Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 29, 2008

චිත‍්‍රපට පිස්සුව නිසා සංගීතයත් ෆේල් වුණා-සංගීතවේදී ගායක මර්වින් පෙරේරා

ලයාන්විත වූ හැඟුම්බර හඬක් සත්සර අතරට මුසුවෙද්දි ඒ රසාලිප්ත බවින් හදවත ස්පර්ශ කරන්නේ නම් කොතරම් මිහිරියාවක්, අපූර්වත්වයක් එහි රැඳී තිබෙනවාද?
" සඳ මිඳුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නළවා සතපා
ඇය රෑ එළියෙන් සැඟ වී යනවා ... "
සුවහසක් ගීතලෝලීන් සිය හඩින් මුසපත් කළ ඔහුගේ ගී රාවය එදත් අදත් සහෘදයන් වැළඳගන්නේ දයාබරිතවය. ඔහු ගී ගැයුවේ සහෘදයන්ගේ සවනට නොව හදවතට ය.
ඔහු අන් කවරෙකුත් නොව ප‍්‍රවීණ ගායක මර්වින් පෙරේරා ය. " මට තාම මතකයි " පිටුවෙන් අද දිගහැරෙන්නේ ඔහුගේ සුන්දර අසුන්දර අතීත මතකයන්ය. ඔහු අප හා දොඩමළු වූයේ මෙලෙසිනි.
" මගේ ගම පයාගල ඉගෙන ගත්තේ පයාගල රෝමානු කතෝලික කුමර පාසලෙන්. මගේ පියා හර්මන් පෙරේරා. හර්මන් මාස්ටර් කීවම මුළු කළුතර දිස්ති‍්‍රක්කයම ඔහුව හඳුනනවා. ඔහු සංගීත හා නැටුම් ගුරුවරයෙක්. මාවත් සංගීතය පැත්තට යොමු කරවා කලාකරුවෙක් කරන්න මගේ පියාට ලොකු වුවමනාවක් තිබුණා. සංගීතයේ මුලකුරු මට කියාදුන් පළමු ගුරුවරයා වෙන්නේ මගේ පියා. වයලීනය වාදනය කරන්න මට පුරුදු කළේ ඔහු. එදා ඒ විදිහට මගේ පියා මට ඉගැන්වූ වියලීන වාදනයෙන් මගේ මුළු ජීවිතයම සාර්ථක ලෙස ගොඩනඟා ගන්න පුළුවන් වුණා. "
ඕනෑම මවුපියෙක් තම දරුවන්ගේ දියුණුව අපේක්ෂා කිරීම අරුමයක් නොවේ. ඒ නිසා වැඩිදුර අධ්‍යාපනය ලබාදීම සඳහා කීයක් වියදම් වුවද උපකාරක පංතිවලට තම දුවාදරුවන් සහභාගී කරවීම සිදු කෙරේ. මර්වින්ගේ පියා ද මර්වින්ට වයලීන වාදනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීම පිණිස උපකාරක පංතියකට ඇතුළත් කිරීම සිදු කළා. මර්වින් එය සිහිකරන්නේ මෙලෙසිනි.
" වයලීන වාදනය ප‍්‍රගුණ කිරීම සඳහා මගේ පියා මාව කළුතර ටවුන් එකේ ඉගැන්වූ ගුරුවරයෙක් ළඟට යැව්වා. පංති ගිහින් එන්න කියා මට රුපියලක් දෙනවා. පංති තියෙන්නේ සඳුදාටයි. සිකුරාදාටයි . නමුත් වයලීන වාදනය ඉගැන්වූ ගුරුවරයා සාර්ථකව ඉගැන්වූයේ නෑ. ඒ නිසා මම පංති නොයා ගෙදරින් දෙන රුපියලෙන් කළුතර ටවුන් එකේ චිත‍්‍රපට ශාලාවකට ගිහින් " කව් බෝයි " කියන චිත‍්‍රපට බලනවා. පංති තියෙන හැම දවසකම, ට්ත‍්‍රපට බලලා පංති ගිය විදියට ගෙදර යනවා. ඒ ගුරුවරයාගෙන් හරි ඉගැන්වීමක් මට නොලැබෙන බව දැනුණ පියා මාව වෙනත් උපකාරක පංතියකට ඇතුළත් කළා. ඒ පංතියේදී සිදුවුණෙත් අර දේ ම තමා."
" මම ප‍්‍රථම වතාවට එස්. එස්. සී. විභාගයට වාඩි වුණා. ටික කාලෙකින් ප‍්‍රතිඵල ආවා. ප‍්‍රතිඵල ලේඛනයේ සංගීත විෂය සඳහා මට තිබුණේ ' එෆ් ' අකුරක්. සංගීතය ෆේල් වුණේ මම ශාස්තී‍්‍රය සංගීතය ඉගෙන ගන්න ගිය ක්ලාස් කට් කරපු නිසා කියලා මම අදටත් කියනවා. ඒ කාලයේ පාසලේ සංගීත විෂය ඉගැන්නුවේ ඩබ්. ඩී. මකුල්ඔළුව මහත්තයා. ' කොලුවට තව ඒ තරම් වයසකුත් නැහැනේ, නැවත වරක් විභාගයට වාඩිකරවන්න' යැයි මකුල්ඔළුව මහත්තයා අපේ තාත්තාට කියලා තියෙනවා. කොහොම හරි මට රජයේ සංගීත විද්‍යාලයට (රජයේ ලලිත කලායතනයට) ඇතුළත් වීමට වරම් ලැබුණා.
සංගීත ලෝකයේ ප‍්‍රවීණයන්ට අඩිතාලම සපයාදුන් රජයේ කලායතනය මර්වින් පෙරේරාගේ සංගීත දිවියද පෝෂණය කළේය. වික්ටර් රත්නායක, සරත් දසනායක, විජේරත්න රණතුංග , අමරසිරි පීරිස් යනාදී ප‍්‍රවීණයෝ මර්වින්ගේ සමකාලීනයෝ වූහ.
" කලායතනයේදී දක්ෂකම් තිබුණ අය එකට එකතු වුණා. එහිදී මම, වික්ටර් රත්නායක, සරත් දසනායක , පෙ‍්‍ර්මසිරි යන අය එකට හිටියේ, අපි ඉතින් ධනවත් පවුල් වල අය නෙවෙයිනේ. ඒ කාලයේ අතේ වියදමට රුපියලක් දුන්නම ඒකෙන් මුළු දවසම කවර් කරගන්න ඕන. දැන් ළමයින්ට වගේ උදේට බත් උයලා බත් මුල් බැඳලා දුන්නේ නෑ. කඩෙන් තෝසේ එකක්, රොටියක් කාල තමයි හිටියේ, ඔහොම දුෂ්කරතා මධ්‍යයේ තමයි අපි ඉගෙනගත්තේ. දුෂ්කර වුණත් ඒ ජීවිතය හරිම සුන්දරයි. දැන් මතක් වෙන කොටත් හරි ආසා හිතෙනවා.
" ඉන්දියාවෙන් සුදු යකඩ වළලු ලංකාවට ගෙන්නුවේ අපි කලායතනයට යන කාලේ. ඉස්සරවෙලාම ඒ වළලු අතේ දමාගෙන හිටියේ අපේ ' කලායතනයේ කොල්ලො කෙල්ලෝ ටික. ඒ නිසා කොහේදි දැක්කත් මේ කලායතනයේ කෙල්ලෙක්, කොල්ලෙක් කියලා හඳුනාගන්න පුළුවන්. ඒ නිසා ' මගෝඩි ' වැඩ කරන්න තිබුණු ඉඩ ප‍්‍රමාණය බොහෝම අඩුවුණා. මොකද අර වළල්ල නිසා කලායතනයේ කෙනෙක් කියලා අඳුනාගන්නවානේ."
" අපි කට්ටියගේ අරමුණු වුණේ සංගීත ගුරුවරු වෙන්න නම් නොවේ. කලායතනයේදී හොඳට යමක් ඉගෙන ගැනීමේ අදහස තමා අපට තිබුණේ. ඒ කොහොම වුණත් කලායතනයේ හැදෑරූ සය අවුරුදු පාඨමාලාවෙන් පසුව මට ගුරු පත්වීමක් ලැබුණා අම්පාරට. අන්ත දුෂ්කර පාසලක උගන්වන්නයි මට පත්වීම ලැබුණේ. වික්ටර්ට පත්වීම ලැබුණේ බණ්ඩාරවෙලට. අපි එහෙම වෙන්වුණත් යාළුකම දිගටම පවත්වාගෙන ගියා."
" 1966 සැප්. 07 දා අම්පාරේ විජයපුර මහා විද්‍යාලයට ලැබුණ ගුරු පත්වීම මම භාරගෙන එහි ගියා. මගේ කලාදිවියේ මං සලකුණු සටහන් වුණේ අම්පාරේ දී. මම අම්පාරට යද්දි මගේ මිත‍්‍ර ගායක තිලකසිරි ප‍්‍රනාන්දු මට ගිටාරයක් තෑගි දුන්නා. එහෙදි දැනුණ පාළුව තනිකම මඟහරවා ගත්තේ මේ ගිටාරය වාදනය කිරීමෙන්. බටහිර සංගීතය ගැන මම එහෙදි බොහෝදුරට උනන්දු වුණා. ඒ නිසා ම නිතරම තනු නිර්මාණය කරන්නටත් පෙළඹුණා.
මර්වින් බටහිර සංගීතය පිළිබඳව හැදෑරුවෝ ස්වෝත්සායෙනි (පොතින් පතින් ලද දැනුමෙනි). ඔහු තම නිර්මාණයන් සඳහා යොදා ගැනීමට උත්සුක වූයේ බටහිර සංගීත සම්ප‍්‍රදායයි. සය වසරක් ' රාගධාරී' සංගීතය හැදෑරුවද ඒ තුළින් නිර්මාණ කරන්න ඔහු උනන්දු වූයේ නැති ' රාග' තුළින් නිර්මාණ බිහිකිරීමේ ප‍්‍රවනතාවක් ඔහු තුළ නොතිබූ බවත්, නමුත් ' රාගධාරි' සංගීතය නිර්මාණකරණයට විශාල පිටිවහලක් වන බවත් ඔහු අව්‍යාජව අප හා පැවසුවේය.
මර්වින් පෙරේරා නම් වූ සංගීතවේදියා නැවතත් අප හා දොඩමළු වූයේ ගුරු පත්වීම් පිළිබඳව කියමිනි.
සංගීත ක්‍ෂේත‍්‍රය පැත්තෙන් මගෙන් දියුණුවක් අවශ්‍ය නිසා මම කොළඹට පත්වීමක් ඉල්ලුවා. දුෂ්කර සේවයට ගිහින් අවුරුදු හතරක් ගත වෙනකන් මට කොළඹට පත්වීමක් ලැබුණේ නෑ. 1970 දී කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලයට මට මාරු වීමක් ලැබුණා. ප‍්‍රසිද්ධ සංගීතයට අතගහන්න ඉඩ ලැබුණේ මේ මාරුවීමෙන් පසුවයි. ධර්මාලෝක විද්‍යාලයේ ඉගැන්වීමෙන් පසුව වෙදමුල්ල මහා විද්‍යාලයටත් එතැනින් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයටත් මාරුවෙන්න සිදුවුණා.
ගුරුකුල මහා විද්‍යාලයේ සේවය කරන කාලයේදී 80 මහා වැඩ වර්ජනය ඇරඹුණා. ඒ වර්ජනය කළේ ජේ. ආර් . ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ, රුපියල් 10 කින් පඩි වැඩි කර ගැනීම වර්ජනයේ අරමුණ වුණා. හැම ගුරුවරයෙක්ම වැඩ වර්ජනය කරනවා කියා කතා වුණත් අවසානයේදී වැඩ වර්ජනය කරලා තියෙන්නේ මම විතරයි.
අනෙක් අය සේවයට වාර්තා කරලා. වැඩ වර්ජනය කරලා පහුවදා මම සේවයට යනකොට මගේ වැඩ තහනම් කරලා. අනෙක් ගුරුවරු මට කියා සිටියේ ' උඹට නම් ඉතින් සිංදුවක් දෙකක් කියලා කීයක් හරි හොයාගන්න පුළුවන්නේ' කියායි. මේ වර්ජනයෙන් මට අවුරුදු 4ක් මගේ රස්සාව නැතිවුණා.
" 83 ' කළු ජූලිය ' පටන් ගත්ත දවසෙ මට නැවත රැකියාව ලැබුණා. නමුත් 85 දී නන්දා මාලනී එක්ක අබුඩාබි යන්න නිවාඩු ඉල්ලුවත් මට ලැබුණේ නෑ. ඒත් මම මගේ ගමන නතර නොකර රට ගියා. රට ගිහින් එනකොට ආපහු මගේ රස්සාව නැතිවෙලා. එහිදී මම අවුරුදු 9ක් රැකියාව නැතිව සිටියා. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මට නැවතත් රැකියාව ලැබුණා. ඒ කළුතර ඥානෝදය විදුහලට. මම 2000 වර්ෂයේදී ගුරු දිවියෙන් විශ‍්‍රාම ගත්තා. මා ගෙවූ ගුරු ජීවිතය තුළදී මා දන්නා දේ අන් අයට ලබාදීම තුළින් විශාල තෘප්තියක් ලැබුවා. මට ඒ ගැන ගොඩාක් සතුටුයි."
" වසර 9 ක සේවා තහනමට ලක්වුණ කාලයේත් මට පිහිට වුණේ සංගීතයයි. එහිදී වාදකයෙක් විදියට මගේ හැකියාව යොදාගත්තා. කැසට් පටිවලට තනු නිර්මාණය කළා. එහිදී සරත් දසනායක හා ග්‍රේෂන් ආනන්ද මට හුඟාක් උදව් කළා. මම ඔවුන් ගැන බොහොම ආදරයෙන් අදටත් මතක් කරනවා."
එක් වරෙක ඔහු අප හා ගුරු ජීවිතය පිළිබඳව ඉතා කණස්සල්ලෙන් පිළිසඳරේ යෙදුණත් තවත් වරෙක ඔහු ගුරු ජීවිතය ගැන ඉතා ආඩම්බරයෙන් සහ සතුටින් අප හා කතාබහේ යෙදුණේය. අප හා මීළඟට පැවසුවේ ඔහු ගුවන්විදුලි ගායකයෙකු ලෙස ඉදිරියට පැමිණි ගමන පිළිබඳවයි.
" අද වගේ නෙමෙයි ඒ කාලේ ඉස්මතු වුණ හැම ගායක ගායිකාවක්ම ගුවන්විදුලියේ පරීක්‍ෂණ හරහායි ඉදිරියට ආවේ. එදා ජනපි‍්‍රය වූ ගායකයන් අදත් ජනපි‍්‍රයව ඉන්නේ ඒ නිසයි. ඒ යුගයේදීම මටත් කලඑළි බහින්න ලැබීම ගැන මම සතුටක්. මගේ මුල්ම ගීතය විදිහට ප‍්‍රසිද්ධ වෙලා තිබෙන්නේ 1972 දී මම ගායනා කළ ' ඔබ දේදුන්න ආකාසයේ' කියන ගීතයයි.
නමුත් මම මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ' ඔබ දේදුන්න ආකාසයේ' කියන ගීතය ගැයීමට පෙර මුල්ම ගීත ලෙස ගීත 4 ක් ගායනා කළා. නමුත් ඒවට ඉස්මතු වෙන්න ඉඩක් ලැබුණේ නෑ. මොකද ඒ ගීත 4 පටිගත කළ සංයුක්ත තැටිය බ්ඍර්‍ථ කැරලිකරුවන්ගේ අතට පත්වූවා. ඒ නිසා එම ගීත වලට කලඑළි බහින්න නොහැකි වුණා. ඉන්පසුව තමා ' ඔබ දේදුන්න ආකාසයේ ගීතය ගායනා කළේ.
" මේ ගීතය අහලා ප‍්‍රවීණ ගායිකා ජී. එස්. බී. රාණි පෙරේරා මට උදව් කළා. " ගීත තරංගනී' කියන ඇයගේ වැඩසටහනට සහභාගී වෙන්න. රසිකයින් අතරට ගියේ මේ වැඩසටහන ඔස්සේයි ' මේ නගරය, සඳ මිදුලට එනවා, ආදරේ රන් බිඟුන් නැසූ ... ' යනාදී ගීත මම ගායනා කළේ මේ වැඩසටහන ඔස්සේ. පසුව මම කුඩා ප‍්‍රමාණයේ තැටි වලටත් ගීත ගායනා කළා. ;ප‍්‍ර්මකීර්ති ද අල්විස් මට උදව් කළ තවත් කෙනෙක්. මගේ ගීත වලින් වැඩිහරියක් ලියල තියෙන්නේ ඔහු. මේ ' ගීත තරංනී' වැඩසටහනට මම වගේම වික්ටර් , නීලා, ටී. එම්. ජයරත්න, පි‍්‍රයා සූරසේන යන අයත් සහභාගී වුණා. "
" මම ගීත 94, 95 ක් පමණ ගායනා කර තිබෙනවා. ඒ වගේම බොහොමයක් ගීතවලට තනු නිර්මාණය කර තියෙනවා. විශාරද නන්දා මාලනී ගයන ' ලොවම එපාවී - ඔබ ඔබේ පැලේ, නිලම්බරේ සුදු පරෙවි රෑන්, ' අ ' යන්න කියන්න - ලොවටම ඇසෙන්න ' යනාදී ගීතයන්හිත්, චÁද්‍රලේඛා ගයන ' අසෝක මාලා' ගීතයටත් ගී තනු නිර්මාණය කර තිබෙනවා."
මර්වින් පෙරේරා සංගීතවේදියාගේ සමකාලීනයෙක් වූ වික්ටර් පෙරේරා ඔහුගේ ගජ මිතුරෙකි. කලායතනයේදී හමු වූ වික්ටර් ගජ මිතුරෙක් වී තිබෙන්නේ මර්වින්ගේ හා මාලනීගේ විවාහය දා ය. මෙම විවාහයේ දී මර්වින් වෙනුවෙන් සාක්ෂි අත්සන් කර තිබෙන්නේ වික්ටර්ය. මේ කුළුපග මිතුරා වෙනුවෙන් ගී තනු නිර්මාණය කරන්න මර්වින් අමතක නොකළේය. වික්ටර් රත්නායකයන් ගයන ' පාවේ වලා - ඈත කඳු බලා, පෑ ආදරේ හා - මා හද මවා " යන ගීතයට සත්සර මුසුකරමින් පන දුන්නේ මර්වින් ය. ' ලොව සැතපෙන යාමේ' නමැති මිල්ටන් මල්ලවආරච්චි ගයන ගීතයෙහි තනු නිර්මාණය කළේ ද මර්වින් පෙරේරාය.
මර්වින් හා මාලනී අතර වූ යුග දිවිය පිළිබඳව විමසූ කල ඔහු ඉතා හැඟුම්බරව ඒ ගැන කියා සිටියේ මෙලෙසිනි.
"මාලනියි මමයි අවුරුදු 7ක පෙ‍්‍ර්ම සම්බන්ධයකින් පසුවයි විවාහ වුණේ. මාලනී මට හොඳ හැටි දැකගන්න ලැබුණේ පල්ලියේදී. පයාගල පරලෝක රාජේශ්වරියගේ දෙව් මැදුරේ ඉරිදාට පැවැත්වෙන පූජාවේදි මගේ දෙනෙතට මාලනී දැකීමෙන් ඈ කෙරෙහි ආදරයක් ඇතිවුණා. ඇයට මේ ගැන කියා ඇගේ කැමැත්ත අකමැත්ත විමසා ලියුමක් යැව්වා. මාලනීත් මට පිළිතුරු ලියුමක් එව්වා. මේ ලියුම් ගනුදෙනුව ගැන ආරංචි වුණ මාලනීගෙ ගෙදර අය මේ සම්බන්ධය නවත්වන්න කියා ඈට තර්ජනය කළා. නමුත් අපේ ආදරය තව තව වැඩිවුණා මිස අඩුවක් නම් වුණේ නෑ. "
"අපිට ඕන නම් හිතුවක්කාරකමට විවාහ වෙන්න තිබුණා. මම අම්පාරේ ඉදිද්දී මට තිබුණා එයාව එහෙට අරගෙන යන්න. ඒත් මාලනී මට හැම වෙලාවේම කීවේ අපි පොඩ්ඩක් ඉවසලා ඔප්පු කරමු අපි නිවැරදියි කියලා යනුවෙනි. මගේ තරුණ කාලයේ හරිම දඩබ්බරයි. මාලනීගේ පවුලේ අය මාව හැඳින්වූවේ ' බජව්කාරයා' කියාය. මෙන්න මේ හේතු නිසා තමා මාලනීගේ පවුලේ අය මට අකමැති වුණේ. " හරියට අපේ පෙම් සබඳතාව රෝමියෝ - ජුලියට් පෙ‍්‍ර්ම පුරාණය වගේ. ඒ තරම්ම අපේ පෙම් සබඳතාවට ප‍්‍රශ්න තිබුණා.
"කොහොම හරි අපි විවාහ වුණා. ඒ 1972 මැයි 13 දාය. මේ මඟුල් දා විවාහ උත්සව දෙකක් ගත්තා. එකක් මගේ. අනෙක මගේ නංගි මොනිකගේ . පුංචි කාලේ ඉඳලා ආව ගිය ' පරලෝක රාජේශ්වරියේ' දෙව් මැඳුරෙදි තමා අපේ විවාහය සිදුවුණේ. සුදෝ සුදු සාරියකින් සැරසිලා, දිගට දිගේ වේල් එකක් දාලා, චාම් මල් පොකුරකුත් අතට අරන් හිටපු මාලනී දකින්න මම මොන තරම් හීන මැව්වද? එදා මං කොයිතරම් දෙවියන්ට ස්තිතු කිව්වද කියල මටම මතක නෑ."
"1980 දි මගේ රස්සාව නැතිවුණා. ඒත් මං කවදාවත් වැටුණු මිනිහෙක් නොවුණෙ, මාලනිගේ අරපිරිමැස්ම තිබුණ නිසා. මට පුතාලා දෙන්නෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. මගේ පුතාලා දෙන්නා අමල් පෙරේරා සහ සොහාන් පෙරේරා මගේ අඩිපාරෙම යන එක ගැන මට ගොඩක් සතුටුයි."
"මගේ ගීත තනු ජනපි‍්‍රය වුණේ. මගේ බිරිය මාලනී නිසා. මම ගීතයකට තනුවක් නිර්මාණය කරන කොට එයා කුස්සියේ ඉඳලා ඇවිත් මර්වින් ඒ තනුව ලස්සනයි නේද? කිව්වම ඒ ගීතය අනිවාර්යයෙන්ම ජනපි‍්‍රය වෙනවා."
"මම මුහුණ දුන් බිහිසුණු අත්දැකීමක් තමා සුනාමි ඛේදවාචකය. මම ජීවත්වෙන්නේ පයාගල මුහුදට ඉතාම කිට්ටුවෙන්. සිද්ධිය වෙන දවසේ උදේ මම මගේ අම්මගේ දුකසැප බලන්න නංගිලාගේ ගෙදර යමින් හිටියේ. පස්සෙ මට ආරංචි වුණා මුහුද ගොඩ ගලනවා කියලා. මේ සිද්ධිය බලන්න පුතාලා මුහුදට ගිහින්. එතකොට එක රැල්ලක් ඇවිත් අපේ මහ ගෙවල් ඔක්කොම අරගෙන ගිහින්. ඒ බලන්න තමා පුතාලා ගිහින් තියෙන්නේ. මෙයාලා ගියාට පසුව දෙවෙනි වරට රැල්ලක් ඇවිත්. නමුත් ඔවුන් දෙන්නා ඒකට සාර්ථකව මුහුණ දීලා ජීවිත බේරාගෙන තිබුණා. ඒ සුනාමියේදී අපේ පවුලේ අය නම් බේරුණා. ඒත් විසි දහසකට අධික අහිංසක ලාංකීකයන්ගේ ජීවිත මුහුදට බිලිවුණා. සංවේදී මිනිසුන් විදිහට මට ඒ ගැන හිතනකොට ලොකු දුකක් ඇතිවෙනවා."
ගීතයක තනුවක් නිර්මාණයට මර්වින් පෙරේරා නම් වූ මහා සංගීතවේදියාට වැඩි වේලාවක් ගත වූයේ නැත. ගී තනු නිර්මාණයට මූඩ් එක එනකන් කියා ඔහු බලා සිටියේද නැත. ක්ෂණයකින් ගීත නිර්මාණය කිරීමේ අපූර්ව හැකියාව ඔහුට තිබිණ. ඔහුගේ ගීත වල මුල්ම විචාරකයා වූයේ ඔහුගේ බිරිය මාලනීය. ඇය රසිකාවියක් පමණක් වුවත් ඇය යම් ගීතයක හොඳ නරක පවසත් නම් ඒ තුළින් සංගීත ඛණ්ඩ වෙනස් කර ගීතයට නවතාවක් ලබාදීම මර්වින්ගේ සිරිතය.
"රන් මීවිත පුරවා, කතරක තනි වී, දෙදෙනා පෙරදා, නිලුපුල් යුවලේ , ආදි ගීත වලට තනු යෙදුවේද මර්වින් පෙරේරාම ය. ඔහුගේ ගීත මෙතරම් ජනපි‍්‍රය වූයේ ස්වනිර්මාණයන් ඔස්සේම නිර්මාණය කළ නිසා යැයි ඔහු පවසයි. ඔහුගේ ගීත වල මියුරු රාවය යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට, අපේ සිත්වලට ද සිසිලක් එක් කරමින් ගලාගෙන යාවි.
'ඔබත් එක්ක ආයෙත්
එහි යන්න හිතෙනවා ...
ජීවිතයම හීනයෙකැයි
කියා හිතෙනවා ..."
මර්වින් පෙරේරා සංගීතවේදියා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි
සන්ධ්‍යා කරුණාරත්න

No comments: