Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 10, 2008

අපි මැරෙන්න බය නෑ බෙලිඅත්තේ තරුණයෝ ජනපතිට කියති

පසුගිය සති අන්තයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ල, බෙලිඅත්ත ඇතුළු ගම්මාන කිහිපයකට පෙර දැනුම් දීමකින් තොරව සිදුකළ සංචාරයෙන් ගම්වාසීහු විමතියට පත් වූහ. ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට සහභාගි වූහ.
තංගල්ල නිවසේ දී ජනාධිපතිතුමා හමුවීමට ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු නිලධාරීහු කිහිපදෙනෙක් ද පැමිණ සිටියහ.
ගම් පළාත්වල ප‍්‍රාදේශීය වශයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය ජනාධිපතිතුමා ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ජනාධිපතිතුමා සේරම හරි ඒ කටයුතු සියල්ල හොඳට සිදු කෙරෙනවා. යනුවෙන් එම පිරිස පැවසූහ.
මම පිළිතුරෙන් සෑහීමහට පත්වීමට නොහැකි බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ කටයුතු තමාටම බැලිය යුතු බවයි. තංගල්ලෙ සිට බෙලිඅත්ත ප‍්‍රදේශවලට ගිය ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඕකවෙල හන්දියට පැමිණියහ.
ජනාධිපතිතුමා ගමන්කළේ මග දෙපස ඇතුළු ප‍්‍රදේශවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු ගැන දැඩි අවධානයක් යොමු කරමිනි. ඕකවෙල ප‍්‍රදේශයේ පාරක් දුටු ජනාධිපතිතුමා වාහනය නවත්වා එම ස්ථානයට ගොස් හොඳින් නිරීක්‍ෂණය කළේය.
“මේ පාර හොඳට හදල නැහැ. කවුද මේක භාරව කටයුතු කරන්නේ වහාම කැඳවන්න. ආණ්ඩුව මුදල් පාස් කරනවා. ඒවා හරියට යොදවන්න ඕනෑ. මේව හරියට කරන්නේ නැතිවුණාම මිනිස්සු දොස් කියන්නේ ආණ්ඩුවට . මෙහෙම උඩින් පල්ලෙන් වැඩකරන්න බැහැ. මං හැම දෙයක්ම හොයනවා. යනුවෙන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තරමක දැඩි ස්වරයකිනි. ඉන්පසුව අදාළ නිලධාරියා පැමිණි පසු ජනාධිපතිතුමා දැඩිව කියා සිටියේ මින් ඉදිරියට මෙවැනි කි‍්‍රයා සිදු නොවිය යුතු බවයි.
“ජනාධිපතිතුමනි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක්ම මේ දිනවල සිදුවෙනවා. ඒවගේම සංවර්ධන ව්‍යාපෘති රැසකම වැඩ අවසන් වෙලා. මාර්ග, අධිවේගි මාර්ග, ගුවන් පාලම්, විදුලිබලාගාර, වරායන්, ගුවන් තොටුපොළ ඇතුළු සංවර්ධන කටයුතු රැසක්ම සිදු කෙරෙනවා. යනුවෙන් පැවසුවේ මර්වින් සිල්වා අමාත්‍යවරයාය. “මං ඒවා දන්නවා. නමුත් ප‍්‍රාදේශීය වශයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු මීටත් වැඩිය හොඳට සිදු කෙරෙන්න ඕනෑ. යනුවෙන් ජනාධිපතිතුමා කියා සිටියේය.
මෙහෙම ඇවිදින්න එපා
ඕකවෙල හරහා තංගල්ල පැත්තට ජනාධිපතිතුමා රැගත් වාහන පැමිණෙන විට හදමින් සිටි පාලමක් ළඟ වාහන නතර කිරීමට ජනාධිපතිතුමා කියා සිටියේ තරුණයින් පිරිසක් පාළම අසල සිටි නිසාය. “මොකද මේ පාළම ළඟට වෙලා කරන්නේ” යනුවෙන් තරුණ පිරිස සමඟ කථාව ආරම්භ කළෙ ජනාධිපතිතුමාය. මුකුත් කරන්නේ නැහැ. පාලම හදන දිහා බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමනි” යනුවෙන් එම තරුණ පිරිස පැවසූහ.
මෙහෙම නිකං ඉන්න එපා. ඔය වයසට මොනවද කරන්න බැරි මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරගන්න රණ විරුවන් මේ මොහොතේ කටයුතු කරනවා. අපිත් පොඩි කාලේ තරුණ කාලේ නිකං බලාගෙන හිටියේ නැහැ. වැඩ කරනවා. දැන් මුළු රටේ හැම පළාතකින්ම ආ ආරක්ෂක අංශවලට තරුණයින් සම්බන්ධ වෙන්නේ රට ගැන තිබෙන ආදරයට. ඔවුන් මරණයට බය නැහැ.
ඔයගොල්ලන් නිකං ඔහේ බලාගෙන ඉන්නකොට සමහරු හිතයි, බෙලිඅත්තේ කොල්ලො මැරෙන්න බයයි කියලා.”යනුවෙන් ජනාධිපතිතුමා පැවසුවේ සිනහමුසු මුහුණෙනි. “ජනාධිපතිතුමනි, අපේ ගම්වලිනුත් හමුදාවට එකතුවෙලා තියෙනවා. රට බේරගන්න හැමෝම කැපවෙනවා. ඔබතුමා කිව්වමයි අපිටත් ඒ ගැන යමක් තේරුණේ. අපි රටට ආදරෙයි. ඒ වගේම මැරෙන්න බය නැහැ. ඔබතුමාටයි වැඩියෙන්ම මරණ තර්ජන තියෙන්නේ. මෙහෙම ඇවිදින්න එපා. ඔබතුමා රැකුණොත් තමයි රට රැකෙන්නේ” කියා එම තරුණ පිරිස ජනාධිපතිතුමාට පැවසූහ.
ජනාධිපතිතුමා දැක ගම්වාසීහු පුදුම වෙති
ජනාධිපතිතුමා ගම්මානවල සංචාරය කරන අතරතුර නිවාස කිහිපයකටද ගොඩවැදීමට අමතක නොකළේ ය. හිටි හැටියේ ජනාධිපතිතුමා එනු දුටු ගම්වාසීන් පුදුමයට පත් වී බලා සිටියේ තමන් කරමින් සිටි වැඩ රාජකාරිද අත්හරිමිණි. සමහරුන් දිවා ආහාරය ගනිමින් සිටි අතර සමහරුන් මිදුලට දිව ආවේ නාන ඇදුමිණි. ජනාධිපතිතුමා දුටු සමහරු කලබලය වැඩි කමට කමිසයේ කණ පිටට ඇඳගෙන ආහ.
ඔවුන් සියලු දෙනා මෙතරම් කලබලයට පත්ව සිටියේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ජනාධිපතිතුමා පැමිණ සිටි නිසාය. ගම්වාසීන් සමග ඉතා සුහදහීලීව කතා කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් හා ගැටලු විසඳීමටද අමතක නොකළේ ය. සමහර ගැටලුවලට එම ස්ථානයේ සිටම අදාළ නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේ එම ගැටලු විසඳන ලෙසයි.
මිත්තනියකගේ නිවෙසින් ජනපති දිවා ආහාරය ගනී
ජනාධිපතිතුමා බෙලිඅත්ත ප‍්‍රදේශයට ගිය අවස්ථාවේදී හොඳින් දන්නා හඳුනන හුඟක් වයසක ආච්චි අම්මා කෙනෙකුගේ සුවදුක් විමසීමටද අමතක නොකළේ ය. ආච්චිගේ උපන් දිනයද එදිනට යෙදී තිබුණු අතර දිවා ආහාරය ජනාධිපතිතුමා ගත්තේද එම නිවසින් ය. නිවැසියන් කෑම අලුතින් පිළියෙළ කිරීමට සූදානම් වුවද ජනාධිපතිතුමා එය ප‍්‍රතික්ෂේප කරමින් කලින් පිළියෙළ කර තිබූ ව්‍යංජන සමඟ දිවා ආහාරය ලබා ගත්තේය.
පාර්ලිමේන්තු ඉතිහාසයේත් දේශපාලන ඉතිහාසයේත් සුවිශේෂී දිනයක් වශයෙන් පසුගිය 07 වැනිදා හැඳින්විය හැක. ලෝකයේ දරුණුතම ගරිල්ලා සංවිධානයේ හිටපු සන්නද්ධ අංශයේ නායක විනාගමුර්ති මුරලිදරන් මහතා හෙවත් කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේ පසුගිය 07 වැනිදාය.
කරුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු වශයෙන් දිවුරුම් දෙන බව 06 වෙනිදා පුවත්පත්වලින් විශාල ප‍්‍රචාරයක් ලබා දී තිබිණ. වසන්ත සමරසිංහ මහතාට හිමි මන්තී‍්‍ර ධූරය කරුණාට ලබා නොදෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ විරෝධය ප‍්‍රකාශ කළේය.
කරුණාගේ ආගමනය
කරුණා අම්මාන්
මෙම තත්ත්වය මත 07 වැනිදා උදෑසන කරුණා දිවුරුම් දෙන අවස්ථාවේදී යම් කිසි උණුසුම් තත්ත්වයක් ඇති වෙතැයි බොහෝ දෙනෙක් අනුමාන කළහ. නමුත් එදින පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ කරුණාගේ දිවුරුම් දීමට විරෝධය පළකරමිනි. මේ නිසා කිසිඳු උණුසුම් තත්ත්වයකින් තොරව කරුණාගේ දිවුරුම් දීම සිදු කෙරිණ.
උදෑසන 9.00 පමණ වන විට කරුණා පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුව තමාට ආගන්තුක නිසා ඔහු පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ අවස්ථාවේ සිට අවට ඉතා හොඳින් නිරීක්‍ෂණය කළේය. සභානායක කාර්යාලය දක්වා කරුණා පැමිණෙන විට පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය ඉතා උනන්දුවෙන් කරුණා දෙස බලන ආකාරයක් දක්නට ලැබුණි.
යුරෝපීය ඇඳුමකින් සැරසී සිනහ මුසු මුහුණින් පැමිණි කරුණා සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූයේය. කරුණාට සුබ පැතූ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මූලික සම්ප‍්‍රදායන් ගැන කෙටි පැහැදිලි කිරීමක් ද කළේය.
කරුණා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා හමු වී මන්තී‍්‍ර ධූරයට අදාළ තොරතුරු පති‍්‍රකා සකස් කර ගත්තේය.
සභානායක කාර්යාලයට ගොස් බැසිල් රාජපක්‍ෂ, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරු ද කරුණා හමු වී ඔහුට සුබ පැතූහ. පාර්ලිමේන්තුව ආරම්භ වූ පසු ප‍්‍රථමයෙන් ම යෙදී තිබුණේ කරුණාගේ දිවුරුම් දීමය. වේත‍්‍රධාරී අනිල් සමරසේකර මහතා විසින් කරුණා අම්මාන් හෙවත් මුරලිදරන් මහතා කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ඉදිරියට කැඳවාගෙන යන ලදී.
කරුණා දිවුරුම් දීම සඳහා ඉදිරියට යන විට ඔහු මුලින්ම සුබ පැතුවේ මීට වසර 5, 6 කට ඉහත දී ඔහුගේ අංක එකේ සතුරෙක් බවට පත්ව සිටි දේශපාලනඥයෙකි. ඒ අන් කවරෙකුවත් නොව ඊ. පී. ඩී. පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාය. ඉන් අනතුරුව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ද කරුණාට සුභ පැතුවේය.
කථානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව කරුණා පසු පෙළ ආසනයක අසුන් ගත්තේය. ඔහු තමාට අදාළ ආසනය වෙත ගමන් කරන විට තවත් පක්‍ෂ නායකයන් කිහිප දෙනෙක් හා අමාත්‍යවරු කිහිප දෙනෙක්ම කරුණාට සුබ පැතූහ. හදිසි නීති විවාදය වෙනුවෙන් තමාගේ ප‍්‍රථම කතාව කළ කරුණා ඉල්ලා සිටියේ තමාගේ දේශපාලන ගමනට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි.
කරුණාට සුබ පැතීම සඳහා නැඟෙනහිර ප‍්‍රධාන ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හෙවත් පිල්ලෙයාන් ඇතුළු පිරිසක් ද වූහ. ටී. එම්. වී. පී. පක්‍ෂයේ නායක කරුණා හා උපනායක පිල්ලෙයාන් ඉතා සමඟියෙන් එකිනෙකාට විහිළු තහළු කර ගනිමින් සිටීම ද විශේෂත්වයකි.
දිවා ආහාරය ගැනීමට කරුණා ගිය අවස්ථාවේදී එහි සිටි කාර්යය මණ්ඩලය ද කරුණා ගැන වැඩි අවධානයක් යොමු කරන්නට වූහ. සමහර සේවකයින් කරුණා දෙස බලා සිටියේ පුදුමයෙනි.
එජාපයෙන් සුබ පැතුම්
එදින හදිසි නීති විවාදය පැවති නිසා හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.
කරුණා ඇතුළු කිහිප දෙනෙක් එක් මේසයක දිවා ආහාරය ලබාගන්නා විට ඊට මේස දෙක තුනක් එහාට වෙන්නට පිහිටි මේසයක ආහාර ගත්තේ හමුදා නිලධාරීන් ය. පාර්ලිමේන්තුව තුළදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරු කිහිපදෙනෙක් ද කරුණාට සුබ පැතූහ.
දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා හමුවිය. එම කාර්යාලයේ ටික වේලාවක් කරුණා සිටි අතර එම කාර්යාලයට පැමිණි අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම කරුණාට සුබ පැතීමට අමතක නොකළේය.
කරුණා හා බායිස් එකම ඇඳුමකින්
කේ. ඒ. බායිස් නියෝජ්‍ය අමාත්‍යවරයා ද කරුණා මන්තී‍්‍රවරයාට සුබ පැතුවේය. සුබ පැතීමෙන් අනතුරුව දෙදෙනාම උස් හඩින් සිනහ වූයේ දෙදෙනාම එක හා සමාන යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි නිසාය. කෝට් එක, කලිසම, කමිසය හා ටයි පටියද එක හා සමාන වීම විශේෂත්වයකි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්තී‍්‍රවරයා කරුණා අම්මාන්ට දුරකථනයෙන් සුබ පැතුවේ ඔහුට එම මන්තී‍්‍ර ධූරය හිමි වූ පුවත දැනගැනීමත් සමඟය. තමන්ට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සහයෝගය ලබා දෙන ලෙස කරුණා විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලා සිටියේය. “එදා විරුද්ධ වුණේ කර්නල් කරුණාට. අද ඔබ බෙදුම්වාදයට එරෙහි කෙනෙක්. ඒ නිසා අපේ සහාය හිමිවෙනවා” යනුවෙන් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා පැවසුවේය.
ආණ්ඩුවෙන් ඡායා අගමැතිට හා ගයන්තට ප‍්‍රශ්න වැළක් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ඇමැතිවරුන් හා මන්තී‍්‍රවරුන් පිරිසක් සාකච්ඡා කරමින් සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවයි.
හිටපු අභීත රණවිරුවෙකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ අභාවය ගැන කතා බස් කිරීමෙන් පසුව අවධානය යොමු කෙරුණේ ප‍්‍රබල ත‍්‍රස්තවාදී නායකයකු වශයෙන් සිටි කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු දක්වා වෙනස්වීම පිළිබඳවයි.
මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාගත් විශාල ජයක් බවත් සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදෙන බවට දිය හැකි හොඳම සහතිකය කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට පිවිසීම බවත් මෙහිදී මෙහිදී අමාත්‍යවරු කිහිප දෙනෙක්ම පැවසූහ.
රාජිත සේනාරත්න, ටී. බී. ඒකනායක, රෝහිත අබේගුණවර්ධන, ගුණරත්න වීරකෝන්, අතාවුද සෙනෙවිරත්න, බැසිල් රාජපක්‍ෂ, කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට සහභාගි වී සිටියහ. එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන ගයන්ත කරුණාතිලක යන මන්තී‍්‍රවරු දෙදෙනා පැමිණියහ.
“අපි ආවට කමක් නැද්ද? වැදගත් දේශපාලන සාකච්ඡාවක් නම් අපි පස්සෙ එන්නම්. අපි කැමැති නැහැ ආණ්ඩුවේ සාකච්ඡාවලට බාධා කරන්න. යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු දෙදෙනා පැවසූහ. දේශපාලන සාකච්ඡාවක් නොකෙරුණු බවත් සුහද සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණු බවත් එම සුහද කතාබහට සහභාගි වන ලෙසත් ඇමැතිවරු ඇරියුම් කළහ.
වජිර අභයවර්ධන මන්තී‍්‍රවරයා දෙසට අත දිගුකරමින් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කියා සිටියේ මේ එන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡයා අගමැති” කියායි. “ඇයි ජයා අගමැති නරකද?” යනුවෙන් කියා සිටියේ ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයායි.
“ජානක පෙරේරා මහතාගේ අභාවය ගැන රනිල් වික‍්‍රමසිංහ මහත්තය කරපු ප‍්‍රකාශයේ කිසිම තැනක කොටි සංවිධානය හෙළා දැකල කතා කරල නැහැනේ.
කොටි සංවිධානය හෙළා දැකීම නරක දෙයක්ද? කොටි සංවිධානයේ ප‍්‍රභාරයකින් මැරුණම අඩුමගණනේ කොටි සංවිධානය විවේචනය නොකර එක එක දේවල් කියන එක මරුණ පුද්ගලයාට කරන අපහාසයක්” යනුවෙන් බැසිල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පැවසීය.
“අපිට මතක හැටියට නම් කොටි සංවිධානය විවේචනය කරලා තිබුණා. කියා ඊට පිළිතුරු ලබාදුන්නේ වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක යන මන්තී‍්‍රවරුන්ය. දැන් කරන්න දෙයක් නැහැනේ.
කොටි සංවිධානය හෙළා දැකලා ඡායා අගමැතිතුමාවත් ප‍්‍රකාශයක් කරනවානම් තමයි හොඳ. එහෙම හෙළා දැකීමක් ප‍්‍රකාශයේ නැත්නම් හොරෙන් ගිහිල්ලා හරි ඒක ඇතුලත් කරන්න ඕනනේ” කියා හෙට්ටිගේ මහතා කියා සිටියේ වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයාටය.
“පුදුම දෙයක් අපේ රටේ වෙලා තියෙන්නේ. කොටි සංවිධානය කවුරු හරි මැරුවම ඒකට ආණ්ඩුව වගකියන්න ඕනලු. මොකක්ද මේ විකාර කතා යනුවෙන් රාජිත සේනාරත්න මහතා ඇතුළු අමාත්‍යවරු ප‍්‍රකාශ කරන්නට වූහ
“ශී‍්‍රපති සූරියආරච්චි මන්තී‍්‍රතුමා ඇක්සිඩන්ට් වෙලා මරුණු වෙලාවේ මට කෝල් ගණනාවක්ම ආවා. හුඟක්ම ආපු කෝල්වලින් ඇහුවේ මාර ගේමක් නේද දුන්නෙ කියලා. හරියට අපි කළා වගේ තමයි සමහරු කතා කළේ. එතන මහ ගහක් තිබුණු නිසා හොඳයි. එ ගහ පරණ එකක්. අවුරුදු දශක ගණනක් ඒක පරණයි.නැත්නම් මේ අය කියයි අපි ගිහිල්ලා ශී‍්‍රපති මහතා යන වාහනේ හැපෙන්න ඒ ගහ හිටෙව්වා කියලා” යනුවෙන් කියා සිටියේ හෙට්ටිගේ මහතාය
මේජර් ජෙනරාල් ජානක පෙරේරා අභාවය
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ අභාවය සැලවූ වහාම ආණ්ඩු පක්‍ෂයේත්, විරුද්ධ පක්‍ෂයේත් සියලු දෙනා දැඩි කම්පනයට පත් වූහ. කොටි සංවිධානයට එරෙහිව රණවිරුවරයෙකු වශයෙන් ජානක පෙරේරා මහතා කරන ලද කි‍්‍රයාකාරකම් සියලුම දේශපාලනඥයන්ට සිහිපත් වන්නට විය.
මේ සිදුවීම එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියයි. තිස්ස අත්තනායක මහතා මේ බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන් අතර වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නේ අදාළ සියලු කටයුතු සොයා බලන ලෙසයි.
ජානක පෙරේරාගේ සිරුර ගුවනින් කොළඹට
රවි කරුණානායක, රුක්මන් සේනානායක, ජෝන් අමරතුංග යන මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් කැදවූ රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් කතා කළේ ය. 29 දෙනෙකු මෙම මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ ප‍්‍රහාරයෙන් මිය ගිය නිසා ඒ සියලු අවමඟුල් කටයුතු සොයා බැලීමේ වගකීම ද පැවරුණේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට ය.
අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරය අසලදී තිස්ස අත්තනායක මහතාට ජානක පෙරේරා මහතාගේ සොහොයුරු අජිත් පෙරේරා මහතා හමුවිය. ජානක පෙරේරා මහතාගේ සිරුරට බරපතල හානි සිදුවී තිබෙන නිසා මළ සිරුර කොළඹට ගෙන යාමට අවශ්‍ය බව කියා සිටියේ ය.
තිස්ස අත්තනායක මහතා මේ ගැන රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේ ය. ඒ බව අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාට දැනුම්දීමෙන් අනතුරුව මළ සිරුර ගුවන් මඟින් ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සැලසුණු අතර දේහය එදින රාතී‍්‍ර වන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් කොළඹට ගෙන ඒමට කි‍්‍රයාකරන ලදී.
කරු ජයසූරියගෙන් තිස්සට අවවාදයක්
පසුගියදා රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ සැත්කමක් සිදු කෙරිණි. සැත්කමෙන් අනතුරුව කරු ජයසූරිය මහතාගේ සුවදුක් සොයා බැලීමට එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී කරු ජයසූරිය මහතාගේ බිරියද එම ස්ථානයේ සිටියාය.
“මං දන්නවා තිස්ස මං බලන්න එනවා කියලා. මං ඔයාට අවවාදයක් දෙන්නම් වෙලාවට කන්න බොන්න. ඔයා හුඟක් කාර්ය බහුල දේශපාලනඥයෙක්. හැබැයි වෙලාවට කන්න. මං අසනීප වුණේ හරියට වෙලාවට කන්නේ නැති නිසයි” කරු ජයසූරිය අමාත්‍යවරයා තිස්ස අත්තනායක මහතාට අවවාදයක් කළේ ය.
ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මුංජු

No comments: