Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 29, 2008

හොර බැංකු දණ ගස්වන්න ළඟදීම නීති ගෙනෙනවා රංජිත් සියඹලාපිටිය - රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් හා ක‍්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති

ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල පහළ බැස ඇතත් අපේ තෙල් මිල පහළ නොයාම දැවෙන ප‍්‍රශ්නයකි. ඒ අතරතුර විවිධ ෆිනෑන්ස්කාරයෝ ආදීහු නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ජනතාවගෙන් මුදල් රැස්කරති. මේ කරුණුවලින් පෙනෙන්නේ ආණ්ඩුවේ යුතුකම ජනතාවට හරිහැටි ඉටු නොවන බවද? අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊට මෙසේ පිළිතුරු දෙයි.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යද්දී, මේ රටේ තෙල් මිල ඉහළ දමන ආණ්ඩුව, ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහත වැටී ඇතත් එහි වාසිය ජනතාවට ලබා නොදෙන බවට විපක්ෂය චෝදනා කරනවා. මුදල් විෂයභාර ප‍්‍රධානියකු ලෙස ඔබට මේ පිළිබඳ කියන්න තිබෙන්නේ කුමක්ද?
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගිය විටත්, ඒ තුළින් අපිට පැටවුණු බර අපි මුළුමනින්ම ජනතාව මත පැටවුවේ නැති බව මා මුලින්ම කියන්න ඕන.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල මහා විශාල ලෙස ඉහළ ගියත් එහි බර ජනතාව මත නොපටවා වැඩි බරක් ආණ්ඩුව දරාගත්තා. ඒ කියන්නේ මහා භාණ්ඩාගාරය ලොකු සහනාධාරයක් ඉන්ධනවලට ලබා දෙන අතරයි මේ රටේ ඉන්ධන මිල වැඩි කළේ.
නමුත් ජනතාව නම් කියන්නේ නිතිපතා ඉන්ධන මිල ලොකු ලොකු ගණන්වලින් ඉහළ ගිය බවයි.
ඔව් ! අපි බලමු, 2001 සිට 2004 අප්‍රේල් මාසය දක්වා මේ රට පාලනය කළේ, එක්සත් ජාතික පක්ෂය. එදා අගමැති ධුරය දැරුවේ රනිල් වික‍්‍රමසිංහ මහත්තය.
එතුමාගේ නායකත්වයෙන් එදා එක්සත් ජාතික පක්ෂය අපේ රටේ තෙල් මිල 11 වතාවක් වැඩි කළා. වාසනාවකට ඒකාලේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරල් එකක මිල අමෙරිකානු ඩොලර් 29 ත්, 30 ත් අතරයි පැවැතුණේ.
එදා ඒ මිල ගණන් තවත් ඉහළ ගියා නම්, අද ඔය ජනතාව ගැන කිඹුල් කඳුළු හලන අය තෙල් මිල වැඩි කරන ගාණ මීට වඩා හුඟක් විශාල වෙයි.
මම පැහැදිලි කරන්නම්, ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරල් එකක මිල ඩොලර් 147 දක්වා ඉහළ ගියා. සමහර ආර්ථික විශේෂඥයෝ කිව්වා ඩොලර් 200ට යයි කියලා.
ඒ මිල වැඩිවීම ප‍්‍රතිශතයක් ලෙස ගත්තොත් සීයයට පන්සීයය හයක වැඩිවීමක්. මේ මිල වැඩිවීම නිසා අපි පෙට‍්‍රල් රු. 70.00 සිට අද වනවිට රුපියල් 157.00 දක්වා වැඩි කළා.
මේ මිල වැඩිවීම ප‍්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට 224 ක්. ඩීසල් එදා රුපියල් 44.00යි. අද ඩීසල් ලීටර් එකක් රුපියල් 110.00යි. මිල වැඩිවීමේ ප‍්‍රතිශතය සීයයට 250 යි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25.50 යි. අද වනවිට රුපියල් 80.00 යි.
මිල වැඩිවිමේ ප‍්‍රතිශතය සීයයට 313 යි. මේ අනුව පෙනෙනවා සීයයට පන්සියයකින් කිසිම තෙල් වර්ගයක මිල ඉහළ දමල නෑ.
මේ මිල වැඩිවීමේ ප‍්‍රතිශතයත් ඉතාම නිවැරැදි සත්‍ය ඒවා.
මේ දිහා බැලුවිට ඕනෑම බුද්ධියක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපි සීයයට 506 කින් ඉහළ යන ප‍්‍රතිශතයක් දරාගෙන ඊට භාගයකටත් අඩු ප‍්‍රතිශතයකිනුයි මේ රටේ තෙල් මිල වැඩි කර තිබෙන්නේ.
ඉන්ධන සඳහා ආණ්ඩුව ජනතාවට සහනාධාරයක් ලබාදෙන බවද ඔබ කියන්නේ?
ඔව් ! ඒක තමයි ඇත්ත. අපි දැන් බොරුවට කිඹුල් කඳුළු හෙළන අයට කියන්න කැමැතියි, අපේ මේ අන්දමට කටයුතු කරන්නේ, අපේ රටේ තෙල් කඳුලක් නිෂ්පාදනය නොකරන තත්ත්වයක් යටතේ.
ඒවාගේමයි මේ රටේ භූමිය කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ දැඩි මෙහෙයුම් සිදු කරන අතරෙයි. අපි මානුෂීයිය මෙහෙයුම් කියා, මේ රටේ කිසිම සංවර්ධන වැඩසටහනක් නතර කළේ නෑ.
ජනතාවට ලබාදෙන කිසිම සහනාධාරයක් කපා දැම්මේ නෑ. අපි සංවර්ධන වැඩ නතර කොට තිබූ ඒවා ආරම්භ කළා.
ලබාදෙන සහනාධාර මුදල් ප‍්‍රමාණයත් වැඩි කළා. සහනාධාර ලාභීන් ප‍්‍රමාණයත් වැඩි කළා.
ආණ්ඩුව ඉන්ධනවලට සෙස් බද්දක් පැනෙව්වා ඉන්ධනවලට බදු පනවමින් ජනතාව පීඩනයට පත් කරන බවට නඟන චෝදනා ඒ අනුව බොරුවක් කියල හිතන්න බැහැ.
බොර තෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 123 කට තිබුණු කාලේ, පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 157 යි. ඩීසල් ලීටරයක් රුපියල් 110, භූමිතෙල් ලීටරයක් රුපියල් 80 යි.
එතනදි පැට‍්‍රල් වලින් 17 ක ලාභයක් ලැබුණා. නමුත් ඩීසල් වලින් රුපියල් 20.54 කුත්, භූමිතෙල් වලින් රු. 47.37කුත් පාඩු ලැබුවා.
ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරල් එකක් ඩොලර් 147 ට ගියත් ආණ්ඩුව තෙල් මිල ගණන් වැඩි කළේ නෑ.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමවිටම උපදෙස් දුන්නේ පුළුවන් තරම් ජනතාව මත බර පටවන එක අඩු කරන්න කියලා.
අපි බදු පනවමින් ජනතාව පීඩාවට පත් කළේ නෑ.
අපි ගිය අවුරුද්දේ විතරක් බෝට්ටු හිමියන්ටයි, සමෘද්ධි ලාභීන්ටයි ඉන්ධනවලට සහනාධාර ලෙස රුපියල් මිලියන 350ක් වැයකොට තිබෙනවා.
මම එකක් පැහැදිලිව කියන්නම්, ඔය කිඹුල් කඳුළු හෙළන එක්සත් ජාතික පක්ෂයේ අය ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වනවිට ඒ අයගේ මිල සූත‍්‍රය අනුව කටයුතු කළා නම් රුපියල් 157 තිබෙන පෙට‍්‍රල් ලීටරය අපිට ගන්න වෙන්නේ රුපියල් 149.58 වෙන්න පුළුවන්.
ඩීසල් ලීටරය රු. 110 දැන් දුන්නාට, ඒ අයගේ ක‍්‍රමයට රුපියල් 152.37 කටත්, භූමිතෙල් ලීටරේ රුපියල් 129.30 කටත් ගන්න වෙනවා.
එක්සත් ජාතික පක්ෂය තෙල් මිල වැඩිවීමේ මුළු බරම ජනතාවගේ කර මත පටවනවා. අපි ඒ බරෙන් හැකිතරම් ප‍්‍රමාණයක් දරනවා. ඒකේ කිසිම අසත්‍යයක් නෑ. අපි දැනටමත් තෙල්වලට සහනාධාර දීලා තිබෙනවා.
තෙල් කඳුලක් නිපදවන්නේ නැති අපි විතරක් නොවෙයි, ලෝකේ තෙල් නිපදවන රටවලුත් තෙල්වලට බදු පනවනවා.
ඒක සාමාන්‍ය බදු ප‍්‍රතිපත්තිය. ඒත් අප අපේ බදු ප‍්‍රතිපත්තිය ජනතාවට දැරිය හැකි ලෙසයි භාවිත කරන්නේ.
අපි මල නොතලා රොන් ගන්නේ. ඒ ගත්තා වුණත් ඒ මුදල් රටේ සංවර්ධනයටයි යොදවන්නේ.
ආණ්ඩුව පොහොර සහනාධාරය ලෙස බිලියන 15 ක් මේ වසර සඳහා වෙන් කළා ඒ මුදල බිලියන 39 ක් දක්වා වැඩි කරන්න සිදුවේතැයි ඇස්තමේන්තු කරලා තියෙනවා.
තෙල් මිල වැඩිවිමත් සමඟ පොහොර විශේෂයෙන් යුරියා පොහොරවල මිල ඉහළ යනවා.
ආණ්ඩුව තෙල් මිල අඩු කරන්නේ නෑ කියා කිඹුල් කඳුළු හෙළන අය අපි පොහොර මිල වැඩි නොකර රුපියල් 350 ට පොහොර මිටියක් ලබාදීම ගැන කථා කරන්නේ නෑ. අපිට දුක ඒකයි.
තෙල්වලට බදු පැනැවීම ගැන කථා කළොත්?
මම මුලිනුත් කිව්වානේ, තෙල් නිපදවන රටවලුත් තෙල්වලට බදු හඳුන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ පෙට‍්‍රල් ලීටරයකට රුපියල් 15 කත්, ඩීසල් වලට රුපියල් 15 කත් සෙස් බද්දක් පැනෙව්වා.
අපි පෙට්ට‍්‍රල්වලින් රුපියල් 05 බද්දක් අය කරනවා. ඩීසල්වලින් භූමිතෙල්වලින් ශත පහක්වත්, බදු ගන්නේ නෑ.
යූ.එන්.පීය භූමිතෙල් ලීටරයකින් රු. 1.25 ක නිෂ්පාදන බද්දක් අය කළා.
අපි මේ මෑතකදී ඩීසල්වලට රුපියල් 10 ය, පෙට‍්‍රල්වලට රුපියල් 15කයි සෙස් බද්දක් අය කළේ, ඒ බද්ද තුළින් සමස්ත ඛණිජ තෙල් සංවර්ධන ක්ෂේත‍්‍රයේ ම දියුණුවට වැඩ කරන්නයි.
අපි තෙල් පිරිපහදු, තෙල් ගබඩා සංකීර්ණ හදනවා. තෙල් ගවේෂණය කරනවා. මේවා කරන්න අපිට අරමුදල් අවශ්‍යයයි. අනික ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු නැතිව ඉදිරියට ගෙනයා යුතුයි.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීම නිසා ඉන්දියානු තෙල් සමාගම අධික ලාබ ලැබීම සීමා කරන්නත් බද්ද බලපෑවා.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් විපක්ෂය කියන විදිහට මේ දවස්වල ඇත්තට ම අඩු වෙලා ද?
අපිටත් තිබෙන ප‍්‍රශ්නයත් ඒකයි. ලෝක වෙළෙඳ පොළේ තෙල් වර්ග දෙකක් අපි මිලට ගන්නවා.
බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්. ටී. අයි. කියන වර්ග දෙක. ඇත්තටම මේ සැප්තැම්බර් 16 වැනිදා බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරල් එකක් ඩොලර් 86.2යි.
17 වැනිදා 86. 18 වැනිදා 91.29. 19 වැනිදා 96.97යි. 20 වැනිදා ආයේ 100.82ක් වුණා. 23 වැනිදා 101.12යි. 26 වැනිදා 100.85යි.
ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බැරල් එකක මිල ඩොලර් 122.6, ඒ සැප්තැම්බර් 22 වැනිදා.
23 වැනිදා 107 26 වැනිදා 112.34. මේ අන්දමට මේ දිනවල තෙල් මිල ගණන් එක මිලක තිබෙන්නේ නෑ. ඉහළ පහල යනවා. අපිට මිල අඩු කරන්න නම් තෙල් මිලත් එක්තරා මට්ටමක ස්ථාවර තැනකට තිබෙන්න ඕනෑ.
ඉන්ධනවලට තිබෙන ඉල්ලුම අඩුකර විකල්ප බලශක්ති කරා යෑමට අපි දක්වන උනන්දුව මදි නේද?
අපි ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියා ජනතාව දැනුවත් කළ නිසා, අද හොඳ ප‍්‍රතිලාභයක් ලබා තිබෙනවා. මේක එක්තරා අන්දමක ජයග‍්‍රහණයක්.
වසර 2007 මුල් මාස හයට (06) වඩා මේ අවුරුද්දේ මුල් මාස හයේ ඉන්ධන පරිභෝජනය සීයයට 5.5 කින් අඩුවෙලා.
අපි තෙල් පිටරටින් ගෙන ඒමට දැරූ වියදම මේ අනුව රටට දැනෙන ලෙස ඉතිරිවෙලා තිබෙනවා.
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවු මුල්‍ය ආයතන ගණනාවක් රටේ ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගන්නවා හදිසියේම මේ ආයතන කඩා වැටෙනවා. ළඟදීම වාර්තා වූ සිද්ධිය සක්විති රණසිංහ නැමැත්තා මෙහෙය වූ මුල්‍ය ආයතනයේ සිද්ධිය. මේවා වැලැක්වීමට මුදල් අමාත්‍යාංශය හෝ මහ බැංකුව හෝ කි‍්‍රයාකර නැතැයි ජනතාව චෝදනා කරනවා.
ඇත්ත. මේ චෝදනාව මටත් ඇසුණා. ලංකාවේ මුල්‍ය ආයතන, විශේෂයෙන් බැංකු නොවන මුල්‍ය ආයතනවල කටයුතු සොයා බලා පාලනය කරන්නේ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ මහ බැංකුවයි.
මහ බැංකුවේ ඒ ගැන සොයා බලන්න වෙනමම දෙපාර්තමේන්තුවකුත් තිබෙනවා. මේ අය ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගන්නා ලියාපදිංචි නොවූ ආයතන ගැන ජනතාවගෙන් පැමිණිලි ලැබුණහොත් සොයා බලනවා.
ඒවා ගැන මුදල් මණ්ඩලයට කරුණු වාර්තා කරනවා. අපි කියනවා ඒ ගැන උපරිමයෙන් කි‍්‍රයා කළත් පවතින නීතිරීති නම් ප‍්‍රමාණවත් මදි බව.
ඒ අනුව ජනතාවගේ චෝදනා හා රටේ වර්තමාන අවශ්‍යතා සලකා බලා අපි බැංකු නොවන මුල්‍ය ආයතනවල කටයුතු මීට වඩා විධිමත් හා වගකිවයුතු මට්ටමින් සිදු කිරීමට හැකිවන සේ දැඩි නිතිරීති පද්ධතියක් ඉක්මනින් රටට හඳුන්වා දෙනවා.
ලියාපදිංචි නොවූ මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙස බලධාරීහු ජනතාව දැනුවත් කරන්න පුළුවන් නේද?
ඇයි නැත්තේ? අපි, මහ බංකුව නිතරම මේ රටේ මුල්‍ය වෙළෙඳ පොළේ මුදල් තැන්පත් කිරීමට සුදුසුකම් ලැබූ ආයතන ගැන ජනමාධ්‍ය මගින් කරුණු දක්වා තිබෙනවා.
ඊට අමතරව ග‍්‍රාම නිලධාරිවරු හරහා ද පති‍්‍රකා බෙදාහැර ජනතාව දැනුවත් කර තිබෙනවා.
නමුත් අධික පොලියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ජනතාව මුදල් වංචාකාරී ආයතනවල තැන්පත් කොට අද අමාරුවේ වැටිලා. මේවා නතර කිරීමට නීතිරීතිම තිබිලා මදි.
අපි හොර බැංකු හෝ මුල්‍ය ආයතනවල හෝ මුදල් තැන්පත් කරන අය දුටුතැන අල්ලනු, දැඩි දඬුවම් කරනු කියා නීතිරීති දැම්මත් ඇතැම් අය වැඩි පොලියක් ලබා ගැනීමේ කෑදරකමට ඒවායේම මුදල් යොදවනවා.
අන්තිමට අමාරුවේ වැටෙනවා. බුදු දහමේත් දැක්වී තිබෙන්නේ අධික පොලී ලැබීමේ ආශාව, වැඩි අවධානමක ආරම්භය කියායි. අපි ඒ ගැනත් සිතන්න ඕන.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ඔබ දකින්නේ කොහොමද?
එය උසාවිය මඟින් ලබා දුන් තීන්දුවක් ඔස්සේ සිදුවූවක්. ඒනිසා ඒගැන මොකුත් කියන්න අපිට පුළුවන් කමක් නෑ.
සාකච්ඡා කෙළේ:- ජයසිරි මුණසිංහ

No comments: