟී සිටිය යුතුයි.
සාමාන්‍ය නීති යටතේ ත‍්‍රස්තවාදීන් සමඟ සටන් වැදීම අසීරු නිසා අමෙරිකාව, බි‍්‍රතාන්‍ය වගේ රටවල් විශේෂිත නීති ගෙනැත් තිබෙනවා.
එවැනි නීතිවල ස්වරූපය අනුව මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන වගන්ති අනිවාර්යයෙන් ඇතුළත් ව තිබිය හැකියි. එහෙත් කෘර ත‍්‍රස්තවාදය සමඟ සටන් කිරීමේ දී එසේ නොවී එය කිරීම දුෂ්කරයි.
එහෙත්, අප වැනි රටවල් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පවතින නෙතික රාමුව ඇතුළත ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් පවා සමහර බලවත් රටවල් අකුල් හෙළන ස්වභාවයක් තියෙන්නේ?
ත‍්‍රස්තවාදය සෙසු මිනිසුන් ගේ ජීවත්වීමේ අයිතිය පවා උදුරාගනිද් දී ත‍්‍රස්තවාදය මැඬලන කි‍්‍රයාමාර්ග මිනිස් අයිතිවාසිකම් හා ගැටෙන බව සිතමින් රටකට බලා ඉන්න බැහැ.
බි‍්‍රතාන්‍යයේ පවා සෑම මාර්ගයක ම වගේ ආරක්ෂක කැමරා සවිකරලා. ඒවා මඟින් සාමාන්‍ය ජනයා පවා නිරන්තරයෙන් සෝදිසි කෙරෙනවා. එසේ තිබිය දී තමයි, අද බටහිර ලෝකය සහ ඔවුන් ගේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් උල්ලංඝනය කරන බවට අප වැනි රටවලට තර්ජනය කරන්නේ.
අමෙරිකාව තමන්ට එරෙහිව ඇතැයි කියන කි‍්‍රයාමාර්ග භයානක ලෙස මර්දනය කරද්දී මේ චෝදනා අදාළ වෙන්නේ නැහැ. අරාබිය, ඊජිප්තුව, කොලොම්බියාව වගේ රටවල එවැනි කි‍්‍රයාමාර්ග ඇති වුණත් ඒවා විවේචනය කරන්නෙත් නැහැ.
මොකද, මේ සමහර රටවල් අමෙරිකා ආධිපත්‍ය පිළිගන්නවා. අමෙරිකාවට වාසිදායක ආකාරයට තමන් ගේ සම්පත් යොදාගන්න ඉඩ ලබා දීම, යුද කඳවුරු පිහිටුවා ගන්න ඉඩ දීම වගේ දේවල් ඇතැම් රටවල් කරල තියෙනවා.
එවිට ඔවුන්ට එරෙහිව ඔය චෝදනාව එල්ලවන්නේ නැහැ. එහෙත්, ශ‍්‍රී ලංකාව වැනි රටක සුළු සිදුවීමක් වුණත් එය හුවා දක්වමින් පහර ගසනවා. මොකද, අපි ඒ ආධිපත්‍යයට යටවන්නේ නැහැ.
අපි, නොබැඳි පිළිවෙතක පිහිටා සිටින ස්වෙරී රාජ්‍යයක්. ඔය සමහර රටවල් මෙන් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට මුවා වී දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීමට අප කි‍්‍රයාකරන්නෙත් නැහැ. හැබැයි ඔවුන් කෘර මර්දනයන් හි යෙදෙනවා.
ඇත්ත නම්, ශ‍්‍රී ලංකාව මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදී ඔවුන් කියන සෑම දෙයක් සම්බන්ධයෙන් ම ඉතාමත් විනිවිද පෙනෙන පරිදි කි‍්‍රයා කරන බවයි.
විදේශ අමුත්තන්ට මෙහි පැමිණ ඇත්ත දැනගන්න අප ඉඩ දීල තියෙනවා. එහෙත් ඉන්දියාව කිසිදු විදේශිකයකුට එවැනි අවසරයක් ලබාදෙන්නේ නැහැ. වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට තවත් රටකට ඉඩක් නැහැ.
මුම්බායි ප‍්‍රහාරය හමුවේ අමෙරිකාවත් ඉන්දීය ආණ්ඩුවට දැඩි ලෙස සහාය පළ කරන පිළිවෙතක සිටියා. අමෙරිකාවේ ඊළඟ ජනාධිපති බැරැක් ඔබාමා ත‍්‍රස්තවාදයට එරෙහිව කිනම් මට්ටමකින් කි‍්‍රයාකරයි ද යන්න මෙතෙක් අපැහැදිලි වුණත් මේ ප‍්‍රහාරයත් සමඟ ඔහු ගේ ස්ථාවරයත් පැහැදිලියි. මේ කාරණයේ දි අමෙරිකාවේ දේශපාලනය ගැන ඔබේ අදහස කුමක් ද?
අද ඉන්දියාවත්, අමෙරිකාවත් අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඉන්දියාව බටහිර ලෝකයට විශාල වෙළෙඳ පොළක්. ඒ වගේ ම, බටහිර ලෝකය ඉන්දියාව ගැන මෙතරම් උනන්දුවීමට තවත් ප‍්‍රබල හේතුවක් තමයි, ඔවුන්ට විශාල බලපෑමක් ඇති කරන චීනය ට එමඟින් බලපෑම් කළ හැකි වීම.
ඉන්දියාව සහ රුසියාව අතරත් සමීප මිත‍්‍රත්වයක් පැවතුණා. එහෙත් ඒ මත පමණක් රැෙඳන්නේ නැතිව අද ඉන්දියාව බටහිරට වඩාත් ළංවෙමින් සිටිනවා. පාකිස්තානයත් මේ වන විට අමෙරිකාවත් සමඟ සමීප සබඳතා පවත්වනවා.
දකුණු ආසියාවේ දේශපාලනයට අදාළ ව කලාපීය බලවතුන් සමඟ එවැනි මිත‍්‍රත්වයක් තිබීම බටහිරට අවශ්‍යයයි. එහි දී ශ‍්‍රී ලංකාව වැනි රටක් ඔවුන්ට එතරම් වැදගත් නැහැ.
ඔවුන් අප ගැන මෙපමණ ට උනන්දු වන්නේ ති‍්‍රකුණාමලය වරායත්, ගොඩනැඟෙමින් ඇති හම්බන්තොට වරායත් නිසා. මේ වරායන් දෙක ම තෙල් ප‍්‍රවාහනයේ දී චීනයට ඉතාමත් වැදගත් බව ඔවුන් දන්නවා.
අනෙක් කාරණය, අපට අයත් මුහුදු කලාපයේ තෙල් නිධි ඇතැයි අනාවරණ වීම. අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඔබාමාත් මේ කාරණා ගැන සැළකිල්ලෙන් සිටින බව මෙයින් පැහැදිලියි.
ත‍්‍රස්තවාදය පිළිබඳ ඉන්දීය පිළිවෙතට අදාළව, ඉන්දියාව ශ‍්‍රී ලංකාව දෙස බලන්නේ කවර ආකල්පයකින් ද?
ඉන්දියාවට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වූ බොහෝ අවස්ථාවල ඔවුන් චොදනා කෙළේ පාකිස්තානයටයි. මෑතක පටන් බංග්ලාදේශය දෙසටත් ඉන්දියාවේ ඇඟිල්ල දිගු වී තිබෙනවා. ඇෆ්ගනිස්තානය සහ නේපාලය ගැන වුණත් මේ කාරණයේ දී ඉන්දියාවට ප‍්‍රශ්න තිබෙනවා.
මේ නිසා තමන්ට බටහිර, නැඟෙනහිර, උතුර කියන පැති 3 න් ම යම් ශක්තිමත් ව්‍යුහයක් ගොඩනඟා ගැනීමට ඉන්දියාවට සිදුව තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් එය අවශ්‍යයයි. ඊට විශාල මුදලකුත් වැය වෙනවා. එහෙත් තමන්ට දකුණින් ඇති ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට එවැනි ප‍්‍රශ්නයක් නැහැ.
කවර බලපෑම් ඇතිවුණත් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත‍්‍රත්වයක් තිබෙනවා.
එහෙත් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම් නතර කිරීම සඳහා තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන බවත්, ආසන්න කාලයේ එය උච්ඡතම අවස්ථාවකට ආ බවත් පෙනෙනවා. මුම්බායි ප‍්‍රහාරයෙන් පසු මේ තත්ත්වය කෙසේ වනු ඇති ද?
මුළුමහත් ඉන්දියාවම විශ්මයට පත්කළ මේ ප‍්‍රහාරයත් සමඟ ත‍්‍රස්තවාදයේ බියකරු බව, පිළිකුල් සහගත බව වඩාත් දැනෙන්නට පටන් අරන්.
මේ ප‍්‍රහාරය නිසා සිවිල් ජනයාට හානි නොවන පරිදි, ඔවුන් ත‍්‍රස්තවාදයේ පීඩනයෙන් මුදා ගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සිදු කරන මෙහෙයුම් ගැන නිසි අවබෝධයකින් බලන්නටත් ඉන්දියාවට අවකාශයක් ලැබෙනවා.
පටු දේශපාලන වාසි තකා කි‍්‍රයා කරන තමිල්නාඩුවේ දේශපාලනඥයන්ට ඉන්දියාවේ මධ්‍යම රජයට යටත් වීමට සිදු වන බවත් පැහැදිලියි.
දැන් ඉන්දියාව කළ යුත්තේ අගමැති ආචාර්ය මන්මෝහන් සිං සාර්ක් සමුළුවට ඉදිරිපත් කළ කලාපයේ ත‍්‍රස්තවාදය සහමුලින් වැනසීමේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා පෙරට ඒමයි.
මෑතදී දිගින් දිගට ම ඉන්දියාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර හමුවේ එරට බුද්ධි අංශ පිළිබඳ ඉන්දීය අගමැතිවරයාට යම් විවේචනයක් ඇති බව මුම්බායි ප‍්‍රහාරයට දින දෙක, තුනකට පෙරත් පෙණුනා. මේ ප‍්‍රහාරයත් සමඟ ඉන්දීය ආරක්ෂක අංශවල දුබලතා ඇතැයි පෙනී යනවා නේද?
මේ ගැන මවිත විය යුතු නැහැ. ඉන්දීය සාම සාධක හමුදාව ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වූ කාලයේ දී ඔවුන්ට ළංවීමට නොහැකි වූ ප‍්‍රදේශ එල්. ටී. ටී. ඊ. යෙන් මුදා ගැනීමට අපේ ආරක්ෂක හමුදාවන්ට හැකි වී තිබෙනවා.
ලෝකයේ හතර වැනි බලවත් ම හමුදාව වන ඉන්දීය හමුදාවටත් වඩා තමන් ඉදිරියෙන් සිටින බව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා, බුද්ධි අංශ ගත වූ වසර 3 ඇතුළත පැහැදිලිවව පෙන්නුම් කළා.
එය ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති කරන්නට තරම් ප‍්‍රබලයි. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ශ‍්‍රී ලංකා හමුදා නිර්භිත හා දක්ෂ ලෙස සටන් කරන්නේ වසර 25ක අත්දැකීම් සමඟ.
ඉන්දීය ආරක්ෂක අංශ මේ ප‍්‍රහාරයට පෙර එය හඳුනා ගැනීමට අපොහොසත් වුණා.
එසේ ම ප‍්‍රහාරය ඇති වූ අවස්ථාවේ එය මර්දනය කිරීම සම්බන්ධයෙන් ද මුළුමනින් සාර්ථක වීමටත් නොහැකි වුණා. ත‍්‍රස්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකා හමුදාවන්ගේ කි‍්‍රයාකලාපය අනුව පෙනෙන්නේ ඔවුන් ඊට වඩා ඉදිරියෙන් සිටින බවයි.
සාකච්ඡා කෙළේ ධම්මික සෙනෙවිරත්නඡායාරූපය - ප‍්‍රබෝධි ලංකා

මෙදා මහවිරු කතාව අදෝනාවක් වුණා ජාතික හෙළ උරුමය නායක - එල්ලාවල මේධානන්ද හිමි

ජාතික හෙළ උරුමය හා සටන් විරාම කතාවක් සම්බන්ධව පසුගිය දිනවල ඇතිවූ දේශපාලන කතා බහ ගැනත්, මෙවර මහවිරු සතියේ ප‍්‍රභාකරන්ට අත්ව ඇති ඉරණම පිළිබඳත්, මුම්බායි ප‍්‍රහාර ආදිය හමුවේ කොටි සංවිධානයට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අත්දැකීම කුමක් ද යන්න පිළිබඳ ජාතික හෙළ උරුමයේ නායක එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේ අදහස් දක්වති.
කොටි සංවිධානය සමග සටන් විරාමයක් ඇති කරගත යුතු බවට ජාතික හෙළ උරුමය කළැයි කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කතාබහක් ඇතිවුණා. මොකක්ද මේ සටන් විරාම කතාව
සටන් විරාමයක් අවශ්‍යයි කියලා ජාතික හෙළ උරුමය කිසිම ප‍්‍රකාශයක් කරලා නැහැ. ජාතික හෙළ උරුමය එසේ කිව්වා කියල සමහරු අසත්‍ය ප‍්‍රචාර ගෙනියනවා.
ප‍්‍රභාකරන් ඊළම අත්නොහරින කෙනෙක් බව එදා ඉදලා කිව්වේ, ජාතික හෙළ උරුමයයි.
එක් රැස්වීමකදී ප‍්‍රභාකරන් ඔහුගේ සාමාජිකයන්ට කිව්වේ ඊළමට මෙහා විසඳුමකට ගියොත් තමාට වෙඩි තබා ඝාතනය කරන්න කියලයි. ප‍්‍රභාකරන්ට අවශ්‍ය කෙසේ හෝ ඊළාම් රාජ්‍ය පිහිටුවන්නයි.
සටන් විරාම ගැන කතා කරන්නේ, සාම සාකච්ඡා මතක් වෙන්නේ ප‍්‍රභාකරන් අන්ත පරාජයකට පත්වන විටයි. ජාතික හෙළ උරුමය සියලු දේශපාලන පක්ෂවලට වඩා හොඳින් ඒ බව දන්නවා.
මේ ආණ්ඩුවේ කොටස්කාරයන් බවට පත්වෙලා කොටි සංවිධානය පරාජය කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නෙත් ඒ නිසයි.
සටන් විරාමයක් ගැන කතා කරලා කොටි සංවිධානය බේරාගන්න හදන්නේ කොටි සංවිධානයට හා බෙදුම්වාදයට හිතවත් පිරිසක් මිසක් අපි නෙමෙයි.
කොන්දේසි සහිත සටන් විරාමයකටවත් ජාතික හෙළ උරුමය කැමැති වෙන්නේ නැද්ද?
ආයුධ බිම තියෙනවයි කියන්නේ භාවිතා නොකර ළඟ තබා ගැනීම. එහෙත් ඕනෑම වෙලාවක එම ආයුධය යළි භාවිත කළ හැකියි. ඒක නිසා අපි කියන්නේ කොටි සංවිධානය සතු සියලු අවි ආයුධ රජයට භාරදිය යුතුයි කියලයි.
ඉන් පසුව අපේ ආරක්ෂක අංශ කොටි සංවිධානයේ තවත් අවි ආයුධ තියෙනවද? කියලා පූර්ණ පරීක්ෂණයකට ලක් කළ යුතුයි. ඊළාම් රාජ්‍යයකට තිබූ අදහස අත්හැරියා.
ඒකීය ශී‍්‍ර ලංකාවක දේශපාලන විසඳුමකට කැමැතියි කියලා ප‍්‍රභාකරන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ යුතුයි. ඒ කොන්දේසිවලට යටත් වනවානම් ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක වෙනවානම් සටන් විරාමයක් ඇතිකර සාම සාකච්ඡා පැවැත්වීමට ජාතික හෙළ උරුමය සූදානම්.
ත කොටි සංවිධානය මේ දක්වා මේ ගමන පැමිණ ඇත්තේ ආයුධ කෙරෙහි විශ්වාසය තබාගෙනයි. ආයුධ භාරදුන්නොත් කේවල් කිරීම සඳහා කිසිම දෙයක් තමන්ට ඉතිරි නොවන බව ඔවුන් කියනවා.
ආයුධ භාරදීලා සාකච්ඡාවලට පැමිණි පසුව ආණ්ඩුව පැත්තෙන් යම් රැවටීමක් වුණොත් ඔවුන්ට විසඳුමකුත් නැහැ. ආයුධත් නැහැ කියලයි ඔවුන් කියන්නේ. මේ කතාවෙත් සාධාරණයක් තියෙනවා නේද?
කොටි සංවිධානයට එහෙම සැකයක් තියෙනවානම් මා ඒ සැකය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. නැගෙනහිර පළාතේ ජනතාවට ලබාදිය හැකි උපරිම අවස්ථා ලබා දෙමින් ඉන්නවා.
පළාත් සභාව පිහිටුවලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතා නියෝජිතයින් පත් කරගෙන ඒ සඳහා සුදුසු මහ ඇමැතිවරයෙකුත් තෝරාගෙන සංවර්ධන කටයුතු කරගෙන යනවා.
ඒක නිසා දෙමළ ජනතාව රවට්ටන්න වුවමනාවක් නැති බව අපි කි‍්‍රයාවෙන්ම ඔප්පු කළා. ප‍්‍රභාකරන් හෝ දෙමළ ජනතාව රවට්ටන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ.
ප‍්‍රභාකරන් සටන් කළත් දෙමළ ජනතාවට අවශ්‍ය දේ රජය ලබා දෙනවා. මුදා නොගත් ප‍්‍රදේශවල ජනතාවට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අපි ලබා දෙනවා.
එම අසරණ ජනතාවට දෙන ආහාරත් පැහැර ගන්නේ කොටි සංවිධානයයි. ඒක නිසා දෙමළ ජනතාවට අපි හැමදාමත් සලකනවා. ඒ ගැන සැකයක් ඇති කරගැනීම අනවශ්‍යයි.
ප‍්‍රභාකරන් ආයුධ භාරදීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ආවොත් කරුණා, පිල්ලෙයාන් ගේ තත්ත්වයට පත්වෙන් පුළුවන්.
ප‍්‍රභාකරන්ට එරෙහිව මේ සියලු මෙහෙයුම් කරන්නේ ඔහු ආයුධ සන්නද්ධව සිටින නිසයි. ඔහු ආයුධ භාරදීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එනවනම් මෙම මෙහෙයුම් නතර කරනවා.
සටන් විරාමයකට කැමැතියි කියලා පසුගිය විරුදින කතාවේදීත් ප‍්‍රභාකරන් කියලා තිබුණා නේද? මේ වතාවේ ඔහු කරන්නේ ඇත්තටම සටන් විරාමයකට ආරාධනයක්ද?
සටන් විරාම , සාම සාකච්ඡා ප‍්‍රභාකරන්ට හැමදාම මතක් වෙන්නේ ඔහු අන්ත පරාජයට පත්වන විටයි. මේක කොටි සංවිධානයේ ඉතිහාසය පුරාම කළ දෙයක්.
තමන් පරදිනකොට සටන් විරාම ගහලා ප‍්‍රභාකරන් ක‍්‍රම ක‍්‍රමයෙන් ශක්තිමත් වෙනවා. මාවිල්ආරු අමුණ වහපු වෙලාවේ අමුණ විවෘත කරන්න කියලා අපේ ජනාධිපතිතුමා කිහිපවතාවක්ම කොටි සංවිධානයෙන් ඉල්ලීම් කළා.
එදා තමන්ට බලය තිබුණු නිසා රජය ඉදිරිපත් කළ කිසිම කරුණකට ප‍්‍රභාකරන් ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.
ඒ වෙලාවේ මතක් නොවුණු සටන් විරාම, සාම සාකච්ඡා දැන් ප‍්‍රභාකරන්ට මත්වෙලා තියෙන්නේ ඔහු දරුණු වශයෙන් පරාජය වෙලා ඉන්න නිසයි.
ඒ නිසා කෙතරම් බලපෑම් ආවත් ප‍්‍රභාකරන්ගේ සටන් විරාම යෝජනාවට රජය නැඹුරු විය යුතු නැහැ. ඔහු යටත්වනතුරු නැත්නම් ආයුධ භාරදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පැමිණෙන තුරු ආරක්ෂක මෙහෙයුම් කෙරෙන්න ඕන.
මෙවර මහ විරුදිනයේදී ප‍්‍රභාකරන් කළ කතාවේ වෙනසක් තියෙනවාද? නැත්නම් පරණ කතාවමද?
මහාවීර දිනයේ තමයි ප‍්‍රභාකරන් ඔදගැන්විලා දෙමළ ජනතාවගේ ලේ උණුවෙන්නෙ. එහෙත් ඉස්සර වගේ එහෙම කතා කරන්න පුළුවන්කමක් දැන් ප‍්‍රභාට නැහැ. මොකද ප‍්‍රභාකරන්ගේ ඇඟේ ලේ බයටම උණුවෙලා ඉවරයි. තමාට ඉදිරියේදී අත්වෙන ඉරණම ගැන ප‍්‍රභාකරන්ට තියෙන්නේ ලැජ්ජාවක්, බියක්.
ප‍්‍රභාකරන්ගේ ළඟ ඉන්න ඔහුගේ ගෝලයොත් හමුදා මෙහෙයුම්වලට මුහුණ දෙන්න මැළිකමක් දක්වනවා. ඒ නිසා සමහරුන් කොටි සංවිධානය හැර යනවා.
මේ වගේ අත්දැකීම්වලට ප‍්‍රභාකරන් මීට පෙර මුහුණ දුන්නේ නැහැ. ඒ වගේම මුදා නොගත් ප‍්‍රදේශවල ඉන්න දෙමළ ජනතාව දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රභාකරන්ගේ ග‍්‍රහණයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන්න පටන් අරගෙන.
මෙම කරුණුවලින් පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාවට වගේම කොටි සාමාජිකයන්ටත් ප‍්‍රභාකරන් එපා වී ඇති බවයි.
තමන්ගේ නිජ භූමියට ඇවිල්ලා සිංහල හමුදාව කලබල ඇතිකරනවා කියලා ප‍්‍රභාකරන් විරුදින කතාවෙදී කීවා. ඔහු තවමත් නිජභූමි සංකල්පය පිළිගැනීම ගැන ඔබවහන්සේ හිතන්නේ කුමක්ද?
ප‍්‍රභාකරන් දෙමළ නිජභූමි සංකල්පය ඉදිරිපත් කෙළේ උතුරු නැඟෙනහිර පළාත් දෙකම එකතු කරලයි. දෙමළ නිජභූමිය වශයෙන් උතුරු නැඟෙනහිර පළාත් නම් කරන අතර ප‍්‍රභාකරන්ගේ තව සැලැස්මක්.
ඒ තමයි තමිල්නාඩු ප‍්‍රාන්තයත් මේ උතුරු නැඟෙනහිරට ඇඳාගෙන දෙමළ අධිරාජ්‍යයක් ගොඩනැංවීම. මේක දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා කරන්නක් නෙමෙයි, ප‍්‍රභාකරන්ගේ මහේශාක්‍ය බව ගොඩනඟා ගන්න කරන පෞද්ගලික සැලැසුමක්.
උතුරු නැඟෙනහිර පළාත් දෙකෙන් එක පළාතක්වත් දෙමළ නිජභූමියක් වශයෙන් ප‍්‍රකාශ කරන්න ප‍්‍රභාකරන්ට කිසිම අයිතියක් නැහැ.
අපි නැඟෙනහිර පළාත පැත්තකින් තියමු. මේ වෙනකොට නැඟෙනහිර පළාත මුළුමනින්ම ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන සංවර්ධන කටයුතු කරගෙන යනවා. නැඟෙනහිර පළාතේ ප‍්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය දැනටමත් බොඳවෙලා.
ඒ නිසා උතුරු පළාත ගැන අවධානය යොමු කරමු. උතුරෙනුත් ප‍්‍රභාකරන් මුලතිව් ප‍්‍රදේශයට සීමාවෙලා. කිළිනොච්චියත් දැන් ඔවුන්ට අහිමි වෙලා.
ප‍්‍රභාකරන් දැනට ඉන්න මුලතිව් ප‍්‍රදේශයත් දෙමළ නිජභූමියක් වශයෙන් හඳුන්වන්න බැහැ. පැරැණි සිංහල ගම්වලට හා වැව්වලට තියපු දෙමළ නම් හැරෙන්නට වෙන කිසිම සාධකයක් නැහැ.
මං වසර ගණනාවක් තිස්සේ වන්නි පළාතේ පුරා විද්‍යා සමීක්‍ෂණ කරල තියෙනවා. දෙමළ නිජබිමක් වශයෙන් ප‍්‍රකාශ කිරීමට තරම් කිසිම පිළිගත හැකි සාධකයක් මේ දක්වා හමුවෙලා නැහැ.
දෙමළ නිජබිම් සංකල්පය මිථ්‍යාවක්. ඒක නිසා ප‍්‍රභාකරන්ට තියෙන්නේ එම මිථ්‍යාව අතහැරලා සිංහල ජනතාව සමග සහෝදරත්වයෙන් සිටීමට ආයුධ භාරදීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීමයි.
සිංහල ජනතාව බුද්ධාගමට අනුව කටයුතු කරනවා නම් හමුදාවන්ගෙන් ඔවුන්ට සිදුවන හිරිහැර ගැන නිහඬව සිටින්නේ ඇයිද? කියාත් ප‍්‍රභාකරන් ප‍්‍රශ්න කරනවා.
එහෙම අහන්න ප‍්‍රභාකරන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. සිංහලයන් පමණක් නොවෙයි, ඇතැම් දෙමළ, මුස්ලිම් ජාතිකයනුත් ඒ වගේම ඇතැම් බටහිර ජාතීන් පවා බුද්ධාගම අදහනවා.
ආගමත් රටේ පාලනයත් දෙකක්. රටේ පාලකයා ආගමානුකූලව රට පාලනය කරන්න ඕන. ආගම සමඟ තිබෙන සංස්කෘතිය රකින්න ඕන. ඒ සංස්කෘතියට එරෙහිව එය විනාශ කිරීමට යම් බලවේග කි‍්‍රයාත්මක වෙනවා නම් ඒවා පරාජය කිරීමට රටේ පාලකයාට අයිතියක් තියෙනවා.
පාලකයාගේ ප‍්‍රධාන වගකීම රටේ සාමය ඇතිකිරීම. කිසිම ආගමකින් ඊට බාධාවක් නැහැ. හැම ආගමකින්ම කියන්නේ රටේ සාමයක් ඇතිකරන්න කියලයි.
සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් අපේ ආරක්‍ෂක අංශ නියෝජනය කරනවා. ඔවුන් සටන් කරන්නේ ත‍්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සාමය ඇතිකිරීමට මිසක් දෙමළ ජනතාවට විරුද්ධව නොවෙයි.
ප‍්‍රභාරකන් හින්දු හෝ කි‍්‍රස්තියානු භක්තිකයෙකු නම් ඒ ආගම්වල මනුෂ්‍ය ඝාතන ගැන කියල තියෙනවද කියලා මං ප‍්‍රභාකරන්ගෙන් අහන්න කැමැතියි.
මේ රටේ අහිංසක ජනතාව ඝාතනය කරලා ලේ විල් බවට පත්කරලා, බෝම්බ ගහලා දේපළ විනාශ කරලා ප‍්‍රභාකරන් කි‍්‍රයාකරන්නෙත් ඔහු අදහන ආගමට අනුකූලවද කියලා මං අහන්න කැමැතියි.
නෝර්වේ රාජ්‍ය කොටි සංවිධානයට හිතවාදීව කි‍්‍රයාකළා කියලා ජාතික හෙළ උරුමය බරපතළ ලෙස චෝදනා කළා. එහෙත් ප‍්‍රභාකරන් මෙවර මහ විරු දින කතාවේදී නෝර්වේ රාජ්‍යයටත් බරපතළ චෝදනා එල්ල කරලා තියෙනවා.
නෝර්වේ රාජ්‍යයෙන් ගන්න තියෙන උපරිම ප‍්‍රයෝජන ප‍්‍රභාකරන් ගත්තා. නෝර්වේ රාජ්‍යයත් ප‍්‍රභාකරන්ගේ බලය වර්ධනය කිරීමට කි‍්‍රයා කළා.
ඒක නිසා නෝර්වේ රාජ්‍ය කි‍්‍රයා කෙළේ අපේ රටට ද්‍රෝහි වන ආකාරයෙන්. එසේ කි‍්‍රයා නොකරන ලෙස අපි නෝර්වේ රාජ්‍යයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ.
මේ අවස්ථාවේදී ප‍්‍රභාකරන් නෝර්වේ රාජ්‍යයට දොස් පවරලා තියෙන්නේ නෝර්වේ සමාජය සුදනෙකු කිරීමේ උපාය මාර්ගික කටයුත්තක් සඳහායි. අද පවතින තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා රජයේ හොඳ හිත දිනාගැනීමටත් නෝර්වේ රාජ්‍යයේ උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්.
නෝර්වේ රාජ්‍යය අපේ රටට ද්‍රෝහි වූ බව අකා මකා දමන්න යම් සැලසුමකට අනුව ප‍්‍රභාකරන් මෙසේ චෝදනා කරනවා කියල හිතන්නත් පුළුවන්.
කොටි සංවිධානය බරපතළ ආකාරයෙන් පරාජයට පත්වෙමින් තිබෙනවා නම්, කොටි සංවිධානය අත්හැර පිරිස් පලා යනවා නම්, තමන් මේ සටන අත්නොහරින බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කරන්නේ කොහොමද?
කොටි සංවිධානයට ශක්තිය ලබා දුන්නේ මේ රටේ ඉන්න ජාතිද්‍රෝහීන් හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයි. රාජ්‍ය නොවන සංවිධාන තුන්දහසක් පමණ කිළිනොච්චියේ ඉඳගෙන කොටි සංවිධානයට සහයෝගය දක්වලා තියෙන බව ඔප්පු වෙලා තියෙනවා.
නැඟෙනහිර පළාතෙන් කි‍්‍රයාත්මක වූ බොහෝ රාජ්‍ය නොවන සංවිධානත් මේ කාර්යයන් කරල තියෙනවා.
මේ සංවිධානවලින් ඩොලර් මිටි ගණන් ලබාගත්තු ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගෙනුත් බලහත්කාරයෙන් මුදල් එකතු කරන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළා.
දැන් මේ දේවල් ප‍්‍රභාකරන්ට ලැබීම බොහෝ දුරට සීමා වෙලා. දැන් ඔහුට ඉතිරිව තිබෙන්නේ මරණයට මුහුණදීම පමණයි. මරණයට මුහුණ දීලා ඉන්න මිනිහා වියරුවෙන් කෑගහනවා, මං මරණයට බය නැහැ කියලා. ඒක තමයි මේ දවස්වල ප‍්‍රභාකරන් කියන කතාවලින් පෙන්නුම් කරනුයේ.
ඔහුගේ සටනට උදවු උපකාර කරන්න කියලා ලෝකයේ දෙමළ ජනතාවගෙන් ප‍්‍රභාකරන් ඉල්ලීමක් කරල තියෙනවා. මෙම ඉල්ලීමට මොන වගේ ප‍්‍රතිචාරයක් ලැබේවිද?
දරුණු ත‍්‍රස්තවාදයක් තමන්ගේ පටු අරමුණක් වෙනුවෙන් ගෙන යන කෙනෙකුට සහයෝගය ලබා දීමට කිසිම රටකට සදාචාරාත්මක අයිතියක් නැහැ.
මුම්බායි ප‍්‍රහාරයෙන් ඉන්දියාවටත් දැන් හොඳින්ම වැටහෙනවා. ත‍්‍රස්තවාදයේ තිබෙන කුරිරු භාවය, අමෙරිකාවටත්, බි‍්‍රතාන්‍යයටත් තේරිලා බොහෝ කල්. මුළු ලෝකයටම ත‍්‍රස්තවාදය පිළිකාවක් බවට පත්වෙලා.
ඒක නිසා හැම රටක්ම එකතු වෙන්නේ ත‍්‍රස්තවාදයට එරෙහිවයි. ත‍්‍රස්තවාදය නැතිකිරීමේ තීරණාත්මක අවස්ථාවකට මුළු ලෝකයම පරිවර්තනය වෙමින් පවතිනවා.
වසර 30 ක් ප‍්‍රභාකරන්ලා ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් කෙළේ ලෝකයේ මෙවැනි විපර්යාසයක් නොවුණු නිසයි. දැන් ප‍්‍රභාකරන්ලා දඟලපු කාලේ ඉවරයි.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්.කේ. ප‍්‍රසාද් මංජු