Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 9, 2008

ජනපතිතුමා ගැන විශ්වාස කරලා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා - ටී එම් වී පී නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමුර්ති මුරලිදරන්

එල්. ටී.ටී. ඊ. නායක ප‍්‍රභාකරන්ගේ දෙවැන්නා මෙන්ම එහි සන්නද්ධ අංශයේ නායකයාද වූ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පසුගිය 07 වෙනිදා (පෙරේදා) පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ටී. එම්. වී. පී. පක්ෂයේ වත්මන් නායකයා වන විනයාගමුර්ති මුරලිදරන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලනයට සහය පළ කර මන්තී‍්‍රවරයෙකු වශයෙන් දිවුරුම්දීමෙන් පසුව කරන ලද පළමු පුවත්පත්
සාකච්ඡාව පහත දැක්වේ.
වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුණු ඔබ දැන් මොහොතකට පෙර රටේ ඒකීභාවය සුරකින බවට ප‍්‍රතිඥා දෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ මොහොතේ ඇති වූ හැඟීම කෙබඳුද?
අපේ රටේ ඉතිහාසය දෙස බලන කොට අවස්ථා ගණනාවකදීම රාජ්‍ය නායකයින් කි‍්‍රයා කළේ ජාතිවාදි ස්වරූපයකට බව පෙනෙනවා. 1956, 1983 වර්ෂවල දී ඇති වූ සිද්ධි මේ අතරින් ප‍්‍රධානයි.
මේ කාලවල දී දෙමළ ජනතාව ප‍්‍රශ්න රැසකට මුහුණ දුන්නා. 1983 දී කොළඹ උන්න දෙමළ ජනතාව පණ බේරගන්න ගියේ ගොඩබිමින් නොවෙයි. මුහුදු මාර්ගයෙන්, වසර ගණනාවක් තිස්සේ පැවතුණු යුද්ධයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපොළ විශාල වශයෙන් විනාශ වුණා.අවුරුදු ගණනාවක් තිස්සේ යුද්ධයක් පැවතුණත් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැහැ.
ඉන් පසුව සාම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙලා තීරණය වුණේ එක් රටක් තුළ බලය බෙදාහැරීමක් සිදුකරලා මේ ගැටලුව විසඳන්නයි. නමුත් එල්. ටී. ටී. ඊ. නායක ප‍්‍රභාකරන් ඊට අකැමැති වුණා. නමුත් අපි ඒ තීරණයට එකඟ වුණේ නැහැ. ඒක නිසා අපි කොටි සංවිධානයෙන් ඉවත්වෙලා නව දේශපාලන ගමනක් ආරම්භ කළා.
නැගෙනහිර ප‍්‍රාදේශීය සභා පළාත් සභා ඡන්දය පවත්වලා අපේ ජනතා නියෝජිතයින් පත්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණයි මේ ගැටලුව විසදන්න පුළුවන්. ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබලා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සේවය කිරීම සඳහා මා පාර්ලිමේන්තුවට පැමිණියා.
ඔබ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේ ආණ්ඩුව හෝ ජනතාව රැවටීමට ද නැත්නම් ඇත්තට ම රටේ ඒකීය භාවය රැකීමට ද?
රටේ ඒකීය භාවය රකින බවට පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේ හදවතින්මයි. ආයුධ සංස්කෘතියෙන් ඉවත්වෙලා පාර්ලිමේන්තුවට ආවේ ඒකීය රටක් වෙනුවෙන් කටයුතු කිරීමටයි.
වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානයකට එක්වුයේ ඇයි?
මේකට ප‍්‍රධානම හේතුව ඉස්සර හිටපු දේශපාලනඥයින්. ජනතාව එතනදි වරදක් කළේ නැහැ. දේශපාලඥයින් කළ වරදවල් හේතුවෙන් තමයි, අපිට එතනට යන්න සිද්ධ වුණේ ඇතැම් දේශපාලනඥයින්ගේ වැරදි කි‍්‍රයා අපිට ඒ තත්ත්වයට යන්න ඍජුවම බලපෑවා
එල්. ටී. ටී. ඊ. සංවිධානය ගිය මාර්ගය වැරදිනම් නිවැරදි මාර්ගයට පිවිසීමට ඔබට බලපෑ ආසන්නම සිදුවීම කුමක් ද?
පළමුවෙනි කාරණාව ප‍්‍රභාකරන්ට දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැතිකම. යුද්ධයෙන් කොටි සංවිධානයේ වැඩිම පිරිසක් මියගියේ නැගෙනහිර පළාතේ. ඔවුන්ගේ දේපළවලටත් බරපතළ හානි සිදුවුණා.
හැමදාමත් මෙහෙම ජීවිත විනාශ කරන්න බැහැ. ඒක නිසා නෝර්වේ රටේ සහයෝගයත් ලබාගෙන දේශපාලන විසඳුමකට යමු කියලා මම ප‍්‍රභාකරන්ට කිහිප වතාවක් ම කිව්වත් ඔහු ගණන් ගත්තේ නැහැ. ඒක තමයි ආසන්නම සිදුවීම.
ජනාධිපතිතුමා හා වත්මන් ආණ්ඩුව ඔබට හොඳින්ම විශ්වාසද?
මම එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ඉවත් වුණාට පසුව දේශපාලන වශයෙන් මේ දක්වා ආපු ගමනට ප‍්‍රධාන හේතුවක් වුණේ ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් කතාවෙන් වගේ ම කි‍්‍රයාවෙනුත් ඔවුන් වැඩ පෙන්නල තියෙනවා.
වසර 4කට කලින් ඔවුන් මට කිව්වා නැගෙනහිර පළාත ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන සිවිල් පරිපාලනය ඇති කරනවා. එතකොට මටත් දේශපාලනය කරන්න පුළුවන් කියලා. ඒ කියපු දේ මේ වෙනකොට ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරලා ඉවරයි.
ජනාධිපතිතුමා හා මෙම ආණ්ඩුව යුදවාදියි. ඒක නිසා ඔවුන් අහිංසක දෙමළ ජනතාව ඝාතනය කරමින් සිටින බවට දෙමළ ජාතික සංවිධානය හා විපක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබල චෝදනාවක් එල්ල කරනවා නේද?
ඒක වැරදි චෝදනාවක්. අද රටේ තියෙන ප‍්‍රධාන තම මාතෘකාව යුද්ධයයි. මේ රටට හොඳ අනාගතයක් උදාවෙන්නේ එය මුළුමනින් ම නැතිකළොත් පමණයි. පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය ත‍්‍රස්තවාදීන්ට උදව් දෙන ආකාරයේ යම් යම් කි‍්‍රයාවල යෙදිලා තියෙනවා. දේශපාලන වාසි ලබාගැනීම සඳහා ත‍්‍රස්තවාදය උසිගැන්වීම හොඳ වැඩක් නෙමෙයි.
නමුත් කොටි සංවිධානයේ විමුක්ති අරගලය පාවා දුන්නා කියලා ඔවුන් ඔබට විරුද්ධව බරපතල චෝදනාවක් එල්ලකරලා තියෙනවා.
මං සංවිධානයෙන් ඉවත්වුණ දිනයේ ම ද්‍රෝහියා කියලා ප‍්‍රභාකරන් විසින් නම් කළත්, ඇත්ත ද්‍රෝහියා කවුද කියලා දැන් හෙළිවෙලා ඉවරයි. සිවිල් ජනතාව බේරගන ආණ්ඩුව යුද්ධ කරන විට දෙමළ ජනතාව මිනිස් පළිහක් ලෙස යොදාගෙන තියෙන්නේ ප‍්‍රභාකරන්.
එතකොට ජනතාවට ද්‍රෝහිකම් කරන්නේ මමද? එහෙමත් නැත්නම් ප‍්‍රභාකරන්ද? කියලා මං අහන්න කැමතියි.
ප‍්‍රභාකරන් එපාවීමට කරුණු කිහිපයක් බලපෑ බව ඔබ කිව්වා. ඔහු දේශපාලන විසඳුමකට එකඟ නොවීම ඉන් එකක් පමණයි. ඔබ විරසකවීමට බලපෑ අනෙක් කරුණු මොනවාද?
ප‍්‍රධානම දේ දේශපාලනයට එන්න ඔහුගේ තියෙන අකමැත්ත. මං කිහිප අවස්ථාවකදීම බලකරලා කිව්වත් ඒ සඳහා ඔහුගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු සාම වැඩපිළිවෙළට පිවිසිලා තිබුණෙත් බොරුවට. සාම සාකච්ඡාවලින් පසුව ෆෙඩරල් ක‍්‍රමය පිළිඅරගෙන දේශපාලන විසඳුමකට යමු කියලා කිහිප වතාවක්ම මං කිව්වා. එක් දිනක් එහෙම කියනකොට ප‍්‍රභාකරන්ට කේන්ති ගිහිල්ලා ෆෙඩරල් යෝජනාවලියෙන් ම මගේ මුහුණට දමල ගැහැව්වා. මීට අමතරව තවත් බොහොමයක් කරුණු තියෙනවා. සමහර ඒව කියන්න අමාරුයි.
සටන් විරාමය නිසයි එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙකඩ වෙලා ඔබ ඉන් ඉවත්වුණේ කියලා මතයක් තියෙනවා. ඔබ මේ මතයට එකඟ ද?
ඒ මතයට මං එකඟ නැහැ. ඒ මතය දේශපාලන වාසි ලබාගැනීම සඳහා ප‍්‍රචාරය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. සටන් විරාමයක් තිබුණත් නැතත් මං එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන්
ඉවත් වෙන්නයි හිටියේ. ඒකට බලපෑවේ ප‍්‍රභාකරන් දේශපාලන විසඳුමකට දැඩි ලෙස විරුද්ධවීමයි. වසර කිහිපයක් තිස්සේ ප‍්‍රභාකරන් සමඟ ඇති වූ යම් යම් කළකිරීමුත් මීට බලපෑවා. සටන් විරාම ගිවිසුම කාලෙදි මේවා උත්සන්න වුණා.
හමුදා ඇඳුම් ඇඳගෙන කැළෑවේ හිටපු කරුණා අම්මාන්ලාට ටයිකෝට් අන්දලා විදේශ සංචාරවල යැව්වම ඔවුන් ලෝකෙ කුමක්ද කියලා දැක්කා. ඉන්පසුව එම සැප පහසු භෞතික ලෝකෙට තියෙන ආසාව නිසා කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් ඉවත් වුණා කියලත් ප‍්‍රබල මතයක් තියෙනවා. ඔබ ඊට එකඟද?
ඒක ඉතා වැරදි මතයක්. යුරෝපයේ තිබෙන අති නවීන පහසුකම් ඇතුළු සියලු පහසුකම් වන්නි කැළෑවේදී භªක්ති විඳීමේ හැකියාවක් අපට තිබුණා. සමහර අවස්ථාවලදී ප‍්‍රභාකරන්ගේ උදේ කෑම වේල බැංකොක්වල ඉඳලා ගෙන්න ගන්න පුළුවන් තරම් පහසුකම් තිබුණා.
අවශ්‍ය තරම් මුදල් යාන වාහන තිබුණා. මුදල් ඇති තරම් තියෙනවානම් මේ ලෝකේ කරන්න බැරිදෙයක් නැහැ කියලා ඔබ දන්නවනේ. ප‍්‍රභාකරන් විඳපු සැප සම්පත් ගැන තවත් තොරතුරු ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අලී සහීර් මව්ලානා මහතාගේ නම ඒකාලේ ඔබගේ නමත් සමඟ කියවුණා. විශේෂයෙන්ම නැඟෙනහිර සිට කොළඹට පැමිණීම දක්වා උදව් කළේ ඔහුයි කියලා ඒකාලේ කතාවක් පැතිරුණා.
මුස්ලිම් ජනතාවත් එක්ක එදත් අදත් මං ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. අලි සහීර් මව්ලානා මහතා දීර්ඝ කාලයක් තිස්සේ මං ඉතා හොඳින් හඳුනනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් මගේ වෙන්වීමට අලි සහීර් මව්ලානා මන්තී‍්‍රවරයා කිසිදු බලපෑමක් කළේ නැහැ. ඒ වගේම එම සිද්ධියට ඔහුගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මහතා මගේ මිත‍්‍රයෙක් නිසා ඔහුත් එක්ක කොළඹට ආපු එකනම් ඇත්ත.
එල්. ටී. ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා වශයෙන් ඔබ කටයුතු කරනවිට හමුදා කඳවුරුවලට පහරදීමට සම්බන්ධ වුණා. ඒ කාලයේ සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් මහා සංඝරත්නය, සාමාන්‍ය අහිංසක ජනතාව, කුඩා දරුවන් ඇතුළු ජීවිත රැසක් අහිමි වුණා. ඒ වගේම විශාල දේපළ විනාශයක්ද සිදුවුණා. මෙවැනි සිද්ධිවලට නායකත්වය ලබාදුන්නු කෙනෙක් විදියට දැන් මේ ගැන පසුතැවීමක් තියෙනවාද?
මම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ වසර ගණනාවක් සේවය කළේ සන්නද්ධ අංශයේ නායකයා හැටියට. මං යුධ පෙරමුණට ගිහිල්ලා සන්නද්ධ අංශයේ නායකයා ලෙස සටන් කළා. බොහෝ වෙලාවට මුහුණට මුහුණ සිදුකෙරුණු සටන්වලටත් මං සම්බන්ධ වුණා. ඒ හැරෙන්න සාමාන්‍ය මිනිස්සු මහා සංඝරත්නය, කුඩා දරුවන් ඝාතනය කිරීමට බෝම්බ ඇටවීමට මා සම්බන්ධ නැහැ.
එවැනි ඝාතන සිදුකිරීමට සැළසුම් කළේ ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන්. සිංහල ජනතාව පමණක් නොවෙයි ඔවුන්ගේ කි‍්‍රයා නිසා මුස්ලිම්, දෙමළ ජනතාවත් විසි දහසකට වඩා පිරිසක් ඝාතනය ට ලක් වෙලා තියෙනවා. ඒක නිසා පරණ දේවල් කතාකර කර ඉන්නවට වඩා රටේ අනාගතය දෙස සුබවාදිව බලන්න කියලයි. මං සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ.
අතිගරු ජනාධිපතිතුමා මේ ගැටලුව විසඳීමට අවංකවම ඉදිරිපත් වී ඉන්නවා. මං හිතන්නේ ඔහුට පමණයි මෙය විසඳන්න හැකියාව තියෙන්නේ. මං එල්. ටී. ටී. ඊ. සංවිධානය අත්හැරලා ඉන්නකොට ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් ඇතිවෙලා කි‍්‍රයාකාරී දේශපාලනයට ආවා.
එසේ දේශපාලනයට පිවිසීමේදී යම් යම් ප‍්‍රායෝගික ගැටලු මතුවෙන්නත් පුළුවන්. නමුත් ඒ එන ප‍්‍රශ්නවලට කෙසේ හෝ මුහුණදී මේ රටේ සාමය ස්ථාපිත කිරීමට මුල්වීම අපේ යුතුකමක් ඒ වගේම වගකීමක්.
ඉන්දියානු හමුදාවටත් නොහැකි වූ නැෙඟනහිර පළාත මුදාගැනීම අපේ හමුදාව සාර්ථකව සිදු කළා. මේ ගැන යම් යම් මත පළවෙනවා. නැඟෙනහිර මුදාගැනීම ගැන ඔබේ තක්සේරුව කුමක්ද?
ඔව් අද මම විශ්වාස කරනවා ඉන්දියානු හමුදාවටත් නොහැකිවුණු නැගෙනහිර පළාත අල්ලා ගැනීම හමුදාව සාර්ථකව සිදුකළා. ඒක සත්‍යයක් . මං එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඉන්නකොට නැගෙනහිර කාටවත් අල්ලගන්න බැරි විදියටයි මං සටන් කළේ. නමුත් නැගෙනහිර පළාත හමුදාව විසින් අල්ලා ගැනීමට හේතු කිහිපයක්ම තිබෙනවා.
මං එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් ඉවත්වීමත් සමඟ ප‍්‍රභාකරන්ට තිබූ යුද ශක්තිය 60% ක් අහිමි වුණා. හමුදාව තුළ ඇතිවුණු වෙනස්කම්ද මෙම මුදාගැනීම සඳහා ප‍්‍රබල බලපෑමක් වුණා.
දැනට ඉන්න යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වය මෙහිදී ප‍්‍රධාන සාධකයක් වුණා. ඔහුගේ දක්ෂතාව, යුද උපක‍්‍රම භාවිතයත් මේ සඳහා ඉවහල් වුණා.
යම් විදියකින් ඔබ ඉවත් නොවී දිගටම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස හිටිය නම් හමුදාවේ ජයග‍්‍රහණය ඔබට නවත්වන්න පුළුවන්කමක් තිබුණා කියලා ඔබ හිතනවද?
මං එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස හිටියත් මෙම වාතාවරණය තුළ දී හමුදාවට මුහුණදීමට අපට අසීරුවෙන්න තිබුණා කියලයි මං හිතන්නේ. දැනට යන හමුදා කි‍්‍රයා මාර්ග නිවැරැදි සැළසුමකින් හා දැඩිව සිදුකෙරන නිසා මං වුණත් අසරණ වෙන්න තිබුණා.
හමුදාව නිවැරැදි ඉලක්කයට කි‍්‍රයාකරන නිසා සටන්කාමින් මානසික වැටීමකට ලක්වුණා.
‘ජයසිකුරු’ මෙහෙයුමේදී අපට හමුදාවට පහර දෙන්න පහසුවුණා. හේතුව දේශපාලනය හමුදාවට පිවිසීමයි. එතකොට දේශපාලඥයින්ගේ වුවමනාවට එයාල කියන තැන් තමයි හමුදාවට අල්ලගන්න වෙන්නේ.
එතකොට ඉදිරියේදී අල්ලන්න සූදානම් වෙන්නේ කුමන ස්ථානයද කියලා අපි කල්තියාම දන්නවා. එදත් හමුදාව දක්ෂයි. අති දක්ෂ නිලධාරින් හිටියා. නමුත් ඔවුන්ට තීන්දු තීරණ ගැනීමට ඉඩ ලබාදුන්නේ නැහැ.
නිවැරැදිව යුද්ධය මෙහෙයවන්න කියලා අද හමුදාවන්ට පූර්ණ බලතල ලබාදීලා තියෙනවා. අද ඉන්න දේශපාලන නායකත්වය යුද්දෙ ඉවර කරන්න තීරණය කරනවා. ආරක්ෂක අමාත්‍යංශය ඊට අදාළව සැළසුම් සකස් කරනවා. හමුදාව ඒවා නිවැරැදිව කි‍්‍රයාත්මක කරනවා.
දැනට සිදුකෙරෙන හමුදා මෙහෙයුම් හමුවේ ප‍්‍රභාකරන්ගේ හා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අනාගතය කුමක් වේවිද? ප‍්‍රභාකරන් වසර ගණනාවක් තිස්සේ අනුගමනය කරන යුද උපක‍්‍රම හොඳින් දන්න කෙනෙකු වශයෙන් ඔබෙන් මෙම ප‍්‍රශ්නයට සෘජු පිළිතුරක් අවශ්‍යයි.
ප‍්‍රභාකරන් සයනයිඩ් කයි කියලා මං හිතන්නේ නැහැ. අවසාන මොහොතේදී ඔහු යම් කිසි උපක‍්‍රමයකින් ඉන්දුනීසියාව වැනි රටකට පැනල යන්න පුළුවන්. නමුත් ආරක්ෂක අංශ දැඩි රැකවරණ යොදා තිබෙන නිසා එහෙම පලායන්නත් අමාරු වෙයි.
ඒ නිසා ප‍්‍රභාකරන් ගුවන් ප‍්‍රහාරයකින් බොහෝවිට මරණයට පත්වීමට ඉඩ තියෙනවා.
ප‍්‍රභාකරන්ගෙන් පසුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට පැවැත්මක් නැහැ. මහත්තයා, මරල දමලා ප‍්‍රභාකරන් දෙවනි පෙළ නායකත්වයක් බිහිකළේ නැහැ. ඒක නිසා ප‍්‍රභාකරන්ගේ මරණෙන් පසුව ඉතිරි සාමාජිකයින් ආයුධ අත්හැර අනිවාර්යයෙන්ම භාර වෙනවා.
මා ඔවුන් දේශපාලන ප‍්‍රවාහයට එක්කර ගන්නවා. අපි පළාත් සභාවලට කැමැතියි. පළාත් සභා මෙම ගැටලුව විසඳීමට තිබෙන හොඳම දේශපාලන විසඳුමක්. අපට ඉඩම්, පොලිස් බලතල එපා. අපට ඕන එකම රටක් විදියට සියලු දෙනාගේ සහයෝගීත්වයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමටයි.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්. කේ.ප‍්‍රසාද් මංජු ඡායාරූප රංජිත් ජයවීර

No comments: