Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, December 4, 2008

අපේ සරසවියක සෙනසුරු අපලයක්

විශ්වවිද්‍යාලයක් යනු ස්වාධීන චින්තනයේ සහ ස්වාධීන අදහස් ප‍්‍රකාශ කිරීමේ තෝතැන්නකි. පසුගිය දශක කිහිපයේ දී ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය, භෞතික සම්පත් වන භූමිය, ගොඩනැගිලි, විද්‍යාගාර, රසායනාගාර, යාන වාහන, පොත්පත් සහ අධ්‍යයන උපකරණ ආදියෙන් වර්ධනය වී ඇත. එමෙන් ම මානව සම්පත් වන කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව සහ ශිෂ්‍ය සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබේ.
මේ වර්ධනය හුදෙක් ශිෂ්‍ය සංගම්වල වෘත්තීය සංගම්වල උද්ඝෝසණ, වර්ජන, ගර්ජන, පිකටිං කිරීම නිසා හෝ දේශපාලනඥයන්ගේ දූරදර්ශී ප‍්‍රතිපත්ති නිසා හෝ සිදුවූවක් නොවේ. පොදු මහජනතාවගේ සහ බදු ගෙවන්නන් නිසා සුබසාධන පිරිවැයේ වර්ධනය පාදක කරගෙන ඇතිවූවකි.
විශ්වවිද්‍යාලවල සැකැස්ම ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යයන්, පරිපාලන, අනධ්‍යයන සහ අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් සමන්විත ය. මෙවැනි අධ්‍යාපන ආයතනයක ප‍්‍රධාන අරමුණ ඉගැන්වීම සහ ඉගෙන ගැනීම නිසා, ඉගැන්වීමට ආචාර්ය මණ්ඩලය ද, ඉගෙන ගැනීමට ශිෂ්‍යයෝ ද සිටිති.
මේ උභයවිධ කි‍්‍රයා විධිමත්ව කිරීමට අනෙකුත් කාර්ය මණ්ඩල අවශ්‍ය ය. මේ නිසා එක් කොටසකට වඩා අනෙක් කොටස වැදගත් යයි සිතනවා නම්, ඔවුන් අඥානයන් ය. විශ්වවිද්‍යාලයක් සුමඟව පවත්වාගෙන යාමට මෙකී සියලු පාර්ශ්වයන්ගෙන් වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටුවිය යුතු ය.
එහෙත් එවැනි මඟකට අවතීර්ණ නොවීම හේතුවෙන් තත්ත්වය ශෝචනීය අතට හැරී ඇත. තමන් සෙසු පාර්ශ්වයන්ට වඩා සුවිශේෂ යැයි සිතීමේ උපනතියක් ගොඩනැඟී තිබීම නිසා, කාර්ය සාධනය සුමඟ මාවතෙන් පිට පැන, රළු දුර්ග මඟකට ප‍්‍රවිශ්ට වී තිබේ.
එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ පොදු පරමාර්ථ සඳහා යා යුතු ප‍්‍රජාවක් පටු, පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීමෙන්, තමන්ගේ හාම්පුතුන් වන පොදු ජනයාගේ දෝෂ දර්ශනයට ලක්වීම ය. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම අතිශයින් ම ස්වභාවික ය.
මෙවන් තත්ත්වයකට මඟ සකසන්නේ බාහිර පාර්ශ්වයන් නොවේ. විශ්වවිද්‍යාල පද්ධතිය මගින් ම ජනිත කරන ලද්දෝ ම ය. මෙවන් තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයෙහි සෑම වගකිවයුතු තනතුරක් දරන්නකුට වගකීමට සිදුවේ.
තනතුරුවලට පත්වන ඇතැම් පුද්ගලයන්, වැඩිකල් නොගොස් යුතුකම්, වගකීම් සහ ආචාර ධර්ම අමතක කර, එක්කෝ තම තමන්ගේ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරති. නැතිනම් තමන් බැල මෙහෙවරකම් කරන ඉහළ බලධාරියකුට හෝ කණ්ඩායමක පොදු න්‍යාය පත‍්‍රයකට අනුව කි‍්‍රයා කරති.
එක් විශ්වවිද්‍යාලයක කිසියම් අංශයක අංශ ප‍්‍රධාන වූ එක්තරා ජ්‍යෙෂෂ්ඨ කථිකාචාර්යවරයකුගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයේ තිබුණේ හැකි ඉක්මනින් මහාචාර්ය ධූරයක් ලබාගැනීම ය.
එවැනි ධූරයක් ලබාගැනීමේ දී ඇගැයීමට ලක්කෙරෙන විවිධ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් තමන්ගේ දායකත්වය පෙන්නුම් කෙරෙන්නා වූ ලිඛිත සාක්ෂි සහිත ස්වයං ඇගැයීමක් ඉදිරිපත් කළ යුතු ය. එම ස්වයං ඇගැයීම සහ ලිඛිත සාක්ෂි සනාතන සභාව මගින් පත්කරනු ලබන පරීක්‍ෂකයන් දෙදෙනෙකුට යවනු ලැබේ.
සරසවි බිහිරි අලි
පරීක්‍ෂකයන්ගේ වාර්තා ලැබුණු පසු සනාතන සභාව මගින් ලබා ඇති ලකුණු මට්ටම් සලකා මහාචාර්ය හෝ සහාය මහාචාර්ය ධූර පිරිනැමීම හෝ ප‍්‍රමාණවත් ලකුණු ප‍්‍රමාණයක් නැත්නම් අයදුම්පත ප‍්‍රතික්‍ෂේප කිරීම සිදුකරයි.
ඉහත කී අංශ ප‍්‍රධානියා ආරම්භයේ පටන් ම කෙළේ අංශයේ ඇති සම්පත් සියල්ල තම ලිඛිත සාක්ෂි නිර්මාණය කිරීම සඳහා යෙදවීම ය. ඒ සඳහා ආධුනික සහ තාවකාලික ආචාර්යවරුන් ද, තාක්ෂණික නිලධාරියා ද බලහත්කාරයෙන් යොදවා ගත්තේ ය.
ඔහු පසු කලෙක පීඨාධිපතිවරයා වශයෙන් තේරී, එම තනතුරේ වැඩ භාරගත් පසු හෙතෙම ප‍්‍රථමයෙන් ම කෙළේ තමන් කළින් දැරූ අංශ ප‍්‍රධාන ධූරයට, තමන්ට හිතවත් ආචාර්යවරියක් පත්කර ගැනීම ය. මේ නිසා ඇයට සිදුවූයේ ඔහුගේ හිතැඟි අනුව කටයුතු කිරීමටය.
ඒ නිසා වගකීම්, යුතුකම් සහ ආචාරධර්ම සියල්ල අමතක කරන්නට ඇයට සිදුවිය. වැඩිකල් යන්නට මත්තෙන් පීඨාධිපතිවරයා මහාචාර්ය ධූරයට පත් විය. මෙයින් දිරිගැන්වුණු අංශ ප‍්‍රධානතුමිය ද තම පූර්වගාමියාගේ අඩි පාරේ යමින්, ඉක්මනින් ම මහාචාර්ය ධූරයක් ලබා ගත්තාය.
කලක් ගතවන විට ප‍්‍රධානතුමියගේ කටයුතු විනිවිදභාවයෙන් තොර විය. ඒ හේතුවෙන් අධ්‍යයන අංශයේ පොදු පැවැත්ම ක‍්‍රමයෙන් අනතුරට පත්විණි. මෙයින් අසහනයට පත් ඇතැම් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් අධ්‍යයන අංශය විධිමත් තත්ත්වයටත් පත්කර ගැනීමේ අරමුණින් යුතුව උපකුලපතිවරයා වෙත ගොස් කියා සිටියේ අංශ ප‍්‍රධානතුමිය අත්තනෝමතිකව කටයුතු කරන බවත්, වැදගත් තීරණ ගැනීමේදී අවම වශයෙන් සෙසු ආචාර්යවරුන් දැනුවත් කිරීමටත් අධ්‍යයන අංශ ආචාර්යවරුන්ගේ රැස්වීමක්වත් නොකැඳවන බවත් ය. උපකුලපතිවරයා ගත් කටටම කීවේ අධ්‍යයන අංශ රැස්වීම් පිළිබඳ පනතේ සඳහන් නොවන බැවින් තමන්ට කරන්නට දෙයක් නැති බව ය.
ආචාර්යවරුන් කියා සිටියේ පනතේ සඳහන් නොවුණත් මෙතෙක් විශ්වවිද්‍යාල සම්ප‍්‍රදාය වී තිබුණේ බොහෝ වැදගත් තීරණ ගැනීමේදී සෙසු ආචාර්යවරු දැනුවත් කිරීම සඳහා අංශ රැස්වීම් කැඳවූවා පමණක් නොව, ආචාර්යවරුන්ගේ පැමිණීමේ වාර්තා ද රැස්වීම ආරම්භයේදී ඉදිරිපත් කළ බව දැන්වීය. එහෙත් එම කරුණු දැක්වීම බීරි අලියාට වීනා වාදනයක් කරන්නා වැනි විය.
වැටත් නියරත් ගොයම් කන බව ආචාර්යවරුන්ට තේරුණේ එවිට ය. එම සිද්ධියෙන් පසු අංශයේ අංශ ප‍්‍රධානතුමිය තවත් සැඩපරුෂ වූවා ය. “අපි කරන්නේ අපට ඕනෑ දේ” යැයි ජ්‍යෙෂ්ඨවරියකට තර්ජනය කරමින් පැවැසීමට තරම් ඈ එඩිතර වූවා ය. ඇතැම් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් එතෙක් යම් යම් ප‍්‍රශ්න පත‍්‍ර සම්බන්ධයෙන් කරන ලද අධීක්‍ෂණ තමන්ගේ හිතවතුන්ට දීමට උදුරා ගත්තීය. අංශයේ යම් යම් ප‍්‍රශ්න පත‍්‍ර සම්බන්ධයෙන් කරන ලද අධීක්‍ෂණ කටයුතුවලින් අඩක් පමණ පීඨාධිපතිවරයාට පූජා කර, සැලකිය යුතු ප‍්‍රමාණයක් තමන් වෙත රඳවා ගත්තීය.
ශාස්ත‍්‍රීය හිංසන
අධ්‍යයන අංශයේ සියලු ම කටයුතු අංශ ප‍්‍රධාන සහ පීඨාධිපති ඇතුළු ජුන්ටාවකට අයත් විය. ජුන්ටාවේ ඔත්තුකරුවන් වශයෙන් ආධුනික කථිකාචාර්යවරුන් සහ තාවකාලික කථිකාචාර්යවරුන් තෝරාගත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් පසුපස යවන්නට පටන් ගති.
ආධුනික කථිකාචාර්යවරුන් සහ තාවකාලික කථිකාචාර්යවරුන් එම සදාචාර විරෝධී කි‍්‍රයාවේ යෙදෙන්නට වූයේ ස්ව කැමැත්තෙන් නොව, තම තනතුරු බේරාගැනීමේ වෙනත් මඟක් නොමැති වූ නිසා ය. ජුන්ටාවේ නියෝග නොපිරිහෙලා ඉටු නොකිරීමේ වරදට එක් තාවකාලික කථිකාචාර්යවරියකගේ සේවය වර්ෂය මැදදීම නවත්වා දමා, ඒ වෙනුවට තමන්ට අවනත අයෙක් එම තනතුරට පත්කර ගත්තේ ය.
එකී අසාධාරණයට ලක්වූ ආචාර්යවරිය තමන්ට සිදුවූ අවනඩුව උපකුලපතිට කියා සිටියත්, එය බීරි අලියාට කළ වීණා වාදනයක් ම වූයේ ය. ඇය තම අවනඩුව ජනාධිපති ලේකම් සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය වෙත ගෙන ගියත්, ජුන්ටාවේ බල බිඳ නොහැකිව ඇය අසරණව සිටින්නීය.
එම අධ්‍යයන අංශය මගින් පවත්වන ලද පාඨමාලාවන්ගෙන් උපරිම ලකුණු ලබාගත් සිසුන්ට අවම වශයෙන් අවුරුද්දක තාවකාලික කථිකාචාර්ය තනතුරක් දීමේ සම්ප‍්‍රදායක් ගොඩනඟා තිබුණේ සිසුන් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් වඩ වඩාත් උන්නදු කරවනු සඳහා ය.
එහෙත් එම සම්ප‍්‍රදාය අද වැළලී ඇත. 2006 වර්ෂයේ දේශපාලන විද්‍යා විශේෂවේදී පාඨමාලාවෙන් ඉහළ ම ලකුණු ලබාගත් සිසුවියට එම වරප‍්‍රසාදය අහිමි කර ඇත. ඇය එම වර්ෂයේදී පවත්වන ලද එකී පාඨමාලාවෙන් ඉහළ ම ලකුණු ලබාගත් බවට අංශ ප‍්‍රධානතුමිය නිකුත් කරන ලද සහතිකය ද අතැතිව කනස්සල්ලෙන් සිටින්නී ය.
කාන්තාවට එරෙහිව කාන්තාවක් කි‍්‍රයාත්මක කර ඇති ශාස්තී‍්‍රය හිංසනය පිළිබඳ කවුරු නැති වුණත්, කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිතුමියවත් පියවරක් ගත යුතුව ඇත.
එකී අධ්‍යයන අංශයේ ආධුනික කථිකාචාර්ය තනතුරුවලට පත්වීම් දීමේදී යම් යම් ක‍්‍රම විරෝධතා වූ බවට යම් යම් ආරංචි පැතිර ඇති බැවින්, ඒ පිළිබඳ සොයා බලන ලෙස එම අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් කීප දෙනෙක් ජනාධිපති ලේකම්, උසස් අධ්‍යාපන අමාත්‍ය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යවා ඇත.
එහෙත් ඒ පිළිබඳ සොයා බැලීම පසෙක තබා, අවම වශයෙන් එවැනි ලිපියක් ලැබුණ බවවත් දන්වා එවීමට තරම් ඔවුන් ද ආචාරශීලී වී නොමැත.
දැනට ආරංචි වී ඇති පරිද්දෙන් අදාළ අයදුම්කරුවන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කර ඇත. සම්මුඛ පරීක්‍ෂණය තබා මසක්වත් ගතවන්නට මත්තෙන් ස්ථිර තනතුරුවලට පත්වීම් ලබාදීම මවිතයට කරුණකි.
එයට හේතුව සම්මුඛ පරීක්‍ෂණවල තීරණ පාලක සභාවෙන් අනුමැතිය ලබා එම වාර්තා ඊළඟ පාලක සභා වාරයේදී තහවුරු කරන තෙක් පත්වීම් ලිපි නිකුත් කිරීම පවත්නා රෙගුලාසි යටතේ කළ නොහැක්කක් වීම ය.
මේ රෙගුලාසි පසෙකලා පත්වීම් ලබා දීමට පාලක සභාව ආවරණ අනුමැතියක් දී ඇත්නම්, එය ජුන්ටාව මගින් උප කුලපතිවරයා සහ පාලක සභාව කඩේ යැවීමකි. එවැනි පාලක සභාවක් තබාගැනීම පිළිබඳ යළි සලකා බැලිය යුතුව ඇත.
මෙලෙස ස්ථිර සහ තාවකාලික පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් එම පීඨක කූප‍්‍රසිද්ධ ය. පසුගිය දිනෙක එක් අධ්‍යයන අංශයකට ආධුනික සහකාර කථිකාචාර්යවරුන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්‍ෂණයකදී පීඨාධිපතිවරයාගේ හිතවතියකට අනුග‍්‍රහ දැක්වීමට ඔහු සෙසු සුදුස්සන් කපාහැරීමට ගත් උත්සාහයට එරෙහි වූ අධ්‍යයන අංශ ප‍්‍රධානියා සමඟ දීර්ඝ වේලාවක් බහින්බස් වී ඇත.
ඇඳීම් සහ කැපීම්
ගැටලුව සමථයකට පත්වූයේ පීඨාධිපතිවරයාගේ හිතවතිය ද තවත් අයදුම්කාරියන් දෙදෙනෙක් ද ඇතුළුව අයදුම්කාරියන් තිදෙනෙකුට තනතුරු ප‍්‍රදානය කිරීමේ එකඟතාව ඇතිව ය. අධ්‍යයන අංශ ප‍්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු තුනක් පිරවීමට හැකියාව ඇති බව දැනගත්තේ එවිට ය.
එක් දෙපාර්තමේන්තුවකට තිබෙන තනතුරු ගණන ක්ෂණිකව වැඩි තම අභිමථාර්ථය සාධනය කර ගැනීමට තරම් අදාළ පීඨාධිපතිවරයා ශූරයෙකි. පීඨයට අදාළ සෑම අධ්‍යයන අංශයක ම තම ආධිපත්‍ය පැතිරවීමට හේ බලවත් වී ඇත්තේ අදාළ අධ්‍යයන අංශ ප‍්‍රධානීන් දාම් පුවරුවක ඉත්තන් මෙන් ඇදීමට හෝ කැපීමට තරම් ඔහු බලවතෙකු වී ඇති හෙයිනි.
තමාට හිතවත් ආධුනික ආචාර්ය මණ්ඩලයක් තබාගැනීමේ අභිලාෂය ඔහු කෙරෙහි ඇත්තේ ද තම අභිමතාර්ථ සාධනය උදෙසා ම ය. එයට බලපාන වැරැදි පූර්වාදර්ශයක් ද ඇත. එනම් සියලු ම ආධුනික කථිකාචාර්යවරුන්ට පීඨ සාමාජිකත්වය පිරිනමා තිබීමයි.
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම එක්තරා වැටුප් ප‍්‍රතිශෝධනයකදී තනතුරු නාම ප‍්‍රතිශෝධනයක් කර ඇත. එමඟින් එතෙක් කථිකාචාර්ය වශයෙන් පැවැති තනතුර අහෝසි කර, එම තනතුර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙවැනි ශ්‍රේණිය නමින් හැඳින්වීමට තීරණය කර ඇත.
එසේ ම එතෙක් පැවැති ආධුනික සහකාර කථිකාචාර්ය තනතුර වර්ෂයක ඇවෑමෙන් ආධුනික කථිකාචාර්ය තනතුර බවට පත්කරමින් ප‍්‍රතිශෝධනය කර ඇත. විශ්වවිද්‍යාල පන්තිවලට අනුව පීඨ මණ්ඩල සාමාජිකත්වය හිමිවන්නේ කථිකාචාර්ය තනතුරින් ඉහළ ශ්‍රේණිවලට ය.
මෙහිදී කථිකාචාර්ය යන තනතුර ලබාගත හැකි වූයේ ආධුනික සහකාර කථිකාචාර්ය තනතුර දරන පුද්ගලයන් තමන්ට අදාළ පරිවාස කාලය අවසන් වන විට අදාළ පශ්චාත් උපාධි සුදුසුකම් ලබා හිමිකර ගත් උසස් වීමක් ලෙසිනි.
එතැන් පටන් ඔවුන්ට දී තිබූ ආධුනික භාවය වෙනුවට සේවයේ තහවුරු භාවය ලැබේ. කිසියම් තනතුරක තහවුරු නොවුණු කිසිවකුට පීඨ සභාව වැනි ස්ථාවර අනුමණ්ඩලයක සාමාජිකත්වය දීම නීති විරෝධී ය.
එහෙත් ආධුනික සහකාර කථිකාචාර්යවරුන් ද පීඨ මණ්ඩලයක දී නියෝජනය විය යුතු යයි සැලකුන හෙයින්, ඔවුන්ගේ ඡන්දයෙන් දෙදෙනෙකුට පීඨ මණ්ඩලය නියෝජනය කිරීමට පනත්වලින් අවකාශ දී තිබුණි. එහෙත් එය වසරින් වසර වෙනස් වූ නියෝජනයකි.
ආධුනික සහකාර කථිකාචාර්යවරුන් ආධුනික කථිකාචාර්යවරුන් වූ පමණින් පීඨ මණ්ඩල සාමාජිකත්වය හිමිවීම නිත්‍යානුකූල නැත. එයට හේතුව “ආධුනික” යන්න තවමත් ඔවුන්ගේ තනතුර සතු නිසා ය. විශ්වවිද්‍යාලයක හෝ වෙනස් ඕනෑම තැනෙක “ආධුනික” තත්ත්වයේ සිටින කිසිවකුට තනතුරෙහි තහවුරු වූ පුද්ගලයකුට හිමි වරප‍්‍රසාද කිසිවක් හිමි නොවේ.
එහෙත් ඇතැම් විශ්වවිද්‍යාලවල කි‍්‍රයාත්මක වන මේ වැරැදි පූර්වාදර්ශය නිසා, බොහෝ නෛතික ගැටලු මතු වී තිබුණත්, එයට පිළියම් යොදා නැත්තේ කිසිවෙකු නීතිය ඉදිරියට මේ ප‍්‍රශ්නය ගෙන ගොස් නැති නිසා විය යුතු ය.
එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් මෙය නිවැරැදි කළ යුතුව ඇත. මෙකී තත්ත්වය නිසා පැන නැඟී ඇති ප‍්‍රබල ගැටලුවක් වී ඇත්තේ පීඨාධිපතිවරුන් ආධුනිකයන් හට නොනිසි අනුග‍්‍රහයන් ලබා දෙමින්, තම පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමට නොපසුබට වීම ය.
නිදසුනක් ලෙස යට කී විශ්වවිද්‍යාලයේ අදාළ පීඨාධිපති එක්සත් රාජධානියේදී පවත්වන ලද කිසියම් විදේශ සම්මන්ත‍්‍රණයක පර්යේෂණ පති‍්‍රකා ඉදිරිපත් කිරීම සඳහා, එම සම්මන්ත‍්‍රණ සංවිධායකයන් අනුමත කර තිබූ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ට තම පති‍්‍රකා ඉදිරිපත් කිරීමට පහසුකම් සැපැයීම වෙනුවට සම්මන්ත‍්‍රණ පති‍්‍රකා ඉදිරිපත් කිරීමට පූර්ව අනුමැතියක් නොමැති, එහෙත් තමන්ට හිතවත් ආධුනික කථිකාචාර්යවරුන් පිරිසකට එම ඉඩ සලස්වා දෙමින් තමන් ද එයට සහභාගි වීම ය. මේ සඳහා විශ්වවිද්‍යාල අරමුදල්වලින් රුපියල් මිලියන හතරකට වැඩි මුදල් ප‍්‍රමාණයක විදේශ විනිමයක් වැය කර ඇත.
සම්මන්ත‍්‍රණ කුමන්ත‍්‍රණ
ආධුනික කථිකාචාර්යවරුන්ට වීසා ලබාගැනීමට අවශ්‍ය පෝර්ම පත‍්‍ර පිරවීමේ නිසි උපදෙස් දී නොමැති වු නිසා, පෝර්ම පිරවීමේ සංගතභාවයක් නොතිබීමෙන් ඔවුන්ට වීසා ලබාදීම ප‍්‍රමාද විය.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අදාළ සම්මන්ත‍්‍රණයට සහභාගි වීමට හැකි වී ඇත්තේ සම්මන්ත‍්‍රණය අඩක් පමණ නිම වෙද්දී ය. මෙහි අන්තර්ගත තවත් උපහාසාත්මක පැත්තක් නම් “ශී‍්‍ර ලංකා අධ්‍යයන” නමින් හැඳින්වූ එම සම්මන්ත‍්‍රණයට විදේශිකයන් සහභාගි වී ඇත්තේ කීප දෙනෙක් පමණක් වීමත්, එවැනි දෙයකට විදේශ විනිමය මිලියන ගණනින් වැය කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්නත් ය.
මේ සම්බන්ධ සියලු තොරතුරු එම සම්මන්ත‍්‍රණයට අදාළ වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.තම හිතවතුන්ගේ විදේශ සංචාර සඳහා කිසිම සදාචාරාත්මක පදනමක් නැතිව, විදේශ විනිමය පාවිච්චි කර තිබීම මේ පීඨාධිපතිවරයාගේ ධූර කාලයේ කැපී පෙනෙන්නකි. මේ පීඨයේ ශාස්තී‍්‍රය දියුණුව සඳහා ස්වීඩන් රජයේ ආධාර වැඩපිළිවෙළක් යටතේ ව්‍යාපෘතියක් 1998 සිට කි‍්‍රයාත්මක වේ.
ඒ යටතේ අධ්‍යයන අංශ දෙකක ආචාර්යවරුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමට ආධාර දීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මකව තිබුණි. තවමත් ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි වී ඇත්තේ එක් ආචාර්යවරයෙකුට පමණි. එයට හේතුව අදාළ සෙසු ආචාර්යවරුන්ට නිසි ආකාරයේ අධීක්‍ෂණයක් ලබා නොදීම ය.
දැන් ව්‍යාපෘතිය අවසන් වීමට ද ආසන්න ය. එම ව්‍යාපෘතිය යටතේ “භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධතියක්” සඳහා විශාල ධනස්කන්ධයක් වෙන්කර තිබුණි. මේ තොරතුරු පද්ධතිය සකස් කිරීමට සහ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට ආචාර්යවරුන් කීප දෙනෙක් පස් වතාවක් පමණ ස්වීඩනයට යවා ඇත. එහෙත් අද වනතෙක් මේ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියටවත් එහි පිහිටීම පිළිබඳ සිතියමක්වත් ඇතුළත් කිරීමට සමත්ව ඇත.
විශ්වවිද්‍යාලයේ කෙසේ වෙතත්, අදාළ පීඨයේ පරිගණක ජාලයෙන්වත් අවම වශයෙන් ලංකාවේ සිතියමක් ලබා දීමට මේ ව්‍යාපෘතිය අසමත් ය. අන්තර්ජාතික තාක්ෂණික ආධාර ක‍්‍රමයන්ගෙන් ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලයක් ලබාගත හැකි මහඟු පල අපතේ හැර ඇත්නම් වෙනත් ආයතන ගැන කවර කතා ද?
මුදල් ගිලීම
මෙකී ව්‍යාපෘතියෙන් ආධාර ලබාගත් පුද්ගලයන්, අදාළ පීඨයේ ශාස්තී‍්‍රය වර්ධනයට කර ඇති දායකත්වය පිළිබඳ කා අතරත් කුකුසක් පැන නැඟී ඇතත්, හිටපු උප කුලපතිවරයා නම් මේ ව්‍යාපෘතියේ කණ්ඩායම් නායකයන් දෙපළගේ සේවය ඉමහත් ලෙසින් අගයා වාර්ෂික උපහාර උළෙලේ දී වටිනා පදක්කම් දෙකක් ප‍්‍රදානය කර ඇත.
ඇතමුන් මේ සම්බන්ධයෙන් කියන්නේ එකිනෙකාගේ පිට කසාගැනීම විශ්වවිද්‍යාල සම්ප‍්‍රදායක් වී ඇති බවයි.
ජාතික ධනය භාවිත කරන ආකාරය විමසා බැලීම සඳහා පත්කර ඇති රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇසට වැලි ගසා බේරීමට, රාජ්‍ය ආයතන සමත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් විශ්වවිද්‍යාලයන්හි මුදල් භාවිතය සහ ලබා ඇති ප‍්‍රගති සමාලෝචනය කිරීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අසමත් වන්නේ කුමක් නිසාද යන්න ගැටලුවකි.
එසේ ම රජයේ විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ ඇසට වැලි ගසා තිබීමත් තවත් ගැටලුවකි. අදාළ විශ්වවිද්‍යාලයේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ඇත.
එහෙත් එහි සේවයට එන විගණක අධිකාරීන් එක් එක් පීඨවල පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි කරවාගෙන ඔවුන්ගේ ඇසට වැලි ගැසීමට නම් අදාළ විශ්වවිද්‍යාලය සමත් ය. කිසිම අමාත්‍යාංශයකට යටත් නොමැති රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටපු ලබන නිලධාරීන් සිටින දෙපාර්තමේන්තුවක අධිකාරීන්ගේ ඇසට වැලි ගැසීමට තරම් ශූර පීඨාධිපතින්ට දිය යුතු පදක්කම කුමක්දැයි කෙනෙකුට සිතා ගැනීමටත් බැරිය.
අදාළ විශ්වවිද්‍යාලයේ අදාළ පීඨයේ පශ්චාත් උපාධි ව්‍යාපාරය ද ගජරාමයට කෙරෙන්නකි. සැබවින් ම එය මහා පරිමාණ වෙළෙඳ්‍රමකි. වර්තමානයේ උපාධි සඳහා බොහෝ ඉල්ලුමක් ඇත.
එක් අතකින් හොඳ රැකියා අවස්ථා උදාකර ගැනීමේදීත්, දැනට දරන තනතුරේ සේවය තහවුරු කර ගැනීමේදීත් පශ්චාත් උපාධි සුදුසුකම් අත්‍යවශ්‍ය අවස්ථා ඇත. නිදසුනක් ලෙස වර්තමානයේ රාජ්‍ය පරිපාලන තනතුරු දරන පුද්ගලයන්ගේ සේවය තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් උපාධි සුදුසුකම් අත්‍යවශ්‍යව ඇත.
මේ නිසා ජනිත වී ඇති ඉල්ලුම තෘප්ත කිරීමට පශ්චාත් උපාධි වෙළෙන්දෝ උත්සුක වෙති. අධික ලියාපදිංචි ගාස්තු අයකර ගනිමින් පවත්වනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ගුණාත්මක තත්ත්වයට වඩා ප‍්‍රමාණය ගැන හිතන අධිකාරීහු ප‍්‍රමිතියෙන් තොර පශ්චාත් උපාධි ලබාදීමේ ව්‍යාපාරයේ නිරත වෙති.
උපාධි වෙළෙන්දෝ
එමඟින් ඔවුන්ගේ මඩි තදකර ගනිති. මේ හැරුණුවිට තම හිතවතුන්ට පශ්චාත් උපාධි පහසුවෙන් ලබාදීමේ ප‍්‍රයත්නයන්හිද ඔවුන් යෙදී සිටිනු දැකිය හැකි ය. කලින් සඳහන් කරන ලද විශ්වවිද්‍යාලයේ අදාළ පීඨයේ පීඨාධිපතිට තම හිතවතියකට පශ්චාත් උපාධියක් පිරිනැමීමේ අවශ්‍යතාවක් තිබුණි. බාධාවකට තිබුණේ එකී හිතවතියගේ පශ්චාත් උපාධි නිබන්ධන උපදේශකයා අකුරට වැඩ කරන්නෙකු වීමයි.
ඔහුගේ උපදේශකත්වය යටතේ අදාළ කාන්තාව සතුටුදායක ප‍්‍රගතියක් පෙන්වීමට අසමත් වීමෙන් කාලය ගියේ ය. මෙයින් මිදීමට අදාළ පීඨාධිපති අදාළ අංශ ප‍්‍රධාන ද එකතු වී උපක‍්‍රමයක් යෙදවීය.
අදාළ රෙගුලාසි යටතේ පත්කර ඇති පශ්චාත් උපාධි නිබන්ධන උපදේශකයාගේ අනුමැතිය නැතිව, වෙනත් නිබන්ධන උපදේශකයෙක් පත් කිරීමට අවකාශයක් නැත. එබැවින් අදාළ අයදුම්කාරිය ලවා ඉතා සානුකම්පික අභියාචනයක් ලියවා ගෙන, මුල් උපාධි නිබන්ධන උපදේශකයාගේ අනුමැතිය උපක‍්‍රමශීලීව ලබාගැනීමට ඔව්හු සමත් වූහ. 2005 දෙසැම්බර් මාසයේ මැද භාගයේදී ය.
මේ අනුමැතිය ලැබීමත් සමඟ ම යුහුසුළු වූ ඔවුන්, අලුත් නිබන්ධන උපදේශක ලෙස අංශ ප‍්‍රධානගේ නම 2005 – 12 – 29 දින පවත්වන ලද අධ්‍යයන මණ්ඩල රැස්වීමේදී නිර්දේශ කෙරිණි.
අලුත් නිබන්ධන උපදේශක වූ අංශ ප‍්‍රධානගේ නම අනුමත වී ඇත්තේ 2006 – 02 – 03 දින පවත්වන ලද පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ මණ්ඩල රැස්වීමේදී ය. අදාළ අයදුම්කාරිය වෙනුවෙන් පශ්චාත් උපාධි නිබන්ධන උපදේශක ලෙස අංශ ප‍්‍රධාන පත්කර ඇත්තේ 2006 – 03 – 01 දිනදී ය. නිල වශයෙන් අදාළ අයදුම්කාරියට තම පශ්චාත් උපාධි නිබන්ධන උපදේශක කවුරුන්ද යන්න දන්වන්නට ඇත්තේ එම දිනයේදී ම ය.
එහෙත් අංශ ප‍්‍රධාන තමන් අදාළ අයදුම්කාරියගේ පශ්චාත් උපාධි නිබන්ධය සඳහා තනිවම උපදෙස් දුන් බවට නිබන්ධයට අමුණන ලද සහතිකයට අස්සන් කර ඇත්තේ 2006 – 02 – 01 දිනයේ ය.තමන් වෙත නිල වශයෙන් පත්කරන ලද කාර්යයක් ඊට මාසයකට පෙර අවසන් කරන ලදැයි සහතික කිරීමට තරම් අංශ ප‍්‍රධාන වංචා සහගත වී තිබියදීත්, ඈ එම තනතුරේ ම නිරුපද්‍රිතව ඉන්නේ තමන්ට ඉහළින් සිටින අයගේ අනුග‍්‍රහය නිසා පමණක් ම මිස, නිත්‍යානුකූලව නම් නොවේ.
ඉහත දැක්වූ කරුණු එක් විශ්වවිද්‍යාලයක එක් අංශයක සහ එක් පීඨයක කටයුතුවල අංශු මාත‍්‍රයක් පමණි. පුවත්පත් ලිපියකින් එම විශ්වවිද්‍යාලය පසුගිය වකවානුවේදී කි‍්‍රයාත්මක වී ඇති ආකාරය නිරාවරණය කරන්නට යෑම අතිශය දුෂ්කර ව්‍යායාමයකි.
අනෙක් විශ්වවිද්‍යාලවල තත්ත්වය දන්නේ එම විශ්වවිද්‍යාලවල අය ය. එබැවින් එක් එක් විශ්වවිද්‍යාල පසුගිය දශක කිහිපයේ දී කි‍්‍රයා කොට ඇති ආකාරය සොයා බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවන් පත්කිරීමේ කාලය දැන් එළැඹ ඇත.
විවිධාකාරයෙන් වන ප‍්‍රභූ මරණ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා නිරතුරුවම පත්කෙරෙන මේ යුගයේදී, රටේ අනාගත සෞභාග්‍යය උදාකිරීමේ අරමුණින් පිහිටුවා ඇති අති විශාල රාජ්‍ය වියදමක් දරන විශ්වවිද්‍යාලය වැනි ආයතනවල කටයුතු සොයා බලා කරුණු වාර්තා කිරීමට මහින්ද චින්තන යටතේ ප‍්‍රමාද නොවිය යුතු ය.
සංස්කරණය - ශ්‍යාමා සමරසිංහකැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්

No comments: