Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

කරුණානිධිගේ කොටි කුලප්පුවට තමිල්නාඩුවෙත් තැනක් නෑ- මහාචාර්ය විශ්වා වර්ණපාල උසස් අධ්‍යාපන ඇමැති

නේරුතුමාගේ පංචශීල ප‍්‍රතිපත්තිය පිළිගන්නා අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ ඉන්දීය රජය, වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට කෙසේවත් අත නොපොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මේ කතා බහේදී පෙන්වා දෙයි. තමිල්නාඩුවේ කොටි හිතවාදය හුදු මවා පෑමක් බවත් එහි පැවැති උද්ඝෝෂණවලට දෙසීයක් ගෙන්වා ගැනීමට සංවිධායකයන් අසමත් වූ බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩිපුරම කතාබහට ලක්වී තිබෙන්නේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ දේශපාලන ස්ථාවරය හා ඉන්දීය මධ්‍යම රජයට ඊට දක්වන ප‍්‍රතිචාරයේ ස්වභාවය පිළිබඳවයි. ජාත්‍යන්තර දේශපාලනය ගැනද උනන්දුවක් දක්වන පුද්ගලයකු වශයෙන් මේ ගැන ඔබ හිතන්නේ මොනවාද?
මෙතැනදී ඉතාම වැදගත් වෙන්නේ ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තියයි. වර්තමානයේදී වාගේ ම ඉතිහාසයේත් ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතා වැදගත් වෙනවා. එම විදේශ ප‍්‍රතිපත්තියේ තිබෙන වැදගත්ම දේ තමයි, වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට කිසිම බලපෑමක් නොකිරීම.
එම ප‍්‍රතිපත්තිය ඇතිකිරීමට මුල්වුණේ ඉන්දියාවේ ජන නායකයෙකුව සිටි ශී‍්‍ර ජවහල්ලාර් නේරුතුමායි. ජවහල්ලාර් නේරුතුමා මෙම ප‍්‍රතිපත්තිය කි‍්‍රයාවට නැංවූයේ ඉන්දියානු ජාතික ව්‍යාපාරය සමඟයි. එදා ඉදන් ඉන්දියාවේ හැම රාජ්‍ය නායකයෙකුම එම ප‍්‍රතිපත්තිය අනුගමනය කළා. නේරුතුමාගේ පංචශීල ප‍්‍රතිපත්තිය යටතේ තමයි එම විදේශ ප‍්‍රතිපත්තිය තීරණය කෙරුණේ.
එම පංචශීල ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක වූ ආකාරය ගැන තවදුරටත් විස්තර කළොත්
1946 දී නවදිල්ලි නුවර දී ආසියානු සම්බන්ධතා සමුළුව Asian relation council පැවැත්වුණා. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මීට සහභාගිවුණේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතායි. මෙතැනදී නේරුතුමා කළ කතාව ඉතිහාස ගතවෙනවා.
ඒක ඒ තරමටම වැදගත්. පංචශීල ප‍්‍රතිපත්තිය නිර්වචනය කිරීමට පදනම වැටෙන්නේ මෙම සමුළුවෙන්. එහිදී නේරුතුමා ඉතා පැහැදිලිව කියපු දෙයක් තමයි, වෙනත් රටක අභ්‍යන්තර ගැටලුවකට බලපෑම් නොකළ යුතුයි කියන කාරණය. 1955 ඉදලා බැණ්ඩුන් සමුළුවේදීත් නේරුතුමාගේ පංචශීල ප‍්‍රතිපත්තිය අගය කළා. 1947 සිට දකුණු ආසියාවට දේශපාලන නායකත්වය ලබාදුන්නේ ඉන්දියාවයි. එම කීර්තිමත් විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කරන්න ඉන්දියාව කිසිසේත්ම කැමැති නැහැ.
නේරුතුමාගේ පංචශීල ප‍්‍රතිපත්තියට එරෙහිව කොන්ග‍්‍රස් පක්ෂය කිසිසේත්ම කි‍්‍රයාකරන්නේ නැති බව මට හොඳටම විශ්වාසයි. භූගෝලීය සාධක සලකා බැලීමේදීත් ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය කලාපයටම හිතකර එකක් වෙන්න ඕන.
පසුගියදා කොළඹදී පැවැති සාර්ක් සමුළුවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහං සිං මහතා පැහැදිලිව කියූ දෙයක් වන්නේ ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර පවතින දැඩි මිත‍්‍රත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බවයි.
ඒවගේම සාර්ක් කලාපයේ වත්මන් සභාපති වන්නේ අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. එම නිසා ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමාටත් මේ අවස්ථාවේදී විශාල වටිනාකමක් තියෙන බව අමතක නොකළ යුතුයි.
නමුත් 1987 වසරේදී ප‍්‍රභාකරන් කොටුකරගන්න හදනකොට ඉන්දියාව බලපෑම් කරලා ප‍්‍රභාකරන් බේරුණු බව කව්රුත් දන්නවා . එසේනම් එවැනි මැදිහත්වීමක් යළි ඇතිනොවන බවට දියහැකි සහතිකය කුමක්ද?
1987 දී එක් සිද්ධියක් වුණු එක ඇත්ත. ඒ සිද්ධිය සමස්ත ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තියටම ලඝු කරන්න බැහැ. ඒ වෙලාවේ ඉන්දියාවට යම් මැදිහත්වීමක් කිරීමට අවශ්‍ය හේතු සාධක කිහිපයක් ඔවුන් සොයාගෙන තිබුණා.
ඒවා සාධාරණ හේතු සාධක නොවෙයි. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසුව මුළු ලෝකයේම බලවත් රටවල් ඇතුළු රටවල් රැසක් ත‍්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින්නට දැඩි තීරණයක් ගත්තා. ඒකට හේතුව ඒකාලේ වගේ ලෝකයේ බලතුලනයක් තිබුණේ නැහැ.
සෝවියට් දේශය කඩාවැටීම නිසා කිසිම දේකට කේවල් කිරීමක් වුණේ නැහැ. අනෙක් ප‍්‍රධාන කරුණක් වන්නේ ඉන්දියාවේ හිටපු කීර්තිමත් නායකයෙකු වූ රජීව් ගාන්ධි මහතා, කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමයි. රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයෙන් පසුව මුළු ඉන්දියාවම කොටි සංවිධානයේ නියම ස්වභාවය දැනගත්තා.
තමිල්නාඩුවේ ඇතැම් නායකයින් බොරුවට කෑගැහුවට ජනතාව කොටි සංවිධානය වෙනුවෙන් කෑගහන්නේ නැහැ. රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයෙන් පසුව තමිල්නාඩුවේත් සැළකිය යුතු පිරිසක් කොටි සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයා ප‍්‍රසිද්ධියේ විවේචනය කරන්න පටන් ගත්තා. හිටපු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඒ අතරින් ප‍්‍රධානයි. ඒක නිසා රජීව් ගාන්ධි මහතා ඝාතනය කළ කොටි සංවිධානයට සහාය දැක්වීම බරපතළ වරදක් ලෙසයි බහුතරයක් ඉන්දියානු ජාතිකයන් සලකන්නේ.
ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයන්ගේ ගැටලුව හා කොටි සංවිධානය කියන්නේ එකක් නොවෙයි, දෙකක් කියලත් ඉන්දියාව දන්නවා. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය නොවෙයි කියලත් ඉන්දියාව දන්නවා. ඒක නිසා වසර 21 කට පෙර තිබුණු තත්ත්වය නොවෙයි, අද තියෙන්නේ.
නමුත් කොයි මොහොතක හෝ උතුරේ මෙහෙයුම් නවත්වන ලෙසට ඉන්දියාවෙන් බලපෑම් එල්ල වෙතැයි ඇතැම් දේශපාලන පක්ෂ පෙන්වා දෙනවා.
මේ සැකය ප‍්‍රබලව මතුකරන්නේ එක් දේශපාලන පක්ෂයක් පමණයි. ඒ ජනතා විමුක්ති පෙරමුණයි. අද පමණක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වූ කාලේ පටන්ම ඉන්දියාව ගැන කතා කරලා තියෙනවා.
ඔවුන් ආරම්භයේ සිටම තමන්ගේ පංති 5 න් එක් පංතියක්ම වෙන් කළේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. ඒක නිසා විවිධ පටු දේශපාලන වාසි ලබාගැනීම සඳහාත් ජනතා විමුක්ති පෙරමුණ යම් යම් කතා ප‍්‍රචාරය කරනවා.
මාක්ස්, ලෙනින්, එංගල්ස් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළ ජාතිවාදය ජනතා විමුක්ති පෙරමුණ කරපින්නා ගැනීමේ වරද දැනටමත් ඔවුන්ට යම් විදියකින් තේරෙන්න පටන් අරගෙන.
හැම එකකටම අනවශ්‍ය ආකාරයෙන් උදැල්ල දාන්න ගිහිල්ලා මේ වෙන කොට ජනතා විමුක්ති පෙරමුණ ඇනගෙන තියෙනවා. ඒක නිසයි ඔවුන්ට මැතිවරණ කිහිපයකින්ම ඡන්ද නොලැබුණේ.
තමිල්නාඩුවට ඉන්දීය මධ්‍යම රජයට කළ හැකි බලපෑම කුමක්ද ?
තමිල්නාඩුවේ සිටින දේශපාලනඥයින්ට අවශ්‍ය ඔවුන්ගේ බලය රැක ගැනීම පමණයි. ඒක නිසා ඔවුන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බලපෑමක් කරන බව පෙන්වීමට යම් උත්සාහයක් ගන්න බවක් තමයි මට පෙනෙන්නේ.
කරුණානිධි හා ජයලලිතා අතර තරගයෙන් මේ බව වඩාත් පැහැදිලි වෙනවා. කරුණානිධි පටු අරමුණකින් ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කරන බව ජයලලිතා කියනවා.
තමිල්නාඩුවට කිසිම අදාළත්වයක් නැති ශ‍්‍රී ලංකාවේ කරුණක් සම්බන්ධයෙන් පෙනී සිටීමට මේ දෙදෙනාටම අයිතියක් නැහැ. කරුණානිධි, ජයලලිතා කරන්නේ එකිනෙකාට චෝදනා කිරීමක් පමණයි. ඔවුන්ටත් කිසිම කරුණක් සම්බන්ධයෙන් එකඟත්වයකට එන්න බැරි වෙලා තියෙනවා.
තමිල්නාඩු ප‍්‍රාන්තයේ කෙතරම් ප‍්‍රශ්න තියෙනවද ? එය ආර්ථික, රැකියා, දිළිඳුබව, නිවාස, සෞඛ්‍ය මෙම ප‍්‍රශ්න ගණනාවක්ම ඉතා ප‍්‍රබල ලෙස තිබෙන ප‍්‍රාන්තයක්. එම ප‍්‍රශ්න විසඳන්න නොහැකි වන විට තමිල්නාඩුවේ නායකයින් ඉතා පහසුවට අපේ රටේ ප‍්‍රශ්න අල්ලා ගන්න හදනවා.
මැතිවරණයක් ළං වෙන කොට ඔවුන්ට ඔවුන්ගේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න නොහැකි නිසා උත්සාහ ගන්නේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් ගැන කතා කරලා තමිල්නාඩුවේ තිබෙන ප‍්‍රශ්න අමතක කරවන්නයි. ඒක නිසා විවිධ න්‍යාය පත‍්‍ර ඔස්සේ තමිල්නාඩුව සිදු කරන බලපෑම් වලට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව යටත් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි.
ඔබ කියන්නේ තමිල්නාඩුවේ එල්. ටී. ටී. ඊ. හිතවාදි කි‍්‍රයා මාර්ග වලට එරෙහිව යම් යම් බලපෑම් එල්ල වෙමින් පවතිනවා කියන එකද ?
ඔව්. එවැනි බලපෑමක් අද පෙරටත් වඩා එල්ල වෙමින් පවතිනවා. තමිල්නාඩුවේ කොටි හිතවාදි ප‍්‍රතිපත්තිවලට එරෙහිව ඉන්දියාවේ සිටින විවිධ බුද්ධිමතුන්, විද්වතුන් නොබියව අදහස් ප‍්‍රකාශ කරන්න පටන් අරගෙන. ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් මෙම විද්වතුන්ගේ මතය පිළිගන්නවා.
ඉන්දියාවේ එහෙම වුණත් අපේ රටේ ඇතැම් පිරිස් ගැන කියන්න කනගාටුයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) හා ඇතැම් දේශපාලඥයින් කටයුතු කරන්නේ තමිල්නාඩුවටත් වඩා කොටි හිතවාදි තත්ත්වයක සිටයි. ඒ තත්ත්වය ගැන මං කනගාටු වෙනවා.
මේ කෑ ගැසීමෙන් කරුණානිධිට ලැබෙන වාසිය කුමක්ද ?
කිසිම වැඩක් නොකරපු දේශපාලඥයෙකුට ජනතාව ඉදිරියට යන්න විදියක් නැහැ. ඒක නිසා ජනතාව ඉදිරියට යන්න තියෙන එකම ක‍්‍රමය තමයි මෙහෙම කිඹුල් කඳුළු හෙළන එක. ඊළඟ මැතිවරණය දිනා ගන්න ක‍්‍රමයක් ගැන තමයි කරුණානිධියි ජයලලිතයි කල්පනා කරන්නේ.
නමුත් මේ ගොල්ලන්ගේ බොරුව දැන් තමිල්නාඩුවේ බහුතරයක් දෙමළ ජනතාව දන්නවා. කොටි සංවිධානයට සහයෝගය පළ කරලා තියෙන උද්ඝෝෂණයකට දෙසීයක්වත් ගෙන්න ගන්න ඇතැම් නායකයින්ට බැරි වෙලා තියෙනවා.
තමිල්නාඩුවේ බොහෝ දෙනෙක් කොටි සංවිධානය මොකක්ද කියලවත් දන්නේ නැහැ. දන්න කට්ටියත් දන්නේ රජිව් ගාන්ධි මහත්තයා මරුවේ කොටි සංවිධානය කියලයි.
ඒක නිසා කොටි සංවිධානය කෙරෙහි ඉන්දියාවේ තිබෙන ආකල්ප කිසිම අයුරකින් වෙනස් වෙලා නැහැ. රජිව් ගාන්ධි මහතා ඝාතනය කළ දිනයේ සිට ඉන්දියාවේ දොරටු සියල්ල කොටි සංවිධානයට වැසුණා.
තමිල්නාඩුවේ ප‍්‍රශ්න රැසක් පවතින බව ඔබ කිව්වා. එසේ නම් කරුණානිධි, ජයලලිතා, ගැන තවදුරටත් එම ප‍්‍රාන්තයේ ජනතාව විශ්වාසයක් ඇති කරගනීද ?
මේ වෙන කොට කරුණානිධිලා, ජයලලිතලා පවත්වාගෙන ගිය ඒකාධිකාරයට එරෙහිව යම් යම් විකල්ප මතු වෙමින් පවතිනවා. න්‍යෂ්ටික බලශක්තිය තිබුණත් ඉන්දියාවේ 60 % ක් ඉන්නේ දුප්පත් ජනතාව. ඉනුත් තමිල්නාඩු ප‍්‍රාන්තයේ දිළිඳුකම ප‍්‍රබලව තිබෙන අතර තවත් ගැටලු රැසක්ම තියෙනවා. ඒක නිසා ඉදිරියේදී කරුණානිධිලාටයි, ජයලලිතාලටයි ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු කතා කර කර ඉඳලා වැඩක් වෙන්නේ නැහැ.
කොටි සංවිධානයේ් කුරිරුබව තමිල්නාඩු ප‍්‍රාන්තයට අවබෝධ කරදීමට ආණ්ඩුවට යම් වගකීමක් තිබෙනවා නේද ? එවැනි දෙයක් සිදු නොකරන්නේ ඇයි ?
මේක කළ යුතු දෙයක්. මං ඒ දවස්වල යම් යෝජනාවක් කළා. තමිල්නාඩුවේ දේශපාලනය අපේ ශිෂ්‍යයින්ට උගන්වන්න ඕන කියලා. තමිල්නාඩුවේ දේශපාලනය ඉගැන්වීම ඉතා වැදගත්. එමගින් තමිල්නාඩුව හඳුනා ගන්න පුළුවන්. නමුත් එම යෝජනාව කි‍්‍රයාත්මක වුණේ නැහැ. එහෙම වුණා නම් අපේ රටේ ශිෂ්‍යයින්ට නොයෙක් විද්වතුන්ට තමිල්නාඩුවට ගොස් සම්බන්ධකම් ඇති කර ගැනීමට හැකියාව තිබුණා.
එමගින් තමිල්නාඩුව තුළ බලපෑම් කණ්ඩායම් ඇති කරන්නත් අවස්ථාවක් තිබුණා. එහෙම වුණා නම් කොටි සංවිධානය ගෙන යන ප‍්‍රචාරයට ප‍්‍රතිචාර දක්වමින් අපිටත් තමිල්නාඩුව තුළ යම් දෙයක් කිරීමට හැකියාව තිබුණා. තවමත් මේකට ප‍්‍රමාද නැහැ. රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බලපෑම් කණ්ඩායම් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාත්මක විය යුතුයි.
ඩබ්ලිව්.කේ. ප‍්‍රසාද් මංජු

No comments: