Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 29, 2008

එන්න වවුනියාවට ඔබ ආරක්‍ෂිතයි

රටට, රටේ ජනතාවට ශාපයක් වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ‘ඊලාම් සිහිනය’ බොඳ වී යාමට තව ඇත්තේ නිමේෂයකි.
සිය ජීවිතය බේරාගැනීමට බංකරයෙන් බංකරයට හැංඟි මුත්තන් කිරීමට සිදු වී ඇති කොටි නායකයාට අද මරණයේ බියකරු සෙවණැලි පෙනීමට පටන්ගෙන ඇත.
ඒ නිසාම සිය ජාතියේ ම අහිංසක ද්‍රවිඩ වැසියන්ව ප‍්‍රාණ ඇපයට තබා ගෙන තම ප‍්‍රාණය ආරක්‍ෂා කර ගැනීමට ප‍්‍රභාකරන් නිර්ලැජ්ජිත උත්සාහයක් ගනිමින් සිටී.
මේ මොහොත වන විට ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ ‘ගැළවුම්කාරයා’ නොව ‘දෙමළ ජනතාවගේ ලොකුම ‘ශාපය’ බවට පත්ව ඇත.
ප‍්‍රභාකරන් සහ ඔහුගේ මිනී මරු කොටි සංවිධානයේ ග‍්‍රහණයෙන් මිදී හැකි ඉක්මනින් කිලිනොච්චියේ සිට වවුනියාවට පැමිණෙන ලෙස රජය කිලිනොච්චියේ සිරවී සිටින ජනතාවගෙන් ඉල්ලා ඇත.
එයට ප‍්‍රතිචාර දක්වමින් මේ වනවිටත් දෙමළ ජනයා ප‍්‍රභාකරන්ගේ ග‍්‍රහණයෙන් මිදී වවුනියාවට එමින් සිටී.
එසේ පැමිණෙන ජනතාවට රජයේ පාර්ශ්වයෙන්, ආරක්‍ෂක හමුදා වෙතින් ලැබෙන වරප‍්‍රසාද පහසුකම්, ආරක්‍ෂාව කවරෙක් ද උතුරේ කෙරෙන මානූෂීය යුද මෙහෙයුම්වලින් පසු ඒ අවතැන් වූ ජනයා යළි ඒ ඒ ප‍්‍රදේශවල කෙසේ පදිංචිකරනුයේ ද යන්න සොයා බැලීම මෙවර ‘සතියේ ගවේෂණය’ ඔස්සේ සිදු කෙරේ.
වවුනියාවට එන ජනතාවට හැම පහසුකමක්ම සළසනවා
මහින්ද සමරසිංහ - ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ඇමැති
ශ‍්‍රී ලංකාව තුළ අභ්‍යන්තරිකව අවතැන්ව සිටින පුද්ගලයින්ගේ (ගැටුම් හේතුවෙන් දිගු කාලයක් තිස්සේ අවතැන්ව සිටින) ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් සෙවීම අරමුණු කර ගෙන ජාතික උපදේශක සභාවක් , සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලයේ සහාය ඇති ව ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා.
2006 වසරේ අපෙ‍්‍ර්ල් මාසයට පෙර අවතැන්වූ පුද්ගලයන්ගේ සුබ සාධනය උදෙසා වන ජාතික ප‍්‍රතිපත්තියක් සහ කි‍්‍රයාකාරී සැලැස්මක් නිර්මාණය කර ගැනීම මෙහි ප‍්‍රධාන ඉලක්කය වෙනවා.
මෙම දින 2 1/2ක වැඩසටහනේ ආරම්භක සැසිය සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වුනා.
දැනට වසර 15කට අධික කාලයක් තිස්සේ අභ්‍යන්තරිකව අවතැන් ව සිටින පුද්ගලයින්ගේ තත්වය පිළිබඳව ජාතික උපදේශක සභාව සිය විශේෂ අවධානය යොමු කරන අතර එය එම ජන කණ්ඩායම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය දක්වන උනන්දුව හා කැපවීම ප‍්‍රදර්ශනය කරන්නක්.
මීට අමතරව 2006 අපෙ‍්‍ර්ල් මාසයට පසුව යුද තත්ත්වයක් හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීම ද මෙහි අරමුණක් වේ.
නැඟෙනහිර පළාත් තුළ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කරවීම 80% - 90% තරම් දුරට අවසන් ව ඇති අතර දීර්ඝ කාලීනව අවතැන් ව ඇති ජනතාවගේ ගැටලුව විසඳීම සඳහා මෙහි දී වැඩි අවධානයක් යොමු කරනවා.
යාපනය ,මන්නාරම, ති‍්‍රකුණාමලය, වව්නියාව, අනුරාධපුර, පුත්තලම,, මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්තුළ අභ්‍යන්තරව අවතැන් ව ඇති පුද්ගලයින්ගේ අවශ්‍යතා පිළිබඳව මේ අනුව විශේෂ අවධානය යොමු වෙනවා.
මීට අමතරව 2007 දෙසැම්බර් මාසය තුළදී ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵළ මෙම උපදේශක සභාවට අවශ්‍ය පසුබිම් තොරතුරු සපයනු ලබයි.
දේපල අයිතිය, අභ්‍යන්තරව අවතැන් වී ඇති පුද්ගලයින් සඳහා ස්ථිරසාර සාමයක් ගොඩනැගීමට ඇති අභියෝග, ආධාර දෙන සංවිධානවල කාර්යභාරය, හා දීර්ඝ කාලීන ව අවතැන් වී සිටින පුද්ගලයින්ගේ ගැටලු ව නිරාකරණය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ කාර්යභාරය ආදී විෂයයන් මෙහිදී විශේෂ වශයෙන් සාකච්ඡා කෙරේ.
එසේම අභ්‍යන්තර ව අවතැන් ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම මෙන්ම අන්තර්ජාතික මට්ටම්වලට අනුකූලවන පරිදි එම පුද්ගලයන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීම සහ මානුෂීය ආධාර ලබන තත්ත්වයක සිට ස්ථිරසාර සංවර්ධනයක් කරා අවතැන්ව ඇති පුද්ගලයන්ගේ ජීවිත පරිවර්තනය කිරීම යන සංකල්ප මෙම උපදේශක සභාවේ සාකච්ඡාවට ගන්නවා.
සැප්තැම්බර් 25 මෙම උපදේශක සභාව අවසන් වුණා.
එවගේම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නොවන සංවිධානවලට දැනුම්දී තිබෙනවා සැප්තැම්බර් 29 වෙනිදාට පෙර වව්නියාවට එන්න කියලා. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගද සකස් කර තිබෙනවා.
ඒ වගේම කිලිනොච්චියේ ගැටුම්කාරී තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවට ද වව්නියාවට ඒමට ප‍්‍රවේශ මාර්ග සාදා දී තිබෙනවා.
මේ වන විට වව්නියාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙම ප‍්‍රදේශවල දිසාපතිවරු හරහා මෙම සියලු පහසුකම් ලබා දීම සිදු කෙරෙනවා.
නැඟෙනහිර මුදාගත් සේම කිලිනොච්චියද මුදා ගන්නවා
එස්.එම්.චන්ද්‍රසේන - ජාතිය ගොඩ නැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
මේ වන විට කිලිනොච්චියේ ත‍්‍රස්තවාදී හිරිහැරවලට ලක්වන ජනතාව වව්නියාවට පැමිණෙමින් සිටිනවා.
එසේ පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු සියලු අනෙකුත් පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රජය සූදානම් කර තිබෙනවා.
මේ මානුෂීය මෙහෙයුම් ආරම්භ වුනේ එදා මාවිල් ආරු සොරොව්ව බේරා ගැනීමට ගත් උත්සාහයේ සිටයි.
එවගේම මුතූර්, වාකරේ, තොප්පිගල යන නැඟෙනහිර ප‍්‍රදේශයෙන් ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන පීඩාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන සලසා දෙමින් නැවත ඔවුන් එම ප‍්‍රදේශවල පදිංචි කිරීම සිදු කළා.
අද එම ප‍්‍රදේශවල ජනතාව කිසිදු කරදරයකින් තොරව එම ප‍්‍රදේශවල ජීවත් වනවා. ඒ පළමු අදියර.
ඊළඟ අදියර ලෙස කිලිනොච්චිය මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම් මේ වන විට සිදු කෙරෙනවා. එල්.ටී.ටී.ඊ. ය කිලිනොච්චි ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාව බලෙන් රඳවා ගෙන ඉන්නවා.
ඔවුන් එයින් මුදා ගැනීමේ අවශ්‍යතාවයයි අපට තියෙන්නේ.එනිසා මේ වන විට එම ජනතාවට වව්නියාවට පැමිණෙන ලෙස රජය දැනුම් දී තිබෙනවා. අවශ්‍ය ප‍්‍රවේශ මාර්ග විවෘත කර තිබෙනවා.
එසේ වව්නියාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.
නැඟෙනහිර ජනතාව එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මුදා ගෙන නැවත එම ජනතාව සිටි මුල් ප‍්‍රදේශවල ම පදිංචි කර අවශ්‍ය පහසුකම් ලබා දුන් ආකාරයටම කිලිනොච්චිය ද ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගෙන එහි සිටින සාමාන්‍ය ජනතාව නැවත එම ප‍්‍රදේශවල පදිංචි කර අවශ්‍ය පහසුකම් ලබා දීමයි අපේ අරමුණ.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම්.
ඒවගේම එම ප‍්‍රදේශවල මාර්ග, විදුලිය, ජල සම්පාදනය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත‍්‍රයන්ද දියුණු කිරීමට බලාපොරොත්තු වනවා.
කොටි ග‍්‍රහණයෙන් පලා එන්නන්ට අපෙන් ආරක්‍ෂාව ලැබෙනවා
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා - 58 වැනි සේනාංකාධිපති සහ කමාන්ඩෝ බළකායේ අණදෙන නිලධාරී
අනාරක්ෂිත ප‍්‍රදේශවල සිට කොටින්ගේ ග‍්‍රහණයෙන් පලාඑන ඕනෑම සිවිල් වැසියෙකුට ආරක්ෂාව දීමට යුද හමුදාවට හැකියි. ඒ සඳහා යුද හමුදාව නිරන්තරයෙන් සූදානම්.
‘කිලිනොච්චි සිට පැමිණෙන සිවිල් වැසියන්ට මන්නාරම සහ ඒ අවට සරණාගත කඳවුරු රජය විසින් සකස් කර තිබෙනවා. ඉන් කිහිපයකම ජනතාව දැනටමත් ආරක්ෂිතව සිටිනවා’.
ආහාර පාන, සෞඛ්‍ය ආරක්ෂණ, ක‍්‍රම ඇතුලු මූලික පහසුකම් සියල්ලම මේ පුද්ගලයන්ට ලැබෙනවා.
ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් කොටි බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ සියලු දෙනාම කොටින්ගේ ග‍්‍රහණයෙන් පලාඑන ලෙස හමුදාව ඉල්ලා සිටිනවා.
ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම සහ උපදෙස් මත සරණාගතයින් වෙනුවෙන් වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක වෙනවා.
මෙලෙස කොටි ග‍්‍රහණයෙන් පලාඑන පිරිස් යුද හමුදාව සමඟ ඉතා සුහදව සමීපව වැඩකටයුතු කරනවා. අපි ඔවුනට මිනිසුන් ලෙස ඉතා ගෞරවයෙන් සලකනවා.
අවශ්‍ය පහසුකම් සපයා අවසන්
ජගත් පුෂ්පකුමාර - ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
‘නැඟෙනහිර ප‍්‍රදේශවල අවතැන්වූ ජනතාවගෙන් නොයෙක් ප‍්‍රශ්න මතුවුණා.
නමුත් මේ වන විට නැඟෙනහිර වාකරේ ප‍්‍රදේශයේ අවතැන් වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසාදී තිබෙනවා.
නැඟෙනහිර ප‍්‍රදේශයේ අවතැන්වූ ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදුන්නා පමණක් නොව නැවත පදිංචිකිරීම් ද සිදුකළා.
මේ වන විට වව්නියාවට කිලිනොච්චි ප‍්‍රදේශයෙන් පැමිණෙන ජනතාවට ද ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය හරහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා.
නැඟෙනහිර අවතැන් වූ ජනතාවට ලබාදුන් සහන සියල්ල උතුරු පළාතේ අවතැන් වූ ජනතාවටත් ලබා දෙනවා.
මේ සඳහා රජය පූර්ණ අනුමැතිය දී තිබෙනවා.
පහසුකම් සපයන්න රජය සූදානම්
රිසාඩ් බදියුදීන් - නැවත පදිංචි කරවීමේ හා ආපදා සහන සේවා අමාත්‍ය
‘කිලිනොච්චියේ සිට අවතැන් වූවන් ලෙස වව්නියාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය සූදානම්.
කිසිදු ජාතිභේදයකින් තොරව මේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අපි කැපවී සිටිනවා.
ඒ වගේම මාසයක් ඇතුළත කිලිනොච්චියෙන් අවතැන් වන සියලු ජනතාව වව්නියාවට පැමිණෙතැයි බලාපොරොත්තු වෙනවා.
මෙසේ පැමිණෙන සියලු දෙනාටම අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.
මානුෂීය යුද මෙහෙයුම අවසන් වූ පසු කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම උතුර යන ප‍්‍රදේශවල සිටි සියලුම ජනතාවට යළි තමන්ට හිමි ඉඩකඩම් වල නිවාස වල පදිංචියට යාමට රජය කටයුතු කරනවා.
ඒ ගැන අවිශ්වාසයක් ඇතිකර ගත යුතු නෑ. ඔවුන්ව රැකීම අපේ යුතුකමක්.
ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රසාදය අද ඇත්තේ ජනාධිපතිතුමාට
සුසන්ත පුංචිනිලමේ - ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පැවැති වාකරේ, මාවිල්ආරු වැනි ප‍්‍රදේශ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ජනතාව නැවැත වරක් එම ප‍්‍රදේශවල පදිංචි කරවීම සිදු කළා.
අද වන විට එම ප‍්‍රදේශවල ජනතාව තම තමන්ගේ ජීවනෝපාය කරගනිමින් සැහැල්ලු ජීවිතයක් ගත කරනවා.
මෙහිදී මෙම අවතැන් වූ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් රජය ලබා දුන්නා. නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ දී ජනතාව ඔවුන්ට කළ එම උපකාරවලට කෘතගුණ සැලකුවා.
ඒ වගේම මෙම මානුෂීය මෙහෙයුමත් සමඟ මන්නාරම, වව්නියාව පදිංචි ජනතාව අවතැන්වූවන් ලෙස සිවිල් පරිපාලන ප‍්‍රදේශවලට පැමිණි විට එම ජනතාවට තාවකාලික නිවාස ලබාදී අනෙකුත් සියලු පහසුකම් ද ලබාදී තිබෙනවා.
තවද කිලිනොච්චි, මූලතිව්වලින් ඉවත්වන ජනතාව නැවැත එම ප‍්‍රදේශවල පදිංචි කරවීමටත්, පහසුව අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටත් අපි සූදානමින් සිටිනවා.
ත‍්‍රස්ත ග‍්‍රහණයේ පැවැති ප‍්‍රදේශ එම ග‍්‍රහණයෙන් මුදා ගෙන ඉතා ඉක්මනින් එම ප‍්‍රදේශවල ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳ සියලු සංවිධාන අතිගරු ජනාධිපතිතුමාට සහ රජයට ප‍්‍රශංසා කර තිබෙනවා.
යුද්ධය අවසන් වූ වහාම ජනතාව යළි එහි පදිංචි කරනවා
සාලින්ද දිසානායක - ජාතිය ගොඩනැඟීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
ජාතිය ගොඩ නැඟීමේ අමාත්‍යංශය හරහා කි‍්‍රයාත්මක කර ඇති ‘ජාතික සවිය’ වැඩ පිළිවෙළ යටතේ යුදමය තත්ත්වයන් නිසා අවතැන්වූ සියලු ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම සිදු කරනවා.
ඒ වගේම මේ වන විට කිලිනොච්චියේ සිට වව්නියාවට පැමිණෙන අවතැන් වූ ජනතාව තාවකාලික කදවුරුවල නතර කර ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.
තවද යුදමය තත්ත්වය නිමා වූ වහාම නැවැත එම ජනතාව පෙර සිටි ප‍්‍රදේශවල පදිංචි කර අවශ්‍ය යටිතල පහසුකම් ද සැපයීමට රජය සූදානම්.
කොටින්ගෙන් පීඩාවිඳි ජනතාවට අප මිනිසුන් ලෙස සළකනවා
ගුණරත්න වීරකෝන් - ජාතිය ගොඩනැගීමේ සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
‘ත‍්‍රස්තවාදී ක‍්‍රියා නිසා අවතැන් වූ උතුරු සහ නැඟෙනහිර ජනතාව බරපතල ප‍්‍රශ්න රැසකට මුහුණ පෑවා.
මේ ප‍්‍රශ්නවලින් ජනතාව මුදා ගෙන ඔවුන්ට සහන ලබාදීමට රජය මෙතෙක් ගත් කි‍්‍රයා මාර්ග සාර්ථකයි.
මේ වන විට විශේෂයෙන් කිලිනොච්චියේ සිට වවුනියාවට පැමිණෙන ජනතාවට පූර්ණ ආරක්ෂාව ලබාදීමටත් අනෙකුත් දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් රජය අදාළ අමාත්‍යාංශ හරහා කි‍්‍රයාත්මක වී තිබෙනවා.
අවතැන් වූවන්ගේ ප‍්‍රශ්නය ආණ්ඩුවට අලුත් දෙයක් නොවේ
මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ
ආරක්ෂක ලේකම්වරයා ඉතා පැහැදිලි ලෙස කියා ඇති පරිදි ශී‍්‍ර ලංකා ආණ්ඩුවට අවතැන් වූවන්ගේ ප‍්‍රශ්නය අලුත් දෙයක් නොවේ.
එයට අත ගසා විසඳුමක් දීම ද බරපතල ගැටලුවක් වේ.
යාපනයේ අවතැන් වූ ලක්ෂ හතරක් යළි පදිංචි කරවීම එදා සිදු කෙරුණි. මේ නොබෝ දා නැඟෙනහිර අවතැන් වූ අය ඉතා සීග‍්‍රයෙන් නැවත පදිංචි කොට ඔවුන්ගේ දුක සැප වෙනුවෙන් සියලු දේ ඉටු කළේ ය.
කිලිනොච්චියේ සිටින ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මේ අන්දමින් රැක බලා ගැනීම සිදු කෙරෙනු ඇත.
සතියේ ගවේෂණය මෙහෙයවූයේනදීකා දිල්හානි ඩයස්, භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්

No comments: