Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 11, 2008

කී‍්‍රඩකයන්ගේ ඉරියව් මම වෙනස් කරන්න ගියා නම් අද අජන්ත මෙන්ඩිස් කෙනෙක් නැහැ

කොළඹ ආනන්දයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් පුහුණුවන දෙස තියුණු දෑස් යොමා සිටින තරුණයෙකි. විටින් විට කී‍්‍රඩකයන්ට වටිනා උපදෙස් ලබා දෙන ඔහු වසර එකහමාරක් තිස්සේ මේ අභ්‍යාසයෙහි නියැලී සිටියි.
පන්දු යවන්නා හොඳින් පන්දු යවන්නේ නම් කඩුලු බිඳ හෙලන්නේ නම් ඔහුගේ ඉරියව් තාක්ෂණිකව වැරදි වුවත් එය වෙනස් කිරීමට මේ තරුණයා ඉදිරිපත් නොවෙයි.
පිතිකරුගේ “ස්ටාන්ස්” එක වැරදි වූවද ඔහු හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු ලබා ගන්නේ නම් ඒ තරුණයා ඉන් සෑහීමට පත් වෙයි.
”අවුරුදු ගණනාවක් පුරුදු වෙලා ආපු ඉරියව් මම වෙනස් කරන්න යන්නේ නැහැ.
ඒවා ඒ ඒ අයට පුරුදු ඉරියව්. ඒවා වෙනස් කරන කි‍්‍රයාව මම අනුමත කරන්නේ නැහැ. මම එහෙම වෙනස් කරන්න ගියා නම් අද අජන්ත මෙන්ඩිස් කෙනෙක් නැහැ” මේ තරුණයා පවසයි.
ලකී රොජර්ස් ප‍්‍රනාන්දු. ශී‍්‍ර ලංකාවේ අභිරහස් පන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස්ගේ මුල් පුහුණුකරු. වර්තමානයේ කොළඹ ආනන්ද විදුහලේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රකට් පුහුණුකරු.
අජන්ත මෙන්ඩිස් කෙනෙක් බිහිකිරීම ලකී රොජර්ස්ගේ ඒකායන අරමුණ වී තිබේ.
ඉතා ටික කලකින් ජගත් සුපිරි තරුවක් බවට පත්වූ කී‍්‍රඩකයෙකුට අත්තිවාරම දැමූවෙක් ලෙසින් ඔහු තුළ කිසිම ආඩම්බරයක් නැත. අජන්ත මෙන් ම ලකී ද නිහතමානීය.
“අජන්ත මුල අමතක නොකරන කී‍්‍රඩකයෙක්. ආසියා කුසලාන ජයග‍්‍රහණයෙන් පස්සෙ එයා මාව හොයාගෙන අපේ ගෙදර ආවා. අජන්ත මට නිතර කතා කරනවා. අදත් මගෙන් උපදෙස් ගන්නවා.”
1990 සිට 1996 දක්වා හය වසරක් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි “නෝත් කෝෆීල්” කි‍්‍රකට් සමාජයට කී‍්‍රඩා කළ ලකී රොජර්ස් ප‍්‍රනාන්දු පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව මොරටු මහා විද්‍යාල කී‍්‍රඩාංගණයේ කි‍්‍රකට් ඇකඩමියක් ආරම්භ කළේය.
කඩලාන සාන්ත අන්තෝනි විදුහලේ වයස අවුරුදු 14 ක පමණ සිසුවෙක් ද එම ඇකඩමියේ පුහුණුවට පැමිණියේය. ඒ අජන්ත මෙන්ඩිස් ය.
”එයා හයියෙන් දුවගෙන ඇවිත් මඳ වේගයෙන් වගේ පන්දුව දැමුවා. බලෙ ඇල්ලුවේ හරිම වෙනස් ආකාරයකටයි. එයාට විශේෂ හැකියාවක් තියෙන බව මට දැක්ක ගමන් ම හිතුණා.
එතකොට අජන්ත ගිය ඉස්කෝලෙ “හාඩ් බෝල්” කි‍්‍රකට් තිබුණේ නැහැ. එයා ගැහුවේ ටෙනිස් බෝල. අජන්ත මගේ ළඟ අවුරුදු දෙකක් පුහුණු වුණා. එයාගේ ඇක්ෂන් එක සරත් ප‍්‍රනාන්දු වගේමයි.”
සරත් ප‍්‍රනාන්දු මොරටු මහා විද්‍යාලය හා වේල්ස් කුමර විදුහලෙන් බිහිවූ කී‍්‍රඩකයෙකි. ඔහු පාකිස්තානයට එරෙහිව නිල නොවන සිව්දින ටෙස්ට් තරගවලදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයෙකි.
”අජන්ත ගිය පාසලේ කි‍්‍රකට් තිබුණෙ නැති නිසා මොරටු මහා විද්‍යාලයට එන්න කියල මම අජන්තට කතා කළා. එයා කැමති වුණා.
මම ඒ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති රණවීර මහත්මයට කිව්ව. එයා තමයි අජන්තව මොරටු මහා විද්‍යාලයට ගත්තේ.
මගේ ළඟ අවුරුදු දෙකක් පුහුණු වෙලා අජන්ත මොරටු මහා විද්‍යාලයට ගිහින් පටන් ගත්තේ 17 න් පහළ කණ්ඩායමෙනුයි.
එම කණ්ඩායමේ නායකයා වුණු අජන්ත ඉන් පසු දිගටම එම විදුහල වෙනුවෙන් කී‍්‍රඩා කළා. එහේදී එයාගෙ පුහුණුකරු වුණේ ප‍්‍රසන්න දිසානායකයි.”
පාසලෙන් සමුගැනීමෙන් පසුව “ඕල්ඩ් මොරටු විද්‍යාලියන්ස්” සමාජයට බැඳුණු අජන්ත මෙන්ඩිස් යුද හමුදාව පිල සමග පැවැති දෙවැනි පෙළ තරගයේදී කඩුලු 7 ක් බිඳ හෙළීමට සමත් විය.
යුද හමුදාව කි‍්‍රකට් කණ්ඩායමෙන් ඔහුට කැඳවීම ලැබුණේ ඒ හපන්කම නිසාවෙනි. ඉක්බිති යුද හමුදාව පිලෙන් ඔහුට ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ දොරටු විවර විණි.
හයවැනි පන්දුව
අජන්ත පන්දු හය හය විදිහකට දානවා කියන්නේ?
”නැහැ. ඔහු දාන්නේ පන්දු පහයි. එකක් “ඕෆ් ස්පින්” එක. අනෙක “ලෙග් බ්‍රේක්” අනිත් එක “ඩූස්රා” තවත් වෙනස් පන්දු දෙකක් දානවා. ඒවාට නම් නැහැ. අජන්ත දැන් හයවැනි පන්දුවකුත් හදාගෙන යනවා. නමක් නැති ඒ පන්දුවත් ළඟදීම දැකගන්න පුළුවන් වේවි.”
අජන්ත මෙන්ඩිස් මෙතෙක් ශිල්ප දක්වා ඇත්තේ ආසියානු කී‍්‍රඩකයන්ට එරෙහිව පමණි. ආසියාවෙන් ඔබ්බට යාමේදී සුදු ජාතික පිතිකරුවන්ට එරෙහිව ඔහු මීට වඩා දස්කම් පානු ඇතැයි ලකී රොජර්ස් විශ්වාස කරයි.
අජන්ත කුඩා වියේදීම ඔහුගේ පියා මිය ගියේය. ඉන් පසු මව තවත් දරුවන් සිවු දෙනෙකු ද සමඟ අජන්ත ඇතිදැඩි කළාය. අජන්ත බොහෝ අගහිඟකම් මැද ඉදිරියට ආ කී‍්‍රඩකයකු බව ලකී කියයි.
ලකී රොජර්ස් ප‍්‍රනාන්දු මොරටු මහා විද්‍යාලයේ සිටි අති දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකි. ඔහුගේ කි‍්‍රකට් ජීවිත කතාව එසේ මෙසේ එකක් නොවේ. දකුණත් පිතිකරුවකු මෙන් ම කඩුලු රකින්නකු ද වන ඔහු විදුහලේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට කී‍්‍රඩා කළේ අවුරුදු 15 න් පහළ කණ්ඩායමට කී‍්‍රඩා කරන අතරවාරයේදී ම ය.
පස් වසරක වර්ණලාභියෙකි. 1988 – 89 මොරටු මහා විදුහල් කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ලකී රොජර්ස් එම කි‍්‍රකට් වාරයේ තරග 10 කදී (ඉනිම 13) ලකුණු 1493 ක් වාර්තා කළේය.
ශතක හතරක් හා ද්විත්ව ශතකයක් ඊට ඇතුළත් වූ අතර ශතක සියල්ලම ලකුණු 150 ට වැඩි විය. (188, 169, 159, නොදැවී 166, නොදැවී 264). ඔහු ශතක ලැබුවේ එකම තරගයක ඉනිම දෙක බැගින් වීම විශේෂත්වයකි.
ලකී රොජර්ස්ගේ මේ දස්කම් පෙළහර කෙළවර වූයේ එම වසරේ ඔහු වසරේ පිට පළාත් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙසින් සම්මානයට පාත‍්‍ර වෙමිනි. මීට අමතරව ඔහු එම වසරේ (1988 – 89) පාසල් දක්‍ෂතම පිතිකරු හා දක්‍ෂතම පන්දු රකින්නා අනු සූරයා ලෙසින් ද තේරිණි.
බංග්ලාදේශයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් කුසලාන තරගාවලියේදී මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කළ ලකී රොජර්ස් එම සංචාරයෙන් පසුව ඕස්ටේ‍්‍රලියාවට ගොස් වසර හයක් එහි “නෝත් කෝෆීල්” සමාජයට කී‍්‍රඩා කළේය.
ආනන්දයේ කී‍්‍රඩකයන් දෙදෙනෙක් සාර්ථකව අජන්ත මෙන්ඩිස් අනුගමනය කරමින් සිටින බව දැන් එම විදුහලේ කි‍්‍රකට් පුහුණුකරු ලෙස කටයුතු කරන ලකී රොජර්ස් අනාවරණය කරයි.
කි‍්‍රකට් පුහුණුකරුවකු ලෙසින් ඔහු දැන් පූර්ණ කාලීනව කටයුතු කරයි. කි‍්‍රකට් පුහුණුකරුවකු ලෙසින් රැකියාවේ ඉදිරියට යාමට ආනන්දයේ විදුහල්පති ඇතුළු එම විදුහලේ කි‍්‍රකට් අංශය තමාට කරන උපකාරයට ලකී රොජර්ස් ප‍්‍රනාන්දු ඔවුනට සිය හෘදයාංගම ස්තූතිය පුදකර සිටී.
ලකී..., වාසනාවට වඩා ඔබ උත්සාහවන්තයෙකි. ඒ උත්සාහයෙන් අනාගතයේ තව තවත් අජන්ත මෙන්ඩිස්ලා බිහිකිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප‍්‍රාර්ථනය කරන්නෙමු. ඔබට ජය!
කතිකාව - වර්නන් ගුණසේකර කැමරාව - රංජිත් ජයවීර

No comments: