දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
දෙමළ ජනතාව ආරක්ෂා
කිරීමට කටයුතු කළා
-ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන
කන්ද උඩරටින් බිහි වූ
ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක්
-උඩවත්තේ නන්ද හිමි
නිහතමානී ගතිපැවතුම්වලින් පරිපූර්ණ වූ ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමා සියලු දේශපාලන කි‍්‍රයාකාරීන් සමග පක්ෂ භේදයකින් තොරව සුහඳශීලීව කටයුතු කළ අන් අයගේ මතයට ගරු කළ ආදර්ශමත් දේශපාලනඥයෙක් බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති සහ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.
අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් කතාකළ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.
වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (08) උදේ 9.30 රැස් විය.
මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කිරීම සඳහා මන්තී‍්‍රවරුන් පෙත්සම් ඉදිරිපත් කළහ. මන්තී‍්‍රවරුන්ගේ වාචික ප්‍රශ්න වාරයේ දී ඇසූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්නාහ.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා :- මහනුවර දිස්ති‍්‍රක්කයේ, උඩුනුවර, පොල්ගහඅංග ග්‍රාමයේ විසූ දෙල්ගහපිටිය ආරච්චිලාගේ මුදියන්සේ විජේතුංග මහතාගේත්, මනම්පේරි මුදියන්සේලාගේ පළිඟු මැණිකේ මහත්මියගේත් සුජාත පුත්‍රයකු ලෙස ඩී. බී. විජේතුංග මහතා 1916 පෙබරවාරි මස 15 වැනි දින මෙලොව එළිය දුටුවේය කෘෂිකර්මාන්තය හා සම්බන්ධ දිවි පෙවෙතක් ගෙවූ එම පවුලේ තවත් සහෝදරයන් දෙදෙනෙකුත්, සහෝදරියන් පස්දෙනෙකුත් විය. විජේතුංග මහතා විමලාවති කුමාරිහාමි සමග 1954 වර්ෂයේදී විවාහ ජීවිතයට ඇතුළත්ව වාසනාවන්ත යුග දිවියක් ගෙවූ අතර, චිත්‍රාංගනි කුමාරි විජේතුංග නමැති දියණියක්ද මෙලොවට දායාද කෙළේය.
වැලිගල්ලේ පිහිටි ලංකා සභා පාසල හෙවත් සී. එම්. එස්. ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබාගත් විජේතුංග මහතා ඉන් අනතුරුව ගම්පොල ශාන්ත ඇන්ඩෲ විදුහලෙන් උසස් අධ්‍යාපනයද ලබාගත්තේය. ඉගෙනීමේ කටයුතු නිමවීමෙන් පසු ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධවී ;පාලිස් නිලධාරියකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ විජේතුංග මහතා පසුව එම සේවයට ආයුබෝවන් කියමින් සමුපකාර ක්ෂේත්රයට එක්ව 1942 සිට 47 දක්වා සමුපකාර පරීක්ෂකවරයෙකු වශයෙන් කි‍්‍රයා කළේය. එම කාල සීමාව තුළදී සමුපකාර පරීක්ෂකවරුන්ගේ වෘත්තිය සමිතියක් පිහිටුවා එහි ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමේ ගෞරවයද හිමිකර ගත්තේය.
ඩී. ඇස්. සේනානායක රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ අමාත්‍ය ඒ. රත්නායක මහතාගේ පෞද්ගලික ලේකමවරයා වශයෙන් දස වසරකට ආසන්න කාලයක් කි‍්‍රයා කළ විජේතුංග මහතා එක්සත් ජාතික පක්ෂය 1946 ආරම්භ කරන ලද අවස්ථාවේදී මහනුවරින් දෙවැනි සාමාජිකයා ලෙස පක්ෂයට එක්විය.
1956 වසරේදි කි‍්‍රයාකාරි දේශපාලනයට පිවිසි එතුමා එම වර්ෂයේත්, 1960 මාර්තු මාසයේත් පැවති මහා මැතිවරණවලදී ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන්ද යළිත් 1960 ජුලි මහ මැතිවරණයේදී උඩුනුවර ඡන්ද කොට්ඨාශය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන්ද තරග කෙළේය.
නැවත 1965 මහා මැතිවරණයේදී එම මැතිවරණ කොට්ඨාශයෙන්ම තරග කර විජයග්‍රහණය ලබමින් පළමුවරට මෙම උත්තරීතර සභාවට සපැමිණි විජේතුංග මැතිතුමා 1977 මැතිවරණයෙන්ද විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනිමින් දෙවැනි වරටත් මෙම සභාවට මන්තී‍්‍රවරයකු වශයෙන් පැමිණියේය.
1977 වසරේදී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති හා ගුවන් විදුලි ඇමති තනතුර භාරගත් විජේතුංග මැතිතුමා ශී‍්‍ර ලංකා සන්නිවේදන තාක්ෂණයේ යෝධ පිම්මක් ඉදිරියට තබමින් ඇරඹුනු ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා අවශ්‍ය සියලු කටයුතු ජපාන රජයේ ආධාරයෙන් ලබාගැනීමට දක්ෂතාවයක් දැක්විය. 1
978 වසරේදී විදුලිබල හා මහා මාර්ග ඇමති තනතුරද ඊට අමතරව තැපැල් හා විදුලි සංදේශ ඇමති තනතුරද දරමින් සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකළ ඩී. බී. විජේතුංග මහතා 1979 වසරේදී තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් යළිත් දිවුරුම් දුන්නේය.
1987 දී ආහාර සහ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ ඇමැතිවරයා වශයෙන් නැවත පත්වූ එතුමා 1988 වර්ෂයේදී වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත් කෙරිණි.
ඉතා කෙටි කාල සීමාවක් එම ආණ්ඩුකාර ධූරය හෙබවූ විජේතුංග මැතිඳුන් 1989 වසරේ පැවති මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර තුන්වැනි වරටත් මහනුවර දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් මෙම සභාවට පැමිණ ශී‍්‍ර ලංකා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේ භාග්‍යයද උදාකර ගත්තේය.
අගමැති ධූරයට අමතරව මුදල් ඇමැති ධූරයද හෙබවීමේ වාසනාව ලද එතුමාට රණසිංහ පේර්මදාස හිටපු ජනාධිපතිතුමා විසින් කම්කරු සමාජ සුභ සාධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයේ විෂය පථයද භාර කරන ලදි.
1989 මාර්තු මස 16 වැනි දින එතුමා සිය මංගල අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු ඉතිහාසයේ එතෙක් පැවති කෙටිම අයවැය කථාව පවත්වමින් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ ප්‍රසාදයට ලක් වී ඇත.
එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ රන්ජන් විජේරත්න මහතා 1991 වසරේදී ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ජනාධිපතිතුමා එම කාර්ය භාරයද පවරන ලදදේ විජේතුංග මහතා වෙතය. තමන් වෙත පැවරෙන කවර කාර්යයක් වුවද මැනවින් ඉටුකරලීමේ හැකියාවකින් හෙබි එතුමා එම කාර්යයද කාගේත් හොඳ හිත දිනාගනිමින් සාර්ථකව ඉටු කෙළේය.
1993 මැයි මස පළමුවැනි දින එවකට ජනාධිපති ධූරය හොබවමින් සිටි රණසිංහ පේර්මදාස මහතාගේ ඝාතනයෙන් පසු ශී‍්‍ර ලංකාවේ පූර්ණ විධායක බලතල සහිත ජනාධිපති ධූරයේ වැඩ බැලීමේ භාරදූර කාර්යද විජේතුංග මහතාණන් වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවරුණි.
නිහතමානි අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් පෞද්ගලිකත්වය හා හුදු ආත්මාර්ථය පසෙක තබා පරාර්ථය වෙනුවෙන්ම කි‍්‍රයාකළ ඩී. බී. විජේතුංග මැතිඳුන් 1993 මැයි මස හත් වැනි දින ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණය පරිදි ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපති ධූරයෙන් නිත්‍යනුකූලව පිදුම් ලැබීය.
නිහතමානි ගති පැවතුම්වලින් පරිපූර්ණව සිටි එතුමා සියලුම දේශපාලන කි‍්‍රයාකාරින් සමග පක්ෂ භේදයෙන් තොරව සුහදශීලීව කටයුතු කළ අන් අයගේ මතයට ගරු කළ ආදර්ශමත් දේශපාලනඥයෙකි.
ආණ්ඩු පක්ෂයත්, ප්‍රති පක්ෂයත් දෙපිළකට බෙදි එකිනෙකා නිර්දය ලෙස විවේචනය කරගන්නා අතිශය උද්වේගකර අයුරින් වාද විවාද කරගන්නා ස්ථානයක පක්ෂ විපක්ෂ සෑම මැති ඇමැතිවරයකුගේම කැමැත්ත මත නිතරගයෙන්ම එම තනතුරට පත්වීමේ භාග්‍යය එතුමාට ලැබුණේ ඒ නිසාවෙන්මය. ප්‍රති පක්ෂවල පිරිස් පවා තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් එතුමා තුළ පැවති බවද ඉන් විද්‍යමාන වෙයි.
මහත්මා දේශපාලනයේ නියැලුණු කෘතහස්ත දේශපාලනඥයකු වූ විජේතුංග මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ යුතුය යන දැඩි මතයේ සිටිමින් ඒ වෙනුවෙන් තම පාලන කාලය තුළ අභීනව හඬ නැගු අතර යම් යම් කැප කිරිම්ද ඒ වෙනුවෙන් කළ බවද අමතක නොකළ යුතුය.
කොටි බෙදුම්වාදී පාලනයෙන් නැඟෙනහිර පළාත මුදාගෙන එහි පළාත් පාලන ආයතනවල මැතිවරණ පවත්වා ඒවායේ පාලනය ජනතා නියෝජිතයන්ට පැවරීමට එතුමා ගත් තීරණය මෙහිලා ප්‍රබල සාක්ෂියකි. මේ රට භිෂණයෙන් වෙලාගෙන තිබූ එක්තරා යුගයක ඒ භිෂණකාරි තත්ත්වය මඟ හැර රට තුළ සාමකාමී වාතාවරණයක් උදාකිරීමටද කටයුතු කළේ එතුමාය.
සමස්ත දේශපාලන ක්ෂේත්රයටම ආදර්ශවත් චරිතයක් වූ විජේතුංග මහතාගෙන් උගත හැකි පාඩම් ගණනාවකි. බලයෙන් උදම් නොවී ඒ මහතා ගත කළ මහත්මා දේශපාලන ජීවිතය ආදර්ශවත්ය.
චාමි ගති ස්වභාවයන්ට උරුමකම් කියු එතුමා නිරතුරුවම පංච ශීල ප්‍රතිපත්තියට අනුව තම ජීවිතය හැඩගස්වා ගත්තේය. බෞද්ධ ධර්මය පිළිබඳ පෘථුල දැනුමකින් හෙබි විජේතුංග මහතා නමට පමණක් බෞද්ධයකු නොවිණි.
තම ජීවන පැවැත්මෙන්ම හොඳ සිංහල බෞද්ධයකු වූ එතුමා බුදු දහමේ කියවෙන ඉවසීම, කරුණාව, දයාව, ආගන්තුක සත්කාරය යන මානව ගුණංගයන්ගෙන් පරිපූර්ණව සිටියේය.
එදා මෙදාතුර මෙරට දේශපාලන ක්ෂේත්රය තුළ විවිධ තනතුරු දරමින් දැවැන්ත භූමිකාවක් නිරූපණය කළ මෙරට දේශපාලනයේ පූර්වාදර්ශක චරිතයක් වූ හිටපු ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා සමස්ත ශී‍්‍ර ලාංකීක ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද සදානුස්මරණිය මෙහෙයක් ඉටුකරමින් සිට 2008 සැප්තැම්බර් මස 21 වැනි දින ලෝක ධර්මතාවයන් ලොවට පසක් කරමින් ජාතියෙන් සමුගත්තේ මෙවැනි පුද්ගලයන් සිය දහස් ගණනින් රටට අවශ්‍ය මොහොතකය.
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා :- මේ රටේ ජනාධිපතිවරයකු අගමැතිවරයකු සහ මේ සභාවේ ජේ්‍යෂ්ඨ ඇමැතිවරයකු වශයෙන් සිටි ඩී. බී. විජේතුංග මහතා පිළිබඳ අප හැමෝම දන්නවා.
එදා මේ රටේ මහා පිපිරීමක් ඇති වීමට ගිය අවස්ථාවක් විජේතුංග මහතා එය වළක්වා ගත්තා. විජේතුංග මහතා ඉතිහාසගත වන්නේ මේ රටේ ;ශ්ර්ෂ්ඨ දේශපාලඥයකු වශයෙන්.
එදා මේ රටේ දේශපාලනයේ ඉතා ව්‍යාකූල තත්ත්වයකයි තිබුණේ. පේර්මදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා. දේශපාලන හැලහැප්පීම් රැසක් සිදු වුණා. විජේතුංග මහතා අගමැති වශයෙන් කටයුතු කළා.
පේර්මදාස ජනාධිපතිතුමාගේ අභාවයෙන් පසු විජේතුංග මහතා ජනාධිපති ධූරය බාරගෙන ඉතාම කෙටි කලකින් මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කළා.
1977 දී මම මේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු වශයෙන් පත් වන විට එතුමන් මේ සභාවේ සිටියා. මේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු, ඇමැතිවරයකු මෙන්ම අගමැතිවරයා වශයෙන් ද කටයුතු කළ විජේතුංග මහතා ජනාධිපති ධූරයටත් පත් වුණා. මේ අවස්ථා සියල්ල හිමි වන්නේ සීමිත පිරිසකට පමණයි.
විජේතුංග මහතා මේ රටට විශාල සේවාවක් සිදු කළා. ඇමැති ධූර ගණනාවක් දරමින් එතුමා මේ සේවය සිදු කළා. එතුමාගේ සේවය උඩුනුවරට පමණක් සීමා වුණේ නෑ. මුදල් ඇමැතිවරයා වශයෙන් සහ ජනාධිපතිවරයා වශයෙන් සිටියදී එතුමා මේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට විශේෂයෙන්ම කැප වුණා. මටත් එතුමා සමග එම කටයුතුවලට හවුල් වෙන්නට හැකි වුණා.
විජේතුංග මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ආර්ථිකය ඉතා හොඳින් හැසිරුවා. එතුමා කිසි විටෙකත් ජනතාවට පටි තද කරගන්න කිව්වේ නැහැ. එසේම සංවර්ධන කටයුතු සීමා කළේ නැහැ. ආදායම් වියදම් අතර විශාල පරතරයක් ඇති නොකරගෙන ආර්ථිකය මෙහෙයවූවා.
ජනාධිපති විජේතුංග මහතා ත්‍රස්තවාදය වැළැක්වීමටත් විශාල සේවාවක් සිදු කළා. එතුමා ත්රස්තවාදයට එරෙහි සටන සාර්ථකව සිදු කළ නායකයෙක්. මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව විජේතුංග මහතා හිස් මුදුනින් පිළිගත්තා. එතුමා මේ බව නිතරම කිව්වා.
නැඟෙනහිරින් ත්රස්තවාදීන් මුලුමනින්ම පන්නා දැමීමට එතුමා කි‍්‍රයා කළා. එතුමාගේ දෙවැනි පියවර වුණේ දේශපාලන විසඳුමක් ලබා දීමයි.
විජේතුංග මහතාට කළ හැකි ඉහළම ගෞරවය මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමයි. එතුමා නිතරම උත්සාහ කළේ සෑම දෙනාටම සමානත්වයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකීමටයි. එතුමා සමග වැඩ කිරීමට ලැබීම අප ලැබූ භාග්‍යයක් කොට සලකනවා. එතුමාගේ ජීවිතයෙන් අප බොහෝ දේ උගෙන ගත්තා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - ඩී. බීී. විජේතුංග හිටපු ජනාධිපතිතුමා හඳුන්වා දීමට හැකි හොඳම අර්ථකතනය ගැමි සුවඳ හඳුනන නායකයකු ලෙසයි. උඩුනුවර ආසනයෙන් පාර්ලිිමේන්තුවට පිවිසි විජේතුංග මහතා මේ රටෙන් සමු ගන්නා තුරුම ඉතාම ගෞරවාන්විතව හා නිහතමානීව කටයුතු කළා.
ත්‍රස්තවාදය හා බෙදුම්වාදය එතුමා නිරවුල්ව හදුනාගෙන සිටියා. මේ රටෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමට ඩී. බී. විජේතුංග මහතා තදින් අධිෂ්ඨාන කරගෙන සිටියා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර උඩවත්තේ නන්ද හිමි (ජා. හෙ. උ.) - කන්ද උඩරට දේශපාලකයෙක් වූ ඩී. බී. විජේතුංග මහතා ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක්. දුප්පත් පොහොසත් භේදයකින් තොරව හැම කෙනෙකුටම සේවය කළා. ඩී. බී. විජේතුංග මහතා තැපැල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේදී මහනුවර දිස්ති‍්‍රක්කයේ සෑම පළාතකටම තැපැල් කාර්යාල ලබා දුන්නා.
එමෙන්ම ප්‍රදේශයේ දුරකථන අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කළේ ඩී. බී. විජේතුංග මහතා. ඩී. බී. විජේතුංග මහතා මහාමාර්ග ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ අපගේ ප්‍රදේශවල දුෂ්කර මාර්ග පිළිසකර කිරීමටත් පියවර ගත්තා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
ත්‍රිකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා (ද්‍ර. ජා. ස.) - ඩී. බී. විජේතුංග මහතා ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්. එමෙන්ම එතුමා ප්රජාතන්ත්රවාදයේ මුඛ්‍ය ගුණාංග අරක්ෂා කරන්නට කටයුතු කළ නායකයෙක්.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා යහපත් නායකයෙක්. ඩී. බී. විජේතුංග මහතාගේ ඇතැම් මතවාද සුළු ජාතින් පිළිගත්තේ නැහැ. නමුත් එතුමා ඉතා අවංක නිහතමානී සහ ශ්රේර්ෂ්ඨ මිනිසෙක්.
වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න මහතා - මිනිස්සු විවිධ කොටස්වලට වර්ග කරන්නට පුළුවන්. ඩී. බී. විජේතුංග මහතා අයත් වන්නේ ශ්‍රේෂ්ඨ මිනිස්සු යන කොටසටයි.
අද දේශපාලකයන්ගේ වැඩිපුරම තියෙන්නෙ කතාව විතරයි. වැඩ කරන්නෙ අඩුවෙන්. උදේ හිටං හවස් වෙනකම්ම ජංගම දුරකථනයෙනුත් කතාව. අද කේලම්වලින් දේශපාලනය වැරදි දිශාවකට ගමන් කර තිබෙනවා. නමුත් ඩී. බී. විජේතුංග මහතා කතා කළේ අඩුවෙන්. වැඩියෙන්
වැඩ කළා. අනුන්ගේ කේළම් ඇහුවේ නැහැ. කාටවත් එතුමාව රවට්ටන්නත් බැහැ. ඒ වගේම මේ රට ඒකීය රටක් ලෙස තිබිය යුතුයි යන මතය එතුමා හැම වෙලාවකම විශ්වාස කළා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩා (ජ. වි. පෙ.) - රටට ජනතාවට ආදර්ශ සපයමින් තමයි විජේතුංග මහතා දේශපාලනය කළේ. මන්තී‍්‍රවරයකු ඇමැතිවරයකු අගමැතිවරයකු මෙන්ම ජනාධිපතිවරයකු වශයෙන් මේ ආදර්ශය එතුමා මේ රටට දුන්නා.
1988 දී මේ රටේ ප්‍රථම ආණ්ඩුකාරයා වශයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වුණෙත් විජේතුංග මහතායි. මේ කිසිදු තනතුරකින් හිස උදුම්මවා නොගෙන ඉතා නිහතමානීව එතුමා කටයුතු කළා.
විජේතුංග මහතාගේ ගුණ සමුදාය අතර නිහතමානී ගුණය ඉහළින්ම තිබුණා. එතුමා ආගන්තුක සත්කාරයෙන් ඉතාම පොහොසත් කෙනෙක්. මහනුවර ජනාධිපති මන්දිරය සෙනසුරාදා, ඉරිදා දිනවල ජනතාවගෙන් පිරී තිබුණා. මේ හැම කෙනකුටම සංග්‍රහ කොට තමයි පිටත් කර හැරියේ.
ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිතුමා මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තියක්. එතුමාගේ මේ මහත්මා දේශපාලනය ගුරු කොට ගැනීමට හැකි නම් දේශපාලනඥයන් වශයෙන් අපට එතුමාට කළ හැකි ඉහළම ගෞරවයයි. අද සිටින දේශපාලන නායකයන්ට මෙතුමන්ගෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝය.
(දිවා ආහාරය සඳහා සභාවේ කටයුතු නතර කෙරිණි.)
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට පමණ දිවා විවේකයෙන් පසුව සභාව රැස්විය)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ඩී. ඩබ්ලිව්. ගුණසේකර මහතා :- ඩී. බී. විජේතුංග මහතා ඉතා සමීපව ඇසුරු කරන්නට අපට හැකිවුණා. විශේෂයෙන්ම එතුමා නිහතමානී නායකයෙක්. එතුමා තුළ දක්නට ලැබුන මෙම සුවිශේෂී ලක්ෂණවලට එක් හේතුවක් ලෙස මම දකින්නෙ එතුමා කන්ද උඩරට නායකයෙක් වීමයි.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා (ජා. නි. පෙ.)- හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා ගැන ජාතික නිදහස්පෙරමුණ වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කළ යුතුව තිබෙනවා. 1993 දී පාර්ලිමේන්තුව විසින් පළමුවරට ජනාධිපතිවරයා ලෙස විජේතුංග මහතා තෝරා ගත්තා. එතෙක් වසර දාහතක් පමණ කාලයක මෙරට ජනතාව අමිහිරි අත්දැකීම් ලැබුවා.
එය වැඩියෙන්ම ප්රජාතන්ත්ර විරෝධී කටයුතු කළ කාලයක්. ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ විජේතුංග මහතාට ඒ තත්ත්වය වෙනස් කිරීමට හැකි නොවුණත් ඔහු ජනාධිපති වශයෙන් පත්වූ පසු එතෙක් පැවැති භීෂණ හා මර්දනකාරී තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළා. තරුණ ජීවිත ගලවා ගන්නට ඔහු උත්සාහ කළා.
විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා- ජනාධිපති විජේතුංග මහතාගේ සහයෝගය හා ආභාෂය මට ඉතා විශිෂ්ට ලෙස ලැබුණා. අප පවුල සමඟ ද හොඳ සම්බන්ධතාවයක් පැවතුණා.
ආණ්ඩුකාරවරයෙක් වශයෙන් දේශපාලනයෙන් ඉවත්වන විට වසරක් තුළ මෙරට අගමැතිවේ යැයි අප හිතුවේ නැහැ. එ. ජා. ප. ප්‍රබලයන් අබිබවා අගමැති බවට පත්වූ එතුමා 1993 දී වැඩබලන ජනාධිපති බවටත් පසුව පාර්ලිමේන්තුවෙන් තෝරාගත් ප්‍රථම ජනාධිපති බවටත් පත්වුණා.
උඩවත්තේ නන්දහිමියෝ මුලසුනට පැමිණියහ.
බෝගොල්ලාගම මහතා- එතුමා කිසිවකුගෙන් පලිගත්තෙ නැහැ. එතුමා ප්රජාතන්ත්රවාදයටත් ජනතා තීන්දුවටත් ගරු කළ යුතු බව සිතා කටයුතු කළා. එතුමා නිදහස් මාධ්‍යයක් ඇතිකිරීමට කි‍්‍රයා කළා.
ත්‍රස්තවාදය ගැන ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළා. එල්. ටී. ටී. ඊ. ය ත්රස්තවාදීන් බවට ප්‍රකාශ කළා. අද අප කියන්නෙත් එයයි.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ. ජා. ප.)- සිංහල රාජවංශයෙන් පසු උඩරටින් පහලවූ එකම රාජ්‍ය නායකයා විජේතුංග ජනාධිපතිතුමායි. එතුමා සාමාන්‍ය පුද්ගලයකුට පවා අපක්ෂපාතිව සැළකුවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අමරා පියසීලි රත්නායක මහත්මිය (එ. ජා. ප.)- ඩී. බී. විජේතුංග මහතා ඉතාම වාසනාවන්ත දේශපාලන නායකයෙක්. ජනාධිපති ධූරයට පත් වෙන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින් කෙනෙකුටයි.
එතුමාට නිතැතින්ම ජනාධිපතිකම ලැබුණා. පින්වන්ත ජනාධිපති කෙනකු වශයෙන් එතුමා හදුන්වන්න පුළුවන්. එතුමාගේ කි‍්‍රයාකාරිත්වය තුළින් එතුමාට ඉහළටම යෑමට හැකි වුණා. එතුමාට මේ ආත්මයේදීම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දුන්නා. ඒ නිසා තමයි හැම දෙනාගේම ඒක ඡන්දයෙන් එතුමාට ජනපති ධූරයට පත්වන්නට හැකි වුණේ.
අතීතයේදී උඩරටින් ගිලිහුණ බලය නැවතවරක් එතුමා උඩරටට ලබා දුන්නා. එතුමා තනතුර ආභරණයක් කරගත්තේ නෑ. එතුමා තනතුරෙන් බැබලුණේ නෑ. ඕනනම් එතුමාට දිගටම තනතුරේ ඉන්නට වැඩ කටයුතු සිදු කරන්නට තිබුණා. එහෙත් එහෙම කළේ නෑ.
ව්‍යවසාය සංවර්ධන ඇමැති මනෝ විජේරත්න මහතා- ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා අතින් ඇමැති ධූරයක් ලැබූ පුද්ගලයකු වශයෙන් එතුමා ගැන වචන කිහිපයක් කතා කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා.
ප්‍රේමදාස ජනාධිපතිතුමා කුරිරු ත්‍රස්තවාදී බෝම්බයකින් ඝාතනයට ලක් වීමෙන් පසු විධායක ජනාධිපති ධූරයට පත්වූ විජේතුංග ජනාධිපතිතුමා ත්රස්තවාදීන්ට එරෙහිව අභීත තීන්දු ගත්තා. උතුරේ පවතින ප්රශ්නය එතුමා නිවැරදිව තේරුම් ගත්තා.
ත්රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය පිළිබඳ එතුමා ලොවට හඬ නගා කීමට තරම් නිර්භීත වුණා. එය රාජ්‍ය නායකයකු සතු උතුම් ගුණාංගයක්. උඩරටින් බිහි වූ දේශපාලඥයෙක් වශයෙන් මා එය වඩාත් අගය කරනවා.
විජේතුංග ජනාධිපතිතුමා අද හිටියා නම් එ. ජා. ප. යේ මේ අර්බුද ඇතිවීමට ඉඩ තබන්නේ නෑ. එතුමා පක්ෂය අතහැර ගිය ගාමිණී දිසානායක මහතා නැවත පක්ෂයට ගෙන්වා ගත්තා. එතුමා කි‍්‍රයා කළේ ඒ අයුරින්.
අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා- හිටපු ජනාධිපති විජේතුංග මහතා සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වීමට ඉඩ නොලැබුණත් එතුමා සමඟ මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න මට ඉඩ ලැබුණා. විජේතුංග ජනාධිපතිතුමා සමඟ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමට මට ඉඩ ලැබුණා. එතුමා ඉතා සුහඳශීලීව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය දැරුවා.
එතුමා ඉතාම ආදර්ශමත් දේශපාලනඥයෙක්. ඉතාම හොඳ බෞද්ධයකු වූ විජේතුංග මහතා දැහැමි ජීවිතයක් ගත කළා. තනතුරු පිටුපස එතුමා හඹා ගියේ නෑ. කිසිදා තමන් ජනපතිධූරයට පත්වීමට බලාපොරොත්තු නොවූ බව එතුමා වරක් මට කිව්වා. එතුමා කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ ආකාරය අදත් මට ප්‍රයෝජනවත් වෙනවා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අබ්දුල් කාදර් මහතා (එ. ජා. ප.)- ඩී. බී. විජේතුංග මහතා ගැන හැම දෙනාම අවංක චේතනාවෙන් කතා කළා. එතුමාගේ හොඳ ගතිගුණ නිසා කිසිවකුට එතුමාට දොස් කියන්න බෑ.
එතුමා කිසිම දෙයකට කෑදර වුණේ නෑ. බලයට, ධනයට, හෝ වෙනත් කිසිවකුට එතුමා කෑදර වුණේ නෑ. එතුමා වැනි නායකයන් නැවත මේ රටේ උපදින්නේ නෑ.
කම්කරු ඇමැති මර්වින් සිල්වා මහතා- අපේ පවුලෙ සියලු දෙනාම දේශපාලනයට අවතීරණය වුණේ. ශී‍්‍ර. ල. නි. ප. යෙන් නමුත් කවරහෝ හේතුවකට සිරිමාවෝ මැතිණිය විසින් මම පක්ෂයෙන් පිටමං කළා.
ඉන් පසුව මම එ. ජා. ප. යට සම්බන්ධ වුණා. මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගත්තේ ඩී. බී. විජේතුංග මහතා. එතුමා නිසයි මම එ. ජා. ප. යට සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම වත්මන් විපක්ෂ නායකයා පවා විරුද්ධ වෙද්දි හම්බන්තොටින් එ. ජා. ප. යට තරග කිරීමේ අවස්ථාව එතුමා මට ලබාදුන්නා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂමන් කිරිඇල්ල මහතා (එ. ජා. ප.)- ඩී. බී. විජේතුංග මහතා ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා දේශපාලනයට අවතීර්ණ වූදා පටන් ජනාධිපතිවරයෙක් ලෙස විශ්‍රාම ගිය පසුවද මහජනතාව වෙනුවෙන් මහජන දිනයක් පැවැත්වූවා.
ඩී. බී. විජේතුංග මහතා සිදුකළ සේවාව නිහඬව සිදුකළ කෙනෙක්. ඩී. බී. විජේතුංග මහතාගේ පාලන කාලෙදී නැඟෙනහිර පළාත ත්රස්තවාදීන්ගෙන් මුදාගත්තා.
පොළොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අර්ල් ගුණසේකර මහතා (එ. ජා. ප.)- විජේතුංග මහතාගේ අභාවය ආරංචි වූ වෙලාවෙ මට දැනුනෙ කල්‍යාණ මිත්‍රයෙක්, ගුරු පියෙක්, පියෙක් අහිමි වුණ බවක් මේ හැගීම සියලු දෙනාටම දැනෙන්ට ඇති.
ඩී. බී. විජේතුංග මහතා ගත කළේ ධාර්මිෂ්ඨ ජීවිතයක්. ඩී. බී. විජේතුංග මහතා මම හදුනාගත්තේ අවුරුදු විසි දෙකේදී. එතුමා මට ව්‍යාපාර ක්ෂේත්රය ගැනත් හොඳ අවබෝධයක් ලබා දුන්නා. ජීවිතය ගැන බොහෝ දේවල් ඩී. බී. විජේතුංග මහතා මට කියල දුන්නා. ඒ වගේම දේශපාලන ජීවිතය පිළිබඳව බොහෝ ගුරු හරුකම් මට ලබා දුන්නෙ විජේතුංග මහතායි.
අගමැති රත්නසිරි වික්‍රමනායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිමල් සිරිපාලද සිල්වා මහතා බොහෝසේ උදව් කළා. ඩී. බී. විජේතුංග මහතා අසනීප වූ සෑම මොහොතකම රජය ලබාදිය හැකි උපරිම සේවය එතුමාට ලබාදුන්නා. ඒ සෑම දෙයක් වෙනුවෙන්ම අපි රජයට ස්තුතිවන්ත විය යුතුයි.
සමූපකාර ඇමැති අබ්දුල් මජිඩ් මහතා- සමූපකාර පරීක්ෂකවරයෙක් ලෙස ජීවිතය ආරම්භ කළ විජේතුංග මහතාට විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමේ භාග්‍යය උදාවුණා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එ. ජා. ප.) - සමහරු කියනව ඩී. බී. විජේතුංග මහතා හරිම වාසනාවන්තයි කියලා. මොකද එතුමා පසුපස තනතුරු ආවා. ඇමැතිකම් එකොළහක් දැරුවා.
පසුව පේර්මදාස රජයේ අගමැතිවරයා බවට පත් වුණා. ඒ වගේම පේර්මදාස මහතා මිය ගියාට පස්සෙ ජනාධිපතිවරයා බවට පත් වුණා. ආගමික වශයෙන්ද දැහැමි දිවි පෙවෙතක් එතුමා ගත කළා. විජේතුංග මහතාගේ අභාවය වෙනුවෙන් අපගේ ශෝකය පුද කරනවා.
ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ඩී. බී. විජේතුංග මහතා අපි හැමෝටම ආදර්ශවත් දේශපාලන නායකයෙක්.දේශපාලන ගමන් මගේ කුඩාම තැනින් පටන්ගෙන විධායක ජනාධිපතිවරයා වීමේ භාග්‍ය එතුමාට හිමි වුණා.
තරුණ දේශපාලකයෙක් ලෙස ඩී. බී. විජේතුංග මහතා ඇසුරු කරන්නට මට හැකි වුණා. එතුමා කිසිම වෙලාවක පොදු ජනතාව අමතක කළේ නැහැ.
ඒ වගේම කිසිම කෙනෙකුට වැඩි සැළකිල්ලක් නොදැක්වූ එමෙන්ම සෑම කෙනෙකුටම සමසේ සැලකීමේ ගුණයක්ද එතුමාට තිබුණා. ත්‍රස්තවාදය ත්‍රස්තවාදය ලෙස දැකීමටත් දෙමළ ජනතාව ආරක්ෂා කිරීමටත් එතුමා සෑම මොහොතකම කටයුතු කළා.
විශේෂයෙන්ම දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගියාට පසුව කිසිම දවසක දේශපාලන කටයුතු වලට අත පෙව්වේ නෑ. ඒ වගේම එතුමා නිහතමානි ලෙස කටයුතු කළ අතරම මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටත් කටයුතු කළා. ඒ වගේම අමාත්‍ය දුර ගණනාවක් දරා එතුමා මේ රටේ පොඩි තැනින් දේශපාලනය ආරම්භභ කර යා යුතු ඉහළම තැනට ගිය ශ්‍රේෂ්ඨ මිනිසෙක්. එතුමාට අපි නිවන් සුව පතනවා.
කතානායක වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා මූලාසනයට පැමිණියේය
ජෝෂප් මයිකල් පෙරේරා මහතා - විජේතුංග මහතා විධායක ජනාධිපති ක්‍රමයට බොහෝ සේ ගරු කළ කෙනෙක්. ඒ වගේම එතුමා නිහතමානි චරිතයක් වුණත් දැඩි තීරණ ගත් කෙනෙක්. විශේෂයෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එතුමා ගත්තෙ දැඩි තීරණ.
ඒ වගේම විජේතුංග මහතා හැම වෙලාවෙම ජනතාව වෙනුවෙන් තීරණ ගත්ත කෙනෙක්. එතුමා කවදාකවත් පක්ෂය පාවා දුන්නෙ නැහැ. එතුමා බොහෝ වෙලාවට අපට දුන්න අවවාදයක් තමයි කිසිම දවසක පක්ෂය, නායකයා හැර යන්නට එපා කියලා.
අතිරේක වැවිලි භෝග ඇමැති ධර්මදාස බණ්ඩා මහතා - ඩී. බී. විජේතුංග මහතාත් මමත් පාර්ලිමේන්තුවට ආවෙ 1965 දී.
එදා අපි ඩඩ්ලි සේනානායක රජයේ මන්තී‍්‍රවරුන් විශේෂයෙන්ම තරුණ මන්තී‍්‍රවරයෙක් වු ඩී. බී. විජේතුංග මහතාට ඕනෑම කෙනෙක් සමග වැඩ කිරීමේ හැකියාව තිබුණා. විශේෂයෙන්ම එතුමාට ඒ ආභාෂය ලැබුණේ ඒ රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීම නිසයි.
කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා - හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා සම්බන්ධයෙන් සියලු දෙනා පැවසු අදහස් මා අනුමත කරනවා. එසේම මාගේ ජීවිතය වෙනස් මගකට යොමු කරවීමට විජේතුංග ජනාධිපතිතුමාගේ ජීවිතය බලපෑවා.
එතුමාගේ ජීවිතය අප හැමට ආදර්ශයක්. මේ ශෝක යෝජනාව විජේතුංග ජනාධිපතිතුමන්ගේ පවුලේ ඥාතීන්ට බාර දෙනවා.
පාර්ලිමේන්තුව අද (09) උදේ 9.30 ට යළි රැස්වේ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment