Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

ශබ්ද දූෂණ නීතියට අපි ගාවන්න එපා - පාඨලී චම්පික රණවක - පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති

කොළඹ කුණු ප‍්‍රශ්නයට ඇති විසැඳුම පිළිබඳත්, ශබ්ද විකාශන යන්ත‍්‍ර තහනම පිළිබඳ හෙළ උරුමයට එල්ල වී ඇති චෝදනා පිළිබඳත්, ප්ලාස්ටික් හා ජංගම දුරකථන සඳහා බදු අය කිරීම පිළිබඳත් පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේ කරුණු දක්වයි.
අගනුවර වගේ ම තදාසන්න ප‍්‍රදේශවලත් පොදුවේ සමස්ත රටටත් කැලිකසළ ප‍්‍රශ්නය ප‍්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. ඔබ අමාත්‍යාංශය යටතේ මොනවගේ කි‍්‍රයාමාර්ග ද මෙයින් ගැලවීමට අරගෙන තියෙන්නේ?
පළමුවෙන් ම කියන්න ඕනේ මේ කැලිකසළ ප‍්‍රශ්නය අපේ අමාත්‍යාංශයට අයිති එකක් නෙමෙයි. මෙතෙන්දී අපේ අමාත්‍යාංශයට තියෙන්නේ කැලිකසළ ප‍්‍රශ්නය විධිමත් අයුරින් විසඳන්නේ නැත්නම් ඒ පිළිබඳ නීතිමය පියවර ගැනීමේ කාර්යයි.
කොහොම වුණත් අපි අවුරුදු තුනක කි‍්‍රයාකාරි සැලැස්මක් හදලා තියෙනවා. “2012 දී කසළින් තොර ශ‍්‍රී ලංකාවක්” කියලා.
ඒ යටතේ අපි මුදල් වෙන්කරලා තියෙනවා. අපේ අමාත්‍යාංශයත්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයත් එකතුවෙලා මේ ප‍්‍රශ්නය විසඳීමට අරමුණු කරගෙන තියෙනවා.
කොළඹ කසළ ප‍්‍රශ්නය ගත්තම එකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි පසුගිය අවුරුදු හැටක පමණ කාලය තුළ කොළඹ කසළ ගැටලුව විසඳන්න පියවර අරගෙන නැහැ.
ඒකට ප‍්‍රධාන වශයෙන් දේශපාලන අගතිය බලපාලා තියෙනවා. ඒ කියන්නේ කුණුවලින් මුදල් හම්බ කරන්න දේශපාලඥනයෝ කටයුතු කරලා තියෙනවා. ඒ හැරෙන්න ප‍්‍රශ්නය විසඳන්න උනන්දු වුණේ නැහැ.
දෙවනුව මේ කසළවල සාමාන්‍ය සංයුතිය බලපුවාම පෙනෙන දෙයක් තමයි, දිරායන ද්‍රව්‍යවලින් කොම්පෝස්ට් පොහොර හදනවා නම් තවත් සියයට 40% ක විතර අපද්‍රව්‍ය ඉතිරි වෙනවා.
ඒ අපද්‍රව්‍ය තැන්පත් කිරීමට තැනක් නැහැ. ඒ තැන්පත් කිරීම සඳහා අතීතයේ දරන ලද කි‍්‍රයා මාර්ගයන් “කොළඹ කුණු අපට එපා” කියන සටන් පාඨය යටතේ දේශපාලනඥයෝ මැදිහත් වෙලා වළක්වලා තියෙනවා.
ඒකේ ප‍්‍රතිඵලය වශයෙන් කොළඹ විතරක් නොවෙයි කොළඹ තදාසන්න ප‍්‍රදේශවලත් දැවැන්ත කුණු කඳු නිර්මාණය වෙලා තියෙනවා.
අදත් මේ ප‍්‍රශ්නය විසඳන්න හැදුවත් මේ දේශපාලනය ඒකට ඉඩ දෙන්නේ නැහැ. උද්ඝෝෂණ ආදිය මඟින් මේක වළක්වනවා.
ඒ වැළැක්වීමේ ප‍්‍රතිඵලයක් විදිහට අදත් මේ ප‍්‍රශ්නය බරපතළ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.
ඒ වාගේ ම අද තියෙන තවත් ප‍්‍රවණතාවයක් තමයි පිට පළාත්වල කුණු කොළඹට ගෙනත් දැමීම. ප‍්‍රශ්නය තවත් සංකීර්ණ කරන්න එය හේතුවෙලා තියෙනවා.
පසුගිය සති කිහිපය තුළ බ්ලුමැන්ඩල් කුණු කන්ද පිළිබඳ කතාව නැවතත් ඇරඹුණු බව පේනවා. මෙතැන ඇති වූ ගින්නක් නිසා ප‍්‍රදේශයේ ජනතාව විශාල ලෙස සෞඛ්‍ය තර්ජනයන්ට මුහුණපෑවා. මොනවගේ සැලැස්මක් ද මේ ස්ථානය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කරන්න ඉන්නේ?
මෙතැන ප‍්‍රධාන හේතුව තමයි අවුරුදු 20 ක් තිස්සේ කොළඹ කුණුවලට විසඳුමක් නැතිවීම. මම කලින් කිව්වා වගේ විසඳුමකට යන්න දේශපාලනඥයෝ ඉඩ දෙන්නේ නැහැ.
මෙතන තියෙන කුණු කන්ද ගිනි අරගෙන එකසිය ගණනක් රෝහල් ගතවීම කියන එක නොවේ මෙතැන තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය. මහ සාගරයේ කිලෝමීටර් 60 ක් දුරට දැවැන්ත විෂ ජල පද්ධතියක් ගොඩනැගිලා තියෙන එකයි.
මේකට එරෙහිව නගර සභාවට නඩු පවරන්න අපිට පුළුවන්. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව කුණු කන්ද මෙතැන තියලා බැහැ.
මේක වෙනත් තැනකට ගෙනියන්න ඕනේ. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම තැනක් නැති එකයි.
අපි බලාපොරොත්තු වෙනවා කොම්පෝස්ට් පොහොර සෑදීමේ සහ වෙනත් බලශක්ති ව්‍යපෘතියකුත් මෙතැන කරන්න. නමුත් ඒවාට පවා ඉඩකඩ ප‍්‍රශ්නය බලපාලා තියෙනවා.
උදාහරණයක් ලෙස අපි මුතුරාජවෙල කුණු දාන්න තෝරා ගත්තා. නමුත් ඒක අධි ආරක්ෂිත කලාපයක් කිරීම නිසා ඒකත් දැන් ඇහිරිලා තියෙනවා.
මේ ප‍්‍රශ්නයට සම්පූර්ණයෙන් ම වගකියන්න ඕනේ අවුරුදු 60 ක් මේ නගර සභාවල පාලනය ගෙන ගිය අයයි.
අවුරුදු 20 ක් තිස්සේ මේ අදාළ ක්ෂේත‍්‍රවල දේශපාලනඥයොයි. 1997 දිත් මේ ප‍්‍රශ්නය විසඳන්න හදද්දී සමහරු එකතුවෙලා මේක කඩාකප්පල් කළා.
කසළ ප‍්‍රශ්නයේ දී ඔබ වඩාත් කතා කළේ දේශපාලන බාධා කිරීම් සම්බන්ධවයි. දැන් ඔබත් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. දේශපාලන බාධා කිරීම් වළක්වා ගන්න බැරි ඇයි ?
දැනට මෙතෙන්ට බලපාලා තියෙන ප‍්‍රධානත ම ප‍්‍රශ්නය දේශපාලන අගතියයි. නැතිනම් මේ සඳහා මූල්‍ය සම්පත්, තාක්ෂණය ආදිය ලෑස්තියි. ඒ සම්බන්ධ පැහැදිලි වැඩසටහනකට අපි ලෑස්තියි.
නමුත් දේශපාලන බාධක මේකට හරස්වෙලා තියෙනවා. නමුත් ඒ දේශපාලන ගැටලු තියෙන තැන්වල අපි එල්ලිලා ඉන්නේ නැති ව ඒ ගැටලු නැති තැන්වලට විසැඳුම් සොයනවා.
ඒ අනුව අපි ප‍්‍රශ්න නැති ස්ථාන හැත්තෑ ගණනක් තෝරාගෙන කටයුතු කරගෙන යනවා. ඒ හැරෙන්න අනෙක් පිරිස්වලට අපි මේකේ තියෙන යථාර්ථය කියලා දෙනවා.
ඇත්තෙන් ම කොළඹ තියෙන කුණු ප‍්‍රශ්නය විසඳන්න දෙන්නේ නැති දේශපාලනඥයන්ට මේ රටේ ජනතාවගේ කිරට ලෙයට වස විෂ දැමීමේ ශාපයට ඉදිරියේ දී වන්දි ගෙවන්න සිද්ධවේවි.
ශබ්ද විකාශන යන්ත‍්‍ර තහනම නිසා හිමිනමක් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වුණා. බොහෝ දෙනා කියන්නේ හෙළ උරුමය විසින් ඇති කරපු තත්ත්වයක් මත මේක සිද්ධ වුණා කියලයි?
ශබ්ද දූෂණය සම්බන්ධ නීති රීති කිසිදෙයක් අපි මැදිහත් වෙලා පනවලා නැහැ. දේශපාලන විරුද්ධවාදීන් ජාතික හෙළ උරුමයට මඩගහන්න ජාතික හෙළ උරුමය එහෙම කරලා තියෙනවා කළා කියනවා.
ඇත්තෙන් ම ඒ නීතිය පණවලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. 1995 වර්ෂයේදී වැලිගම මුස්ලිම් පල්ලියක ඇතිවුණු සිදුවීමක් මතයි ඒ. ඒ අනුව පාරිසරික පදනම කියන රාජ්‍ය නොවන සංවිධානය ඒ නඩුව අරගෙන ගියා.
පාරිසරික පදනම ගෙන යන කි‍්‍රයාමාර්ග මත උසාවිය කි‍්‍රයාමාර්ග ගත්තා. ඒකට භික්ෂුන් වහන්සේනමකුත් හසුවුණා.
ඒක අවාසනාවන්ත සිදුවීමක්. මේකට ජාතික හෙළ උරුමයේ කිසි ම සම්බන්ධයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය කි‍්‍රයාත්මක කරන්නේ පොලිසියයි.
ආණ්ඩුව පොලිතින් තහනමට යොමුවුණා. ඇත්තෙන් ම මේ මඟින් සිදුවුණේ රුපියලට ශත පනහට තිබුණු පොලිතින් බෑගය රුපියල් 3, 4 ක් වීම පමණක් නේද? අද ඒ වැඩපිළිවෙළ අකී‍්‍රය වෙලා ද?
ඇත්තෙන් ම පොලිතින් තහනම් කරලා නැහැ. ඝනකම මයික්‍රෝන 20 ට ඉහළ දමා තියෙනවා විතරයි. ඒක කරලා තියෙන්නේ ප‍්‍රතිචකී‍්‍රකරණයේ පහසුව තකායි.
නමුත් ඒක වෙලා නැහැ කියන එක නම් අසත්‍යයක්. අපි ඒ ගැන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එකතුවෙලා සමීක්ෂණයක් කළා.
ඒ අනුව පොලිතින් භාවිතය වැඩිවීමේ ශීඝ‍්‍රතාව හොඳට ම අඩුවෙලා තියෙන බව අපට පෙනී ගියා. ඒ කියන්නේ පොලිතින් භාවිතය සංතෘප්ත තත්ත්වයකට පත්වෙලා තියෙනවා.
ඒකෙන් අදහස් වෙන්නේ වැඩිවීම පාලනය වෙලා තියෙනවා කියන එකයි. ඒවාගේ ම ප‍්‍රතිචකී‍්‍රකරණයත් ඉහළ ගිහින් තියෙනවා.
ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා අද කර්මාන්තශාලා බිහිවෙලා තියෙනවා. අපි ලබන අවුරුද්දේ නව ක‍්‍රමවේදයක් මගින් පොලිතීන් භාවිතය තවත් අඩු කරනවා. ප‍්‍රතිචකී‍්‍රකරණය තවත් වැඩි කරනවා.
ප්ලාස්ටික් සහ ජංගම දුරකථනවලට බදු අය කරන්නේ කුමන හේතුවක් මත ද?
මෙහෙමයි, ප්ලාස්ටික්, පොලිතින් සහ ඉලෙක්ටෙ‍්‍රානික් භාණ්ඩ ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න වෙලා තියෙනවා. ඒවා කසළ ගොඩට එක්වීමෙන් සිද්ධ වෙන්නේ දරුවන්ගේ ශරීරවලට එකතුවීමයි.
දැන් අනුරාධපුරයේ තිබෙන වකුගඩු රෝගයට හේතුව තමයි ජලයට ඛනිජ එකතුවීම. මේ ජංගම දුරකතන බැටරිවලින් කැඩිනියම් ලෝහය ජලයට එකතු වෙනවා.
එතකොට අනික් යන්ත‍්‍රවලිනුත් මේක සිද්ධ වෙනවා. මේවාගේ යන්ත‍්‍ර කෝටි ගණනක් අපේ මහපොළොවට එකතු වෙනවා. මේවායින් අපේ දරුවෝ ලෙඩ වෙනවා.
මේ ගැන පරීක්ෂා කරලා අපි මේ වැඩපිළිවෙළ 2011 දී ආරම්භ කරන්නයි සිතාගෙන සිටියේ. නමුත් දැන් ම ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. මොකද මේ ප‍්‍රශ්නයට දැන් ම කි‍්‍රයාත්මක නො වුණහොත් අනුරාධපුරයේ තිබෙන තත්ත්වය වගේ තත්ත්වයක් මෙහාට එන්නත් පුළුවන්.
දැන් එතෙන්දී තියෙන ගැටලුව තමයි කවුද මේ ප‍්‍රතිචකී‍්‍රකරණ වැඩපිළිවෙළට බරපැන දරන්නේ කියන එක. අපි ඒකට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලුවාම මුදල් අමාත්‍යාංශයට පුළුවන්කම තියෙනවා පාන් පිටි, කිරි පිටි ආදිය මත බදු පනවලා ඒ මඟින් අපිට මුදල් ලබා දෙන්න.
නමුත් අපි කල්පනා කළා පාන්පිටි, කිරිපිටි ආදිය මත ඒ බදු පනවන්නේ නැති ව භාවිත කරන උපකරණ සහ පොලිතින් ආදිය මත බද්ධක් පනවන්න. ඒ මඟින් මුදල් ලබාගන්න. ඒකටයි ඔය බදු පැනෙව්වේ.
ඉහළ යන ජීවන වියදම ජනතාවට විශාල ප‍්‍රශ්නයක්. ඒ මදිවට විවිධ බදු වර්ගත් පනවලා තියෙනවා. ඒ බදු අතරට පරිසරය පිළිබඳ බදුත් එකතු කිරීම මඟින් ජනතාව නේද අසරණ වෙන්නේ?
රජයේ වෙනත් වියදම් සඳහා මේ බදු එකතුවෙන් ලැබෙන මුදල් ගන්නේ නැහැ. මේවා ගන්නේ තනිකර ම පරිසරය සංරක්ෂණය සඳහායි.
මේවා යන්නේ “පරිසර සංරක්ෂණ ගිණුමටයි”. ඒ ගිණුමේ වැය පිළිබඳ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේක කිසිසේත් ම පරිසර කටයුතුවලින් බාහිර වැඩවලට යොදන්නේ නැහැ.
ඒ වාගේ ම මේකෙන් ජීවන මිල වැඩි වෙනවා කියන එක විහිලුවක්. මොකද අපි දාලා තියෙන්නේ සියයට 2 1/2 ක බද්දක්. මෙතැන තියෙන ප‍්‍රශ්නය මේකයි, 2003 දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සියයට 20% ක දුරකථන බද්ධක් ගැහුවා.
හැබැයි ඒ ජංගම දුරකතන ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න නොවේ. තවත් බද්දක් ගැහුවා ග‍්‍රාමීය කර්මාන්ත නංවන්න කියලා. ඒත් කවුරුවත් ජීවන වියදම වැඩිවෙන ප‍්‍රශ්න විදිහට ඒක සැලකුවේ නැහැ.
දැන් ඒවාට ඡන්දය දීපු අය මනාපය දීපු අය මේවා ගැන කතා කිරීම මොන විහිළුවක් ද?
පරණ වාහන භාවිත කිරීම වළක්වන පනතක් ගෙනඒමට යන බව කියවෙනවා. සාමාන්‍යයෙන් පරණ වාහනයක් භාවිතා කරන්නේ සාමාන්‍ය මට්ටමේ ජනතාවයි. එතකොට මේ මඟින් වෙන්නෙත් සාමාන්‍ය ජනතාව නො සළකා හැරීමක් නොවේද?
නැහැ. වායු විමෝචන කි‍්‍රයාවලිය තියෙන්නේ දුප්පත් පෝසත් බාවයක් නොවේ. මෙතෙන් දී අපි බලන්න ඕනේ කවුද ලෙඩ වෙන්නේ කියලා.
ලෙඩ වෙන්නේ අපේ දරුවෝ. ලෙඩවීම නිසා වැඩියෙන් ම දුක් විඳින්නේ සල්ලි තියෙන අයගේ දරුවෝ නොවේ. දුප්පත් අයගේ දරුවොයි. අද දරුවන්ගෙන් සියයට 30% කට ස්වසන රෝග තියෙනවා.
ඒක ඇතිවෙලා තියෙන්නේ මේ තත්ත්වය නිසයි. එතකොට වැඩියෙන් දුක් විඳින්නේ දුප්පත් මිනිසුන්ගේ දරුවෝ.
ඒ දරුවන් වෙනුවෙනුයි අපි පෙනී සිටින්නේ. අනික මේ රටේ වාහන අයිතිය තියෙන්නේ 6% කට විතරයි. ඒ අයට මොනවා හරි කරන්න ශක්තිය තියෙනවා. ඉතිරි සියයට 94% ගැනයි අපි හිතන්නේ.
බලශක්ති සංරක්ෂණය සඳහා හඳුන්වාදුන් CFL බල්බ් සම්බන්ධයෙන් අද ප‍්‍රශ්න මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවගේ විසඳුමක් ද තියෙන්නේ?
CFL වල ලෝක ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක බලශක්ති සංරක්ෂණයට දායකත්වයක දැක්වුවට ඒකේ තියෙන රසදිය මගින් භයානක රෝගයක් ඇතිවෙනවා. ඒ මිනිමාටා කියන රෝගයයි.
ඒ නිසා CFL බල්බ් ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න රසදිය එකතු කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරනවා.
දැනටමත් අපි දන්ත ශල්‍යාගාරවල තියෙන රසදිය එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. තවත් විධිමත්ව මේ රසදිය එකතු කිරීම ඉදිරියට කරලා මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් වේවි.
සංවාදය මලික් චමින්ද ධර්මවර්ධන

No comments: