Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

නූතන සමාජයෙන් ගිලිහෙන සාරධර්ම

ඕනෑ ම සමාජයක් ගොඩනැගී ඇත්තේ ඒ ඒ සමාජයේ පුද්ගලයන් විසින් අනුදත් චර්යාධර්ම පද්ධතියකට අනුව ය. එමඟින් පුද්ගලයකු සමාජයට අනුගතවිය යුතු චර්යා රටාව පෙන්වා දෙයි.
අනෙක් අතට සමාජ සම්මතයන්ට එරෙහි වූ චර්යා රටාව දඬුවම ලෙස හා ඒ තුළ පවත්නා යම් යම් නීති රීති බලාත්මක කිරීම තුළින් පෙන්වා දෙයි.
මෙලෙස ඕනෑ ම සමාජයක පුද්ගලයන් එකිනෙකා අතර පැවතිය යුතු හැසිරීම් රටාව හේතුකොට ගෙන සමාජයකට පොදු වූ චර්යා පද්ධතියක් ගොඩනැඟේ.
මෙම චර්යා රටාවන්ට අනුකූලව කටයුතු කරන සමස්ත ප‍්‍රජාව ම සාමූහික කි‍්‍රයාදාමයන් තුළින් තම දෛනික කටයුතු ඉටුකර ගනු දක්නට ලැබෙන අතර, එය සංස්කෘතියක් ලෙස හදුනාගත හැකි ය.
මෙම සංස්කෘතිය තුළ ජීවත් වන පුද්ගලයෙකුට යහපත් දිවිපෙවතක් ගතකිරීම සඳහා ආගම ධර්මයෙන් ලැබෙන දැනුම, සිරිත් විරිත්වලට අනුගත වීමේ දැනුම හා සදාචාරාත්මක ඇවතුම් පැවතුම් යනාදිය මඟින් ඇතිකර ගනු ලබන සාරධර්ම ඉතා වැදගත් ය.
ඕනෑ ම පුද්ගලයෙකුට හරි වැරදි, හොඳ - නරක,යුතු - අයුතුකම් පිළිබඳ මනා වැටහීමක් තිබිය යුතු ය.
කෙනෙකු සදාචාරාත්මක දිවිපෙවෙතක් ගතකරන්නේ හොඳ, හරි, යුතු, නැතහොත් පිළිගත් කි‍්‍රයාවක් කරන්නේ නම් පමණකි.. මේ නිසා සාරධර්ම අගයන ජීවිතයක් සඳහා පුද්ගලයා තුළ වර්ධනය කරගනු ලබන ස්වයං පාලනය ඉතා වැදගත් ය.
පුද්ගලයෙකු යහපත් ගති පැවතුම් ප‍්‍රගුණ කළ අයෙකු නම් එහි පූර්ණ කි‍්‍රයාකලාපය යහපත් ආකාරයට බාහිර ජන සමාජයට අනුරූපීව පිළියෙළ විය යුතු ය.
සංස්කෘතිය
ඒ අනුව සමූහයක් තුළ පුද්ගලයා ගේ චර්යාව තීරණය කරනු ලබන්නේ එකී සමූහ සංස්කෘතිය මඟින් අනුදත් තත්ත්වය හා කාර්ය කොටස (Status & Role) මඟිනි.
මෙහි දී සෑම සමූහයකට ම අයත් පුද්ගලයෙකුට කිසියම් කාර්යයක් හිමිවන අතර, එයට නියමිත වූ පුද්ගල හැසිරීම් ද වෙයි.
උදාහරණයක් ලෙස පවුල් සංස්ථාවක මව ගේ තත්ත්වය මත ඇයට නියමිත වූ හැසිරීම් රටාවක් ද පියා ගේ තත්ත්වය මත ඔහුට හිමි වූ හැසිරීම් රටාවක් ද එකි සංස්කෘතිය තුළින් ආරෝපණය කොට ඇත.
මෙම කාර්ය කොටස මඟහැරීම තුළින් හා ඊට වෙනස් ආකාරයට කටයුතු කිරීමට යාමෙන් පවත්නා සමාජයේ අනිකුත් ජන කොටස්වල ගැරහීමට හෝ දෝෂ දර්ශනයට ලක් විය හැකි ය.
මේ නිසා සෑම පුද්ගලයෙකු ම පවතින චර්යා ධර්මයන්ට අනුකූලව කටයුතු කිරීම සමාජයේ බහුතර ජන කොටස්වල පැසසුමට ලක්වීමට හේතුකාරක වේ.
අතීතයේ සිට පුද්ගලයන් අතර, පවත්නා සාමූහික සම්බන්ධතා පදනම් කොටගෙන පරපුරෙන් පරපුරට උරුම කරගන්නා ලද චර්යා ධර්ම පද්ධතියක් සෑම සමාජයක් තුළ ම දක්නට හැකි විය.
මෙසේ පරපුරෙන් පරපුරට දායාද කළ අත්දැකීම් හා දැනුම මුල්කර ගත් චර්යා පද්ධතිය කාලයත් සමඟ විවිධාකාරයේ විපර්යාසයන්ට භාජනය වීම නිරායාසයෙන් ම සිදුවන්නකි.
එහෙත් එම වෙනස සිදු විය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න අද අප කාගෙත් අවධානය යොමු විය යුතු ගැටළුවක් බවට පත්ව ඇත.
කෙසේ වුව ද වෙනස් වන සමාජය තුළ පුද්ගලයා තුළ පැවති චර්යා රටා හා ගතිපැවතුම් වෙනස්වීම ද ස්වාභාවික ය. එහෙත් එහි දී සදාචාරාත්මක සීමාවන් අභිබවා යා යුතු නැත.
අද සමාජය තුළින් ප‍්‍රකට වන්නේ ද මෙම සාචාරාත්මක සීමාවන් ඉක්මවා යන චර්යා රටාවන් ය. ඒ සඳහා බලපෑ හේතු ගණනාවක් හදුනාගත හැකි ය.
විසිවැනි සියවස අගභාගයේ ශ‍්‍රී ලාංකික පවුල් සංස්ථාව ශීඝ‍්‍ර වෙනසකට පරිවර්තනය විය. මෙහි දී නගර කේන්ද්‍ර කොටගෙන බිහි වූ අලුත් මධ්‍යම පන්තික පවුල බොහෝ විට න්‍යෂ්ටික පවුලක (Nuclear family) ස්වරූපය දැරී ය.
මෙම පවුලෙ හි මව පියා දෙදෙනා ම රැකියාවන් හි නියුක්ත වෙති.
මෙවැනි තත්ත්වයක් තුළදරුවන් මානසික පීඩනයකට ගොදුරු විය. පවුල් සංස්ථාව වනාහී දරුවකු ගේ සදාචාරාත්මක ඇවතුම් පැවතුම්වල මූලික පාසල ය.
දරුවන් තුළ යහපත් ගුණ ධර්ම වගා කිරීමේ ප‍්‍රධාන නියමුවන් මාපියන් ය. මාපියන්ගේ දුරස්ථභාවය තුළ විවිධාකාර මානසික චර්යා රටාවන් දරුවන් තුළින් ප‍්‍රදර්ශනය විය.
විශේෂයෙන් ම අතීතයේ සිට පැවති යහපත් ගුණ ධර්ම පිළිබඳ කිසිදු දැනුමක් ද ඔවුන්ට නොමැති විය. අතීතයේ පැවති විස්තාරිත පවුල (Extended family) තුළ වැඩිහිටි ප‍්‍රජාවගෙන් ලැබුණු සෙනෙහස හා ගුණ ධර්මයන් අපරිමිත ය.
එහෙත් අද පවතින තත්ත්වය මීට සපුරා වෙනස් ය. මේ නිසා පවුල් සංස්ථාවක් තුළින් දරුවකු ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර, ඔවුන්ට අවැසි සෙනෙහස රැකවරණය වැනි මානසික අවශ්‍යතා ද සම්පූර්ණ විය යුතු ය.
එසේ ම විවෘත ආර්ථිකය, පෞද්ගලීකරණය වැනි ආර්ථිකමය ලෝකයෙහි ඇති වූ වෙනසකම් ද ලාංකික සමාජයේ පැවති හර පද්ධතීන් කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ බව අවිවාදයෙන් පිළිගත යුතු ය.
වෙසෙසින් ම මෙවැනි වෙනස්වීම් හමුවේ ජන ජීවිතය තුළින් පැවති සදාචාර ගති පැවතුම් ගිලිහී ගොස් අපගමනීය චර්යා රටා වර්ධනය වූ බව නොරහසකි.
මුදලට තරග කරන සමාජයක් බිහි වූ අතර, පුද්ගලයාගේ මූලික හා එක ම අභිප‍්‍රාය වූයේ ද මුදල් ඉපයීම ය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ කුමන ප‍්‍රවේශයන් ද එය සමාජ සදාචාරයන්ට අනුකූල වේ ද යන්න පිළිබඳ සැලකිලිමත් නොවීම ද පැහැදිලිව දැකගත හැකි විය.
වර්තමාන සමාජය තුළ බටහිර සමාජ සංස්කෘතිකාංග මුල් බැස ඇත. මේ නිසා දේශීය චර්යාධර්ම පද්ධතියට සුවිශේෂී බලපෑම් ඇති වී ඇති බව ද පැහැදිලි ය.
බටහිර ඇඳුම් පැළඳුම්, විලාසිතාවන්ගෙන් පමණක් නොව, බටහිර සංගීතය, චිත‍්‍රපටි වැනි දේවල් තුළින් ද සමාජයේ පෙර පැවති චර්යා පද්ධතියට තීරණාත්මක බලපෑමක් ඇති බව මනාව ස්ඵුට වන්නකි.
කෙසේ වුව ද ලාංකික සමාජය තුළ බටහිර සංස්කෘතිකාංග ගිල ගැනීම කෙරෙහි ජනමාධ්‍ය හරහා ප‍්‍රබල බලපෑමක් ඇති ව තිබේ.
ඒ අතරින් රූපවාහිනිය ප‍්‍රමුඛ වී ඇති බව ද කිව යුතු ය. ජනමාධ්‍යයන් කි‍්‍රයාත්මක කළ යුත්තේ දේශීය සංස්කෘතිය තුළ පවත්නා චර්යා ධර්ම සුරකෙන ආකාරයට ය.
ගෝලීයකරණය
ගෝලීයකරණයේ විෂම බලපෑම් තුළින් ඉස්මතු වූ බල තණ්හාව හා අමානුෂික තරඟකාරීත්වය වැනි තත්ත්වයන් ද මෙතෙක් සමාජයේ අනුදත් මූලික සංස්කෘතික හරයන්ගේ බිද වැටීම කෙරෙහි බලපා ඇත.
අනෙක් අතට මෙමඟින් ආධ්‍යාත්මික පසුබටතාවය, චිත්තවේගී නොසන්සුන්කම වැනි දුර්විපාකයන්ගේ වර්ධනයක් ද සිදු වී ඇත.
තව ද මනුෂ්‍යයා තුළින් මිනිසත්කම ගිලිහී යාමේ අනතුරුදායක තත්ත්වයන් ද වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත් සමාජයක වෙසෙන සියලු පුද්ගලයින් එක හා සමාන නොවේ. විවිධාකාර කායික හා මානසික ශක්තීන්ගෙන් හෙබි පිරිසක් නිසා ඔවුනොවුන්ගෙන් විෂම වූ චර්යා රටාවන් අපේක්ෂා කළ යුතු ය.
එහෙත් සමාජයක පවතින චර්යා ධර්ම පද්ධතිය වෙනස්විය යුත්තේ පුද්ගලයා ගේ පෞද්ගලික ආශා හා අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීම සඳහා නොවේ. පුද්ගල සුභ සිද්ධියට හා සමාජ වෙනස්වීම්වලට කාලානුරූපීව ය.
මේ නිසා අද සිදුවන මෙම වෙනස්වීම හමුවේ අනාගතයේ මුහුණදිය යුතු අභියෝග රැසකි. පුද්ගලයා දැනුමින් හා ශ‍්‍රාස්තී‍්‍රය ඥානයෙන් පමණක් පරිපූර්ණ කිරීම ඵළදායක නොවේ.
අතීත සමාජය තුළ පැවති අගනාකම් මතුවට ද රැකගෙන පුද්ගලයා තුළ ආධ්‍යාත්මික ගුණ වගා කිරීම තුළින් සැබෑ සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ය.
චන්දිමා ජීවනී දැඩිගමුව

No comments: