Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

සාර්ක් සමුළුව වැදගත් ද ? නැද් ද ?

දකුණු ආසියානු සුමිතුරන්ගේ සුමිතුරු හවුල (සාර්ක්) මේ දිනවල (ජූලි මස 27 වැනි දා සිට අගෝස්තු මස 03 වැනිදා දක්වා) අප රටේ පැවැත්වේ.
15 වැනි වරට පැවැත්වෙන සාර්ක් සමුළුවෙන් දකුණු ආසියාවේ රටවල ආර්ථික, සාමාජීය, සංස්කෘතික වර්ධනයක් සෑම රටක්ම බලාපොරොත්තු වේ.
සාර්ක් සමුළුවෙන් දකුණු ආසියාවේ ඒ ඒ රටවල් ලබා ඇති දියුණුව විශාලය.
එය අපට අවතක්සේරු කර කතා කළ නොහැක. විශේෂයෙන් මෙවන් කාලයක දකුණු ආසියාව පසුබිම් කරගෙන මතුවී ඇති ත‍්‍රස්තවාදී උවදුරට කලාපයක් ලෙස එකට එකතු වී මුහුණ දීමේ අවශ්‍යතාව මෙවර සාර්ක් සමුළුවේදී මතුවන මූලික කරුණක් වනු ඇත.
මාලදිවයිනේ පැවැත්වීමට නියමිතව තිබූ 15 වැනි සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තුළ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත.
සාර්ක් සමුළුවට පක්ෂ සහ විපක්ෂ මත පළ කිරීමට ද මේ දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී.
මූලික වශයෙන් සිය දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී ඇති අර්බුද සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට බද්ධ කර ගනිමින් එයට විරුද්ධව මත පළ කරන්නට එම පක්ෂ කටයුතු කරමින් සිටීම එක් අතකින් කනගාටුවට කරුණකි.
ඒ ඔස්සේ තවත් පක්ෂ ඉන්දීය විරෝධයක් සාර්ක් සමුළුව ඔස්සේ සමාජය තුළ වැපිරීමට කටයුතු කරමින් සිටින බවක්ද පෙනේ.
සාර්ක් සමුළුව පමණක් නොව කුමන හෝ ජාත්‍යන්තර සමුළුවක් කුමන හෝ රටක පැවැත්වීම ඒ රටට ඒ කලාපයට වැදගත් දෙයකි.
ඒ පිළිබඳව මැදහත්ව බලනවා වෙනුවට සිය දේශපාලන න්‍යාය පත‍්‍ර කි‍්‍රයාවට නැංවීමට සෑම දෙයටම විරුද්ධ වීමේ න්‍යාය ශ‍්‍රී ලංකාවේ සමහරක් දේශපාලන පක්ෂ අනුගමනය කිරීම සැබෑ ලෙසම ගැටලුකාරීය.
මෙවර සතියේ ගවේෂණය ඔස්සේ අප සංවාදයට ලක් කරනුයේ සාර්ක් සමුළුව රටකට වැදගත් ද නැද්ද යන මාතෘකාවය.
'සාර්ක්' තුළින් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වේදිකාවක්
රෝහිත බෝගොල්ලාගම - විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය
පෙරදීටත් වඩා සාර්ක් සංවිධානය දෙස අන්තර්ජාතික අවධානයක් යොමුව තිබියදීයි 15 වෙනි සාර්ක් සමුළුව කොළඹ දී පැවැත්වෙන්නෙ.
ලෝක ජනගහනයෙන් 1/4කට වඩා සාර්ක් රටවල නියෝජනය වන තත්ත්වයක් තුළ මෙය පැවැත්වීම මඟින් ශ‍්‍රී ලංකාවට විශාල ජාත්‍යන්තර වේදිකාවක් ද නිර්මාණය වෙනවා.
මෙවර සමුළුවේ තේමාව 'අපේ ජනතාව සඳහා සහයෝගිතාව' ඒ අනුව මෙවර න්‍යායපත‍්‍රය යොමුවන්නේ මූලික වශයෙන් කලාපීය ජනතාව අරමුණු කරමින්.
ඔවුන්ගේ ජීවිත ඉහළමට්ටමක ට ඔසොවා තැබීම එහි ඉලක්කයයි.
වර්තමානයේ ගෝලීය අර්බුදයන් ලෙස හඳුනාගන්නා ආහාර අර්බුදය, පාරිසරික අර්බුද වැනි කාරණා කලාපීය ජනතාවට බලපාන ආකාරය සහ ඒවා පියමං කිරීම සඳහා වන වැඩපිළිවෙලවල අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරෙනවා.
මේ ඇතැම් ක‍්‍රියාමාර්ග දැනටමත් ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක තලයේ පවතිනවා. තවදුරටත් අප යොමුවිය යුතු අංශ පිළිබඳත් අවධානයට ලක්වෙනවා.
සාර්ක් කලාපයේ විවිධත්වය හරිම පුළුල්, එමෙන් ම එය විචිත‍්‍රයි. අනෙක අප සතුව සම්පත් බොහොමයක් තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳ්‍රම තුළ වෙළෙඳපොළ පිළිබඳ කාරණයේදී ත් මේ කලාපය වැදගත්.
කලාපය තුළ ගොඩනැඟෙන සබඳතා ඔස්සේ පවා සංචාරක ව්‍යාපාරයේ විශාල ප‍්‍රවර්ධනයක් අත්කර ගත හැකියි. නොයෙකුත් ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ මේ කාරණා විග‍්‍රහ කරන්න පුළුවනි.
මේ අනුව, සාර්ක් සභාපතිත්වය ශ‍්‍රී ලංකාවට ලැබීම බෙහෙවින් වැදගත් කාරණයක්, කවර ආකාරයක හෝ ත‍්‍රස්තවාදයට එරෙහිව කි‍්‍රයාකිරීම සම්බන්ධයෙන් කලාපීය එකඟතාවක් ද ඇති තත්ත්වයක් යටතේ මේ වන විටත් අපි රටක් වශයෙනුත් ත‍්‍රස්තවාදය පිටුදැකීම සඳහා වන කි‍්‍රයාන්විතයක නියැලෙනවා.
කවුරුන් කෙසේ කීවත් සමුළුව සඳහා පැමිණෙන කලාපීය රාජ්‍ය නායකයන්ට, නියෝජිතයන්ට, මාධ්‍යවේදීන්ට ශ‍්‍රී ලංකාව පිළිබඳ සැබෑ තත්ත්වය දකින්නට හා එම නිවැරැදි චිත‍්‍රය ලෝකයට රැගෙන යාමට අවස්ථාවක් ලැබෙන නිසාත් මෙය වැදගත්.
සමුළුවේ වියදම් පිළිබඳ විපක්‍ෂය නඟන පටු අවලා ද ගැන අප කණගාටු වෙනවා. මේ සඳහා කෙරෙන ආයෝජනය බෙහෙවින් ප‍්‍රතිඵලදායක බව ඔවුන්ට කිවයුතුයි.
ශ‍්‍රී ලංකාව සභාපතිත්වය දරණ කාලයේ සාර්ක් වැඩපිළිවෙළ ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ හැකියාව අප සතුයි. සෙසු රටවල් තුළත් අප ගැන ඒ විශ්වාසය තිබෙනවා.
ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය එහි දී ඉහළම මට්ටමෙන් කි‍්‍රයා කිරීමට සූදානම්.
රටේ පැවැත්මට මෙම සමුළුව ඉතා වැදගත්
ඕමල්පේ සෝභිත හිමි - ජාතික හෙළ උරුමය
මෙවර සාර්ක් සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ මාලදිවයිනට. නමුත් ඒ රටට පවතින අපහසුතා සහ උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකාව තුළ සාර්ක් සමුළුව පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
මේ සමුළුව ලංකාවේ පැවැත්වීම ගැන අපි සතුට පළ කරනවා. ලංකා ඉතිහාසයේ දරුණුම ප‍්‍රශ්නයකට මුහුණදී තිබෙන මෙවන් මොහොතක මෙවැනි රාජ්‍ය තාන්ති‍්‍රක සම්මේලනයක් පැවැත්වීම ඉතා වැදගත්.
ඒවගේම කොටි හිතවාදී දේශීය මෙන්ම විදේශීය සංවිධාන ඇති කරන අප‍්‍රසාදය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. තවද මානව හිමිකම් උල්ලංඝනය කරන බවටද ප‍්‍රකාශ කරනවා.
මෙය කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාවක්. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන වෙලාවක මෙම සමුළුව පැවැත්වීමෙන් අපි ලොවට පෙන්වා දෙනවා අප රටවල් තුළ කලාපීය සහයෝගයක් තිබෙන බව.
කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව අපේ ති‍්‍රවිධ හමුදාව ගෙන යන මේ සටනට මෙය ඉතා වැදගත්.ඒ වගේම මෙම සමුළුව සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම පිළිබඳ විවිධ චෝදනා නැඟෙනවා.
රටක ජාත්‍යන්තර කීර්තිය, ජාත්‍යන්තර සබඳතා රැක ගැනීමට මෙවැනි වියදමක් දැරීම අපතේ යාමක් නොවේ. රටේ පැවැත්මට එය ඉතා වැදගත්.
විශේෂයෙන් මෙම සමුළුව නිසා පාරවල් තාවකාලිකව වැසීම, පැල්පත් ඉවත් කිරීම යනාදිය කෙරේ කිසියම් ජනතා අප‍්‍රසාදයක්ද මතුවී තිබෙනවා. මේ සමුළුව ක්ෂණික ව පැවැත්වීමට තීරණය කළ දෙයක් නොවේ.
ඒ නිසා රජයට මේ කරුණු කෙරේ දැඩි අවධානය යොමුකර ක‍්‍රමානුකූලව එය කරන්න තිබුණා. නමුත් එය සිදුවුනේ නැහැ.
අපි රජයට කියනවා මේ ඉවත් කළ පැල්පත්වල සිටි ජනතාවට ක‍්‍රමානුකූල නිවාස ලබාදීමට අනිවාර්යයෙන් ම කටයුතු කළ යුතු බව.
මෙම සමුළුවෙන් රටේ ප‍්‍රතිරූපයට වඩා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය හැදෙනවා
තිස්ස අත්තනායක - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්
පහළොස්වෙනි සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් මෙම තීරණය ගැන අවධානය යොමු කළ යුත්තේ කරුණු කිහිපයක් මතයි.
මේ වෙලාවේ රටේ පවතින ජාතික ආරක්ෂාව කෙරේ අවධානය යොමු කළ යුතුයි. රට අනාරක්ෂිත තත්ත්වයකයි පවතින්නේ.
අනෙක මේ සඳහා යන වියදම දස ලක්ෂ 2900ක්. මෙය අයවැයෙන් වෙන්වූ මුදලක් නොවේ. මේ මුදල ජනතාව මත කරන බර පැටවීමක් අනෙක කලාපීය දේශපාලන තත්ත්වය.
මේ කරුණු නිසා මෙම සාර්ක් සමුළුව අප රටේ පැවැත්වීමට කි‍්‍රයා කෙළේ ඇයි ? යන්න ප‍්‍රශ්නයක්.
මේ සමුළුව පැවැත්වීම තුළින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය හදනවාට වඩා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිරූපය හදා ගැනීමකුයි සිදු වන්නේ.
බලවත් රටේ ආධිපත්‍ය අනෙක් රටවලට පටවන සමුළුවක්
ටිල්වින් සිල්වා - ජනතා විමුක්ති පෙරමුණු ලේකම්
සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පවත්වන මේ වෙලාවේ සාර්ක් සංවිධානය දෙස නැවත හැරී බැලිය යුතුයි.
සාර්ක් සංවිධානය ඉන්දියාවේ ආර්ථික, දේශපාලන ආධිපත්‍ය අනෙක් රටවල් මත පටවන සංවිධානයක් බවට පත් විය යුතු නැහැ.
නමුත් සාර්ක් සංවිධානය ඉන්දියාවේ ආධිපත්‍ය අනෙක් රටවල් මත පැටවීමේ උත්සාහයක් තිබෙන බව පේනවා. ශ‍්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ තමන්ගේ නිවටකම පෙන්වන එකක් බවට පත්විය යුතු නැහැ.අපි හිතනවා,
සාර්ක් සංවිධානය තුළ සියලුම රටවල ස්වෛරීභාවය පිළිගන්න ස්වාධීනත්වයට ගරු කරන රටවල් අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලු රටවල් සමාන ව සලකන තත්ත්වයක් නිර්මාණය විය යුතුයි කියලා.
එසේ වුවොත් පමණයි සාර්ක් වල අරමුණු යහපත් වන්නේ.ඒත් අද අපි දකින්නේ මේ සාර්ක් සමුළුව තියන්නේ බලවත් රටේ ආධිපත්‍ය අනෙක් රටවල් මත පටවන අවස්ථාවක් ලෙසයි.
මෙම සමුළුවට උතුම් බලාපොරොත්තු තිබෙනවා
ගාමිණී ලොකුගේ - කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති
සාර්ක් සමුළුව මුලින් ම ආරම්භ වුණේ ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් එකතු වීමෙන්. මේ එකතු වීම තුළින් සිදු වූ යහපත් ප‍්‍රතිඵල අති විශාලයි.
උදාහරණයක් ලෙස ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති වෙළෙඳ සබඳතාව මෙතුළින් දිනෙන් දින දියුණු වුණා. එතුළින් රටවල් අතර පවතින සබඳතාව මිත‍්‍රකම වර්ධනය වුණා.
මෙවර සාර්ක් සමුළුව අපේ රටේ පැවැත්වීම තුළින් එම සමුළුවේ සභාපතිකම අප රටට හිමි වෙනවා. ඒ පිළිබඳ විවිධ මාධ්‍යවල පළ වන අසුභවාදී ප‍්‍රවෘත්ති සුබවාදී ලෙස පළ කිරීමට මෙය අවස්ථාවක් වෙනවා.
මෙම සමුළුව පැවැත්වීම නිසා අපේ රටේ විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක දියුණුවක්ද ඇති වෙනවා.
උතුම් බලාපොරොත්තුවක් ඇතිව ආරම්භ කිරීමට යන මෙම සමුළුව මේ වන විට සාර්ථක වී තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ අභිමානය ඉහළ නංවන අවස්ථාවක්
පියසිරි විජේනායක - පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනතා නිදහස් පෙරමුණ
මෙවර සාර්ක් සමුළුව අපේ රටේ පැවැත්වීමට කටයුතු කිරීම හොඳයි. ජාත්‍යන්තර සහයෝගීතාවය පවත්වා ගෙන යාමට මෙම සමුළුව ඉතා වැදගත්.
ශ‍්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස හුවා දැක්වීමට විවිධ කුමන්ත‍්‍රණකරුවන් උත්සාහ ගන්නා මේ මොහොතේ එම හුවා දැක්වීමේ තිබෙන අසත්‍යතාවය ලෝකයාට පෙන්වා දීමට ද මෙය හොඳ අවස්ථාවක්.
එවගේම ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට මෙය හේතු වෙනවා.
මෙම සමුළුව පැවැත්වීම තුළින් ශ‍්‍රී ලංකාවේ අභිමානය ඉහළ තලයකට ගෙන ඒමේ හැකියාව ද ලැබෙනවා.
කලාපීය ජනතාවගේ පිළිගැනීම අපට ලැබෙනවා
මොහාන් සමරනායක - ප‍්‍රවීන මාධ්‍යවේදී
ධනේශ්වර රටවල් අතළොස්සක් විසින් සෙසු ලෝකයා සූරා කෑමට එරෙහි ව ඇති වූ ප‍්‍රතිරෝධය නිසා, දෙවන ලෝක යුද්ධයෙන් පසු එම ලෝක රටාව දුබල වෙනවා.
තම ආධිපත්‍ය තවදුරටත් පවත්වා ගන්නේ කෙසේ ද යන්න විමසීමේ දී තමන් අතර තරඟය වෙනුවට එකිනෙකා සහයෝගයෙන් කි‍්‍රයා කිරීම අවශ්‍ය බව පෙනීයාම කලාපිය සහයෝගිතාව පිළිබඳ අදහස නිශ්චිත හැඩයක් ගැනීමට හේතු වුණා.
ඒ අනුව එවැනි කලාපීය සංවිධාන ගණනාවක් ම බිහිවුණා.
යටත් විජිත ආධිපත්‍යයෙන් පීඩාවිඳි, පොදු වුවමනාකම් සහිත රාජ්‍යයන් ලෙස දකුණු ආසියා කලාපීය රාජ්‍යයන්ගේ එකතුවක් පිළිබඳ අදහස දිගු කළක් තිස්සේ මතුවෙමින් තිබී 80' දශකය මුල දී සැබෑ වෙනවා.
ඒ 'සාර්ක්' හෙවත් දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංවිධානය බිහිකැරගැනීමත් සමඟ වත්මන් ලෝක සන්දර්භය තුළ එය බිහිවූදාටත් වැඩි අවශ්‍යතාවක් එවැන්නක් සඳහා පවතිනවා.
ඒ අතින් සාර්ක් සංවිධානයට වැදගත්කමක් හිමියි.
නමුත්, ගත වූ කාලය පුරාම යම් කි‍්‍රයාමාර්ග කිහිපයක් ගැනීම හැරුණු විට එය සාර්ථක හා කාර්යක්‍ෂම කලාපීය හවුලක් ලෙස කි‍්‍රයාත්මක වී නැහැ.
එබැවින් සාර්ක් ප‍්‍රඥප්තියට අනුකූලව මෙන් ම එහි අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා වන යන්ත‍්‍රණයක් එය විසින් නිර්මාණය කරගත යුතුයි.
කලාපීය බලවතා වන ඉන්දියාව ඇතුලු සාමාජික රටවලට පොදු වුවමනාකම් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීමටත්, කි‍්‍රයාකිරීමටත් හැකිවිය යුතුයි. නමුත් ප‍්‍රායෝගික යථාර්ථය එය නොවෙයි.
කොළඹ සමුළුවත් සමඟ සාර්ක් සභාපතිත්වය අපට ලැබීම වැදගත් අවස්ථාවක්.
එම ගරුත්වය අර්ථවත් කිරීමට නම් බෙහෙවින් කාර්යක්‍ෂම අන්දමින් හා දැඩි කැපවීමකින් යුතුව, මනා රාජ්‍ය තාන්ති‍්‍රක හැකියාවන් විදහාපාමින් එම වගකීම සපුරාලිය යුතු වෙනවා.
අපට එසේ කළ හැකිවන්නේ නම් කලාපීය ජනතාවගේ ගෞරවය හා පිළිගැනීම දිනාගත හැකියි.
නායකත්වය අපට හිමිවෙනවා
වාසුදේව නානායක්කාර - කොළඹ නගර සභාවේ විපක්ෂ නායක
මෙම සාර්ක් සමුළුව ඉතා වැදගත්. විශේෂයෙන් මෙම සමුළුව ලංකාවේ පැවැත්වීම නිසා නායකත්වය අපට හිමි වෙනවා.
මෙහිදී දකුණු ආසියානු කලාපය තුළ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ වඩාත් යෝග්‍ය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම කෙරේ අවධානය යොමුවිය යුතුයි.
තවද මෙම රටවල් හය අතර පවතින වෙළෙඳ්‍රමේ දියුණු තත්ත්වයක් දකින්නට ලැබෙන්නෙ නැහැ. එවගේම පොදු ගෙවීම් ක‍්‍රමයක්ද ඇතිකර ගත යුතුයි.
මේ කරුණු දෙක කෙරේ. මෙවර සමුළුවේ වැඩි අවධානයක් යොමු විය යුතුයි.
ඒ සඳහා නායකත්වය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට හැකියාව මෙහිදී උදා වෙනවා. මෙය රටට ප‍්‍රයෝජනයක්. මෙම අරමුණු ඉටු කර ගැනීමට මෙම රටවල් හය එකතු වී කටයුතු කළ යුතුයි.
ත‍්‍රස්තවාදී තර්ජනය පිටු දැකීමට අවස්ථාවක්
නවරත්න රඹුක්වැල්ල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කොළඹ විශ්විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය
සාර්ක් සංවිධානය ආරම්භයේ පටන් 2000 වසර පමණ වනතුරුවම එතරම් වැදගත්කමක් හිමිකරගත්තේ නැහැ.
නමුත්, මේ වන විට එය කලාපීය සංවිධානයක් ලෙස වැඩි වැදගත්කමක් හිමිකරගනිමින් සෙසු ප‍්‍රබල කලාපීය සංවිධාන මෙන් ඉදිරියට එමින් ඇති බව පෙනෙනවා.
සමහරවිට එය සෙසු කලාපීය සංවිධානවලටත් වඩා වැඩි වැදගත්කමක් හිමිකරගන්නා බව හේතුන් කිහිපයක් නිසාම කිවහැකියි.
පළමුව, ගෝලීය ආර්ථිකය ව්‍යාප්ත වීමේදී කලාපීය සංවිධානයක් ලෙස එය හිමිකරගන්නා අලුත් වැදගත්කමයි. ගෝලීය ප‍්‍රාග්ධන ව්‍යාපෘතිය ඉතාමත් අසාධාරණ ලෙස දියත් වෙමින් තිබියදී , ඊට මුහුණදීමේ එක් විකල්පයක් ලෙසත් එය වැදගත්.
අද සාර්ක් දෙස ලොව බලවත් ජාතීන් පවා බලන්නේ මේ පසුබිම තුළයි. ප‍්‍රබල රටවල් ගණනාවක් එය නිරීක්‍ෂණය කිරීමට ඉදිරිපත් වී තිබියදී එයට විශාල වැඩකොටසක් කිරීමේ ශක්‍යතාවක්ද තියෙනවා.
දෙවනුව ලෝක ජනගහනයෙන් 1/4 ක් එහි නියෝජනය වීම. එම ප‍්‍රබල නියෝජනය නිසාද ඊට අලුත් වැදගත්කමක් හිමිවන්නේ පෙරකී ආර්ථික පසුබීම තුළයි.
තෙවනුව, ඉන්දියාව සහ චීනය ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් අත්කරගනිමින් සිටියදී , විශාල ආර්ථික ශක්‍යතාවක් මෙම කලාපයටද යොමුව තිබීම. කලාපීය ගනු-දෙනු ඉහළ යාම සහ සැළකිය යුතු ප‍්‍රාග්ධනයක්ද සමඟ එය පෙරට එමින් තියෙනවා.
සිව්වනුව, සාර්ක් හි න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකුද නියෝජනය වීම. ඒ හැරුණුවිට, කාර්මික හා කෘෂිකාර්මික ක්‍ෂෙත‍්‍රයන්හි අත්කරගනිමින් ඇති වධ¢නයන්. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල නියෝජනය සඳහා ඉන්දියාව යෝජනාවීමත් සැළකිය යුතු කාරණයක්.
මෙවර සමුළුව කොළඹ පැවැත්වෙන නිසා ලංකාව සම්බන්ධයෙන් ද එය වැදගත්වන හේතූන් ගණනාවක් තියෙනවා.
පෙර සඳහන් කළ වැදගත්කම්වල ආරෝපණයන් මෙරටට අදාළ වීමට අමතරව සාර්ක් කලාපීය වෙළෙඳපොළ, අපේ කෘෂි හා සෙසු නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇති කරගනිමින් රටක් ලෙස නැඟි සිටීමට එය දායක කරගැනීම, ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතරත් සෙසු කලාපීය රාජ්‍යයන් සමඟත් ඇති කරගන්නා ගිවිසුම් හා වෙළෙඳ ගනු- දෙනුවලදී උපායමාර්ගිකව කි‍්‍රයාකරමින් ආර්ථික වාසි සළසා ගත හැකිවීම මෙන්ම ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක යෙදී සිටියදී රට තුළත්, කලාපීය වශයෙනුත් ඇති විවේචනයන් ප‍්‍රතික්ෂේප වන පරිදි කලාපීය නායකයන්ගේ සහභාගිත්වයෙන් සමුළුව මෙහි පැවැත්වීමට හැකිවීමද වැදගත්.
එමඟින් අන්තර්ජාතික අවධානයක් හා වැදගත්කමක්ද අප රටට හිමිවන අතර ත‍්‍රස්තවාදී තර්ජනය පිටු දැකීමටත්, ජාතික ආරක්‍ෂාව හා මහජන ආරක්‍ෂාව සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට පිළිගැනීමක් ලැබීමත් සිදුවෙනවා.
සමුළුව මෙහි පැවැත්වීම නිසා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කලාපයේ ප‍්‍රබල රටවල් සමඟ තනි තනිවත්, ද්විපාර්ශවික සාකච්ඡා සඳහාත් අවකාශය සැළසෙනවා.
එම සියලු වාසිදායක තත්ත්වයන් ආණ්ඩුව හරියාකාර කළමණාකරණය කළයුතු වෙනවා.
රටේ ඇතැම් තත්ත්වයන් ආණ්ඩුව නිවැරැදිව තේරුම් ගන්නා බවකි පෙනෙන්න නැහැ. ඒ නිසා රටට හිතකර ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවන පරිදි ආණ්ඩුව කි‍්‍රයාකළ යුතුයි.
ත‍්‍රස්තවාදයට එරෙහි වීමේ පණිවිඩයලොවට දැන්වීමට මෙය මහඟු අවස්ථාවක්
මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ
15 වෙනි සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ දේශපාලන, ආර්ථික සහ සමාජික අතින් සියලු සාර්ක් රටවල් වලට ඉතාමත් වැදගත් වකවානුවකය.
සියලු සාර්ක් රටවලට පමණක් නොව අනෙකුත් බලවත් රටවලට ද ත‍්‍රස්තවාදයේ වේදනා දැනෙන්නට පටන් ගෙන තිබෙන මොහොතක සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම වැදගත් වන්නේ ය.
ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර සිටින ශ‍්‍රී ලංකාවේ අනාගත වැඩපිළිවෙළ පිළිබඳ සාර්ක් රටවල් හරහා ජාත්‍යන්තරයට දන්වා සිටීමේ මහඟු අවස්ථාව මෙම සමුළුවෙන් උදාවනු ඇත.
ආසියානු කලාපයේ මිතුරන් සමඟ මිතුදම් ශක්තිමත් කිරීමට අපට ලැබුණු හොඳම අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.
සතියේ ගවේෂණය මෙහෙයවූයේනදීකා දිල්හානි ඩයස්, ධම්මික සෙනෙවිරත්න

No comments: