Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 24, 2008

වෛද්‍ය විද්‍යාවේ තවත් හාස්කමක් හොරණ රෝහලේ දී මවු පදවිය ලද අඩි 2 1/2 දිරිය දියණි

හීන් කෙඳිරිලි හඬක්. ඒත් හඬ නැඟෙන දෙසට පියවර තැබීමට ඉඩක් නැත. කුතුහලය ම’සිත සක්මන් කරමින් මට වද දෙද්දී, පියවරක් මම ඉදිරියට තැබුවෙමි.
නම්, ගම් ඈ සියලු තතු පවසද්දී යන්තමට දොර විවර විය. හීන් සීරුවේ මම ඇතුළට ගියෙමි. කවදාවක්වත් අත්විඳීමට නොලැබුණු අත්දැකීමක්.


හිස් වැසුම්, අත් මේස්, පාවහන් සහ කොළ පැහැති සුවිශේෂී කබාවලින් සැරසුණු ඔවුහු යුහුසුළු ගමනින් එහෙ මෙහෙ දුවති. අවැසි දේ සපයති. උවදෙස් දෙති.
මේ සියලු දසුන් දුටුවේ වෙන කොහෙකදිවත් නොව, දරු උපතකට මඟ සලසන තිඹිරිගෙයක් තුළදී ය. කෙටියෙන් ම කිව්වොත් හොරණ දිසා රෝහලේ සූතිකාගාරයේදී ය.
”අපට ලැබුණෙ එක්තරා ආකාරයක අභියෝගයක්. අපි ඒ අභියෝගය සාර්ථකව සැලසුම් කරලා, සාර්ථකව ජය ගත්තා.
මගේ සේවා කාලය අවු. 17 ක්. ඒ කාලය තුළ මං අත්දුටු සුවිශේෂී සිදුවීමක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. අඩි 2 1/2 ක වගේ උසක කාන්තාවක් කියන්නෙ කුඩා දරුවෙක්ගෙ උසට සමාන උස තියෙන තැනැත්තියක්.
ඒ වගේ කෙනෙක් දරුවෙක් ප‍්‍රසූත කරනවා කියන්නෙත් එක්තරා ආකාරයක අභියෝගයක්. ඒ අභියෝගයට මේ තැනැත්තිය හොඳින් මුහුණ දුන්නා.”
අඩි 2 1/2 ක් උසැති කාන්තාවට සීසර් සැත්කම මගින් දරුවා ලබා ගැනීමේ භාරධූර කර්තව්‍යයට, වගකීමට මූලිකත්වය දෙමින් කටයුතු කළ, වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය දැරූ, හොරණ මූලික රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසන්නේ ඒ ආකාරයටයි.
සුවිශේෂී අවස්ථාවක්
”සාමාන්‍යයෙන් මෙවැනි උසකින් යුතු වැඩිහිටි පුද්ගලයන්ගේ ප‍්‍රමාණය සියයට දශම ගණනක් වගේ අඩු ප‍්‍රමාණයක්. ඒ නිසා මේ වගේ ශල්‍යකර්මයකට භාජනය වුණු කාන්තාවන්ගේ ප‍්‍රමාණය ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකය තුළ ම ගත්තොත් ඉතාමත් ම අඩු වෙන්න පුළුවන්.
ඒත් මං මීට පෙර මේ වගේ අවස්ථාවක් පිළිබඳ අත්දැකීමක් ලබලා තිබුණෙ නෑ. අහලා තිබුණෙත් නෑ. මේ ශල්‍යකර්මය මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් විදිහට මං සලකන්නෙ ඒ නිසයි.


මේ වගේ ශල්‍යකර්මයක් හොරණ රෝහලේ සිදු වූ පළමු අවස්ථාව විදිහටත් මෙය ඉතිහාසගත වෙනවා. ඒ නිසා හොරණ රෝහල වගේ එකක මේ වගේ අවදානම් කර්තව්‍යයක් කිරීම එක්තරා ආකාරයක ඓතිහාසික අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්.”
මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සිය උද්‍යෝගිමත් හඬ අවදි කළේ ඒ ආකාරයටයි.
හොරණ බැල්ලපිටියේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක වන ජී. සී. ලක්මාලි මහත්මිය මව් පදවිය නමැති මේ ලෝකයේ ලැබිය හැකි උසස්ම පදවියට පත් වී ඇත.
එම කිරුළ පැළඳි ඇය මේ වන විට සති තුනක් වයසැති බිළිඳියකට උණුසුම් සුව දෙමින් සිටී. සිය කැදැල්ලට එක්වූ අලුත් අමුත්තිය දෙස බලමින් ඈ උද්දාමයෙන් ඉපිලේ. ඒ සතුට පැවසීමට ඇයට වදන් නැත. එනමුදු ඇය සිය කුළුඳුල් දරුවා දෙස බලා වචන දෙක තුනක් කොඳුලාය.
”මං ගැබිනියක් වූ මොහොතේ ඉඳන් ම සනත් ලැනරෝල් වෛද්‍යතුමා මගේත්, දරුවාගේත් ජීවිත සුරක්‍ෂිත කරමින්, නිරෝගී දරුවකු මට ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් දීමත්, පරීක්‍ෂණ පැවැත්වීමත් කළා.
හොරණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම, හෙද නිලධාරීන් ඇතුළු රෝහලට ඇතුළත් වූ මොහොතේ සිට රෝහලෙන් පිටවන තෙක් මට ඒ කාර්යය මණ්ඩලයේ හැමෝගෙන් ම උදව් උපකාර ලැබුණා. ඒ හැමෝට ම මං අවංකව ස්තූූතිවන්ත වෙනවා.”
අභියෝගය
ඇය සැබෑවට ම අද්‍යතන කාන්තාවන් අතරේ සුවිශේෂී කාන්තාවකි. සුවිශේෂී චරිතයකි. ශාරීරික වශයෙන් කුඩා තැනැත්තියක් වුවත්, ඇය සැබවින් ම දිරිය කාන්තාවකි. ඇයගේ එම ධෛර්යවන්තකම නොවන්නට, මේ වන විට ඇය මවක් නොවනු ඇත.
බිරිඳක් නොවනු ඇත. විවාහයේදී ලංකාව වැනි සම්ප‍්‍රදායික අදහස් තුළ එල්බගෙන සිටින සමාජයක උසින් අඩු කාන්තාවක් විවාහ වෙනවා කියන දෙයම එක්තරා ආකාරයක අභියෝගයකි.
එහෙත් මේ දැරියගේ මව සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දී ඒ අභියෝග ජය ගත් තැනැත්තියකි. මේ මව තුළ සැඟවී ඇති ධෛර්යමත් බව, කාර්ය ශූර බව රෝහලේ කාර්ය මණ්ඩලයේ පැසසුමට ලක්ව ඇත.
සාමාන්‍ය කාන්තාවක් මෙන් මේ බිළිඳියගේ මව ද කාර්ය බහුල ජීවිතයකට උරුම හරුමකම් කියන තැනැත්තියකි. ඇය රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කරයි.
ජීවිතයට පැමිණෙන සියලු දුක් කරදර, බාධා කම්කටොලු මැදහත් සිතින් ඉවසන ඇය, ද්විතීයික අධ්‍යාපනය මෙන් ම, බාහිර හැදෑරීම් ද කළ අයෙකි. සාමාන්‍ය මිනිසුන් ජීවිතයට පැමිණෙන කුඩා දුක් කරදරයක් වුව දරාගත නොහැකිව හඬා වැටෙයි.
එවන් වූ අයට මේ තැනැත්තිය ආදර්ශයකි. ඇය කියා දෙන පාඩම ජීවිත තක්සලාවේ සදාකල් ලබනා පාඩම් අතරට එක්කර ගත යුතු තවත් වැදගත් පාඩමකි.
මේ මවගේ සිසේරියන් සැත්කම සඳහා නිර්වින්දන කටයුතු කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය වන චම්පිකා ද සිල්වා වෛද්‍යතුමිය මෙවන් කටයුත්තකට දායක වීමට ලැබීම ගැන තෘප්තියට පත් වේ.
ඇයට නිර්වින්දන කටයුතු කිරීමේදී ඇතිවීමට තිබූ ගැටලු සහ ඒවා වළක්වාගෙන කටයුතු කළ ආකාරය පිළිබඳ තමා ලැබූ අත්දැකීම් අප සමඟ බෙදා හදා ගත්තාය.
”මේ මව එක්තරා ආකාරයක රෝගී තත්ත්වයකින් පෙළෙන කාන්තාවක් නිසා සිහි නැතිකර ප‍්‍රතිකාර කරන එක අවදානම් තත්ත්වයක් වුණා. ඒත් කොහොම හරි දරු ප‍්‍රසූතියට මඟ සැකසිය යුතු නිසා ඒ අවදානම තේරුම් අරගෙන, රෝගියාටත් ඒ බව පැහැදිලි කර දීලා දරුවාව ලබා ගැනීමට මඟ සැකසුවා.


ඇයට පවත්නා රෝගී තත්ත්වය අනුව ශරීර වර්ධනය සෑහෙන්න අඩුවෙන් සිදුවෙන්නෙ. සිහි නැති කළහම හුස්ම ගන්න හැකි වන පරිදි දමනු ලබන බටය පවා ඇයට සම්බන්ධ කිරීමේ අවදානමක් තිබුණා.
මෙවැනි අයගෙ සුසුම්නාවේ අස්ථිවල වෙනස්වීම් ඇතිවීමට ඉඩකඩ තිබීම එයට හේතුවක්. ශල්‍යකර්මය අතරතුරේදී සහ එයින් පසුවත් මෙවැනි අයට ආබාධ ඇතිවෙන්න පුළුවන්.
මේ රෝගියාට විය හැකි සියලුම අවදානම් තත්ත්වයන් දැනගෙන අප මේ අභියෝගයට මුහුණ දුන්නා.
වසර 15 ක පමණ නිර්වින්දන කටයුතු සම්බන්ධ සේවා කාලයක් සපුරා ඇති මේ වෛද්‍යතුමිය, මෙවැනි අත්දැකීමකට මුහුණ දී ඇති පළමු අවස්ථාව මෙය බව පවසයි. විය හැකි සෑම අවදානමක් ම තේරුම් අරගෙන, ඒ සඳහා විකල්ප මාර්ග සූදානම් කරගෙන, වෛද්‍ය කණ්ඩායමේ සාමුහිකත්වය තුළින් තවත් දරු පැටියකුට ජීවය ලැබුණි.
සාමාන්‍යයෙන් කොළඹ මහ රෝග්‍යශාලාවේ කළ යුතු ශල්‍යකර්මයක්, හොරණ වැනි දිසා රෝහලකින් කිරීමට හැකි වීම පිළිබඳ වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලයට තුති පිදිය යුතු කරුණකි.
නිරෝගී දරු උපත
”මේ වගේ නිර්වින්දන කටයුත්තකට මං අත ගහපු මුල් ම අවස්ථාව විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. මගේ සේවා කාලය තුළ මේ වගේ දෙයක් වෙන කෙනෙක්ගෙ අතින් සිදුවෙනවාවත්, වෙන අය කරනවාවත් දැකලා නෑ. මේ වගේ අවස්ථාවක් ගැන අහලත් නෑ. ඒ නිසා මේ සිදුවීම මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.”
සාමාන්‍ය මවකගෙ ශරීරය දිහා බැලුවහම බර කියන්න පුළුවන්. ඒත් මේ මව දිහා බලලා අපට බර කියන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. එයාගෙ බර කිරන්න සූතිකාගාරය තුළ තරාදියක් තිබුණෙ නැති නිසා වෙනත් වාට්ටුවකින් ගෙනත් බර කිරුවා.
සාමාන්‍ය මවක් දරු ප‍්‍රසූතියට සැරසෙන මොහොත වෙනකොට කිලෝ 40 – 45 ක් වගේ බර තියෙන්න ඕනෑ. ඒත් දරුවත් සමඟ මේ මවගෙ බර කිලෝ 30 යි තිබුණෙ. දරුවව ලැබෙන්න හිටිය මේ තැනැත්තියගෙ බර කිරන්න අපේ කාර්ය මණ්ඩලය එයාව උස්සලා ටෙ‍්‍රාලියෙන් තිබ්බා.
මවගේ ශරීරය කුඩා වීමත්, ඇය ගැබිනි මවක් වීමත් නිසා දරු ප‍්‍රසූතියේදී විය හැකි සංකූලතා සමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩියෙන් බලපානවා. කෙසේ වුවත් අප අභියෝගයක් ලෙස බාරගෙන කළ මේ කර්තව්‍ය අතිශයින් ම සාර්ථක වුණා. ඒ ගැන අප සියලු දෙනාම සතුටට පත් වෙනවා.”
දරුවා ඉපදී සති තුනක් පමණ ගත වී ඇත. මව සහ දරුවා ඉතාමත් ම සුවදායී අන්දමින් ජීවත්වේ. එවන් වූ නිරෝගී දරු උපතකට මඟ සැකසීම සම්බන්ධයෙන්, ගැබිනියක් වූ දා පටන් ඇයට ජීවත්විය යුතු ආකාරය පිළිබඳ සහ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කරුණු කාරණා කියා දුන් විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතාට දරුවාගේ මව නිරතුරුවම ප‍්‍රශංසා කළාය.
ගැබිනි බවක් යනු රටට මහඟු සම්පතකි. එවන් වූ තැනැත්තියක් සම්බන්ධයෙන් සමාජයේ පවතින්නේ ගෞරවයකි. එම ගෞරවය විඳීමට ලක්මාලි ද පින් කර තිබුණි.
සමාජයට මුහුණ දෙන්න බැරි යයි සිතමින් දරුවන්ව විනාශ කරන, මහ මඟ දමා යන අම්මලා සිටින රටක, මෙබඳු ගුණ යහපත් මව්වරුන් බිහිවීම ද අපේ රටේ භාග්‍යයකි.
නුසුදුසු තැන්වලට ගොස් දරුවාව නැති කර ගැනීමට තැත් කර තමාගේත්, කළලයේත් විනාශයට මඟපාදා ගන්නා කාන්තාවන් වෙසෙන සමාජයකට ලක්මාලි කර ඇත්තේ ආදර්ශයක් සැපයීමකි.
ශල්‍යාගාරයේ හෙදි සොයුරිය වන රමණි පුෂ්පලතා මහත්මිය පැවසුවේ දරුවෙක්ව වඩා ගැනීමට පවා අපහසු මට්ටමක සිටින මේ තැනැත්තිය, තමාට දරුවා අවශ්‍යම යැයි පවසමින් සැත්කමට භාජනය වීම අගය කළ යුතු බවය.
එවන් උතුම් මවක් කෙරෙහි තමාගේ අවධානය නිරන්තරයෙන් රැඳී තිබුණු බවත්, දරුවාව දකිනතුරු මව මෙන් තමන් ද නොඉවසිල්ලෙන් සිටි බවත් ඇය පැවසුවේ සිනාමුසු මුහුණින් යුතුව ය.
කිලෝ එකයි ග‍්‍රෑම් 200 ක් පමණ බරින් යුතු මේ නිරෝගී දරුවා, සාමාන්‍ය දරුවකු මෙන් වැඩෙන අයෙක් බව ඇයගේ අදහසයි. එවන් වූ කාර්යයකට දායක වීමට තමනට ඉඩකඩ ලැබීම ගැන තමන් අප‍්‍රමාණ සතුටක් ලබන බව ද හෙදි සොයුරියගේ අදහස වී තිබේ.
දින හතරක් පුරා වාට්ටුව තුළ තබා ගනිමින් ඇයව රැකබලා ගත් වාට්ටුව බාර ප‍්‍රධාන හෙද සොයුරිය වන ඩබ්. ඩී. එම්. සුදුමැණිකෙ මහත්මිය ද තමා අත්විඳි මේ සුවිශේෂී අත්දැකීම සහ ඇයව රැකබලා ගත් ආකාරය අප සමඟ පැවසුවාය.
”මේ මව අපට කිසි කරදරයක් කරන්නෙ නැතිව, තමන්ගෙ දරුවව හොඳින් බලා ගත්තා. මෙවැනි මවක් මට මුණගැසුණු පළමු අවස්ථාව මේ අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්. මේ මවගෙන් අපට ලැබුණු සහය ඉතාමත් ම වැදගත්.
අපි මේ මවගෙ රුධිර පීඩනය බැලුවෙ පුංචි දරුවෙක්ගෙ ලෙඩ බලන විදිහටයි. බෙහෙත් දුන්නෙත් වෙනත් කෙනෙකුට දෙන ප‍්‍රමාණයෙන් බාගයයි. මව් කිරිවලින් දරුවව පෝෂණය කිරීමට ඇයට හැකියාව තිබෙනවා. අප ඇයව සාමාන්‍ය මවක් විදිහට සලකනවා.”
සුපසන් අනාගතය
දරු ප‍්‍රසූතියෙන් පසු විශේෂඥ වෛද්‍ය පි‍්‍රයදර්ශි කන්දෙගොඩ මහතාගේ උපදෙස් මත දරුවාගේ කටයුතු සිදුකෙරේ. ඔහු පවසන්නේ මවගේ අස්ථිමය, ජානමය තත්ත්වයන් දරුවාට නැති බව සහ දරුවා සාමාන්‍ය නිරෝගී තැනැත්තකු ලෙස වැඩෙන බවය.
ඉදිරියේදී මුහුණ දීමට සිදුවන සාමාජීය තත්ත්වයන් සහ අවදානම්වලට මුහුණ දීමේ ශක්තියක් මේ දිරිය කාන්තාව සතු බවත්, ඉදිරියේදී මව පිළිබඳ දරුවා තුළ ඇතිවිය හැකි ආකල්ප සහ විය හැකි අවදානම්වලට මුහුණ දීමේ ශක්තියක් ඇති මේ මව දිරිය කාන්තාවක්ම වන බව වෛද්‍ය සනත් ලැනරෝල් මහතාගේ අදහසයි.
වප් මහේ දෝරෙ ගලන වැස්සේ සීතලට ගුලි ගැහී සැපට නිදන දියණියේ, නුඹේ ලොව ගොඩනැඟූ මේ දිරිය අම්මා නුඹේ පණ හා සමාන ය. හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලින් ගොඩනැඟුණු මේ මිහි මත නුඹට පය එසවීමට කවදා හෝ ඉඩ හසර ලැබෙන්නේ ඇගේ කැපවීම නිසාම ය.
හොරණ දිසා රෝහලේ වෛද්‍ය චන්දන ඕපනායක මහතාට විශේෂ ස්තූතිය.
සටහනඉරෝෂිණි දීපිකාඡායාරූපසමන්ත වීරසිරි

No comments: