Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 31, 2008

එජාප රැස්වීම් කාමර ඇතුළේ පැරදුනාම බොරු චෝදනා එපා කරට කර ඡන්ද සටනකට එන්න - ඇමැති ඩලස්ගෙන් එජාපයට අභියෝගයක්

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර
ඇල් මැරුණු ඡන්ද ව්‍යාපාරයක නොයෙදී ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමේ දී මුහුණට මුහුණ මැතිවරණ සටනකට එළැඹෙන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්‍ෂයට අභියෝග කරයි.
ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කෙරුණු පසු දූෂිත මැතිවරණයක් යැයි චෝදනා නොකර මැතිවරණයට දින 25ක කාලයක් තිබෙන බැවින් හැකිනම් සන්ධානය සමඟ කරට කර ඡන්ද සටනකට එන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අභියෝග කරයි.
ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (30) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක මධ්‍යස්ථානයේ සිවුවැනි මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා ඇමැතිවරුන්, මන්තී‍්‍රවරුන්, ප‍්‍රාදේශීය සභා සහ නගර සභා මන්තී‍්‍රවරුන් සියලු දෙනා මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා කඳවුරු බඳිද්දී තම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 47 දෙනාවත් මැතිවරණ ප‍්‍රදේශවලට යවා ගත නොහැකි අයුරෙන් එක්සත් ජාතික පක්‍ෂය බංකොලොත් වීම පිළිබඳව කනගාටුවන බවත් ඇමැතිවරයා මෙහිදී පැවැසීය.
අදාළ පළාත් සභා දෙකෙහි ඡන්ද පොළ 1783 ක් වෙනුවෙන් මැතිවරණ කාර්යාල 974 ක් පිහිටුවීමට සන්ධානය මේ වන විට සමත් වී ඇති අතර 10 දාට පෙර කාර්යාල 1783 ම පිහිටුවීමට කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ඇත්තේ කාර්යාල 108 ක් වැනි සුළු සංඛ්‍යාවක් බවත් කීය.
ප‍්‍රාදේශීය, ආසන, බල මණ්ඩල හා දිස්ත‍්‍රික්ක මට්ටමෙන් සන්ධානයේ මැතිවරණ රැස්වීම් පවත්වන අතර ඉකුත් 26 වැනිදා අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට සන්ධානය සමත් වූ බව පෙන්වා දුන් හෙතෙම එජාප නායකයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජන රැලි 2 ම පැවැත්වූයේ කාමරවල බවත් ප‍්‍රකාශ කෙළේය.
රත්නපුර රැලිය එක්තරා හෝටලයක පැවැත්වූ එජාපය පොළොන්නරුව රැලිය අර්ල් ගුණසේකර මහතාගේ නිවෙසේ පැවැත්වූ බව පැවසූ ඇමැතිවරයා දැවැන්ත ජන රැලි කාමර තුළ පවත්වමින් අලුත් සංස්කෘතියක් ආරම්භ කිරීමට එජාපය සමත්ව ඇති බවත් පැවැසීය.
එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ සටනට එළැඹෙන්නේ නම් එය සන්ධාන සාමාජිකයන්ටද උත්තේජකයක් වන බව පැවසූ ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කොළඹට වී මාධ්‍ය ඒකක සමඟ එක් වී මැතිවරණ ජයග‍්‍රහණය කළ නොහැකි බව තේරුම් ගත යුතුව ඇතැයි ද පැවසීය.
උතුරු මැද පළාත් සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මහ සමුළු 2 ක් අගෝස්තු 03 සහ 10 දිනවල පොළොන්නරුවේදී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.
එම පක්‍ෂවල වත්මන් නායකත්වය හා වැඩපිළිවෙළ පිළිබඳව කළකිරුණු පක්‍ෂ සාමාජිකයන් බහුතරය එක්ව මෙසේ සන්ධානයේ ජය තහවුරු කිරීමට විකල්ප කණ්ඩායමක් සේ මහ සමුළු පැවැත්වීමට තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රට දිනවීමේ වැඩපිළිවෙළ සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේම ප‍්‍රසාදයට පත්ව ඇති මොහොතක එජාප සහ ජවිපෙ සාමාජිකයන් තම පක්‍ෂවලින් රටට සිදු වී ඇත්තේ කුමක්දැයි කල්පනා කරන බවත් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය.
ඒ අනුව එම සාමාජිකයන් නිවැරදි තීන්දුවකට එළඹෙමින් ජනාධිපතිවරයා සමඟ එක්ව රට දිනවීමට සූූදානම් වී ඇති බව ප‍්‍රකාශ කළ ඇමැතිවරයා ඒ ආර්ථික හා දේශපාලනික අභියෝග රැසක් මැද්දෙන් සාර්ථක ගමනක යෙදෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබන 23 වැනිදා පළාත් සභා ඡන්ද විමසීමෙන් අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබන බවත් අවධාරණය කෙළේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් සන්ධානයට සහාය පළ කරන ප‍්‍රාදේශීය නායකයන්ට විවිධ බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ඇති බව පැවසූ ඇමැතිවරයා ඔවුන්ගේ නිවෙස් වට කොට බියවද්දන බවත් සඳහන් කෙළේය.
එළඹෙන 23 වැනිදා සන්ධානය ජය ගැනීමෙන් පසු එජාප නායකයාට මතුවන ප‍්‍රබල ගැටලුව වන්නේ නායකත්වය බේරා ගැනීම බව පැවසූ ඇමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ ඊළඟ කැරැල්ල මේ වන විටත් ආරම්භ වී ඇතැයි ප‍්‍රකාශ කෙළේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත, ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුද එක් වූහ.

No comments: