Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 6, 2008

ඩී.ඒ.ගේ ජනතාවාදී දේශපාලනය

දේශපාලනඥයකු වීමේ වුවමනාවක් ඩී.ඒ.රාජපක්ෂ මහතාට නොවීය. එහෙත් ජනතාවගේ බලපෑම නිසාම එතුමා ට දේශපාලනයට ඇදී එන්නට සිදුවිය. ඉන්පසු එතුමා සැබෑ ජනතාවාදී දේශපාලනඥයකු වෙමි, ජනතාවට අවංකව සේවය කරමි යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඒ සඳහා සිය ජීවිතය කැප කළේය.
රුහුණේ සිංහයා වූ ඩී.එම්.රාජපක්ෂ වන සිය අයියණ්ඩිය ඔහුගේ පූර්වාදර්ශය විය. ඩී.එම්.ට ජීවිත දෙකක් නොවීය. දේශපාලනඥයා ජනතාවට මිස තමාට නොවන බව ඔප්පු කළ අයියණ්ඩිය ධන තණ්හාවෙන් තොර වූ සැටි, පිය උරුමයෙන් ලැබූ දේපළ පවා අහිමි කරගනිමින් පොදු ජනතාවගේ මිනිසකු වූ සැටි ඩී.ඒ. දුටුවේය. 1945 සිට 1967 දක්වා වූ එතුමා ගේ දේශපාලන ජීවිතය සැකසුනේ ඒ පූර්වාදර්ශය අනුවය.
ඩී.එම්. ගේ මෙන් ම ඩී.ඒ.ගේ ද දේශපාලන ජීවිතය සකස් වීමට බලපෑ දර්ශනය සකස් වූයේ වමේ නායකයන් ඇසුරෙනි. ඒ දෙදෙනා ම කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ වික‍්‍රමසිංහගේ සමීප මිතුරෝ වූහ. 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයේ දී දොස්තර එස්.ඒ.වික‍්‍රමසිංහ මොරවක අසුනට තරගවදින විට ඔහුට ඩී.එම්. ඩී.ඒ. රාජපක්ෂවරුන්ගේ සහය ලැබිණ.
දොස්තර වික‍්‍රමසිංහ වියළි කලාපය සංවර්ධනය කිරීමට නියඟය දුරු කිරීමට ඉදිරිපත් කළ විද්‍යාත්මක සැලසුම් මේ දෙදෙනාගේ ම අවධානයට හසුවිය.
ඩී.එම්.ඩී.ඒ.සහෝදරවරු වැඩි වශයෙන්ම කතා කළේ හම්බන්තොට නියඟයට විසැඳුම් සැපයීම ගැනය. නියඟය ජනතාව පෙළුෑ ප‍්‍රධාන සතුරා විය. අනෙක් සතුරන් වූයේ ජනතාවගේ ඉඩම් කොල්ල කෑ වලව්කාරයන් සහ වලව්කාරයන් වෙනුවෙන් ජනතාව සූරා කෑ ගම්බාරේලාය. මේ දෙදෙනා නියඟයට මෙන් ම ඒ කුරිරු මිනිසුන්ට ද එරෙහිව සටන් කළහ.
අයියණ්ඩිය ගේ අකල් මරණයෙන් පසු ඩී.ඒ.ජනතාව තමාට පැවරූ වගකීම මහ ඉහළින් ඉටුකළේ එජාප රජයෙන් රුහුණු ජනතාවට විසඳුම් ලබා දීමට වෑයම් කළේය. බ්‍රෝහියර් ගේ දොස්තර වික‍්‍රමසිංහගේ වාරිමාර්ග පිළිබඳ ලිපි හදාරමින් ද, පෞද්ගලිකව තමා ලැබූ අත්දැකීම් ඇසුරු කරගනිමින් ද, රුහුණේ සංවර්ධනයට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කළේය.
එතුමාගේ මුල්ම පෞද්ගලික ලේකම්වරයා වූ පියසේන උබේසිංහ මහතා සඳහන් කරන ආකාරයට රුහුණු ජනතාව ගේ ප‍්‍රශ්න වලට ජනතාවාදී දර්ශනයක පිහිටා එතුමා මුල සිටම විසඳුම් ඉදිරිපත් කළේය. හම්බන්තොට දිස්ති‍්‍රක්කය පුරාම ඇවිදිමින් එතුමා ගැඹුරු අධ්‍යයනයක යෙදුණේ ය. උමා ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, මවුආර, වලවේ ගඟ, පිළිබඳව එතුමා ලියූ සටහන් වලින් ලිපි ගොනු පිරී පැවති අයුරු උබේසිංහ මහතාට මතකය. ඒ සැලසුම් එජාප රජයට ඉදිරිපත් කිරීමෙන් පලක් වූයේ නැත.
මොරවක ඇටමැස්සා (දොස්තර එස්.ඒ.වික‍්‍රමසිංහ) කිව්වෙත් ඕවා” යි කියමින් ඩී.එස්.සේනානායක අගමැතිවරයා ඩී.ඒ.ගේ යෝජනා බැහැර කළේය. රුහුණ නැගිටිනු දැක්ම එජාප පාලකයන්ගේ සතුටට හේතු නොවන බව පෙනිණ. මේ නිසාම ඩී.ඒ. එජාපයෙන් ඉවත්විය.
සැබෑ ජනතාවාදී පාලනයක් පිළිබඳ ප‍්‍රතිපත්ති වලින් සැදුණු පක්ෂයක් ගොඩනැඟීම පිළිබඳව වුවමනාව ඔහුට විය. ඒ වුවමනාව ඔහු ඉටුකරගත්තේ 1951 දී එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙනි. ඒ පක්ෂයට ජනතාවාදී හැඩරුවක් ලබාදීමට ඩී.ඒ.වෙහෙසුණු ආකාරය එස්.ඩී. බණ්ඩාරනායක මහතා කියයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමට මුල්වූ තුන් හතර දෙනා අතර ඩී.ඒ.මෙන්ම එස්.ඩී.බණ්ඩාරනායක මහතා ද විය.
“අද අවශ්‍ය අධිරාජ්‍ය ගැති නොවූ සමාජවාදී දර්ශනයද මුසුවූ පක්ෂයක්” ඩී.ඒ.කීය.
ඒ පක්ෂය පිහිටුවා ටික කලකට පසු 1953 අගෝස්තු හර්තාලය කි‍්‍රයාත්මක විය. ඊට නායකත්වය දුන්නේ සම සමාජ කොමියුනිස්ට් පක්ෂය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමෙක් හර්තාලය දෙස උදාසීනව බැලූහ. එහෙත් ඩී.ඒ. සිය ඥාති පුත‍්‍ර ලක්ෂ්මන් සමඟ එක්ව රුහුණේ හර්තාලයට නායකත්වය දුන්නේ ය.
ශත 25 හාල් සේරුව ශත 72ට නැංවූ රජයට එරෙහිව ජනතාව වෙනුවෙන් පාරට නොබසින දේශපාලනඥයන්ගෙන් ඇති පලය කුමක්දැයි ඩී.ඒ.ඇසීය. එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ද මුලදී හර්තාලය පිළිබඳ සැලකුවේ උදාසීනවය. ඔහු ඩී.ඒ.ගේ ඉල්ලීම මත ගෝල්ෆේස් පිටියේ පැවති හර්තාල් රැස්වීමට ගියේ ය. එහි මුලසුන එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ට ලැබිණ. බඩු මිළට එරෙහිව ගොල්ෆේස් පිටියට පැමිණි දස දහස් සංඛ්‍යත ජනකාය දුටු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ජනතාව අතරට යාමට කදිම මගක් මේ යයි සිතීය. 1956 ජනතා ජයග‍්‍රහණයට මුලපිරුවේ ඒ හර්තාලයයි.
හම්බන්තොට දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහු 1955 දී කළ කතාවක් මට සිහිවෙයි. ගොවි ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවට මග ඇරීම සහ ඔවුන් රැවටීම සඳහා රජයේ නිලධාරීන් ක‍්‍රියාකරන ආකාරය ඔහු ඒ කතාවෙන් පැහැදිළි කළේය.
“මා අද කථා කරන්නේ මගේ කොට්ඨාසය ගැන පමණක් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ සිටින ගොවි ජනතාව ද වෙනුවෙනි. වර්ෂාව හිඟ වියළි ප‍්‍රදේශයක රත් වූ පොළොවෙහි වැඩ කරන හේන් ගොවිතැන ජීවන වෘත්තීය කරගත්තා වූ ගොවියා වෙනුවෙනි. හේන් ගොවිතැන් කරන ගොවියා අවුරුද්දේ හය මාසයක් ම ඉතා දුක් විඳින බව තමුන්නාන්සේ දන්නවා ඇති. මේ ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ගොවිතැන් කිරීම සඳහා අවසර ලබා ගැනීමත් අපහසු කරුණක්වී තිබේ. පසුගිය දිනක දී තිස්සමහාරාම ප‍්‍රදේශයේ ගොවියකු මට කීවා ඔහු හේන් කෙටීමට අවසරයක් ලබා ගන්නට ආදායම් පාලක නිලධාරී තුමා ළඟට ගිය විට ඔහු ගෙන් “උඹ කසාද බැඳලාද ?” කියා ඇසුවාය කියා. එවිට ඔහු කියා තිබෙනවා. “මා කසාඳ බැඳලා නැහැ. ඒත් මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා” කියා.
එවිට ආදායම් පාලක නිලධාරී තුමා “මිනිහෝ මම ඇහුවේ උඹ කසාද බැඳලද ? නැද්ද ? කියලයි.” කිව්වා. ඒ මිනිහා ආයෙමත් ලැජ්ජාවෙන් යුතුව පවසා තිබෙනවා “මා කසාද බැ¼ඳලා නම් නැහැ. ඒත් මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා” කියලා. නිලධාරී තුමා නැවතත් තර්ජනය කරන්නාක් මෙන් “ඒක නොවෙයි මිනිහෝ මට ඕනෑ උඹ කසාද බැඳලද ? නැද්ද ? කියන එක දැනගන්නයි” කියා ඒ තැනැත්තාට හේන් අවසරය නොදී පිටත් කර තිබෙනවා. මේ අන්දමට වයස මදිය, කසාද බැඳලා නැතියි. යන සුළු කරුණු උඩ හේන් අවසරය නොදී ඉන්නවා. සමහර විටෙක කසාද බඳින්න ඉන්නවයි කිව්වත් හේන් අවසරය දෙන්නෙ නැහැ.
කසාද බඳින්නට නම් යමක් කමක් හම්බ කර ගන්න ඕනෑ. ඉතින් හේන් අවසරය නොදුන්නම ඒ මිනිහට යමක් උපයාගන්න බැරි නිසා කසාද බඳින්නටත් නොහැකි වෙනව. කසාද නොබැඳපු නිසා හේන් අවසරය ලැබෙන්නේ නැහැ. ඔහුට කවදාවත් මේ අවසරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ප‍්‍රතිපත්තිය ඉතාමත් අසාධාරණ බව මා කියන්න කැමතියි.
-හැන්සාඩ් වාර්තාව. 1955.07.25
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය සකස් කළේ ඩී.ඒ.ය. 1955 පක්ෂයේ දෙවෙනි මහා සම්මේලනය ගම්පහ මැද වලව්වේ පැවැත්විණ. එහිදී එතුමා කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය සම්ග තවත් යෝජනා රැසක් ඉදිරිපත් කළේ ය. ඒ සියල්ල එක හ¾ඩින් අනුමත විය.
*ගොවීන්ට ධෙර්යය දී පහසුකම් ලබා දී වී නිෂ්පාදනය වැඩි කරමු. එක වී බුසලකින් බුසල් සීයකට වැඩිය අස්වැන්න ලබන ගොවීන්ට රන් පවුම් පරිත්‍යාග කළ යුතුය.
*එක් මන්තී‍්‍ර කොට්ඨාසයකින් තරුණයන් දහසක් තේරාගෙන පක්ෂයේ තරුණ හමුදාවක් ගොඩ නගමු. එය සාම හමුදාව ලෙස නම් කරමු. ඒ හමුදාව සතු ප‍්‍රධාන කටයුත්ත රට තුළ වගාව දියුණු කිරීමය. පහ, හය, හත පන්ති සමතුන් ඒ හමුදාවට බඳවා ගත යුතුය.
*රජයේ රැකියාවක් ලබා දෙන විට ගොවි පවුල්වල අයට ප‍්‍රමුඛත්වය දිය යුතුය. ගොවි බිම්වල වැඩ කිරීමෙන් පසු පෙරවරු දහයට කාර්යාලයට යාමට ඔවුනට අවස්ථාව දිය යුතු ය.
*ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේෂපාලන කටයුතු පුහුණු කිරීමේ මධයස්ථානයක්, පක්ෂ පාසලක් ගොඩ නැගිය යුතුය. ගමේ ගොවි ජනතාව සමඟ නගරයේ කම්කරු ජනතාව සමඟ දේශපාලන වැඩ කළ යුතු ආකාරය පුහුණු කළ යුතු ය. දේශපාලන විද්‍යා මූලධර්ම මෙන් ම රටේ සංස්කෘතිය ගැඹුරින් අවබෝධ කිරීමට අවශ්‍ය පරිසරය මේ මගින් තනා දිය යුතුය.
*නායකත්වය සඳහා පුහුණුවක් අපේ සාමාජිකයන්ට ලබා දිය යුතු ය. සාරධර්ම රකින, මුදල් පසුපස නොයන, පරාර්ථකාමී නිවැරදි පරිත්‍යාගශීලී දේශපාලනඥයන් අනාගතයේ බිහිවන ආකාරයට දැඩි විනයක් සහිතව පක්ෂ පාසල කි‍්‍රයාත්මක විය යුතුය. ඒ යෝජනා අතිශයින් ප‍්‍රායෝගික විය. ප‍්‍රගතිශීලී විය.
1956 පෙබරවාරි 18 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවාහැරිය පසු මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේදැයි පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිවිය. “ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම ඊට මුහුණ දිය යුතුය” කීප දෙනෙක් කීහ. එස්.ඩී.බණ්ඩාරනායක මහතා හා ඩී.ඒ.ඒ මතය හෙළාදැක පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත්, ලංකා සම සමාජ පක්ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්ෂයත් සමඟ නිතරඟ ගිවිසුම් සහිතව මැතිවරණයට මුහුණ දිය යුතු බව කීහ. ඒ මතයේ වාසි සහගත බව බණ්ඩාරනායක මහතාට වැටහිණ. ඒ මතය පිළිගැනිණ.
“තනියම ආවොත් ආසන 20 යි. වම සමඟ එකතුව ආවොත් ආසන 70යි.” එදා ඩී.ඒ.සහ එස්.ඩී.අනාවැකියක් ද පළකළහ.
ඒ අනාවැකිය හරි ගියේය. 1956 මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හා වමේ පක්ෂවලට ආසන 69 ක් ලැබිණ.
“දැන් ඉතින් ආණ්ඩුව අපේ අතේ. අපි වැඩ පටන් ගනිමු” ඩී.ඒ.කඩදාසිවල සටහන් කළ සැලසුම් රටට ප‍්‍රායෝගික වශයෙන් ගෙනයාමට සූදානම් විය.
දේශපාලන පුහුණු මධ්‍යස්ථානය හෙවත් පක්ෂ පාසල පිහිටුවීම ට ඔහු සැරසුණේය. මීරිගම සුදුකන්දේ අක්කර 128 ක ඉඩමේ පක්ෂ පාසල පිහිටුවීමට එස්.ඩී.කළ යෝජනාවට ඩී.ඒ.එකඟ විය. එහෙත් ඒ. යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි වැඩි පිරිසක් විරුද්ධ වූහ.
පක්ෂ පාසල මඟින් ඩී.ඒ.බලාපොරොත්තු වූයේ දේශපාලන කටයුතුම නොවේ. රජයේ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය අවංක පිරිසක් එතැනින් රටට ලබා දීමට ද ඔහු සිතුවේ ය. එහෙත් පක්ෂයේ බලගතු පිරිසක් ඊට අකුල් හෙළුෑහ. බණ්ඩාරනායක අගමැතිවරයා ද නිහඬ විය. තරුණයන් ලක්ෂයක සාම හමුදාවක් පිහිටුවා රටේ වගා කටයුතු නැංවීමේ ඩී.ඒ.ගේ. යෝජනාව දෙස ද බණ්ඩාරනායක රජයේ ඇතැම් ඇමතිවරු බැලුවේ වපරැසිණි.
“මේ යෝජනා සමාජවාදයට රට ගෙයන විප්ලවකාරී වැඩපිළිවෙළවල්. ඕවාට ඉඩ දෙන්නඑපා. ඒ ඇමතිවරු අගමැතිවරයාගෙන් ඉල්ලූහ.
ඒ රජයේ අතිශය ප‍්‍රගතිශීලී පනත වූයේ කුඹුරු පනතය.
පිලිප් ගුණවර්ධන ඇමතිවරයාට කුඹුරු පනත ගෙන එන්නට දැඩි ලෙස බලපෑම් කළේ ඩී.ඒ.සහ ඔහු ගේ ඥාති පුත‍්‍ර ලක්ෂ්මන් රාජපක්ෂ මහතාය. ගොවියාට අස්වැන්නෙන් 3/4ක ලබාදීම සහ කුඹුරේ ස්ථිර අයිතිය ලබාදීමට පමණක් නොවෙයි කුඹුරු පනත ඉදිරිපත් කැරුණේ.
කුඹුරු පනතේ සැබෑ අරමුණ වූයේ වී නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි කිරීම ය. මේ නිසා ගොවියාට මෙන් ම ඉඩම් හිමියාට ද වැඩි ආදායමක් ලැබේ.
ආදායම් වැඩි කිරීමට සැලැස්මක් තිබිණ. බුසලකට බුසල් සීයකට වැඩි අස්වැන්නක් ලබන ගොවියාට රන් පවුම් තෑගි දීමේ යෝජනාව ගෙන ආවේ අපේ ඩී.ඒ.ය.
පිලිප් ගුණවර්ධන මේ වැඩපිළිවෙළට එකඟ වූයේය. අස්වැන්න වැඩිකිරීමෙ සැලැස්මක් ඉදිරිපත්වූයේ නිකම් ම නොවේ. ගොවි කාරක සභා මගින් එය සංවිධානය කොට තිබිණ.
අඩු මුදලට පෝර (ගෙරි කටු පෝර) ලබා දුනි. කෘෂිකර්මාන්තය පිළිබඳ නවීනදැනුම ලබා දීමට ද කටයුතු පිළියෙල කර තිබිණ.
ඩී.ඒ.ගේ අදහස් අනුව ඒවා කි‍්‍රයාත්මක විය.
මේ වැඩ පිළිවෙළ නිසා ලොකු කුඹුරු හිමියන්ට රිදිණි. ගොවි ජනතාව සංවිධානාත්මකව අලුත් තාක්ෂණික දැනුම සහිතව වත් පොහොසත් කමින් ද නිදහස් හැගීමෙන් ද යුතුව ගොඩ නැගෙන හැටි ධනපති පන්තියට පෙනිණ. මේ නිසා මේ මාර්ගය අහුරා දැමීමට කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක විය.
මාස 3 ක් තිස්සේ ඇමැතිවරු 12 දෙනෙක් කැබිනට් රැස්වීම් වර්ජනය කළහ.
පිලිප් ඉවත්කිරීම මූලික ඉල්ලීම විය.
ඩී.ඒ.සිටියේ මහා කම්පාවක ය. එස්.ඩී.ත් ඩී.ඒ.ත් වාර කීපයක් ම අගමැති හමුවී පිලිප්ට අත තබන්න එපා යි කීහ. එහෙත් කැබිනට් මණ්ඩලයේ වැඩි දෙනෙක් පිලිප්ට විරුද්ධ වූහ. අගමැති ඔවුන්ගේ මතය පිළිගත්තේ ය. පිිලිප් කැබිනට් මණ්ඩලයෙන් දොට්ට දැමිණ.
ඒ දිනවල ඒ.පී.ජයසූරිය ඇමති තුමා ඩී.ඒ.හමුවීමට පැමිණියේ ය.
“පිලිප් ගුණවර්ධන දැරූ ඇමති තනතුර භාර ගන්න යයි අගමැති තුමා ඔබෙන් ඉල්ලනවා” යි කී ය.
“පිලිප් ගේ ඇමතිකම මට එපා. පිලිප්ට යන්න නොදී ඇමති මණ්ඩලයේ රඳවා ගන්න.” ඩී.ඒ. පිළිතුරු දුන්නේ ය.
ඩබ්ලිව්.දහනායක ගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් වර්ජනය අවසන් වූයේ පිලිප් ඉවත් කිරීමෙන් පසුව ය.
මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රගතිශීලී ගමන ඉවරයි. පිලිප් ගියා” ඩී.ඒ.කථා කළේ මහත් සංවේගයෙනි.
වරාය ජනසතු කිරීම ති‍්‍රකුණාමලයේ බි‍්‍රතාන්‍ය හමුදා කඳවුරු රජයට පවරා ගැනීම, බස් ජනසතුව වැනි වැඩ පිළිවෙළවල් නිසා පහර වැදුණු අධිරාජ්‍ය වාදීන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයන් සමග එක්ව කළ කුමන්ත‍්‍රණය සාර්ථක විය.
අගමැති බණ්ඩාරනායක මැතිතුමා මේ කුමන්ත‍්‍රණ කරුවන්ට මැදිව වෙඩි පහරකින් මිය ගියේ ය.
1955 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ දීර්ඝ යෝජනා මාලාව සහ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට ලැබුණු අවස්ථාව මේ දක්ෂිණාංශික කුමන්ත‍්‍රණකරුවන් නිසා ඩී.ඒ.ට නැතිවිය.
සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලේ තැවරුණු පක්ෂයක් ලෙස සලකා 1960 මාර්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවූවා ය. ඩී.ඒ. 1960 මාර්තු මැතිවරණයේ දී බෙලිඅත්ත ආසනයට තරඟ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවේ. ඔහු ද පසුවූයේ දැඩි කලකිරීමකිනි. පිලිප් ගුණවර්ධන ගේ මහජන එක්සත් පෙරමුණෙන් ඔහු තරග කළේ ය. පැරදුණේ ය.
ඊළඟට 1960 ජූලි මැතිවරණය එළඹිණ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. ඇය වමේ පක්ෂවල ද සහාය ලබා ගනිමින් පක්ෂය මෙහෙයූවා ය. ඩී.ඒ.යළි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ ය. බෙලිඅත්ත ආසනය ජය ගත්තේ ය. කුමන්ත‍්‍රණ කරුවෝ නිකම් නොසිටියහ. යළි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශිකයන් අල්ලාගෙන ඔවුන්ට අල්ලස් දී ඒ රජය 1964 දී පෙරළා දැමූහ.
ඩී.ඒ.ගේ චරිතයේ විශිෂ්ට අවස්ථාවක් ඒ සිද්ධියේ දී හෙළි විය. අති විශාල මුදලක් දී එතුමා දිනා ගැනීමට කුමන්ත‍්‍රණ කරුවෝ ඉදිරිපත් වූහ.
“මට ඡන්දය දුන් බෙලිඅත්ත ජනතාව මුදල්වලට විකුණන්න බෑ” කියමින් එතුමා ඒ මුදල් ප‍්‍රතික්ෂේප කළේය. එතුමා බොහෝ අගහිඟකම් මැද ජීවත් වූ බව මම දනිමි. අර නෝට්ටු මිටි ගොඩ ඒ අගහිඟකම් දුරු කිරීමට සමත් වන බව දැන දැනම එතුමා රාජපක්ෂ පරපුරේ උදාර බව රැකගනිමින් සිය අධ්‍යාත්මයේ පවිත‍්‍රතාවය ආරක්ෂා කර ගනිමින් මුදල් ප‍්‍රතික්ෂේප කළේ ය. මේ උතුම් වීරයා ඒ සිද්ධියෙන් වසර 03 කට පසු අපෙන් සදහටම සමු ගත්තේ ය.
එතුමා සතුව දේශපාලනය පිළිබඳ ප‍්‍රායෝගික දර්ශනයක් තිබිණ. එය කි‍්‍රයාත්මක කිරීමට හැකිවූයේ නම් අපේ මවුබිමේ තත්ත්වය මීට වඩා වෙනස් වනු නියත ය. විදේශ බලවේග දේශීය ප‍්‍රතිගාමීන් සමග එකතුව ඒවා කි‍්‍රයාත්මක කිරීමට ඉඩ දුන්නේ නැත.
ඩී.ඒ.ට සැබෑ ගෞරවයක් උපහාරයක් දැක්වීමට නම් කළ යුත්තේ එතුමා ජාතිය ගොඩ නැගීම සඳහා ඉදිරිපත් කළ යෝජනා සහ සැලසුම් කි‍්‍රයාත්මක කිරීම ය.
දෙනගම සිරිවර්ධන

No comments: