Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 24, 2008

අද පවතින අර්බුද රැසකට හේතුව පවතින මැතිවරණ ක‍්‍රමයයි - දිනේෂ් ගුණවර්ධන නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති

වර්තමානයේදී රටේ ඇති වී තිබෙන දේශපාලන ප‍්‍රවණතා, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය පිළිබඳ යෝජනා සහ නාගරික සංවර්ධනය සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙසේය.
පසුගිය අවුරුදු දහය පහළොව පුරාම මැතිවරණ ක‍්‍රමය සංශෝධනය ගැන විවිධ කතාබහ ඇතිවුණා. පසුව මැතිවරණ ක‍්‍රමය සංශෝධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවකුත් ඇතිකළා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඔබ. ඒත් අද වෙනකම් මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් සිදුවූ බවක් පෙනෙන්න නෑ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අද මේ රටේ හැම දේශපාලන පක්‍ෂයක් ම පාහේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය විය යුතුයි කියල පිළිගෙන තියෙනවා. සංශෝධනය විය යුතු ආකාරය ගැනත් විවිධ යෝජනා අදහස් දේශපාලන පක්‍ෂ මගින් මතුකර තිබෙනවා.
ඒත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය විය යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳ එකඟතාවක් නැහැ. ඒ නිසා තමයි මැතිවරණ සංශෝධන යෝජනා මෙතෙක් සම්පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීමට බැරිවෙලා තියෙන්නෙ.
අද ඇතිවෙලා තියෙන බොහෝ අවුල්වලට ප‍්‍රධාන වශයෙන් ම වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ දුර්වලතා බලපාලා තියෙනව.
ඒ නිසා මේ ක‍්‍රමය අනිවාර්යයෙන් ම වෙනස් විය යුතුමයි. මගේ විතරක් නෙමෙයි රටේ බහුතර ජනමතය වෙලා තියෙන්නෙත් එයමයි.
සමානුපාතික ඡන්ද ක‍්‍රමය සම්පූර්ණයෙන් බැහැර කළ යුතුයි කියල අපි යෝජනා කරන්නෙ නැහැ. ඒත් රටට ගැළපෙන සුදුසු ක‍්‍රමයක් ඇතිවිය යුතුයි. එමඟින් අපිට පුළුවන් රටට හිතකර මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමට.
වර්තමානයේදී කි‍්‍රයාත්මක සමානුපාතික මැතිවරණ ක‍්‍රමය නිසා රටක දේශපාලන ස්ථාවර භාවයට පවා ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට 2004 මහ මැතිවරණය එම මැතිවරණයේදී සන්ධානය රටේ මැතිවරණ කොට්ඨාස මට්ටමින් තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලැබුවා.
ඒත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූර ප‍්‍රමාණය අනුව ගත්තහම සරල බහුතරයට අවශ්‍ය මන්තී‍්‍ර ධූර ප‍්‍රමාණයවත් සන්ධානයට නැහැ. මේක තමයි සමානුපාතික ඡන්ද ක‍්‍රමයේ තියෙන දුර්වලතාව.
ඒ වගේම මේ ඡන්ද ක‍්‍රමය තුළින් සාමාන්‍ය මිනිහෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයකට පත්වීම දුෂ්කරයි. ඒත් ආසන ක‍්‍රමය තුළ සාමාන්‍ය මිනිහෙකුටත් පාර්ලිමේන්තු යන්න පුළුවන්.
ඒත් සමානුපාතික ඡන්ද ක‍්‍රමය මගින් සුළු දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ අවස්ථාව විවර වෙනව. විකල්ප අදහස්වලටත් පාර්ලිමේන්තුවේ ඉඩකඩ ඇතිවෙනව.
ඒ නිසා මැතිවරණ ක‍්‍රමයක් වශයෙන් සමානුපාතික මැතිවරණ ක‍්‍රමයේ සාධනීය ලක්‍ෂණත් තියෙනව. ඒ නිසා අපි තේරුම් කමිටුවක් වශයෙන් යෝජනා කර තිබෙනවා. මේ ක‍්‍රම දෙකේම මිශ‍්‍රණයක් සහිත ක‍්‍රමයක් සුදුසුයි කියල.
මෙතෙක් කල් ඡන්දය පාවිච්චි කිරීමට හැඳුනුම්පත අනිවාර්ය කරල තිබුණෙ නැහැ. ඒත් දැන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැඳුනුම්පත නැතිව බැහැ. මෙය ඉතාමත් හොඳ දෙයක් ලෙස සඳහන් කළ යුතුයි.
ඒ නිසා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සඳහා ඇතිකළ පාර්ලිමේන්තු කමිටුවෙන් වැඩක් වුණේ නැහැ කියල කවුරු හරි කියනව නම් ඒක පිළිගන්න බැහැ.
ඒත් සමහර සුළු ජාතික දේශපාලන පක්‍ෂ සමානුපාතික ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට විරුද්ධයි නේද?
ඔව්. සමහර සුළු ජාතික දේශපාලන පක්‍ෂ මැතිවරණ ක‍්‍රමය සංශෝධනයට එතරම් කැමැති නැහැ. ඒකට ඔවුන්ට ආවේනික වූ දේශපාලන ගැටලුත් බලපානවා ඇති.
ඒත් අපි යෝජනා කරන්නෙ සියලු කණ්ඩායම්වලට සාධාරණය ඉටුවන මැතිවරණ සංශෝධනයක් පිළිබඳවයි. මේ ක‍්‍රමය කේවල සහ අනුපාත යන ක‍්‍රම දෙකේම එකතුවක් ලෙසයි පෙන්වා දෙන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම අපේ රටට වඩාත් ගැළපෙන්නෙත් මේ වගේ මිශ‍්‍ර ක‍්‍රමයකුයි.
ඊළඟ මැතිවරණයවත් සංශෝධිත මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමට හැකි වෙයිද?
මට එහෙම ස්ථිර ප‍්‍රකාශයක් කරන්න බැහැ. ඒත් අනාගතයේදී මැතිවරණ ක‍්‍රමය සංශෝධනය වෙනවා. ඒත් මට ඒ ගැන ස්ථිර දින වකවානු සඳහන් කරන්න බැහැ.
බොහෝ විට මූලික අත්හදා බැලීමක් වශයෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් සිදුවිය හැකියි. මේ සංශෝධනය පළාත් පාලන ආයතන මට්ටමින් ආරම්භ කිරීම වඩාත් සුදුසුයි.
ටී. එම්. වී. පී. පක්‍ෂය සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ටී. එම්. වී. පී. පක්‍ෂය සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වීම පමණක් නොවෙයි, ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතුවීමත් යහපත් දෙයක් විදිහටයි අපි දකින්නෙ.
මෙතෙක් කල් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප‍්‍රචණ්ඩත්වය සමඟ එකතු වී සිටි ටී. එම්. වී. පී. පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතකට පැමිණීම ඉතාමත් යහපත් දෙයක් ලෙස සඳහන් කළ හැකියි.
අපි ඔවුන්ගේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසීම පිළිගත යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රවාහයේ ඉදිරියට යාමට ආධාර උපකාර කළ යුතුයි.
කාලයක් වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සමීපතමයකු ලෙස කටයුතු කළ කරුණා අම්මාන් මහතා අද ත‍්‍රස්තවාදයේ සහ ම්ලේච්ඡත්වයේ නිෂ්ඵලතාව පිළිගෙන තියෙනව.
මේ තත්ත්වය නිසා එල්. ටී. ටී. ඊ. සංවිධානය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීමට පුළුවන්කමක් ලැබිල තියෙනව. එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියන තර්කය අද වන විට සම්පූර්ණයෙන් ම බිඳ වැටිල තියෙනව.
දැන් ටී. එම්. වී. පී. පක්‍ෂයේ නියෝජිතයන්ට පුළුවන් සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වෙලා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ නිසා ටී. එම්. වී. පී. සාමාජිකයන් සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වීම යහපත් ප‍්‍රවණතාවක් ලෙස සඳහන් කළ හැකියි.
වන්නි යුද මෙහෙයුම්වලට එරෙහිව තමිල්නාඩු ප‍්‍රාන්තයේ හා ඉන්දීය මධ්‍යම රජයේ බලපෑම් ශී‍්‍ර ලංකා රජය වෙත එල්ල වෙමින් ඇතැයි ඇතැම් දේශපාලන පක්‍ෂ චෝදනා කරනව. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඒ වගේ බලපෑමක් නැහැ රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් අදහස් හුවමාරුවක් දෙරට අතර සිදුවී තිබෙනව. ජනාධිපතිතුමා සඳහන් කළ ආකාරයට මේ වගේ කිසිදු බලපෑමක් වෙලා නැහැ කියල.
යුද්ධයක් සිදුවුණත් සිවිල් ජනතාවට හානියක් වීමට ආණ්ඩුව කටයුතු කරල නැහැ. අද උතුරේ සිදුවන්නෙ මානුෂික මෙහෙයුමක්. පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකාවට ඉන්දියාව විශාල වශයෙන් යුද ආධාර ලබාදීලා තියෙනවා.
තමිල්නාඩු ප‍්‍රාන්තය සමඟ නෙමෙයි ශී‍්‍ර ලංකා රජය ගනුදෙනු කරන්නෙ ඉන්දීය මධ්‍යම රජය සමඟයි. ඒ හින්දා සමහරු කියන අවුලක් ඉන්දු – ලංකා සබඳතාවල ඇතිවෙලා නැහැ.
ඒත් සමහරු උත්සාහ කරනව මෙහෙම අවුලක් තියෙනව කියල පෙන්වන්න. ඒත් මම කියනව එහෙම දෙයක් නැහැ කියල. මේ මොහොත දේශපාලනය පෙරට දමාගෙන කටයුතු කළ යුතු මොහොතක් නෙමෙයි සියලු දෙනා රට වෙනුවෙන් සිතා කටයුතු කළ යුතු මොහොතක්.
ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් සුළු ජාතික පක්‍ෂත් වන්නි යුද මෙහෙයුම් නතර කළ යුතු බවට මාධ්‍යවලට අදහස් පළකර තිබුණා. කඳුරට ජනතා පෙරමුණේ නායක ඇමැති චන්ද්‍රසේකරන් මහතාත් මේ අතර සිටිනව. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
රජයේ හා ජනාධිපතිතුමාගේ නිල මතය මේ වන විට හෙළිදරව් කරල තියෙනව. ඒ නිසා රජයට සම්බන්ධ වෙනත් අය කියන අදහස් රජයේ නිල මතය නෙමෙයි. අනෙක මේ වගේ අදහසක් රජයට නිල වශයෙන් දන්වල නැහැ.
නාගරික ප‍්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඔවුන්ට ස්ථිර නිවාස නොමැතිවීම හා ජීවත්වීමට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමයි. මේ සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ගෙන තිබෙන පියවර මොනවාද?
අපි කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ප‍්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරල තිබෙන්නෙ. ඉදිරියේදී කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ස්ථිර නිවාස ලබා දීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා.
ඒ අතර දැනටමත් කොළඹ පැල්පත්වාසීන්ට ස්ථිර නිවාස ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. අපේ අමාත්‍යාංශයේ අරමුණ වෙලා තියෙන්නෙ.
මෙයට අමතරව නාගරික සංවර්ධනය වෙනුවෙන් අපි විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරල තිබෙනව. මහින්ද චින්න ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළත් නාගරික සංවර්ධන විෂය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරල තිබෙනවා.
අපි උත්සාහ කරන්නෙ ඉදිරි කාලය තුළ නාගරික ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය හැකි වැඩපිළිවෙළක් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමයි.
පසුගිය අවුරුද්දක කාලය පුරා රටේ බඩු මිල සීඝ‍්‍ර ලෙස ඉහළ ගියා. එයට හේතු වශයෙන් සඳහන් කළේ ඉහළ යන ජාත්‍යන්තර තෙල් මිල සහ ජාත්‍යන්තර සාධකයි. ඒත් දැන් ජාත්‍යන්තර තෙල් මිල පහළ ගිහින් තිබුනත් ඉහළ ගිය බඩු මිල පහළ හෙළීමට ආණ්ඩුව තාම නිසි වැඩපිළිවෙළක් ආරම්භ කරල නැහැ.මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
රටේ යුදමය තත්ත්වයක් තියෙන මේ වගේ කාලයක රටක ආර්ථික තත්ත්වය උද්ධමනය ඉතාමත් යහපත් ලෙස පවත්වාගෙන යන්න බැහැ. ඒත් අපේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය, සංවර්ධනය, යුද්ධය යන හැම දෙයක් ම සමබර ලෙස පවත්වාගෙන යනව.
ඒ නිසා මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් ලෙස හඳුන්වන්න බැහැ. ජනාධිපතිතුමා ඇතුළු රජය රටේ හැම ප‍්‍රශ්නයක් ම නිසි ලෙස විසඳමින් සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරමින් තිබෙනව.
ජාත්‍යන්තර ඉන්ධන මිල පහළ යාමට සමානව මෙරට ඉන්ධන මිල තාම පහළට ගිහින් නැති බව ඇත්ත. ඒත් ඉදිරියේදී ජනතාවට සහනයක් ලැබෙන බව ස්ථිරවම කියන්න පුළුවන්.
මේ සියලු දේ පිළිබඳ රටේ ජනතාව හොඳ තක්සේරුවකයි ඉන්නෙ. සුළු සුළු අඩුපාඩු දුර්වලකම් අමතක කරල ජනතාව ආණ්ඩුව සමඟ ඉන්නෙ ඒ නිසයි. එජාපය එදා කළ ද්‍රෝහි වැඩපිළිවෙළ ජනතාවට අමතක නැහැ. එදා එජාප ආණ්ඩුව තමයි රටේ සම්පත් විජාතිකයන්ට විකුණන ද්‍රෝහි වැඩපිළිවෙළ ආරම්භ කළේ.
ඒත් අද අපිට පුලුවන් වෙලා තියෙනවා ජාතික සම්පත් විකිණීම ප‍්‍රතිපත්තියක් වශයෙන් ම අත්හිටුවීමට. ඒ සියල්ලම සලකළා තමයි පසුගිය පළාත් සභා මැතිවරණවලදී ජනතාව ආණ්ඩුවට කැමැත්ත පළකළේ.
අද ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනත් ඉතාමත් සාර්ථක ලෙස කි‍්‍රයාත්මක වෙනවා. මේ සියල්ල ජනතාව ලැබූ ජයග‍්‍රහණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන

No comments: