Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කොට ගෙන ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසැඳුමක් දෙනවා - විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ත‍්‍රස්තවාදයෙන් රට මුදවාගෙන ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට රජය කැපවී සිටින බව විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප‍්‍රකාශ කෙළේය.
මේ පිළිබඳ ජාත්‍යන්තරය දැනුම්වත් කොට ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපයට හානිකර විදේශයන්හි ගෙන යන වැරැදි ප‍්‍රචාර නිවැරැදි කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය ඉහළ මැදිහත්වීමක් සිදු කරන බවද ඇමැති බෝගොල්ලාගම මහතා කීවේය.
විදේශ කටයුතු සහ විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමැති බෝගොල්ලාගම මහතා මේ බව ප‍්‍රකාශ කෙළේය.
වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කථානායක වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (18) පෙරවරු 9.30 ට රැස්විය.
වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත 2009 (අයවැය) කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු කාරක සභාව වශයෙන් රැස්විණි.
විදේශ කටයුතු, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන, කම්කරු සබඳතා හා මිනිස්බල යන අමාත්‍යාංශ වැය ශීර්ෂ සාකච්ඡාවට ගැනිණි.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා (එ. ජා. ප.)
අද දින විවාදයට ගැනෙන මේ එක් එක් වැය ශීර්ෂවලින් රුපියල් 10 බැගින් කපා හැරිය යුතු බව යෝජනා කරනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් මුල් මාස 6 තුළම අවසන් වූ බව මාධ්‍ය වාර්තා කොට තිබුණා. විදේශ කටයුතු ඇමැතිවරයා කොතරම් විදේශ සංචාරවලට සහභාගි වුණත් කමක් නැහැ. එහෙත් එම සංචාරවලින් රටට යහපතක් සිදු විය යුතුයි.
අපේ රටට වැදගත්ම රට ඉන්දියාව බවයි අපේ ආණ්ඩු කාලයේ සැළකුවේ. ඉන්දියාවෙත් නවදිල්ලියට වඩා දකුණු ඉන්දියාව අපට වැදගත්. මේ ආණ්ඩුව නවදිල්ලිය සමඟ සබඳකම් පැවැත්වුවත් දකුණු ඉන්දියාව අතහැර දමලා.
දකුණු ඉන්දියාවට පසුගිය කාලයේදී එක ඇමැතිවරයෙක්වත් ගියේ නෑ.
ඇමැති අනුර යාපා මහතා
අපි කිහිපවරක්ම ගියා. බොරු කියන්න එපා.
ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා
කේන්ද්‍ර බලාගන්න යන්න ඇති.
අනුර යාපා මහතා
ඔබතුමාගේ ඇඟිල්ලේ තිබෙන මුද්ද කව්ද දුන්නේ.
ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා
එල්. ටී. ටී. ඊ. සංවිධානය වැඩියෙන්ම පහර දුන්නේ එක්සත් ජාතික පක්‍ෂයටයි. ඒත් මේ හේතුව නිසා අපි කියන්නේ නෑ දේශපාලන විසඳුමක් දෙන්න එපා කියලා. මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.
විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා
රටේ වැදගත් අමාත්‍යාංශයක් වන විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු ගැන විපක්‍ෂය අවධියෙන් සිටිය යුතුයි. එහෙත් එවැන්නක් කිරිඇල්ල මහතාගේ මේ කතාබහෙන් පෙන්නුම් කළේ නෑ.
ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය රටට හිතකර අයුරින් අපේ රජය කි‍්‍රයාත්මක කරනවා.
2005 දී ඉදිරිපත් කළ මහින්ද චින්තනයේ අපේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතා පැහැදිලිව සඳහන් වුණා. ත‍්‍රස්තවාදය වළක්වන්නේ මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමටයි.
මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව රජය පැහැදිලිව ප‍්‍රකාශ කරනවා.
අප කිසිම දෙයක් හංගන්නෙ නෑ. අපි ත‍්‍රස්තවාදය පැහැදිලිවම හඳුනාගෙන තිබෙනවා. මේ ත‍්‍රස්තවාදය විනාශ කොට ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙනවා. මේ බව ජාත්‍යන්තරයටත් කියා තිබෙනවා.
ඉන්දියාව ඇතුළේ තමයි දකුණු ඉන්දියාව තිබෙන්නේ. දකුණු ඉන්දියාව කියලා වෙනම රටක් නැහැනේ.
කරුණානිධිට නොවේ ඕනෑම නායකයකුට මෙරටට පැමිණෙන ලෙස අපට ආරාධනා කළ හැකියි. එහි ඇති වරදක් නෑ.
විදේශ කටයුතු අමාත්‍යංශයට වෙන් කළ මුදල්වලින් අප රටට ප‍්‍රතිලාභ අත්කර දෙනවා. පරිපූරක ඇස්තමේන්තුවකින් මුදල් ලබා ගත්තේ “සාර්ක්” සමුළුවටයි. විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහළ මූල්‍ය කළමනාකරිත්වයකින් මේ මුදල් වැය කරන්නේ. නිකරුනේ එල්ල කරන චෝදනා පිළිගන්න බෑ.
ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා නියෝජ්‍ය විදේශ ඇමැති තනතුරේ සිටියදී විදේශ සංචාරවලට සහභාගි වුණේ නැද්ද? එදා අද තරම් විදේශ සමුළු තිබුණෙත් නෑ.
අපේ ජනාධිපතිතුමා එංගලන්තයේ ගෝඩ්න් බ‍්‍රවුන් අගමැතිතුමා ඇතුළු ඉහළම පෙළේ රාජ්‍ය නායකයන් පසුගිය කාලයේ හමුවුණා. එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වුණා. මේ වායෙන් රටට අත්වන ප‍්‍රතිඵල මූල්‍යමය වශයෙන් මනින්නට බැහැ.
මං පසුගිය කාල සීමාව තුළ අටවතාවක් ඉන්දීය විදේශ ඇමැතිතුමා හමුවුණා. දකුණු ඉන්දියාවට මට හෙට වුණත් යන්න පුළුවන්.
එල්. ටී. ටී. ඊ. සංවිධානය හා රජය සම තත්ත්වයට ගෙන ආවේ එක්සත් ජාතික පක්‍ෂයයි. එල්. ටී. ටී. ඊ. ය මෙතරම් ප‍්‍රබල වුණේ එ. ජා. ප. යේ සටන් විරාම ගිවිසුම නිසයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග ඇරඹි සාම සාකච්ඡා අසාර්ථක වූ අයුරු විපක්‍ෂයට අමතක වෙලා.
එක් පැත්තකින් සාම සාකච්ඡා පවත්වමින් අනෙක් අතින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමට එල්. ටී. ටී. ඊ. ය උත්සාහ කළා. මේ නිසා තමයි ත‍්‍රස්තවාදය විනාශ කොට දමා දේශපාලන විසඳුමක් කරා යාමට රජය තීරණය කළේ’ අද මේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ මෙහෙයුම ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වෙනවා.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපයට හානි කිරීම සඳහා අපේ රටට එරෙහිව විදේශයන්හි ගෙන යන ප‍්‍රචාර අපට ඉතා අහිතකර ලෙස බලපානවා.
එහෙත් මෙම අසත්‍ය ප‍්‍රචාර නිවැරදි කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය වශයෙන් අපි ඉහළ මට්ටමින් මැදිහත් වෙනවා.
2005 දී අපේ රජය බලයට පත්වීමෙන් පසු අපේ රටේ ජාතික ප‍්‍රශ්නය විසැඳීමට ක‍්‍රමානුකූලව කටයුතු කරමින් සිටිනවා. එදා සටන් විරාම ගිවිසුම හරහා අපට අහිමි වූ ප‍්‍රදේශ නැවත අප රටට ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මූලාසනයට පැමිණියේය
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජිනදාස කිතුලෙගොඩ මහතා (ජ. වි. පෙ.)
අපගේ රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන්නෙ විදේශ රැකියාවන්හි නිරත ශ‍්‍රමිකයන්. මේ අයගෙන් බහුතරය ගෘහසේවිකාවෝ.
දහසය ලක්‍ෂයකට අධික පිරිසක් විදේශ රැකියාවන්හි නිරත වෙනවා. මේ අයගෙන් බහුතරය පුහුණු ශ‍්‍රමිකයන් නොවෙයි. ගෘහ සේවිකාවන්ට විශේෂ පුහුණුවක් අත්‍යවශ්‍ය නොවන නිසා වැඩිපුර විදේශ ගත වෙන්නෙ ගෘහ සේවිකාවො.
ඒ වගේම ගෘහසේවිකාවන් ලෙස යන බහුතරය දිළිදු පවුල්වල අය. මේ අය විදේශ ගතවෙලා විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ප‍්‍රශ්නවලට මුහුණදෙන මේ අය යන්න ඕනෙ කොහේටද, කියන්න ඕනේ කාටද යන අවබෝධයවත් නැහැ. මේ අය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක විය යුතුයි.
ඇතැම් ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් ඒ ඒ රටවල් විසින් අත්අඩංගුවට ගන්නවා. හිරගෙවල්වල දානවා. හාම්පුතුන් විසින් වද දෙනවා. මේවා ගැන තානාපති කාර්යාල නිසි මැදිහත්වීමක් කරන්නේ නැහැ. 2008 ජූලි වන විට ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 1560 දෙනෙක් විවිධ රටවල සිරගෙවල්හි සිර දඬුවම් විඳිනවා.
විදේශ රැකියාවලට යන ශ‍්‍රමිකයන්ට විධිමත් පුහුණුවක් ලබාදිය යුතුයි. ඒ වගේම රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍යයයි. ඒ වගේම විවිධ රටවල සේවය කරන ශ‍්‍රමිකයන්ගෙ ගැටලු අවම කිරීම සඳහා මාස 3 – 4 කට වරක් තානාපති කාර්යාල විසින් මහජන දින පැවැත්විය යුතුයි.
කුවේට් වන්දි විධිමත් ලෙස ගෙවා අවසන් කර නැහැ. ගෘහසේවිකාවන්ගෙන් මිදිය යුතු කාලය ඇවිල්ලා. විදේශ වෙළෙඳ පොළට පුහුණු ශ‍්‍රමිකයන් යැවිය යුතුයි. අපේ රටේ තිබෙන කාර්මික විද්‍යාලවලින් පුහුණු ශ‍්‍රමිකයින් බිහිකළ හැකියි.
එය විරැකියාවටත් පිළියමක්. ඒ වගේම එක් එක් රටවලින් ඉල්ලා සිටින්නෙ එක් එක් වෘත්තීන්වලට අදාළ ශ‍්‍රමිකයන්. ඒ නිසා ඒ කෙරෙහිත් රජයේ අවධානය යොමුවිය යුතුයි. විදේශ රැකියා වන්ට ශ‍්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන්
අදාළ අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට එළඹිය යුතුයි.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා (ජ. නි. පෙ.)
පසුගිය කාලයේ දී අපගේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා. ඇතැම් දේශපාලන නායකයන් අපගේ රටේ විදේශ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළේ තම දේශපාලන මතයට අභිමත පරිදි.
එහි වාසි සහ අවාසි යන දෙකම තිබුණා.
උදාහරණයක් ලෙස බණ්ඩාරනායක මැතිනියගේ විදේශ ප‍්‍රතිපත්තිය හදුන්වන්නට පුළුවන්. එතුමිය චීනය සමඟ ගනුදෙනු කළ ආකාරයට නෙවෙයි, සෝවියට් දේශය සමඟ ගනුදෙනු කෙළේ.
චීනය සමඟ එතුමියගේ තිබුණු සම්බන්ධතා සහ විදේශ ප‍්‍රතිපත්තිය නිසා කැලණිය ටයර් කම්හල, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාව වගේ දේවල් ලැබුණා. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විදේශ ප‍්‍රතිපත්තිය ඊට වෙනස්.
ඔහු බටහිරට ගැති ලෙස කටයුතු කළා. අපට සමීප ඉන්දියාව ඈත් කළා. මෙවැනි වැරදි ප‍්‍රතිපත්ති නිසා අදටත් වන්දි ගෙවන්නෙ උතුරෙ සහ දකුණේ ජනතාව.
එහෙත් රටක විදේශ ප‍්‍රතිපත්තිය අතිශය වැදගත්. කිරිඇල්ල මහතා කියන ආකාරයට දිල්ලියට හොරෙන් තමිල්නාඩුව සමඟ ගනුදෙනු කරන්නට බැහැ. එක්සත් ජනපදයට ශී‍්‍ර ලංකාව ඉතා වැදගත්. එක්සත් ජනපදය ඉන්දියාවත් පාවිච්චි කරමින් ලංකාවේ ප‍්‍රශ්නයට අතපොවමින් සිටිනවා.
ලෝක බලතුලනය පිළිබඳ අවබෝධයක් සමඟයි අප රටවල් සමඟ ගනුදෙනු කළ යුත්තෙ. එමෙන්ම අතීතයට වඩා වර්තමානය තුළ අපගේ විදේශ ප‍්‍රතිපත්තියෙ සාර්ථකත්වයක්, ප‍්‍රායෝගික බවක් දක්නට ලැබෙනවා.
විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා
රටේ පවතින තත්ත්වයන් හා ලෝක තත්ත්වය බැලුවත් විදේශ සේවය ඉතා වැදගත්. ඒ වගේම විදේශ ශ‍්‍රමිකයන් අතිශය වැදගත්. විශේෂයෙන්ම මේ පිළිබඳ නිවැරැදි අවබෝධයකින් යුතුවයි වෙනමම අමාත්‍යාංශයක් ලෙස විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළේ, එ. ජා. ප. යත් මේ ගැන අවබෝධ කරගෙන ඉන්නවා.
ඒ නිසයි ඒ අයගේ ඡායා කැබිනට් එකටත් විදේශ රැකියා අමාත්‍යාංශයත් ඇතුළත් කර තිබෙන්නෙ. ඒ වගේම විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන තුනක විදේශ විනිමයක් අප මේ වසරේ අපේක්‍ෂා කරනවා.
විදේශ රැකියා සම්බන්ධයෙන් කතා කරන විට සුබසාධනයත් කතා කළ යුතුමයි. විදේශ රැකියා සම්බන්ධයෙන් මේ වන විට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර අවසන්.
ජාතික ප‍්‍රතිපත්තියක් මෙතෙක් කි‍්‍රයාත්මක වූයේ නෑ. මේ ප‍්‍රතිපත්තිය හරහා විදේශ රැකියාවලට අදාළ සෑම ක්‍ෂේත‍්‍රයක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා.
කුවේට් වන්දි සිද්ධිය විශාල ප‍්‍රශ්නයක් බවට පත්වුණා. මේ වැඩපිළිවෙළ අංගසම්පූර්ණ නොවුණත් අවසන් විය යුතුයි කියා අප විශ්වාස කළා. කුවේට් වන්දි සිද්ධිය ලබන වසරට ඉතිරි කරන්නෙ නෑ.
මේ ප‍්‍රශ්නය අවුරුදු 15 කට අධිකයි. විශේෂයෙන්ම ඉතිරිවෙලා තිබූ මුදල් ඉල්ලුම්කර සියලු පිරිසට සම සමව බෙදා දෙන්නට පියවරගෙන තිබෙනවා.
නව වෙළෙඳපොළ හදුනා ගැනීම, ශ‍්‍රමිකයන් පුහුණුකිරීම ආදියත් ජාතික ප‍්‍රතිපත්තියට ඇතුළත්.
පෝලන්තය, ලිබියාව, රුමේනියාව වැනි රටවල් සමඟ මෙන්ම කැනඩාව, ජපානය යන රටවල ශ‍්‍රම වෙළෙඳපොළටත් අප මේ වන කොට ඇතුළත්ව සිටිනවා. මේ වෙළෙඳපොළට මාසෙන් දෙකෙන් ඇතුළු වෙන්න බැහැ. සාකච්ඡා කරන්න ඕනෑ.
වෙළෙඳ පොළ හදුනා ගන්න ඕනෑ. අපි මැදපෙරදිගට පමණක් සීමා වෙලා නැහැ. නව වෙළෙඳපොළවල් හදුනාගෙන ඊට ඇතුළු වී තිබෙනවා.
ජනාධිපතිතුමාත් විශ්වාස කරනවා විදේශ ගතවන ශ‍්‍රමිකයන්ගෙන් කාන්තාවන් ප‍්‍රමාණය අඩුකළ යුතුයි කියලා. ඒ අනුව මේ වෙනකොට ගිය වසරේදී 62%ක් වූ කාන්තා ශ‍්‍රමික වෙළෙඳ පොළ 48% දක්වා අඩුවෙලා තිබෙනවා.
ඒ වගේම විදේශ රැකියාවලට යන පිරිමි ශ‍්‍රමිකයන් පිරිස වැඩිවෙලා තියෙනවා. පිරිමි ශ‍්‍රමිකයින් වැඩි වැඩියෙන් විදේශගතවීමත් සමඟ අපගෙ රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය 20%න් වැඩිවෙලා.
ගිය වසරේදී කොරියා රැකියාවලට 2750කට වැඩි පිරිසක් ගියා. මේ වසරේදී ඊට වැඩි පිරිසක් යනවා. වංචනික තැරැව්කරුවන් මේ කර්මාන්තයට අදාළව සිටිනවා.
විශේෂයෙන්ම මෙවැනි කි‍්‍රයා පාලනය කිරීම වෙනුවෙන්ද අපි පියවර ගන්නවා.
ඒ වගේම අපගේ සේවකයන් රක්‍ෂණය කර තිබෙන්නෙ සේවා කාලය තුළ පමණයි.
නමුත් කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ක ගිවිසුම් අස්සන් කරනවා, අපගේ ශ‍්‍රමිකයන් පැය විසිහතර තුළ රක්‍ෂණය කිරීමට. ලබන වසරේ මුල් කාර්තුව වන විට මේ හැම රටක් සමඟම මෙම ගිවිසුම අස්සන් කළ හැකියි.
ජෝන් අමරතුංග මහතා
එහෙත් ඒ රටවල්හි ඇතැම් රක්‍ෂණ සමාගම් මීට එකග නැහැ.
රඹුක්වැල්ල මහතා
නැහැ. එය අනිවාර්යයෙන්ම අපේ ශ‍්‍රමිකයන්ට පැය 24 තුළ රක්‍ෂණ ආවරණය ලබාදිය යුතුයි. ඒ නිසයි අපි එක් එක් රටවල් සමඟ මීට අදාළ ගිවිසුම් අස්සන් කරන්නෙ.
රේණුකා හේරත් මහත්මිය
අපේ ශ‍්‍රමිකයන් වෙනුවෙන් සේවය කිරීමට සිටින සේවක පිරිස ප‍්‍රමාණවත්ද?
රඹුක්වැල්ල මහතා
නැහැ. ඇත්තටම ප‍්‍රමාණවත් නෑ. ඒ නිසා මෙයට අදාළව අවශ්‍ය නිලධාරීන් බඳවා ගන්නට අපි අදාළ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ලබන වසර වන විට විදේශ රැකියා සඳහා පිටත්ව යන ගෘහ සේවිකාවන් ප‍්‍රමාණය 27% දක්වා අඩුකරනවා.
නන්දන ගුණතිලක මහතා
රටට විදේශ විනිමය වැඩියෙන්ම රටට ගෙනැවිත් දෙන අයට මීට වඩා සැළකිය යුතු නැද්ද?
රඹුක්වැල්ල මහතා
අනිවාර්යෙන්ම පිළිගන්නවා. අප ඔක්කොම මේ ක්‍ෂේත‍්‍ර ගැන එක තැනක ඉන්නෙ. අපේ ආර්ථිකයේ ප‍්‍රබල කොටස්කරුවන් ගැන පාර්ලිමේන්තුව එකම තැනක සිටීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
තංගේෂ්වරී කදිරගාමර් මෙනෙවිය
උතුරු, නැඟෙනහිර අයට කොරියාව වැනි රටවලට යාමට අවස්ථාවක් දෙන්න බැරිද?
රඹූක්වැල්ල මහතා
නඟෙනහිර මධ්‍යස්ථාන තුනක් විවෘත කර එහි තරුණ තරුණියන්ට මේ අවස්ථාව ලබාදීම සඳහා විශේෂයෙන් කටයුතු කරගෙන යනවා.
කොරියානු භාෂා විභාගයට පුහුණු කරන්නේ සිංහල අයයි. ද්‍රවිඩ භාෂාවෙන් කොරියානු භාෂාව උගන්වන අය අපට අවශ්‍යයි. විභාගය පවත්වන්නේ ද කොරියාවෙන් පැමිණෙන අයයි.
හැම කෙනෙක්ම සහභාගිත්වයෙන් අදාළ විෂයය ගැන සංවාදයක යෙදීමට අවස්ථාව ලැබුණා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
මඩකළපුව දිස්ති‍්‍රක් මන්ති‍්‍රනී කේ. තංගේශ්වරී මහත්මිය (දෙ. ජා. සං.)
නැඟෙනහිර පළාතේ අද රැකියා ප‍්‍රශ්නය උග‍්‍ර තත්ත්වයකට පත්වෙලා. තරුණ තරුණියන් 37,000ක් පමණ රැකියා විරහිතව සිටිනවා.
අපේ ප‍්‍රදේශවල පවතින යුද්ධය මේ රැකියා ප‍්‍රශ්නයට හේතුවී තිබෙනවා. විදේශ රැකියා සඳහා යෑමට ඇති ඉඩකඩත් ඔවුන්ට අහිමි වී තිබෙනවා. නැඟෙනහිර පළාතේ තිබූ කර්මාන්ත ශාලා වැසී යෑම මීට හේතුවයි.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්ති‍්‍රනී රේනුකා හේරත් (එ. ජා. ප.) මහත්මිය මූලාසනයට පැමිණියාය
රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දුනේෂ් ගන්කන්ද මහතා (එ. ජා. ප.)
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් වැය කිරීමේදී ප‍්‍රමුඛතා ලබාදී තිබෙන්නේ විදේශ තානාපති කාර්යාල වැනි අංශ දියුණු කිරීමටයි. මානව සම්පත් දියුණු කිරීම සඳහා මේ මුදල් යොදවන ආකාරයක් දක්නට නැහැ. මේ නිසා රටට අවාසි සහගත තත්ත්වයක් උදාවී තිබෙනවා.
අපේ රටට ජී. එස්. පී. සහනය අහිමි වීම ගැන විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී නැහැ.
විදේශ කටයුතු අමාත්‍යංශය අපගේ ආර්ථිකයට බලපාන කරුණු පිළිබඳ උපාය මාර්ගික සැළැස්මකට අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන්නේ. මේ රටේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ද විශාල වගකීමක් විදේශ අමාත්‍යාංශයට තිබෙනවා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එ. ජා. ප.)
අපට ලැබී ඇති තොරතුරු අනුව විදේශ අමාත්‍යාංශයට පසුගිය කාලයේදී වෙන් කළ මුදල් නිසි පරිදි යොදාගෙන නැහැ. එසේ නැතිනම් අනවශ්‍ය කටයුතු සඳහා තමයි යොදාගෙන තිබෙන්නේ. රටේ ප‍්‍රතිරූපය ලොවට ගෙන යන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. මේ නිසා විදේශ අමාත්‍යාංශයේ වැඩ කටයුතු
රටට තීරණාත්මක ලෙස බලපානවා. සමහර තානාපතිවරුන් අවුරුදු අසූවක් පමණ වයසයි. සමස්තයක් ලෙස හැත්තෑවට වැඩියි. ලන්ඩනයේ මහකොමසාරිස්වරිය විශිෂ්ට සේවයක් කළා. සාර්ක් සමුළුවට මිලියන තුන්සියයක් වියදම් කළා.
බෝගොල්ලාගම
වියදම් මේ සභාවට තවම ඉදිරිපත් කර නැහැ. ඉදිරිපත් කළ විට වියදම් දැනගත හැකිවේවි.
අමරතුංග මහතා
රාජ්‍ය සේවය හා විදේශ සේවය ඒකාබද්ධ කරන්න එපා.
උඩවත්තේ නන්දහිමියෝ මුලසුනට වැඩම කරති.
කම්කරු සබඳතා හා මිනිස්බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා
අයවැයෙන් පෞද්ගලික අංශයට පඩි වැඩිකර නැති බව සමහර වෘත්තීය සමිතිවලට සම්බන්ධ මන්තී‍්‍රවරුන් ප‍්‍රකාශ කළා. රාජ්‍යසේවක පඩි වැඩි කිරීමට සිටින්නේ එකම ස්වාමියායි.
ඒ රජයයි. එහෙත් පෞද්ගලික අංශයේ ස්වාමිවරුන් ලක්‍ෂ ගණනක් සිටිනවා. ඒ නිසා එක්වර එකම ප‍්‍රමාණයකින් පඩි වැඩි කරන්න බැහැ. එබැවින් පඩි පාලන සභා, සාමූහික ගිවිසුම් වැනි ක‍්‍රම මගින් පඩි වැඩි කරනවා. පසුගිය අවුරුදු තුනේදී රාජ්‍ය අංශයේ කවදාවත් නැති පරිදි සියයට 80ක් පමණ ප‍්‍රමාණයකින් පඩි වැඩි කළා.
මේ රජය කම්කරු හිතෙෂීයි. එබැවින් මාසයකට වරක් වෘත්තීය සමිති කැඳවා ජනාධිපතිතුමා සාකච්ඡා කරනවා. එසේ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ සුහදව කටයුතු කළ වෙනත් ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ.
පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට අවම වැටුප තිබුනෙ රුපියල් පන්දහසයි. නමුත් අද එය වැඩිකර තිබෙනවා. සමහර සමාගම් රුපියල් පන්දහසේ සිට විසිදහස දක්වා වැඩිකරපු පෞද්ගලික ආයතනත් තිබෙනවා.
අපි කම්කරු අමාත්‍යාංශය ලෙස කම්කරු ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම සාමූහික ගිවිසුම් අලුත් කිරීම කෙරෙහිත් අප අමාත්‍යාංශයෙහි අවධානය යොමුවී තිබෙනවා. ජීවන වියදම සළකා බලා තමයි අපි ජනතාවට වැටුප් වැඩි කරන්නෙ.
ජී. එස්. පී. සහනය ගැන ආන්දෝලනයක් තිබෙනවා. ඒ වගේම ජී. එස්. පී. සහනය ලබාදීම වැළැක්වීමට විපක්‍ෂ නායකයා කටයුතු කරනවා. ඒ සහනය නතර කරන ලෙස වෘත්තිය සමිතිත් ලිපි ලියලා.
එජාපය බලාගෙන ඉන්නෙ මේ රටේ ආර්ථිකය කඩාවැටෙනතුරු. මේ අය ලෝකෙ වටේ විවිධ ප‍්‍රචාර ගෙනයනවා. ජී. එස්. පී. සහනය නතර කරන්නට මේ අය උත්සාහ දරන්නෙ කොටි සංවිධානයට සහය ලබාදීමේ අරමුණින්.
කොටි වගේ නෙවෙයි. අපි පිළිගත්ත රජයත්, අපට ඉන්නෙ පිළිගත්ත හමුදාවක්. කොටි වගේ අපි ළමා සොල්දාදුවො බඳවාගෙන නැහැ.
සේවක අර්ථසාධක අරමුදලට වසර පනහක් ගතවෙනවා. ඒ වෙනුවෙන් විවිධ ව්‍යාපෘතින් අපි ආරම්භ කර තිබෙනවා.
අද වෙනකොට වෘත්තිය කි‍්‍රයාමාර්ග, වෘත්තීය සමිති අරගල අවම වෙලා තිබෙනවා. එයට හේතුව සමාජ කතිකාවක් ගොඩනගා ගැනීමයි.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ. ජා. ප.)
අතාවුද ඇමැතිවරයා කියනවා කම්කරුවට, වැඩකරන ජනතාවට වැටුප් වැඩි කරාලු.
ඒ වුණාට ජීවත් වෙන්න බැරිකමට ජීවන වියදම ඉහළ ගිහිල්ලා.
විදේශ ගතවන ශ‍්‍රමිකයින් මුහුණදෙන ගැටළුවලට වහාම විසදුම් සෙවිය යුතුයි. මේ ශ‍්‍රමිකයන් හොයන ධනය විදේශ විනිමය ලෙස ලබාදෙන්නෙ මේ රටට විදේශ ගත ශ‍්‍රමිකයන් ලෙස සිටින පිරිස සම්බන්ධයෙන් ඇමැතිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වැරදියි.
රඹුක්වැල්ල මහතා
ඇමැතිවරයා ලෙස මා වගකීමෙන් කියන්නෙ. මා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන නිවැරදියි.
හේරත් මහත්මිය
කොරියාවට යැවීම සඳහා රජය අයකරන මුදල වැඩියි.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා
ලෝකයේ පවතින බලතුලනය, ගෝලීය වශයෙන් මුහුණ දෙන ආකාරය සැලකිල්ලට ගෙන විදේශ ප‍්‍රතිපත්තිය සකස් කළ යුතුය. ගෝලීය මූල්‍ය අර්බුදයත් අපට බලපාන්නක්. එය ද සැළකිල්ලට ගත යුතුයි.
එය ගැඹුරු හා කල් ගත වන අර්බුදයක් බැවින් ඒ අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය නම්‍යශීලීව හැඩ ගැස්වීමේ අවශ්‍යතාවය මතක් කළ යුතුයි. අපේ රටේ අභ්‍යන්තර කටයුතු සියලු රටවල් සමග මිත‍්‍ර සබඳතා අපට තිබෙනවා.
ඒ රටවල් අනුගමනය කරන ගෝලීය දේශපාලනය ඔවුන් හැසිරෙන අයුරු බැලිය යුතුයි. තමිල්නාඩුව කියන්නේ ඉන්දියාව යැයි හිතා ඉන්දියා විරෝධයක් ඇති කිරීම පාඩුවක්.
ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසර මුල පැවැත්වෙනවා. ලංකාවේ ප‍්‍රශ්නය මේ මැතිවරණයට යොදා ගත හැකි දැයි එහි ප‍්‍රධාන පක්ෂ දෙකම බලනවා. මා තමිල්නාඩුවට ගොස් සාකච්ඡා කළා.
තමිල්නාඩු මහ ඇමැතිවරයෙක් කිසිදා මෙහි ඇවිත් නැහැ. එය පාඩුවක්.
ඉන්දියාවේ කවුරු බලයට ආවත් ශ‍්‍රී ලංකාවේ කටයුතු වලට ඇඟිලි ගහන එකක් නැහැ. ඉදිරියේ සිදු වන ලෝක වෙනස්වීම් ගැන අධානය යොමු කරන්න. අනාගතයේ ආර්ථික බලවතා වෙන්නේ ආසියාවයි. ලතින් ඇමෙරිකා ආර්ථිකයත් බලවත් වෙනවා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයන්ත සමරවීර මහතා (ජා. නි. පෙ.)
මෙරට ජාතික ආදායමට වැඩි මුදලක් එකතු කරන්නේ විදේශ රැකියාවල නියුතු පිරිසයි. එයින් සියයට 57 ක් මැද පෙරදිග සේවක සේවිකාවන්ගෙන් ලැබෙනවා.
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා මහතා
විදේශ අමාත්‍යාංශය ගැන මීට ඉහළ මට්ටමේ විවාදයක් වෙතියි මා බලාපොරොත්තු වුණා. විපක්ෂය උදේ වරුවම කළේ අසත්‍ය චෝදනා කිරීම පමණයි. අරයා මේක කියනවා.
පත්තරේක මෙහෙම තියනවා කීම පමණයි කළේ. මාස ගණනක දී විදේශ අමාත්‍යාංශයේ මුදල අවසන් කළ බවට නැගූ චෝදනාව අසත්‍යයයි. චෙන්නයි කියන්නේ රටක් ද ? ඉන්දියාවේ කොටසක් නේද ? අපේ ඇමැතිවරු දිල්ලියට ගියේ නැද්ද ? තමිල්නාඩු මහ ඇමැතිවරයාට මෙහි පැමිණීමට ඇරියුම් කිරීම වරදක්ද ? අතීතය අමතක කළ යුතු යැයි එ. ජා. ප. මන්තී‍්‍රවරයෙක් කීවා.
ළමයි කපා කොටා මරා දැමූ බස් වලට බෝම්බ තැබූ ත‍්‍රස්තවාදීන්ට සමාව දෙන්න ද ? කියන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ත‍්‍රස්තවාදය නැති කරනවාමයි.
නිසි තක්සේරුවක් නැහැ. කාන්තාවන් විදේශ ගත වීම අවම කරන අතර අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගත වීම නතර කළ යුතුයි.
විවාහක කාන්තාවන් විදේශ ගත වීම නැත්තටම නැති කරන්න. රැකියා පිණිස විදේශ ගත වූ පවුල් පිළිබඳ සොයා බැලීමට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට නිලධාරියෙක් පත් කරන්න.
මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රංජිත් අලුවිහාරේ මහතා (එ. ජා. ප.)
දහ හතර ලක්ෂයක් පමණ දෙනා විදේශ රැකියා වලට ගොස් සිටිනවා.
නමුත් ඔවුන් ගැන විස්තර ලබා ගන්න ක‍්‍රමයක් නැහැ. ඇමැතිවරයා හා නිලධාරින් විදේශයට ගොස් අපට රැකියා කොපමණ ගෙනාවාදැයි කියනවා නම් හොඳයි. ජී. එස්. පී. ලබා ගැනීමට අපේ ස්වෙරීත්වය පාවා දීමට හෝ ඕනෑම අයකුට මෙහෙ ඇවිත් ඕනෑම දෙයක් කිරීමට අප සූදානම් නැහැ.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා (ජ. වි. පෙ.)
ජී. එස්. පී. ප්ල්ස් සහනාධාරය වෙනුවෙන් මේ රටෙ ස්වෙරීභාවය පාවා නොදෙන බවට නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා කළ ප‍්‍රකාශය අපි අගය කරනවා. එහෙත් මේ රට පිළිබඳ විදේශයන්හි පවතින ප‍්‍රතිරූපය එතරම් හොඳ නැහැ.
මේ සියලු කරුණු වලට මෙරට එන්. ජී. ඕ. සහ වෙනත් කණ්ඩායම් වගකිව යුතු බව පවසමින් රජය කටයුතු කරනවා. එහෙත් මේ කටයුතු වැළැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නෑ.
ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සාමාජිකත්වය අහිමි වුණේ ආරක්ෂක අංශ වල කටයුතු නිසා නොවේ. ආණ්ඩුවේ කටයුතු නිසයි. සාර්ක් සමුළුවේදී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ය ගැන කව්රුත් කතා කළේ නෑ.
රෝහිත බෝගොල්ලාගම මහතා
කලාපීය ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට සාර්ක් නායකයන් එකඟතාවට පත් වුණා. කලාපීය ත‍්‍රස්තවාදයට එල්. ටී. ටී. ඊ. ය අයත් වන්නේ නැද්ද ?
වැය ශීර්ෂ සම්මත විය. පාර්ලිමේන්තුව අද (19) උදේ 9.30 ට රැස් වේ.

No comments: