Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 15, 2008

සාහිත්‍යය ගොඩගන්නට නම් මාසයක් නොව මාස දොළහක් තිබුණත් මදි

සාහිත්‍ය මාසය ලෙස සැප්තැම්බර් මාසය නම් කර තිබේ. එයට කියවන මාසය යැයි ද කියති. මිනිසුන්ට කියවන්නට මාසයක් වෙන් කිරීම නොසෑහේ. ‘කියවීමෙන් සම්පූර්ණ මිනිසෙකු බිහිවේ’ යන්න පැරැණි අර්ථවත් කියමනකි.
එදා තරම් අද මිනිස්සු නොකියවති. ගැඹුරක් ඇති කිසිවක් නොකියවති. අද එෆ්. එම්. වසංගතය පුරුදු කර ඇත්තේ සිංගිරීසි කියවන්නට සහ අසන්නට ය. එනිසා පත්තර කලාව ද බිඳ වැටී තිබේ.
අද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගන්නට සැප්තැම්බර් මාසය පමණක් නොව මාස දොළහම කියවන මාස හැටියට නම් කළත් මදිය.
මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ
මේ පොත් කියවන්නන්ගේ මාසයයි
මේ සාහිත්‍ය මාසයයි. සැප්තැම්බර් මාසය එළඹෙත්ම රට තුළ පොත් කියවන පාඨකයන්ගේද, පොත් ප‍්‍රකාශකයන්ගේද, පොත් ලියන ලේඛකයන්ගේද උනන්දුව ඇතිවන්නේ නිරායාසයෙනි. දිවයිනේ තැනින් තැන පොත් ප‍්‍රදර්ශන පොත් සල්පිල් පැවැත්වේ. සැබැවින්ම මේ කාලය සාහිත්‍යයේ වසන්ත කාලය යැයි පැවසුවොත් එය නිවැරැදිය.
'සාහිත්‍ය කන්න දැයි' වරෙක ප‍්‍රකාශ කළ මේ රටේ පාලකයෙක් සාහිත්‍ය සේම ඉතිහාසයද අකුළා තබන්නට කටයුතු කළ ආකාරය අපට හොඳට මතකය. සාහිත්‍ය කලාවට එවැනි කුඩම්මාගේ සැලකිලි තිබූ කාලවකවානු පසුකර අද අප සිටින තැනට කලාවත් ජනතාවත් පැමිණ ඇත.
සුපුරුදු පරිදි වර්ෂයක් පාසා පැවැත්වෙන ජාත්‍යන්තර පොත් සල්පිල 10 වැනි වරටත් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී මේ මස 20 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
මෙම පොත් ප‍්‍රදර්ශනයට පසුගිය වසරවල පැමිණි අති විශාල ජනතාව දෙස බලන කළ පැමිණෙන සියලු දෙනා මිලදී ගන්නා පොත් සියල්ල ඔවුන් කියවනවාදැයි ගැටලුවක් පැන නගී. 'ගෙදර මහ පොතක් ඇත. එකක්වත් මතක නැත' යන කියමනක් වහරේ ඇත.
මෝස්තරයට මෙන් මෙම ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණ පොත් ලබාගන්නා පිරිසක්ද ඇත. ඒ අය පොත් ගනිති. ඒත් පොත් නොකියවති. මෙය ඛේදයකි.
රජයෙන් සාහිත්‍ය උලෙළ පැවැත්වුවත්, සම්මාන දුන්නත් පොත පත එළිදැක්වූවත්, ඒවා මිලදී ගත්තත් සමස්තයක් ලෙස මේ වන විට රට තුළ ඇති සාහිත්‍ය වින්දනය පහත් මට්ටමකට වැටී ඇත.
රසවින්දනය යන්න කුමක්දැයි අසන අයද සිටිති. එෆ්. එම්. නාලිකා රසවින්දනය මොට කර ඇත. මේ පිළිබඳව සැබෑ ජාතික ප‍්‍රමිතියක් අද ඇවැසිව ඇත.
මෙවර 'සතියේ ගවේෂණය' අප වෙන්කරන්නේ සාහිත්‍ය මාසය තුළ විය යුත්තේ කුමක්ද? ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඔස්සේ පාඨකයාට දිය යුත්තේ කුමක්ද? යන්න 'කතාබහ' ට ලක්කිරීමට ය.
සංස්කරණය - ගාමිණී ජයලත්
පොත් කියවීමට පාඨකයන්ගේ උනන්දුව අඩුයි
- කේ. ජයතිලක - ප‍්‍රදීප ප‍්‍රකාශන
‘අද වන විට පොතපත කියවීම කෙරෙහි ජනතාව දක්වන උනන්දුව ගැන සතුටු විය නොහැකියි. පොත්පත් විශාල ලෙස මුද්‍රණය වීම වර්තමානයේ සිදුවන්නක්. නමුත් පාඨකයා සැහැල්ලු බොළඳ පොත පත කෙරේ දක්වන උනන්දුව වැඩි අතර ගැඹුරු හරවත් පොතපත කියවීමට දක්වන උනන්දුව අඩුයි.
ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මුල්ම සභාපති මම. එදා මේ ප‍්‍රදර්ශනය ආරම්භ කළ මුල්ම අවස්ථාවේ ප‍්‍රකාශකයෝ හිටියේ ඉතා සුළු ප‍්‍රමාණයක්. එනිසා මම එදා අතිරේක කාර්යයක් ලෙස ප‍්‍රකාශකයෙක් ලෙස මේ සඳහා ඉදිරිපත් වුණා.
නමුත් අද වන විට ප‍්‍රකාශකයෝ අති බහුතරයක් සිටින නිසා ප‍්‍රකාශක ක්‍ෂේත‍්‍රයෙන් මම දැන් ඈත් වෙලා. ලිවීමේ කාර්යය සිදු කරනවා. මෙම ප‍්‍රදර්ශනය අද වන විට අන්තර් ජාතික මට්ටම දක්වා දියුණු වෙලා. මේ වන විට දක්ෂ නිලධාරීන් පිරිසක් ඉතා සාර්ථකව මෙය කරගෙන යනවා.
මෙවර පොත් ප‍්‍රදර්ශනයට සීගිරි ගී නිර්මාණ කෘතියේ තුන්වන මුද්‍රණයත් අලුතින්ම රචනා කළ කෙටි කතා සංග‍්‍රහයකුත් කියවීමට රුචි කරන පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
සාහිත්‍ය මාසයේ දී පාඨක - ප‍්‍රකාශක සම්බන්ධතාව වැඩි වෙනවා
- උපාලි වනිගසූරිය - ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්
‘1999 ජාතික කලා භවනෙන් ප‍්‍රකාශකයන් 34 දෙනකුගෙන් ආරම්භ කළ මෙම පොත් ප‍්‍රදර්ශනය අද වන විට අන්තර් ජාතික මට්ටම දක්වා දියුණු වී තිබෙනවා. ප‍්‍රකාශකයන්ගේ දැඩි උනන්දුව මත කලාභවනෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට මෙම ප‍්‍රදර්ශනය ගෙන ගියා.
එහිදී හිතුවාටත් වඩා සාර්ථකත්වයක් දකින්න පුළුවන් වුණා. 2002 දී මැලේසියාව, සිංගප්පූරුව, මහා බි‍්‍රතාන්‍ය වගේ රටවල් ද මේ සඳහා සහභාගී වුණා. පසුව 2003 දී බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා කළමනාකාරීත්වය අපිත් සමඟ සම්බන්ධ වී සම සංවිධායකයන් ලෙස කටයුතු කිරීමට එක් වුනා.
මේ ආකාරයට වසර 9 ක් පුරා පැවැත්වූ මෙම ප‍්‍රදර්ශනයේ දස වන අභිමානවත් සංවත්සරය සැප්තැම්බර් මස 20 වැනි දින සිට 28 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කරනු ලබන ව්‍යාපාරයක් නොවන අතර මෙයින් ලැබෙන ආදායම ‘දරු දිරිය’ ශිෂ්‍යත්ව අරමුදල, පාසල් ගොඩනැගිලි අරමුදල, පුස්තකාල අරමුදල වැනි පොදු සමාජ සේවා කටයුතු සඳහා බැර කෙරෙනවා.
මෙවර ප‍්‍රදර්ශනය දෙස් විදෙස් අලෙවි කුටි හාරසිය පනහකට ආසන්න ප‍්‍රමාණයකින් සමන්විත වනවා. මෙම පොත් ප‍්‍රදර්ශනය දිනපතා පෙරවරු 9.00 සිට රාතී‍්‍ර 9.30 දක්වා මහජනතාව සඳහා විවෘත ව පවතිනවා.
තවද සිංහල නවකථා කලාව නගා සිටුවීමේ සහ නිර්මාණාත්මක ලේඛකයන් දිරි ගන්වන සිංහල නවකථා කලාවේ හෙට දවස වඩා යහපත් කොට පාඨක හා ප‍්‍රකාශක සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2007 ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමී ව ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ආරම්භ කළා. සම්මාන උළෙලක දී පිදෙන අති විශාල තෑගි මුදල වන රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් සමඟ ස්වර්ණ පුස්තක සම්මානය පිරිනැමෙන මෙම සම්මාන උළෙල මෙවරද පැවැත්වෙනවා.
මෙවර අවසන් වටයට නවකතා පහක් තෝරා ගැනේ. ජයග‍්‍රාහී නවකථාවට හිමි වන ලක්ෂ පහක ත්‍යාගය සහ ස්වර්ණ පුස්තක සම්මානයට අමතර ව කතුවරු පස්දෙනා සඳහා ම රුපියල් පනස්දහස බැගින් පිරිනැමේ. ඒ අනුව හොඳම නවකතාව වශයෙන් තේරෙන කෘතියේ කතුවරයාට රුපියල් පන්ලක්‍ෂ පනස්දහසක මුදලක් හිමිවනු ඇත.
(ලියාපදිංචි ප‍්‍රකාශක ආයතන විසින් 2007 වසර තුළ පළකළ රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නවකථා මෙම සම්මානය සඳහා සලකා බැලේ. මෙවර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන මහජනතාවට රුපියල් දහක් ගෙවා ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගැනීමට අවශ්‍ය වේ.
එම මුදල ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන අධ්‍යාපන කටයුතු වලදී දස්කම් දක්වන දූ දරුවන්ට ශිෂ්‍යත්ව දීම පිණිස දරු දිරිය ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙත බැර කෙරෙනවා. අවුරුදු 13 ට අඩු ළමයින් ගෙන් ද නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ද ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ නිරත වුවන්ගෙන් සහ ආබාධිත පුද්ගලයින්ගෙන් ඇතුල්වීමේ ගාස්තු අය නොකෙරේ.
පොත් ගෙවීමේ ක‍්‍රමයට ගන්න ඉඩ ලබා දිය යුතුයි
- මුදිත කාරියකරවන - කාරියකරවන ග‍්‍රන්ථ ප‍්‍රකාශන
‘පොත පත වෙනුවෙන් සාහිත්‍ය මාසය නමින් මාසයක් වෙන් කිරීමත් ලොකු දෙයක්. පොත් ප‍්‍රදර්ශන පැවැත්වීම, නව ග‍්‍රන්ථ පාඨකයා අතට පත් කිරීම සාහිත්‍යයට දක්වන උත්තේජනයක්.
රූපවාහිනිය පැමිණීමත් සමඟ මිනිසා පොත පත කියවීමෙන් ඈත් වුනා. මීට අවුරුදු 20 කට පමණ පෙර බහුතරයක් දෙනා මාසෙ පඩිය ගත්තාම අනිවාර්යයෙන් ම පොතක් මිලට ගෙන කියවීමට පුරුදු වී සිටියා. නමුත් අද එවැනි පුරුදු නැහැ. එය පොත් කර්මාන්තයට එක්තරා පහරක්.
පොත් ප‍්‍රදර්ශන පැවැත්වීම කියවීමට රුකුලක්. මම දන්නා තරමින් පොතක් කොටස් ලෙස ගෙවා මිලට ගැනීමේ ක‍්‍රමයක් තව ම නිර්මාණය වී නැහැ. එනිසා මම යෝජනා කරනවා පොත් ප‍්‍රකාශකයන්ට මිල අධික පොත් කොටස් ලෙස ගෙවා ලබා ගැනීමට ක‍්‍රමයක් නිර්මාණය කිරීම විශාල සත් කාර්යයක් බව.
මේ මගින් මිල අධික පොත් ගෙවීමේ ක‍්‍රමයට අරගෙන කියවීමේ අවස්ථාව පාඨකයින්ට උදා වෙනවා. ඒ වගේම පොත් කියවන පාඨකයනුත් වැඩිවෙනවා.

No comments: