Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Sunday, May 25, 2008

බාල්රාජ් ගේ මරණයෙන් කොටි සංවිධානය දෙදරයිද?

ඒපසුගිය 16 වැනි සිකුරාදා මධ්‍යාහ්නයයි. හිරු කොළඹ අහසට මුදුන් වී ඩාදියෙන් සිරුරු තෙමන වේලාවයි. එහෙත් පොලිස් කැරලි මර්දන ඒකකයට කාර්ය බහුල වේලාවකි. එක්සත් ජාතික පාක්ෂිකයෝ නැඟෙනහිර මැතිවරණ පරාජයෙන් හෙම්බත්ව විරෝධතා රැළියක් පැවැත්වීමට එකතු වෙති. ඔවුන් පෙළපාළියෙන් අරලිය ගහ මන්දිරය දෙසට යාම වැළැක්වීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් නිලධාරිනියන් බස් රථ දෙකක නැඟී ලේක්හවුස් වටරවුමෙන් ගලධාරි හෝටලය දෙසට දිවෙන ලෝටස් පාරේ සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිට සිටිනු පෙනේ. බොහෝදෙනකු බස් රථවලින් බැස මඳ විවේකයකින් සිටිනුයේ විරෝධතා රැලියට තවත් කාලවේලා ඇති බැවිනි. මාර්ගය අඩක් වසා තිබේ. කැරලි මර්ධන ඒකකයේ බල ප‍්‍රහාරක රථය එහි පොලිස් කැරලි මර්ධන අංශයේ උප පොලිස් පරීක්ෂක උපාලි රංජිත් මහතාගේ අණ යටතේ ලෝටස් පාරේ පිවිසුම අසල රැඳී සිටී. උපාලි රංජිත් මහතා රියෙන් බැස සිටිද්දී රථයේ රියැදුරු ඩයස් හා සහායක නිලධාරි කොස්තාපල් දිසානායක රිය ඇතුළත සිටිතිි.

මේ අතර බොහෝ දෙනෙකුට රහසක් වූ තවත් දෙයක් ඉන් එහා ඇති හිල්ටන් හෝටලයේ සිදුවෙමින් පවතී. ඒ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය ජයග‍්‍රහණය කළ ටී.ඇම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා එහි ලැගුම් ගෙන සිටීමයි.

ප‍්‍රචණ්ඩකාරී ත‍්‍රස්ත ප‍්‍රවාහයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවතීර්ණව සිය වැරැදි නිවැරැදි කරගත් චන්ද්‍රකාන්තන් මහතා දේශපාලනයට බැස නැඟෙනහිර ජනතාවට සිය සේවය ලබාදීමට සූදානමින් සිටී.

හිටි හැටියේ මහහඩින් ඇතිවූ පිපිරීමෙන් මුළු කොටුව ප‍්‍රදේශයම දෙදරා ගියේ සියලු දෙනා බියෙන් තැති ගන්වමිනි.

ගස්වල කොළ අතු උඩින් විත් සරසර ගා වැටෙන්නට විය. ලෝටස් පාර මැද මහා ගිනි ජාලාවකි. කැරලි බස් රථය හා රථවාහන කීපයක් ගින්නෙන් දැවෙයි. පුපුරා ගිය අධිබලැති බෝම්බය ඒ වනවිටත් කීපදෙනෙකුගේ ජීවිත ඔවුන්ට අහිමි කොට තිබිණි.

පිපිරුමෙන් තිගැස්සී ගිය පොලිස් උප පරීක්ෂක උපාලි රංජිත් මහතා වහා සිහි එලවාගෙන සිය ජල ප‍්‍රහාරක රථය හරවා ගිනි ජාලාවන් වෙතට සිය නිලධාරීන් සමඟ ගියේය. ඒ වනවිට සිරුරු දැවෙන වේදනාවෙන් බෙරිහන් දෙන පොලිස් නිලධාරිනියන් හා ජනතාවගේ හඬ හදවත් කම්පාකරවන සුලුය.

වෙනදා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් දෙසට එල්ලවන ජල ප‍්‍රහාරක රථයේ ජල පොම්පය ගිනිගෙන දැවෙන බස්රථයට මුලින්ම එල්ල විය. බස් රථයේ ඩීසල් ටැංකියට තවමත් ගිනි ඇවිලී නැත. එය පුපුරා ගියා නම් විනාශය තවත් වැඩිවෙයි උපාලි රංජිත් මහතා තැනට සුදුසු නුවණින් කි‍්‍රයා කෙළේය.

වෙනදා ප‍්‍රචණ්ඩකාරීන්ට කරදරයක් වන ඒ ජල දහර අද ගිනිගෙන දැවෙන පුද්ගලයන්ට මඳ අස්වැසිල්ලක් විය. ගිනි නිවන රථ එනවිට පොලිස් ජල ප‍්‍රවාහයෙන් ගින්න බොහෝ දුරට නිවී අවසානය.

තුවාල කරුවන් සියයකට වැඩිය මරණාසන්න රෝගීහු හා මියගිය අයද ඒ අතර සිටිති. ඒ කොළඹ කොටුවේ පිපිරවූ මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියාගේ මෝටර් සයිකල් බෝම්බයේ කතාවයි.

උප පොලිස් පරීක්ෂක උපාලි රංජිත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ හා අවට සිටි ති‍්‍රරෝද රථ රියැදුරන් හා එක්රැස්වුණූ තරුණයන්ගේ උත්සාහය නිසා තවත් ජීවිත ගණනාවක්ම මරුවාගෙන් ගැලවුණු බව කිව යුතුය. බෝම්බයෙන් ඉලක්කය වී තිබූ චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන් මහතා ඒ වනවිට බෝම්බකරුගේ ඉලක්කයෙන් ඈත්වී ඔහුට ළඟාවිය නොහැකි තැනක සිටිනා බව බෝම්බකරුට වැටහෙන්නට ඇත.

තමන් මුලදී නොගත් ඉලක්කයක් වූ පොලිස් කැරලි මර්දන ඒකකයේ බස්රථය ඝාතකයා ඉලක්ක කොටගන්නට ඇත්තේ එමනිසා විය හැකිය.

කොටි ත‍්‍රස්තවාදීන් අතර සිටි චන්ද්‍රකාන්තන් වැනි මහත්වරුන්ට යුද්ධයේ හා ත‍්‍රස්තවාදයේ යථාර්ථය අවබෝධ වී සිය ජනතාවට සේවය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ට සමාජයට එක්වෙද්දී ඔවුන් මරා දමන්නට කොටි බෝම්බකරුවන් මෙසේ උත්සාහ කරන්නේ ඇයි? ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිකුල් කරන නිසාදැයි ඇසිය යුතුව තිබේ.

ම්ලේච්ඡ කොටි සංවිධානය ත‍්‍රස්තවාදයටම ඇදී යාමට වඩා අප කතා කළයුතු වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුගමනය කරන ඇතැම් දේශපාලන නායකයින් චන්ද්‍රකාන්තන් මහතා ත‍්‍රස්තවාදය අත්හැර දේශපාලනයට පිවිසීම පිළිකුල් කිරීම පිළිබඳවයි.

ඔවුන් කළ යුතුව ඇත්තේ චන්ද්‍රකාන්තන් මහතා දේශපාලනයට පිවිසීම පිළිබඳව මැසිවිලි නැඟීම නොවේ. කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු පිරිසද ත‍්‍රස්තවාදයෙන් මුදවා ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත යොමු කරවීම සඳහා පිඹුරුපත් සැකැසීමට උදව් දීමයි.

ජනාධිපති තුමාගේ උපදෙස් පරිදි නැඟෙනහිර ත‍්‍රස්තවාදයෙන් මුදාගත් වීරෝදාර හමුදා දැන් උතුරත් මුදාගැනීමට සැරසී සිටිති. යුද්ධය අවශ්‍ය තැනට යුද්ධයෙනුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය තැනට ඒ අයුරිනුත් පිළිතුරුදීමේ ජනාධිපතිතුමාගේ ක‍්‍රමයට ති‍්‍රවිධ හමුදාවත් පොලීසියත් කැපවී සිටිති.

බාල්රාජ්

කොටි සංවිධානය මන්නාරම වැලිඔය වව්නියා මුහමාලෙයි යන සටන් පෙරමුණු හතරෙන්ම පරාජය වෙමින් සිටී. ඔවුන්ට ඉදිරියට ඒමට ආරක්ෂක හමුදා කිසිදු අවසරයක් දෙන්නේම නැත. දැන් ඒ පෙරමුණු හතරේම කිලෝමීටර් ගණනාවක් පසුබැස සිටින කොටි සාමාජිකයන්ට ඔවුන්ගේ “සිහින නිජබිම” ටිකෙන් ටික අහිමිවී ගෙන යයි.

එසේ ඉතා සෙමින් කල් මරමින් ඉදිරියට යාමේ දී සතුරාගේ මරණ සංඛ්‍යාව ඉහළ යයි. එකවර පහරදී ප‍්‍රදේශය අල්ලා ගැනීම ආරක්ෂක හමුදාවන්ට ඔවුන් ගේ ශක්තිය අනුව අපහසු දෙයක් නොවේ. එහෙත් හමුදාපති තුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනාංක ඉබි ගමනින් ඉදිරියට ඇදෙන්නේ උපක‍්‍රමික වශයෙන් සතුරාගේ මරණ සංඛ්‍යාව වැඩි කිරීමටය.

එම උපක‍්‍රමය පාලම්පිඩ්ඩි හා පෙරියමඩු ප‍්‍රදේශවලදි ඉතා සාර්ථක විය. මුහමලේ හා වැලිඔය ද එය සාර්ථකය.

එමෙන්ම සතුරාගේ ප‍්‍රයෝග උපක‍්‍රම හා සටකපටකම් ද දැන් ආරක්ෂක හමුදා හොඳින් දනී.

හමුදා මරණ හැකි තරම් අවම කරගෙන සතුරාගේ මරණ වැඩි කරගෙන ඉදිරියට යන්නේ ඒ නිසාය.

බාල්රාජ්ගේ මරණය

පාලම්පිඩ්ඩි පාලම පසුකොට නගරයට පිවිසෙද්දී ඊට දෙපැත්තකින් එකවර පැන ආරක්ෂක හමුදා පහර දුන්නේ කොටින්ට සෙලවීමටවත් නොහැකිවන පරිදිය. එයද හමුදා උපක‍්‍රමයකි. මෙහිදී කොටි සාමාජිකයන්ට සිය මිය ගිය සාමාජිකයන් ගේ සිරුරු පවා ගෙන යන්නට කාලය මදි විය. ඔවුහු සිය මිය ගිය කොටි සාමාජිකයන්ගේ මළ සිරුර පවා අත්හැර පලා ගියහ. දැන් දැන් දිනකට සටන්වලදී මිය යන සාමාන්‍ය කොටි සංඛ්‍යාව 20ත් 30 ත් අතර වෙයි.

ලැබී ඇති තොරතුරු අනුව පසුගිය 15 දා සිට 21 දා දක්වා පෙරමුණු හතරේම සටන්වලදී කොටි සාමාජිකයන් 187 දෙනෙක් මිය ගොස් තවත් 187 දෙනෙක් තුවාල ලබා ඇත. ආරක්ෂක හමුදා සෙබළු ද දිවි පිදූහ. දිවි පිදූ ආරක්ෂක හමුදා සෙබළුන් ගේ ගණන 23 කි. පොලිසියේ දෙදෙනකු ද සිවිල් ආරක්ෂක හමුදාවේ එක් අයකු ද දිවි පුදා ඇත. මේ අතර තුවාල ලත් ආරක්ෂක හමුදා සාමාජිකයන් ගණන 69 කි. පොලිසියේ 4 කි.21 වැනිදා වැලිඔය 59 සේනාංකය සමඟ කළ සටන්වලදී පමණක් කොටි 17 ක් මිය ගිය අතර 27 ක් තුවාල ලැබූහ. 58 වන සේනාංකය මන්නාරමේද 57 සේනාංකය වව්නියාවේද මෙහෙයුම්වල නිරත වෙති.

මෙසේ කොටින්ට සිය බිම අහිමි වෙමින් තිබෙන අතර ඔවුන්ගේ හමුදා ශක්තිය ද හීන වෙමින් පවතී. දිනෙන් දින සටන් වලදී මියයන කොටි සංඛ්‍යාව වැඩි වෙද්දී ඔවුන්ට නායකත්වය දුන් කොටි නායකයන් ද බොහෝ දෙනෙක් විවිධ හේතු නිසා පසුගිය කාලයේ දී ඔවුන්ට අහිමි වූහ. ඔවුන්ට මෑතකදී අහිමි වූ නායකයා වන්නේ කොටි සන්නද්ධ අංශයේ දෙවැනියා වූ බාල්රාජ් ය. බාල්රාජ් මිය ගියේ සටන් බිමේ දී නොවීම විශේෂයකි.

ඔහු හදවත් රෝගියෙකි. කොටි සාමාජිකයන්ට සටන් පුහුණුව ලබා දෙද්දී රෝගාතුරවූ ඔහු රෝහලට ඇතුළු කිරීමෙන් පසු ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ යැයි පැවසේ. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බ‍්‍රහස්පතින්දා ප‍්‍රභාකරන් පැමිණ ඇතැයි වන්නි ආරංචි මාර්ග පවසයි. ඔහුගේ දේහය කිලිනොච්චියේ මහාවීර සුසාන භූමියේ සිකුරාදා සවස සිදු කිරීමට නියමිතව තිබිණ. ඔහු 2003 දී සාම කතාවලට මුවාවී සිංගප්පූරුවට ගොස් හදවත් සැත්කමක් කර ගත්තේය.

වැලිඔය කෝකිලායිහිදී 1965 දී උපන් බාල්රාජ් කොටි සංවිධානයට බැඳුණේ 1983 දී ය. ඉන්දියන් සාම සාධක හමුදාව ශී‍්‍ර ලංකාවට ආ අවධියේදී වන්නියේ දී ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාව බාර ව සිටි බාල්රාජ් චාල්ස් ඇන්තනි බලකායේ පළමුවන අණ දෙන්නා විය. 1991 අලිමංකඩ සටනේදී ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව සටන මෙහෙය වූයේ ද ඔහුය. ‘අකුණු පහර’, ‘ඉදිරිපිම්ම‘ වැනි සටන් වලදීද කොටි සටන් අංශයේ නායකයා වූ බාල්රාජ් 2004 දී වාකරේදී සුනාමියට හසුවී ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙනි. හදවත් සැත්කමෙන් පසුව ප‍්‍රධාන සටන්වලට සහභාගී නොවූ ඔහු වන්නියේ කොටි සාමාජිකයන්ට සටන් පුහුණුව දුන්නේය.

බාල්රාජ්ගේ බිරිඳ වන වර්ධා ද කොටි කාන්තාවකි. ඇය 2006 දී සර්පයකු දෂ්ඨ කිරීමෙන් මිය ගියාය. ප‍්‍රභාකරන් ගේ ‘සිහින ඊලම’ ලබා ගැනීමට බොහෝ වෙහෙස වූ බාල්රාජ් සැබෑ නොවන ඊලාම් සිහිනය නොබලාම නොඑන ගමන් ගියේය.

මේවා දෛවයේ හාස්කම් සේය. කොටි සංවිධානය ක‍්‍රමයෙන් භූමියෙන්, සාමාජිකයන් ගෙන් මෙන්ම සටන් පුහුණු නායකයන්ගෙන් ද හීන වෙමින් සිටී.

බාල්රාජ්ගේ මරණය නිසා කොටි සංවිධානයට තවත් දක්ෂ සටන් මෙහෙයවන්නකු පුහුණු කරුවකු හා නායකයකු නැතිවුණා පමණක් නොවේ. ඔහු මිය ගියේ ඔහු ගේ ස්ථානයට හිස් තැනක් තබමිනි. ඒ හිඩැස පුරවද්දී කොටි සංවිධානයේ බල අරගලයක් ඇතිවීම පුදුමයක් නොවේ. ඔහුගේ ස්ථානයට ඊළඟට පත්වන තැනැත්තා කවුදැයි ප‍්‍රශ්නයක් මතු වෙයි.

කොටි සංවිධානය ඇතුලේ දැන් එකිනෙකා කුලල් කාගෙන බලය අල්ලා ගන්නට තැත් කරන බව රහසක් නොවේ. හිටිහැටියේ කොටි පාලන ප‍්‍රදේශවලදීම සමහර කොටි නායකයන් ක්ලේමෝ බෝම්බවලට හසුවී මියයන පුවත් අසන්නට ලැබේ.

පසුගිය 20 වැනිදා කොටි පාලන ප‍්‍රදේශයක් වූ මුලතිව් මාන්තෙයි නැගෙනහිර මල්ලාවි කොම්බුවායිකුලම්හිදී කොටි නායකයකු වූ පාක්‍යනාදන් රමනන් හා ඔහුගේ සගයකු යතුරු පැදියකින් යද්දී ක්ලේමෝ බෝම්බයකට හසුව මිය ගියහ.

මෙවැනි සිද්ධීන් ගෙන් හෙළි වන්නේ - ඉස්මතු වී පෙනෙන්නේ කොටි සංවිධානයේ පවතින අර්බුදකාරී තත්ත්වයයි. මේ බල අරගලයෙන් උතුරෙනුත් ‘පිල්ලෙයාන්’ කෙනකු බිහිවීම අරුමයක් නොවේ. බාල්රාජ්ට හෝ මිය ගිය කිසිම කොටි නායකයකුට කොටි සංවිධානයෙන් ‘ඊලමක්’ ලැබුණේ නැත.

දැන් දැන් පිල්ලෙයාන් මහ ඇමැති වීමෙන් රිදී දඟලන ඇතැම් නායකයන්ට හොඳ පිළිතුරක් අස්ගිරියේ මහනායක හිමියන් විසින් දී තිබේ. ඒ ආරක්ෂක හමුදා මගින් නැගෙනහිර මුදා නොගන්නට කිසිම දිනයක එක්සත් ජාතික පක්ෂයේ උදවියට ද නැගෙනහිර ඡන්දය ඉල්ලන්නට තබා එයට පය ගසන්නටවත් හැකි නොවන්නේ ය යන්නය.

පිල්ලෙයාන් පමණක් නොව ප‍්‍රභාකරන් වුවද ආයුධ බිම දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එළඹේ නම් උතුරේ මහ ඇමැති වීමේ ඉඩකඩ ඔහුට නැත්තේ නොවේ. ජනාධිපතිතුමා ගේ සංකල්පය ද එයයි. ත‍්‍රස්තවාදය පරාජය කරන තුරු යුද්ධ කරන ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා ඉන්පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක් වන මිනීමැරුම් නවත්වන ඕනෑම අයකුට සිය සහය දක්වනු ඇත.

ප‍්‍රභාකරන්ද තමන් ගේ සංවිධානය අතරින් ම තවත් පිල්ලෙයාන් කෙනකු බිහිවීමට පෙර ඒ ගැන සුබවාදීව සිතන්නේ නම් ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් වීමේ දිනය වැඩි ඈතක නොවේ.

ඒ කෙසේ වෙතත් උතුරෙන් මෙන්ම දකුණෙනුත් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමන තුරා ආරක්ෂක හමුදා සටන් කරනු ඇත.

බෝම්බ සොයාගත හැකි උපකරණයක් හදයි

මේ අතර මාතර වැලිගම කැලුම් වාදසිංහ නම් තරුණයෙක් ආරක්ෂක අංශවලට අවශ්‍යම උපකරණයක් නිපදවා එය ජනාධිපතිතුමා ඉදිරියේ එළිදැක්වූයේ මේ නොබෝදාය. ඔහු නිපදවා ඇත්තේ ඕනෑම වාහනයක ඇතුළත හා පිටත ඕනෑම තැනක සඟවා ඇති බෝම්බ සොයාගත හැකි වීඩියෝ කැමරාවක් සහිත උපකරණයකි.

මෙවැනි නව නිපැයුම් අප රටට, අපේ ආරක්ෂක අංශවලට බෙහෙවින් අවශ්‍යව තිබේ. ඔහු පුවත්පත්වලට කියා ඇති අන්දමට එම උපකරණය නිෂ්පාදනය කිරීමට වැයවන්නේ රුපියල් හතළිස් දහසකි.

කාලයේ හැටියට එය එතරම් මුදලක් නොවේ. මෙම උපකරණය තවදුරටත් වැඩි දියුණු කොට රටේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදාවන්ට ලබාදෙන්නේ නම් දකුණේ් බෝම්බ පිපිරවීම් හා පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය බොහෝදුරට අඩුකරගත හැකිය. ආරක්ෂක බලධාරීන්ගේ ඇස මේ සඳහා යොමුවන්නේ නම් යෙහෙකි.

කොටි හොරබඩු ජාවාරමට ඉන්දිය පොලිසිය හරස්වෙයි

පසුගිය ඉරිදා තමිල්නාඩු පොලිසිය මගින් එල්ටීටීඊයට ඉන්දියාවේ සිට හොරෙන් ගෙනයන්නට සකස් කළ අධිබලැති සන්නිවේදන උපකරණ හා බෝට්ටු අලුත්වැඩියා සඳහා අවශ්‍ය උපකරණ රැසක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුහු එල්ටීටීඊ හොරබඩු ජාලයේ සාමාජිකයෝය.

තමිල්නාඩු පොලිසියේ ‘කිව්’ අංශයේ රහස් පරීක්ෂකයන් විසින් ඉන්දියාවේ සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගන්නා ලද මේ ශී‍්‍ර ලාංකික දෙමළ තරුණයින් දෙදෙනා සමඟ මදුරෙයිහි තවත් ඉන්දියානු තරුණයෙක් ද මීට කොටුවිය. ඉන්දියානු තරුණයා අත්අඩංගුවට ගන්නා ලද්දේ යාපනයට වෝර්කි-ටෝකි යන්ත‍්‍ර හා දුම්මල හොරෙන් ගෙන යාමට තැත් කිරීමේදීය.

මෙහිදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පේසාලේ අයකු වූ පී. විජි නොහොත් ජයරාජ හා යාපනයේ උපන් අයකු වන ටී. චින්නවන් හෙවත් පද්මරාසා යන දෙදෙනාය. ඔවුන් සමඟ වෝකිටෝකි යන්ත‍්‍ර 44 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

1990 දී සරණාගතයකු ලෙස මදුරෙයි නගරයේ පෙරියනගර් කඳවුරට ආ විජි පසුව දෙදල්නාගර් කඳවුරට මාරු කරන ලදී. එහිදී මිනීමැරුමකට හසුවූ ඔහු කඳවුරෙන් අතුරුදන් විය.

චින්නවන් ඉන්දියාවට ආයේ 2006 දීය. ඒ ද සරණාගතයකු ලෙසය. ඔහු සිටියේ රාමනාථපුරම් දිස්ති‍්‍රක්කයේ මණ්ඩපම් කඳවුෙර්ය. ඔහු ද ඒ කඳවුරෙන් අතුරුදන් විය. යාපනයේ එල්ටීටීඊ සාමාජිකයන් වූ මොවුන් දෙදෙනා පමණක් නොව තවත් 200 ක් පමණ සරණාගතයන් මණ්ඩපම් කඳවුරෙන් අතුරුදන් වී ඇති බව 2007 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු රහස් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළි විය.

මෙසේ සරණාගතයන් ලෙස ඉන්දියාවට යන කොටි කි‍්‍රයාකාරකයන් ඉන් පසුව එම කඳවුරුවලින් පැනගොස් විවිධ නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ වන බව ඉන්දියානු පොලිසිය සොයාගෙන ඇත.

ඔවුන් බොහෝ දුරට කරන්නේ කොටි සංවිධානයට බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා බෝට්ටු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය යාපනයට හොරෙන් ප‍්‍රවාහනය කිරීමය.

පසුගිය ජනවාරියේදී එසේ හසුවූ කොටි කි‍්‍රයාකාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බ සඳහා අවශ්‍ය යකඩ බෝල හොරෙන් ප‍්‍රවාහනය කිරීමේදීය. අධිවේගී බෝට්ටු සඳහා අවශ්‍ය අමතර කොටස් ද බෝට්ටු ඇන්ජින් ද කොටි සංවිධානය සිය සගයන් ලවා හොරෙන් මෙරටට ගෙන්වන අයුරු දකුණු ඉන්දියානු රහස් පොලිසියේ උකුසු ඇසට හසුවී තිබේ.

තමිල්නාඩු පොලීසියේ කිව් අංශය හෙවත් රහස් පරීක්ෂක අංශය හා ත‍්‍රස්තවාදී මර්දන අංශ එකතුවී දැන් කොටි සංවිධානයේ මේ හොරබඩු ජාවාරමට වැට බැඳීමෙන් කොටි සංවිධානය දැඩි අසීරුතාවයට පත්වී සිටී. සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සරණාගත කඳවුරුවලින් පැන ගොස් හොරබඩු ජාවාරමට සම්බන්ධ වී සිටින බොහෝ දෙනා කොටි සාමාජිකයන් බව දැන් ඉන්දියානු පොලීසිය සොයාගෙන තිබේ.

No comments: