Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 30, 2008

අලි බියෙන් ඇළැලුණු දිය කැපිල්ලේ අවනඩුව

“මම කසාද බැඳලා මේ ගමට එන කොට ගමේ තිබුණේ පවුල් තුනයි. මම මෙහාට එනකොට මට වයස විසිඑකයි. ඒකාලෙත් ගම වහගෙන කැළෑව තිබුණා. අපි අතුකඩාගෙන කැළේ බිඳගෙන තමයි ඒ කාලෙත් ගමන් බිමන් ගියේ. හැබැයි අද වගේ අලි කරදර නම් තිබුණේ නෑ.
“අඩසිය වසකට වැඩි කලක් තිස්සේ විඳි දුක්ගැහැටවල උච්චතම මොහොත දැන් එළැඹී තිබෙන්නාක්සේය. මුහුණේ ඇඳුණු රේඛාවලින් කියැවුණේ ජීවිත කාලයක විඳි දුක් කන්දරාවයි. කොතැනින් පටන් ගම්දෝයි සිතන්නේ බඳු හැඟීමකින් යුතුව ඒ වයසක අම්මා අපට සියල්ල කීමට පේ වී සිටියාය. ඇය පමණක් නොව “දියැකැපිල්ල” ගමේ සියලු සෙනඟ එතැනට එකතු වී උන්නාහ. ඒ ඔවුන් පෙළන දහසක් දුක්ඛ දෝමනස්සයන් අපට කීමටය. ඔවුන්ට ඇති ලොකුම දුක වල්අලින් ගෙන් ලැබෙන දුකය.

අලින්ගෙන් අලාභ හානි වූ නිවෙසක්

මේ දරුවන්ට අනාගතයක් ?
දියකැපිල්ල ගම පිහිටා තිබෙන්නේ දඹුල්ලේ සිට කිලෝමීටර් 15 ක් ඈතිනි. සීගිරියේ සිට ඒ ගමට කිලෝ මීටර් හයකි. ගමේ පවුල් 40 ක් පමණ වෙසෙති. සියල්ලෝ ගොවීහුය. ලොකු ලුනු හා මුං ඇට ඔවුන්ගේ ප‍්‍රධාන වගා භෝගයයි.
ඊට අමතරව මිරිස් වට්ටක්කා බණ්ඩක්කා ආදී එළවළු කීපයක්ද කුඹුරුද මේ ගොවීයෝ වගා කැරෙති. එහෙත් බීජ සිට වූ දා සිට අස්වැන්න ගන්නා තෙක් ඒවා අලීන්ගෙන් රැක ගැනීමට දියකැපිල්ලේ මිනිසුන් නොවිඳිනා දුකක් නැත.
ඉන්නේ ගස්උඩ
අප බොහෝ විට අසා තිබෙන්නේ වගා රැක ගැනීමට ගස්උඩ පැල් රකින්නේ තරුණයන් නැතිනම් පිරිමි පාර්ශ්වය බවය. එහෙත් දියකැපිල්ලේ කෙස් සුදු වූ වයසක අම්මවරුන් පවා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ මේ ගස් උඩ පැල්පත්වලය. ගිනි අව්ව වැටෙන දහවල් පැය කීපයක් පමණක් නිවසේ සිටින ඔවුන් යළිත් පවුල් පිටින් හැන්දෑ යාමේ පැල්වලට නැග ගනිති.
“මේ... දහදුක් විඳලා හදාගත්ත ලුනු ටික. ඉල්ලන්නේ කුණු කොල්ලෙට.”
බිසෝ මැණිකා ලුනු අහුරක් අතට ගෙන අපට පෙන්වා යළි අත හැරියේ සෝබර මුහුණෙනි. ඇගේ ගේ පිළිකන්නේ ලුනු තොග පිටින් නරක් වී යයි හේතුව ඒ මුහුණෙන් හෙළි විණ. අප සියලු දෙනා සිටියේ බිසෝ මැණිකාගේ මිදුලෙහිය. අර වයසක අම්මා කතාවේ ඉතිරිය කියන්නට පුල පුලා සිටියාය. ඩී.එස්.එම්. මුතුමැණිකාය. වයස හැට නමයකි. දියකැපිල්ලේ දැනට සිටින පැරැණිම සාමාජික අයය. දෙවියන්ට කරන කන්නලව්වක් ලෙස ඈ කියවාගෙන යයි.
මං දැන් මේ ගමේ අවුරුදු හතළිහකට වැඩිය ඉඳලා තියෙනවා. ඒ කාලේ අපි පාඩුවේ හිටියා. ඉඩකඩම් එළිවෙලා වාඩි ගහලා මිනිස්සු පදිංචි වුණා. ඊට පස්සේ අලි බලන්න එන කට්ටිය කැලේ ගිහින් අලින්ට කෑම දීලා පුරුදු වෙලා. ඒකයි අලි ගමට එන්නේ. අසූදෙකේ අවුරුද්දේ කන්තලේ හිටිය වල්අලි අල්ලලා බේත් විදලා මින්නේරිය වැවට ගෙනත් දාපු දා ඉඳලා තමයි අපිට මේ අලි කරදර.
හැන්දෑවට මේ පාරේ අලි රංචුව යනවා. ඒ වේලාවට ලෙඩක් දුකක් හැඳුණත් මගට බහිනවා බොරු. අපේ කාලේ නම් ඉවරයි. ඒත් මේ පොඩි එවුන්ට යන කලක් තියෙන්නේපැයි. අපිට ආධාර ඕන නෑ. මේ පාරට බොරුළු ටිකක් දාලා ලයිට් ටිකක් දුන්නොත් ඇති. වීදුරු මෙන් දිලිසෙන කඳුළු ඇති ඇස්වලින් බලාගෙන ඈ කියයි.
“රෑට විතරක් නෙවෙයි උදේටත් අලි පාරේ ඉන්නවා.”
“ලයිට් තිබුණා නම් මේ ප‍්‍රශ්නෙ ටිකක් හරි විස¼දෙනවා.”
මේ ආදි නොයෙක් දේ සමහර විට එකම දේ පිරිස මහ හ¾ඩින් කියයි. “එක් කෙනෙක් කතා කරන්න” අපි එසේ කීවෙමු. එවර කතා කළේ මහින්ද ජයතිලකය.
අලි නිසා වනජීවී එකෙන් විදුලි වැටක් ගහනවා. වෑවල ඉඳන් හබරණට අපේ ගම එළියට දාලා පාර පටු කරලා. එතකොට අපි ඉන්නේ අලින්ට අයිති සීමාවේ.
අපි මේ ගමේ ඉන්නේ අවුරුදු ගාණක් ඉඳන්. මේ ගම අවුරුදු 175 ක් පරණයි. තවත් කිසිවෙක් ඌණ පුරනයක් කරයි. ඔව් දැන් මේ ඉන්නේ අපි දන්න හතරවෙනි පරම්පරාව.
දැන් අවුරුදු දහයක ඉඳන්නේ. ලයිට් ඉල්ලන්නේ. ඇමැතිවරු කී දෙනෙකුට කිව්වද ? එස්. එම්. විජේවීර බණ්ඩා එසේ කියන්නේ කලකිරීමෙනි.
අන්තිමට ලයිට් දීලා තියෙන්නේ කොයි හරියේද අපි ඇසිමු.
සීගිරිය හෝටලෙට තියනවා. එතන ඉඳලා මෙතෙන්නට තියෙන කිලෝමීටර් දෙක තමයි ඔය ලයිට් දෙන්න බැරිවෙලා තියෙන්නේ ලයිට් තිබුණා නම් අලි කරදරත් අඩුවෙයිනේ.
ඔහු ආවේගයෙන් මෙන් තවත් බොහෝ දේ කියවා ගෙනයයි. ඒවා අනුමත කිරීමට මෙන් බොහෝ දෙනා නිහඬය. ඉඳහිට ඇතැමෙක් “ඔව්” කියති.
මේ පාර දෙපැත්තේ තියන ඉඩම් කාටවත් වගා කරන්නවත් දෙන්නේ නැහැ. අවුරුදු පහකට කලින් බස් එකක් තිබුණා. දැන් ඒකත් නැහැ. ඕගොල්ලෝ වගා කරන්නේ කොහෙද ? කෝ හේන් කුඹුරු අපි ඇසිමු.
”ඒව සේරම තියෙන්නේ “කොස්ගහඇළ” ගමේ. මෙතන ඉඳලා කිලෝමීටර් 02 ක් තියෙනවා
”අපි හැමෝම ඉස්සර හිටියේ ඒ ගමේ. එහේ වතුර එහෙම තියෙනවා. ඒත් පාරක් නෑ. කැලේ මැදින් යන්න ඕන. අපි ආවේ අලි ප‍්‍රශ්නෙ නිසා. ඒත් වගා කරන්නේ එහේ.
”ඇයි වතුර නැත්තේ? අපි ඇසුවෙමු.
”හුණුගල් නිසා ළිං කපන්න බැහැ. නාන්නවත් වතුර නැහැ. සතුන්ගේ ඇටකටු හේදුන ඇළවල්වලින් තමයි අපි නාන්නේ.
”ගමට ඉස්පිරිතාලයක්වත් නෑ කියන්න පුතේ. පාංශුකූලයක් දීගන්න හාමුදුරු කෙනෙක් වඩම්මගන්න පන්සලක්වත් නෑ කියන්න”
බිසෝ මැණිකා අප ඉදිරියේදීම පුතුට උපදෙස් දෙයි. ඔව්... බේත් ගන්න නම් කිලෝමීටර් 06 ක් සීගිරියට පයින් ගිහින්, ඊට පස්සේ කිඹිස්සට බස් එකේ යන්න ඕන” සංජීව අපිට පැහැදිලි කරයි.
මොන්ටිසෝරියට ගුරුවරියක්
අපේ මේ කතාබහ අතරතුර ගමේ ළපටි දරු දැරියෝ එතැනට විත් සිදුවන්නේ කුමක්දැයි මුව අයා බලා සිටියහ. අප දුන් බිස්කට් පැකට්ටුව පවා ඔවුනට වටිනා වස්තුවක් වී තිබිණ.
”අනේ මේ ළමයින්ට අකුරක් ඉගෙන ගන්න මොන්ටිසෝරියක් නෑ. උගන්වන්න ටීචර්ලා එන්නෑ අලින්ට බයේ. ඒ ගැනත් මොනවා හරි ලියන්න බැරිද?
”කවදාවත් මොන්ටිසෝරියක් තිබුණෙ නැද්ද? අපේ කෙනෙක් එසේ ඇසීය.
”දවස් 5 ක් තිබුණා. ඒ ටීචර් එනකොට අපි තී‍්‍රවීල් එකට රුපියල් 200/- ක් එකතු කරලා දෙනවා. අපි දුප්පත් නිසා ටීචර් ඒක ගන්න කැමති වුණෙත් නැහැ. ඒත් දැන් එයත් නැහැ. මේ ළමයින්ට අකුරක් කියා දෙන්න කෙනෙක් නැහැ. ඔක්කොම ළමයි විස්සක් විතර ඉන්නවා.
ඈ ඇසිපිය ගසා කඳුළු වළකයි.
කිසිවෙකු විසින් ඒ මොහොතේ දිය කැපිල්ල ප‍්‍රාථමික විද්‍යාලයේ උප විදුහල්පති සුගත් එදිරිසිංහ මහතා එහි කැඳවාගෙන ආවේය. ගමට ඇති එකම රජයේ ආයතනය මේ පාසලයි. එහි පංති තිබෙන්නේ පහ ශ්‍රේණියට පමණකි. ළමයි 17 කි. එදිරිසිංහ මහතාගේ බිරිය එහි විදුහල්පතිනියයි. වසර 11 ක් තිස්සේ පාසලට ගුරුවරුන් ලෙස සිටින්නේ ඔවුන් දෙදෙනා පමණි. ඔහු පවා සිටියේ කිසියම් කනගාටුවකිනි.
ඔහු ගම්මුන්ට වඩා පැහැදිලිව අප වෙත සියලු තොරතුරු ගොනු කරමින් කීවේය.
ඉංගී‍්‍රසි, විද්‍යාව වගේ විෂයන්වලට මේ ළමයි ගුරුවරයෙක් දැකලාවත් නෑ. අලින්ට බයේ ගුරුවරු එන්නේ නැහැ. ශිෂ්‍යත්වෙට මෙවර ළමයි දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක ළමයෙක් ලකුණු 98 ක් ගත්තා. ඒ බාහිර පොතක්වත් පත්තරයක්වත් දැකලාවත් නෙවෙයි. ගිය අවුරුද්දෙත් ළමයි 5 දෙනෙක් ශිෂ්‍යත්වෙට හිටියා. එක ළමයෙක් ලකුණු 127 යි. අනිත් දෙන්නා 114 කුත්, 111 කුත් ගත්තා. මේ ළමයින්ට පාසල් අධ්‍යාපනය විතරයි. රේඩියෝවක්, පත්තරයක් දකින්න නැහැ.
ගිය අවුරුද්දේ විදේශික මහත්මයෙක් ඇවිත් පුස්තකාලයක් හදලා දුන්නා. ඒත් තාම පොත් නැහැ.
වනජීවීන් සහ මනුසත්තු
මේ ළමයින්ට කියවන්න පොත් ටිකක් ලැබුණොත් ලොකු ප‍්‍රයෝජනයක්. ;ම් ඉස්කෝලෙට කිසිම දේශපාලන ආධාරයක් නෑ. බාහිර ආයතනවලින් යම් යම් උදව් තියෙනවා. මේ ගම පටන් ගත්තටම පස්සේ ගිය අවුරුද්දෙ තමයි ළමයෙක් සාමාන්‍ය පෙළ සමත් වුණේ. ඒ, එන්. ජී. ඕ. එකකින් ඒ ළමයින්ව සීගිරිය ඉස්කෝලෙට වාහනයකින් ගෙනිච්ච නිසා.
නැත්නම් ළමයි උදේට යනවා. මග අලි ඉන්නවා කියලා එනවා. වනජීවී එකෙන් ගමේ සංවර්ධනයට බලපෑම් තියෙනවා. ඉනාමළුව හන්දියේ ඉඳලා මේ හරියට අභය භූමියක් කියලයි කියන්නේ. වනජීවී එකෙන් අවසර නැතුව කිසි දෙයක් කරන්න බෑ. විදුලිය ලබාගන්න අමාරුවෙලා තියෙන්නෙත් ඒකයි.
දියකැපිල්ලේ උළු ගෙවල් 7 කට වඩා නැත. වැඩි හරිය පොල් අතුය. පොල් අත්තක් රුපියල් 15 ක් බැගින් ගෙවා මැල්සිරිපුරෙන් ගෙන්වා ගත යුතුය. වරිච්චි බිත්ති බොහොමයක හුඹස් බැඳලාය. කිසිවෙක් ගෙයි නොරැඳි ගස් උඩම දිවි ගෙවනා නිසාදෝ විය හැකිය. ගෙවල් බොහොමයකට ජනෙල් පියනක්වත් නැත.
මේ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ගැටලු විසැඳීමට කිසියම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව නම් හැඟේ. මන්ද මේ දුක් විඳින්නේ අපට බත සපයන තවත් ගොවීන් පිරිසකි. අප වැනිම වූ මිනිසුන් පිරිසකි. තුන් තිස් පැයේම “අලි භීතිකාවෙන්” තැවෙන මේ මිනිසුන් වෙනුවෙන් කිසිවක් කිරීමට අදාළ බලධාරීන් ඇස් ඇරිය යුතු කාලය මෙය බව නම් නොකියාම බැරිය.
සටහන - රසිකා ඔලබොඩු

No comments: