Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 8, 2008

මිල සූත‍්‍රය දැන් තිබුණා නම් ඩීසල් රුපියල් දෙසීයයි - රංජිත් සියඹලාපිටිය - මුදල් හා රාජ්‍ය ආදායම් අමාත්‍ය

ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල අඩුවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳ පොළෙහි තෙල් මිල අඩුකරන ලෙසට විරුද්ධ පක්ෂය කරන ඉල්ලීම් පිළිබඳ මුදල් හා රාජ්‍ය ආදායම් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් පහත දැක්වේ.
ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල සැළකිය යුතු මට්ටමකින් පහළ ගිහිල්ලා. එසේ වී මාසයකට වැඩි කාලයක් ගතවුණත් එම අඩුවීමේ වාසිය ජනතාවට තවමත් ලබාදීල නැහැ කියලා ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා.
බොර තෙල් මිල අඩුකළා කියලා කියන්න බැහැ. තෙල් මිල ඉහළ ගිහිල්ලා ඉන්පසුව අඩුවෙන්න වගේ ගිහිල්ලා අඩුවෙන්නේ නැතිව යළිත් ඉහළ ගිහිල්ලා. බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 147 දක්වා ඉහළ ගිහිල්ලා නැවත එය අනූ ගණනකට අඩුවෙලා යළි ඩොලර් 122 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේක මිල උච්ඡාවචනයක්, නැත්නම් මිල ඉහළ පහළ යාමක්. 2004 දී රුපියල් කෝටි 1400 ක්ද, 2005 දී කෝටි 2600 ක් ද 2006 දී කෝටි 1000ක්ද, 2007දී කෝටි 1000 ක්ද 2008 දී මේ වන විට කෝටි 2500 ක්ද තෙල් සහනාධාරය වෙනුවෙන් අපි වැය කර තිබෙනවා.
පාඩු පිට හරි මෙම මුදල් වැය කළේ ජනතාව වෙනුවෙන්. අපි තරම් තෙල් සහනාධාරය ලබාදුන්නු වෙනත් ආණ්ඩුවක් නැති තරමි. උදාහරණයක් ලෙස අගොස්තු මාසය ගනිමු.
පැට‍්‍රල් ලීටරයකින් ආණ්ඩුව රුපියල් 12.80 ක් ලාභ ලබන කොට භූමි තෙල් ලීටරයකින් 28.93ක් අලාභ වින්දා. මීට අමතරව ඉන්ධන මිල ඉහළයාම පොහොර මිල ඍජුවම බලපානවා.
අපි තවමත් පොහොර ලබාදෙන්නේ රුපියල් 350 ට. රුපියල් මිලියන 15කට ඇස්තමේන්තු කරපු පොහොර සහනාධාරය මේ වසරේ අඩුම ගණනේ රුපියල් බිලියන 30ක් දක්වාවත් ඉහළ දාන්න සිදුවෙනවා.
මේවා ගැන කතා නොකර තෙල් මිල සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය නගන චෝදනාව ඉතා බොළඳ කරුණක් විදියටයි මං දකින්නේ. මිල උච්ඡාවචනයක් තියෙන විට මිල අඩුකරන්න ලෙහෙසි නැහැ.
මාසයක්වත් අඩුම ගණනේ මිල ස්ථාවරය තිබුණොත් මිල අඩුකිරීම ගැන ප‍්‍රායෝගිකව කි‍්‍රයාකරන්න පුළුවන්.
එම නිසා ජනතාවට සහන ලබාදෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදීම ජනතාවට සහන ලබාදෙන්න ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව සූදානම්.
පරණ තොග තවම තිබෙන නිසා මිල අඩුකරන්න අමාරුයි කියලත් කතාවක් තියෙනවා. එතකොට ප‍්‍රශ්නයක් මතුවෙනවා පරණ තොග ඉවරවුණු ගමන් මිල අඩුවෙයි ද කියලා.
දිගින් දිගටම මිල උච්ඡාවචනය වෙනව නම් මිල සංශෝධනය කිරීම තරමක් අපහසු වෙනවා. උදාහරණයක් ලෙස තෙල් තොග මාසයකට එක්රැස් කරගත්තා කියල හිතමු.
එහෙම නම් අඩුම ගණනේ මාසයක්වත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ස්ථාවරව තිබිය යුතුයි. සති දෙකක පමණ කාලය තුළ ඩොලර් 25 කින් පමණ උච්ඡාවචනය වෙලා තියෙනවා.
ඒක සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. අඩුම ගණනේ ඩොලර් පහක හයක පමණ වෙනසක් කාලයක් තිස්සේ තිබුණා නම් ඒ ගැන සලකා බලන්නවත් තිබුණා.
ඩොලර් අනූ ගණනකට අඩුවෙලා සති දෙකකින් යළි ඩොලර් එකසිය විසි ගණනක් දක්වා මිල ඉහළ ගියා. බැරිවෙලාවත් මිල අඩුකෙරුව නම් විශාල ප‍්‍රායෝගික ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනවා.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව කාලේ පවත්වාගෙන ගිය මිල සූත‍්‍රය තිබුණා නම් තෙල් මිලෙන් ජනතාව මෙසේ පීඩා විඳින්නේ නොමැති බවයි, එක්සත් ජාතික පක්ෂය කියන්නේ.
මිල සූත‍්‍රය තිබුණා නම් වෙන්නේ මොකද කියලා මං ඉතාම වගකීමෙන් පැහැදිලි කරන්නම්. ඩීසල් ලීටරය 110 දක්වා වැඩිකරපු වෙලාවේ මිල සූත‍්‍රය තිබුණා නම් ඩීසල්වල ගණන වෙන්නේ රුපියල් 152.32 යි.
පැට‍්‍රල් ලීටරය 157ට වැඩිවුණු වෙලාවේ පැට‍්‍රල් 149ට ගන්න තිබුණා. පැට‍්‍රල්වලින් නම් රුපියල් 8 කින් අඩුවෙනවා. භූමිතෙල් ලීටරය රුපියල් 80 කරද්දී මිල සූත‍්‍රය තිබුණා නම් එහි මිල වෙන්නේ රුපියල් 129.30 කට.
රුපියල් 8 කින් පැට‍්‍රල් අඩුවුණත් ඩීසල් 42 කිනුත් භූමිතෙල් රුපියල් 49 කිනුත් ඉහළ යනවා. එවිට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ඇතුළු සමාජයේ අංශ රැසකට බලපෑමක් කරමින් ජනතාවට පීඩා රැසක්ම මුහුණු පෑමට සිදුවෙනවා.
බොරතෙල් මිල ඩොලර් 147 ට ගිය අවස්ථාවේදීවත් අපි මිල වැඩිකළේ නැහැ. නමුත් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මිල සූත‍්‍රය තිබුණා නම් ඩීසල් ලීටරය අඩුම ගණනේ රුපියල් 200ක්වත් වෙනවා. ඒ වගේම පැට‍්‍රල් හා භූමිතෙල් මිලත් ඉහළ යනවා.
මිල සූත‍්‍රය අනුව සෑම අවස්ථාවකදීම මිල සංශෝධනය කළෙත් රුපියල් 5ක ලාභයක් ආණ්ඩුව තියාගෙනයි. මේ මිල සූත‍්‍රය තිබුණා නම් පසුගිය වසර 4 තුළදී තෙල් සහනාධාරය වෙනුවෙන් බිලියන ගණනක් මුදල් වැයකරන්න ආණ්ඩුවට සිදුවන්නේ නැහැ.
ඒ බර ජනතාව මත පටවන්න තිබුණා. නමුත් ජනතාවාදී ආණ්ඩුවක් වශයෙන් තෙල් මිල ජනතාව මත පටවන්න කිසිම අවස්ථාවකදී අපි උත්සාහ ගන්නේ නැහැ.
සියයට පන්සියයකින් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගියා. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මිල සූත‍්‍රය තිබුණා නම් දේශීය තෙල් මිලක් සියයට පන්සිය හතළිහකින් ඉහළ යනවා. ඉහළ යන්නේ 5%ක ලාභයකුත් සමගයි.
අපේ තෙල් සංස්ථාවට උපරිම වශයෙන් ලබාදී තිබෙන ලාභය 1.5% යි. ඒ නිසා තෙල් මිල අඩුකරන්න කියලා විපක්ෂය බොරුවට කෑගහන පහත් පෙළේ දේශපාලනයට ජනතාව රැවටෙන්නේ නැහැ.
දෙන්න පුළුවන් අවස්ථාවේදී එම සහනය ජනතාවට ලබා නොදෙමින් අයවැයෙන් එය ලබා දීමට ආණ්ඩුව කල් මරමින් ඉන්නව කියන්නේ ඇත්තද?
අපේ ආණ්ඩුවේ අයවැය ලේඛනය හැමදාමත් ජනතාවාදී අයවැය ලේඛනයක්. ඒක නිසා සහනයක් ලබා දෙන්න පුළුවන් පළමු අවස්ථාවේදී අපි එය ලබා දෙනවා.
ඒක නිසා දැන් හංඟගෙන ඉඳලා අයවැයේදී පමණක් තෙල් සහනය ලබා දෙන්න අපට වුවමනාවක් නැහැ. අනෙක් කරුණ අපිට ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. සවිමත් බහුතරයක් ඉන්නවා.
ඒක නිසා අපිට කිසිම බයක් නැහැ. අයවැය ගැන බයක් ඇතිකර ගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.
සමෘද්ධියට, පොහොර සහනාධාරයට, තෙල් සහනාධාරය, ලංගමට, දුම්රියට ලබා දෙන සහනාධාර ලබා දෙන්නේත් මෙම භාණ්ඩාගාරයෙන් මිසක් වෙනත් භාණ්ඩාගාරයක් නොවෙයි.
ඒක නිසා මල්ලෙන් ගියත් පෙට්ටියෙන් ගියත් මේවා යන්නේ එකම තැනකට. ඒවා රටේ ජනතාවට.
එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රමුඛ පිරිස් තෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා භාණ්ඩාගාරය වෙත ලියමනක් ඉදිරිපත් කිරීම බලහත්කාරකමක් ලෙස හැඳින්වීම අසාධාරණයි නේද?
ඔවුන් කිසිම දැනුම් දීමකින් තොරව බලහත්කාරයෙන් ඇතුළු වුණා. අදාළ අයගෙන් නිසි පරිදි අවසර අරගෙන නැහැ. අපි ගෙදරකටවත් මෙහෙම බලහත්කාරයෙන් ගිහිල්ලා නැහැ.
අනෙක් කරුණ මහ භාණ්ඩාගාරය පිහිටා තිබෙන්නේ අධි ආරක්‍ෂිත කලාපයක. මහා භාණ්ඩාගාරය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ඉලක්කයක්.
ඒක නිසා වගකිවයුතු දේශපාලන පක්‍ෂයකට මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒක තමන්ගේ වරප‍්‍රසාද උපයෝගී කරගෙන සිදුකළ හොරා පොලිස් කඩා පැනීමක්.
ජනතාවට රුපියල් 110 කට ලීටරයක් ලබා දෙන ගමන් බහුජාතික විදේශීය නැව් සමාගම්වලට ඩීසල් ලීටරයක් රුපියල් 95 කට ලබා දෙනවා. ජනතාවාදී ආණ්ඩුවක් මෙහෙම කි‍්‍රයා කරන්නේ ඇයි?
තෙල් සංස්ථාව විදේශීය නැව් සමාගම් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ජනතාව සමඟ ගනුදෙනු කළ ආකාරයට. තමන්ට ලැබෙන මිල අනුව 5% ක ලාභ තියාගෙන තමයි හැම විටම මෙම ගනුදෙනුව සිදුවන්නේ.
ඒ මිල සූත‍්‍ර ගනුදෙනුව ජනතාව සමඟ කිරීම ඉතා අසාධාරණ එකක් නිසා තමයි, විදේශීය සමාගම් සමඟ පමණක් එම ගනුදෙනුව කරන්න තීරණය කළේ.
තෙල් මිල අඩු වූ අවස්ථාවේදී තාවකාලිකව එම සමාගම්වලට යම්කිසි ලාභයක් ලැබුණත් දිගින් දිගටම වැඩි වූ අවස්ථාවලදී මිල සූත‍්‍රය අනුව එම සමාගම්වලින් විශාල ලාභයක් අපි ලබාගෙන තියෙනවා.
ජනතාවට බර පටවලා ජනතාවගෙන් එම ලාභය නොගත්තාට විදේශීය නැව් සමාගම්වලින් නම් අපේ ආණ්ඩුව එම ලාභය ලබා ගන්නවා.
මීට පෙර කිසිම රජයක් නොකළ පරිද්දෙන් රුපියල් 20 රේගු බද්දක් හා රුපියල් 15 ක සෙස් බද්දක් තෙල් වෙනුවෙන් අය කරන බවටත් චෝදනා එල්ල වෙනවා.
කිසිම රජයක් නොකළ පරිද්දෙන් කියන කතාව මං ප‍්‍රතික්‍ෂේප කරනවා. අපි බදු අයකිරීමේදී සමාජයේ පංති වෙනස හඳුනාගෙනයි ඒ දේ කළේ. ඩීසල් හා භූමිතෙල්වලින් අපි බදු අයකරන්නේ නැහැ.
පැට‍්‍රල්වලින් පමණයි බදු අයකරන්නේ. නමුත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව කාලෙදි ඩීසල් හා භූමිතෙල්වලිනුත් බදු අයකළා. එතකොට සෙස් බද්දක් කියන්නේ කර්මාන්තයේ අභිවෘද්ධියටම යොදන බද්දක්.
ඒක භාණ්ඩාගාරයට ගන්න පුළුවන් බද්දක් නොවෙයි. තෙල් පිරිපහදුව වැඩි කරන්න කියලා විපක්‍ෂය නිතරම කියනවා.
ඒ සඳහා අවශ්‍ය මුදල් හොයා ගන්නෙත් සෙස් බද්දෙන්. තෙල් සංස්ථාව පසුගිය කාලයේ රුපියල් බිලියන 25 ක අලාභයක් වින්දා. ඒක පියවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග සැලසුම් කළ යුතුයි.
කලින් වගේ තෙල් සංස්ථාවේ කොටස් විකුණන්න අපට කිසිම වුවමනාවක් නැහැ.
ඒ වගේම තෙල් ගවේෂණ කටයුතු සඳහාත් සෙස් බද්දෙන් උපයන මුදල යොදවන්න බලාපොරොත්තු වෙනවා. සෙස් බද්දෙන් ලැබෙන හැම ශතයක්ම යෙදවෙන්නේ තෙල් කර්මාන්තයේ දියුණුවට.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

No comments: