Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, December 2, 2008

ප‍්‍රභාට වැලේ වැල් නැතිවූ මෙදා මහවිරු සතිය

මීට වසර කිහිපයකට පෙර නොවැම්බර් 27 දිනය උදා වන තුරු බොහෝ දෙනෙක් බලා සිටියේ මහත් උනන්දුවකිනි. රටට වැදගත්ම දිනය නොවැම්බර් 27 වෙනිදා යැයි සිතූ ඇතමෙක් එය සමාන කෙළේ පාර්ලිමේන්තුවට නව අයවැයක් ඉදිරිපත් කරන දිනයක් ලෙසයි. නොවැම්බර් 27 මෙතරම් වැදගත් යයි බොහෝ දෙනෙකු කල්පනා කරන්නට වූයේ ඇයි ? ඒකට හේතු 3 ක් තිබිණි.
කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ උපන් දිනය නොවැම්බර් 26 වෙනිදාට යෙදී තිබීම, කොටි මහවිරු සතියේ ආරම්භක දිනය නොවැම්බර් 27 වෙනිදාට යෙදී තිබීම හා කොටි ත‍්‍රස්තකි‍්‍රයා වලට බියේ එකට සිටි රාජ්‍ය නායකයන් කොන්ද කෙළින්තබාගෙන කි‍්‍රයා නොකිරීම යන කරුණු 3 හේතුවෙන් නොවැම්බර් 27 වෙනි දින ඉතා වැදගත් කොට සැළකේ.
මළවුන්ගේ මාසය
නොවැම්බර් මාසය හැඳින්වෙන්නේ මළවුන්ගේ මාසය ලෙසය. නොවැම්බර් 27 ‘මහාවීර සතිය’ කොටි සංවිධානය විසින් ඒකාලයේ ප‍්‍රකාශයට පත්කරන විට අපේ පාලකයන්ගේ කකුල් ගැහෙන්නට වුහ. කෙතරම් කාලයක් කකුල් ගැහුනද කීවොත් 2005 ජනාධිපතිවරණය දක්වාම කකුල් ගැහෙන්නට වූයේ යූ. ඇන්. පී, ශ‍්‍රී ලංකා බේදයකින් තොරවය.
නොවැම්බර් 27 වෙනි දින මහාවීර සතිය ආරම්භ කරමින් ප‍්‍රභාකරන් කරන කතාව රාජසන කතාවට අපගේ ඇතැම් රාජ්‍ය නායකයන් සමාන කෙළේ කිසිදු හිරිකිතයකින් තොරවයි. ඒ තරමටම ඔවුහු ප‍්‍රභාකරන්ට බිය වී දීන වී සිටියහ. රටේ සියලු කරුණු කාරණා සිද්ධ විය යුත්තේ මේ විරු දින කතාවට අනුව බව සමහරෙක් කල්පනා කරන්නට වූහ. ‘ප‍්‍රභාකරන් මේ පාර කතාවට මොනව කියයිද ? දන්නේ නැහැ. ඒ කතාව අහල තමයි සේරම කරන්න වෙන්නේ’ යනුවෙන් ඇතැම් රාජ්‍ය නායක නායිකාවන් කියා සිටියේ මේ රටේ ඒකීයභාවය තුට්ටුවකට මායිම් නොකරමිණි.
ඉදිරි වර්ෂයේ රජයේ සැලසුම්, සංවර්ධන කි‍්‍රයා, ආරක්ෂක කටයුතු , අන්තර්ජාතික ගිවිසුම් ඇතුළු මේ එකී නොකී සෑම කටයුත්තක්ම සංවිධාන කෙළේ ප‍්‍රභාකරන්ගේ මේ විරුදින කතාවට අනුවය. ඒ තරමටම එදා ප‍්‍රභාකරන්ගේ ගෙරවිල්ලට මේ පිරිස භය බිරාන්ත වූහ.
මහාවීර සතිය
සමහරුන් නොවැම්බර් අවසන් සතියේදී කොළඹ නගරයට පැමිණීමට එතරම් කැමැත්තක් නොදැක්වූයේද මේ විරු සතිය හේතුවෙනි. ප‍්‍රභාකරන්ට මේ සතියේදී හොඳටම කේන්ති යන නිසා පරිස්සමෙන් සිටින ලෙස උපදෙස් ලබාදීමට ද ඇතැම් නක්ෂත‍්‍රකරුවෝ අමතක නොකළහ. මහාවීර සතියේදී ප‍්‍රභාකරන් විශාල වශයෙන් ප‍්‍රහාර එල්ල කර සිංහල ජනතාව මරා දමනවා යන්න බොහෝ දෙනෙක් එල්බ ගෙන තිබූ මතයකි.
ඊට එරෙහිව අපේ රටේ ආරක්ෂක අංශ මෙහෙයවීමට මීට පෙර සිටි එකදු පාලකයෙකුවත් නිවැරැදි ආකාරයෙන් කි‍්‍රයා නොකළ නිසා ‘මහවිරු සතිය’ මහ ඉහළින් සැමරීමට ප‍්‍රභාකරන් හැම අවස්ථාවකදීම කි‍්‍රයා කෙළේය. මේ සතියේදී කොටි සංවිධානයේ චිත්ත ධෙර්ය ඉහළ නැංවීම ප‍්‍රභාකරන්ගේ ප‍්‍රධාන අරමුණ විය. කොටි සංවිධානයට ආධාර ලබා දෙන ලෝකයේ විවිද රටවල සිටින පිරිස් වෙත ඉතා ආකර්ෂණීය පණිවිඩයක් ලබාදීමද මහා විරු දින කතාවේ එක් අරමුණකි.
එසේම කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් කප්පම් හා මුදල් එකතු කර ගැනීමේ කි‍්‍රයාව වඩාත් සාධාරණීකරණයකට ලක් කිරීමද මහවිරු සතියේ තවත් අරමුණකි. තමන්ගේ වාසියට ගත හැකි උපරිම වාසි ලබාගැනීම සඳහා ප‍්‍රභාකරන් විසින් මහවිරු සතිය සැලසුම් කළ අතර ඊට කොටි හඬ ගුවන් විදුලිය හා කොටි හිතවාදී මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබා ගැනීමටද කොටි සංවිධානය කි‍්‍රයා කෙළේය.
එහෙත් මෙවර මහා විරු දින කතාව හා මහා විරු දින සතිය පුස්සක් බවට පත් කරමින් ප‍්‍රභාකරන්ට වැලේ වැල් නැති තත්ත්වයක් ඇති කෙළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපේ ආරක්ෂක අංශ විසින් බව කවුරුත් දන්නා කරුණකි. මහවිරු දිනය මහා පුස්සක් බවට පත් කළ කතාව ඓතිහාසිකය. ඒ වගේම රටට ආදරය කරන සියලු දෙනාම දැනගත යුතුයි. ඊට පෙර මහවිරු දින සතියේ ඉතිහාස කතාවට මදක් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.
ඉතිහාසය
ප‍්‍රභාකරන් මහාවීර සතිය පවත්වන්න ආරම්භ කෙළේ මීට දහනව වසරකට පෙරය. එනම් 1989 නොවැම්බර් 27 වෙනි දින සිටය. 1982 වසරේදී මිය ගිය ප‍්‍රථම ගරිල්ලා සාමාජිකයාගේ මරණය සිහිපත් කිරීම මුල් කොට ගෙන ඇරඹුණු ‘මහාවීර සතිය’ හරහා ප‍්‍රභාකරන්ට අවශ්‍ය වනුයේ කොටි ගරිල්ලන්ගේ මානසිකත්වය වර්ධනය කිරීමට හා කොටි සංවිධානයට හැකි තරම් ආධාර උපකාර ලබා ගැනීමත්ය.
ඊළාම් අභිප‍්‍රාය වෙනුවෙන් සටන් කොට මිය ගිය සියලු දෙනා සිහිපත් කිරීම සඳහා එක්වන ලෙස ලොව පුරා සිටින දෙමළ ජාතිකයන් ගෙන්ද ප‍්‍රභාකරන් විවෘත ඉල්ලීමක් කෙළේය. ශංකර් මිය ගියේ 1982 නොවැම්බර් 27 වෙනිදාය. එම දිනය සමරමින් 1989 සිට මහාවිරු දින කතාව ප‍්‍රභාකරන් පවත්වනු ලබන්නේ තම සටන්කරුවන් හා ආධාරකරුවන් ඇමතීමටය.
1990 වේදී ප‍්‍රභාකරන් කළ මහා විරු දින කතාවට කොටි හඬ ගුවන් විදුලියෙන් හා ඇතැම් මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබාදී තිබුණි. මෙහිදී ඔහු ප‍්‍රතිඥා දුන්නේ අරගල කිසිදාක අත්නොහරින බවටය. සෑම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකුම ප‍්‍රභාකරන්ගේ කතාවට සවන් දීගෙන සිටියේ මහත් ඕනෑකමකිනි. ප‍්‍රභාකරන් දිගින් දිගටම කියා සිටියේ තම මිය ගිය සගයන්ට කළ හැකි ඉහළම හා එකම උපහාරය වන්නේ ඊළාම් රාජ්‍යය බිහි කිරීම දක්වා සටන් කිරීම යන්නයි.
අනතුරු ඇඟවීම
ප‍්‍රභාකරන්ගේ සෑම විරු දින කතාවකින්ම ප‍්‍රකාශ කර ඇත්තේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යය බිහි කරන බවකි. ඉදිරි වර්ෂයේදී තම සංවිධානයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් දකුණේ ජනතාවට සිදු විය හැකි හිරිහැර ගැන යම් අනතුරු ඇඟවීමක් කිරීමටද ප‍්‍රභාකරන් අමතක නොකරන්නේ ය. එසේ කියන ලද සමහර කරුණු ප‍්‍රායෝගිකව සිදු කළ අවස්ථාද තිබුණි.
සමහර අවස්ථාවලදී පැවැති රජයන් සමග සිදු කෙරුණු සාම සාකච්ඡා වලින් ඉවත් වීමට යන බවද ප‍්‍රභාකරන් දැනුම් දුන්නේ මහාවීර දින කතාවෙනි. ඔහුගේ වාසියට හැම දෙයක්ම සිදු වෙන විට ප‍්‍රභාකරන් සටන් විරාම, සාම සාකච්ඡා, ගැන වචනයක්වත් කතා නොකරන පුද්ගලයෙකු බව මහා විරු දින කතාවල ඉතිහාසය දෙස බලන විට පෙනී යයි.
එවැනි අවස්ථාවලදී ඔහු කතා කරනුයේ කොටි සංවිධානයේ පුරාජේරුව ගැන පමණකි. අපේ රටේ දුර්වල රාජ්‍ය නායකයන් සිටි කාලවලදී ප‍්‍රභාකරන් විරුදින කතාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගත්තේය. කෙතරම් ප‍්‍රයෝජන ලබා ගත්තේද කියනවා නම් සමහර කතා අසා එවකට සිටි රාජ්‍ය නායකයන් වෙවුලනට විය. මේ අවස්ථාවේදී ප‍්‍රභාකරන් කියා සිටියේ තම ඉල්ලීම් වලට නිසි ප‍්‍රතිචාර නොලැබෙනවා නම් දකුණට අත් විඳීමට සිදු වන ප‍්‍රතිවිපාක වඩාත් බරපතල විය හැකි බවයි.
සමහර අවස්ථාවලදී පවතින ආණ්ඩුවලට විවිධ කොන්දේසි ප‍්‍රභාකරන් ඉදිරිපත් කෙළේද මේ විරුදින කතා හරහාය. ඇතැම් රාජ්‍ය නායකයන්ගෙන් යම් යම් වරදාන, වරප‍්‍රසාද ලබා ගැනීමට ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේද මේ විරුදින කතා ඔස්සේය. විරුදින කතා වලින් අන්තර්ජාතික වශයෙන් උපරිම අවධානයක් දිනා ගැනීමටද ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේය. ඒ සඳහා වෙනම සංවිධානාත්මක ජාලයක් පිහිටුවීමටද ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උපකාරයෙනි.
ප‍්‍රභාකරන්ගේ විරුදින කතා සියල්ල හොඳින් අධීක්ෂණයකට ලක් කෙළේ නම් ඇතැම් රාජ්‍ය නායකයන්ට ප‍්‍රභාකරන්ට රැවටෙන්නේ නැතිව මීට වඩා උපායශීලීව කටයුතු කිරීමට ඉඩ තිබුණි. විශේෂයෙන්ම හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට සටන් විරාමයකට ගොස් ප‍්‍රභාකරන්ගේ අල්ලේ නැටවීමට පෙර ප‍්‍රභාකරන්ගේ විරුදින කතා ගැන අවධානය යොමු කිරීමට ඉඩ තිබුණි.
මං ඊළාම් රාජ්‍ය අත්හැරීමට කි‍්‍රයා කළොත් අපේ සංවිධානයේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවන් වෙඩි තියලා මාව ඝාතනය කරන්න. මං කවදාවත් අපේ සටන පාවලා දෙන්නේ නැහැ. ඒ ගැන සැකයක් ඇති කරගන්න ඉඩ දෙන්න එපා. අපේ ඉලක්කයට යන්න නම් උපාය උපක‍්‍රම අවශ්‍ය වෙනවා. ඒ උපාය උපක‍්‍රම කි‍්‍රයාත්මක කරන විට යම් නම්‍යශීලීභාවයක් දක්වන්න සිදු වුනොත් ඒ සියල්ල කරනුයේ අපගේ යහපත වෙනුවෙන්.
අපගේ ඉලක්ක සපුරා ගැනීමට කරන්න හැකි හැම දෙයක්ම කරනවා. ඒ නිසා මං කියන්නේ ඊළාම් රාජ්‍ය බිහිවෙන දිනය වැඩි ඈතක නොවෙයි. හැමදාම සිංහල නායකයන් කෙළේ අපිව රැවැට්ටීම. මින් පසුව අපි රැවටෙන්නේ නැහැ. අපි කරන්නේ ඔවුන් රැවටීමයි යනුවෙන් ප‍්‍රභාකරන් විරුදින කතා කිහිපයකම කතා කොට තිබුණි.
මේ කතා ගැන හොඳින් අවධානය යොමු කරන ඕනෑම ඔලමොට්ටලයෙකුට වුවත් තේරෙන එක් කාරණයක් ඇත. එනම් ප‍්‍රභාකරන්ගේ අරමුණ කුමක්දැයි යන්නයි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යයකට යෑමටය. එම නිසා ප‍්‍රභාකරන් සමඟ කුමන වර්ගයේ සාකච්ඡාවක් පැවැත්වුවාට වැඩක් නැත.
රාජ්‍ය නායක උපාය
සියලු සටන් විරාම, සියලු සාකච්ඡා ප‍්‍රභාකරන් සිදු කරනු ලබන්නේ වෙනම රාජ්‍යයක් දක්වා ගමන් කිරීමටය. තම ඊළාම් රාජ්‍ය අත්හැරියොත් ඕනෑම කෙනෙකුට වෙඩි තබා තමා ඝාතනය කළ හැකි බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කරනුයේ ආවාට ගියාට නොවේ. මේ දක්වා ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව සටන් කර මිය ගිය කොටි සාමාජිකයන්ගේ සංඛ්‍යාව අති විශාලය.
කළු කොටි කණ්ඩායම්, මරාගෙන මැරෙන කණ්ඩායම්, මුහුදු කොටි කණ්ඩායම් ප‍්‍රභාකරන් ඇති කරන්නේ ඊළාම් රාජ්‍ය දක්වා ගමන් කිරීම කෙටි මාර්ග ඔස්සේ වඩාත් පහසු කර ගැනීමටය. ප‍්‍රභාකරන් දිගින් දිගටම තම ඉලක්ක සපුරා ගැනීම සඳහා මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් එවනු ලබන්නේ
ඔවුන් හොඳටම මුරුංගා අත්තේ තබාගෙන. මෙම කරුණු වලින් ගම්‍ය වන්නේ කොටි සාමාජිකයන් රැවටීමට ප‍්‍රභාකරන් යෙදු උපාය උපක‍්‍රමය. මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් සමග රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට සහභාගි වෙන ප‍්‍රභාකරන් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටී. මෙසේ හැසිරෙන ප‍්‍රභාකරන්ගෙන් ඊළාම් රාජ්‍යයකට මෙපිට විසඳුමක් බලාපොරොත්තු විය හැකිද ? නොහැක.
මේ යථාර්ථය තේරුම් ගැනීමට වඩාත්ම නොහැකි වූ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහය. ඔහුට පාඩම් ඉගෙන ගැනීමට ඕනෑ තරම් හේතු සාධක තිබුණද රනිල් වික‍්‍රමසිංහ ඒවා කිසිම ගණනකට නොගෙන තම හිතුමනාපයට සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගත්තේය.
සටන් විරාමය
ප‍්‍රභාකරන් අනිවාර්යෙන්ම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කි‍්‍රයා කරනවා නම් ඔහු සමඟ අතරමැද ගිවිසුම් වලට යාමෙන් ඵලක් නැත. ඔහු සමග සටන් විරාම ඇති කර ගැනීමෙන්ද ඵලක් නැත. ඔහු සමඟ සාම සාකච්ඡා පවත්වා ද ඵලක් නැත. මේ තත්ත්වයන් නොදැන 2002 පෙබරවාරි 22 වෙනි දින අස්සන් තැබුණු සටන් විරාම ගිවිසුමෙන් මේ රටට සිදු වූ පාඩුව අති මහත්ය.
සටන් විරාමය ඇති කර ගැනීමෙන් පසුව 2002 හා 2003 වසරවලදී ප‍්‍රභාකරන් විරුදින කතාව කෙළේ ඔදතෙද වඩවාගෙනය. විරුදින කතාව හා සැමරුම මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේ 2002, 2003 යන වසරවලදීය. කිලිනොච්චිය පුරා සැණකෙළි සිරියක් ගත් අතර විශාල පිරිසක් ඒ සඳහා එක්කර ගැනීමටද කොටි සංවිධානය උපක‍්‍රමශීලීව කි‍්‍රයා කර කෙළේය. කිලිනොච්චිය අවට ප‍්‍රදේශවල පාසල් ළමයින් විශාල වශයෙන් මේ සඳහා සහභාගිකරගෙන තිබුණේ ද බලහත්කාරයෙනි.
පෙළපාළියෙන් පැමිණි පාසල් ළමයින්ට යුද මානසිකත්වයක් ඇති කිරීමට කොටි සංවිධානය කි‍්‍රයා කර තිබූ අතර පාසල් ළළමයින්ට ප‍්‍රභාකරන්ගේ විශාල ප‍්‍රමාණයේ ඡායාරූපද බෙදා දී තිබුණි. යුද මානසිකත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී ආකාරයෙන් පැවැත්වෙන මෙවැනි සැමරුම් උත්සව වලට පාසල් ළමුන් සහභාගි කර ගැනීම යුක්ති සහගත නොවේ. ඊට අමතරව මුදා නොගත් ප‍්‍රදේශවල රජයේ හා පෞද්ගලික ආයතන වල කාර්යය මණ්ඩලවලටද මහවිරු දින සැමරුමට සහභාගි වන ලෙස නියෝග කොට තිබුණි.
ඔවුන් මහවිරු දින සැමරුමට සහභාගි වූයේ මරණයට ඇති බිය නිසා මිසක කිසිදු කැමැත්තකින් නොවේ. මීට පෙර පැවති මහවිරු දින සැමරුම් විවේචනය කළ පිරිස් හා ඊට සහභාගි නොවූ පිරිස් වලට කොටි සංවිධානය ප‍්‍රතිචාර දැක්වූයේ තුවක්කු බටයෙනි.
මාධ්‍ය ප‍්‍රචාර
2002, 2003 වසරවලදී මහවිරුදින සැමරුම් උත්සවය සඳහා විශාල ප‍්‍රසිද්ධියක් ලබාදීමටද එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කි‍්‍රයා කෙළේ කැමැත්තෙන්ද නැත්නම් නොකර බැරි නිසාද කියා දන්නේ ඔවුන්ම පමණි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය රැසකින්ද ඒ වගේම පුවත්පත් රැසකින්ද මහා විරු දින කතාවට ඉතා ඉහළ ප‍්‍රසිද්ධියක් ලබා දී තිබුණි. ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ නියම වීරයෙකු කිරීමට මෙම මාධ්‍ය වාර්තා සකස් වී තිබුණි.
හැකිනම් ඇතැම් මාධ්‍ය මහාවිරුදින කතාව සජීවී ලෙස වාර්තා කිරීමටද සූදානම් වී සිටි බව රහසක් නොවේ. ඒ වගේම ප‍්‍රභාකරන්ගේ විරුදින කතාවට අන්තර්ජාතික ඉහළ ප‍්‍රසිද්ධියක් ලැබුණේද මේ වසර දෙක තුනේදීය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින ප‍්‍රභාකරන්ගේ මේ කතා වලට මේ තරම් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේ කාගේ වුවමනාවකටද යන්න අදටත් ගැටලුවකි.
සටන් විරාම ගිවිසුමක් ඇති කරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ කොටි සංවිධානය සාකච්ඡා කෙළේ එක්සත් ශ‍්‍රී ලංකාවක් ෆෙඩරල් විසඳුමක් යටතේ මේ ගැටලුව විසඳ්‍ර ගැනීමටය. එවැනි අරමුණක් සඳහා සාම සාකච්ඡා එක් පැත්තකින් පැවැත්වෙන අතරතුර තවත් පැත්තකින් මහවිරු සැමරුම් පැවැත්විණි.
එහෙත් මේ සිද්ධිවලදී කොටි සංවිධානයේ දෙබිඩි පිළිවෙත ගැන ඕනෑ තරම් ප‍්‍රශ්න වූවද එවකට පැවති ආණ්ඩුවේ නායකයන් සිටියේ ඇස් කන් පියාගෙනය. කොටි සංවිධානයේ දෙබිඩි පිළිවෙත ගැන ප‍්‍රශ්න කළ යුතු ප‍්‍රධානතම සිදුවීම් 2 ක් මහවිරු දින
සීමා සිතියම්
සැමරුම් උත්සවලදී සිදු විය. ඊළාම් රාජ්‍යයේ සීමාවන් දැක්වෙන විශාල ප‍්‍රමාණයේ සිතියම් ගණනාවක්ම මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි. පෙළපාළි එන අතරතුරේදී පාසල් ළමුන් කෑ ගසමින් කියා සිටියේ ඊළාම් රාජ්‍යයේ නායකයාට ජය වේවා යි යනුවෙනි. එක්සත් ශ‍්‍රී ලංකාවක කි‍්‍රයාකරනවා නම් මෙසේ වෙනම රාජ්‍යයක් ගැන විරුදින සැමරුම් උත්සවයේදී ප‍්‍රභාකරන් කතා කෙළේ ඇයිද ? කියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුත් ප‍්‍රභාකරන්ගෙන් හෝ කොටි සංවිධානයෙන් ඇසුවේ නැත.
මෙමගින් ප‍්‍රභාකරන්ගේ දෙබිඩි පිළිවෙත තේරුම් ගැනීමට හැකි වූයේ නම් කෙතරම් වටින්නේද ? සාම මන්තරය කෙතරම් ජප කළත් ප‍්‍රභාකරන්ගේ අරමුණු වෙනස් වී නොමැති බව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා කොටි සංවිධානය ශක්තිමත් වූවා වාගේම එක්සත් ජාතික පක්ෂයද දේශපාලන වශයෙන් අන්ත පරාජයට පත් විය.
ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සියලු ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකැරමින් වසර ගණනාවක් අපේ ඇතැම් රාජ්‍ය නායකයන් අල්ලේ නටවමින් ගෙරෙව්ව ප‍්‍රභාකරන් කෙඳිරි ගෑමට පටන් ගත්තේ 2005 වසරේ සිටය. එම කෙඳිරිගෑම ප‍්‍රභාකරන් පටන් ගන්නේ ඔහුගේ දෙබිඩි පිළිවෙත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වඩා හොඳින් තේරුම් ගෙන තිබූ නිසාය.
ප‍්‍රභාකරන් විරුදින සැමරුම් වලදී කෙතරම් ගෙරෙව්වද ඉන් එකකටවත් ජනාධිපතිතුමා බිය වූයේ නැත. 2005 ජනාධිපතිවරණයෙන් පසුව සාම සාකච්ඡාවලට පිවිසෙන ලෙසට ජනාධිපතිතුමා ආරාධනා කරද්දී ප‍්‍රභාකරන් පිළිතුරු ලබා දුන්නේ කැබිතිගොල්ලෑව, දිගම්පතන ප‍්‍රදේශවල බෝම්බ පුපුරුවා ජනතාව ඝාතනය කරමිනි.
ක‍්‍රීඩාංගණය
කොටි සංවිධානය මේ වන විට අන්ත පරාජයක් අත් කර ගනිමින් සිටී. මෙවර විරුදින සැමරුමද පුස්සක් වූ අතර පසුගිය වසරවල විරුදින සැමරුම් උත්සව පැවැත්වූ කී‍්‍රඩාංගණයද මේ වන විට ආරක්ෂක අංශ යටතේය. එම නිසා ප‍්‍රභාකරන්ට විරුදින කතාව පැවැත්වීමට වෙනත් තැනක් සොයා ගන්නට සිදුවූ අතර විරුදින කතාවක් පැවැත්වූවද නැත්නම් පරණ කතාවක් සකස් කොට ප‍්‍රචාරය කළාද කියාත් සැකයක් පවතී.
එළිමහනට වී කොටි ගෙරවිලි කරමින් විරුදින කතා කළ ප‍්‍රභාකරන් මෙවර විරුදින කතාව පැවැත්වූයේ බිං ගෙයක සැඟවී කෙඳිරිගාමින්ය. ප‍්‍රභාකරන් දැන් කෙඳිරිගාමින් ඉන්නේ ඔහුට ගොක් කොළ පෙනෙන නිසාය. විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ප‍්‍රභාකරන් අඬ අඬා ප‍්‍රකාශ කියන්නේ යහමින් මුදල් හදල් එවන ලෙසටය.
අරන්තලාවේදී මහා සංඝරත්නය එක පෙළට තියා ඝාතනය කළ ප‍්‍රභාකරන්ට බුද්ධාගම ප‍්‍රථම වරට මතක් වී තිබෙන්නේ මෙවර විරුදින කතාවේදීය. ප‍්‍රභාකරන් මෙතරම් වැටුණු විරුදින සැමරුමක් ඉතිහාසයේ තිබීනැත. ඔහු වඩාත් බලු වූයේ වන්නියේ දෙමළ ජනතාව ද කිසිම සැමරුම් උත්සවයක් සඳහා සහභාගි නොවීමෙන්ය. අඩුම ගණනේ කඩ සාප්පු වසා දමා කළු කොඩි එසවීමට ද ඔවුහු කි‍්‍රයා නොකළහ.
මෙවර රාජ්‍ය මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින්ද කොටි නායකයාගේ ප‍්‍රකාශයට ප‍්‍රසිද්ධියක් ලබා නොදුන්නේය. කොහේවත් යන ත‍්‍රස්තවාදී නායකයෙකුගේ කතාවලට ප‍්‍රසිද්ධියක් ලබාදීමට කිසිදු වුවමනාවක් නැත. මේ කරුණු හේතුවෙන් ප‍්‍රභාකරන් ලෝකයෙන් ඈත් වී දෙමළ ජනතාවගෙන් ඈත් වී බිං ගෙයක කොටු වී සිටී. සමහර විට ප‍්‍රභාකරන් ගේ අවසන් විරු දින කතාව පසුගිය 27 වෙනිදා සැඟවී සිට කළ කතාව වීමට බොහෝ දුරකට ඉඩ ඇත.
- ජනතා මිත‍්‍ර

No comments: