Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

රුවන් පුරේ කිරි ඉතිරේ

විවෘත ආර්ථික රටාව තුළ දේශීය කිරි නිෂ්පාදනය නොසලකා හැර විශාල මුදලක් වැය කොට කිරි පිටි විදේශ රටවලින් ආනයනය කරන්නට අපට සිදුවිය.
කොතරම් ප‍්‍රමාණයක් ගුණාත්මක අතින් ඉහළ මට්ටමකින් කිරි නිෂ්පාදනය කිරීමට හැකි වුවත් අපේ වැඩි කැමැත්ත තිබුණේ විදේශයන්ගෙන් ගෙන්වන කිරි පානය කිරීමටය. පසුගිය කාලයේ කිරි පිටි මිල ගණන් ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ යාම තුළ අප පීඩාවට පත්ව සිටින්නේත් ඒ නිසාය.
ඕස්ටේ‍්‍රලියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය වැනි රටවලින් ඉතා විශාල මුදලක් වැය කරමින් මෙරටට කිරි පිටි ආනයනය කිරීමෙන් රටේ ආදායමින් විශාල මුදලක් නිතැතින්ම විදේශයන්ට ගලා ගියේය.
මේ තත්ත්වය හොඳින් හඳුනාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ලෙස ශ‍්‍රී ලංකාව පුරා දියර කිරි ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් ආරම්භ විය. කිරි නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමත් සමග දියර කිරි බෙහෙවින් ජනප‍්‍රිය වන්නට විය.

ප‍්‍රතිසංස්කරණය කෙරෙන ගව ගාලක්
දියර කිරි ප‍්‍රචලිත කිරීමේ කාර්යභාරය යටතේ දිවයින පුරා කිරි ගොවි ගම්මාන ඇති කරමින් ඊට අවැසි සියලු පහසුකම් ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටියි.
දේශීය නැවුම් කිරි වල රස පහස විඳගන්නා අතරම ගුණයෙන් පිරි ආහාරයක් වශයෙන් ඊට ජනප‍්‍රියතාව හිමි වෙමින් පවතින්නේද කිරි ගොවියාගේත්, පාරිභෝගිකයාගේත් අනාගතය සුබදායක වන බව පෙන්වා දෙමිනි. කිරි ගොවි ගම්මාන සංකල්පය අද වන විට ශ‍්‍රී ලංකාව පුරා සාර්ථකව කි‍්‍රයාත්මක වන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
කිරි ගොවි ගම්මාන සංකල්පය පිළිබඳ කතා කිරීමේදී රත්නපුර දිස්ති‍්‍රක්කයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අද වන විට රත්නපුර දිස්ති‍්‍රක්කය පුරා කිරි ගොවි ගම්මාන 13 ක් ආරම්භ කර ඇත. ඒ අතරින් ගොඩකවෙලට හිමි වන්නේ වැදගත් ස්ථානයකි.
පාරිභෝගිකයන්ට විශේෂ සහන රැසක් ලබා දෙමින් කිරි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම තුළින් විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් යන දෙපාර්ශවයටම වඩා විශ්වාසනීය ආකාරයෙන් සිය අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට දැන් හැකියාව පවතී.
ගොඩකවෙල ප‍්‍රදේශයේ පිහිටුවන ලද කිරි ගොවි ගම්මානය නිසා 700 ක පමණ පිරිසකට සෘජු ප‍්‍රතිලාභ ලැබෙන අතර වක‍්‍ර වශයෙන් තවත් 150 කට පමණ සෙත සැලසේ.
සබරගමුව පළාත් සභාව යටතේ රුපියල් මිලියන 30 ක් සහ මධ්‍යම රජයේ ප‍්‍රතිපාදන මත රුපියල් මිලියන 20 ක් මේ සඳහා පසුගිය වසරේ වෙන් කර ඇත. ගෙවී යන මේ වසර සඳහා පළාත් ප‍්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 90 ක පමණ මුදලක් වෙන් කර තිබේ.
දක්ෂතා මැනවින් විදහා දක්වමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට පසුගිය වසරේ පශු සම්පත් සම්මාන උළෙලේදී ප‍්‍රථම හා දෙවැනි ස්ථාන දිනා ගැනීමට හැකිවීම එම ගොවි ජනතාව ලැබූ භාග්‍යයක් වන්නේය. එයින් ඇඹිලිපිටිය, බුරුත කන්ද කිරි ගොවි ගම්මානය දිවයිනේ පළමු වැනි තැනට පත්ව සිටියි.
කිරි ගොවි සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරමින් ගොවීනට උපදෙස් ප‍්‍රායෝගික දැනුම සපයන සත්ත්ව සංවර්ධන උපදේශක පාලිත මූණමල්පේ මහතා පවසන්නේ මෙවැන්නකි.

ගොඩකවෙල කිරි හල
කිරි ගොවි ගම්මාන වැඩසටහන යටතේ එක් ගම්මානයක් සඳහා රුපියල් ලක්ෂ දෙකක පමණ ප‍්‍රතිපාදන ලබා දී තිබෙනවා. ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා කිරි ගොවි පොළ 80 ක් පමණ පිහිටුවා තිබෙනවා. අද වන විට ඒ හැම මධ්‍යස්ථානයකින්ම වගේ ඉතා හොඳ ආදායමක් ලබා ගන්නවා.
ගල්පාය කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයට මාසයකට කිරි ලීටර් 5000 කට වැඩි ප‍්‍රමාණයක් එකතු කර ගැනීමට පුළුවන්. ඊට අමතරව කරවිල යාය මධ්‍යස්ථානයෙන් ලීටර් 2500 ක් හා ඇල්පිටිය මධ්‍යස්ථානයෙන් ලීටර් 3500 ක් මාසිකව ලබා ගන්නවා.
කිරි ගොවි ගම්මාන සංකල්පය යටතේ ඉදිරියේදී ගොවීන් 10 දෙනෙකුගෙන් යුක්ත ඒකක පිහිටුවනවා. මේ ප‍්‍රදේශයේ ගව ගාල් 600 ක් සහ කිරි ගවයින් 600 ක් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.
එමගින් ගොවියෙකුට කිරි ගවයෙක් සඳහා රුපියල් 10,000 ක් හා ගව ගාලක් සඳහා රුපියල් 10,000 ක් වශයෙන් රුපියල් 20,000 ක ආධාර මුදලක් ලැබෙනවා.
සංවර්ධනයේ සොඳුරු සිහින දකිමින් දියුණුව තම දෑතින්ම ලඟා කර ගන්නා මේ පිරිස අද වන විට තම ජීවනෝපාය සාර්ථකව කරගෙන යෑමට සමත්ව සිටිති.
ගොඩකවෙල නගරයේ සමුපකාර කිරි අලෙවි සල් කළමනාකරු එම්. එම්. කුලරත්න මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේය. මේ කිරි අලෙවි සැල ආරම්භ කර එතරම් කාලයක් නෑ. අද වන විට කියන්න සතුටුයි ඉතාම හොඳ අලෙවියක් තිබෙනවා. සබරගමුව පළාත් කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත රුපියල් 2,50,000 ක් වැය කරලයි මේ අලෙවි සල ආරම්භ කළේ.
එළ කිරි, මුදවාපු කිරි, බිත්තර සහ පළතුරු වර්ග ඉතාම සහන මිලට මේ අලෙවි සලෙන් ලබා ගන්න පුළුවන්. මෙහි අලෙවි කරන සෑම නිෂ්පාදිතයක්ම කෘති‍්‍රම රසකාරක වලින් තොරයි.
පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් තමයි මේ කිරි අලෙවි සල ආරම්භ කළේ. ඉදිරියේදී පාරිභෝගිකයින්ට තවදුරටත් විශේෂ සහන ලබාදීමට කටයුතු කරනවා. අපි පලතුරු මිලදී ගන්නේත් ප‍්‍රදේශයේ ගොවි ජනතාවගෙන්. එයින් ඔවුන්ට තවත් ආදායමක් ලැබෙනවා. කිරි ලීටරයකට රුපියල් 50 ක් තරම් මුදලක් අපි ගෙවනවා. එයින් ගොවි ජනතාවගේ ආර්ථික මට්ටම ශක්තිමත් කර ගන්න පුළුවන්.
පසුගිය 2005 වසරේ ගොඩකවෙල ප‍්‍රදේශයේ කිරි නිෂ්පාදනයේ පෙන්නුම් කරන්නේ ශීඝ‍්‍ර වර්ධනයකි. එය ප‍්‍රතිශතයක් ලෙස 40 % ක පමණ වර්ධනයකි. කිරි නිෂ්පාදනය අතින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන තිබෙන මේ ප‍්‍රදේශය තුළ මී කිරි නිෂ්පාදනයද සිදු කෙරේ.
කිරි ගවයින් දස දෙනෙකුගෙන් සමන්විත කිරි නිෂ්පාදන ගොවි පොළක් පවත්වාගෙන යන චමින්ද විජේසේකර මහතා පවසන්නේ තම ව්‍යාපාරයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහාය ලැබුණු බවයි. අපේ කිරි හරක් දහ දෙනාගෙන් දවසට දෙවතාවක් කිරි ලැබෙනවා. ඒ මගින් හොඳ ආදායමක් ලැබෙනවා.
ගව ගාල හදා ගන්න අපිට කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩක් උදව් කළා. ඒ සඳහා අමුද්‍රව්‍ය සහ උපදෙස් ලබා දුන්නා. දැන් අපිට මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න පුළුවන්.
දේශීයත්වයට මුල්තැනක් ලබාදීම දේශයේ අනාගත යහපත වෙනුවෙන් සුබ පෙර නිමිති පහළ කරන්නකි. ඒ බව මැනවින් විදහා දැක්වෙන්නේ මෙරට කෘෂිකාර්මික අංශය නැංවීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබීම තුළිනි.
එම වැඩපිළිවෙළ යටතේම කිරි ගොවීන් සඳහා විශේෂ සහන රැසක් ලබාදීමට පියවර ගෙන තිබීම ප‍්‍රශස්තය. ගව ගාල් ඉදි කිරීම සඳහා ආධාර කිරීම, කිරි ගවයින් මිලදී ගැනීමට ආධාර කිරීම, නව තාක්ෂණික ක‍්‍රම හඳුන්වාදීම හා අවශ්‍ය උපදෙස් ලබාදීම ඇතුළු සහන රැසක් ඉතා පහසුවෙන් ගොවි ජනතාවට දැන් ලැබේ.
රට සමෘද්ධිමත් කරලීමේ ජාතික වගකීම නිවැරැදිව ඉටු කිරීමේ අඩිතාලම වන්නේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනයයි. මේ සඳහා සියලු අංශයන් විශාල සහායක් ලබා දෙනු නිසැකය. එමගින් ශ‍්‍රී ලංකාව සිය සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා දිනය වැඩි ඈතක නොවේ.
මහින්ද අලුත්ගෙදර

No comments: