Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 27, 2008

ශ‍්‍රී ලාංකීය සංගීතයේ යුගයක අවසානය - ආචාර්ය අජන්තා රණසිංහ

ඒ නෙවිල් ජයවීර නම් කෘතහස්ත සිවිල් නිලධාරි මහතා ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවදියයි.
එපමණක් නොව ඒ මහතා එවක රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ පදවිය ද දැරීය. මේ දිනවල ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ වැඩවර්ජනයක් පැවැත්විණ.
ඒ සමගම කිසියම් ගුවන්විදුලි සංවත්සර උලෙළක් හෝ එබඳු අන් කිසියම් උත්සවයකට ගුවන් විදුලිය සුදානමින් දින නියම කොට ගෙන තිබිණ.
ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ සංගීතාංගයක් එම ගුවන් විදුලි උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. මේ සංගීතාංගයේ වාදනය කරනුයේ ගුවන්විදුලි වාදක මණ්ඩලයයි.
උලෙළට දින සමීප වුව ද වාදක මණ්ඩලයේ වැඩවර්ජනය නතර වී නොතිබිණ එබැවින් උලෙළට ඉදිරිපත් කිරීමට නියමිතව පැවැති කේමදාසයන්ගේ සංගීතාංගය ද ඉදිරිපත් කර නොහෙන තත්ත්වයක් උද්ගතව පැවතිණ.
නෙවිල් ජයවීර මහතා ආචාර්ය කේමදාසයන් තමා වෙත කැඳවා වැඩවර්ජනයේ නියැලී වාදන ශිල්පීන් මේ සංගීතාංගයට සහභාගී කරවා ගැන්මට තමන්ට කිසිසේත් අවසර දිය නොහැකි බව පවසා ඔවුන් වෙනුවට වෙන වාදන ශිල්පීන් යොදවා සංගීතාංගය ඉදිරිපත් කළ නොහැකි දැයි යන ප‍්‍රශ්නය මතු කෙළේය.
‘මට පුළුවන්. ඒත් මම ඒක කරන්න කැමති නෑ. මේ අය මුලඉඳන් ම පුහුණුවීම්වලට ඇවිත් මට උදව් කරපු අය.’
‘එහෙනම් අපට මේ සංගීතාංගය නතර කරන්න වෙන්නේ.’ ජයවීර මහතා ස්ථිර තීන්දු මුඛයෙන් පැවසීය.
‘කමක් නැහැ....’ කේමදාසයෝ සුවිශේෂ අවස්ථාව අතැර යන්නට ගියහ.
එහෙත් ජයවීර මහතා මඳක් තැන් ගිය ඔහුට අත්පුඩි ගසා කතා කෙළේය. ජයවීර මහතා මේ ස්ථිරසාර පුරුෂයාගේ සිරුර දෙස තීක්ෂණව මොහොතක් විමසුම් නෙතින් බලා සිටියේ ය.
‘හොඳයි මිස්ටර් කේමදාස. ඒ අය අරන් වැඩේ කරන්න.
එදින මේ සංගීතාංගය ඉදිරිපත් කිරීමට වාදන ශිල්පීන් පැමිණියේ වාද්‍ය භාණ්ඩ උඩ දමමින් අල්ලමිනි.
ඒ ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ පිළිවෙතයි. ඔහුගේ ජීවිතය මබඳු සිද්ධීන්වලින් ගහණ වී ඇත.
ඔහු ධනවාදී සම්ප‍්‍රදායයන් තුළ එහෙත් බෞද්ධ සංස්කෘතික උරුම සහිත පරිසරයක ඉපිද හැදීවැඩුණු පුද්ගලයෙකු විය.
මේ නිසාම වාමාංශික ප‍්‍රගතිශිලී චින්තනයෙන් මෙහෙයවනු ලැබූ ඔහුගේ ගතිලක්ෂණ, සමාජ සම්ප‍්‍රදාය හා ගැටෙමින් බිහිකරන ලද්දේ අපූර්ව විරල මිනිසෙකි.
ඔහුගේ ගමන හුදකලා ගමනක් විය. ඔහු වටා පිරිස් සිටිය ද ඔවුන් අතර ඔහු හඳුනා ගැන්මට සමත් වූවෙක් නොවුණු බැවින් ඔහු හුදකලා විය. ඒ නිසාම නිදහස් සිතුවිල්ලෙන් නිගමන ගැනීමට ඔහු සමත් විය.
ඔහුට අවස්ථාව උදාවිය. ඔහුවෙත පැවැතියේ පාසලින් උගත් දේ නොව දුක්විඳින සමාජයේ චර්යාව තුළ ග‍්‍රහණය කරගත් අත්දැකීම් පමණි.
ඔහු මුවින් නොබා සමාජය කෙරෙහි පතළ දයාවෙන් ඇති වුණු වේදනා සංකා මේ නිසාම ඔහුගේ සංගීත නිර්මාණ බහුතරයක් විනිවිදව දැකගැන්ම අසීරු නොවේ.
කේමදාසයන් විසින් නිර්මිත ප‍්‍රථම සංගීත සංධවනි වන ‘සිංහල අවුරුද්ද’, ‘මුහුදු නියග සහ වැස්ස’ අභ්‍යන්තරයේ ප‍්‍රබුද්ධ සංගිත ශ‍්‍රාවකයාට ඉවවැටෙන ඔහු නියෝජනය කරන දුගී ගැමි මානව පරිසරයක් අපේ සංස්කෘතික උරුමයත්ය. එසේ වීමට කේමදාසයන්ගේ පංති උත්පත්තිය ඔහුට අනියම් අයුරකින් බලපාන්නට ඇත.
දරුවන් එකොළොස්දෙනෙකුගෙන් යුත් පීඩිත පංති පවුලක ඔහු එකොළොස්වැන්නා විය.
එබැවින් ම ඔහුට පවුලෙන් ලැබුණු දෙයට වඩා නොලැබුණු දේ වැඩි විය. ඔහුට ක‍්‍රමානුකූල පොතෙන් උගැන්මක් නොවීය. කිරි එළදෙන් පට්ටියක් ගෙදර සිටි බැවින් ඒ කිරි විකුණා ඔවුහු යැපුණාහ.
මේ එළදෙනුන් කිරිවැරී වියපත් වූ විට කේමදාස මසකට වතාවක් දෙවතාවක් සිය ගම වන වාද්දුවට ගොස් උනට තණකොළ පුන්නක්කු මාසයට ම සරිලන සේ ලබාදීමට අසල්වැසියන්ට මුදල් හදල් දී පවරයි.
ඔහුගේ සංගීත චාරිකාවේ මුල් අවදියට සෙවණ දෙනුයේ කඨෝර පරිසරයෙන් යුත් මෝටර් රථ, වාහන, දුම්රිය එංජින් ශබ්ද හෝන් නලා ශබ්ද වලින් දූෂිත වුණු මරදාන දුම්රියපොළ අබියස මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහල් කුටියයි.
‘සංගීත මංජරිය’ නමින් හඳුන්වනු ලැබූ මේ ගොරහැඩි පරිසරයේ පිහිටි මේ කුටියේ එවක ජෝ අබේවික‍්‍රම, විජය කුමාරණතුංග, ජාත්‍යන්තර කීර්තිධර වයලීන වාදන ශිල්පී ඩග්ලස් පර්ඩිනන්ස්, ධර්මදාස වල්පොල වැනි කලා ශිල්පී ශිල්පිණියෝ ගායන වාදන පුහුණු වීම කළාහු ය.
වරක් අප කේමදාසයන් සමඟ ඉන්දියාවට ගියේ ‘වසන්තත්තිල් ඔරු වානවිල්’ නැමැති ඉන්දීය දමිල චිත‍්‍රපටියේ සංගීත නිර්මාණය ඔහුට පැවරුණ අවස්ථාවේ එම කාර්යයෙහි නිරීක්ෂකයෙකු වශයෙනි.
ගීත පටිගත කිරීමට ශබ්දාගාරයට ගිය අවස්ථාවේ හැත්තෑ පහක් පමණ වූ වාද්‍ය ශිල්පීන් ;ක්මදාසයන්ට මේ සඳහා කවර හෝ උදව්වක් නොකරනු පෙනිණ.
‘පුංචි තිතක් වැනි මේ ලංකාවෙන් ආපු මේ පොඩියන්ගේ මෙහෙයවීමට අපි මොකට වාදනය කරවා’දැයි සංගීත ශාස්ත‍්‍රයෙහි කෙළ පැමිණි ඔවුන් සියල්ලන් ම සිතන්නට ඇත.
එහෙත් එම වාදක මණ්ඩලයේ සිටි ඇන්ග්ලෝ ඉන්ඩියන් ජාතික ගිටාර් වාදකයෙක් කෙසේ හෝ කාර්යය සඳහා ඔවුන් පොළඹවා ගැන්මෙන් පසු ඔවුහු ගීත පටිගත කිරීමට සහය දුන්හ.
ඉනික්බිතිව සිදුවූයේ මහත් ඓශ්චර්යයකි. වාදක මණ්ඩල සාමාජිකයෝ සියලු දෙන පැමිණ කේමදාසයන් වටා රොක්ව ඔහුගේ දෑත් සිප වැළඳ ඔහුගේ සාර්ථකත්වයට සතුට පළ කළහ. ඒ ඉන්දීය සංගීතඥයින් ශාස්ත‍්‍රය උගත්තාට පමණක් සලකන බැවිනි.
විශ්ව සංගීත රිද්ම සහ ශිල්ප ක‍්‍රම ඇසුරින් මතුවන සංගීත නාද රටා ග‍්‍රහණය කරගැන්මටත් ඒවා අප හෘර්ද ස්පන්දනයට ගෝචර වන ආකාරයෙන් ප‍්‍රති නිර්මාණය කිරීමටත් ඔහු හුදකලාවම දැරූ අපමණ ප‍්‍රයත්නයෙහි ප‍්‍රතිඵලය වනුයේ ඔහුගේ බොහෝ සර්ව කාලීන සංගීත නිර්මාණයෝ ය.
කේමදාසයන් තුළ අතිශයින් සංවේදී අහිංසක මිනිසෙකු මෙන් ම කවර රජයකට හො කවර අසාධාරණ බල පරාක‍්‍රමයකට හෝ කඩේ නොයන අපූර්ව ඍජු හිතුවක්කාරයෙකු ද ජීවත්විණි. එය සනාථ කිරීම සඳහා ඔහුගේ ජීවන චාරිකාවේ හමුවන සිදුවීම් බහුලය.
අති ප‍්‍රවේගාත්මක ප‍්‍රකාශන වශයෙන් ඔහු නිර්මාණය තුළ ‘මානස විල’ වැනි අප‍්‍රමාණ සංගීත නිර්මාණ සමාජ අසාධාරණය පිළිබිඹු කොට නිර්මිත සාර්ථක සංගීත කෘති වශයෙන් බොහෝ දෙනා හැඳින්වූහ.
පෙ‍්‍ර්මගීත නිර්මාණයේ දී ඔහු දැක් වූ භද්‍ර යෞවන හැඟීම් පියාසර කරන නිර්මාණාත්මක ගුණය හා ප‍්‍රතිභාවට සාධක වශයෙන් සුළං කුරුල්ලෝ, ගීතයෙන් අරඹා විකසිත පෙම් පොකුරු පියුම්, මේ අයුරින් අපි සංසාරේ, සඳ හොරෙන් හොරෙන් බලා, ආදරයේ රන් විමනේ, ලාහිරු සහසක්, ඔබ ළඟ ඉන්න මගේ වාසනා, සීත රෑයාමේ වැනි සිය ගණනක පෙ‍්‍ර්ම ගීතාවලියක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
අප ඔහු යුග පුරුෂයෙකු වශයෙන් හැඳින්වීමට පෙළඹෙනුයේ එය ඔහු විසින් ම සනාථකර ඇති බැවිනුත් ආචාර්ය කේමදාසයන් හැඳින්වීමට ඊට වැඩි තක්සේරුවෙන් අන්මගක් නොමැති නිසාත් ය.
සමාජ අසාධාරණයට එරෙහි ව ස්වකීය විරෝධතා ආකල්ප ජනතාවට හඳුන්වාදීමට ඔහු සටන් පාඨ රැගත් ගීත නිර්මාණය නොකළේ ය.
එහෙත් ඒ අපේක්ෂාවන් ජනතා හදවත මුදුන්පත් කරදීමට සංගීතය චක‍්‍රායුදයක ආකාරයෙන් උචිත අවස්ථාවන්හි ඔහු මැනැවින් මෙහෙයවීමට පසුබට නොවීය.
ඉන් ජනතාව තුළ කෝපාග්නි දැල්වුනා නොව තමන් අත්විදින අසරණත්වය ඔවුන් තත්වාවබෝධයෙන් පසක් කර ගත්තා පමණි. ඒ අවබෝධය තුළින් සංගීත ශ‍්‍රාවකයෝ ආචාර්ය කේමදාසනම් මෙම සංගීතවේදියා උච්චස්ථානයක ආසනාරූඩ කළහ.
කේමදාසයන්ගේ ප‍්‍රථම චිත‍්‍රපටය වන ‘සැනසුම කොතැන ද’ හි ගීත සහ සංගීත නිර්මාණයෙන්, ඔහු සම්ප‍්‍රදායානුකූල සාවද්‍ය මගින් පිටපැන ශ‍්‍රාවකයින්ගේ හද ගැහෙනා රිද්මය මෙතෙක් ආයාචනාවෙන් අපේක්ෂා කළ සංගීත කෘතිය දොරට වැඩමවීය.
එමගින් ශ‍්‍රී ලාංකීය චිත‍්‍රපටියේ අනන්‍යතාව සටහන් කෙරිණ. නිර්ව්‍යාජ සිංහල ගීතයේත් විශ්ව සිනමාවේ අපි එතෙක් අත්විදි සිනමාත්මික සංගීතයේත් ගතිලක්ෂණ ද අපි ඉන් අත් වින්දෙමු.
එවක එය යුගයේ අවශ්‍යතාවයක් ව පැවතිණ. කාලය සමඟ ඉදිරියට යමින් කාලයට තමා අභිබවා යාමට අවකාශ නොදී එතැන් පටන් ආචාර්ය කේමදාසයෝ දහසක් අවහිරතා කටුකොහොල් බාධක පවුරු පදනම් තුගු ගිරි සිඛර තරණය කොට ඒ අතරින් ස්වකීය සංගීත චාරිකාව අඛණ්ඩව සංගීත ශ‍්‍රාවකයා වෙනුවෙන් මෙහෙය වූහ.
කේමදාසයන්ගේ සංගීත නිර්මාණ කෘතිය ජනතාවගේ දෘෂ්ටිය විය. ඒ දෘෂ්ටිය හඳුනා ගැන්මේ විචාරාක්‍ෂිය ඔහුට ලැබුණේ් කොතැනින්දැයි කෙසේදැයි යන්න නිවැරදිව දන්නා කිසිවෙකු මෙතෙක් අපට නම් හමුවී නැත.
එහෙත් ඔහු සංගීතවේදියෙකු වශයෙන් තම කාර්යයභාරය දශකයෙන් දශකයට යුගයෙන් යුගයට වෙනස් වන සමාජ පරිසරයට අනුකූලව ඉටු කළේය. දුක්විදිනා ජනතාව දැක කළකිරී පැත්තකට වී ඔහු සොවින් තැවී ඔහේ කරබාගෙන උන්නානම් නොවේ.
කලාශිල්පියෙකු විසින් තමා ජනිත කළ මාතෘභූමියේ නාමයෙන් ජාතියේත් දේශයේත් උන්නතිය උදෙසා කළ යුතු වූ කිසියම් විෂයය මෙහෙවරක් ඇද්ද, දේශපාලන බැමි පුපුරවා හැර ඔහු ස්වාත්මයෙන් ම ඒ කාර්යයයෙහි නිවැරැදිව නිරත විය.
සංගීත රස විචාරයට නිවැරැදිව අවතීර්ණ වූවෝ එදා අපට නොසිටියහ. දැනුදු ඇත්තේ නැත. එබැවින් තම කෘතිය ස්වයං විචාරයට භාජනය කොට නිගමනයට එළඹීමට සංගීත කේෂත‍්‍රයෙහි නිර්මාන කාර්යයෙහි නිරත වන්නන්ට සිදුවේ.
මෙය දැලිපිහියෙන් කිරිකන්නා වැනි අසීරු කටයුත්තකි. නිවැරැදිව කරන්නේ නම් සැබවින් ම ඒ ව්‍යායාමය ඉතා අසීරුය.
මක් නිසාද යත් සංගීත කලාශිල්පියාගේ නිගමනය, ඔහුගේ සංගීත ප‍්‍රකාශනය පරම්පරාවකට බලපා එමගින් ඒ පරපුර ‘මේ නම් සත්‍ය මාර්ගය යැ’යි එම නිගමන පිළිගන්නා බැවිනි.
ඒ සත්‍ය මාර්ගය අසත්‍යයක් වූයේ නම් එය පරම්පරාවකට බලපාන ජාතික අපරාධයක් වනු ඇත. එපමණක් ද එම කලාශිල්පියාගේ ප‍්‍රතිරූපයට පවා අනාගත වංශය ශාප කරනු ඇත.
ආචාර්ය කේමදාසයන් සත්‍යාර්ථය මැනැවින් දැන හැඳින එය දැයේ රිද්මයට අනුගත වන අයුරින් සිය නිර්මාණ ශ‍්‍රාවකයාට ප‍්‍රදානය කෙළේය. එබැවින් සියවස් ගෙවෙන හෙට දිනයේ ඉතිහාසය ඔහු ඓතිහාසික සම්මානලාභියෙකු කරනු නිරනුමානය.
කේමදාස සංගීතයේ මෙම සත්‍ය සනාථ වනුයේ කේ. ඒ. ඩබ්. පෙරේරාගේ ‘සැනසුම කොතැන ද’ චිත‍්‍රපට යුගයෙන් ඇරැඹි ඔහුගේ නිර්මාණ චාරිකාව යසපාලිත නානායක්කාර ගේ ධර්මසේන පතිරාජගේ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් ගේ සිනමා කෘති හරහා පරාක‍්‍රම නිරිඇල්ලගේ, ධර්මසිරි බණ්ඩාරනායකගේ, ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා සහ ටෙලි කෘති වලට සම්බන්ධව ඉනික්බිතිව අද යුගයේ දේවින්ද කෝන්ගහගේ ටෙලි වෘතාන්ත කෘතිය හා බැඳි යුගයෙන් යුගයට අඛණ්ඩව මෙසේ පැමිණීම සිදුව ඇති බැවින් බව සඳහන් කළ මනාය.
ශ‍්‍රී ලාංකික සංගීතයේ මේ යුගයක අවසානය බව දනිමු. එහෙත් මීළඟ යුගය කවුරුන් විසින් කවදා කෙසේ අරඹනු ලබන්නේ ද යන ප‍්‍රශ්නය අබියස අපි නතර වී ඉදින්නෙමු.

No comments: