ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය කලා පෝෂණය උදෙසා බෞද්ධ සංස්කෘතිය බෙහෙවින් ඉවහල් වී තිබේ. විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, අතීතයේ සිට ම කලා නිර්මාණ බිහිවී ඇත. එහෙත් අද වන විට විහාරස්ථානය තුළින් ජනතාවට මේ සඳහා ලැබෙන දායකත්වය ප‍්‍රමාණවත්ද ? භික්ෂුවට කලාව කැප ද ? දෛනික දිවියේ විවිධාකාරී ගැටලු වලට පිළිතුරු සෙවිය යුත්තේ කලාවෙන් ද ? ආගම ඇසුරින් ද ? ඒ පිළිබඳ වෑවල තුම්බෝවිල ශ‍්‍රී ගංගාරාම විහාරාධිපති, බේරගම අමිත හිමියන් සමඟ කළ කතා බහකි මේ.
බුදු දහම තුළ සාහිත්‍ය කලා ආදියට හිමි තැන කෙබඳුද ?
‘කලාව‘ කියන වචනයෙන් අදහස් කරන්නෙ ‘පිළිවෙළ’ කියන දේයි. බුදු දහමේ කතා කරන සෑම දෙයකම තියෙන්නෙ පිළිවෙළ. බුදු හිමියන් ධර්මය පවා දේශනා කළේ පිළිවෙළකට.
එහි මුල, මැද සහ අවසානය පිළිවෙළකට ඉදිරිපත් කර තිබෙනවා. එය හොඳයි. නිවැරැදියි. ‘ආදි කල්‍යාණං මජ්ජේ කල්‍යාණං පරිවෝසාන කල්‍යාණං කේවල පරිපුණ්ණං’ යනුවෙන් බුදු හිමි දේශනා කළේ ඔන්න ඔය දේයි. ඒ අනුව බුදු දහම කියන්නෙ මුළුමනින්ම පරිපූර්ණ දහමක්.
කලාව කියන්නෙ පිළිවෙළ නම්, බුදු හාමුදුරුවන්ගෙ සෑම දේශනාවක ම තියෙන්නෙ ඔය කියන පිළිවෙළ යි. ඒ නිසා බුදු දහමෙන් කලාව බැහැර කරන්නවත්, කලාවෙන් බුදු දහම බැහැර කරන්නවත් පුළුවන්කමක් නෑ.
බුදු දහම තුළ යම් යම් අකටයුතුකම් සම්බන්ධයෙන් භික්ෂූන්ට ඒවා අකැප යැයි කොන්දේසි පැනවී තිබෙනවා. කලා කටයුතු සම්බන්ධයෙන් භික්ෂුවට එවැනි කොන්දේසි පැනවී තිබෙනවද ?
කලා නිර්මාණ, නිර්මාණය කිරීමේදී බුද්ධ දේශනා වල යම් යම් තැන්වල බාධක තිබෙනවා කියා සමහරු හිතනවා. ඒකට දක්වන එක සාධකයක් තමයි ‘නච්ඡ ගීත වාදිත දිසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩණ විභූෂ නට්ඨානා වේරමණී සික්ඛා පදං සමාධියාමි’ කියන සිල් පදය.
මෙහි සඳහන් පරිදි නැටීම හොඳ නෑ. ඒත් නැටවීම හොඳ නෑ කියලා කොතැනකවත් සඳහන් කරලා නෑ. ගීත ගායනය සුදුසු නෑ. ඒත් ගීත ගායනා කරවීමට බාධක දමා නෑ. ඒ වගේම තමයි වාදනය සුදුසු නැති වුණාට, වාදනය කරවීම සම්බන්ධයෙන් බාධා නෑ.
ඒ නිසා අපේ පැරැණි හාමුදුරුවරු නැටුම්, ගැයුම්, වැයුම් ආදී කලාවන් ජනතාවට ප‍්‍රගුණ කෙරෙව්වා. නැටුමේ, ගැයුමේ, වැයුමේ ;ක්න්ද්‍රස්ථානය වුණේ පන්සල. පන්සලෙ පෙරහර සහ වෙනත් පින්කම් පැවැත්තුවා. ඒවායේදී නැටුම්, ගැයුම්, වැයුම් කළා. ඒ නිසා කලාවට සම්බන්ධ වෙන්න භික්ෂුවට බාධා නැති බව පැහැදිලියි.
බහු රූ කෝලම් (නොගැළපෙන දර්ශන – විසූක දස්සන) වලින් වැළකීම කළ යුතුයි. එහෙත් භික්ෂුවකට කලා නිර්මාණ වලින් ඈත් වෙන්න, අත් මිදෙන්න කියා දේශනා කර නෑ. අතීතයේ සිට අද දක්වා වූ කාලය සලකා බැලුවහම, අපේ භික්ෂූන් වහන්සේ කොපමණ දෙනෙක් කලා නිර්මාණ කර තිබෙනවද ?.
පොලොන්නරු කතිකාවතේ සඳහන් වෙනවා කාව්‍ය, නාටක ආදී ගර්හිත විද්‍යා නූගත යුතු නූගැන්විය යුතු කියලා. ඒ වුණාට අපේ භික්ෂූන් වහන්සේ කාව්‍ය නිර්මාණ ඉගැන්නුවා. ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි, කාව්‍ය නිර්මාණ පවා කළා. එදා තොටගමුවේ රාහුල හිමියන් වගේ හිමිවරු නැත්නම්, අපට අද මේ තරම් ශ්‍රේෂ්ඨ කාව්‍ය සාහිත්‍යයක් ගැන කථා කරන්න ලැබෙන්නෙ නෑ.
ගිහි පැවිදි බේදයකින් තොරව අපේ සමාජය තුළ කලා නිර්මාණ කෙරෙනවා. එහෙත් ගිහි සමාජය තුළින් බිහිවන සමහර නිර්මාණ අපේ සංස්කෘතික හර පද්ධතීන් හා ගැටුමට තුඩු දෙන බවට චෝදනා නැඟෙනවා. බුදු දහමින් පෝෂිත රටකට නොගැළපෙන දේ යැයි පවසන අවස්ථා තිබෙනවා. බුදු හිමියන් කලාව සම්බන්ධයෙන් කොන්දේසි පැනවීමක් කර නැත්නම්, කලාව අගය කර තිබෙන්නෙ කුමන ආකාරයකටද ?
පැවිද්දන්ට දේශනා කළ ධර්මය ඒ ආකාරයෙන් ම ගිහි සමාජයටත් එකඟයි. අටසිල් හෝ දසසිල් වල සඳහන් දේම තමයි සාමණේර දස ශීලයෙ තියෙන්නෙ. ඒ නිසා කලාවෙන් ඈත් වෙන්න කියා හෝ කලාවට තහංචි පැනවීමක් හෝ බුදු දහම තුළ නෑ.
අපේ හාමුදුරුවො කවදාවක්වත් ගිහියන්ට නටන්න, ගයන්න, වයන්න එපා කියලා කොන්දේසි පැනෙව්වෙ නෑ. එ කාලෙ පුරාණ විහාරවල චිත‍්‍ර ඇන්දෙ භික්ෂූන් වහන්සේ. පන්සල කේන්ද්‍ර කරගෙන උදේ හවස ශබ්ද පූජා පවත්වලා තේවාව කළා.
මේ නිසා ගිහි පැවිදි බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කලාව සේවනය කිරීමට තහංචි පනවා නැති බව පැහැදිලියි. ඒ විතරක් නෙමෙයි, බුදු හිමියන් කලාව අගය කළා. පංචශිඛ බුදු හිමියන් ළඟට පැමිණ තම පෙම්වතියට ලියූ ගී ගායනා කළ විට ඒවා ඇගයීමට ලක් කළා.
ප‍්‍රතිභාව (අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව), ව්‍යුත්පත්තිය (අවබෝධය), සතතාභ්‍යාසය (නිතර නිතර නිර්මාණ කිරීම) වැනි ලක්ෂණ කවියා සතු විය යුතු බව කවි සූත‍්‍රයේදී බුදු හිමියන් දේශනා කර තිබෙනවා.
ඒදා නිර්මාණය වුණු ථෙර, ථේරි ගාථා පවා අපේ සමාජය තුළ අදත් කතා බහට ලක් වෙනවා. මේ නිසා කලාවට තහංචි පැනවීම හෝ ගර්හා කිරීම බුදු දහම තුළින් කිසි විටෙකත් කර නෑ.
රෝම ග‍්‍රීක යුග වලදී පල්ලි කේන්ද්‍ර කර ගෙන කලාවේ පුනරුදයක් ඇති වුනා. ලංකාවට බුදු දහමේ ආගමනයත් සමග පන්සල කේන්ද්‍ර කරගෙන කලා නිර්මාණ පෝෂණය වුණා. ඒත් අද වන විට පන්සල කේන්ද්‍ර කර ගෙන කලා නිර්මාණ බිහි වීමේ ප‍්‍රවණතාවක් දකින්න නෑ නේද ?
අද වන විට කලා නිර්මාණ සමඟ සෘජු දායකත්වයක් දක්වන භික්ෂූන් වහන්සේ කොපමණ ඉන්නවද ? එදා කළා වූ කලා නිර්මාණ ම නොවුණත් විවිධාකාරයේ කලා කටයුතු වල නිරත භික්ෂූන් වහන්සේ අපේ සමාජය තුළ වෙසෙනවා.
සම්මානලාභී නව කථා, කෙටි කථා රචනා කළ භික්ෂූන් වහන්සේ ඉන්නවා. ඒ නිසා පන්සල කේන්ද්‍ර කර ගනිමින් කලා නිර්මාණ බිහිවීමේ ප‍්‍රවණතාවක් නැතැයි කියන්න පුළුවන්කමක් නෑ.
ඒත් අතීත සමාජය හා සාපේක්ෂව බලද්දී එදා වගේ කලා ප‍්‍රබෝධයක් වර්තමානයේදී දකින්න නෑ නේද ?
අතීතයේදී සියලු කලා විෂයයන් භික්ෂුවගේ ආධිපත්‍ය යටතේ පැවතුණා. ඒත් අද වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා. අද ආධිපත්‍ය පේන්නෙ නෑ. එහෙම නොවුණට සියලු කලාවන්ගේ පදනම රැඳී තිබෙන්නෙ භික්ෂුවගේ අතේ.
ගොඩනැගිල්ලක් තැනුවට පස්සෙ අත්තිවාරම පේන්නෙ නෑ. ඒ වගේ කලා නිර්මාණ පෙනුනට එහි පදනම තිබෙන්නෙ කොහෙද කියලා පේන්නෙ නෑ. ඒ නිසා ඒ කාලේ මෙන් ප‍්‍රබෝධයක් අද දකින්න නැතැයි අපට බැලූ බැල්මට කියන්න පුළුවන්කමක් නෑ.
කලාව මිනිසාට අවශ්‍ය නම් එම කලාවේ ප‍්‍රබෝධනය උදෙසා පන්සල තුළින් මඟ පෙන්වීමක් විය යුතු නම් එය විය යුත්තේ කෙසේද ?
පන්සල්, පිරිවෙන් ඇසුරින් මේ සඳහා අඩිතාලම සැකසිය යුතුයි. ලිවීම, කියවීම ආදී සියලුම කලා කටයුතු කෙරෙහි ප‍්‍රථමයෙන්ම පන්සල්වල පිරිවෙන්වල වෙසෙන භික්ෂූන් වහන්සේ පෙළඹවීම අවශ්‍යයයි.
ඒ අයගේ ප‍්‍රතිභාව පෝෂණය වූ විට තව බොහෝ පිරිසක් කලාවට යොමු වේවි. දහම් පාසල් සහ පන්සල ආශ‍්‍රිත වෙනත් සමිති සමාගම් ඇසුරින් ගිහියන් කලාව සඳහා සම්බන්ධ කර ගන්න හැකියාව ලැබෙනවා. ඒ මගින් ඉදිරියේදී පවත්නා තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉඩ සකසා ගන්න පුළුවන්.
බටහිර සංස්කෘතිය තුළ බිහි වන කලා නිර්මාණයක් බෞද්ධ සංස්කෘතිය තුළින් පෝෂණය වූ සමාජයකදී කලාවක් ලෙස විඳීමේදී ගැටලු මතු වෙනවා නේද ?
බටහිරින් ගලා එන කලා මාධ්‍යයන් අපේ කලාව පෝෂණයට යොදා ගැනීමේ ගැටලුවක් නෑ. ඒවා පරිහරණය කළා යැයි ගැටලුවකුත් නෑ. අප ගත යුත්තේ අපට ගැළපෙන සහ යහපත් වූ ගති ලක්ෂණ සහිත දේ පමණයි. අවිචාරවත්ව කිසි ;දයක් වැළඳ ගත යුතු නෑ. අවිචාරයෙන් කරන කලාව කවදාවක්වත් පවතින්නෙ නෑ.
අද වන විට භික්ෂූව ඕලාරික වදන් භාවිත කරමින් ජනප‍්‍රිය ගීත නිර්මාණයට පෙළඹී තිබෙනවා.
කෙනෙකුට ලිවිය හැකි නම්, ඒවා ගායනයට අයත් සිටී නම් ගීත නිර්මාණ හෝ වෙනත් කුමන කලාවක හෝ නිරත වූවා යැයි ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. එය කරන්නේ ගිහියාද, පැවිද්දා ද කියා ප‍්‍රශ්නයකුත් නෑ. ඒත් කළ යුත්තේ කුමක්ද කියන දේ විචාරවත්ව කිරීම ඒ හැමගේම වගකීමක්.
කලාවට අසැබි දේ යොදා ගැනීම බුදු දහම අනුමත කරන්නෙ කොහොමද ?
අසභ්‍ය දේ යොදා ගන්නවා නම් එතැන කලාවක් නෑ. වැඩිහිටියන් යම් දෙයක් බලලා එය ඊළඟ පරම්පරාව පරිහරණය නොකළ යුතු දෙයක් යැයි කීම තුළම එය බැහැර වෙනවා.
එබඳු දේ සබයට ඇවිත් වැජඹෙන්නෙ නෑ. එලෙස එළිදකින දේ සමාජයේ නීති විරෝධී දේ ලෙස හණ ගැහෙනවා. සමාජය පිළිකුල් කරනවා. ඒවා පරිහරණය කරන්නත් ඒවා සකසන්නන් අවමානයට නින්දාවට ලක් වෙනවා. බුදු දහම සමාජ විරෝධී දේ බැහැර කළ ආගමක්.
වර්තමානයේ අසභ්‍ය යැයි කියන වචනයෙන් හැඳින්වෙන දේ අපේ සාහිත්‍යයට මුලින්ම පිවිසුණේ මාතර සාහිත්‍ය වංශයේදීයි. අපේ රට ඉංග‍්‍රීසින් පාලනය කළ මේ යුගයේදී දේශීය සංස්කෘතිය එක්තරා විදිහකට පරිහානියට ලක් වුණා.
ඒ කාලෙ කවියො අසභ්‍ය වචන කියන්න දක්ෂ අය. අද්‍යතන සමාජය තුළ මේ වගේ දේවල් සඳහා වෙළෙඳ පොළක් තියෙනවා. ධනවාදය තුළ ඒවා අලෙවි කරන්න පුළුවන්.
මිනිසුන් දෛනික ජීවිතය තුළ විවිධාකාරී ගැටලු වලට මුහුණ දෙනවා. මේවාට විසැඳුම් සෙවිය යුත්තේ කලාවෙන්ද ? බුදු දහමෙන්ද ?
මිනිසුන්ට කලාව අවශ්‍යයයි. පැවිද්දන් ලෝකෝත්තර සැප සෙව්වත්, ගිහියන්ට තමන් ගේ යම් යම් ගැටලු වලින් මිදීම සඳහා මඟක් අවශ්‍යයයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නෙ දහම විතරක් නෙමෙයි.
ජීවත් වෙනවා කියන්නෙ ප‍්‍රශ්න විසැඳීමක්. විද්‍යාව, කලාව, ආගම ආශ‍්‍රයෙන් මිනිසුන් තමන්ගෙ ගැටලු වලට විසැඳුම් සොයනවා. විද්‍යාවෙන් බැරි දේ ආගමෙනුත්, ආගමෙන් බැරි දේ කලාවෙනුත් විසඳ්‍ර ගන්නවා. ඒත් මිනිසුන්ගෙ ජීවිත ගැටලු වලින් වැඩිම කොටසක් විසඳන්නෙ කලාව මගින්. එය ගිහි පැවිදි භේදයකින් තොරව පෝෂණය කළ යුත්තක්.
සටහනඉරෝෂිණී දීපිකාඡායාරූප - සුදම් ගුණසිංහ
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment