Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 21, 2008

භාෂා ප‍්‍රශ්නයට දෙන විසැඳුමෙන් ජනවාර්ගික ගැටලුව විසඳන්න බෑ

ඩිව් ගුණසේකර
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමැති
රාජ්‍ය භාෂා කි‍්‍රයාත්මක කිරීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස 1987 දී පිළිගැනුණත් එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීම වසර 20කින් පමණ පමා වී තිබෙන්නේ ඇයි?
ජනවර්ග ගැටලුව ගොඩනැගුණේ භාෂා ප‍්‍රශ්නය තුළින්. 1956 සිංහල රාජ්‍ය භාෂාව වුණා. 1987 දී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වුණා. වසර 21 ක් දෙමළ භාෂාව පොතේ තිබුණත් කි‍්‍රයාත්මක වෙලා නැහැ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මගේ අමාත්‍යාංශයට රාජ්‍ය භාෂාව යන විෂය පවරලා තියෙන්නෙත් මේ හේතුව නිසයි. 13 වැනි සංශෝධනය යටතේ තමයි, දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වුණේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමේ ගැටලු පැන නැඟීමත් මීට හේතුවක්.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක් හැදුවහම එය කි‍්‍රයාත්මක වෙනවාදැයි කියාත් සොයා බැලිය යුතුයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු යනුවෙන් අමාත්‍යාංශයක් බිහිවෙන්නෙත් ඒ නිසයි.
දෙමළ භාෂාව කි‍්‍රයාත්මක නො වීම ජනවර්ග ප‍්‍රශ්නයටත් බලපානවා. ඒ නිසා එය කි‍්‍රයාත්මක කිරීම මගේ අමාත්‍යාංශයට පැවරිලා. රාජ්‍ය භාෂා කොමිසන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, භාෂා අධ්‍යාපන පුහුණු ආයතනය ඇතුළු භාෂාවට අදාළ ආයතන කිහිපයක් ම තිබෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.
1987 සිට මේ දක්වා රාජ්‍ය භාෂාව ලෙස දෙමළ භාෂාව පිළිගැනුණත් කි‍්‍රයාත්මක නො කිරීම බරපතළ තත්ත්වයක්. මීට වගකිවයුත්තේ කවුරුන් ද?
ඒ ඒ කාලවල රට පාලනය කරපු පාලකයන්ට අදාළ වගකිවයුත්තන්ට මෙය කි‍්‍රයාත්මක කිරීමට වුවමනාවක් තිබිලා නැහැ. පොතට සීමා වී තිබුණු දෙමළ භාෂාව කි‍්‍රයාත්මක කළ යුතුයි කියන ස්ථාවරයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දිගට ම හිටියා.
ඒ නිසා වසර 20 ගණනක් නැවතී තිබුණු මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන්න කියලා තමයි ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට මෙය පැවරුවේ.
මේ ආණ්ඩුවේ පළවැනි කැබිනට් මණ්ඩල රැස්වීමට මං කැබිනට් සංදේශයක් ඉදිරිපත් කෙළේ රාජ්‍ය භාෂාවට අදාළව 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න වුවමනා කියලයි.
1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වුණාට පසුව වසර 31 කට පසුව එනම් 1987 දී දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගත්තා. නමුත් එය වසර 20 කට ආසන්න කාලයක් ගතවෙලත් කි‍්‍රයාත්මක වෙලා නැහැ. මේ ගැටුම මෙතරම් දුරදිග යන්නෙත් මෙය ප‍්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.
ඒනිසා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමට අදාළ ප‍්‍රමුඛත්වය මෙම රජය විසින් ලබා දෙනවා. ඒ සඳහා කැබිනට් අනුකාරක සභාවකුත් පත්කළා. ඊට අමතරව ලේකම්වරුන්ගේ මට්ටමෙනුත් කමිටුවක් පත්කළා.
රාජ්‍ය භාෂා කොමිසන් සභාවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. රාජ්‍ය සේවාව ද්විභාෂාකරණයකට ලක්කළ යුතුයි කියන ප‍්‍රතිපත්තියට දැන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙලා.
රාජ්‍ය සේවකයන්ට සිංහල, දෙමළ භාෂා දෙක ම අනිවාර්ය කර ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීම එක්තරා අන්දමක අභියෝගයක්. ඔබ එම අභියෝගය ජයගන්නේ කෙසේ ද?
අලුතෙන් එන සියලුම රාජ්‍ය සේවකයන් දෙවන භාෂාව ඉගෙන ගැනීම අනිවාර්යයි. සිංහල මාධ්‍යන්ගෙන් එන පිරිස දෙමළ භාෂාව ඉගෙන ගත යුතුයි. දෙමළ මාධ්‍යයෙන් පැමිණෙන පිරිස සිංහල භාෂාව ඉගෙන ගත යුතුයි.
2007 ජූලි මාසයේ පළමුවැනිදා සිට මෙය නීතියක් වශයෙන් කි‍්‍රයාත්මකයි. මේ තීරණය ගන්න තිබුණේ 1948 දි. දැන් වසර 60කට පමණ පසුව තමයි, මෙය කි‍්‍රයාත්මක වෙන්නේ. දැනට ඉන්න රාජ්‍ය සේවකයන්ට තව කොන්දේසි පනවන්න බැහැ. ඒ නිසා දිරිගැන්වීම් මාර්ගයෙන් ඔවුන්ට දෙවන භාෂාව ඉගෙන ගන්න අවස්ථාව ලබාදෙමින් සිටිනවා.
මෙතෙක් කාලයක් තිබුණේ දෙවන භාෂාව ඉගෙන ගැනීමට දෙන දිරි දීමනාව රුපියල් පන්සියයක් පමණයි. එම මුදල දැන් රුපියල් විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. මීට අමතර වැටුප් වර්ධකයක් ද ලබා දෙනව.
මුළු ලංකාව පුරා රාජ්‍ය ආයතනවල දෙවන භාෂාව උගන්වන පංති පටන් අරගෙන තියෙනවා. ඊට අදාළ පොත්පත් විෂය නිර්දේශ සකස් කර තිබෙනවා. ප‍්‍රවීණතා විභාගයක් මට්ටම් 3 කින් රාජ්‍ය සේවකයන්ට සකස්කර තිබෙනවා.
අලුතින් රාජ්‍ය සේවකයන්ට එන පිරිස වසර 5 ක් තුළ මෙම ප‍්‍රවීණතා විභාගයෙන් සමත් විය යුතුයි. මාස 3කට පෙර පළමු විභාගය අපි පැවැත්වූවා. රාජ්‍ය සේවකයන්ගෙන් සාර්ථක ප‍්‍රතිචාරයක් මේ සඳහා තිබුණා. විශාල ප‍්‍රමාණයක් රාජ්‍ය සේවකයන්ට මෙම විභාගයට පෙනී සිටීම ම විශේෂත්වයක්.
භාෂා පරිවර්තකයන්ගේ යම් අඩුවක් තිබෙනවා නේද?
යම් අඩුවක් නොවේ, රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තකයන්ගේ අති විශාල අඩුවක් තිබෙනවා. මුළු ලංකාවේ ම භාෂා පරිවර්තකයන් ඉන්නේ සියයකටත් අඩුවෙන්. අයදුම්පත් කැඳෙව්වොත් එක අයදුම්පතක්වත් ලැබෙන්නේ නැත්තේ නිවැරැදිව භාෂා දෙක ම දන්න කට්ටිය අද අපේ රටේ නැති නිසයි.
පාර්ලිමේන්තුවේ, අධිකරණයේ දැනට සිටින භාෂා පරිවර්තකයන් විශ‍්‍රාම ගියවිට අලුතෙන් කට්ටිය නැති නිසා රාජ්‍ය සේවය විශාල අර්බුදයකට මුහුණපාන්න පුළුවන්. වසර ගණනාවක් තිස්සේ නිවැරැදි ආකාරයෙන් ප‍්‍රතිපත්ති සැලසුම් නො කිරීම මීට ප‍්‍රධාන හේතුවයි.
අපේ රටේ ජනගහනයෙන් සියයට 25 ක් ඉන්නේ දෙමළ භාෂාව කථාකරන ජනතාවයි. නමුත් ඒ ජනතාව විසිරිලා ඉන්නේ. එයිනුත් සියයට 61ක් දෙමළ කථාකරන ජනතාව ජීවත්වන්නේ උතුරු නැෙඟනහිරින් පිට. මේක හුඟදෙනෙක් දන්නේ නැහැ.
බහුතරයක් හිතාගෙන ඉන්නේ දෙමළ ජනතාව වැඩිපුර ම ඉන්නේ උතුරු නැඟෙනහිර කියලා. සත්‍ය එය නො වේ. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පමණයි දෙමළ කථාකරන ජනතාව අඩුවෙන්ම ඉන්නේ. එහි දෙමළ කථාකරන ප‍්‍රතිශතය සියයට 1 යි.
එම නිසා දෙමළ භාෂාව කථාකරන ජනතාව බහුතරයක් ඉන්න ප‍්‍රදේශවල ඒ ජනතාවට රජයේ කාර්යාලවලට ගියා ම තමන්ගේ භාෂාවෙන් වැඩක් කරගන්න බැහැ. ඒ වගේම උතුරු නැඟෙනහිර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 14 ක් තියෙනවා. සිංහල ජනතාව සුළුතරයක් ඉන්න.
මේ මිනිස්සුත් කාර්යාලවලට ගියා ම දෙමළ භාෂාව දන්නේ නැති නිසා ගැටලුවලට මුහුණපානව. මෙමඟින් වැඩිපුර ම පීඩාවට පත්වෙන්නේ ජාතීන් දෙකට ම අයත් දුප්පත් මිනිස්සු. යමක් කමක් තියෙන මිනිස්සු කාර්යාලවල රස්තියාදු නොවී දුරකථනයෙන් හරි කොහොම හරි වැඩේ කර ගන්නවා.
නමුත් කාර්යාලවලට ගිහිල්ලා රස්තියාදු වෙන්නේ දුප්පත් ජනතාව. 1833 ඉඳලා 1956 දක්වා මේ රටේ රාජ්‍ය භාෂාව වුණේ ඉංගී‍්‍රසි භාෂාව. වසර 123 ක් මේ රටේ රාජ්‍ය භාෂාව ඉංගී‍්‍රසිවෙලා තිබුණට ඉංගී‍්‍රසි භාෂාව ගැන යම් දැනුමක් තියෙන්නේ ජනගහනයෙන් සියයට 10 කට පමණයි.
එතකොට දෙවන භාෂාවක් දන්නවයි කියලා හිතන්න පුළුවන් වෙන්නේ සියයට 10 යි. සිංහල ජනතාවගෙන් දෙමළ භාෂාව දන්නේ ඉතාමත් ම අල්පයයි. හැබැයි දෙමළ ජනතාවනම් ඊට වඩා යම් පමණකට සිංහල භාෂාව දන්නවා. මුස්ලිම් ජනතාව නම් සිංහල, දෙමළ දෙක ම දන්නවා.
මේ ගැටලුව විසඳන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවැරැදිව මැදිහත් වුණේ නැහැ. ඒක නිසා මේක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශයට පැවරිලා තියෙනවා. දැනට රාජ්‍ය සේවකයන් හයදහසකට (6000) කට වඩා ප‍්‍රමාණයක් දෙවන භාෂාව ඉගෙන ගැනීම සඳහා රටපුරා තියෙන පංතිවලට පැමිණෙනවා.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 29ක් ද්විභාෂාකරණ කරන්නත් දැන් කි‍්‍රයාකර තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය යටතේ ඒ සඳහා ජනාධිපතිතුමාට බලය තිබෙනවා.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ද්විභාෂාකරණ කිරීමේ ප‍්‍රායෝගිකත්වය උදාහරණයක් මඟින් පැහැදිලි කළොත්.
නුවරඑළියේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියයට 70ක් ඉන්නේ දෙමළ භාෂාව කථාකරන ජනතාව. නමුත් නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නේ සිංහල කථාකරන නිලධාරීන්.
මෙම කාර්යාලයට දෙමළ භාෂාව දන්නා නිලධාරීන් අත්‍යවශ්‍යයයි. ඒක නිසා අලුතෙන් බඳවා ගන්නා දෙවන භාෂාව දන්න නිලධාරීන් හා ප‍්‍රවීණ විභාගයෙන් සමත්වන භාෂා දෙක ම දන්නා නිලධාරීන් කඩිනමින් මෙවැනි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යෙදවීමට රජය ප‍්‍රමුඛතාව ලබා දෙනවා.
අපගේ බලාපොරොත්තුවක් තියෙනවා,ඉදිරියේ දී භාෂා 3ම පිළිබඳ රජයේ නිලධාරීන්ට දැනුමක් ලබාදෙන්න. විශේෂයෙන් ම විධායක මට්ටමේ ඉන්න නිලධාරීන් භාෂා 3ම දන්නවනම් ඉතා හොඳයි.
නවීන තාක්ෂණය ගැන ලෝකයේ දැනුම ලබාගන්න ඒවගේම ඒතුළින් ලබාගන්නා දැනුමෙන් ජනතාවට ඉහළ සේවයක් ලබාදෙන්න සිංහල, දෙමළ කථාකරන දෙපිරිසට ම ඉංගී‍්‍රසි දැනුමක් අත්‍යවශ්‍යයයි. ඒ සඳහා රාජ්‍ය සේවකයන් යොමුකිරීමේ වැඩසටහනක් ගැන අපේ අවධානය යොමු වී තිබෙනවා.
දෙවන භාෂාව ඉගෙන ගැනීමට රාජ්‍ය සේවකයන් තුළ තිබෙන උනන්දුව මොන වගේද?
පසුගියදා ප‍්‍රවීණතා විභාගයක් පැවැත්වූවා. දෙමළ මාධ්‍යයේ විභාගයට සිංහල නිලධාරීන් 5500 ක් පමණ සහභාගි වුණා. උතුරු නැෙඟනහිර සිටින දෙමළ භාෂාව කථාකරන රජයේ සේවකයන් 1700ක් සහභාගි වුණා සිංහල විභාගයට.
යාපනය, මුලතිව්, කිලිනොච්චි වව්නියාව යන ප‍්‍රදේශවල දෙමළ නිලධාරීන්ගේ විශාල උනන්දුවක් තිබෙනවා, සිංහල භාෂාව ඉගෙන ගැනීමට. දැනට මානුෂික මෙහෙයුම් සිදුකෙරෙන ප‍්‍රදේශවල සිටින දෙමළ නිලධාරීන්ගෙනුත් සිංහල ඉගෙන ගැනීම සඳහා දැඩි උනන්දුවක් තිබීම විශේෂත්වයක් ලෙස මං දකිනවා.
මාස කිහිපයක් තුළ දෙවන භාෂාවක් ඉගෙන ගැනීමට මෙතරම් උනන්දුවක් රාජ්‍ය සේවකයන්ට ඇතිවීම ගැන මා තුළ ඇත්තේ විශාල සතුටක්. මේ ප‍්‍රවණතාව ඉදිරියේ දී ක‍්‍රම ක‍්‍රමයෙන් අනිවාර්යයෙන් ම වැඩිවෙනවා.
භාෂා ගැටලුවට මේ ලබාදෙන විසඳුම හා ගෙනයන වැඩපිළිවෙළ තුළින් බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව විසඳුමක් ලබාදිය හැකි ද?
ජනවාර්ගික ගැටලුව භාෂා ප‍්‍රශ්නයට දෙන විසැඳුමෙන් දැන් විසඳන්න බැහැ. 1956 දී භාෂා ප‍්‍රශ්නය විසඳන්න කි‍්‍රයා කළා නම්, මේ වගේ ජනවාර්ගික ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.
දැන් භාෂාව විතරක් නොවේ, අධ්‍යාපන, ආර්ථික, රැකියා, ඉඩම්, සංස්කෘතික, දුරස්ථභාවය වැනි ගැටලු රැසක් මතුවෙලා තියෙනවා. එම නිසා භාෂා ගැටලුවට ලබාදෙන විසැඳුමෙන් මේ ගැටලුවට විසඳුම ලබාදෙන්න බැහැ.
නමුත් එම ගැටලුවලට ලබාදෙන විසැඳුම් වඩාත් පහසු කිරීමට භාෂා ප‍්‍රශ්නයට ලබාදෙන විසැඳුම විශාල තල්ලුවක්. ප‍්‍රශ්නයට බීජය වුණේ භාෂාව ඒ වගේ ම ප‍්‍රායෝගික දේශපාලන විසැඳුමක් ලබාදී ජාතීන් අතර සහයෝගය විශ්වාසය ඇතිකිරීම සඳහා අවශ්‍ය වාතාවරණය කඩිනමින් සැකසීමට ප‍්‍රධාන වෙන්නෙත් භාෂාවමයි.
1956 දී රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පිළිගැනීමෙන් පසුවත් සිංහල භාෂාව කි‍්‍රයාත්මක කිරීමට වසර 15 ක් ගතවුණා. බහුතරයගේ භාෂාව වෙලත් එය මේ රටේ කි‍්‍රයාත්මක කිරීමට වසර 15 ක් ගතවුණා.
දෙවන භාෂාව ඉගැන්වීම පාසල්වල සිදුවෙන්නේ කොහොම ද?
ඒක මගේ විෂයක් නො වේ. එය කි‍්‍රයාත්මක වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහායි. පාසල්වල මෙය කි‍්‍රයාත්මක වෙන්නේ දීර්ඝ කාලීන වැඩසටහනක් වශයෙන්. දකුණේ පාසල් රැසක දෙමළ භාෂාව උගන්නන්න පටන් අරගෙන තියෙනවා.
ඒකට ප‍්‍රමාණවත් ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වෙලා. පසුගියදා දෙමළ ගුරුවරුන් 3500ක් බඳවා ගත්තේත් මේ නිසයි. ද්විභාෂාව දන්නා ගුරුවරුන් බඳවා ගැනීමටත් රජයේ අවධානය යොමු විය යුතුයි.
කාලයක් තිස්සේ වතුකරයේ ජනතාවගේ අකුරු හැකියාව පවතින්නේ අවම මට්ටමකයි. වතුකරයට කාලයක් තිස්සේ සම්පත් හිඟ වී තිබීම ඊට හේතුවයි. වතුකරයේ ජනතාවගේ භාෂා තත්ත්වය අකුරු හැකියාව දියුණු කිරීමට ගෙන ඇති පියවර කුමක් ද?
මේ ආණ්ඩුව යටතේ වතුකරයේ ජනතාවට සැලකිය යුතු පහසුකම් ප‍්‍රමාණයක් පසුගිය කාලය තුළ දී ලබාදුන්නා. ඒ අනුව තුන්දහස් පන්සියයක් ගුරුවරුන් ගත්තේ වතුකරයේ පාසල්වලට.
දෙමළ භාෂාව නැත්නම් තමුන්ගේ මව් භාෂාවයි, මුලින් ම වතුකරයේ ජනතාවට උගන්වන්න ඕන. වතුකරයේ ජනතාව සිංහල ජනතාවත් එක්ක ගැවසෙන නිසා සිංහලත් දන්නව.
වතුකරයේ පාසල්වල සිංහල භාෂාවත් උගන්වනවා. මේ වනවිට වතුකරයේ ජනතාවගේ අකුරු හැකියාව හා අධ්‍යාපනය යම් මට්ටමකට ඉදිරියට ඇවිල්ලා.
මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා හැමදාම කථාවෙනවා. නමුත් කෙරෙන්නේ නැහැ
හැමදාම මැතිවරණවල දී, මැතිවරණ ප‍්‍රකාශනවල දී කථාවෙනවා. නමුත් කෙරෙන්නේ නැහැ. 2/3 ක බහුතරයක් මේ සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය වෙනවා.
නමුත් ඒ එකඟත්වය ගන්න අමාරු වෙන නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන එක වචනයට පමණක් සීමාවෙලා. ජාතික යයි කියාගන්නා කිසි ම ප‍්‍රශ්නයකට ජාතික එකඟත්වයක් ගන්න බැරි එක අපේ රටේ තියෙන ලොකුම ප‍්‍රශ්නයක්.
සාකච්ඡා කෙළේ - ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

No comments: