Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 26, 2008

අද එජාපයක් නෑ ඉන්නේ කල්ලියක් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති - නියෝමාල් පෙරේරා

ධීවර ජනතාවට බලපාන ප‍්‍රශ්න විසැඳීමට ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග, ධීවර ක්ෂේත‍්‍රයේ යහපත උදෙසා මෙවර අය - වැයෙන් ගෙන ඇති පියවර, එජාපයෙන් ආණ්ඩුවට පැමිණි පිරිසක් යළි එජාපය සමග එක්වන්නට සැරසෙනවායැයි කියැවෙන මතය ආදී කරුණු පිළිබඳ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මෙසේ අදහස් දක්වයි.
ඉන්දියාවේදී අපේ ධීවරයන් අනවසරයෙන් මසුන් මැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනෙනවා. මෙය දිගින් දිගට ම සිදුවීම අපේ රටට හොඳ නැහැ නේද ?
අපේ ධීවරයන් සිතා මතාම මුහුදු සීමාව ඉක්මවනවා නොවේ. සීමාවක් නොපෙනන දියඹට යද්දී යම් යම් අත්වැරදි සිද්ධවෙනවා. අපි ධීවර කාර්මිකයාට නිතරම උපදෙස් දෙනවා. අපේ මුහුදු සීමාව ඉක්මවා නොයන ලෙස. එහෙත් මත්ස්‍ය බිම් සොයාගෙන යාමේදී ධීවරයාට සීමා පැනවීම අපහසුයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ඉන්දීය සංචාරයේ දී දකුණු ඉන්දීය බලධාරීන් සමඟ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී නැවත එවන් වැරැදි දෙරටේ ම ධීවරයන්ගෙන් සිදු නොවීමට හැකි උපරිමයෙන් වගබලා ගැනීම පිළිබඳ කතිකාවට ලක්වුණා.
මේ ප‍්‍රශ්නයේ තවත් පැත්තක් තමයි ඉන්දීය ධීවරයනුත් අපේ මුහුදු සීමාවලට ඇතුළුවීමේ අවස්ථා තිබීම මෙහිදී නාවික හමුදාවට ගැටලුවක්වී තියෙන්නේ. ත‍්‍රස්තවාදීනුත් ධීවර වෙස් අරගෙන රටට ඇතුළු වීමට මාන බලන එකයි මේ පිළිබඳත් අපි ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා කළා.
මුහුදු සීමා උල්ලංඝනය කීප ආකාරයකින් සිදුවෙනවා. ආපදාවකට ලක්වෙනවා. නොදැනුවත්ව ම වෙනත් මුහුදු සීමාවලට ඇතුළු වෙනවා. හදිසි තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙනවා.
මේ ප‍්‍රශ්නයට දැන් අපි ක‍්‍රමවේදයක් හදාගෙන යනවා. ඉන්දීය වෙරළ ආරක්ෂක ඒකකයට කරුණු කීමට ඉදිරිපත් කළ හැකි ජාත්‍යන්තරව පිළිගැනෙන ධීවර හැඳුනුම්පතක් අප අමාත්‍යංශය මගින් දැන් නිකුත් කරගෙන යනවා. අන්තර්ජාතික මුහුදේදී අපේ ධීවරයාට එය හොඳ අනන්‍යතාවක් වේවි.
කොහොම වුණත් අපි ධීවරයන්ට කියන්නේ නියමිත මුහුදු සීමාව ඉක්මවා යන්න එපා කියලයි. මේ අවුරුද්දේදී මුහුද සීමා උල්ලංඝනය කළා කියා අත්අඩංගුවට පත් වූ ධීවරයෝ බේරාගැනීමට ධීවර අමාත්‍යංශය රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
මුහුදින් වට වූ රටක් වුණත් මාළු අඩු මිලට පාරිභෝගිකයාට ලබාදීම සාර්ථක ක‍්‍රමවේදයක් නැත්තේ ඇයි.?
මාළු මිල එකම ගණනකට වසර පුරාම දෙන්න බැහැ. කාලෙන් කාලයට මිල වෙනස් වෙනවා. කාලගුණික දේශගුණිත බලපෑම් නිසා මාළු අස්වැන්න අඩු වැඩි වෙනවා.
ධීවර අමාත්‍යාංශය ලෙස අප මෙතැන දී අවධානය යොමුකරන්නේ ධීවරයාගේ මාළුවලට හොඳ මිලක් ලබාදීම වගේම පාරිභෝගිකයාට අඩු මිලට මාළු ලබාදීම මාළු මිල ඉහළ යාමට බලපෑ එක හේතුවක් වුණේ ඉන්ධන මිල ඉහළ යෑමයි. මෙවර අයවැයෙන් ඉන්ධන මිල අඩුවුණා. සති කිහිපයේදී මාළු මිල ගණන් පහත බසීවි. දැනටමත් එය සිදුවෙමින් පවතිනවා.
බහුදින ධීවරයන් මෙන්ම එක්දින ධීවරයන් සෑම කෙනෙක් ම අපෙන් ඉල්ලුවේ ඉන්ධන සහන ලබාදෙන ලෙසයි. ඩීසල් රුපියල් 30 කින් අඩු වුණා.
ඒ කියන්නේ බහුදින ධීවර යාත‍්‍රාවකට එක වාරයකදී ලක්ෂ 2 1/2ක විතර ලාභයක්. එක්දින යාත‍්‍රාවකට මාසයකට රුපියල් 10,000ක විතර ඉතිරියක්. මේ වාසිය ඉදිරියේදී පාරිභෝගිකයාට ලැබේවි.
උතුරු නැඟෙනහිර මුහුදේ මසුන් මැරීමෙහි නීති-රීති නිසාද පසුගිය කාලයේදී ධීවර අස්වැන්න අඩු වී මිල ගණන් ඉහළ ගියා. දැන් නැගෙනහිර ප‍්‍රදේශ මුදාගෙන තිබෙනවා. නුදුරු දිනකින් ම උතුරු නැඟෙනහිර ධීවර කර්මාන්තය සාමාන්‍ය පරිදි සිදුවේවි. එවිට නගර කරා එන මසුන් තොග වැඩිවීමෙන් මිල ගණන් අඩුවේවි. අඩුමිලට මාළු ටිකක් දෙන්න අමාත්‍යංශයට තිබෙන වැඩ පිළිවෙළ මොකක්ද ?
මාළු මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට ධීවර සංස්ථාව මගින් වැඩසටහන් කි‍්‍රයාත්මක කරනවා. සෑම නගරයකටම ධීවර සංස්ථා මසුන් ලොරි යෙදවීම ඉන් එක වැඩපිළිවෙළක්. පාරිභෝගිකයනට අඩු මිලට මසුන් ලබාගැනීමේ පහසුව සලසන මේ ලොරි වෙත ගොස් මාළු මිලදී ගන්නට ඔවුන්ට හැකියාව තිබෙනවා.
අනෙක් අතට දැන් අප අමාත්‍යංශය රට අභ්‍යන්තරයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරමින් සිටිනවා. මෙරට ජනතාව මිරිදිය මසුන් පරිභෝජනයට හුරු පුරුදු කිරීම අපේ අරමුණයි. එමගින් ජනතාවගේ පෝෂණ ඌනතාව මගහරවා ගත හැකියි.
මිරිදිය මත්ස්‍ය ඇසිත්තන් මිලියන 200ක් මේ වනවිට රට තුළ ජලාශවලට මුදාහැර තිබෙනවා. මේවනවිට මේ මසුන් විශාල වන විට සැලකිය යුතු මිරිදිය ධීවර සම්පතක් අපට ක්ෂේත‍්‍රයට එකතුවේවි.
මෙවර අය-වැය ඔබ දකින්නේ කෙසේද ?
අපේ රටේ ජනතාවගෙන් සියයට අනූවක්ම එදා වේල හොයාගෙන කන අයයි. ඒ දුප්පතුන්ට බලපාන ප‍්‍රශ්න රැසකට මෙවර අය-වැයෙන් සහන ලබාදීලා තියෙන්නේ.
ඉන්ධන සහනය නිසා ධීවරයාට අත්වුණේ වාසියක්. මේ වාසිය නිතැතින්ම හිමිවන්නේ මහජනතාවට. ඔවුනට අඩුමිලට මාළු ලබාදෙන්න පුළුවන් වෙනවා.
අපේ රට වෙනුවෙන් සටන් වදින වීරෝදාර රණවිරුවනට මෙවර අයවැයෙන් උපහාර දැක්වූවා. කි‍්‍රයාන්විතයේ රණවිරුවනට ලබාදෙන රුපියල් 3000 මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කළා. රණවිරු ගම්මාන ආරම්භ කිරීමට වෙන්කළ මුදල රුපියල් මිලියන 3500ක්.
පොදු ආර්ථික කටයුතු සහ ජීවන වියදමට සහනයක් වශශයෙන් 15% වැට් බද්ද 12 % දක්වා කළා. රජයේ සේවකයනට පෙර නොවූ තරම්සුවිශේෂී සහන රැසක් මේ අයවැයෙන් ලබා දුන්නා.
ජීවන වියදම් දීමනාව 4500/= දක්වා වැඩි කළා. අධ්‍යාපන අධිකරණ ක්ෂේත‍්‍රවල වැටුප් විසමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කළා. ආපදා ණය දීමනාව වැඩි කළා.
දේශීය කිරි ගොවියාට සහන දුන්නා. ග‍්‍රාමීය තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට අවධානය යොමු කළා. වී තේ ආදි වගාවන් සඳහා පොහොර සහනාධාර දුන්නා.
අඩු ආදායම් ලාභී පවුල්වලට සහන විශ්වවිද්‍යාල පහසුකම් සඳහා මුදල් කුඩා පරිමාණ ජල විදුලිබලාගාර, ග‍්‍රාමීය හා පළාත් මට්ටමින් සංවර්ධන කටයුතු මාර්ග සැලසුම් මේ ආදී තවත් සහන රැසකින් මෙවර අයවැය ලබා දුන්නා.
මා දැකපු හොඳම අයවැය මෙයයි. ඒක මම පක්ෂ භේදයකින් තොරව කියන්න කැමතියි. පොඩි මිනිහා ගැන හිතන නායකයාට කවදාවත් වරදින්නේ නෑ. ඒ යුතුකම මෙවර අය-වැයෙන් ජනාධිපතිතුමන් ඉටුකර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විකල්ප අය-වැය ගැන මොකද කියන්නේ ?
ඒක පුස්සක් . තනිකරම විහිළුවක්. පසුගිය අවුරුදු දෙකත් එජාපය ආණ්ඩුව කළා. මොනවද ජනතාවට දුන්නේ. මුදල් තිබුණා. සම්පත් තිබුණා. ඒත් රනිල් කෙළේ ජනතාව බඩගින්නේ තැබීමයි. 1948 ඉඳලා එ.ජා.ප. නායකයන් රැසක් බිහි වුණා. රනිල් තමයි ජනතාව බඩගින්නේ තැබුව එකම නායකයා.
රැකියාවක් දුන්න කෙනෙක් නෑ. පාරක් හැදුවේ නෑ. ගමකට විදුලිය දුන්නේ නැහැ. අන්තිමට බැලුවම රනිල් ජනතාවට කරපු කිසිම දෙයක් නෑ. ඒ මදිවට දැන් ෂැඩෝ කැබිනට්ටුවකුත් ගෙනත් ඒකත් තනිකරම විහිළුවක්.
බලයේ ඉඳලා ජනතාවට සහන නොදුන් රනිල් විකල්ප බජට් හදනවා. ඒකෙන්ම හඳුනාගන්න පුළුවන් ඔහුට සමාජ අත්දැකීම් නැහැ කියලා. ජනතාව බඩගින්නේ තියලා පොඩි මිනිහගේ සහනාධාර කපා දාලා දැන් කිඹුල් කඳුළු හෙළනවා.
රනිල්ගේ ඒ කාලේ බජට්වලින් අපට ගමේ ජනතාවට ගෙනියන්න දෙයක් තිබුණේ නැහැ. අපට ඡන්දෙ දුන්න මිනිසුන්ට උදව් කරන්න අපට හැකියාවක් තිබුණේ නෑ. ඔහුගේ සැලසුම් තීරණ වලින්. එහෙව් එකේ විකල්ප බජට් හදාගෙන රනිල් දැන් බයිලා ගහනවා.
එ.ජා.පය කියන්නේ ඔවුන් හැරගිය අයට ආපසු එන්න දොරටු විවෘතයි කියලා ඔබ ඒ ආරාධනාව පිළිගන්නවද ?
කවුද කියන්නේ අපි එ.ජා.පය හැර ගියා කියලා. අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි එ.ජා.ප නායකත්වයට කිව්වේ ජාතික රජයක් පිහිටුවිය යුතු බවයි. අපි අවංකව ඒ ගැන කතා කළා. ගිවිසුම් අස්සන් කළා. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියපු දේ නෙමේ කළේ.
ඕනෑම රජයකින් අඩු පාඩු වනවා. ඒවා සාකච්ඡා මගින් විසඳගත යුතුයි. ඒ ගැන එ.ජා. ප නායකයා තැකුවේ නැහැ. උතුරු නැගෙනහිර ආර්ථිකය පහළටම වැටිලා තියෙන යුගයක ආණ්ඩුව සහ විපක්ෂය එකතුවිය යුතු යැයි අප 17 දෙනා යෝජනා කළා.
එහෙත් එයින් ඵලක් වුණේ නැහැ. මේ තත්ත්වය මතයි අපට එ.ජා.පයේ නායකත්වයත් සමඟ කළ කිරුණේ.
අදටත් පරක්කු නැහැ. එ.ජා.ප.ය සහ රජය එකතුවෙලා මේ රටට සාමය උදාකරන්න. මේ රට සංවර්ධනය කරන්න වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා නම් අපි පක්ෂ ආගම් ජාති භේද නොතකා ජාතික රජයකට සහය දෙන්න සූදානම්. ඒ සඳහා දැනට අප දරණ අමාත්‍ය ධූර පවා පුද කරන්න අපි කැමැතියි.
යුද්ධය පරදවලා උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය දිනාගෙන ප‍්‍රධාන පක්ෂ දෙක එකමුතුව වසර පහක් දහයක් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩකරනවානම් අපේ රට මීට වඩා හුඟාක් ඉදිරියට ගිහින්.
නවීන් දිසානායක ඇමැතිතුමා පුවත්පතට කියා තිබුණා වැරැදි හදාගන්නවා නම් ආයෙත් එ.ජා.පයට යනවා කියලා ඔබට එහෙම හිතෙන්නේ නැද්ද
එ.ජා.පයට යන්න කියන්නෙ මොකක්ද යන්න පක්ෂයක් තියෙන්න එපායැ. අද එ.ජා.පයක් නැහැ. එජාපයේ සමහර අදහස් සියලු දෙනාටම පිළිගන්න බෑ. ජනතා මතය පක්ෂයේ නෑ. එතැන තිබෙන්නේ පිළිගත නොහැකි ඒකාධිපති මත නියෝග ඒ නිසයි ඔවුන් හැමදාම පරාජය වන්නේ.
එ.ජා.පයට වෙලා තියෙන දේ ගැන හරිම කනගාටුයි. නායකයා තනිවම තීරණ ගන්නවා. අනුන්ට ඇහුම්කන් දෙන්න කැමැති නෑ. එයාගේ හිතට අල්ලන අයගේ කතාවලට විතරයි අවධානය යොමු කරන්නේ.
මම පුත්තලම් දිස්ත‍්‍රික්කය ජයගත්තේ ලොකු පොඩි හැමදෙනාටම ඇහුම්කන් දීලා. ඔවුන්ගේ අදහස් ප‍්‍රයෝජනයට අරගෙන. එය අද එ.ජා.ප. නායකත්වයේ නැහැ.
අද බොහෝ පාක්ෂිකයන් එ. ජා.ප.යේ රැදිලා ඉන්නේ වෙන විකල්පයක් නැති නිසයි. පවතින ආණ්ඩුව එක්ක අමනාප වුණොත් කෙනෙක් යන්නේ විපක්ෂයට. එහෙත් අද එහෙම ප‍්‍රබල විපක්ෂයක් නැහැ.
රනිල් වික‍්‍රමසිංහ මහතා මේ යන්නේ නිකං හීනෙන් යන ගමනක්. හීනෙකින් හරි මේ බලාපොරොත්තු ඉටු වුණත් ඒවා රඳන්නේ නැහැ. 2002 වුණේ ඒකයි. ජනතාවට ඔවුන් සේවය කළේනෑ.
පාක්ෂියනට සැලකුවේ නෑ. අද අපේ ජනාධිපති තුමා උත්සහ කරන්නේ රටේ ආර්ථිකය හදන්න. සුළු ජාතීන්ගේ එකමුතුවෙන් රටේ ආර්ථික සමාජීය සංවර්ධනය ගොඩනගන්නයි අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෑයම් කරන්නේ.
ජනාධිපතිතුමා යුද්ධය ජයගන්න කි‍්‍රයාත්මක කරන සැලසුම් අද සාර්ථක වෙමින් තිබෙනවා. රටේ ජනතාව බහුතරයක් මැතිවරණවලින් ජය ලබාදීමෙන් ඒ බව අනුමත කර තිබෙනවා.
ඉඳලා හිටලා හෝ එක්කෙනෙක් රජයෙන් යනකොට එකතුවෙන්න තව 10 දෙනෙක් ඉන්නවා. ඒකයි ජනාධිපතිතුමාගේ නායකත්වයේ ජයග‍්‍රහණය.
එවන් කි‍්‍රයා පටිපාටියක් එ.ජා.ප නායකත්වයේ නැහැ. නවීන් කියන දේ වුණොත් ඉතින් හොඳයි. මට නම් කිසිසේත් විශ්වාස නෑ. එ.ජා.පයට ඒ වගේ කලක් උදාවෙයි කියලා.
ජ.වි.පෙ සහ එජාපය වැඩිවැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද
ඒ අය පොඩි මිනිහාට කතා කරන වගකිවයුතු විපක්ෂයක් ලෙස නොවෙයි මේවා ඉල්ලන්නේ ජනතාව රවටන බොරු උප්පරවැට්ටි. මේ රටේ ආර්ථික උත්පාදන මාර්ග, පාරිභෝගිකයාට පොදු ජනතාවටම සෙතසලසන ආයතන රැසක් වසා දමන්න මූල් වුණා.
භීෂණය මවාපාලා රටේ ජනතාවට සේවයට යන්න වත් ඉඩ නොදුන් අය වැඩි පඩි ඉල්ලලා බොරුවට කෑගහනවා. සමෘද්ධිය කපා දැම්මෙත් මේ වැඩි වැටුප් ඉල්ලන අයයි.
දුප්පතුන්ගේ බඩට ගැහුවෙත් මේ අය විපක්ෂයට ගියාම ඒක මතක නැතුව බොරු සද්ද දානවා. වෙලා තියෙන්නේ මේකයි. මේ රටේ විපක්ෂයට කොන්දක් නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන්මග කෙසේ සිදුවෙයි කියාද ඔබ සිතන්නේ.
අපි තියා ඔවුන්වත් දන්නේ නෑ ඔවුනට වෙන්න යන්නේ කුමක්ද කියලා. එක වතාවක් ජ.වි.පෙ. ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සමහහරක් ජනාධිපතිතුමා කි‍්‍රයාත්මක කළා. ඒත් ඒවායේ කිසිම ප‍්‍රායෝගික බවක් නෑ. ජ.වි.පෙ. අයට විකල්ප නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ භාගයක්ම එය තේරුම් ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී සිටිනවා. ව්‍යාපාරයක් ලෙස ජ.වි.පෙ අනික් අය දේශපාලනය කරනවා. මම දකින්නේ ජ.වි.පෙ.ට ආත්මයක් නැහැ.
මෙවර අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරදවන බව විපක්ෂය පවසනවා.
ආණ්ඩුවේ ජයග‍්‍රහණය ස්ථිරයි. ඕවා විපක්ෂයේ දවල් හීන.
සංවාද සටහනබුද්ධිකා ඉඹුලාන

No comments: