Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 31, 2008

සටන් විරාම ගිවිසුම් සහ කොටි

යමෙකු විරාමය අයදින්නේ තමන්ට කර කියා ගත නොහැකිව අපහසුතාවයෙන් හති වැටෙද්දී ය. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට ද ඒ න්‍යායෙහි වෙනසක් නැත. සාක් රාජ්‍ය නායක සමුළුවට රට තුළ කටයුතු ලහි ලහියේ සූදානම් වෙද් දී අද කරලියට විත් තිබෙන අලුත් ම මාතෘකාව ද ‘සටන් විරාමයයි’.
කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කෙරෙන සාක් සමුළුව රට තුළ පැවැත්වෙද්දී සටන් විරාමයක් තැබීම සුදුසු නොවන්නේ දැයි කොටි නායකයා රජය පාර්ශවයට අපූරු යෝජනාවක් ගෙනවිත් තිබේ. කල දුටු කළ වළ ඉහ ගන්නට සිතන ප‍්‍රභාකරන්ට මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුව නම් කදිම අවස්ථාවකැයි සිතෙන්නට ඇත.
ඔහු ගේ මෙකී යෝජනාවෙහි යටි අරමුණ තේරුම් ගන්නට එදා මෙදා තුර සටන් විරාමවල හැඩරුව දන්නා රටේ පොදු මහත් ජනතාවට නම් අපහසු නොවනු ඇත.
ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ එල්.ටී.ටී.ඊ.යට බරපතල ලෙසත් මාරාන්තික ලෙසත් රිදුම් කන ලෙස පහර දෙන්නට අපේ රණවිරුවන්ට ගෙවුණු තෙවසරකට ආසන්න කාල පරාසය තුළ හැකියාව ලැබිණි. අද වන විට දුර්වල අවසානයකට පිවිස සිටින එල්.ටී.ටී.ඊ.යට යළි නැඟී සිටීමේ බලාපොරොත්තු පෙරදැරිව මෙවන් යෝජනාවක් කළා විය යුතු ය.
තම යුද ශක්තිය බිඳ වැටෙද් දී ත‍්‍රස්තවාදී ගැටළුවට නිසි විසඳුමක් දෙන්නට නම්‍යශීලී වූ රජයන් රවටා බොරු සටන් විරාමයකට එළඹෙන කොටි මූල්‍යමය වශයෙන් ද පිරිස් හා අවි බලයෙන් ද යුද බලයෙන් ද සන්නද්ධ වූ පසු සටන් විරාමයට පයින් ගසා යළිත් තම සුපුරුදු ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කළේ ය. එය අප අත්දැක ඇති යථාර්ථයයි. සටන් විරාමවලින් පසු නැවත උපදින එල්.ටී.ටී.ඊ සංවිධානය මේ රටට පොදු මහත් ජනතාවට සිදුකළ හානි විනාශයන් මෙතෙකැයි ගිනිය නොහැක. 1980 දශකයේ මැද භාගයේ පටන් ප‍්‍රචණ්ඩකාරීව කි‍්‍රයා කළ එල්.ටී.ටී.ඊ.ය ගෙවුණු කාලපරිච්ඡේදය පුරාම සටන් විරාමය තම වාසියට හරවා ගෙන තිබේ. 80 දශකයේ පටන් රටේ දේශපාලන යාන්ත‍්‍රණය වරින් වර වෙනස් වුව ද ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හෝ ඒ සඳහා නිවැරදි විසඳුමක් කරා එන්නට නොහැකි විය.
නිවැරදි දේශපාලන හා යුදමය නායකත්වයක් නොවීම යුදමය ප‍්‍රවේශයන්ගේ දුර්වලතා, අවි ආයුධ හා පිරිස් බලය දුර්වල වීම, විදෙස් මැදිහත්වීම් වැනි විවිධ සාධක හමුවේ ත‍්‍රස්තවාදයට නිවැරදි විසඳුමක් දෙන්නට එවක රජයන් සහ බලධරයින් අපොහොසත් විය.
වරින්වර ත‍්‍රස්තවාදය පරාජය කරන්නට විවිධ යුද මෙහෙයුම් සිදු වුව ද එල්.ටී.ටී.ඊ.ය සටන් විරාම, සාම ගිවිසුම්, ජාත්‍යන්තර මැදිහත් වීම් ලබමින් එහි මුහුණුවර වෙනස් කළේ ය.
ඒ නිසා එහි වාසිය ලබාගත් කොටි දින දිනම ව්‍යාප්ත වන්නට විය. 1987 වඩමාරච්චි මෙහෙයුම් සාර්ථකව කි‍්‍රයාත්මක වෙද්දී කොටි සංවිධානය දකුණු ඉන්දියාවට කන්නලව් කොට ඔවුන් ගේ මැදිහත්වීම මත ලැබූ පන්නරයෙන් යළිත් යළිත් ශක්තිමත්ව නැගී සිටීම මීට එක් නිදසුනකි.
අද වන විට යුද බිමේ දිගින් දිගට ම ජයග‍්‍රහණ ලබමින් තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ප‍්‍රවිශ්ඨ වෙමින් සිටියි. කොටින්ට ඉතුරු වී ඇති මුලතිව් සහ කිලිනොච්චිය ද නුදුරේ ම ආරක්ෂක හමුදා අත්පත් කර ගනු ඇත. එදා විශාල වපසරියක පැතිර තිබුණු එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරකම් අද දිස්ති‍්‍රක්ක දෙකකට සීමා වී හමාර ය. එදා නැඟෙනහිර පැවති එල්.ටී.ටී.ඊ. පාලනය බිඳ හෙළමින් සමස්ථ නැගෙනහිර බලය ආරක්ෂක හමුදා අත්පත් කර ගත්තේ ය.
අද නැගෙනහිර ස්වාධීන වූත් නිදහස් වූත් පළාතකි. ඉදින් එල්.ටී.ටී.ඊ.ය සටන් විරාමයක් අයදිනු මිස තවත් විකල්පයක් නොමැති තරම් ය.
දේශපාලන වශයෙන් ත‍්‍රස්තවාදයට නිවැරදි විසඳුමක් දෙන්නට එවක රජයන් එල්.ටී.ටී.ඊයට සාම සාකච්ඡා සඳහා මාවත විවර කර දෙමින් මූලාරම්භයේ පටන් ඔවුන්ගේ ඉල්ලීම්වලට නම්‍යශීලී වෙමින් සටන් විරාම පවා ලබා දුන්නහ. නමුදු දැන් ඔවුන් ගේ අවශ්‍යතාවය කුමක්දැයිඅපි දනිමු. දේශපාලන මැදිහත්වීම් සමගින් සිදු වූ සටන් විරාම සහ සටන් විරාම ගිවිසුම් ඉතිහාසය සුවිශේෂී මතක සටහන් රැසකි. ඒ යුද්ධයකට ආරම්භය ලැබුණු 1983 කාලයයි. එවකට ජනපතිව සිටි ජේ. ආර්.ජයවර්ධන මහතා ප‍්‍රචණ්ඩකාරී තත්වය මැඩලන්නට පියවර ගත්තේ ය.
පසුව ගැටළුවට විසඳුමක් දීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ද සමඟ එක්ව 1985 ජූලි 08 දා ද්විපාර්ශවික සටන් විරාමයක් සහ බලය බෙදීමක් සඳහා වූ තිම්පු සාකච්ඡා අරඹන ලදී. 1985 අගෝස්තු 17 දා එම සාකච්ඡා බිඳ වැටුණි. ඉන්දු – ලංකා සාම ගිවිසුම ද අස්සන් තැබුනේ ද ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ ය.
1988 බලයට ආ රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා ද කොටි සංවිධානය සමඟින් උතුරු නැගෙනහිර ගැටළුවට විසඳුමක් දීමේ අපේක්ෂාව ඇතිව 1989 මැයි 04 දා හිල්ටන් සාකච්ඡා අරඹන ලදී.
එම සාකච්ඡා ද 1990 ජූනි 10 දා බිඳවැටුනු අතර යළිත් ගැටුම් ආරම්භ විය. රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපති පාලන සමයේ දී ගත් අදූරදර්ශී තීරණයක් නිසා 1990 නැගෙනහිර පළාතේ පොලිස් නිළධාරීන් 401 ක් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ය.
ඒ කොටි සංවිධානය අමානුෂික බව ලොවට පෙන් වූ තවත් අවස්ථාවකි.
1994 අගෝස්තු සාම පදනම මත පොදු පෙරමුණ බලයට ඒම සිදු විය. එම වසරේ ම ඔක්තෝබර් එවක රජය එල්.ටී.ටී.ඊ. ය සමඟින් සාකච්ඡා සිදුකරන ලදී.
මේ අතර 1994 නොවැම්බර් 09 දා ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ආ අතර කොටි සංවිධානයට සෘජු විසඳුමක් දීමේ අපේක්ෂා ඇතිව වට ගණනාවක් යටතේ සාකච්ඡා සිදුකර තිබේ. නමුදු 1995 අපෙ‍්‍ර්ල් 19 යළිත් ඒකපාර්ශවික තීරණයක් ගනිමින් කොටි සංවිධානය සාකච්ඡාවලින් ඉවත් විය. එතැන් පටන් යළිත් කොටින් ගේ එදිරිවාදිකම් ආරම්භ විය.
1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පැමිණීම සිදු වුවද ඇගේ පාලන සමය තුළ ත‍්‍රස්තවාදයට විසඳුමක් දෙන්නට ඇය අපොහොසත් විය.
2001 මහ මැතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරය ලබාගත් අතර 2004 මහ මැතිවරණයෙන් යළිත් එ.ජා.ප. විරෝධී සියළු බලවේග එක්ව පාර්ලිමේන්තු බලය ලබා ගත්හ.
මේ කාලය තුළ 2002 පෙබරවාරි 22 රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එල්.ටී.ටී.ඊ. ය අතර අත්සන් තැබුණු සටන් විරාමය ද වාසියට හරවා ගත් කොටි සන්නද්ධ ශක්තියෙන් මෙන් ම ඒකීය ලංකාවක් තුළ බෙදීම් සීමා මායිම් ද ලකුණු කිරීමට කටයුතු යොදා තිබිණි.
නැවතත් 2000 වසරේ දෙසැම්බරයේ දී ඒකපාර්ශවික සටන් විරාමයක් ආරම්භ කළ කොටි එල්.ටී.ටී.ඊ.ය 2001 අපෙ‍්‍ර්ල් 24 වෙනිදා ඔවුන් විසින් ම එය නිශ්ප‍්‍රභා කරන ලදී.
එසේ සිය කැමැත්තෙන් ඇරඹූ සටන්විරාමය තුළ ද කොටි ත‍්‍රස්ත කි‍්‍රයා අත්හැරියේ නැත. 2001 වසරේ අග භාගයේ දී නෝර්වේ රජය පෙරට එන්නේ මෙම ගැටුම්වලට නිවැරදි විසඳුමක් ලබා දීම උදෙසා සාම මැදහත්කරුවෙක් ලෙසිනි.
2001 දෙසැම්බර් 19 වැනිදා එහි ප‍්‍රතිඵලයක් ලෙස දින 30ක සටන් විරාමයකට අවතීර්ණ වූ අතර 2002 පෙබරවාරි 02 වෙනිදා නෝර්වේ රජයේ මැදිහත්වීම් ලබමින් සටන් විරාම නිරීක්ෂණ කමිටුව ආරම්භ වීම ද විශේෂත්වයකි. ඔවුන් ගේ මැදිහත්වීම් මගින් තායිලන්තයේ දී සාම සාකච්ඡා ආරම්භ වූ අතර නෝර්වේ බර්ලින් සහ ජර්මනියේ දී වට 05 කින් සමන්විතව මෙකී සාකච්ඡා පැවැත්විණි.
2003 අපෙ‍්‍ර්ල් 21 වැනිදා නැවතත් සාම සාකච්ඡා මාවත අත්හල අතර 2006 පෙබරවාරි 07 වැනිදා එරික් සෝල්හයිම් මහතා ගේ මැදිහත් වීම යටතේ දෙපාර්ශවය ම සාම සාකච්ඡාවක් සඳහා එකඟ විය.
2005 නොවැම්බර් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් බලයට පත් වූ අවස්ථාවේ පටන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය වෙත ගෙන එන්නට වෙර දැරී ය.
එහි එක් පියවරක් වශයෙන් 2006 ජුනි 08,09 ජිනීවා නුවර දී පළමු සාම සාකච්ඡා වට ආරම්භ වූ අතර 2006 ඔක්තෝම්බර් 28, 29 යන දිනයන්හි ජිනීවා දෙවැනි සාකච්ඡා වටයේ දී කොටි සංවිධානය ඒ – 9 මාර්ගය විවෘත කර ගැනීමට දැරූ උත්සාහයත් සමඟින් සාම සාකච්ඡා ඇණ හිටියේ ය.
2008 ජනවාරි 16 වැනිදා සාම ගිවිසුම මුළුමනින් ම අත්හිටවන ලදී.
මෙලෙස සාම සාකච්ඡා සටන් විරාම පැවති සෑම අවස්ථාවක දීම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කරමින් තම කි‍්‍රයාකාරකම් දිගින් දිගට ම ගෙන ගියේ ය.
2002 පෙබරවාරි 23 සිට 2006 ජනවාරි 29 දක්වා සටන් විරාම සමයේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය වැසියන්, විවිධ දේශපාලන පක්ෂ සාමාජිකයින් 313 ක් ඝාතනයට ලක් කර ඇති අතර 507 කට තුවාල සිදුකර තිබේ. මෙයින් 192 ක් ඝාතනයට ලක්වූයේ සාමාන්‍ය වැසියන් ය. ඉතිහාසයේ පටන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් කරා එන්නට අකමැති කොටි සංවිධානය සටන්විරාම කෙරෙහි දක්වන්නේ අප‍්‍රමාණ ලැදියාවකි.
ඒ අනිකක් නිසා නොව වැටුණු තම සංවිධානයට යළිත් නැඟී සිටින්නට කාලය සහ පසුබිම සකස් කරගනු පිණිස ය. මේ අතර එල්.ටී.ටී.ඊය සාම මහලේකම් කාර්යාලය හරහා 2008.07.22 දා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ “සාර්ක් සමුළුවේ සාර්ථකත්වය උදෙසා තමන් මෙම ඒක පාක්ෂික සටන් විරාමය ප‍්‍රකාශයට පත්කිරීමට තීරණය කළ බවයි”.
එසේ ම මේ මස 26 වන දා සිට දින 10 ක් එය කි‍්‍රයාත්මක කරන කොටි නෝර්වේ රාජ්‍ය ද දැනුවත් කර ඇත. මේ තුළ සැඟවුනු ත‍්‍රස්තවාදීන් ගේ මූලික අරමුණු 02 කි.
සාර්ක් සමුළුවට සහභාගී වන රටවල සහ ජාත්‍යන්තරයේ අවධානය සහ අනුකම්පාව තමන් වෙත දිනා ගැනීමත්, උතුරේ ආරක්ෂක හමුදා වෙතින් එල්ලවන දරුණු ප‍්‍රහාර හමුවේ මඳ විරාමයක් ලබා ගෙන නැවත සංවිධානය වීමත් ඔවුන් ගේ එකී අරමුණු ය.
රජය විසින් කොටින් ගේ සටන් විරාමය තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර, සටන් විරාමයක් අවශ්‍ය නම් අවි ආයුධ බිම තබා සාමකාමීව පැමිණිය යුතු බවට රජය දැඩි ස්ථාවරයක සිටියි.
මේ සම්බන්ධයෙන් රජය අදාල පාර්ශව මේ වන විටත් දැනුවත් කර ඇත.
2006 ජූලි මාවිල්ආරුවෙන් ඇරඹි ඉලුප්පකඩවායි දක්වා නොනැවතී එක දිගට ම එල්.ටී.ටී.ඊ.යට පහර දෙමින් යුද ජයග‍්‍රහණ ලැබූ ආරක්ෂක හමුදා ඔවුනට නැගී සිටින්නට කිසිදු ඉඩ හසරක් ලබා දුන්නේ නැත. දිගින් දිගට ම යුද ජයග‍්‍රහණ ලබමින් සංග‍්‍රාම භූමියේ හමුදා සේනාංක ඉදිරියට ඇදෙද් දී හෙම්බත්ව සිටින එල්.ටී.ටී.ඊ සංවිධානය සටන් විරාමයක් ඉල්ලා සිටීම අරුමයක් නොවේ.
මුලතිව්වලටත්, කිලිනොච්චියටත් ආරක්ෂක අංශ ඇතුළු වී හමාර ය. තවත් යා යුතුව ඇත්තේ කෙටි දුරක් පමණි. ත‍්‍රස්තවාදයට සදහටම අවසන් තිත තබන්නට වෙර දරන රජය තැබූ පය ආපසු නොතබනු ඇත. අතීතයේ ගත් වැරදි තීරණ කරා යළිත් නොයෙනු ඇත. ඒ අනිකක නිසා නොව එකී තීරණයන් ගේ දුක්මුසු අත්දැකීම් අප අත්දැක ඇති බැවිනි.
එසේ ම සටන් විරාමයක් ලබා දී යළි යළිත් මේ රටේ ස්වෛරීත්වයට වින කරන්නට, ජන ජීවිතය විනාශ කරන්නට මිනිස් ජීවිත අමු අමුවේ ප‍්‍රභාකරන් ගේ ලේ පිපාසාව වෙනුවෙන් බිලිදෙන්නට වගකිය යුතු රජයකට අවශ්‍යතාවයක් නොමැති බැවිනි.
කවිමල් සූරියආරච්චි

No comments: