Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

ඒ කාලෙ රෙකෝඩින් පණයන වැඩක් - රෝහණ බැද්දගේ

ජන සංගීතයේ මිහිරියාව එදා මෙදා තුර ජන සවන්පත් කරා සමීප කරමින් ජන හද සනහාලූ කලාකරුවා ඔහු ය. ගැමි සුවඳ වහනය වන නිර්මාණ, අව්‍යාජත්වයෙන් යුක්තව, සහෘදයන් වෙත රැගෙන ගිය, ගම අමතක නොකළ නිර්මාණකරුවා ඔහු ය. එළැඹෙන ඉල් මස පළමු වැනි දින සිය දිවියේ සැත්තෑ තෙවැනි විය සපුරන රෝහණ බැද්දගේ නම් වූ එම නිහතමානී කලාකරුවාගේ සොඳුරු මතක සැමරුම් මෙසේ අවදි කෙරේ.

එදා ඔහු උපදින විට පැවැති ගම අද වන විට නොවූවත් ගමක අත්දැකීම් විඳිය හැකි සුන්දර ගම් පියස තවමත් ඔහුගේ දිවියට සොඳුරු මතකයන් ගෙන එනු ඇත. ඔහුගේ ගීතවලින් කියවෙන්නා වූ වෙල් යාය, කඳු, ළඳු, රබර්වැටි, බඩවැටි, මේ ගම් පියස තවමත් එකළු කරන දර්ශනය.
හොරණ නගරයේ සිට සැතපුම් පහකට ආසන්න දුරක් ගෙවාගෙන අපි ඔහුගේ නිවසට ගියෙමු. ඔහු දුටු මා තුළ මැවුනේ නියම ගැමියකුගේ පිළිරුවකි. අව්‍යාජ සිනහවකින් ඔහු මුව පුරා සිනාසුනේය. කුඩා කල මා විවිධ අවස්ථාවලදී දුටු ඒ රුව තවමත් ඒ ආකාරයෙන් ම ය. කිසිදු වෙනසක් නැත.
සිය දිවියේ විවිධ අවස්ථාවලදී ලද අත්දැකීම් සමුදාය, කොතැනින් අරඹා කොතැනින් අවසන් කළ යුතුදැයි ඔහුටම සිතා ගත නොහැකි සේය.
“අපි ගැමියො ඉපදුණු දා ඉඳන් අපේ ඇෙඟ් කලාව කියන දේ පිහිටලා තිබුණා. ගමේ ගොඩේ වෙල් එළියෙ ගොවිතැන් කටයුතුයි තවත් නොයෙකුත් වැඩ කටයුතුයි ඇසුරේ ලබාපු ජන ගී ආභාසය එයට හේතු වුණා.
අවස්ථා දෙකක් යටතේ අපේ සංවර්ධනය සිද්ධ වුණා. ආගමික සංවර්ධනය එක අවස්ථාවක්. ගෙදර දීත් පන්සල ඇසුරිනුත් එය පෝෂණය වුණා. ගෙදර දී ආගමික වතාවත්වලින් පස්සෙ අපි හැමෝම එකතුවෙලා යශෝධරාවතේ, ගණදෙවි හෑල්ලේ, ලෝ වැඩ සඟාවේ කවි කිව්වා.
පන්සලේදී පෙරහර වැනි විශේෂ අවස්ථාවලට සහභාගී වුණා. මගුල් ගෙවල්වල අශ්ටක, ශ්ලෝක ගායනා කළා. මේවා තමයි මගේ ගමන් මඟේ මූලාශ‍්‍ර වුණේ.
ඉස්කෝලේ සාහිත්‍ය ඉගෙනීමෙන් ලැබුණු දැනුමත් සංගීත පාඩම් ඉගෙනීමෙනුත් මං මගේ හැකියාව තවදුරටත් පෝෂණය කර ගත්තා. හේවුඩ් කලායතනයෙන් ශාස්තී‍්‍රය දැනුමකුත් ලැබුවා.
කුඩා කාලෙ ඉඳන් ම මං ජන ගී ගායනාවලට, නාට්‍ය රඟපාන්න, සිංදු කියන්න දස්සයි.
ගමේ මිනිස්සු ඒ විදිහට මාව දැනගෙන හිටියත්, රටේ ම ජනතාවට මාව අඳුන ගන්න ලැබුණෙ 1972 දී විතර වගේ.
ගුවන්විදුලියෙන් පවා ගීත ප‍්‍රචාරය වී තිබුණත් මාව ජනතාව අතර ජනප‍්‍රිය වුණේ මගෙ රත්තරං හෙලේනා ගීතයෙන් පස්සෙයි.
මං ගුවන්විදුලියේ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණේ සංගීත පර්යේෂණ අංශය පිහිටෙව්වට පස්සෙයි.
ජනගී ඇසුරේ නිර්මාණය වුණු ගීත, දේශීය සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන කරන නිර්මාණවලට අවස්ථාව තියෙන බව අපිට දැන්වූවා. මං ගුවන් විදුලියෙ පටිගත කිරීම්වලට සම්බන්ධ වුණේ ඒ අනුවයි.
මං ගුවන්විදුලියේ ගී නිර්මාණවලට සම්බන්ධවුණේ බලෙන් හොයාගෙන ගිහින් නෙමෙයි. අපේ හැකියාවන් දැනගෙන ඒ අයම අපට කතා කළ නිසයි.
ඒ ඇසුරේ අපට හොඳ නිර්මාණ කරන්න පුළුවන් වුණා. ඒත් අද වෙන්නෙ ඕකෙ අනික් පැත්තයි.
එදා ගීත පටිගත කිරීමේ තාක්ෂණය අද වගේ දියුණු නෑ. සමහරදාට එක ගීතයක් පටිගත කරන්න පැය ගණනක් ගත වුණා. පාන්දර වෙනකං එක ම සිංදුව කිව්ව අවස්ථා තිබුණා.
ගීතයේ අන්තිම වචනෙ, අන්තිම අකුර වැරැදුණත් ආපහු මුල ඉඳන් ම ගයන්න වෙනවා. සංගීත සපයන්නන්ගෙන් එක් කෙනෙක් අතින් පොඩි වැරැද්දක් වුණත් ආපහු මුල ඉඳන් ගීතය පටිගත කෙරෙනවා.
ඒ කාලෙ අපි අපේ කටයුතු කළේ රාජකාරියක් හැටියට පැය ගාණකට සීමාවෙලා නෙමෙයි. හොඳ දෙයක් හොඳම විදිහට කිරිමේ අරමුණ විතරයි තිබුණෙ. ඒත් පහු වෙන්න පහු වෙන්න මේ තත්ත්වය වෙනස් වුණා.
රාජකාරියක් හැටියට තමන්ගෙ පැය ගණන ඉකුත් වුණහම ශිල්පියො නැගිටලා යන්න යන තත්ත්වයක් ඇතිවුණා. අද තියෙන්නෙ එදා පැවැති තත්ත්ත්වය නෙමෙයි.
එදා පැවැති ක‍්‍රමය අනුව අවසානයේ ජනතාව අතරට ගියෙ හොඳ ම නිර්මාණයක්. ඒ නිසා ඒ කාලෙ බිහිවුණු ගීත නිර්මාණ අදටත් ජනතාව අතර එදා වගේ ම ජනප‍්‍රියයි.”
ජීවත් වන පරිසරය ඔහුගේ ජීවිතයට අත්දැකීම් සැපයුවේ අපූර්ව ආකාරයෙනි. කරන කියන හැම දෙයකට ම එහි පහස කෙසේ හෝ ලැබී තිබුණි.
ඔහුගේ ගීත නිර්මාණවලට වගේම, කෙටි කතා සංග‍්‍රහයට ද ගම් පියසින් ලද අත්දැකීම් නොමඳව ලැබී ඇති බව පැහැදිලි වේ. අන්දරවැටිය කෙටි කතා සංග‍්‍රහයේ පෙරවදන මේ බව කදිමට සනාථ කරනු ඇත.
“ඉස්සර අපේ ගමේ උදවිය හැන්දෑවට සතුටු සාමීචි කතාවල යෙදෙන වෙලාවට කියපු කතන්දරවල තිබුණා අපූරු අත්දැකීම්. ඒ එක්කම මිනිස් සිතුම් පැතුම්, ගති ගුණ මිනිස්කම්, නොමිනිස්කම් ආදී බොහොම දේවල් ගැන ඒවායින් කියවුණා.
මේ අන්දර වැටියෙ තියෙන්නෙත් ඒ වගේම කට වහරින් ම කියවෙන කතන්දර පෙළක්. මේවායින් ඒ වාගේම අප අප ගැනම කියා ගන්නා මොනවා හරි තොරතුරු ඇතැයි කියලා මට හිතෙනවා.
මේ කෘතියේ එන සංසාරගමනට පිස්තෝලයක් කියන කෙටි කතාව ජර්මනියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ජර්මන් ජාතික ශිෂ්‍යයෙක් සිය පර්යේෂණ නිබන්ධනයට තෝරාගෙන ඇති බව මට දුරකථන මාර්ගයෙන් දන්වා සිටියා.
ඒ වෙලාවෙ මට හිතුණෙ ලංකාවෙ කෙටි කතා නිර්මාණකරුවන් මෙපමණ සිටිද්දි මගේ නිර්මාණය තෝරා ගත්තෙ ඇයි කියලයි.
කලාව, සෞන්දර්ය මං පාවිච්චි කරන්නෙ ලෝකායත ධර්මය තුළ නෙමෙයි. එහිඇලී ගැලී ඉන්නවට වඩා ඉන් නිදහස්වීම ගැනයි මං නිතරම හිතුවෙ. සංගීතයෙ අභ්‍යන්තරයට ගියහම ඒකෙ දර්ශනය දකින්න ගන්නවා.
එතකොට එහි ඇලී ගැලී සිටීමට වඩා නිදහස් වීමටයි හිතෙන්නෙ. මට කොහොමත් වැඩි වැඩියෙන් සල්ලි හම්බකිරීමේ වුවමනාවක් එදා ඉඳන්ම තිබුණෙ නෑ. ජීවිතයේ හෙම්බත්වුණු ජනතාවට සංගීතය කියන ඖෂධයෙන් ප‍්‍රතිකාර කිරීමේ අරමුණ විතරයි තිබුණෙ.
මගේ ගීත අහලා, මගේ නිර්මාණ විඳලා එක මනුෂ්‍යයෙක් හරි සැනසීමක් ලබනවා නම්, මං ඒකෙන් තෘප්තියක් ලැබුවා.
මීට අවු 18කට කලින් මගේ උපන් දිනයකට බෝධි පූජාවක් තියන්න නෙළුම්මල් හොයන්න ගිය ගමනක් මට අද වගේ මතකයි. මං බොල්ගොඩ ගඟට ගියා නෙළුම් මල් කඩා ගන්න.
ළමයෙක්ව හොයා ගන්න හිතාගෙන තේ කඩයක් ළඟ මං ගිය මෝටර් බයිසිකලය නතර කළා. හෙල්මට් එක ගලවන්නෙ නැතිව ම කඩේ මුදලාලිගෙන් මේ ගැන විමසා සිටියා. මගෙ හඩින් ඔහු මාව අඳුරගෙන, නෙළුම් මල් කඩන්න මාත් එක්ක යන්න ආවා.
ගඟට බැහැලා ඔහු නොපෙනී ගියා. කරුවල වැටෙනකනුත් ඔහු නැති නිසා මං හොඳට ම බය වුණා. අවසානයේ ඔහු නෙළුම් මල් මිටියකුත් අරගෙන මං ළඟට පීනගෙන ආවා. මාව කඩේට එක්කගෙන ගිහින් කෝපි වක්කරලා දීලා මගේ ගීත ගැන ඔහු ඇගයීම් කළා. ඔහුගේ සේවයට මං පොඩි මුදලක් දුන්නත් ඔහු එය බාර ගත්තෙ නෑ.
මේ කළ දෙය පොඩි දෙයක්. එහෙම කරපු එක තමයි මං ලබන සතුට. අපට ඔබතුමා සංගීතයෙන් කරන මෙහෙයට මෙහෙම ගෙවලා ඉවර කරන්න බැහැ. කියලා කිව්වා. එය එක් අවස්ථාවක් විතරයි. ඒ වගේ ජනතාවගෙන් ලැබූ ප‍්‍රතිචාර අපරිමිතයි.
අතීතයේදී කිව්වෙ කලාව කලාව සඳහා කියලා. පස්සේ ඒක ජනතාව සඳහා කියා කිව්වා. මං හිටියෙත් ඒ අදහසේ. ඒත් අද කලාව ජීවනෝපාය බවට පරිවර්තනය වෙලා.”
ඔහු වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය කලාව තුළ ද ප‍්‍රකට චරිතයකි. පාසල් කාලයේ සිට නාට්‍යවල රංගනයට, පිටපත් රචනයට, සංගීතයෙන් දායකත්වය සැපයූ ඔහු, පාසල් සංගීත ආචාර්යවරයකුව සිටියදි ගුරු භවතුන් සම්බන්ධ කර ගෙන, වර්ෂ අවසාන ප‍්‍රසංගවලට නාට්‍ය නිර්මාණය කර ඇත.
“මේ සේරම අතරේ අභ්‍යන්තරය අතින් ගිය ගමනක් තියෙනවා. මං බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර, ධර්මය ඇසුරේ වැඩුණු කෙනෙක්. හැකි තරම් දුරට ආත්ම ගෞරවය පිළිබඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. කොයිම මොහොතකවත් ඒකට හානි කරගන්න මං කැමැති වුණේ නෑ.
මං කවදාවක්වත් ප‍්‍රසිද්ධිය ලබා ගන්න පත්තර කන්තෝරු ගානෙ, වෙනත් මාධ්‍ය ආයතන ගානෙ ගිය කෙනෙක් නෙමෙයි. එහෙම යන්න මට වුවමනාවක් නෑ. ප‍්‍රසිද්ධිය හොයාගෙන මං ගියේ නෑ.”
‘කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
යැයි වරෙක ඔහු අප සවන්පත් අතරට ගමේ සුන්දරත්වය කියා පෑවේය. මේ සුහද මිනිසා පිළිබඳ ඔහුගේ කෘතියක සටහන් තැබූ පී.එල්. ධර්මසිරි පෙරේරා මහතා මෙසේ සඳහන් කර තිබේ.
“ඔහු ගැමියන් හා වෙසෙන්නේ රස බඳුනක පරළුවක් මෙන් නොවේ. රස හඳුනන දිව බඳු සංවේදී බවකිනි. මිනිස් ගතිය දන්නා ඔහු සිනාසෙන්නේ සහෘදයින් ද සමඟයි.
බැහැරට විහිදෙන ඒ සදය සිනාවේ, ඇතුළු හදට නැඹුරුවුණු කඳුළෙකි. ඉන් තෙත්වන හද ලබන හික්මීම නිසා ම සහදයා, සුහදයෙක් වෙයි.”
රටක් සැනහූ සුහද කලාකරුවාණෙනි, තව බෝ කලක් වැජඹී ඔබේ නිර්මාණ සහෘදයිනට දායාද කිරීමට හැකියාව ලැබේවා යන්න අප පැතුමයි.

No comments: