Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

අපේ ගොවියා බේරගන්න ශ‍්‍රී වගාව විතරක් ඇද්ද?

සාලින්ද දිසානායක, ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය

පොල් සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඔබ පසුගියදා එයින් හදිසියේම ඉල්ලා අස්වුණා. එසේ ඉල්ලා අස්වීම ගැන විවිධ මත පළවුණා. ඇත්ත වශයෙන්ම ඉල්ලා අස්වීමට තුඩුදුන් හේතු මොනවාද?
මා මේ අමාත්‍යාංශය භාරව කටයුතු කරමින් සිටින අතරේ ජනාධිපතිතුමා ජාතිය ගොඩනැගීමේ ඇමැතිවරයෙකු ලෙස මාව පත් කළා. ඒ අමාත්‍යාංශයේ කාර්යභාරය ඉතා විශාලයි. පූර්ණකාලීනව ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යාංශයේ වැඩ කොටස කරගෙන යෑමට පොල් සංවර්ධන ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා. එහෙත් ඇතැම් අය මේ ඉල්ලා අස්වීම හේතුකරගෙන අපේ කණ්ඩායම තුළ අර්බුද ඇති කිරීමට කට කතා පතුරුවන්ට ඇති. ඒ වගේ දේවල් ඉතින් මේ රටේ කොච්චරවත් වෙනවනේ නේද?
පොල් සංවර්ධනයෙන් ඉවත්වෙලා ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය පමණක් බාරගෙන ඒ තුළින් ඔබ බලාපොරොත්තු වුණේ කුමක්ද?
ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය ජනාධිපතිතුමා අලුතින් ඇති කළේ වැටී තිබෙන ජාතිය ගොඩනැගීම අරමුණු කරගෙන. එය මහින්ද චින්තනය ඵල දැරීමක්. අපේ රට 1505 සිට බටහිර ජාතීන් තුනකට වරින් වර යටත් වුණා. ඒ යටත්වීමත් සමඟ අපේ රටේ පැවැති ස්වයංපෝෂිත ආර්ථිකය කඩා වැටුණා. ගම පිරිහුණා. ගම වෙනුවට බටහිර ජාතීන්ගේ වෙළෙඳ ආර්ථිකය තුළින් නගර බිහිවෙන්ට පටන් ගත්තා.
වසර දෙදහස් පන්සියයකට ඈත කාලයේ සිට පැවැත එන අපේ සංස්කෘතිය, සාරධර්ම, සිතුම් පැතුම්, පුරුෂාර්ථයන්, ආධ්‍යාත්මික ගුණ වගාවන් සියල්ල බටහිර ජාතීන් පාගල දැම්මා. ස්වයංපෝෂිත ආර්ථික ශක්තිය විනාශ කළා. මේ සියලු කරුණු කාරණා නිසා අප පසුගාමී ජාතියක් බවට පත්වුණා.
මේ තත්ත්වය මැනවින් අවබෝධ කරගත් ජනාධිපතිතුමා අප නැවත ජාතියක් ලෙස ගොඩ නගන්නට මේ අමාත්‍යාංශය ආරම්භ කළා.
ජාතිය ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙළ දැනට ආරම්භ වෙලා තිබෙනවා. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව යමින් මුළු රටම දැන් අලුත් පිබිදීමකින් අලුත් ගමනක් යමින් සිටිනවා. මුළු රටම ජනාධිපතිතුමාගේ රට ගොඩ නගන වැඩපිළිවෙළ සමඟ එක්ව කටයුතු කරනවා.
ඔබ කියන ඔය කාර්යය මෙතෙක් අපට ඉටුකර ගන්න බැරිවුණේ ඇයි ?
අපට වඩා අමාරු අඩියකට ඇද වැටී තිබුණු මැලේසියාව එදා අපේ රටේ පැවැති සංවර්ධන සැලසුම් ආදර්ශයට ගනිමින් කි‍්‍රයාකරලා අද වනවිට අපව පසුකරමින් අපට වඩා ඉදිරියට ගිහින් තිබෙනවා.
මහතිර් මොහොමඩ් රට භාර ගන්නාවිට එරට ආර්ථිකය චීන ජාතිකයන් අතට පත්වෙලායි තිබුණේ. දෙවැනි ස්ථානයට සිටියේ දෙමළ ජාතීන්. තුන්වැනි තැනටයි මැලේ ජාතින් හිටියේ. මේ තත්ත්වය ජාතිවාදී අරගල ඇතිවීමට ඉඩක් නොදී ඉතා සංයමයෙන් කි‍්‍රයා කරලා භූමිපුත‍්‍ර වැනි බැංකු ක‍්‍රම හඳුන්වාදීලා මැලේ ජාතීන්ට ආධාර ලබාදීලා මහතීර් මොහමඩ් සියලූම ජාතීන් එක හා සමානව සලකලා රට ගොඩනැගුවා.
තව අවුරුදු විස්සකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේදී මුහුදට බිලි වෙන බවට එහෙම නැතිනම් මුහුදට ගිලාබහින රට අද වනවිට මහ මුහුදේ වැලි පොම්ප කරලා දූපත්වල භූමි මට්ටම ඉහළ දමමින් ඉන්නවා. රට රැක ගැනීමට බැමි බඳිනවා. තව අවුරුදු විස්සකින් මැලේසියාව මුහුදට ගිලෙන්නේ නැහැ. ඒ ඔවුන් රට රැක ගැනීමට කි‍්‍රයාකරමින් ඉන්න නිසයි.
අපට ජාතියක් හැටියට ගොඩනැගෙන්නට බැරිවුණේ ඇයි කියන කාරණය ඔබ දකින්නේ කොහොමද?
එක අවස්ථාවාදී දේශපාලනයයි. දෙවැනි කාරණය තමයි, නිදහස ලබා ගතවූ වසර හැටෙන් තිස් වසරක්ම අපි යුද්දෙකට පැටලිලා උන්නු එක. තුන්වැනි හේතුව 1971 සිට ජනතා විමුක්ති පෙරමුණ මේ රටට සිදුකර ඇති සහ සිදුකරමින් සිටින විනාශය. මේ හේතු නිසා අපට ජාතියක් ලෙස ගොඩනැගීමට මෙතෙක් අපහසු වී තිබෙනවා.
ශ‍්‍රී වගා ක‍්‍රමය තුළින් මෙරට සහලින් ස්වයංපෝෂිත විය හැකි බව ඔබ කියා තිබුණා. දැනට ශ‍්‍රී වගා ක‍්‍රමය කොපමණ දුරට ව්‍යාප්ත කරලා තිබෙනවාද?
මැඩගස්කරයේ ඇතිවූ ආර්්ථික අර්බුදයත් සමඟ එරට වී ගොවියාට ලබාදුන් තෙල් පොහොර සහනාධාරය නැවැත්වීමට සිදුවුණා. ඒ අනුව එරට පාලකයින්, ආගමික නායකයින් හා විද්‍යාඥයින් එක්ව වී ගහ ගැන පරීක්ෂණ කළා. ඒ පරීක්ෂණවලින් තමයි ශ‍්‍රී වගාව ලෝකයට හඳුන්වා දෙන්නේ.
ශ‍්‍රී වගාව තනිකරම කාබනික වගා ක‍්‍රමයක්. රසායනික පොහොර, රසායනික තෙල් බෙහෙත් භාවිතා කරන්නේම නැහැ. ජලයත් පාවිච්චියට ගන්නේ අඩුම ප‍්‍රමාණයක්.
මෙයට අවුරුදු දහයකට පමණ පෙර මා කෘෂිකර්ම ඉඩම් නියෝජ්‍ය ඇමැති කාලයේ ජෝ එලී බැරිසන් කියන විද්‍යාඥයා ලංකාවට ගෙන්වාගෙන ශ‍්‍රී වගාව ආරම්භ කළා. එදා මෙදාතුර කිසිම රජයකින් කිසිම අනුග‍්‍රහයක් ලැබුණේ නැහැ. එහෙත් ගොවීන් 35000 ක් පමණ දැනට ශ‍්‍රී ක‍්‍රමයට වී වගා කරනවා.
අපේ ගොවියා බේරගන්න ශ‍්‍රී වගාව විතරක් ඇද්ද?
අද ගොවියා බහුජාතික සමාගම්වල වහලෙක් වෙලා. වී, ඉරිඟු, තිරිඟු යන ආහාර භෝග වගාවේ ලාභය බහුජාතික සමාගම්වලට ලබා ගැනීම සඳහා ඔවුන් කි‍්‍රයාත්මක කළ හරිත විප්ලවයකියන ව්‍යාපාරික උගුලට බොහෝ රටවල් ගොදුරුවුණා. අපේ රටේ ගොවියාත් හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට බහුජාතික සමාගම් නිපදවන බීජ, පොහොර සහ රසායනික ද්‍රව්‍ය භාවිතාවට හුරුවුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගොවීන්ට යෙදවුම් ද්‍රව්‍ය මිල අධික වුණා. අපේ පොළොව විනාශ වුණා.
රසායනික ද්‍රව්‍ය සහිත ආහාර අනුභව කරලා අපේ ජාතිය රෝගීන් බවට පත්වුණා. ගොවිතැන යථාර්ථයක් කිරීමට නම් බහුජාතික සමාගම්වල හා අතරමැදියන්ගේ ග‍්‍රහණයෙන් ගොවියා මුදාගත යුතුයි. ශ‍්‍රී වගාවෙන් එය කළ හැකියි. මේ වගාවට තෙල් පොහොර අවශ්‍ය නැහැ. ඒත් මේ වගාවෙන් දැනට අක්කරයකට වැඩිම අස්වැන්න ලබාගැනීමට හැකිවී තිබෙනවා. වී බුසල් 400 ක් ලබාගන්න පුළුවන්. මට මතක හැටියට 1999 වසරේ චීනය අක්කරයකින් වී බුසල් 423 ක් ලබා ගත්තා. මැඩගස්කරය අක්කරයකින් වී බුසල් 418 ක්ද එම වසරේදීම මා විසින් අක්කරයකින් වී බුසල් 357.5 ක්ද ලබාගෙන තිබෙනවා.
ඉන්ධනවලට රජයෙන් අලුතෙන් සෙස් බද්දක් පනවා තිබෙනවා නේද? මේවායින් පේන්නේ ඉන්ධන මිල පහළ හෙළන්න ආණ්ඩුවට වුවමනාවක් නැතිකම බවයි විපක්ෂය කියන්නේ?
ඉන්ධන මිල ඉහළයෑම ඉන්ධනවලට බදු පැනවීම මේ පවතින ක‍්‍රමය අනුව මොන ආණ්ඩුවක් තිබුණත් කරන්න වෙනවා. මේ ගැටලුවේ මතුපිට ස්වරූපය ගැන තමයි, අප නිතරම කතා කරන්නේ. එහි ඇතුළාන්තය සහ මේ අර්බුදයට ස්ථිර විසඳුමක් සෙවීමට අවධානය යොමු කිරීමයි වැදගත්.
ඉන්ධන අර්බුදය ගැන රණ්ඩු කළාට හරියන්නේ නැහැ. ජය ගැනීමට නම් අපට අනිවාර්යයෙන්ම විකල්ප බලශක්තිවලට යන්න වෙනවා.
අපේ රටේ භාවිත වෙන බලශක්තිවලින් 44% ක ප‍්‍රමාණයක් ගෙනෙන්නේ පිටින්. 2007 වසරේ රුපියල් කෝටි 16000 ක් වැයකරලා තිබෙනවා. අපට විකල්ප බලශක්ති ප‍්‍රභවයන් 4 ක් තිබෙනවා. සුළං මගින් බලශක්තිය නිපදවීම, හිරු එළිය, දර සහ එතනෝල් වැනි විකල්ප බලශක්තිවලට අප යා යුතුයි.
විකල්ප බලශක්තිවලට නොගොස් ඩීසල්වලින් විදුලිය නිපදවීම වැනි අධික වියදම් සහිත ක‍්‍රමවලට යෑමෙන් මේ රටේ බලශක්ති අර්බුදය තවත් උග‍්‍රවුණා.
ලෝකයේ බොහෝ රටවල් විකල්ප බලශක්ති භාවිතාවට හුරුවෙමින් ඉන්නවා. ඉන්දියාවේ අමිර්ථසාරි සිට නවදිල්ලි දක්වා දුම්රිය ධාවනය කෙරෙන්නේ වැට එඬරු තෙල්වලින් ලබාගන්නා ඉන්ධනවලින්.
ආදි කාලයේ අපේ රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වී තිබුණු රටක්. අප රටේ මගුල්කරඳවලින් ඩීසල් නිපදවන්න පුළුවනි.
අතීතයේ ඇමස්ටර් ඩෑම් සිට හීත්රූ ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ධාවනය වූයේ පොල්තෙල්වලින් සාදාගත් ඉන්ධනවලින් කියලත් කතාවක් තියෙනවා.
ගිනිසීරියා හෙක්ටයාර් 40 ක වගාවක දරවලින් මෙගාවොට් 1ක විදුලිබලය නිපදවිය හැකියි. ඒ මඟින් පවුල් 12000 කට විදුලිය සපයන්න පුළුවනි. හෙක්ටයාර් 1 ක පොල් ඉඩමක ගවයින් හයදෙනෙකු යොදාගෙන බයෝගෑස් (ජීව වායු) නිපදෙව්වොත් ගිනිසීරියා ගස් 2200 ක් සිටුවීමෙන් දිනකට විදුලි ඒකක 2 ක් නිපදවිය හැකියි.
විනයාගමුර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තුවට පත්කිරීම ගැන රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් බරපතළ චෝදනා එල්ල කරනවා නේද?
බෙදුම්වාදය අතහැරලා, ප‍්‍රචණ්ඩත්වය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එක්වෙන කෙනෙකුට තම ජන කොටසට සේවයක් කිරීමට අවස්ථාවක් ලබාදීම වරදක්ද?
කරුණා අම්මාන් මහතා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එක්වීමට පෙර සිදුකළ කි‍්‍රයා කලාපයන් ගැනත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රංගේ බණ්ඩාර මහතා සිහිපත් කරමින් එවැනි කෙනෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්කිරීම ගැන විරෝධය පළකැර තිබුණා නේද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයට එක්වීමට පෙර විනයාගමූර්ති මහතා පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණත් ඉතා බරපතළ සිද්ධීන්වලට මුල්වී කි‍්‍රයාකරපු හැටි අපට මතකයි.
ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස කි‍්‍රයාකරපු ආකාරය දැන් ඔවුන්ට අමතක වෙලා. ඒ කාලයේ මිනී මරපු ආකාරය, බස් ගිනි තියපු හැටි, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ට‍්‍රාන්ස්ෆෝමර් විනාශ කරපු හැටි දැන් ඔවුන්ට අමතක වෙලා. එහෙම කරපු ඒ ගොල්ලන්ට පාර්ලිමේන්තු දේශපාලනය සුදුසුයි නම් විනයාගමූර්ති මහතාට බැරි ඇයි.
එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන කාලයේ ගල්ගමුව ප‍්‍රදේශයේ ප‍්‍රගතිශීලී අදහස් දැරූ අය හතළිහක් පමණ ඝාතනය කරපු හැටි දැන් ඒ මන්තී‍්‍රවරයාට අමතක වෙලා වගෙයි කතා කරන්නේ. මේ මිනීමැරුම් ගැන සාක්ෂිත් තිබෙනවා.
මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ අභාවය ගැන ඇතැමුන් රජයට චෝදනා එල්ල කරනවා නේද?
මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට අත්වූ අවාසනාවන්ත ඉරණමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ පක්ෂය වැටී තිබූ දේශපාලන ආගාදයෙන් ගොඩඒමට මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා යොදා ගැනීම නිසා ඒ මහතාට මෙවැනි ඉරණමකට මුහුණදීමට සිදුවුණා. ඔහු හොඳ යුද සෙනෙවියෙක්. හොඳ නිලධාරියෙක්. මගේත් මිත‍්‍රයෙක්.
ජානක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට පොළඹවා ගැනීමෙන් යුද සෙනෙවියෙකු ලෙස ඔහු ගොඩනගාගෙන තිබූ කීර්ති නාමයට මුලින්ම කැළලක් සිදුකැර ගත්තා.
ඒ මහතාගේ ගෞරවනීයත්වය කෙළෙසමින් ඔහුගේ මරණයත්, එක්සත් ජාතික පක්ෂය වැටී ඉන්න වළෙන් ගොඩ එන්න යොදාගෙන තිබෙන හැටි ඉතාමත් නින්දනීයයි.
කොටි ත‍්‍රස්තවාදීන් එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු දඩයම් කිරීමට මේ ඝාතනය සිදුකැර තිබෙනවා. කාලයක් තිස්සේ කොටින්ගේ ඉලක්කයක් වූ ජානක පෙරේරා නැමැති යුද හමුදා නිලධාරියා ඝාතනයට ලක් කිරීමෙන් ඔවුන්ගේ පැත්තෙන් අත්වී තිබෙන පරාජය හමුවේ බිඳ වැටී ඇති මානසික ශක්තිය තහවුරු කර ගැනීමට ඔවුන් මේ ඝාතනය සිදුකරන්ට ඇත.
අනෙක් පැත්තෙන් රජයට එරෙහිව යම් ජනමතයක් ගොඩනගා දැනට මහජනතාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමට රජයට ලබාදෙන සහාය අඩු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙන්ටත් ඇති.
මේ කොටි අරමුණු ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය රජය අපහසුතාවට පත්කිරීමට උත්සාහ දරමින් කි‍්‍රයා කරනවා. ඔවුන් ඒ සඳහා ජානක පෙරේරා මහතාගේ මෘත දේහ පාවිච්චි කිරීමට තරම් දීන වී තිබෙනවා. එය එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය විදහා පෙන්වීමක් වූ බව රටේ ජනතාව හොඳින් දන්නවා.
සාකච්ඡා කළේ වෙල්ලස්සේ බණ්ඩාර

No comments: