Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 9, 2008

‘විජය චරිතය’ කියවිය යුතු කාලයයි මේ...

මානව හිතවාදී දේශපාලන නායකයකු මෙන්ම ප‍්‍රවීණ රංගධරයකු වූ විජය කුමාරතුංගයන්ගේ 63 වැනි ජන්ම දිනය අදට (09) යෙදේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) මහතා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස දිව්රුම් දුන්නේ පසුගිය 7 වැනිදා ය.
එය මේ රටේ දේශපාලනයේද ජනවර්ග ගැටලුව විසඳීමෙහිලාද සුවිශේෂිතම සිදුවීමක් ලෙස සනිටුහන් වන ස්වර්ණමය දිනයකි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙසද කොටි සංවිධානයේ දෙවැනි නායකයා ලෙසද කටයුතු කළ පුද්ගලයකු සියලු සන්නද්ධ කි‍්‍රයා අතහැර මේ රටේ ඒකීයභාවය පිළිගනිමින් පත්කළ මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කිරීමක් මිස වෙන කුමක්ද?
මෙහි සියලුම ගෞරවය හිමිවිය යුත්තේ ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ය. මන්ද මේ රටේ ජනවර්ග ගැටලුව නිවැරැදිව හඳුනාගත් රාජ්‍ය නායකයාද වන්නේ ඔහු බැවිනි.
1945 වර්ෂයේ ඔක්තෝබර් 9 වැනිදා අද වැනි දිනෙක ජන්ම ලාභය ලැබූ, එදා මෙදාතුර ශ‍්‍රී ලාංකීය සිනමාවේ ආකර්ශනීයම රංගන ශිල්පියා වූ ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක වූ මානව හිතවාදී විජය කුමාරතුංගයන්ද මේ රටේ ජනවර්ග ගැටලුව නිවැරැදිව හඳුනාගත් ප‍්‍රගතිශීලී දේශපාලන නායකයෙකි.
ඒ බැව් ඔහු ජීවත්ව සිටියදී කළ කී දේ තුළින් මනාව පැහැදිලි වේ.
විජය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙකි.
විජය ජීවත්ව සිටියදී ජාතියක්, ආගමක්, කුලයක් වෙනුවෙන් පෙනී නොසිටියේ ය. ඔහු පෙනී සිටියේ මේ රටේ තැලෙන පෑගෙන නිර්ධන පංතිය වෙනුවෙනි. ඔහු වඩාත්ම ආදරය කළේ මේ රටේ ජනතාවට ය.
ඔහු සහ ඔහු නියෝජනය කළ ශ‍්‍රීී ලංකා මහජන පක්ෂය මේ රටේ ජනවර්ග ගැටලුව විසඳීමට කොන්දේසි විරහිතව සහාය දුන් ආකාරය මේ රටේ නොමැරී ජීවත්වන ජනතාවට හොඳ හැටි මතක ය.
නැස්සලයිට් චෝදනා මත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විජය කුමාරතුංගයන්ව සිරකොට තබා දස වධ දුන්නත් මහර අතුරු මැතිවරණයේදී විජයගේ ජීවිතය නැති කරන්නට එජාප මැරයන් ලවා විජයට වෙඩි තැබුවත් (එම වෙඩි උණ්ඩයට වරපලානේ පේ‍්‍රමසිරි නමැති විජයගේ පාක්ෂිකයකු මැරී වැටුණේය).
විජය දිනාගත් මහර ආසනය බලහත්කාරයෙන් ජේ. ආර්. ජයවර්ධන ලබාගත්තත්, ඒ සියල්ල අමතක කර එදා විජය මේ රටේ වසර ගණනාවක් දැවෙන ජනවර්ග ගැටලුව විසඳීමට එවකට පැවැති එජාප ආණ්ඩුවට සහාය දුන්නේ කිසිදු කොන්දේසියකින් තොරව ය.
විජය කුමාරතුංග එදා පැවැති දකුණේ ත‍්‍රස්තවාදයට සේම උතුරේ ත‍්‍රස්තවාදයට විරුද්ධව හඬ නැගීය. දකුණේ එජාප ආණ්ඩුවේ ත‍්‍රස්තවාදය ද ජවිපෙ ත‍්‍රස්තවාදයද, උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදයටද එකසේ විරුද්ධවීමට තරම් නිර්භීතකමක් විජයට තිබිණ.
එදා වව්නියාවෙන් එහාට මුළු උතුරු - නැඟෙනහිර ප‍්‍රදේශයම කොටි අණසකට යටත්ව පැවැති යුගයක, යාපනයේ නල්ලූර් කෝවිල අසලදී පැවැති රැස්වීමකදී කොටි සංවිධානයේ ‘ටී පනස් හය’ මැද සිට ඊළාම් විරෝධී ප‍්‍රකාශයක් විජයට කළ හැකි වූයේ විජය සැබෑ ලෙසම ජාතිවාදය පිළිකෙව් කළ ප‍්‍රගතිශීලී නායකයකු වූ නිසාය.
මෙරට ජනවර්ග ප‍්‍රශ්නය විජය කුමාරතුංගයන් නිවැරැදිව සාධාරණව තේරුම්ගෙන තිබිණ. ඒ නිසාම මෙම ගැටලුව විසඳීමේ අරමුණෙන් විජය එල්.ටී.ටී.ඊ. ඇතුළු සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කෙළේය.
ඒ සඳහා විජය මදුරාසියටත්, යාපනයටත් ගියේය. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු මඩ ප‍්‍රහාරයන් අපමණ ය. නමුදු ඒ එකකින්වත් නොසැලුණු මේ මානව හිතවාදියා ජනවර්ග ගැටලුව විසැඳීමේ මූලික අඩිතාලම ලෙස බලය බෙදීම ගැන විශ්වාසය කෙළේය.
ජනවර්ග ගැටලුව විසඳීමට ඉදිරිපත්වීමේ විජයගේ අවංක උවමනාව එදා පැවැති ජේ. ආර්. ජයවර්ධන රජය කඩා බිඳ දැම්මේ එහි වාසියක් විජයට ලැබුණොත් එය ආණ්ඩුවට අවාසියක් වේයැයි සිතූ නිසාය.
වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් රටේ ජනවර්ග ගැටලුව විසඳීම සඳහා ඉතා සාර්ථක වැඩපිළිවෙළක් රට තුළ ගෙනයද්දී එයට සහාය දෙනවා වෙනුවට රටේ ප‍්‍රධාන විපක්ෂය වන එජාපය කරනුයේ ඉතා ජුගුප්සා ජනක වැඩ කටයුතු ය. බලය ගැනීම තම එකම අභිලාෂය කරගත් එජාපය අද එල්.ටී.ටී.ඊ. උපායන්ට හසුවී කටයුතු කරනු පෙනේ.
එහි ආසන්නතම සිදුවීම මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනයයි. සැබැවින්ම එජාපයට සහ එජාප නායකයාට එදා විජය කුමාරතුංගයන් විපක්ෂයේ සිටිමින් කොන්දේසි විරහිතව සාමය ගෙන එන්නට එදා රජයට සහාය දුන් ආකාරය සිහිපත් කරගැනීම සුදුසු බව කිව යුතුව ඇත.
වගකිව යුතු විපක්ෂයක් හැසිරිය යුත්තේ ඒ ආකාරයට ය.
විජය අද (ඔක්තෝබර් 9 වැනිදා) වනවිට ජීවත්ව සිටියා නම් මේ වනවිට ඔහුට වයස අවුරුදු 63 ක් වනු ඇත. ඔහුව ඝාතනය කෙළේ 1988 වර්ෂයේ පෙබරවාරි 16 වැනිදා ය. එවකට ඔහුට වයස අවුරුදු 42 කුත් මාස ගණනකි.
විජය වැනි මානව හිතවාදී මිනිසකුව එවැනි අඩු වයසකින් මරා දමන්නට තීරණය කිරීමම අමානුෂික අධම සිතුවිල්ලකි. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය වේවා, ජනතා විමුක්ති පෙරමුණ හෝ වේවා කාට හෝ මිනිසකු මරා දැමීමට අයිතියක් තිබේද?
විජය මරා දැමීමෙන් එම කි‍්‍රයාව කළ වුන් මේ වනවිට විමුක්තිය ලබාගෙන ඇද්ද? ජයග‍්‍රහණ ලබාගෙන ඇත්ද? අඩුම තරමේ එම ඝාතනය කළවුන් විජය කුමාරතුංගයන්ගේ මරණය සම්බන්ධයෙන් සමාජයට හෝ ජනතාවට වගකියා ඇද්ද? පාපෝච්චාරණයක් කර ඇද්ද?
නමුදු කිසිවිටෙක මේ රටේ ජනතාව විජයගේ අමානුෂික ඝාතනය අනුමත නොකරනු ඇත. මේ රටේ ජනතාව විජය ඝාතනය කළවුන්ට කිසිදා ‘සමාව‘ නොදෙනු ඇත. සැමදා ඔවුන්ව ප‍්‍රතික්ෂේප කරනු ඇත.
විජය කුමාරතුංග නම් මානව හිතවාදියා අද වනවිට ජීවත්ව සිටියා නම් ඔහු විසින් සිනමාවේ සහ දේශපාලනයේ අත්පත් කරගනු ලබන ජයග‍්‍රහණ හෝ ශ්‍රේෂ්ඨත්වයන් පිළිබඳ දැන් කතා කිරීමෙන් පලක් නැත.
නමුත් ඔහු උපතින් උරුම කරගත් මානව හිතවාදයත්, ඔහු ජීවත්ව සිටියදී තම කි‍්‍රයාකාරකම්වලින් අත්කරගත් ශ්‍රේෂ්ඨත්වය පිළිබඳවත් සමාජයේ විවිධ අය විවිධ අර්ථ දැක්වීමට පෙළැඹි ඇත. එය එසේ අර්ථ දැක්වීමටත්, විග‍්‍රහ කිරීමටත් සමාජයට අයිතියක් ඇත.
මිනිසුන්ගේ අදහස්, සිතුම් පැතුම් විවිධ ය. විසම ය. එනිසාම විජය කුමාරතුංගයන්ගේ මනා ප‍්‍රතිරූපය විවිධ හැල හැප්පිලි තුළ වසර 63 ක කාලයක් නොනැසී, නොබිඳී ඉදිරියට පැමිණ ඇත. එය අප ජීවත්වන අපේ වයසට නොව, තව වසර සිය ගණනකට මේ සමාජය තුළ ඉදිරියට යනු ඇත.
විජයගේ දේශපාලන ප‍්‍රවිශ්ටය එක්තරා විදියකට අභියෝගාත්මකය. දුප්පත් පංතියෙන්, පීඩිත පංතියෙන්, ගමෙන් දේශපාලනයට පැමිණෙන සෑම දේශපාලනඥයකුටම, මේ රටේ ප‍්‍රභූ යැයි කියා ගත් රදල පැලැන්තියෙන්, දේශපාලනය තම උරුමය යැයි සිතාගත් පුද්ගලයන්ගෙන් එල්ල වන්නේ සුළු පටු අභියෝගයක් නොවේ. එය එදා මෙදාතුර දේශපාලනය දෙස මැනවින් බලන්නෙකුට සක්සුදක් සේ පෙනෙන කරුණකි.
එය එදාමෙන් අදත් ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක වන දෙයකි. එජාපයේ දේශපාලනය කළ ආර්. පේ‍්‍රමදාස මහතාද ශ‍්‍රීලනිපයෙන් දේශපාලනයට පැමිණි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඒ පන්ති කැපිල්ලට ලක්වූ, අපට ආසන්නයෙන්ම පෙන්වා දිය හැකි උදාහරණයන්ය. විජය කුමාරතුංගයන්ටද එදා ඒ ‘පන්ති කැපිල්ලට’ ලක්වීමට සිදුවිය.
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට රට තුළ ගෙනයන ඒ ජනහිතකාමී වැඩපිළිවෙළට විරුද්ධව ධනපති ප‍්‍රභූ පැලැන්ති එකට එකතුවී ඇති ආකාරය අද වුව මනාව දිස්වේ.
අශුද්ධ සන්ධාන හදමින් රාජ්‍ය නොවන සංවිධාන (සියල්ල නොවේ) උදව් ලබා ගනිමින් එල්.ටී.ටී.ඊ. උවමනාව ඉෂ්ට කරන පුද්ගලයන් හා පක්ෂ සංවිධාන මොනවාද යන්න අද වඩා හොඳට රටේ ජනතාව දනිති.
එම නිසා කුමන බාධක පැමිණියත් මේ රටේ බහුතර ජනතාව සත්‍ය සහ අවංකකම සමඟ ඉදිරියට යෑමට තීරණය කිරීම සතුටට කරුණකි.
අද වැනි දිනෙක (ඔක්තෝබර් 9 වැනිදා) උපත ලැබූ සත්‍යයට සේම අවංකභාවයට වඩා ගරු කළ මානව හිතවාදී විජය කුමාරතුංගයන් යළි යළිත් අප සිිහිපත් කරනුයේ ඔහු තුළ තිබූ සැබෑ මනුස්සකමට ය.
විජය මියගියදා පටන් ඔහුගේ ජන්ම දිනයටත්, ඔහුගේ ගුණසමරු (මියගිය) දිනයටත් වසර විස්සක කාලයක් නොකඩවා කුමන හෝ පුවත්පතකට සටහනක් ලියුම්කරු තබන්නේ ඔහුගේ මනුෂ්‍යත්වයට ලියුම්කරුගෙන් ඉටුවිය යුතු යුතුකමක් සේ සලකා ගෙන ය.
සැබැවින්ම විජය අද නැතත් ඒ භූමිකාව තුළ තිබූ ඒ මහා අවංකකම, මනුස්සකම මේ රටේ දේශපාලනයට හොඳ වැඩි වූවා යැයි ලියුම්කරුට සිතේ. වර්තමාන දේශපාලනය තුළ නැත්තේද මේ අවංකකමය.
රට සංවර්ධනය කරන්නට, රට රැකගන්නට රටට සාමය ගෙන එන්නට රටේ ජනතාව, රටේ දේශපාලකයන් එකට එකතුවිය යුතු යැයි රට ඉල්ලා සිටින මොහොතක, එසේ නොකොට රටට හෙණ ගැසුවත් බලය ඩැහැ ගැනීම එකම බලාපොරොත්තුව පමණක් කරගත් දේශපාලන නායකයන්ට විජය කුමාරතුංග චරිතය සැබෑ ආදර්ශයක් වනු ඒකාන්තය.
ගාමිණි ජයලත්

No comments: