Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 28, 2008

අන්තර්ජාතික ක්ෂමා සංවිධානය පොල්පොට්ට සුබ පැතුවා-මහින්ද සමරසිංහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති

වන්නියේ ආහාර ප‍්‍රශ්න ආදිය ගැන ක්ෂමා සංවිධානයේ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කෙසේද? මුදානොගත් ප‍්‍රදේශවල ජනතාවත්, එම ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවටත් ආණ්ඩුවෙන් සැපැයෙන සහන කවරේද? අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ කතා අප තේරුම් ගත යුත්තේ කවර ආකාරයෙන් ද යන්න පිළිබඳව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
වන්නියේ ජීවත්වෙන ජනතාවට කිසිම ආධාරයක් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයානොකරන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් අන්තර්ජාතික ක්ෂමා සංවිධානය චෝදනා නගනවා. මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විදියට ඔබටත් මේ චෝදනාවෙන් කොටසක් එල්ල වෙනවා නේද?
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ ප‍්‍රකාශය මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. කොටි සංවිධානයටත් යම් දෝෂාරෝපණයක් කරමින් ඔවුන් මේ උත්සාහ කරන්නේ වන්නියේ තියෙන තත්ත්වය ගැන යම් විකෘති කාරණයක් ලොවට ඉදිරිපත් කරලා රජයට චෝදනා කරන්නයි.
මේ වගේ ප‍්‍රකාශයක් අපක්ෂපාතිව කරන්න ක්ෂමා සංවිධානයට අවංක වුවමනාවක් තිබුණා නම් අපෙන් මේ ගැන විමසන්න තිබුණා. මගේ අමාත්‍යාංශයට හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ රජයේ වගකිවයුතු තැනකට කතා කරලා මේ ගැන විමසුවා නම් අපට නියම තත්ත්වය පැහැදිලි කරලා දෙන්න තිබුණා. ලෝකයට වගකියන ජාත්‍යන්තර සංවිධාන වැඩ කරන්නේ එහෙමයි.
කොහොමින් හරි ඒ නිවේදනයේ අඩංගු කරුණු ගැන ඔබගේ අවධානය යොමුවුණාද?
ඒ නිවේදනයේ තියෙන කරුණු බොහොමයක් සත්‍යයෙන් තොරයි. වන්නියේ අවතැන් වූවන් ලක්ෂ 3 ක් ඉන්න බව වාර්තාව කියනවා. මුළු වන්නියේම ජනගහනයවත් ලක්ෂ 2 කට වඩා නැහැ කියලා අපි දන්නවා.
වන්නියේ වැඩ කරපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් වගේම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයනුත් මේ සංඛ්‍යාලේඛන ගැන ඉතා හොඳින් දන්නවා.
ඒ සංඛ්‍යාලේඛන ඔවුන් නිල වශයෙන් පිළිඅරගෙනත් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ සොයා බලන ආයතනයත් එකතු කරගෙනයි, අපි සංඛ්‍යා ලේඛන නිකුත් කරන්නේ.
ඒක නිසා රජය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන නිවැරැදියි එවගේම ඒවා පිළිගැනීමට ජාත්‍යන්තර සංවිධාන බැඳී සිටිනවා.
ක්ෂමා සංවිධානය මේ ආකාරයෙන් ආණ්ඩුවට මඩ ගහන්නේ කාගේ හරි න්‍යාය පත‍්‍රයකට යටවෙලා ඔවුන්ගේ ලණුකාලා තමයි.
අවතැන් වූ ජනතාවට ආහාරපාන ලබාදීමට කි‍්‍රයාකරලා නැහැ. ඔවුන්ට වාසය කිරීම සඳහා තාවකාලික වාසස්ථාන (කූූඩාරම්, ටකරන්) වැනි දේවල් දීලා නැහැ කියලත් කියනවා නේද?
මමත් කියන්නම් එම ජනතාවට සෞඛ්‍ය පහසුකම් නැහැ. ආහාර යවන්නෙත් නැහැ කියලත් චෝදනා තියෙනවා. ක්ෂමා සංවිධානය මේ ආකාරයෙන් නිකරුණේ චෝදනා කරන්නේ කිසිදු වගකීමකින් තොරවයි.
ඒ අය නියම ආකාරයෙන් සොයා බැලුවා නම් නියම සංඛ්‍යා ලේඛන ඒ අයට ලැබෙනවානේ. වන්නියට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන්, ලෝක ආහාර සංවිධානයෙන් වාහන බඩු අරගෙන හය ගමනක් ගියා.
ගිය වාහන සංඛ්‍යාව 300 කට වැඩියි. ඊට අමතරව දිසාපති කාර්යාලයේ වාහන වගේම ආධාර ලබාදෙන වෙනත් සංවිධානවලින් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යවලා තියෙනවා.
රජයෙනුත් විශාල වශයෙන් ආධාර ලබා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පමණක් මෙටි‍්‍රක් ටොන් 2500 කට වඩා ආහාර ඇතුළු ආධාර වන්නියට මේ වනවිට යවලා තියෙනවා.
ඊට අමතරව හැමදාමත් වාණිජ අංශවලිනුත් ආහාර නොවන අත්‍යවශ්‍ය භාණ්ඩත් යවලා තියෙනවා. දිසාපතිවරුන් මාර්ගයෙන් හිඟයක් ඇති නොවන ආකාරයට ආහාර ගබඩා කිරීමටත් පියවර ගත්තා.
ක්ෂමා වාර්තාවේ මේවා ගැන කිසිම සඳහනක් නැහැ. මෙතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ජනතාවට කන්න නැහැ. බොන්න නැහැ ඔවුන් මැරෙනවා කියලා බොරු ප‍්‍රචාර ගෙන යන ක්ෂමා සංවිධානය ගැන අපිත් කනගාටු වෙනවා.
වන්නිය අරාජික වෙලා. ඒ ගැන ශ‍්‍රී ලංකා රජය කිසිම අවධානයක් යොමුකරලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයයි කියන එකයි ක්ෂමා සංවිධානය ඔය නොකියා කියන්නේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මේ ප‍්‍රකාශය තරයේ හෙළා දකිමින් දැනටමත් අපි නිවේදනයක් නිකුත් කරලා අවසන්.
මේ ගෙන යන බොරු ප‍්‍රචාර බොරුනම් ඒ සම්බන්ධයෙන් ජගත් ප‍්‍රජාව දැනුවත් කිරීමේ යම්කිසි වැඩපිළිවෙළක් ගැන ආණ්ඩුවේ අවධානය යොමුවෙලා නැද්ද?
මගේ ප‍්‍රධානත්වයෙන් මාසෙකට සැරයක් රැස්වෙන මානුෂීය ආධාර ලබාදීමේ සම්බන්ධීකාරක රැස්වීමේදී මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කළා. ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් තමයි මේ මානුෂික ආධාර ලබාදෙන්නේ.
ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින්, විවිධ රටවල තානාපතිවරුන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් මේ රැස්වීමට සහභාගි වෙලා හිටියා. මේ සියලුදෙනා ඉදිරිපිටදී ක්ෂමා සංවිධානයේ නිවේදනය ගැන රජයේ ස්ථාවරය අපි පැහැදිලි කළා.
ක්ෂමා සංවිධානයේ නිවේදනය ගැන රජයේ ස්ථාවරය ප‍්‍රකාශ කළ විට එම ජගත් නියෝජිතවරුන්ගෙන් හා තානාපතිවරුන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර මොනවාද?
එම අන්තර්ජාතික නියෝජිතයන් හා තානාපතිවරුන් කිව්වේ ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිගන්නවා කියලයි. වන්නියේ ආහාර හිඟයක් නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතයන් කිව්වා.
මීට දින කිහිපයකට කලින් එක්සත් ජාතීන්ගේ නිලධාරින් වන්නියට ගිහිල්ලා සකස් කළ වාර්තාව කිව්වේත් වන්නියේ ආහාර හිඟයක් නැහැ. ප‍්‍රමාණවත් ආකාරයෙන් ජනතාවට ආහාර ලැබෙනවා කියලයි.
ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෙහෙත් වර්ග විශාල ප‍්‍රමාණයක් වන්නියට යවා තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිඅරන් තියෙනවා. සෙවිලි තහඩුවල යම් අඩුවක් තියෙන්න පුළුවන් නිසා ඒවා වැඩිපුර අවශ්‍ය බව එක්සත් ජාතින්ගේ නියෝජිතයන් දන්වා තියෙනවා.
ඒ ගැන රජයේ අවධානය යොමුවී තිබෙන අතර ඊට විකල්පයක් වශයෙන් පොල් අතු යැවීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. අපේ සංස්කෘතියටත් හුඟක් සමීප පොල් අතු වගේ දේවල් ඇඟටත් සනීපයි. ඒකට අවතැන් වී සිටින ජනතාවත් කැමැතියි.
ක්ෂමා සංවිධානය මේ ආකාරයෙන් කි‍්‍රයාකරනවා නම් ඒක ඉතා බරපතළ තත්ත්වයක්. මෙවැනි දෙයක් කරන්න ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට තිබෙන වුවමනාව මොකද්ද?
මම මෙහෙම ප‍්‍රශ්නයක් අහන්නම්. අද වෙනකොට අමෙරිකාව ඉරාකයට ගිහිල්ලා අවුරුදු ගණනක්. ඒ පැමිණීම ගැන අමෙරිකාව නොයෙක් නොයෙක් තර්ක ඉදිරිපත් කරනවා.
එහෙත් ඇත්තටම අමෙරිකාව ඉරාකයට ගියේ මොකටද කියන එකට තවම නියම උත්තර හොයාගන්න බැහැ. රුසියාව ඇෆ්ගනිස්ථානයෙන් පන්නලා දාලා අමෙරිකාව, බි‍්‍රතාන්‍ය වැනි රටවල් ඇෆ්ගනිස්ථානයට ආවා.
ඒ රටවල් ඇෆ්ගනිස්ථානයට ආවේ ඇයි කියන ප‍්‍රශ්නයටත් අද වෙනතුරු උත්තර හොයාගන්න බැහැ. තවමත් උත්තර හොයාගන්න බැරිවුණු ලොකු ලොකු වැඩසටහන්වලට ලෝක බලවතුන් යම් යම් ආකාරවලින් සම්බන්ධයි.
අපි වගේ පුංචි රටවල් බලවත් රටවල් ඒ වැඩසටහන්වලට සමහර අවස්ථාවල සම්බන්ධ කරගන්නවා. ඒවාට විවිධ න්‍යායපත‍්‍ර තියෙනවා.
ක්ෂමා සංවිධානය කියන්නේ වසර ගණනාවක් මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තරව කටයුතු කරන සංවිධානයක්. සමහර අවස්ථාවලදී එම සංවිධානය ගත්තු තීරණ නිවැරැදි අතර සමහර අවස්ථාවලදී ගත්තු තීරණ වැරැදියි.
හාවඩ් විශ්වවිද්‍යාලයේ එක්තරා කණ්ඩායමක් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ගැන සමීක්ෂණයක් කළා. පොල්පොට් කාම්බෝජයේ පාලන බලය ගත්ත වෙලාවේ ක්ෂමා සංවිධානය ඔහුට සුබ පතලා විදුලි පණිවිඩයක් එවලා තියෙන බව ඒ සමීක්ෂණයෙන් හෙළිවුණා.
පස්සේ පොල්පොට් දැඩි ඒකාධිපතියෙකු වෙලා කාම්භෝජයේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා. පොල්පොට් හොඳ පාලකයෙක් කියලා අද කවුරුවත් කියන්නේ නැහැනේ.
ඔහු වගේ කෙනෙකුට සුබ පැතීම ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද මොනවාද? කියන්නේ කියලත් බොහෝදෙනෙක් දැනගන්න කැමැතියි.
ජනාධිපතිතුමාගේ විදේශ ප‍්‍රතිපත්තිවල රටට වාසිදායක කරුණු රැසක් තිබෙන බව ඔබ කිව්වා. මේ තත්ත්වය ඉදිරි කටයුතුවලට කොහොම බලපායිද?
අපි යන මාර්ගය තේරුම් අරගෙන අපට සහායදෙන රටවල් රැසක්ම මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න බව යුරෝපා සංගමයත් දන්නවා.
සාක් කලාපයේ සභාපතිතුමා හැටියට අපේ ජනාධිපතිතුමාට සුවිශේෂි ස්ථානයක් හිමිවෙලා තියෙනවා.
සාක් කලාපය රටවල් සමඟ පෙරටත් වඩා සමීප සබඳතාවක් ගොඩනංවා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. චීනය, මැදපෙරදිග, ඉන්දියාව, පාකිස්තානය, බටහිර රටවල්, යුරෝපා රටවල් සමඟ අපි දැඩි මිත‍්‍රත්වයකින් කටයුතු කරනවා. තමිල්නාඩුව කළ බලපෑම් ඉන්දීය මධ්‍යම රජය එතරම් ගණන් ගන්නේ නැහැ.
ඒක ඉදිරියටත් එහෙමයි. ඒකට හේතුව ජනාධිපතිතුමාත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහත්තයත් ඉන්දියාවට ගිහිල්ලා වන්නියේ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබාදුන් නිසයි.
ඒ කරුණු ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහං සිං මහතාත් පිළිගත්තා. ත‍්‍රස්තවාදය පරාජය කරන ගමන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට ගෙන ඇති පියවර ගැන ඉතා හොඳින් ඉන්දියාව දැනුවත් කිරීමටත් රජය පියවර ගත්තා.
ඒ දැනුවත් කිරීම් ගැන ඉන්දියාව සෑහීමකට පත්වෙලා තියෙනවා. ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකාවේ නායකයින් වගේම ඉන්දියාවේ නායකයනුත් රැවැට්ටුවා. ඝාතනය කළා.
ඒක නිසා පෙර කළ වැරැදි කරන්න ඉන්දියාව කටයුතු නොකරන බව හොඳටම විශ්වාසයි.
මේ කරුණු හොඳින් ගෙන ලෝකයත් සමඟ සහයෝගයෙන් වැඩකරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැනි නායකයෙකු අපට සිටීම ගැන ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලුදෙනාම ආඩම්බර විය යුතුයි.
සාකච්ඡා කෙළේ,ඩබ්ලිව්.කේ. ප‍්‍රසාද් මංජු

No comments: