Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

එජාපය කුමක් කීවත් ප‍්‍රභාකරන් මරා දමා රටට සාමය උදා කිරීමට කටයුතු කරනවා - ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
එක්සත් ජාතික පක්ෂය යුද්ධය ගැන මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ රජය ප‍්‍රභාකරන් කියන මහා ත‍්‍රස්තවාදියා සහ ත‍්‍රස්තවාදය විනාශ කර මේ රටට සාමය උදාකර දෙන බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප‍්‍රකාශ කළේය.
ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ සටනේ අවසන් මංසන්ධියට දැන් එළඹ ඇතැයිද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය. ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ හදිසි නීති විවාදයට එක් වෙමිනි.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (9) උදේ 9.30 ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් හා ලිපි ලේඛනාදිය සහ වාර්තා පිළිගැන්වීමෙන් පසු මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම් පෙත්සම්කාරක සභාවට යොමු කරන ලදී.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර දිසානායක මහතා (ජවිපෙ) විශේෂ ප‍්‍රකාශයක් කෙළේය.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා (එජාප) වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කෙළේය.
අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙළේය.
බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - අපේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සිදුකරන කැපවීම අප සැමදා අගය කරනවා.
ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන සටනට අප ශක්තිය ධෛර්යය ලබා දෙනවා. එසේම මේ සටන්වලින් උතුරේ හමුදා සාමාජිකයන් රැසක් මියගොස් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අපේ කණගාටුව පළ කරනවා. මෙවර හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී ඡන්දය නොදී සිටීමට අප තීරණය කොට තිබෙනවා.
සත්‍ය තත්ත්වය රටට හෙළි කිරීමේ වගකීම රජයට තියෙනවා. පළාත් සභා මැතිවරණයට පෙර යුද්ධය ගැන ආණ්ඩුව ප‍්‍රකාශ කළ දේ සත්‍ය නොවන බව අද පෙනී ගොස් තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සැහැල්ලු ගුවන් යානාවලින් තවමත් අපේ හමුදාවට ප‍්‍රහාර එල්ල වනවා.
අද මේ රටේ පොලීසිය විශාල පිරිහීමකට ලක් වෙලා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අයිලන්ඩ් පුවත්පතට කියා තිබුණා පොලීසිය බල්ලට ගිහින් නැහැ. බල්ල පොලීසියට ගිහින් තියෙනවා කියලා.
පොලිස් නිලධාරීන්ට රටේ වංචා දූෂණ වැළැක්වීමට නොහැකි වී තිබෙනවා. පොලිස් නිලධාරීන් විවිධ අක‍්‍රමිකතාවල සම්බන්ධ වී සිටිනවා. මේ තත්ත්වය තුළ පොලීසිය ගැන ජනතාවට විශ්වාසයක් තබන්න පුළුවන්ද?
(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මූලාසනයට පැමිණියේය.)
මර්වින් සිල්වා මහතා - ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වගේම විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂාව සලසන්නේ පොලීසියයි. අපේ ආරක්ෂකයන් ගැන මෙහෙම කතා කිරීම සාධාරණද ?
ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - පොලීසිය බල්ලට ගිහින් කියන්නේ මම නොවේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයයි.
පත්කළ මන්තී‍්‍ර එල්ලාවල මේධානන්ද හිමි (ජා.හෙ.උ) - එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මර්මස්ථානවලට හමුදාව පහර දෙනවා. ඉදිරියට ඇදෙන වීරෝදාර හමුදාවට අපේ ආශිර්වාදය හිමිවිය යුතුයි.
තන්නිමුරුප්පු වැව ආශි‍්‍රත ප‍්‍රදේශයේ විශාල ප‍්‍රදේශයක් අපේ හමුදාව අත්පත් කරගෙන තිබෙනවා. එය මීටර් අටසියයක ප‍්‍රදේශයක්. මෙම තන්තිමුරුප්පු ප‍්‍රදේශය ඓතිහාසික ලෙස අපට වටිනා ප‍්‍රදේශයක්.
ඒ වගේම තුන්වන මහින්ද රජ සමයේ මෙම ප‍්‍රදේශය තුළ විශාල සංවර්ධනයක් ඇතිවුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේත් විශාල ප‍්‍රදේශයක් මුදාගෙන තිබෙනවා.
අප අතරේ විවිධ ආකාරයේ සර්පයෝ ඉන්නවා. වෙහෙර විහාර බිඳලා මුදල් කොල්ල කන සර්පයෝ ඉන්නවා. උතුරේ මෙහෙයුම් අඩපන කරන්න උත්සාහ කරන සර්පයො ඉන්නවා.
ලංකාව ගැන විවිධ කටකතා පතුරවන සර්පයෝ ඉන්නවා. මේ සර්පයෝ කකුල් දෙකේ අය. කතෝලික පූජකවරයෙක් එල්.ටී.ටී.ඊ. යට සන්නිවේදන උපකරණ ගෙනවිත් දී ඇති බව මාධ්‍ය වාර්තාවෙත් සඳහන් වුණා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා (එජාප) - එල්.ටී.ටී.ඊ. සංවිධානයට සන්නිවේදන උපකරණ සපයා ඇති බවට ස්වාමීන් වහන්සේ සඳහන් කළා. මාධ්‍ය වාර්තා සියල්ලම නිවැරැදි නැහැ.
ඒ නිසා ආගමික භේද ඇති නොවන ආකාරයට අප සිදුකරන ප‍්‍රකාශ සිදුකළ යුතුයි. කතෝලික රදගුරු සංගමයත් මේ ගැන නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ආකාරයට සන්නිවේදන උපකරණ සපයා තිබෙන්නේ කතෝලික පූජකවරයෙක් නෙවෙයි. ආගමික නිකායකට අයත් සහෝදරයෙක්.
ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්ප කුමාර මහතා - විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක වූ පමණින් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය වෙනස් කරන්න ඔබතුමාට බැහැ. ඔබතුමා හිටපු කතානායකවරයෙක් නේද ?
1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බාර දුන්නේ දෙවුන්දර තුඩුවේ සිට යාපනය දක්වා කාටත් යා හැකිව තිබු රටක්. ඊටපසු ත‍්‍රස්තවාදය පටන් ගත්තා.
අද ත‍්‍රස්තවාදීන් විනාශ කර භූමිය නිදහස් කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කරනවා. අහිමි වී තිබූ භූමියෙන් අද අප ප‍්‍රයෝජන ගන්නවා.
ඒ ප‍්‍රදේශවල ජනතාව අද පොහොර සහනාධාරය ලබනවා. පාලම් පාරවල් ඉදි වෙනවා. චුන්නාකම් විදුලි බලාගාරයෙන් යාපනයට අඛණ්ඩ විදුලිය ලබා දෙනවා.
ධීවර ජනතාවට විශාල සේවයක් සිදු කරනවා. හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය නිසා අප ප‍්‍රදේශයේ ජනතාව බියෙන් සැකෙන්තොරව ජීවත් වෙනවා.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආර්. සම්බන්දන් මහතා (දෙ. ජා. සං.)
වන්නි ප‍්‍රදේශයේ ජනතාව මුහුණ දෙන තත්ත්වයයි මා මේ වාර්තා කරන්නේ. දෙමළ ජනතාවගේ අභිලාෂයන් යුද්ධයෙන් යටපත්කිරීම සිදු වෙනවා. ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට රජය බැඳී සිටිනවා.
දෙමළ ජනතාවගේ අභිලාෂයට ගැලපෙන යෝජනා වලියක් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා රජය අසමත් වී තිබෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මනෝ ගණේෂන් මහතා (බ. ජ. පෙ.)
හදිසි නීති විවාදයේ දී මගේ ජනතාව හා මානව හිමිකම් වෙනුවෙන් කතා කළත් අද මා ගැන කතා කිරීමට සිදුවී තිබෙනවා.
පක්ෂ නායකයෙක් නීතිය හා සාමය රකින මන්තී‍්‍රවරයෙක් ලෙස ත‍්‍රස්ත විමර්ශන අංශයට මා ගියේ කැඳවීමකට අනුවයි. කිලිනොච්චියට ගියා දැයි මගෙන් ප‍්‍රශ්න කළා.
ප‍්‍රසිද්ධියේ එහි ගිය බවත් එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරිය මහතාද දැනුවත් කර ගියා. මා පමණක් නොව තොණ්ඩමාන්.
ජී. එල්. පීරිස්, වැනි ඇමැතිවරුන් ද එහි ගියා. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පණිවිඩයක් ද රැගෙන මා එහි ගියා. බලය බෙදීම මගින් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එකට ජීවත්වීම සඳහා වන වැඩපිළිවෙළ එදත් කළා. අදත් කරගෙන යනවා.
ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා
පොලොන්නරුව ප‍්‍රදේශයේදී මගේ වාහනය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල වුණා. මෙවැනි සිද්ධින් ඉදිරියේදීත් සිදුවිය හැකියි. ගැටුම් පවතින ප‍්‍රදේශ වල ජනතාවට අවශ්‍ය බෙහෙත් ඇතුලු අනෙකුත් දේවල් රජය ලබා දෙනවා. සම්බන්ධන් කියන දේවල් වලට එකඟ වෙන්නට බැහැ.
ඒ ප‍්‍රදේශවලට අවශ්‍ය ආහාර, බෙහෙත් ඇතුලු අනෙකුත් ද්‍රව්‍ය අවශ්‍ය පමණටත් වඩා රජය ලබා දෙනවා. එම ජනතාවට පවතින ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලැබිය යුතුයි.
(අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. ඩී. ලාල්කාන්ත මහතා (ජ. වි. පෙ.) උඩවත්තේ නන්ද හිමියෝ මුලාසනයට පැමිණියහ.)
ලාල්කාන්ත මහතා
රජය හදිසි නීතිය දීර්ඝ කිරීමට සහාය ඉල්ලා සිටින්නේ යුදමය වැඩපිළිවෙළ දිගටම කි‍්‍රයාත්මක කරවීමටයි. විපක්ෂය ලෙස අප එයට සහාය දෙන්නේ විරෝධාර ආරක්ෂක අංශ වල කැපවීමට ධෛර්යයට සහාය දැක්වීමක් ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ මෙවරත් හදිසි නීතියට සහාය දෙනවා.
නමුත් රජයක වගකීමක් තිබෙනවා හදිසි නීතියට අප ලබාදෙන සහාය වෙනත් කරුණු සඳහා භාවිත නොකරන්නට.
රට තුළ පවතින ගැටලුවට එක් එක් නායකයෝ දේශපාලකයෝ විවිධ මත ඉදිරිපත් කරද්දී ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි කියලා.
ජනතා විමුක්ති පෙරමුණ අදත් ඉන්නෙ එදා සිටි ස්ථාවරයේමයි. එදා සුදු නෙළුම් ව්‍යාපාරය කරපු, පෙඩරල් ක‍්‍රමය අවශ්‍යයයි කියපු ඇතැම් දේශපාලකයෝ ජනතා විමුක්ති පෙරමුණටත් කියල දෙන්න හදනවා ත‍්‍රස්තවාදය සහමුලින්ම අතුගා දැමීම ගැන.
රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ අදූරදර්ශී වැඩපිළිවෙළ සහ රට ගැන ඇති හැඟීම නිසා භූමියේ අයිතියත් ත‍්‍රස්තවාදයට ලබාදීමට කටයුතු කළා. කොටි ජාලය ශක්තිමත් කළා. භූමිය අල්ලා ගැනීම, අත්පත් කර ගැනීම මුද්‍රාව කරනවා. අපි ඒ ගැන සතුටු වෙනවා.
අද මේ රටේ ප‍්‍රශ්නවලින් වැඩි හරියක් විසඳන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඉස්කෝලවලට ළමයි ඇතුල් කරන වැඩෙත් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
මේ ඇමැතිවරු ඉඳල වැඩක් නැහැ. මර්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් අපට ප‍්‍රශ්නයක් නෑ. එතුමාගේ හැසිරිමට පියවර නොගන්නා අය සම්බන්ධයෙන් තමයි අපට ප‍්‍රශ්නෙ තියෙන්නෙ.
මර්වින් සිල්වා මහතා
මම වැරැදි කරපු කෙනෙක් නෙවෙයි. මම කැමරා හොරකම් කළේ නෑ. වංචා කළේ නෑ.
ලාල්කාන්ත මහතා යුද්ධය සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවලට චෝදනා නෑ. අපේ ති‍්‍රවිධ හමුදාව විනය ගරුක භාවය අතින් අති ඉහළයි. ලෝකේ ඕනෑ ම හමුදාවක් සමඟ සසඳන්නට පුළුවන්. නමුත් අසූව දශකයේ දී අපේ හමුදාවන්ට විවිධ චෝදනා තිබුණා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලාසනයට පැමිණියේය.)
කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා :-
‘ හෙළ දෙරණ ජන ජයතු ජය මංගලන් ‘ රට ගැන හැඟීමක් තිබෙන නිසා මම කතාව පටන් ගන්න කලින් එහෙම කිව්වේ. ජ.වි.පෙ. ලාල්කාන්ත මන්තී‍්‍රතුමා ගේ කතාව ගැන මම මොකුත් කියන්නේ නෑ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය ගැන මේ රටේ ජනතාව දන්නවා.
පොලීසියට අගෞරව කරමින් කතා කරන අය පොලිසියේ ආරක්‍ෂාව ඇතිවයි ජීවත් වන්නේ. එයයි අද විපක්‍ෂයේ තත්ත්වය.
ජනමාධ්‍යවේදියකුට ඉතිහාසය පිළිබඳ දැනුමක් තිබෙන්න ඕන. රටේ තැන තැන සිදු වන දේ බොරුත් දමා පළ කරන අය මාධ්‍යවේදීන් වෙන්නේ කොහොමද? රිචඩ් ද සොයිසා වැනි අභීත මාධ්‍යවේදීන් මරා දැමු අය තමයි අද මාධ්‍යවේදීන් ගැන කතා කරන්නේ.
උතුරේ කොටියට විරුද්ධව කරන යුද්ධය වගේම දකුණේ කොටින්ට සහාය දෙන පිරිසට එරෙහි යුද්ධයකුත් කරන්නට රජයට සිදු වී තිබෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විමල් වීරවංශ (ජා.නි.පෙ) මහතා:-
බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නැගෙනහිරින් සහ උතුරෙන් පළවා හැර මේ රටට සාමය උදා කිරීමේ දිනය තව නොබො දිනකින් එළඹෙනු ඇතැයි ජනතාව බලාගෙන සිටින මොහොතකයි අප මේ කතා කරන්නේ.
බෙදුම්වාදය ආකාර කිහිපයකට කි‍්‍රයාත්මක වෙනවා. ත‍්‍රස්තවාදය පරාජය නොකොට බෙදුම්වාදය පරාජය කළ ;නාහැකියි. සන්නද්ධ ද්‍රව්‍යමය බලය පරාජය කිරීමෙන් පමණක් බෙදුම්වාදය පරාජය කරන්න බෑ.
එහෙත් බෙදුම්වාදය පරාජය කිරීම සඳහා එයත් කළ යුතු දෙයක්. ඒ නිසා තමයි අපි යුධමය වශයෙන් සහ මතවාදී වශයෙන් බෙදුම්වාදය පරාජය කළ යුතු බව කියන්නේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොමැති තැනක බෙදුම්වාදය මතවාදීව සහ දේශපාලන වශයෙන් පරාජය කරන්නට බැහැ. ඒ නිසා යුදමය වශයෙන් ත‍්‍රස්තවාදය පරදවා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කි‍්‍රයාකරමින් බෙදුම්වාදය පරාජය කළ යුතුමයි.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සටන් විරාම ගිවිසුම හරහා ලැබෙන්නට ගියේ අද ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කොට ලබා ගන්නා දෙයම බව රටට ඒත්තු ගැන්වීමට ඇතැමුන් උත්සාහ කරනවා.
එය අමූලික බොරුවක්. මිත්‍යාවක් මෙයින් කරන්නේ අපේ අභීත රණ විරුවත් හෑල්ලුවට ලක් කිරීම පමණයි.
බෙදුම්වාදය යුදමය හා මතවාදීව පරාජය කිරීමට මූලිකත්වය ගත් දේශපාලන ව්‍යාපාරයක් මේ මතයට තල්ලු වීම ගැන කණගාටුවට කරුණක්. මේ රටේ බෙදුම්වාදය පරාජය කරන්නට රණ විරුවන්ට ශක්තියක් වීමට ජාතික නිදහස් පෙරමුණ පෙරමුණ ගන්නවා.
(උඩවත්තේ නන්ද හිමියෝ මුලසුනට වැඩම කළහ)
ධීවර හා ජලජ සම්පත් ඇමති පීලික්ස් පෙරේරා මහතා
උතුරුමැද සහ සබරගමුව පළාත්සභා ඡන්ද දෙකේදී ජනාධිපතිවරයා පක්ෂයට ඡන්දය ඉල්ලුවා. එදා බණ්ඩාරනායක මැතිණිය පරාජය වීමෙන් පසු අප අවුරුදු දහහතක් හිටියා.
එතුමිය නායකත්වයෙන් ඉවත් කරන්න කවුරුත් හැදුවෙ නැහැ. දැන් එ.ජා.ප.ය පරාදවෙලා අවුරුදු දෙකයි. නායකයා ඉවත් කරන්න හදනවා.
ජනාධිපතිවරයා නායකත්වය බලගන්වනවා. යුද්ධය ඇතිකළ එ.ජා.ප.යට නායකත්වයක් ගන්න අවුරුදු දහහතක් නෙවි තව අවුරුදු ගාණක් ඉන්න වෙයි.
මන්ද ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතරම් ශක්තිමත් නායකයෙක්. මුලතිව් කිලිනොච්චි, මන්නාරම හා වවුනියාවේ අහිංසක දෙමළ ජනතාවට නැව්ගමන් 187කින් ආහාර, භූමිතෙල් යනාදිය යවා තිබෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන කොළඹට ගෙනත් විකුණා තිබෙනවා.
මේ ඒකීය රටක්. යුද්ධයක් තිබුණත් කිලිනොච්චියට කන්න දෙන්නෙත් අපේ ජනාධිපතිවරයා බව මා කියනවා.
මා ජනාධිපතිවරයා දකින්නේ රුසියාවේ පුටින් මහතා ලෙසයි. අද හරි නායකයෙක් රටට ලැබී තිබෙනවා. ඒ නිසා ඕනෑ තැනක ඕන දවසක ඡන්දයක් තිබ්බොත් එතුමාගේ ප‍්‍රභාවට හා යහපාලනයට ජනතා කැමැතිවන බව කියන්න පුළුවන්.
පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පාලිත රංගෙ බණ්ඩාර මහතා (එ.ජා.ප)
උතුරුමැද සහ සබරගමුව ඡන්දයට පෙර දින පනස් පහක්ම මැරකම් කොට අවසන් දින දෙකේ නිහඬව සිල්ගත්තා වගේ හිටියා. රාජ්‍ය මාධ්‍ය හා පොලිසිය ඒ කාලේ කි‍්‍රයාකළේ අපක්ෂපාතීව නොවේ.
පොලිස් දෙපාර්තමේන්තුව වැඩි කල් යන්න පෙර නිකම්ම නිකං දෙපාර්තමේන්තුවක් බවට පත්වෙනවා.
රණවිරුවන්ට ශක්තිය ලබා දීමට මහනුවරට රණ ඝෝෂා පෙරහැර ගිහින් වැඩක් නෑ. රණඝෝෂා යන්නට ඕනෑ යුද්ධය පවතින ප‍්‍රදේශවලටයි.
සෞඛ්‍ය ප‍්‍රවර්ධන හා රෝග නිවාරණ නියෝජ්‍ය ඇමැති ජයරත්න හේරත් මහතා
අපේ වීරෝදාර රණ විරුවන් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් සිදු කරන කැප වීම ගැන අප අගය කරනවා. අපේ රණ විරුවන් කරන මේ කැපවීම ගැන කිසි ම ඇගැයීමක් රංගේ බණ්ඩාර මන්තී‍්‍රතුමා වැනි එ.ජා.ප.යේ මන්තී‍්‍රවරුන්ට නැහැ.
ආරක්ෂක අංශවලින් සිදුවන සුළු සුළු අතපසුවීම් ගැන මහ ලොකුවට කතා කරන්නේ ඒ නිසයි. කොටින් ගේ කි‍්‍රයා ගැන උද්දාමයෙන් තමයි ඔහු කතා කරන්නේ.
කලක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ රංගේ බණ්ඩාර මහතා ආරක්ෂක හමුදාව හෑල්ලුවට ලක් කිරීම ගැන අප කණගාටු වෙනවා.
එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ලැබුණ හැම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගනිමින් ප‍්‍රචණ්ඩත්වය යොදවා ඡන්දය දිනා ගන්නට උත්සාහ කළා.
එහෙත් ජනතාව ඔවුන්ට නිසි උත්තරය දුන්නා. එය මේ පක්ෂ දෙකට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඉදිරි සෑම මැතිවරණයකදීම මේ පක්ෂ දෙක කුණු බක්කියටඇද දැමීමට ජනතාව පෙළ ගැසී සිටිනවා.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා (මු.කො)
යුද්ධය තීරණාත්මක මොහොතකට එළඹ තිබෙනවා. දෙපාර්ශවය ම පරස්පර මත ඉදිරිපත් කරනවා. ත‍්‍රස්තවාදය විනාශ කරන මුවාවෙන් ඉතාමත් කුරිරු යුද්ධයක් මේ මොහාතෙත් සිදු වෙනවා.
නැගෙනහිර පළාත ත‍්‍රස්තවාදයෙන් මුදවා ගත්තත් යම් යම් ප‍්‍රදේශවල විවිධ සිද්ධි සිදු වෙනවා. වන්නි ප‍්‍රදේශයේ ජනතාව විශාල ලෙස අවතැන් වෙමින් සිටිනවා. මෙලෙස අවතැන් වන ජනතාවට සහන සැලසීම රජයේ වගකීමක්.
විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා
යම්යම් කරුණු පිළිබඳ ව විකෘති අදහස් ඉදිරිපත් කරන යම් තොරතුරු නිසයි මම අදහස් දක්වන්නේ. අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ද විකෘති අදහස් ඉදිරිපත් කළා. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නැගෙනහිර මුදා ගැනීම ගැනත් මේ වගේ විකෘති අදහස් ඉදිරිපත් කළා.
ඒ වගේ මානසික මට්ටමක ඉඳලයි මේ අය අදත් අදහස් ඉදිරිපත් කරන්නේ.
මේ අය ගේ විකෘති අදහස් නිසා කලු කොටි කියන්නේ මහ දැවැන්ත චරිත කියල මේ රටේ ජනතාව විශ්වාස කළා. රංගේ බණ්ඩාර අද කළ කතාවෙනුත් කොටින්ට නැති වටිනාකමක් ලබා දුන්නා.
ලෝකය පුරාම ඊළාම් සිහිනයක් ඇති කිරීමට කොටියනට හැකිවී තිබෙනවා. ඊළාම් සිහිනය සැබෑ කරගන්නට ඔවුන් ලෝකය පුරාම මුදල් එකතු කළා. අද ඒ දේවල් බොහෝ දුරට නතර වෙලා.
මේ විදිහට මුදල් එකතු කළේ එල්. ටී.ටී. ඊයේ වික‍්‍රමයන් පෙන්වලා. නමුත් අද එහෙම වික‍්‍රමයන් විකුණලා මුදල් එකතු කරන්නට බැහැ. රජයට යුද්ධය විකිණීමේ අවශ්‍යතාවයක් නෑ.
නමුත් යුද්ධය සාර්ථකව සිදු කෙරෙනවා. රජයට අවශ්‍ය නැහැ යුද්ධය විකුණල මැතිවරණ දිනන්නට . අවුරුදු 25ක් විසදීමට බැරිව තිබූ මේ ගැටලුව විසදීමට මැදිහත් වීමම සාර්ථක පියවරක් නෙවෙයිද.
අවුරුදු විසිපහක් පුරා විසදන්නට බැරිව තිබු ගැටලුවට රජය සාර්ථක විසදුමක් ලබාදෙමින් සිටිනවා. එය අතිශය සාර්ථකයි.
වව්නියාවේ අද ඇති වූ සිද්ධිය ගැන රංගේ කියපු සියල්ල බොරු. අද ඇතිවු මේ සිද්ධියෙන් අපේ 14ක් මිය ගිහිල්ලා.
ඔවුන් ගේ ගුවන් යානාවක් විනාශ කිරීමට සහ ආපු සියලු දෙනා ම විනාශ කරන්නට අපේ හමුදාව අද සමත් වුණා. මේ අය මේ ආකාරයට සිදු කරන ප‍්‍රකාශ නිසා විනාශ වෙන්නේ හමුදාවන් ගේ චිත්ත ධෛර්යයි.
ආරක්‍ෂක හමුදාව කියන්නේ මේ රටේ මුර දේවතාවුන්. ඔවුන් රකින්නට, උත්සාහ කරන්නෙ පෞද්ගලික බූදලයක් නෙවෙයි. මෙවැනි නිහින ප‍්‍රකාශ කිරීම නින්දිතයි.
ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි. මේ රට ප‍්‍රභාකරන් කියන මිනීමරුවාට පිගානක තියල දෙන්න කියලද කියන්නෙ. රටේ තව ප‍්‍රශ්න තිබෙන බව ඇත්ත. නමුත් අනිත් ප‍්‍රශ්න ඉබේට ම විසඳෙයි ප‍්‍රධාන ප‍්‍රශ්නය විසඳුනොත්.
ඒ නිසා කොටි ත‍්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දෙන නින්දිත ප‍්‍රකාශ සිදු කරන්නට එපා. විපක්‍ෂය සිදු කරන ප‍්‍රකාශවලින් සියයට අනූවක් අසත්‍යයයි.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා
පසුගිය මාසය තුළ අපේ රටේ රණවිරුවන් රැසක් යුද්ධයෙන් මිය ගියා. ඒ සියලු රණවිරුවන්ට අප ගේ ආචාරය පුද කරනවා.
පසුගිය උතුරුමැද , සබරගමු පළාත් සභා මැතිවරණවල දී පොලිසිය කි‍්‍රයා කළ ආකාරය ගැන මුළු රට ම දැක්කා.
මැතිවරණයට පෙර දවස් 52ක් තුළ සිදු වූ සියලු සිදුවීම් අහෝසි කර මැතිවරණ දින පැය 08ක් තුළ කිසි ම සිදුවීමක් සිදු නොවූ පලියට සාධාරණ හා නිදහස් මැතිවරණයක් ලෙස මේ මැතිවරණය හඳුන්වා දීමට උත්සාහ දරනවා.
පොලිසිය දේශපාලන හස්තයන්ට යටත්ව සිටියදීය මේ මැතිවරණය පැවැත්වුණේ.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එන්. ශී‍්‍රකාන්ත් මහතා (දෙ.ජා.ස) :-
ශී‍්‍ර ලංකා දූපතේ තිබෙන ප‍්‍රශ්නයට එක ම විසඳුම යුද්ධය කියලා හිතාගෙන මේ ආණ්ඩුව කි‍්‍රයා කරමින් සිටින බව අපගේ ස්ථාවරයයි.
(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චද්‍රශේකරන් මහතා මූලාසනයට පැමිණියේය.)
ශී‍්‍රකාන්ත් මහතා :-
මේ ප‍්‍රශ්නය යුද්ධයෙන්ම විසඳ්‍ර ගැනීමට උත්සාහ කිරීම සාර්ථක කි‍්‍රයාවක් නොවේ. මෙය මුවහත් පිහියක දෙපැත්ත වගෙයි.
මේ ප‍්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන වශයෙන් විසඳ්‍ර ගත යුතුයි. ත‍්‍රස්තවාදය තුරන් කරන තෙක් රටේ ජනතාවට ඉවසාගෙන සිටින ලෙස ආණ්ඩුව සෑම විටම ජනතාවට කියනවා.
ජනතාව මෙය කොතරම් දුරට ඉවසාවිද? මෙරට සිටින දේශපාලඥයන් තවමත් තමන්ගේ වැරදි සකස් කර ගැනීමට සූදානම් නැහැ.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එම්. කේ. ශිවාජීලිංගම් මහතා (දෙ.ජා.සං)
අප කරන්නේ ත‍්‍රස්තවාදයක් නොවේ. විමුක්ති සටනක් අපේ සටන ලෝකය පිළිගනිමින් තිබෙනවා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා (එ. ජා. ප.)
වව්නියාවේ රේඩාර් පථයට පහරදීම නිසා අද මුළු රටම අනාරක්‍ෂිතව තිබෙනවා. මේ දුර්වලකම ඇතිවූයේ කොහෙන්දැයි සෙවිය යුතුයි. මැතිවරණ දුෂණ ගැන ඉදිරියේදී අධිකරණයට කරුණු කීමට එ. ජා. ප. ය සූදානම්.
සභානායක, සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා
විපක්‍ෂය පළාත් සභා ඡන්ද පරාජය ඉවසනු බැරිව අසත්‍ය චෝදනා කළත් ජනතාව රවටන්න බැහැ. මැතිවරණ ජයගන්න බව එ. ජා. පය එදා පාරම්බෑවා. අද කියන්නේ සාධාරණව ඡන්ද පැවැත්වූවේ නැති බවයි.
රනිල් ඡන්ද ටිකක් වැඩි වුණා කියලා චූන් වෙලා තියෙනවා. හැබැයි පරාදයි. තම පක්‍ෂය දෙකඩවෙලා ජනතාව එ. ජා. පය කෙරෙහි විශ්වාසය නැතිවෙලා.
පක්‍ෂයේම අය නායකයාට යන්න කියනවා. මේක තමයි යුගයේ ලොකුම විහිළුව. තම පක්‍ෂය එකතු කරගන්න බැරිව බිම් මට්ටමේ තම ජනතාවට නායකත්වයක් දෙන්න බැරිව තිබෙනවා.
එ. ජා. ප. ය හා ජ. වි. පෙ. අපට එපා කියා ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා තෝරාගෙන තීන්දුවක් දුන්නා. ජ. වි. පෙ. ඡන්ද විමල් වීරවංශ කණ්ඩායමට ගහපු නිසා ඡන්ද අඩුවුණා.
කොටි ගුවන් යානා බෝම්බ දැම්මා කියා එ. ජා. පය කාලකණ්නි සතුටක් ලබනවා. එක් ගුවන් යානයක් බිම දැමූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග කියනවා.
යුද්ධයේ අවසාන මංසන්ධියට පැමිණ තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ රජය ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්තවාදියා හා ත‍්‍රස්තවාදය විනාශ කර අහිංසක දෙමළ ජනතාවට සහනය ලබා දෙනවා.
කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය
නිමල් සිරිපාලද සිල්වා මහතා
ජෝන් පුල්ලේ මහතාගේ නිවසට පහරදීම ගැන ජනාධිපතිතුමා කණගාටුව පළ කළා. එම පහරදීම අප අනුමත කරන්නෙ නැහැ. නමුත් රත්නපුරේ මිනීමැරුමක් කළ ‘සර්පයා’ තවම ගංගාගෙන ඉන්නෙ කවුද?
ජානක පෙරේරා මහතා ඔහු රණවිරුකම් කළ නමුත් ඕස්ටේ‍්‍රලියාවේ සිට මෙහි පැමිණ දේශපාලනයට පිවිස කොටි සංවිධානයට උඩගෙඩි දෙන එ. ජාපයෙන් ඡන්දෙ ඉල්ලුවා.
හමුදාව හැරගිය විශාල පිරිසක් විවිධ දේ කරන්න ආවත් අප ඉඩදුන්නා. රිටායඩ් ජනරාල්වරු ආවාට, නළුවො ආවාට ජනමතය වෙනස් කරන්න බැහැ. අප ජය ගත්තා.
ඇතිවූ ප‍්‍රචණ්ඩත්වය රජය සිදුකළදේ නොවන බව අප ඉතා පැහැදිලිව කියනවා. සියලුම චෝදනා ජනතාව ප‍්‍රතික්‍ෂේප කරනවා. ඒවා බාරගන්නේ නැති බවට ජනතාව තීන්දුවක් දුන්නා.
පළාත්සභා දෙක ජයග‍්‍රහණය කිරීමට සහයෝගය ලබාදුන් ජනතාවට අපේ ප‍්‍රණාමය පළකරනවා. එය උතුරේ සටන ජයග‍්‍රහණය සඳහා ලබාදුන් සහයෝගයක්.
උතුරේ ජනතාව අවතැන්වුණේ ප‍්‍රභාකරන් නිසයි. ඒ ජනතාවට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට රජය සූදානම්. නමුත් ප‍්‍රභාකරන් ඔවුන් එවන්නෙ නෑ. උතුරේ ජනතාව එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව නැඟී සිටින දිනය වැඩි ඈතක නොවේ.
සතුරාට පහරදෙන අවස්ථාව තීන්දු කරන්නේ දේශපාලන නායකත්වය නොවේ. යුද කිරීම වීරෝදාර හමුදාවට බාරදී අවශ්‍ය සහයෝගය ලබා දී තිබෙනවා.
සැහැල්ලු ගුවන් යානා කොටස් ගෙනාවේ ඉරණමඩු ගුවන් පථය හැදුවේ සටන් විරාම සමයේ බව එ. ජා. ප. යට කියන්න ඕනෑ. රට රටවලට ගොස් රජයට උදව් කරන්න එපා යැයි එ. ජා. ප. නායකයා කියපු නිසා ජනතාව ඒ පක්‍ෂයට විරුද්ධව ඡන්දය දුන්නා.
ඡන්දයෙන් වැළකී සිටින බව එ. ජා. ප. ය කියනවා ඒකත් සෙවළ ප‍්‍රතිපත්තියක්. මේ වෙලාවේ බේදයෙන් තොරව රණවිරුවන්ට සහයෝගය දෙන්න ඕනෑ. ආර්ථික ප‍්‍රශ්න ගැන සටන් කරන්න අපට පස්සෙ පුළුවන්. ඒ සඳහා අපට රටක් තිබිය යුතුයි.
පාර්ලිමේන්තුව අද (10) උදේ 9.30ට යළි රැස්වේ.

No comments: