Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

පණ්ඩිතයන්ට ලියන කලා විචාර කෙළවර වෙන්නෙ ඇක්සිඩන්ට්වලින්

කේ. කේ. සමන්කුමාර
'නේරංජනේ ඉස්නානේ' කෘතියෙන් පස්සේ දිගු කාලයක් ඔබ නිහඩ වෘතයකට එළැඹී සිටියා. ඒ නිහඩතාවට හේතුව
නේරංජනේ පළවෙන්න ටික කලකට ඉස්සරවෙලා මට එක්තරා කට්ටියකගෙන් නිහඬවිය යුතු බවට අණක් ලැබුණා.
ලංකාවේ ආර්ට් ෆීල්ඩ් එකේ ඉන්න කෙනා හැටියට මා පිළිගන්නා අතරම, දේශපාලනයට හෝ දර්ශනයට අත තියන්න එපා සහ එහෙම අත තියල අහුවෙන්නත් එපා කියන තර්ජනය මට ආවා. මගේ අකල් නිද්‍රාවට ඒක එක හේතුවක් වුණා.
ඊට පස්සේ 2000 දී නේරංජනේ පළවීමත් සමඟ මට අත්විඳින්නට සිදු වූ තර්ජන , ගර්ජන, කැපිලි කෙටිලි, විරෝධතා අති අමානුෂික වේදනා නිසාම මම ' නිහඬ බව' තර කරගත්තා.
ඒ නිහඬ බව තුළ ජීවත්වීම සඳහා සිල්ලර වැඩ ටිකකට පල්ලම් බහින්නටත් මට සිද්ධ වුණා.
ඒ අතරතුර කියවන්නට, අහන්නට, දකින්නට, අත් විඳින්නට, අධ්‍යයනය කරන්නට ලැබුණු දේවල් කැකෑරී ඔළුව ඔද්දල් වී තිබුණත් හිතට එකඟව නිර්මාණයක් මෝචනය කරන්නට හැකියාවක් තිබුණේ නැහැ.
එතකොට මෑතකදි ලියා පළකළ ' සිංහල ජාතියේ වංශකතාව' සංසාරාරණ්‍ය සහ සයිමන් නවත්තේගම ' කෘතිය හිතට එකඟව කළ නිර්මාණයක් නෙමෙයි ද?
ආත්මීය ප‍්‍රකාශනයක් කරන්නට බැරි වුණත් කැකෑරෙන හැඟුම් සමුදාය නිරන්තරයෙන්ම යටපත් කර තබන්නට හැකියාවක් නෑ. ඒක වෙනස් විදිහකට මතුවෙනවා.
ඒක සිද්ධවෙන්නේ පරිවර්තනයකින් හෝ විචාරයකින් වෙන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් පරිවර්තනයක් කළත් විචාරයක් කළත් කාටහරි මුවාවෙලා තමන්ට ඕන දේ යම් පමණකට හෝ කියා ගන්න ලැබෙනවා.
පරිවර්තනයකදී නම් මුල්කතුවරයාට මුවාවෙලා ඉන්න පුළුවන්. විචාරයකදී කතුවරයාට මුවා වෙලා ඉන්න පුළුවන් . ඒ නිසාම මම අලුත් පොතේ සයිමන්ට මුවා වුණා. ඒ මුවාවෙන් ම ආරක්‍ෂාව සැලසෙනවා. කියන්න ඕන දේ කියන්න ලැබෙනවා.
ඒ මුවාවීම පාඨකයාට හානියක්ද නැත්නම් ආශිර්වාදයක්ද?
ඇත්තටම මේ වගේ අවස්ථාවක බැලිය යුත්තේ මුවාවට ගන්නා දේ හරිද? මුවාවට ගත්ත දේ තුළ මාව ප‍්‍රක්‍ෂේපණය වෙනවාද? ඒ තුළ මට ඕන දේ තියෙනවාද? කියන කාරණයි.
සයිමන්ටයි මටයි තියෙන්නේ කියවීම් දෙකක් තමයි. එත් මෙහිදී අප දෙදෙනාටම එකඟවිය හැකි දේවල් වැඩි වශයෙන් තියෙනවා නම්, අපි දෙන්නාගෙම අදහස් බොහොමයක් සමපාත වෙනවා නම් ගැටලුවක් ඇත්තේ නෑ.
මං ඉගෙන ගත්ත ලෝකයෙන් දැන හැඳින ගත්ත මේ මහ පොළොවෙන් උකහා ගත්ත යම් දෙයක් තියෙනවා වගේම සයිමන් ලැබු දේවල් එක්ක ඒවායේ විශාල සමරූපී බවක් තියෙනවා. මේ කෘතිය කොයි පාර්ශ්වයකටවත් ගැටලුවක් නොවෙන්නේ ඒ නිසයි.
මේ කෘතියත් සමග ඔබ යළි ගුහා ගතවන බව නිද්‍රාවට පත්වන බව පසුගිය දිනෙක කියා තිබුණා. " සිංහල ජාතියේ වංශකතාව, සංසාරාරණ්‍ය සහ සයිමන් නවත්තේගම " පිළිබඳ මතුවිය හැකි කතිකාව තුළ පුරුදු සර්පයා නැති වීම අප තේරුම්ගත යුත්තේ කොතැනින් ද?
මේ කෘතිය සම්බන්ධයෙන් මතුවිය හැකි කතා බහක දී මා මුළුමනින් ම පිටමං වී නෑ. ඒත් තාත්තා කෙනෙක් වැඩිවියට පත් වෙච්චි ගෑණු ළමයෙක් ආරක්‍ෂා කරනවා වගේ පොත පස්සෙන් යන්නට මට බෑ.
එහෙම ඕනත් නෑ. පොත ලියා පළ කළාට පසසේ කතුවරයාගේ කාරිය ඉවරයි. එතනින් පස්සේ ආරම්භ වෙන්නේ පාඨකයන්ගෙයි විචාරකයන්ගෙයි කාරිය. විචාරකයන් පාඨකයෙක් නිසා මේ කියවීම් දිහා පැත්තකට වෙලා බලා ඉන්න එකම තමා හොඳ.
මේ කෘතිය පුරාම ' සංකේතීය පියා' යන්න අර්ථ ගැන්වීම එකිනෙකට වෙනස් ස්වරූපයක් ගන්නවා. එහෙම වෙන්නේ ඇයි?
මං ' සංකේතීය පියා' කියන අර්ථය ගන්නේ ලොකු ඇකඩමික් තැනකින් නෙවෙයි. ඒ නිසාම න්‍යායික හෝ සංකල්පීය යම් යම් ගැටලු තියෙන්නට පුළුවන්. එහෙම වැරැද්දක් තියෙනවනම් කවුරු හරි ඒවා පෙන්නල දෙන එක හොඳයි.
මම සංකේතීය පියා වශයෙන් අර්ථ ගන්වා ගන්නේ, මේ පවත්නා සංකේතීය පටිපාටිය.
(Symbolic order) තුළ බලය අන්තර් ග‍්‍රහණය වන්නේ කොහොමද? මනෝ විශ්ලේෂණීය අර්ථයෙන් දරුවා මවත් සමග සම්බන්ධවීමේ කාරණයේදී පවතින ව්‍යාභිචාරී තහනම, දරුවා අනන්‍යතාවය හදාගන්නේ කොතනින්ද යන්න වගේම මේ සියල්ල කැටි කර ගත් හොඳ නරක සියල්ල විනිශ්චය කරණු ඉහළින් සියල්ල තීන්දු කරන ක‍්‍රමවේදය හැටියටයි.
ඒත් ඔබ ' සිරස කෙළින් කථාව ' වැඩසටහනට සම්බන්ධ වු දවසේ කියා සිටියේ මීට හාත්පසින්ම වෙනස් කතාවක් නේ ද?
ඇත්ත. අපට යම් තැනකට ' සංකේතීය පියා' යන්න ආදේශ කරන විට ඒ මාධ්‍ය පෙ‍්‍ර්ක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ හිතන්නට වෙනවා.
' සිරසේ කෙළින් කතාවට' සහභාගි වුණා ම මගෙන් ඔය ගැන ඇහුවම ඒ ඉන්න නියම තාත්තා' කියලා මට කියන්න වෙන්නේ ඒ හින්දයි.
එතනදි මං උත්තර දෙන්නේ ඇකඩමික් බුද්ධිමතුන්ටවත්, ය කණ්ඩායමටවත්, ය - පක්‍ෂයටවත් නෙවෙයි. ඒ අය මං වැරදියිද කියයි ද කියල මං ඒ වෙලාවේ හිතන්නේ නෑ.
සංකේතීය පියා කියන්නේ ' සංකේතීය පටිපාටියට කියලා ඒක අර්ථ දක්වන්න ගියානම් මුලු වැඩසටහනම චොර වෙනවා.
ලංකාවේ රූපවාහිනී වැඩසටහන්වල තියෙන්නේ ම වචන සෙල්ලමක් . ඒ වෙලාවේ මං න්‍යායිකව කොච්චර හරි හෝ වැරදි වුණත් මේ සෙල්ලමෙන් පරාද නොවී ඉන්න මට සිද්ධවෙනවා.
මේ කෘතිය තුළදීත් ඔබ කරන්නේ වචන සෙල්ලමක්මයි කියල අපි යෝජනා කළොත්?
මෙතනදි මට අවශ්‍යවුණේ න්‍යායික හා සංකල්පීය දේවල් හැකිතාක් සජීවි දේකට ආදේශ කරන්න. ඒමගින් එහි ඇති න්‍යායික හා සංකල්පීය දේ සාමාන්‍ය පාඨකයාට සමීප කරවන්න.
එහෙම නැතුව දර්ශනවාදය මනෝ විශ්ලේෂණය, ව්‍යුහවාදය හදාරපු හෝ හදාරමින් සිටින අයට පමණක් වැටහෙන විදියට කලා විචාරය කරගෙන ගියහොත් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. ඇතැම් විට යම් යම් දේ මටත් දුරවබෝධයි.
මමත් ඒ උගුලෙම හිරවෙලයි ඉන්නේ.
සයිමන්ගේ සංකේතීය පියා සරච්චන්ද්‍ර කීවේ සයිමන්ට සරච්චන්ද්‍රගේ ආභාසයෙන් තමන් ගේ අනන්‍යතාව හදාගන්න පුළුවන් වු නිසයි. සයිමන් කොළඹ ආවම ඒක වෙනස් වුණා.
අනෙක් අතට සරච්චන්ද්‍ර ගත්තත් ඒක එයාගෙම ප‍්‍රක්ෂේපණයක් නෙවෙයි. ඒ චාර්ලිස් ගුරුන්නාන්සේ වැන්නවුන් ගෙන් ආව දෙයක්.
ඒ හින්දම සංකේතිය පියා කියන සංකල්පය ඉරිගහලා කොටුගහලා පෙන්නන්න බැරි බව මා පිළිගන්නවා.
ඒත් ඒ පිළිබඳ මහා කතිකාව ඇතුලේ මම නෑ. මං කළේ සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අදාළව පමණක් යම් යම් දේ උකහා ගැනීම පමණයි. එතනදී පරස්පරයන් හා න්‍යායික ගැටලු ඇත්නම් දන්න අයට මැදිහත්විය හැකියි.
මේ කෘතියේ එකතැනක සයිමන් ව පහතට හෙළා ජයන්ත චන්ද්‍රසිරිව ඔසවා තැබීමට උත්සාහ කෙරෙනවා. එහෙම වෙන්නේ ඇයි?
මං එතැනදි ජයන්ත චන්ද්‍රසිරිව උපුටා දැක්වූයේ සයිමන්ගේ " සංසාරාරණ්‍ය අසබඩ' කෘතිය දෙවෙනි පංතියට දාන්න ඕන නිසයි.
බොහෝ දෙනෙක් ඒ පොත සයිමන්ගේ ' හොඳම පොත' හැටියට සැලකුවත් ඒක ' සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' තරම් විශිෂ්ට නෑ. '
සංසාරාරණ්‍යය අසබඩ' තුළ ආගන්තුකයා කෙරෙන් සයිමන් ගේ ජීවිතයේ තිබු අනන්‍යතා අර්බුදය, පෞද්ගලික සංකීර්ණතාවන්, පෙරදිග ගුඪවාදය, ථෙරවාදි බුදුදහම සමඟ බැඳුණු ගෝරිය නිසා තන්ත‍්‍රයානය ඉස්මතු කිරීම වැනි දේ නිර්මාණාත්මකව ප‍්‍රකාශ කරන්නට සයිමන්ට හැකි වුණත් ඇතැම් තැන්වල ග‍්‍රාම්‍ය රහස් පරීක්‍ෂක කතාවක ලක්ෂණ මතුවෙනවා.
ඒ දුර්වලතා සැලකිල්ලට ගත්තහම තාක්‍ෂණික ඌණ සංවර්ධිත බව හැරුණාම ජයන්ත චන්ද්‍රසිරි ' අකාල සන්ධ්‍යා'හි සයිමන් වගේම පරිණතභාවයක් දක්වනවා.
රාවණා සංකල්පය, කාලත‍්‍රය පිළිබඳ දේ ජයන්ත හරි අපූරුවට අරන් එනවා. සයිමන් ' සංසාරාරණ්‍ය අසබඩ' තුළ වැටෙන බාල බොළඳ උපක‍්‍රමවලට ජයන්ත ලඝු වෙන්නේ නෑ. මට එතනදි මතුකරන්න ඕන වුණේ ඒකයි.
සයිමන්ට පසුව යම් සමාජීය තාබහකට ලක් කළ හැකි සාහිත්‍යකරුවෙකු සිටිනවද? සාහිත්‍ය කෘතියක් තියෙනවද?
සයිමන්ට පසුව ඒ ධාරාවේ කතා බහකට ලක්කළ හැකි කෘතියක් ලෙස පළ වුණේ මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' පමණයි.
සයිමන් මතු කළ ආගන්තුකයා, සංකේතීය පියා වගේ ම බත්තලංගුණ්ඩුවේ කතෝලික සුචරිතවාදය තුළ මතුවන නිදහස්කාමය හරි අපූරුවට මතුකරනවා. යම් අවස්ථාවල දේශපාලන කියවීමකට යනවා.
එතනදි පතිරාජගේ ' බඹරු ඇවිත්' මතක් වෙනවා. තවත් වෙලාවක ' සංසාරාරණ්‍ය අසබඩ' මතක් වෙනවා.
තවත් වෙලාවකට ' සොබාර් ද ගී‍්‍රක්’ මතක් වෙනවා. යම් යම් වෙනත් අඩලුහුඩුකම් තිබුණත් ' බත්තලංගුණ්ඩුව' මෑතකදී බිහිවුණු හොඳ පොතක්.
පි‍්‍රයාන් ආර්. විජේබණ්ඩාර

No comments: