Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, December 2, 2008

අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමේ ශාඛාවක් මෙහි පිහිටුවීමට අවශ්‍යතාවක් නෑ- ඇමැති මහින්ද සමරසිංහ

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, සහ ස්වර්ණා විජේකෝන්
අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව අයවැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක් වෙමිනි.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (01) පෙරවරු 9.30 ට රැස්විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසල ලද ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
නැවත පදිංචි කිරීම් ආපදා සහන සේවා සහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ (01) සාකච්ඡාවට ගැනුණි.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා (එජාප) - මේ අමාත්‍යංශවල වැය ශීර්ෂයන්ගෙන් රුපියල් දහය බැගින් කපා හැරීමට යෝජනා කරනවා.
එදා අප මේ ඇමැති ධූරයේ කටයුතු කරද්දී අවතැන් වූවන් පිළිබඳ නිරත්තර අවධානයෙන් සිටියා. විදේශයන්හි අවතැන් වන පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැනීමට තානාපති කාර්යාල දැනුවත් කර තිබුණා.
උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමට එම ප‍්‍රදේශවල ආයතන පිහිටුවා තිබුණා. අන්තර්ජාතික සහාය ලබාගෙන මේ කටයුතු සිදුකළා. නැවත පදිංචි කිරීමේ කටයුතු ද විධිමත් අයුරින් සිදු කළා. ජනතාව නැවත පදිංචි කිරීම සඳහා එම ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම ඇරැඹුවේ අපියි.
දේශපාලන සරණාගතයන් වශයෙන් මිලියනයක පමණ ජනතාවක් ලොවපුරා විවිධ රටවල සිටිනවා. මෙයින් ලක්ෂ දෙකක් පමණ සිටින්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තමිල්නාඩුවේ සිටින මේ ද්‍රවිඩ සරණාගතයන්ට සහන සැලසීමට අපටත් හැකි වුණා.
මුලතිව්, වවුනියා ප‍්‍රදේශවල අද විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. මේ දිනවල ඒ ප‍්‍රදේශයේ කාලගුණ තත්ත්වය නිසා ඔවුන් තවත් අසරණ වෙලා. ඔවුන්ට සහන සැලසීම රජයේ වගකීමක්. රටේ මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් විපක්ෂයේ සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් කතා කළා. අද මමත් කතා කරන්නේ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන්.
නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බද්යුද්දීන් මහතා - අපගේ අමාත්‍යංශය, අවතැන් වූවන් වෙනුවෙන් කටයුතු කරනවා. එමෙන්ම අමීර් අලි ඇමැතිවරයා යටතේ ආපදා සහන සේවාවන් ඉටු කෙරෙනවා.
මේ කි‍්‍රයාවලිය පැය 24 පුරාම සිදුකෙරෙනවා. ඒ වගේම මඩකළපුවේ පවුල් 35510 කට අයත් එක්ලක්ෂ විසිපන්දහසක් නැවත පදිංචි කළා. ති‍්‍රකුණාමලයේ පවුල් 25000 කට අයත් හැත්තෑපන්දහසකට අධික පිරිසක් පදිංචි කළා.
මන්නාරම ප‍්‍රදේශයේ අවතැන් වූ ජනතාවත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම අවතැන් වූවන් සිටින කඳවුරුවලට අවශ්‍ය මූලික පහසුකම් මෙන්ම ඒ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සෞඛ්‍ය , අධ්‍යාපනය ආදිය කෙරෙහිත් වැඩි අවධානයක් අපි යොමු කර තිබෙනවා.
විශේෂයෙන් ම උතුරෙන් පළවා හැරි මුස්ලිම් පවුල් 20000 ක් වෙනුවෙන් පුත්තලමේ වෙන ම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා.
(රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය.)
ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි හා ණය ලබාදීමත් නැවත පදිංචි ලේකම් කාර්යාලය හරහා සිදුවෙනවා. මෙම ලේකම් කාර්යාලය 2002 දී ආරම්භ වුණා. අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ මූලික පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම මේ ප‍්‍රජාව සංවර්ධනය සඳහාත් දායක කර ගන්නවා.
එමෙන්ම අවතැන් වූවන් වෙනුවෙන් පුත්තලමේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34 ක ණය මුදල් ලැබී තිබෙනවා.
අවතැන් වූ හාරලක්ෂ පහළොස් දහසකට අධික ජනතාවකට වියළි ආහාර පසුගිය දිනවල ලබාදුන්නා ඒ වෙනුවෙන් මිලියන 1300 ක් වෙන්කර තිබෙනවා.
මම සුළු නියෝජිතයෙක්. අපගේ මුස්ලිම් ජනතාව ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. යුද්ධයකින් අවසානයේදී ඉතිරිවන දෙයක් නෑ. නමුත් පවතින තත්ත්වය නිසා අකමැත්තෙන් වුවත් රජය යුද්ධයකට අවතීරණය වී සිටිනවා.
යුද්ධයෙන් අවතැන් වන හෝ මියයන අත්පා අහිමි වන සියලු දෙනා අපගේ රටවැසියන්. ඒ නිසා මේ කුරිරු යුද්ධයකට විරාමයක් තැබිය යුතුයි. ඒ නිසා මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් කරා අප සැවොම එක්විය යුතුයි. ඒ වෙනුවෙන් සුළු ජාතිකයෙක් ලෙස සියලු දෙනාගෙන් සහාය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
මේ ජනවාර්ගික ගැටලුව විසැඳීමට අප සැවොම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය විය යුතුයි. සියලු දෙනා බෙදී වෙන් වී නොසිට එක්විය යුතුයි. ඇතැම් අය විසින් සිංහල හා දෙමළ ජනතාව අතර සදාකාලික වෙරයක් ඇති කිරීමට උත්සාහ දරනවා. සමහරු මේවායින් වාසි ගන්නට උත්සාහ කරනවා.
ඉස්ලාමිය ජනතාව සෑම මොහොතක ම සාමය අපේක්ෂා කළ යුතුයි. ඉතිහාසයේ සිට ඒ බව දක්නට ලැබෙනවා. අපේ මුස්ලිම් මුතුන් මිත්තන් දෙමළ සිංහල කාන්තාවන් සමඟ පවා විවාහ වී සිටිනවා. නමුත් මෙවැනි ඉතිහාසයක් ගැන නොදන්නා ඇතැම් අය වෙනත් මත ප‍්‍රචලිත කිරීමට දරන උත්සාහයන් හෙළා දැකිය යුතුයි.
මේ රටේ ඉතිහාසය ගැන හරියාකාරවම කතා කරනවා නම් මේ රටේ අයිතිය හිමිවන්නේ මහියංගනයේ ආදිවාසීන්ට. එහෙම නැතිව මේ රටේ අයිතිය ඔබටවත් මටවත් නෙවෙයි හිමිවන්නේ. උතුරේ ජීවත් වූ මුස්ලිම් ප‍්‍රජාව පළවා හැරී වෙලාවේ ඔවුන්ට අත දුන්නේ මේ රටේ දකුණේ සිංහල ජනතාවයි. පුත්තලම හා කුරුණෑගල ප‍්‍රදේශවල මේ ජනකොටස් පදිංචි කරවීමට හැකිවුණා. විශේෂයෙන් ම එහෙම උදවු කළ සිංහල ප‍්‍රජාවට අපගේ ප‍්‍රණාමය හිමිවිය යුතුයි.
ඒ වගේම මේ රටේ ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබුණ වහාම ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් සමඟම ඔවුන් ජීවත් වූ බිම්වලම පදිංචි කරවීම අපගේ අරමුණයි.
මුස්ලිම් ජන සමාජය, මුස්ලිම් ප‍්‍රජාව ගැන වැරැදි මත ඇති කරන්නට හදන දේශපාලකයන් දෙස අපගේ ජනතාව බලන්නේ දැඩි පිළිකුලෙන්. අන්තර්ජාතිකව කි‍්‍රයාත්මක වන ත‍්‍රස්තවාදය අද ලෝකයටම ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදය අවසන් කළයුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා (දෙජාසං) - මෙරට නිදහස් අරගලයේදී දෙමළ, මුස්ලිම් ජනකොටස් එක්ව කටයුතු කළා. අතීතයේ සිට දෙමළ ජනතාව සතු ස්වයං තීරණ අයිතිය අහිමිකර තිබෙනවා. ඒ නිසයි මේ අර්බුදය මෙතෙක් දුර පැමිණියේ.
ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා - සම්බන්දන් මහතාගේ සමහර කරුණු ගැන මා එකඟ නැහැ. මෙය මානව දයාවෙන් කටයුතු කරන අමාත්‍යංශයක්. ජනවාර්ගික තත්ත්වයෙන් ඔබ්බට ගොස් මානව දයාවෙන් අමාත්‍යාංශය ප‍්‍රශස්ත සේවයක් ඉටුකළා.
විශේෂයෙන් නැඟෙනහිර මුදාගත් අවස්ථාවේ ඒ මිනිසුන් මුහුණ දී සිටි තත්ත්වය දැකගත්තා. අමාත්‍යංශය ඉතා සුහදශීලීව කටයුතු කරනවා. මානව හිතවාදීව උනන්දුවෙන් කි‍්‍රයා කරනවා. උතුරේ ගංවතුරෙන් පීඩා වූ ජනතාවට උපරිම සේවය කරනවා. යාපනය කලාපයේ පිරිසක් පීඩාවට පත්වූ අතර නවයක් මියගියා.
(එස්. කනකසබේ මහතා මුලසුනට පැමිණියේය.)
අමීර් අලි මහතා - ප‍්‍රථම අදියර වශයෙන් සහන සඳහා රුපියල් කෝටියක මුදලක් දිසාපතිට යැව්වා. නොවැම්බර් හා දෙසැම්බර් රටපුරා ආපදා සිදුවන මාස ලෙස සළකා මුදල් වෙන්කර තබනවා.
මුතුර්හි මුස්ලිම්වරුන්ගේ ඝාතන ගැන කවුරුත් හඬ නැගුවේ නැහැ. උතුරේ මුස්ලිම්වරුන් ලක්ෂයක් එක් රැයකදී පළවා හැරියා. නැඟෙනහිර මායිම් ගැන ගැටලුවේ දී දෙමළ හා මුස්ලිම් ජනතාව ගැන ප‍්‍රශ්න පිළිබඳ ව අවධානය යොමුවිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන ටී. එන්. ඒ. මන්තී‍්‍රවරු මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
නැඟෙනහිර නායකයන් දෙදෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගෙන තිබෙනවා. සම්බන්ධන් මහතා කිව්වා ආපදාවන්ට ලක්වූවන්ට අප වන්දි දෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ 146 දෙනෙකුට අප වන්දි ලබාදී තිබෙනවා.
අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් අප වන්දි දීලා තිබෙනවා. යාපනය නගරය අල්ලන්නටත් කලින් අපේ අමාත්‍යංශය අවශ්‍ය පහසුකම් සැලසුවා. අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් ආපදා සහන සේවා කටයුතු ක‍්‍රමවත් ව සිදුවෙනවා.
යුද්ධයකට වඩා සාමය දැකීම අසීරුයි. අද සන්නද්ධ නායකයන් රැසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසී තිබෙනවා. අනෙකුත් සන්නද්ධ පිරිස්වලටද අප කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නා ලෙසයි. සර්ව පාක්ෂික සමුළුවට පැමිණි ප‍්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමු. ආයුධ යොදවා ලබාගත හැකි දෙයක් නෑ.
උතුරෙන් පලවා හරින ලද පුද්ගලයන් ලබන වසර ඇතුළත එම දිස්ති‍්‍රක්කයේ පදිංචි කරනවා. අප සියලුදෙනා එක් ව මේ කටයුතු සිදුකරමු. ජනාධිපතිවරයා අපට විශාල ශක්තියක් ලබා දෙනවා.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් කුමාර මහතා (ජ.වි.පෙ.) - මිනිසා ගේ ජීවත්වීමේ අයිතියේ සිට ආහාර, නිවාස, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා මානව හිමිකම් වෙනවා. මේ මානව හිමිකම් සුරැකීම රජයේ වගකීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් ව ඇති මානව හිමිකම් සම්බන්ධ කරුණු පවා අද ආරක්ෂා වෙනවද?
ග‍්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර මහතා - ස්වභාවික ව සිදුවන ආපදා වැළැක්වීමට මොනව රජයකටවත් හැකියාවක් නැහැ. සුනාමියත් ඒ වගේමයි.
එවැනි ආපදා ඇති වූ හැම අවස්ථාවක දී ම රජයක් වශයෙන් මැදිහත් වෙනවා. සුනාමියෙන් ආපදාවට ලක් වූවන්ට තවම සහන සලසා නැතැයි අජිත් කුමාර මන්තී‍්‍රවරයා කිව්වා. එහෙත් එය අසත්‍යයක්. සුනාමියෙන් ආපදාවන්ට ලක්වූවන්ට රජය උපරිම වශයෙන් සහන සැලසුවා. විදේශ ආධාර ඇති ව මේ කටයුතු සිදුකළා.
මා නියෝජනය කරන රත්නපුර දිස්ති‍්‍රක්කයත් නිතර ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශයක්. නිතර නිතර ගංවතුර ගලා ජනතාව පීඩාවට ලක් වෙනවා. මේ සෑම අවස්ථාවකදී ම රජය වශයෙන් මැදිහත්ව ජනතාවට සහන සලසනවා. ගංවතුර නිසා කැඩී බිඳී ගිය පාලම් බෝක්කු පිළිසකර කිරීමටත් කි‍්‍රයා කරනවා.
එදා ජනතාව ගේ හැඳුනුම්පත් එකතු කළ, තරුණයන් ගේ බෙල්ල කපා කඳ සහ බෙල්ල තැන තැන එල්ලූ අයයි අද මානව හිමිකම් ගැන කතා කරන්නේ. මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීම ගැන අප සතුටු වෙනවා.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප.) - ස්වභාවික විපත්වලින් අවතැන් වූවන් දෙවැනි වන්නේ යුද්ධයෙන් අවතැන් වූවන්ට පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉඳිකිරීම වැනි සංවර්ධන කටයුතු පවා ස්වභාවික විපත්වලට හේතු වෙනවා.
සමූපකාර සංවර්ධන ඇමැති අබ්දුල් මජීඩ් මහතා - 2006 වසරේ දී මුතුර් හි ජනතාව අවතැන් වූ වෙලාවේදී කෙටි කාලයක් තුළ නැවත පදිංචි කිරීමට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පියවර ගත්තා. අමීර් අලි සහ රිෂාඩ් බද්දියුදින් යන ඇමැතිවරුන් ගේ සේවාව විධිමත් ලෙස සිදුකරනවා.
යුද්ධය හේතුවෙන් අවතැන් වන ජනතාවට අවශ්‍ය සහන ලබාදී නැවත පදිංචි කිරීම වෙනුවෙන් අදාළ අමාත්‍යංශය පියවර ගන්නවා. ඒ වගේම අවතැන්වන ජනතාවට අවශ්‍ය සහනාධාර ලබාදීමත් විධිමත් ව සිදුකරනවා.
1990 දී පමණ අවතැන්වූ කින්නියා ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවුල් දහසකට අධික ප‍්‍රමාණයක් ඉන්නවා. මේ ජනතාවත් ඉක්මනින් පදිංචි කරවීමට පියවර ගත්තා. මේ අයට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීමට පියවර ගන්න.
රජයේ සේවකයින් සඳහා වූ වන්දි ලබාදීමත් කි‍්‍රයාත්මක වූයේ මෙම අමාත්‍යාංශය යටතේ. එහෙත් තවමත් වන්දි ලබානොගත් අය ඉන්නවා.
ඒ අයට වන්දි ලබාදීමටත් පියවර ගන්න. ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයේ බොහෝ පාරවල්, පාලම් පසුගිය කාලයේ දී වසා තිබුණා. එහෙත් අද වෙනකොට වසා දමා තිබූ මාර්ග සහ පාලම් විවෘත කර තිබෙනවා. සමහර මාර්ග කාපට් කරලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණාට පසුව නැඟෙනහිර ආශ‍්‍රිත ව විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා.
පත්කළ මන්තී‍්‍ර රවුෆ් හකීම් මහතා (මු.කො.) - ආපදා කළමනාකරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය අතිශය වැදගත්. එහෙත් මේ අමාත්‍යාංශ දෙක සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට සේවාවක් ලබා ගැනීමට යන සාමාන්‍ය ජනතාවට යම් යම් හිරිහැර සිදුවෙන බව වාර්තා වෙනවා.
රිෂාඩ් බදියුදීන් මහතා - එය අමුලීක බොරුවක්. මේ සභාව තුළ අසත්‍ය ප‍්‍රකාශ කරනවා.
හකීම් මහතා - මේ ඇමැතිවරයා තමන් ගේ හිතවතුන්ට වැඩි සැලකීමක් දක්වනවා. මගේ විවේචනවලට පසු ව උත්තර දෙන්න. නැවත පදිංචි කිරීම්වල විධිමත් බවක් තිබිය යුතුයි. මේ ඇමැතිවරුන් දෙදෙනා කඳවුරු ගානේ ඇවිදිනවා. ඇවිදින්නේ සරණාගතයෝ ගැන බලන්න නෙවෙයි.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.ස.) - කොටි සංවිධානය තම ගැලවුම්කරුවා බවට පත්කර ගෙන ඉන්නේ උතුරේ අහිංසක ජනතාවයි. ඒ ජනතාවට සාමය උදාකරලීම සඳහායි අප ගේ හමුදාවන් මෙහෙයුම් කරන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටට සාමය උදාකරලීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනවා.
අද වෙනකොට කරුණා අම්මාන් වැනි අය පවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. විශේෂයෙන් ම අප කොටි සංවිධානයට කියනවා තමන් ගේ ගැලවීම වෙනුවෙන් සිවිල් ජනතාව පවුරක් කරගන්න එපා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා (ජා.නි.පෙ.) - රත්නපුර, කළුතර, කොළඹ, ගම්පහ දිසාවන්ට ගංවතුර එකවගේ බලපෑවා. ඊට හේතු ගැන මා වැඩිදුර කතා කරන්නේ නැහැ. සමහර හේතු ස්වභාවිකයි. සමහර ඒවා මිනිසුන් ඇති කළ දේ නිසා සිදුවෙනවා.
පහත් බිම් ගොඩකිරීම හා පරණ ඇළවේලී ශුද්ධ නොකිරීමෙන් ජලය බැසයාමට යොදා ගන්න බැහැ. අද පෙරට වඩා ප‍්‍රබල පිළියමක් මේ සඳහා කළ යුතුයි. අප පාසල් යන කාලේ මේ අයුරින් පහත් බිම් ගොඩ කළේ නැහැ.
දිගුකාලීන සංවර්ධන යෝජනා ක‍්‍රම නිසා මිනිසුන්ට යම් ප‍්‍රතිලාභ ලැබී ඇති බව ඇත්ත. එහෙත් එයින් ලැබෙන සමස්ත හානිය සංවර්ධනයෙන් ලැබූ ලාභයට වඩා වැඩිවිය හැකියි.
වැඩකට නැති ගුවන් සමාගම් හදන්න කෝටි හය දහස් ගණනක් වැය කරනවාට වඩා වැසි වතුරින් සිදුවන හානිය වළක්වන්න මේ අමාත්‍යාංශයට මුදල් දුන්නානම් ප‍්‍රයෝජනයි. පානදුර මෝදරවිල ගොඩ කිරීමෙන් සිදුවන හානිය පවතින අතර ඒ අවට තවත් පහත් බිම් ගොඩ කැරෙනවා.
අතපසු කිරීම්, උවමනාවෙන් මැදිහත් නොවීම හා හිතවත්කම් නිසා ඕනෑ දෙයකට ඉඩඇරීමෙන් මේ තත්ත්වය ඇති වෙනවා. මානව හිමිකම් කියන්නේ ඉතා පුළුල් වූ විෂයයක්.
මේ රටේ පාලකයන් විටින් විට අඩු වැඩි වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. 1977 එජාප ආණ්ඩුව ඇරඹු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වැඩපිළිවෙළේ උච්චතම අවස්ථාව උදා වූයේ 1988 – 89 කාලයේදී බව අපට මතකයි.
නැවත පදිංචි කරවීමේ ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා - පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කිසිදු අක‍්‍රමිකතාවක් සිදුවී නැහැ. රාවුෆ් හකීම් මහතා සභාව නොමග යැවීම සඳහා වැරැදි කරුණු මේ සභාවට ඉදිරිපත් කළා.
බලපත‍්‍ර නැති අයට නිවාස ලබාදෙන්න බෑ. විධිමත් ආකාරයට මේ කටයුතු සිදුකරන්න බෑ. අපේ පක්ෂයේ අයට විතරක් නිවාස ලබාදෙන බවට බොරු මතයක් ගොඩ නැඟීමට උත්සාහ කරනවා. රාවුෆ් හකීම් මහතා ඇමැති තනතුරේ සිටියදී එක නිවාසයක්වත් ඉදි කෙළේ නෑ. අප ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඔහු දැරූ උත්සාහය මම දැඩි සේ හෙළා දකිනවා.
පත්කළ මන්ති‍්‍රනී අංජාන් උම්මා මහත්මිය (ජා.නි.පෙ.) - අපේ රටේ වසර ගණනාවක් තිස්සේ පවතින යුද්ධයෙන් අවතැන් වූවන් විවිධ ප‍්‍රදේශවල ජීවත් වෙනවා. මේ අවතැන් වූ ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කිරීම ගැන අප සතුටු වෙනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා (එ.ජා.ප.) - මහින්ද සමරසිංහ මහතා අපේ පක්ෂයේ සිටියදී ආපදා කළමනාකරණය සහ මානව හිමිකම් පිළිබඳ කමිටුවක් සකස් කර කටයුතු කළා. එහෙත් පසුව අපේ පක්ෂය ආපදාවට ලක් කරමින් ඔහු ආණ්ඩුවට ගියා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
ජයවික‍්‍රම පෙරේරා මහතා - ආපදාවන්ට ලක්වන අයට වන්දි ගෙවමින් සිටියාට වැඩක් නෑ. අනාගතයේදී මුහුණපෑමට සිදුවන ආපදා වැළැක්වීමට පියවර ගත යුතුයි.
කාරක සභා නියෝජ්‍ය සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා - පසුගිය හැට වසරක කාලය තුළ දෙමළ ජනතාව මත විවිධ ප‍්‍රශ්න පටවා තිබුණා. ඒවායින් නිදහස ලබා ගැනීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණා. ප‍්‍රශ්නයේ ඉතිහාසයට වඩා අද තත්ත්වය බැලිය යුතුයි.
ඉන්දීය සම්භවයක් ඇති 28000 ක් පමණ සිටිනවා. ඔවුන්ට මෙරට හෝ ඉන්දියාවේ පුරවැසිකම නැහැ. එදා ලංකාවට පැමිණි ඉන්දීය හමුදාව මෙරට දෙමළ ජාතික කාන්තාවන්ට පවා අතවර කළා.
දෙමළ ජනයා ඝාතනය කළා. අද උද්ඝෝෂණ කරන තමිල්නාඩුවේ නායකයන් එදා ඒවා ගැන කතා කළේ නැහැ. නැඟෙනහිර මුදාගෙන අවතැන් වූවන් නැවත පදිංචි කරවීම අගය කළ යුතුයි.
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා - පරිසර කොමිෂන් සභා ගැන ආර්. සම්බන්ධන් මහතා කීවා. භගවතී මහතාගේ ප‍්‍රධානත්වයෙන් ස්වාධීන විද්වත් කණ්ඩායමක් පැමිණියා. යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද අගෝස්තු 25 වැනිදා පැමිණියා.
එල්.ටී.ටී.ඊ.යට හිස නමන විදේශ නියෝජිතයන්ට හිස නමන්න අප සූදානම් නැහැ. යුරෝපා සංගමයේ වාර්තාව ගැන අපේ මහ කොමසාරිස් එවන ලද වාර්තාව අප සභාගත කරනවා.
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ වාර්තාව, ඉතා ඒක පාර්ශවිය ලෙස එක් පාර්ශ්වයකට බැඳුණු වාර්තාවක්.
එම වාර්තාව ප‍්‍රකාශයට පත්වූ පසු අපේ අමාත්‍යංශය ප‍්‍රතිචාර දැක්වුවා. වන්නි ප‍්‍රදේශයේ ලක්ෂ තුනක් ඇති බව ඔවුන් කීවත් එම ප‍්‍රදේශයේම එතරම් පිරිසක් නැහැ.
ඔක්තෝබරයේ දී වන්නි ප‍්‍රදේශයට ආහාර තොග හයක් යවා තිබෙනවා. ට‍්‍රක් රථ 214 කින් ආහාර තොග යවා තිබෙනවා. රජය දිස්ති‍්‍රක් ලේකම්වරුන් මගින් යවන ලද ආහාර ගැන ඔවුන්ගේ වාර්තාවේ කිසිවක් සඳහන් කර නැහැ.
වන්නි ප‍්‍රදේශයට වෙද්‍ය හා අධ්‍යාපන පහසුකම් රජය සපයන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් දැක වාර්තාකර තිබෙනවා. සර්ප විෂ සඳහා අවශ්‍ය බෙහෙත් යවා තිබෙනවා. ගස් යට මිනිසුන් ජීවත් නොවන බව මන්නාරම දිසාපති පැහැදිලිව කීවා.
සත්‍යය විකෘති කර තමන්ට අවශ්‍ය පරිදි පින්තූර හදාගන්න එල්.ටී.ටී.ඊ.යට පුළුවන්. ජාත්‍යනතර මානව හිමිකම් කොමිෂමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කළ යුතු බව අප හිතන්නේ නැහැ.
සාක්කිකරුවන් ආරක්ෂා කර ගැනීම පනත මගේ පනතක් නොවේ. එය අධිකරණ අමාත්‍යාංශයට අයිතියි. ඒ පනත ඉදිරිපත් කළේ විපක්ෂයේ අවශ්‍යතාවටයි. ඒ ගැන පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන්න පුළුවන්.
වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (2) පෙරවරු 9.30 ට යළි රැස් වේ.
හෙජින් ලිපි ලේඛන ආරක්ෂා කරනවා
කතානායක කියයි
ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුමට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාවට සාක්කි වශයෙන් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව කථානායක වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
කථානායකවරයා එසේ ප‍්‍රකාශ කෙළේ හෙජින් ගිවිසුමට අදාළ එම ලිපි ලේඛන විනාශ කිරීමේ තැතක් පවතින හෙයින් ඒවා ආරක්ෂා කරන ලෙස වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමිනි.
විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශය ගැන අදහස් දැක්වූ සභානායක සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නම් ඉදිරිපත් කරන ක‍්‍රමයක් ඇති බවත් හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු දෙකක් ගොනුකර ඇති බවත් වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් යැයි කියමින් විපක්ෂනායකවරයා කරන ප‍්‍රකාශයට විරෝධය දක්වන බවත් පැවැසීය.
මූල්‍ය පාලනය පිළිබඳව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට බලයක් ඇති බව ඇත්තක් බවත් ලිපි ලේඛන විනාශ කිරීමේ ප‍්‍රයත්නයක් ඇත්නම් ඒවා ආරක්ෂා කරන බවත් කථානායකවරයා ප‍්‍රකාශ කෙළේ ය.
දෙමළ ජනතාව ගේ එකම නියෝජිතයා ලෙස එල්.ටී.ටී.ඊ.යට පැවැතිය නොහැකියි
- විනයාගමූර්ති මුරලිදරන්
දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයා වශයෙන් එල්. ටී. ටී. ඊයට පැවතිය නොහැකි බව ටී. එම්. වී. පී. පක්‍ෂයේ මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් මහතා (කරුනා අම්මාන්) පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්. ටී. ටී. ඊයට යුද්ධය වෙනුවට විකල්පයක් පෙන්වාදී ඇතැයි ද ආයුධ බිම තබා ආවොත් සාකච්ඡාවට සූදානම් බවට ජනාධිපතිවරයා පැහැදිලි ව ප‍්‍රකාශ කොට ඇති බව ද පැවසූ ඒ මහතා එල්. ටී. ටී. ඊය මෙයින් ප‍්‍රයෝජන ගත යුතු බව ද කීවේ ය.
ආපදා කළමනාකරණ, මානව හිමිකම්, නැවත පදිංචිකිරීමේ සහ ආපදා සහනසේවා අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ ය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේද කීවේ ය.
වසර ගණනාවක් තිස්සේ අපේ ගම් ප‍්‍රදේශවල අප සතුටින් ජීවත් වුණා. ඉන්පසු උතුරු පළාතෙන් ආරම්භ වූ ආරවුල නැඟෙනහිර පළාතටත් ව්‍යාප්ත වුණා.
ඉන්දීය අගමැති රජිව් ගාන්ධි පවා එල්. ටී. ටී. ඊය ඝාතනය කළා. ඉන් පසු ව තමයි මුළු ලොව ම එල්. ටී. ටී. ඊය ත‍්‍රස්තවාදී සංවිධායක් ලෙස ප‍්‍රකාශ කෙළේ.
දළදා මාලිගාවට පහරදීම වැනි දේවල් නිසා එල්. ටී. ටී. ඊය ලෝකයේ තව තවත් පිරිහීමට ලක්වුණා.
සාම සාකච්ඡා වසර 5ක් තිස්සේ පවත්වාගෙන යමින් ඒ කාලය තුළ ආයුධ රැස් කළ යුතු බවයි ප‍්‍රභාකරන් ගේ අදහස වුණේ. එහෙත් මේ සන්ධීය ආණ්ඩු යෝජනාවට එකඟ වන ලෙස අප ඔහුට කිව්වා. ඔහු ඊට එකඟ වුණේ නෑ.
මේ නිසා තමයි අප එල්. ටී. ටී. ඊ. සංවිධානය අතහැර යෑමට තීරණය කෙළේ. මේ වන විට සංවිධානයේ 16,000ක් පමණ යුද්ධයෙන් මිය ගොස් තිබුණා.
එදා ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනය කළ ප‍්‍රභාකරන් බේරා ගැනීමට තමිල්නාඩුව අද වෙහෙසෙනවා. ඔවුන් මෙය කවදා හරි තේරුම් ගනීවි.
මහින්ද රාජපක්‍ෂ රජය දෙමළ ජනතාව ගෙ ප‍්‍රශ්න තේරුම් ගෙන විසැඳීමට උත්සාහ කරනවා.
අද නැඟෙනහිර පළාත මුදවාගෙන එම පළාත සංවර්ධනය කෙරී තිබෙනවා. වසර 25ක් තිස්සේ යුද්ධයෙන් විනාශ වූ ප‍්‍රදේශයක් එකවර සංවර්ධනය කෙරීම ඉතා අසීරුයි. මෙය වසරක් හෝ දෙකක් තුළ සම්පූර්ණ කිරීමට බැහැ. මේ ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 41,000ක් පමණ නැවත පදිංචි කර තිබෙනවා.
සාමාන්‍ය ජනතාව පලිහක් කරගෙන තමයි එල්. ටී. ටී. ඊය සටන් කරන්නේ. මේ ප‍්‍රදේශ සංවර්ධනය කළ යුත්තේ එම ජනතාව මුදා ගැනීමෙන් පසුවයි.
නැඟෙනහිර ප‍්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම මාවිල්ආරු සොරොව්ව බේරා ගැනීමේ මෙහෙයුමෙන් ඇරැඹුවා. එහි දී එල්. ටී. ටී. ඊ. ය පරාජිත ව පසුබැස්සා.
අද එල්. ටී. ටී. ඊය යුද්ධයෙන් පරාජය වෙමින් සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්. ටී. ටී. ඊයට යුද්ධය වෙනුවට විකල්පයක් පෙන්වා දී තිබෙනවා.
දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයා ලෙස එල්. ටී. ටී. ඊයට පැවැතිය නොහැකියි. එල්. ටී. ටී. ඊය මේ බව තේරුම් ගත යුතුයි.
කොටි නායකයා ගේ දරුවන් මේ යුද්ධයේ නෑ. ඔවුන් විදේශ රටවලට යවා දුප්පත් පවුල්වල දරුවන් තමයි යුද්ධයට යොදවා තිබෙන්නේ.
අපේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මේ ආණ්ඩුවේ සියලු ඇමැතිවරුන් මැදිහත් වී සිටිනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, ධීවර ආදී සියලු අංශ දියුණු කිරීමට අදාළ ඇමැතිවරුන් වැඩ කටයුතු අරඹා තිබෙනවා.

No comments: