Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 25, 2008

සක්විතිගේ මගඩියට හසු වූ අයගේ අඳෝනා

ඔහුගේ දකුණතේ සුදු සැරැටියකි. වමත බිරිඳගේ උරහිස මත රැඳී ඇත. අසීරුවෙන් මිරිහාන පොලිසියේ පියගැට පෙළ බැසගත් ඔවුහු අප ඉදිරියේ නතර විය. ඔහුගේ අඳ දෙනෙත් අතරින් කඳුළු කැට රූරා වැටෙන්නට විය.
"අපේ දරුවන්ට මොකද වෙන්නෙ? උන්ගේ අනාගතේ විනාශ වුණා දෙවියනේ" ගැහෙන මුවෙන් එවදන් පිටවූයේ මහත් ආයාසයෙනි.
“මගේ මහත්තයාගේ ඇස් පෙනෙන්නේ නැහැ. ඒත් අපි හිඟා නොකා ජීවත්වුණා. ඇයි අසරණ අපිට මෙහෙම කළේ? " ඔහුගේ බිරිඳ සිය අඳෝනාව අප ඉදිරිපිට තැබුවාය.
හෙතෙම නමින් දයානන්ද ය.
ඇය මාලනී කෝදාගොඩ ය.
පසුගිය දිනෙක වාර්තා වූ තනිපුද්ගලයකු විසින් මෙරටදී සිදුකරන ලද සුවිශාල මූල්‍ය වංචාවට ගොදුරු වූවන් අතුරින් දෙදෙනෙකි.
ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීම සිය ජීවිකාව බව නොව ඉංගී‍්‍රසි ඉගැන්වීමට ම උපන්නායැයි වහසි බස් දෙඩ වු සක්විති රණසිංහ ජනමාධ්‍ය මගින් මහා පරිමාණයෙන් ගෙන ගිය ප‍්‍රචාරක ව්‍යාපෘති ඔහුගේ ප‍්‍රසිද්ධියට බලපෑවේ ය.
එකී ප‍්‍රකට සක්විති රණසිංහ සුප‍්‍රකට පුද්ගලයකු බවට පත්වූයේ මෑතකදි සිදුවූ මූල්‍ය වංචාවන් හෙළිවීමත් සමඟ ය. සිය නමින්ම නිවාස ගොඩනැඟීමේ ආයතනයක් ආරම්භ කර, මෙරට සිටි කීර්තිමත් මාධ්‍යවේදියකු එයට හවුල් කරගත් සක්විති නැමැත්තාගේ මේ මූල්‍ය වංචාව නිසා අද දහස් ගණන් මිරිහාන පොලිසියට පැමිණිලි එක්කරන බව පෙනේ.
මේ ස්ථානයට පැමිණෙන පිරිස් එලෙස ලක්ෂ ගණනින් මුදල් ආයෝජනය කළේ ඇයි? එසේ මුදල් යෙදවීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ මොනවාද? ඔවුන් මේ ව්‍යාපාරය විශ්වාස කළේ ඇයි? අපි ඔවුනගෙන්ම ඒ ගැන විමසමු.
මේ එසේ අසරණ වූ බලාපොරොත්තු සුන්වු පිරිස අතර සිටි දෑසම නොපෙනෙන දයානන්දගේ අදහසයි.
" මම මෙතැන ලක්ෂ 35ක් දාලා තියෙනවා. කලින් අපිට ගෙයක් තිබුණා. ඒක කුලියට දීලා තමයි අපි ජීවත් වුණේ. පස්සේ ඒක විකුණලා සල්ලි මෙතැන්ට දැම්මා.
අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලයි අපි හිතුවේ. ළමයින්ගේ අධ්‍යපනයත් සාර්ථක කරගන්න පුළුවන්ය කියන විශ්වාසයත් අපට තිබුණා. පස්සේ අපි මෙතෙන්ට ඇවිල්ලා කොහොමද අපි ඔයාලව විශ්වාස කරන්නේ කියලා ඇහුවා.
එතකොට කිව්වේ බය වෙන්න එපා මෙතැනට දහස් ගණනින් සෙනඟ එනවා. ඔයා වගේ කෙනෙකුගෙන් සල්ලි වංචා කරන්න මට වුවමනාවක් නැහැ කිව්වා. අනික මේක කරගන්න බැරිව ගියොත් අරන්දාපු තේක්ක අක්කර 100ක් තියෙනවා.
එක විකුණලා ඔයාලට සල්ලි දෙනවා බය වෙන්න එපා කියලා කිව්වා. ඒ එක්කම මෙතැන හිටිය ඇතැම් අයට ලංකා පුත‍්‍ර, දේශමාන්‍ය ආදී සම්මාන තිබුණා . ඉතින් මේවගේ අය හොරු වෙයි කියලා අපිට හිතන්න බැහැ ”.
මේ මූල්‍ය වංචාව නිසා තම දරුවන්ගේ අනාගතය පවා විනාශ වූ බව ප‍්‍රකාශ කළේ ඔහුගේ බිරිද මානෙල් කෝදාගොඩය,
“මහත්තයාගේ ඇස් පේන්නේ නැහැනේ. ඒ නිසා මේ අය කිව්වේ ඔයා වගේ කෙනෙක්ගෙන් සල්ලි අරගෙන මට රජ වෙන්න බැහැ කියලයි. අපි සල්ලිදාලා ටික දවසකික් ආයෙත් ලියුම් ආවා තවත් සල්ලි ආයෝජනය කරන්න කියලා.
ඇත්තෙන්ම මේක මහ අපරාධයක්. තියෙන මනුස්සයෙක්ගෙන් ගත්තට කමක් නැහැ. මේවගේ ඇස් පේන්නේ නැති මනුෂ්‍යයකු මහ මඟට දාන එක හරිද? අපේ දරුවෝ වැඩි හොඳට උගන්වන්න කියලා අපි ගම්පොළ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මේ.
දැන් ඒ ළමයින්ට සල්ලි ගෙවන්නේ කවුද? එදා අපි එතැනට ගිය වෙලාවේ එතැන ජනාධිපතිතුමාගෙත් පොටෝ ගසාගෙන හිටියා. මේ මිනිසා ළඟ අපි සල්ලි දැම්මේ පෙබරවාරි 8 වෙනිදායි. ලක්ෂ තුනක් විතර වරින්වර හම්බවුණා. පොලිය විතරක් ලක්ෂ දහයක් තව එන්න තියෙනවා”.
තමා මේ ආයතනයේ මුදල් තැන්පත් කළේ තමාට ගුරුවරයකු ලෙසට සක්විති රණසිංහ පිළිබඳව තිබු විශ්වාසය නිසා බව පිටකෝට්ටේ සිට පැමිණ සිටි ප‍්‍රභාත් පෙරේරා මහතා කියා සිටියේය.
" මගේ බබා තමයි මේ සර්ගේ මොන්ටිසෝරියට ඉස්සරලාම බාර දුන්නේ. මොන්ටිසෝරිය ඉතාමත් හොඳට තිබුණා. අනික එඩ්වින් ආරියදාස වගේ අය ඇවිල්ල කිව්වා මෙතන දියුණු තැනක් මේකෙ මුදල් ආයෝජනය කරන්න කියලා.
ඉතින් මමත් හිතුවා දරුවාගේ අධ්‍යාපනය වගේ ම මුදල් ගනුදෙනුත් ඉතාමත් හොඳින් සිද්ධවෙයි කියලා. මොකද පුතාත් අවුරුදු 3ක්ම මෙතන ඉගෙන ගත්ත නිසා.
අපි සල්ලි දැම්මේ මාස 6කටයි. පසුගිය මැයි 14 වෙනිදාට මාස 6 සම්පූර්ණ වුණා. එදා අපි ඉල්ලුවා අපිට ගෙදර වැඩ තියෙනවා . ඒ නිසා සල්ලි ආපහු දෙන්න කියලා.
ඊට පස්සේ සැප්තැම්බර් 10 එන්න කිව්වා. අපි ඊට පස්සේ දවසක ගියා. මට පොලිය දුන්නා ඒත් සල්ලි දුන්නේ නැහැ. අපි ලක්ෂ 3 1/2ක් දාලා තිබුණා. රු. 21000 බැගින් දෙපාරකුයි 14000 බැගින් හතරපාරකුයි විතරයි හම්බවුණේ ”.
සක්විති රණසිංහ නමින් සුප‍්‍රකටව සිටි මේ පුද්ගලයා නම් කිහිපයක් භාවිතා කර ඇති අතර චන්ද්‍රකුමාර යනුවෙන් ද නමක් භාවිතා කර ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
එසේ ම මොහු මීට පෙර ද මූල්‍ය වංචාවකට සහභාගි වූ බවට තොරතුරු තිබෙන අතර මොහුගේ නිවාස ඉදිකිරීමේ සමාගම ශී‍්‍ර ලංකා මහබැංකුවේ ලියාපදිංචි වී නොමැති බව ද කියවේ. මෙවැනි විස්තර තමා නොදැන සිටි බව ප‍්‍රකාශ කරන ප‍්‍රභාත් පෙරේරා මහතා තමාට දිනක සැක සහිත සිදුවීමක් සිදුවූ බව ද අපට අනාවරණය කෙළේය.
" මම දවසක් පොලිය ගන්න ගියා. එතැන පත්තරයක් තිබුණා. මේ වගේ ලියාපදිංචි නොකළ වැඩි පොලියක් දෙන ආයතන ගැන ඒකෙ ලිපියක් තිබුණා. මම ඒක කියෙව්වා. කියවනකොට ආයතනයේ කෙනෙක් ඇවිල්ලා මගෙන් පත්තරේ අරන් ගියා.
ඒ එක්කම මොන්ටිසෝරියට තිබුණු බස් එකත් ෆිනෑන්ස් එකෙන් උස්සලා කියලා ආරංචි වුණා. ආයතනයේ තිබුණු බයිසිකල් ටිකත් එකින් එක අඩුවෙනවා වගේ පෙනුණා. මෙහෙම සැකයක් ඇතිවෙද්දී සල්ලි දීලා තියෙනවා නම් ගන්න. මේකෙ එන්න එන්න බංකොලොත් වෙනවා කියලා මගේ නෝනාගේ යාළුවෝ කියලා තිබුණා.
මිරිහාන පොලිස් භූමියේ මෙන්ම නුගේගොඩ පිහිටි සක්විති රණසිංහ නිවාස ඉදිකිරීමේ සමාගම ඉදිරිපිට විශාල පිරිසක් අපට දැක ගන්නට ලැබුණි.
මොවුන් අතරින් බොහෝ දෙනෙකු කියා සිටියේ තමා පුවත්පත් දැන්වීම්වලට රැවැටුණ බවය. මේ බෙන්තොට චන්දිමා නිශාන්ති මහත්මියයි,
" පත්තරේ ටෙලිෆෝන් නම්බර් හතරක් දාල තිබුණා . ඒ කෙනෙකුට කතා කරලා මම ඇහුවා. කොහොමද අපි ඔයාලව විශ්වාස කරන්නේ කියලා. එතකොට කිව්වා ලෝයර් කෙනෙක් ඉස්සරහා අස්සන් කරලයි අපි සල්ලි ගන්නේ කියලා. ඒ වාගේ ම ඒ අය කිව්වා අපේ සර් ප‍්‍රසිද්ධ කෙනෙක් එඩ්වින් ආරියදාස මහත්තයාත් ඉන්නවා කියලා.
මම සල්ලිදාලා මාස 3යි. මට පොලියත් හම්බවුණා. පසසේ මම කිව්වා මට කොළඹ එන්න දුර වැඩි නිසා පොලිය බැංකුවකට හරවන්න කියලා. නමුත් ඒ අය හෙට දානවා අනිද්දා දානවා කිව්වා ඒත් දැම්මේ නැහැ.
මෙතැන සල්ලි දාද්දි අපේ තාත්තා මට එපා කිව්වා ඔය මිනිහා උඹට විශ්වාස ද ඇහුවා මම තාත්තාට හොරෙන් සල්ලි දැම්මේ. මෙතැන තවත් එහෙම අය ඉන්නවා ගෙවල්වලට හොරෙන් සල්ලි දාපු අය. පත්තරේ පොටෝ දාන්න නම් එපා. මේක අපිට මහ ලැජ්ජාවක්”.
මිරිහාන පොලිසියට එක්ව සිටි පිරිස් අතර ති‍්‍රවිධ හමුදා සේවයට සම්බන්ධ වූ කිහිප දෙනකු විය. මේ අතරින් අප සමඟ නම හෙළිකිරීමට එකඟ නොවු නිලධාරියෙක් අදහස් දක්වමින්;
" පත්තරවල පිටු පුරෝල දැන්වීම් දාලා තිබුණා. එඩ්වින් ආරියදාස මහත්මයා මෙහි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ වශයෙන් ඉන්නවා කියලා තිබුණා. ඒ නිසා අවුරුදු 22ක් උතුරු - නැෙඟනහිර පළාත්වල අව්ව වැස්ස නොබලා , ජීවිතය නොතකා හම්බකරපු සල්ලි ටික මේ බැංකුවට දැම්මේ. මේ ආයතනයට ආව දවසේ ඒක ඇතුළේ එඩ්වින් ආරියදාස මහත්තයාගේ වගේම ජනාධිපතිතුමා එක්ක ඉන්න පොටෝත් එල්ලලා තිබුණා.
ඒ නිසා අපිට බයක් තිබුණේ නැහැ. මම විතරක් නොවේ මෙතැන හමුදාවේ 300 - 400ක් විතර ඉන්නවා. සමහරු පැන්ෂන් ගිය අය, තවත් සමහරු හයිටිවල ඉදන් ආව අය. මම මේ සල්ලි තැන්පත් කළේ මාස හයකින් ගන්න බලාගෙනයි. අවුරුදු ගාණක් යුද්ධ කරලා වෙහෙස මහන්සිවෙලා හිටිය නිසා මාසයක් , දෙකක් විවේක ගන්නයි මෙහෙම තැන්පත් කළේ.
මේකට හමුදාවේ අය ගැනවත් හිතලා අඩුම ගානේ රජය මේකට මැදිහත් වෙනවා නම් මේ හොරාව අල්ල ගන්න පුළුවන් වේවි. අපිට ඒ හැර වෙනත් ආයතන ගැන විශ්වාසයක් නැහැ."
මෙම මූල්‍ය වංචාව හා සම්බන්ධව ඈදුණු තවත් සුප‍්‍රකට නමක් තිබේ. ඒ එඩ්වින් ආරියදාස මහතාය. ඔහු දැන්වීම්වල පෙනී සිටීම නිසා තමා මේ සමාගමට මුදල් දැමු බව පැවසු හෝමාගම ධම්මික මහතා,
" මම සල්ලි දැම්මේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ දිහා බලලයි. එයා මේ රටේ කීර්තිමත් මනුෂ්‍යයෙක් කියන එක කවුරුත් දන්නවා. මම පොඩි ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් කීයක් හරිදාලා වැඩි පොලියක් ගන්න හිතාගෙනයි මේකට එකඟවුනේ.
දැන් දාල සුමානයයි ගියේ අපිට පොලියත් නැහැ සල්ලිත් නැහැ. දැන් අපි මේකට අහුවෙලා ඉවරයි. එත් මට මෙතෙන්දි මේ රටේ අනික් මිනිස්සුන්ට කියන්න පණිවිඩයක් තියෙනවා. අනිවාර්යෙන්ම පිළිගත් බැංකුවක හැරෙන්න වෙනත් තැනක සල්ලි දාන්න එපා.
වෙනත් තැන්වල දාලා සල්ලි දුන්නට පස්සෙ හෙට දොර වැහුවොත් මොකවත් කරන්න බැහැ.”
ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් ජනතාවගේ මිල මුදල් සම්බන්ධයෙන් ඇති වු පළමු වංචාව මෙය නොවේ.මෙවැනි වංචාවක් අතීතයේ සිද්ධ වූ බව ප‍්‍රමුඛ බැංකුව, පිරමීඩ ක‍්‍රමය වැනි සිදුවීම් හරහා අපට පෙනී යයි.
ජනතාවගේ නොදැනුවත්භාව, අසරණභාව මෙන් ම තෘෂ්ණාව ද මේ පිටුපස පවතින අතර මේ සියල්ල වසා පැතිරෙන මුලාවට පත්වීමක් පවතින බව නම් නිසැකය.
මෙහිදී මෙරට ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් මේ පිරිසගෙන් එල්ල වේ. ජනමාධ්‍යයෙ ආර්ථික භූමිකාව විසින් සදාචාර භූමිකාව ගිලගනු ලැබ ඇතැයි යනුවෙන් සමාජයේ පැතිරෙණ මතය මෙමගින් සනාථ වන බව සමහරු කියති.
කෙසේ වුව මෙරට ජනමාධ්‍ය මගින් මේ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බව අවධාරණය කෙරුණු අවස්ථා තිබෙන බවද කිව යුතුව තිබේ. ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම, විමසිලිමත් නොවීම මේ ගැටලුව පිටුපස තිබෙන ප‍්‍රධාන කරුණයි.විශේෂයෙන්ම තමා දුකසේ උපයාගත් මුදල් තැන්පත් කිරීමේදී ඒ පිළිබඳ පවතින නීතිරීති අණ පනත් පිළිබඳ ජනතාවගේ අවබෝධය වැදගත් වේ.
ලියාපදිංචි මූල්‍ය ආයතන ගැන මහ බැංකුව විසින් නිතර දැනුම් දුන්නද ජනතාවගේ ඇස නිසි ලෙස ඒවා කෙරෙහි යොමුව නැති බව එකම ආකාරයේ වංචා නැවත නැවත සිදුවීමෙන් තහවුරු වේ.
මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූප සරත් වීරසිංහ
වැල නොකැඩී පැමිණිලි ගලයි
නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී
රුපියල් ලක්‍ෂයකට වසරකට රුපියල් 42,000 ත් 72,000 ත් අතර ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ සක්විති රණසිංහ පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ පුද්ගලයා අඹු දරුවන් සමඟ විදේශයකට පලාගොස් ඇතැයි ද පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
සක්විති රණසිංහ නමැති ඉංගි‍්‍රසි ගුරුවරයා පවත්වාගෙන ගිය මුල්‍ය ආයතනයේ සේවය කළ පුද්ගලයන් සිව් දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කරගෙන යන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා දිනමිණ ට කීය.
සක්විති රණසිංහ නමැත්තා පුවත්පත් සහ රූපවාහිනි මාධ්‍ය ඔස්සේ වෙළෙඳ දැන්වීම් පළ කරමින් පුද්ගලයන් මුලා කර ඇති නමුත් මීට පෙර කිසිවෙකු මොහු සම්බන්ධව පැමිණිලි කර නැති බවත් පොලිස් අධිකාරිවරයා පැවසීය.
සක්විති රණසිංහ විසින් තමන් ගේ මුදල් ලබා ගත් බවට 2008/09/23 දින විට පුද්ගලයන් 600 ක් පමණ පැමිණිලි කර ඇති අතර ඒ පැමිණිලි ප‍්‍රමාණය දහස ඉක්මවනු ඇතැයි මිරිහාන පොලිසිය බලාපොරොත්තු වෙයි.
මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන යෑමේදී සමාජයේ උසස් ප‍්‍රසිද්ධ පුද්ගලයන් ඒ සඳහා නොයෙක් ක‍්‍රම ඔස්සේ මෙයට සම්බන්ධ කරගනිමින් මුල්‍ය ආයතනයේ නම ජනතාව අතර ප‍්‍රසිද්ධ කර ගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම මුල්‍ය ආයතනය පිළිබඳව කටින් කට ගොස් විශාල පිරිසක් එයට සම්බන්ධ වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දන්නා තොරතුරු මිරිහාන පොලිසිය වෙත ලබාදෙන ලෙස මිරිහාන පොලිසිය ඉල්ලීමක් කරයි.
භක්ති මෙන්ඩිස්
වංචාව හෙළිවුණේ පැන්නට පස්සේ
පී.බී.අබේකෝන් බණ්ඩාර - ආගමන විගමන පාලක
මුල්‍ය වංචාවකට සම්බන්ධ සක්විති රණසිංහ නමැත්තා විදේශගතවීම සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත්වල පළ වී තිබුණා. සක්විති රණසිංහ කියන්නේ ඔහුගේ නියම නම නොවෙයි.
මේ තැනැත්තා විදේශ ගත වීමට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු තොරතුරු ලබාදීමට අපට හැකි වෙන්නේ ඔහුගේ නියම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ආදී තොරතුරු ලැබුණු පසුවයි.
ඒ තොරතුරු ආරක්ෂක අංශවලින් අපට තවම ලැබී නැහැ. මා ඔබට මේ ප‍්‍රකාශය ලබා දෙන අද දිනයේ (23) මිරිහාන පොලිසියට ලිඛිතව දන්වා සිටියා ඔහුගේ තොරතුරු අපට ලබාදෙන ලෙස. ඒ තොරතුරු ලැබුණ පසුවයි එම පුද්ගලයා ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමට හැකිවෙන්නේ.
මේ මුල්‍ය වංචාව පිළිබඳ තොරතුරු හෙළිවෙන්නට ප‍්‍රථමයි ඔහු රටින් පැන ගොස් තිබෙන්නෙ.
මේ නිසා ඔහු රටින් පැන යාම වළක්වන්නට අදාළ ලියවිල්ලක්වත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වුණේ නෑ. ඒ නිසා ඔහු රටින් පිටවීම වළක්වන්නට අපට පුළුවන් කමක් තිබුණේ නෑ.
නිලූෂා නිරංජලා
නීතිය කි‍්‍රයාත්මක කරන්න කටයුතු යොදනවා
මහ බැංකුවේ ප‍්‍රකාශකයෙක්
සක්විති රණසිංහ නමැති පුද්ගලයා සිදු කරන ලද මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් අදහස් විමසූ අවස්ථාවේ නම හෙළි කිරීමට අකමැති වූ මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරියෙක් ප‍්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවයි.
මේ සඳහා දැනට (2008 – 09 –23) සාකච්ඡා පැවැත්වෙන අතර එහි තීරණය මෙම 25 වැනිදා (අද) නිකුත් කෙරෙන බව ද එම නිලධාරියා පැවසීය. මෙවන් මුල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයත් එහි දී මහ බැංකුව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ආකාරයත් පිළිබඳ එම නිලධාරියා පැවසූ කරුණු මෙසේය.
දැනට රටේ තිබෙන නීතිය අනුව මුදල් තැන්පතු භාර ගැනීම, ආයෝජනය කිරීම හෝ එම මුදල් ණයට දීම සඳහා බැංකු පනතේ හෝ මුදල් සමාගම් පනතේ විධි විධාන ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතුයි. එසේ නොමැතිව එම ව්‍යාපාර කටයුතු කිරීම නීතිය උල්ලංඝනය කිරීමක්.
මේ සඳහා විශේෂ නීති පනවා තිබෙන්නේ මුදල් ව්‍යාපාර කටයුතු කිරීම ඉතා අවදානම් සහගත කාර්යයක් නිසයි. එකී පනත් යටතේ බලපත‍්‍ර ලබාගත් ආයතන අදාළ පනත්වල අවශ්‍යතාවන්ට අනුකූලව සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පනවනු ලබන විචක්ෂණ අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කළ යුතුයි.
එසේ කටයුතු කරනවද යන්න මහ බැංකුවේ නිලධාරීන් විසින් අදාළ ආයතන සම්බන්ධයෙන් කරනු ලබන පරික්ෂණවල දී සොයා බලනවා.
නීතිය කඩ කරමින් මුදල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි, මාධ්‍ය ඔස්සේ කරනු ලබන ප‍්‍රචාරණයත් සහ වෙනත් ප‍්‍රචාරක ක‍්‍රම මගින් ලැබෙන තොරතුරු මත ශ‍්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ පවත්වනවා.
එසේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එවැනි නීතිය කඩ කරන්නන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරන අතර එසේ නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් නිවේදන පළ කරනවා. මහජනතාවගේ දැන ගැනීම සඳහා බලපත‍්‍ර ලත් ආයතනවල නම් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පුවත්පත්වල සිංහල දෙමළ, ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන් ම වරින් වර පළ කරනවා.
ඊට අමතරව ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ ද අදාළ දැන්වීම් සහ බලපත‍්‍රලත් ආයතනවල නම් ලැයිස්තු පළ කරනවා. ඒ ගැන විමසිලිමත්ව තමන් ආයෝජනය කළ යුත්තේ කොතැනද යන්න ජනතාව තීරණය කරනවානම් වංචනිකයන්ට මුදල් සොරකම් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ.
නිවන්ති තිලකරත්න
එඩ්වින් ආරියදාස මෙසේ කියයි
සක්විති රණසිංහ මුලින් ම මම හඳුනාගත්තෙ මගේ ශිෂ්‍යයකුගෙ මාර්ගයෙන්. ඔහු සමග ඇති වූ මිත‍්‍රත්වයේ ප‍්‍රතිඵලයක් විදියට තමයි මා ඔහුත් සමඟ වැඩ කිරීමට පටන් ගත්තේ.
ඔහු ගේ ආයතනයේ අධ්‍යාපන අංශයේ වැසටහන් අධ්‍යක්‍ෂ හැටියට තමයි මා කටයුතු කළේ. මූලිකව ම මට පැවරුණු කාර්ය වුණේ ඉංගී‍්‍රසි භාෂාව ජනතාව තුළ ප‍්‍රචලිත කිරීම.
මේ සඳහා මා විසින් ඉංගී‍්‍රසි භාෂා පාඨමාලාවන් කි‍්‍රයාත්මක කළා. එය මාදුරුඔය, ගල්කිරියාගම වැනි ඈත පළාත්වලටත්, පොලිස් අභ්‍යාස ආයතන වලටත් ගෙන යෑමට හැකි වුණා.
ජනතාවගේ ඉංගී‍්‍රසි භාෂා ඥානය වර්ධනය කිරීම මහඟු සද්කාර්යක් නිසා මා ඉතා ම කැමැත්තෙන් ඒ කටයුත්ත කළා. ඇත්තට ම වැටුප් පවා මට නිසි වෙලාවට ලැබුණෙ නෑ.
ආයතනයේ මුල්‍යමය සහ ආයෝජන සම්බන්ධ කිසිම කටයුත්තකට මා සම්බන්ධ වුණේ නෑ. ඔහු ඉංගී‍්‍රසි පංති ආරම්භයේ දී මගේ ඡායාරූපයත් සමඟ වෙළෙඳ දැන්වීමක් ප‍්‍රචාරය කළා. ඇත්තට මං ඊට විරෝධය නොපෑවෙ එහි මා වරදක් නොදුටු නිසා.
නමුත් පසු කාලයේ දී ඔහු අයථා ලෙස මගේ නමෙන් ප‍්‍රයෝජන ගන්න බව මට පසක් වුණා. මා ඒ අවස්ථාවේ දී මගේ දැඩි විරෝධය ප‍්‍රකාශ කළා. ඔහු එම අවස්ථාවේදීත් එය නිවැරදි කරන බවට පොරොන්දු වුණා. මේ කිසි ම අවස්ථාවක මා මුල්‍යමය කටයුතු වලට සම්බන්ධ වුණේ නෑ.

No comments: