Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 5, 2008

අලි නටන කොට තණ කොළ මැරෙනවා;ලෝක අර්බුද අපටත් එනවා බන්දුල ගුණවර්ධන - වෙළෙඳ අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා ඇමැති

ළඟදී සිදුවූ ගෑස් මිල අඩුවීම ගැනත්, දඹුල්ලේ ලොකු ලූණු අර්බුදය ගැනත් බැසිල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ ඉන්දීය ගමන සහ ඉන්දු - ලංකා ඒකාබද්ධ ප‍්‍රකාශය ගැනත් වෙළෙඳ අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මෙසේ අදහස් දක්වයි.
ගෑස් මිල අඩුවුණා නේද? ගෑස් මිල අඩුකරන්න කියලා කළ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක් විදියට ද මේ ගෑස් මිල අඩු වුණේ?
ගෑස් මිල තීරණය වෙන්නේ මිල සූත‍්‍රයකට අනුව යි. ඒ අනුව වසරකට හය (6) වරක් ගෑස් මිල ඉහළ හෝ පහළ යනවා. එය තීරණය වෙන්නේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල තත්ත්වයට අනුවයි.
මිල සූත‍්‍රය ඇති කරන්න කලින් වුණේ මිල වැඩිවීම විතරයි. අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබුණේ නැහැ. මිල සූත‍්‍රය සකස් වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුවයි.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩුවෙන කොට එහි වාසිය පාරිභෝගිකයාට ලබාදෙන්න අපි මිල අඩු කළා.
මෙහිදී එකක් සඳහන් කරන්නට වෙනවා. මේ මිල සූත‍්‍රය ජනතාවට හුරුවෙන තුරු අපට දේශපාලනඥයින්ගේ හා සාමාන්‍ය ජනතාවගේ දැවැන්ත ප‍්‍රහාරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.
ලෝකයේ මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබෙන නිසා අපි මිල සූත‍්‍රය දේශපාලනීකරණය නොකැර ඉදිරියටත් පවත්වාගෙන යනවා. මෙම ක‍්‍රමය පවතිනතාක් ජනතාවට ගෑස් ටැංකි හිස මත තබාගන පෙළපාලි යන්න වෙන්නේ නැහැ
දඹුල්ලේ ලොකු ළුණු අස්වැන්න අළෙවි කර ගන්න බැරිව ගොවීන් අසීරුවට පත්වී සිටින බවට මාධ්‍යවාර්තා පළ වෙනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?
ඕනෑම කෘෂි භෝගයක අස්වැන්න වැඩියෙන් වෙළඳ පොළට එනකොට ඉල්ලුමත් ඒ හා සමානවම වැඩිවන්නේ නැත්නම් අළෙවි ගැටලු මතු වෙනවා.
ඒ වගේම කියන්න ඕන රජය දේශීය ගොවියා ආරක්ෂා කිරීමට විකල්ප කි‍්‍රයා මාර්ග රාශියක් අනුගමනය කළා. දැනට එම විකල්ප කි‍්‍රයාමාර්ග කි‍්‍රයාවේ යොදවලත් තිබෙනවා.
මොනවාද ඒ විකල්ප කි‍්‍රයා මාර්ග?
සමහරු මේ ප‍්‍රශ්නය ගැන කතාකරන්නේ ලොකු ළුණු විතරක් නෙමෙයි වෙනත් කෘෂි භෝග අළෙවිය පිළිබඳ කතාකරන්නෙත් සැබෑ තත්ත්වය ගැන අවබෝධයක් නැතුවයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනය වැනි පර්යේෂණ ආයතනවල වාර්තාවලට අනුව ලොකු ළුණු කිලෝ ග‍්‍රෑම් එකක නිෂ්පාදන වියදම රුපියල් දහ අටයි සත දෙකයි.
හොඳයි අපි රුපියල් විස්සක් යනවා කියල හිතමු. එතකොට සියයට සියයක ලාභාංශයක් ඇතුව වික්කත් උපරිම මිල රුපියල් හතළිහක්. මේ දිනවල අංක එක ලොකු ළුණු කිලෝ එකකට රුපියල් හතළිස් පහක්.
දෙවැනි ශ්‍රේණියේ කිලෝවකට රුපියල් හතළිහක්. තුන්වැනි ශ්‍රේණියට තිස්පහක් වශයෙන් රජය මිලදී ගන්නවා. ඊට අමතරව ආනයනික ලොකු ළුණුවලට සියයට සීයක බද්ධකුත් පැණෙව්වා.
ආණ්ඩුවක් වුණාම නිෂ්පාදනය කරන ගොවියා වගේම පාරිභෝගිකයා පැත්තත් බලන්ට වෙනවා. දඹුල්ලේ ගොවීන් පසුගිය අවුරුද්දේ ළුණු මිල බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වසරේ ඒ මිල ලැබෙන්නේ නැහැ.
මොකද ඉන්දියාවත් දැන් ලොකුළුණු අපනයනය කරන්නට පටන් අරගෙනයි තිබෙන්නේ.
පසුගිය වසරේ ලෝක ආහාර අර්බුදයත් සමඟ ඉන්දියාව ලොකු ළුණු අපනයනය තහනම් කළා. ඒ නිසා අපේ රටේ කිලෝ ග‍්‍රෑම් එකක් රුපියල් අසූවට විකිනුණා.
අද එහෙම මිලක් නැහැ. ලොකු ළුණු විතරක් නොවෙයි සහල් අපනයනට ඉන්දියාව පනවා තිබූ තහනමත් ඉවත් කරලා. ඉන්දියා ස්ටේ‍්‍රට් ටේ‍්‍රඩින් කෝපරේෂන් එක සහල් අපනයනයට අවසර දීලා ඔවුන්ගේ සහල් අස්වැන්න සියයට දහතුනකින් වැඩි වෙලා.
මේ මිල අඩුවීමේ වාසිය අපිත් ගන්ට ඕන. අපි ළඟදීම ඉන්දියාවෙන් පොන්නි සම්බා සහල් තොගයක් ආනයනය කරනවා.
මාක් ෆේඩ් ආයතනය දැනටමත් ලොකුළුණු කිලෝ ග‍්‍රෑම් ලක්ෂ දෙකකට වැඩි ප‍්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.
අනික දඹුල්ලේ ගොවීන් නිපදවන ලොකුළුණු බාලයි කියා මෑරිත්ෆේඩ් ආයතනය දඹුල්ලට යෑමට අකමැත්තක් දක්වනවා.
කෝට් දැමීම, මාලේ දැමීම සහ පැදුර තබා බෑග්වල ඇසිරීම ආදී ක‍්‍රමවලින් බාල ළුෑණු අළෙවි කිරීම නිසා දඹුල්ලේ ලොකු ළුණු මිලදී ගැනීමට අකමැත්තක් තිබෙනවා.
ගොවි සංවිධාන ප‍්‍රමිතියෙන් ඉහළ කෘෂි නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා ගොවීන් දැනුවත් කළ යුතු ව තිබෙනවා. ගුණාත්වයෙන් ඉහළ නිෂ්පාදනවලට වෙළෙඳපොළේ හොඳ මිලක් ලැබෙනවා.
මේ වෙලාවේ තවත් කතා බහට ලක්වෙන දෙයක් තමයි ලෝක ආර්ථික අර්බුදය. ශී‍්‍ර ලංකාව ඊට මුහුණදීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග මොනවාද කියා විපක්ෂයත් අහනවා නේද?
පසුගිය වසරේත් මේ වසරේත් ලෝකයේ රටවල් බොහොමයක් දැවැන්ත අර්බුද රැසකට මුහුණ දුන්නා.
1973න් පසුව ඇතිවූ දැවැන්තම ඛනිජ තෙල් අර්බුදය මතුවන්නේ මේ වසර දෙක තුළයි. එ නිසා ම ගෑස්, පොහොර, රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහනය, විදුලි බලය ඇතුළු ජනතාවට බලපාන ප‍්‍රධාන අංශ රැසක මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියා.
අවුරුදු තිහකට පසුව ලෝකයේ දැවැන්තම ආහාර මිල ඉහළයෑමත් වාර්තාවන්නේ මේ කාලය තුළයි. සහල්, තිරිඟු පිටි, සෝයාබෝංචි, පරිප්පු, මස් මාළු, කිරි, කිරි නිෂ්පාදන ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලත් අසාමාන්‍ය ලෙස ඉහළ ගියා.
ත‍්‍රස්තවාදය දරුණු හා ම්ලේච්ඡත්වයට පත්වුණෙත් මේ වසර දෙක තුළදීමයි. ලංකාවේ පමණක් නොවෙයි, පකිස්ථානය, ඉන්දියාව, නේපාලය, වැනි ආසියාතික රටවලත් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලෝකයේත් ත‍්‍රස්තවාදය වර්ධනය වුණා.
ස්වාභාවික විපත්වලටත් මේ වසර දෙක සුවිශේෂයි. සුනාමි ව්‍යසනයෙන් පසුව ලෝකයේ බොහෝ රටවල ගංවතුර කුණාටු භූ චලන, භූමි කම්පා සිදුවුණා. මේ නිසා බොහෝ රටවල නිෂ්පාදනයට බරපතළ හානි වුණා.
නිදහසින් පස්සෙ මෙවැනි අර්බුද හතරකට එකවර මුහුණදීපු එකම ආණ්ඩුව තමයි මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මේ සියල්ලටම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ පසුබිමකයි. අද උද්ගතවී ඇති අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද යන්න අප කථා කළ යුත්තේ.
මේ පැවැති ආර්ථික අර්බුදය සංවර්ධිත රටවලට දැනෙන්නට කලක් ගත වුණා. අපට වඩා පොහොසත් , ශක්තිමත් සංවර්ධිත ආර්ථිකයක් පවත්වාගෙන ගිය රටවල් පවා අද කඩා වැටෙන්ට පටන් ගෙන තිබෙනවා.
විශාලම ආර්ථික ශක්තිය ඇති රටවල් වන අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ජර්මනිය, බ‍්‍රසීලය වැනි රටවල් අද දැවැන්ත ලෙස මූල්‍ය අර්බුදවලට ලක්වෙලා. ඒ රටවල ආර්ථිකය දෙදරලා ගිහින්.
අපේ රටේත්, ජෝර්ජ් බුෂ්ගේ බාප්පා වරුන් ලෙස සිතා කටයුතු කරන බටහිර අනුකරණවාදී මානසිකත්වයක් ඇති බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසක් ඉන්නවානේ. දැන් ඔවුන්ටත් අලුතෙන් සිතන්ට වෙලා තිබෙනවා.
දැන් ජෝර්ජ් බුෂ්ටත් අනුගමනය කරන්ට සිද්ධ වෙලා තිබෙන්නේ, මහින්ද රාජපක්‍ෂජනාධිපතිතුමාගේ රජයේ වැඩපිළිවෙළ වූ මහින්ද චින්තන වැඩ සටහනයි.
ජෝර්ජ් බුෂ්ටත් මහින්ද චින්තනය ඕනෑ වුණු බව කියන්න හේතු තියෙනවද?
ඔවුන් පවත්වාගෙන ගිය වෙළෙඳ පොළ ආර්ථිකය කඩාවැටෙන කොට ඒ ආර්ථිකය බේරා ගැනීමට වැඩි - වැඩියෙන් රජයට මැදිහත් වීමට ඇමෙරිකාවට අද සිදුවී තිබෙනවා.
පෞද්ගලිකකරණය වෙනුවට පෞද්ගලික අංශය සතුව පැවැති බැංකු වැනි ආයතන රජයට පවරා ගැනීමට ඔවුන්ට සිදුවෙලා අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව ආර්ථිකය කඩා වැටෙන ආයතන බේරා ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන 700 ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට තීරණය කරන තරමට ඔවුන් කඩා වැටිලා.
මේකයි ශී‍්‍ර ලංකා රජයට වසරකට ලැබෙන සම්පූර්ණ විදේශ ණය ආධාර ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන එකක්.
අපේ රටට අවුරුදු හත්සීයකට සපයන විදේශ ණය ආධාර ප‍්‍රමාණයට සමාන අති විශාල මුදල් සම්භාරයක් අමෙරිකානු ආණ්ඩුව පෞද්ගලික අංශයේ නායයෑම වළක්වා ගැනීමට යෙදෙව්වා.
මේ දරුණු ලෝක ආර්ථික අවපාතයෙන් අපේ රටේ ජනතාවටත් මිදෙන්නට බැහැ.
තේ, රබර්, පොල් වැනි ජාතික නිෂ්පාදනවලට ලැබෙන මිල අඩුවීමෙන් මේ බව පෙනෙනවා.
මේ අර්බුදයට මුහුණ දෙන්න ලංකාව අනුගමනය කළ කි‍්‍රයාමාර්ග ගැනත් කථා කරමුද?
ජනාධිපතිතුමා වැවිලි කර්මාන්ත ඇමැතිතුමාටත් එම අංශයේ විශේෂඥයින්ටත්, මේ තත්ත්වය ගැඹුරින් අධ්‍යනය කැර පිළියම් යෙදීමට උපදෙස් දුන්නා.
ළිං මැඩි මානසිකත්වයෙන් මිදී යථාර්තවාදීව, පුළුල්ව ලෝකය කියවන්ට දකින්ට මෙන්ම ලෝකයේ සිදුවෙන වෙනස්කම් අප හඳුනාගන්ට ඕනෑ.
ලෝකය පුළුල්ම දාර්ශනිකයාණන් වහන්සේ බුදුන් වහන්සේයි. උන්වහන්සේ එක පවුලක්, එක ආයතනයක්, එක රටක් ගැන දේශනා කළේ නැහැ.
මා මෙන්ම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, ආදී වශයෙන් විශ්වයේ සියලුම දෙනාට මෛතී‍්‍රයෙන්, කරුණාවෙන් සමානාත්මතාවෙන් සැලකුවා. ලෝකයේ සියලුම දෙනා හොඳ වුවොත් තමයි අපටත් හොඳ වෙන්නේ. ලෝකයට නරකක් වුවත්, හොඳක් වුණත් අපට බලපානවා.
අලි ඩාන්ස් කරන කොට තණ කොළ මැරෙනවානේ. ලොකු රටවල සිද්ධවෙන දේ පොඩි රටවලටත් බලපානවා.
පුවත්පත් මඟින් විවිධ මාධ්‍ය සාකච්ඡා මඟින් ලෝකයේ තිබෙන දේ ගැන කීමෙන් වැඩක් නැහැ කියමින් මට බොහෝ අය චෝදනා එල්ල කළා.
අපට අඩු මිලට කන්ට දෙන්ට කීවා. “අපට කන්න දෙනවනම්, අපට බොන්න දෙනවනම්, වෙන කිසිම දෙයක් ඕන නැහැ කියා සමහර නරුමවාදීන් පැවැසුවා. දැන් ඒ අයගේ ඇඟට දැනෙනවා ඇති ලෝකයේ තිබෙන සමහර බලපෑම් කාගේ ආණ්ඩුවක් තිබුණත් සිදු වෙන බව.
ජීවන වියදම අඩුකිරීමට රජයට සැලැස්මක් නැති බවටත් චෝදනාවක් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
ලංකාවේ ජීවන වියදම වැඩිවුණේ 1980 වසරේදීයි. එය 26.1%ක් වෙනවා. ඊළඟට වැඩිම ප‍්‍රමාණය වාර්තා වෙන්නෙ 1989. ඒ ප‍්‍රමාණය 21.5% යි. එසේම 1989 තමයි වැඩිම රජයේ ණය බර වාර්තාවෙන්නේ. එය 108.7%ක්.
මේ වගේ විශාල ණය බරක් උද්ධමන තත්ත්වයක් ඒකාලයේ පැවතුණා. ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති අය තමන්ගේ කටට එන වචන මුදා හරිනවා.
ඒවා හුදු දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව ආර්ථික කරුණු දැක්වීමක්. මේ ප‍්‍රකාශවලින් සමාජ ප‍්‍රගමනයට හෝ ආර්ථිකයට ඵලදායක යමක් එකතු වන්නේ නැහැ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ මහතා පසුගියදා ඉන්දියානු සංචාරයේදී කරනු ලැබූ සාකච්ඡා පිළිබඳ බරපතළ සැක පහළ වෙන බවත්, ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ යක් කැර තිබුණා නේද?
පාර්ලිමේන්තුවේ වැදගත් දේත්, නොවැදගත් දේත් සාකච්ඡා වෙනවා. ඒක මේ මෑතකදී ඇති වූ ප‍්‍රවණතාවක්.
ඒ කෙසේ වෙතත් අපේ රටටයි, රටෙ අනාගත ඉරණමටයි බලපාන, බලපාපු බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දියානු සංචාරය ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිවීම ඉතාමත් හොඳයි.
ඒවගේම ඉන්දියානු රජයත්, ශී‍්‍ර ලංකා රජයත් එම සාකච්ඡාවලින් පසුව ප‍්‍රකාශයට පත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශය පිළිබඳත් පුළුල් ව සාකච්ඡා කිරීමට ඒ තුළින් අවස්ථාවක් ලැබෙනවා.
ඉතා ඉහළ රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමෙන් සිදු කෙරුණ එම සාකච්ඡා ගැන පාර්ලිමේන්තු වේ නැවත සාකච්ඡාවට භාජනය කිරීමෙන් පාර්ලිමේන්තුව හරහා නැවතත් මේ තොරතුරු ජනතාව අතරට යනවා. ඒ තුළින් බැසිල් රාජපක්‍ෂ මහතාටත්, රජයටත් වැඩි ප‍්‍රසාදයක් ලැබෙනවා.
කාටූන් ශීල්පීන් ගෙන්වා සංග‍්‍රහයක් පැවැත්වීම ඔවුන්ට මානසික අල්ලස් දීමක් බවට චෝදනාවක් තිබෙනවා නේද?
විවිධ කාටූන් හා විවේචන මැද්දේ විශ්වයේ අර්බුදය දූපතේ අර්බුදයක් සේ හුවා දක්වන සැමට තිබෙන්නේ දූපත් මානසිකත්වයක්.
ළිං මැඩි දූපත් මානසිකත්වයෙන් පෙළෙන ආචාර්ය මහාචාර්යවරුන් සිටින යුගයක, නිරායුධ අහිංසක කාටුන් ශිල්පීන්ට උපහාරයක් ලබා දීමටයි ඒ සංග‍්‍රහය පැවැත්වූයේ.
ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් ප‍්‍රදර්ශනයක් පවත්වන්ටත්, ඒ තුළින් කුසලතා පෙන්වන්ටත් අප බලාපොරොත්තු වෙනවා.

No comments: