Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 25, 2008

ජනපති පුටුවට අහම්බෙන් ආ ඩී. බී.

මඩ සෝදාගත් පසු ගොවියා රජකමටත් සුදුසුය යන රොබට් නොක්ස් ගේ ප‍්‍රකාශය සනාථ කළ හොඳම අවස්ථාව ලෙස ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා ගේ දේශපාලන ජීවිතය හඳුන්වා දිය හැකිය. දීර්ඝ කාලයක් දැවැන්ත දේශපාලකයකු වූ දුම්බර ඒ. රත්නායක මහතා ගේ සෙවණැල්ල මෙන් සිටි විජේතුංග මහතා විවිධ හැල හැප්පීම් ඔස්සේ ජනතාව අතරින් ඉදිරියට පැමිණි ජන නායකයෙකි. හේ කිසි දිනක පදවි අපේක්‍ෂා කළේ නැත. පදවි ඔහු සොයාගෙන පැමිණියේය.
ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසින් දේශපාලන භූමියට පැමිණි විජේතුංග මහතා ශ‍්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කොට විශ‍්‍රාම ගියේ ද එම පදවියට පත් වූ දින ඇති කර ගත් ප‍්‍රීතියෙනි.
අපේක්‍ෂා නොකළ පෙ‍්‍ර්මදාස ඝාතනය
රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා 1993 මැයි පළමු වැනි දින ඝාතනයට ලක් වූයේ කිසිවකු අපේක්‍ෂා නොකළ අයුරිනි. පෙ‍්‍ර්මදාස මහතා සිය දීර්ඝතම දේශපාලන ගමන අවසාන භාගයට පැමිණ සිටිය දී පක්‍ෂයේ දෙවන පෙළ නායකයන් සමඟ ඇති කර ගත් ගැටුම් නිසා ගාමිණි දිසානායක මහතා ප‍්‍රධාන පිරිසක් එජාපය හැර ගොස් තිබුණි. විජේතුංග මහතා අගමැති ධූරයේ කටයුතු කළඅතර රනිල් වික‍්‍රමසිංහ මහතා සභානායකවරයා විය.
මැයි පළමු වැනි දින පෙ‍්‍ර්මදාස මහතා ගේ ඝාතනයත් සමඟ වහාම කි‍්‍රයාත්මක වූ රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟට කළ යුතු කටයුතු සංවිධාන කළේය. බෝම්බයක් පිපිරී ගිය බව දැන සිටියත් ජනාධිපතිතුමා ඝාතනයට ලක් වූ බව නොදැන සිටි විජේතුංග මහතා මේ අවස්ථාවේ දී සිය උඩුනුවර පාක්‍ෂිකයින් සමඟ මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටියේය.
රනිල්ගෙන් විජේතුංගට ඇරයුමක්
වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පැමිණි ආරක්‍ෂක නිලධාරින් වහාම විජේතුංග මහතා ජනාධිපති මන්දිරයට රැගෙන ආවේ හේතු නොකියාමය. ඒ වන විට එවකට අගවිනිසුරු ජී. පී. එස්. ද සිල්වා මහතා සහ නීතිපතිව සිටි තිලක් මාරපන මහතා එහි සිටි අතර වික‍්‍රමසිංහ මහතා උද්ගත වී ඇති අවශ්‍යතාව තේරුම්කර දුන්නේ ය.
එහි දී හිස් වී ඇති ජනාධිපති ධූරය සඳහා වහාම දිවුරුම් දී වැඩභාර ගන්නා ලෙසට වික‍්‍රමසිංහ මහතා අගමැති විජේතුංග මහතාට ඇරැයුම් කළේ අවශ්‍ය ලේඛන ද සහිතවය. ජනාධිපති ලේකම්ව සිටි කේ. එච්.ජේ. විජේදාස මහතා අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද කැදවනු ලැබීය. ඇමැතිවරු ද පැමිණ සිටියහ. සවස 4.30 ට අගවිනිසුරු සිල්වා මහතා ඉදිරියේ විජේතුංග මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
සිය දේශපාලන ජීවිතයේ උච්චතම අවස්ථාවට විජේතුංග මහතා පැමිණියේ අහම්බෙනි. එතුමා කිසි දිනක අපේක්‍ෂා නොකළ ද එතුමා ගේ නායකත්වය සියලු දෙනා පිළිගත්හ.
මේ රටේ විධායක ජනාධිපති ධූරයට පත් අයගෙන් විජේතුංග මහතා හැර අන් සියලුම දෙනා පදවියට පත් වූයේ මුළු රටේ ම මහජන ඡන්දයෙනි. එහෙත් විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත් වූයේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මහජන නියෝජිතයන් ගේ කැමැත්තෙනි.
පෙ‍්‍ර්මදාස මහතාගේ ජනාධිපතිධූර කාලයේ ඉතිරි කොටස නිම කිරීම සඳහා විජේතුංග මහතා තේරී පත් වූයේ 1993 මැයි මස 07 වැනි දින පැවැති පාර්ලිමේන්තුවේ විශේෂිත රැස්වීමේ දීය.
වැඩබලන ජනාධිපතිවරයා වෙනුවට ස්ථිර ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා මැයි 7 වැනි දින පාර්ලිමේන්තුව රැස් කිරීමට කතානායක එම්. එච්. මොහොමඩ් මහතා පියවර ගත්තේ ය. ඒ වන විට එජාපය සිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස විජේතුංග මහතා තෝරාගෙන තිබුණේ සිරිසේන කුරේ හා ඒ. සී. එස්. හමීඩ් යන මහත්වරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙනි. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම එය අනුමත කළේය.
මැයි 4 වැනි දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා 7 වැනි දින නාම යෝජනා භාර ගන්නා බව පාර්ලිමේන්තු ලේකම්වරයා නිවේදනය කළේය.
මෙහි දී විපක්‍ෂයෙන් ද අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට කළ යෝජනා පිළිනොගත් විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒකච්ඡන්දයෙන් විජේතුංග මහතාට ජනාධිපතිධූරයට පත්වීමට අවස්ථාව ලබා දුන්නාය. ඊට විරුද්ධව වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළේය.
කතානායක එම්. එච්. මොහොමඩ් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් මැයි 7 වැනි දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ හිස් වී ඇති ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස නිවේදනය කළේය. එවිට ආණ්ඩු පක්‍ෂය අගමැති විජේතුංග මහතාගේ නම ජනාධිපතිධූරය සඳහා යෝජනා කළේය. මෙහි දී නැගී සිටි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක රිචඩ් පතිරණ මහතා විරුද්ධ පක්‍ෂය ජනාධිපතිධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් නොකිරීමේ තීරණය විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් ප‍්‍රකාශ කළේය.
සභාව තුළ අති විශාල අත්පොළසන් නාදය පැතිර ගියේ ය. පාර්ලිමේන්තු ගැලරිය පුරා මාධ්‍යවේදීන් ද ඡායාරූප ශිල්පීන් ද රැස්ව සිටියේ ඊළඟ ජනාධිපතිවරයා රටට හඳුන්වාදීමට ය. සභාවේ ලේකම් මේසය ඉදිරිපිට ඡන්ද පෙට්ටියක් ද තබා තිබුණ ද ඉදිරිපත් වූයේ විජේතුංග මහතාගේ නම පමණයි.
දෙපාර්ශ්වයේ ම අත්පොළසන් හඬ මැද කතානායක මොහොමඩ් මහතා නව ජනාධිපතිවරයා ලෙස විජේතුංග මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තේරී පත් වී ඇති බව නිවේදනය කළේය.
විපක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ප‍්‍රධාන පක්‍ෂ විපක්‍ෂ දේශපාලන පක්‍ෂවල නායකයින් සභාව අමතා නව ජනාධිපතිවරයාට සුබපතා කතා පැවැත්වීමෙන් පසු සභාවේ කටයුතු අවසන් විය.
එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එජාපයේ මැති ඇමැතිවරු විජේතුංග මහතා ළඟට විත් අතට අත දී සුබ පතන්නට වූහ. එකල අසනීප ගතියෙන් පසුවූ බණ්ඩාරනායක මැතිනිය අපහසුතාවෙන් පුටුවෙන් නැගිටිනු දුටු විජේතුංග මහතා "මැඩම් ඔහොම ඉන්න" කියා වාඩිවී සිටි අගමැති අසුනින් නැගිට මැතිනිය සිටින විපක්ෂ නායක අසුන දෙසට ගමන් කරන විට එපා එපා මම එන්නම් කියා මැතිනිය සභාව මැද ට පැමිණියාය.
එවිට තමන් දෙසට පැමිණි විජේතුංග මහතා ගේ දෑතින් අල්ලා ගත් මැතිනිය විජේතුංග මහතාට සුබපැතුවාය.
තමාට වඩා ජ්‍යෙෂ්ඨයකු වූ මැතිනියට විජේතුංග මහතා ගරු කළේ ඒ අයුරිනි. තමා ජනාධිපති වුවද එතුමා නිහතමානීව මැතිනිය දෙසට ගමන් කිරීම එදා කාගේත් ප‍්‍රශංසාවට ලක් විය.
මේ සියල්ල මාධ්‍ය ගැලරියේ සිට බලා සිටින මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් දෙස බැලූ විජේතුංග මහතා එන්න පහළට ඇවිත් අපේ පින්තූරයක් ගන්නැයි ඉල්ලා සිටියේය. කිසි දිනක සභා ගර්භය තුළට යාමට නොලැබෙන අවසරය එදා නව ජනාධිපතිවරයා ලෙස විජේතුංග මහතා අපට ලබා දුන්නේය.
ආරාධනය කෙරුණේ සභාව තුළ සිට අතින් සංඥා කර එන්නැයි කීමෙනි. අප සියලු දෙනා අතින් අත්හල කුරුල්ලන් සේ ඉතා වේගයෙන් තට්ටු දෙකක් බැස පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළට කඩාගෙන වැදුණේ නව ජනාධිපති වරයාට අතට අතට දී සුබ පතන විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිනියගේ ඡායාරූපයක් ගැනීමටය.
ඡායාරූප ශිල්පීන්ට සිත් සේ පින්තූර ගැනීමට ඉඩ දුන් විජේතුංග මහතා තමාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට සුහදව පිළිතුරු දුන්නේය.
මාධ්‍යවේදීන්ට ඉඩ ලබාදීම
මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඒ. ජේ. රණසිංහ මහතා දෙපසින් සිට විජේතුංග මහතා මැදිකරගෙන සිටියහ. "ජනාධිපතිතුමා දැන් කවුද අගමැති දකුණු පැත්තෙන් දැයි" මම විමසීමි. දකුණේ සිටියේ වික‍්‍රමසිංහ මහතාය.
"ඒක අපි අද හවසට තීරණය කරන්නේ කලබල නැතුව ඉමු" කියා විජේතුංග මහතා පිළිතුරු දුන්නේය.
පාර්ලිමේන්තුවෙන් ප‍්‍රථම වරට තේරී පත් වූ නව ජනාධිපතිතුමාට එම අවස්ථාවේදීම මාධ්‍ය ගැලරියේ සිටි අපි සියලු දෙනා සුබ පැතීමු. එවිට විජේතුංග මහතා ඒ සුබ පැතුම පිළිගත්තේ "ඔයාලගේ සහයත් මට ඕනෑ" යැයි කියමිනි. ඒ විජේතුංග මහතා ජනාධිපති වූ හැටිය.
ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවසාන භාගයේ විජේතුංග මහතා වයඹ පළාතේ ආණ්ඩුකාර වරයා ලෙස පත් කෙරිණි. බොහෝ අය කීවේ එතුමා විශ‍්‍රාම ගැන්වූ බවය. එහෙත් පෙ‍්‍ර්මදාස මහතා යළි විජේතුංග මහතාට 1989 මහ මැතිවරණයේදී මහනුවර දිස්ති‍්‍රක්කයට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නේ කණ්ඩායම් නායකයා ලෙසය.
එම මැතිවරණයේදී අගමැති ධුරය අපේක්ෂාවෙන් තරග කළේ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි යන මහත්වරුන්ය. මැතිවරණය අවසන් වී අගමැති ධුරය අපේක්ෂාවෙන් ඒ දෙදෙනා මන්තී‍්‍රන්වරුන් හමුවූහ.
මෙහිදී විජේතුංග මහතා ගාමිණී දිසානායක මහතාට කතා කර කීවේ "මගේ සම්පූර්ණ සහාය ඔබතුමාටයි. බය වෙන්න එපා, ඔබතුමාට අගමැති වියහැකි" බවයි. විජේතුංග මහතා තුළ අගමැති ධුරය ගැන කිසිදු හැඟීමක් නොතිබූ බව පසු කළෙක මේ කතාව කියමින් ගාමිණී දිසානායක මහතා කීය.
එහෙත් ජනාධිපති පෙ‍්‍ර්මදාස මහතා අගමැති ධුරයට ආරාධනා කළේ විජේතුංග මහතාටය. ඔහු දැවැන්ත ප්‍රේමදාස හමුවේ නිහඬව අගමැති ධුරය මැනවින් කි‍්‍රයාත්මක කළේය.
නිහඬව සිය දේශපාලන කටයුතු කළ විජේතුංග මහතා ජනාධිපති වූ පසු වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණයක් රටට උදා කළේය.
රට තුළ තිබූ බිය දුරු කළේය. මාධ්‍යයට නිදහස දුන්නේය. මැතිවරණ නිදහසේ පැවැත්විය. එම නිසා එජාපය පරාජය වූ බව කියන ඇතැම් අය විජේතුංග මහතාට ගැරවූහ.
ඔහු ජනාධිපතිව සිටියදී අගමැති ධුරයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සමස්ත පාලනයම භාර දී නියම නායකයකු ලෙස කටයුතු කළේය. කුමාරතුංග මැතිනිය ඔහු ඉදිරියේ අගමැතිවරිය ලෙස දිවුරුම් දුන් විට ඇයට සුබ පතා කුඩා ත්‍යාගයක්ද විජේතුංග මහතා පිරිනැමීය. ඊළඟ ජනාධිපතිවරණයත් සමග දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් උපන් ගමට වී රට තුළ සිදුවන දේ නිහඬව බලා සිටීමට තරම් ඒ මහතා විශිෂ්ඨයෙක් විය.ඔහු ත‍්‍රස්තවාදීන්ට නොබියව ත‍්‍රස්තවාදියා යැයි කීය. මේ කප තිබෙන තුරු ඊළම නොදෙන බව වේදිකාවේ සිට හඬ ගා කීය. ප‍්‍රභාකරන්ට අභියෝග කළේ අහිංසක ජනතාව නොමරා තමා සමග සටනට එන ලෙසය. හොඳින් කතා කර ත‍්‍රස්තවාදියා සමග ගනු දෙනු කළ නොහැකි බව ඔහු අවබෝධ කර ගෙන තිබුණේ අත්දැකීම් වලිනි. සිය පරිණත භාවයෙනි.
"මේක ඉක්මනට ඉවර කර අපේ දරුවන්ට යහපත් සාමකාමී රටක් අපි හදන්න ඕනෑ යැයි කියා එතුමා වේදිකාවෙන් බැස ගියේ කතාව ලිවීමට ගිය මාධ්‍යවේදීන් වෙත පැමිණ "මම කීවා හරිනේ" යැයි කියමිනි.
එතුමා අපේ්ක්ෂා කළ දේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන අයුරු දුටු එතුමාට එහි අවසානය දකින්නට නොලැබිණි.
- රන්ජිත් පද්මසිරි

No comments: