Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, January 2, 2009

හමුදාවෝ පරන්තන් අල්ලති




කොටින්ගේ එකම ගොඩබිම් මාර්ගය වැසේ


ඉරණමඩු හන්දියත් හමුදා අතේ




මහින්ද කුලතුංග, විජයානි එදිරිසිංහ චන්ද්‍රිකා පෙරේරා හා භක්ති මෙන්ඩිස්


යුද හමුදාව ඊයේ (01) අලුයම පරන්තන් නගරයේ බලය තහවුරු කර ගැනීමත් සමඟම කොටි ත‍්‍රස්තවාදීන්ට මුලතිව් සිට අලිමංකඩ, කිලාලි සහ මුහමාලෙහි ප‍්‍රදේශයට යෑමට තිබූ එකම ගොඩබිම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
පරන්තන් සිට උතුරට මුහමාලෙයි දක්වා ත‍්‍රස්තවාදීන් ගමන් කෙළේ මේ පරන්තන් නගරය හරහා ඇවිත් දකුණට හැරී ඒ – 9 මාර්ගය ඔස්සේ ය.
මේ නිසා හමුදාවට මුහමාලෙයි සහ අලිමංකඩ ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමද පහසු වනු ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීහු පෙන්වා දෙති.
පුනරීන් – පරන්තන් (බී 69) මාර්ගය සහ පරන්තන් – මුලතිව් පාර (ඒ. – 35) සම්බන්ධ වන්නේ පරන්තන් හන්දියෙනි.
මේ නිසා හමුදාව පරන්තන් හි බලය ඇල්ලීම කොටි ත‍්‍රස්තවාදීන් ලැබූ අන්ත පරාජයක් බවත් පෙන්වා දෙති.
පරන්තන් අල්ලා ගැනීම යුද හමුදාව යුදමය වශයෙන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර කියයි.
යුද හමුදාවේ කාර්ය සාධක බළකා 1 හි සෙබළුන් විසින් ත‍්‍රස්තවාදීන් සමඟ දින ගණනක් ඉතාමත් දැඩි සටන් කීපයකට මුහුණ දී ඊයේ අලුයම පරන්තන් හන්දියේ බලය තහවුරු කර ගැනීමට සමත් වූ අතර මේ ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප‍්‍රහාර විශාල පිටිවහලක් විය.
ගුවන් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන් අඩපණවී සිය බංකර හැරදමා අන්දමන්ද වී පළා ගියහ. ඒ සමඟම ගොඩබිම කාර්ය සාධක බළකා 01 හි රණවිරුවෝ දැඩි ලෙස මෝටාර්, කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකර ක‍්‍රම ක‍්‍රමයෙන් ත‍්‍රස්තවාදීන් පලවාහැරීමට සමත් වූහ.
පරන්තන් නගරය අත්පත් කර ගැනීමේ සටනේ දී සතියක් පුරා පැවති දැඩි සටන්වලින් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර එම සටන් වලින් හමුදාවට ද සුළු හානි සිදුවී තිබේ.
පරන්තන් සිට උතුරු කිලිනොච්චියට ඇත්තේ කිලෝ මීටර 4.5 ක දුරක් වන අතර මේ නිසා කිලිනොච්චිය අත්පත් කර ගැනීමේ සටනට ද පරන්තන් අල්ලා ගැනීම විශාල රුකුලක් බවත් ආරක්ෂක නිලධාරීහු කියති.
මේ අතර මුලතිව් දිස්ති‍්‍රක්කයේ ද මුල්ල්‍යාවේලි බටහිර ප‍්‍රදේශයේ පෙරේදා (31) හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර දැඩි සටන් පැවති අතර එම සටන්වලින් පසු මිය ගිය ත‍්‍රස්තවාදීන් දෙදෙනකුගේ සිරුරු සහ ටී 56 අවියක් හමුදාවට හමුවී තිබේ.
මුලතිව් කුඹුරුවිට්ටන්කුලම් ප‍්‍රදේශයේ ද පෙරේදා සවස 2.00 ට පමණ ගැටුම් පැවති අතර එහිදී හමුදාව ත‍්‍රස්තවාදීන්ගේ අත්බෝම්බ 3 ක් සොයාගෙන ඇත.මේ අතර කිලිනොච්චි විජයග‍්‍රහණය කරා යමින් සිටින ආරක්‍ෂක බළසේනාවෝ ඊයේ දහවල් ඉරණමඩු හන්දිය අත්පත් කරගත්හ.
57 වැනි බළ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ මෙහෙයවීමෙන් ඉදිරියට යන බළ සේනා ඉරණමඩු හන්දිය අත්පත් කරගන්නා විට ඉතා දුර්වල තත්ත්වයකට පත්වී සිටි කොටි ත‍්‍රස්තවාදී කිලිනොච්චි ඊසාන දෙසට යමින් සිටි බව පැවැසේ.
මේ වන විට උතුරේ සටන් වදින කොටි ත‍්‍රස්තවාදීන්ගේ මානසික තත්ත්වය ඉතාමත් දුර්වල අඩියකට වැටී ඇති බව ඔවුන් සටන් කරන ආකාරයෙන් පෙනී යන බව ඉරණමඩු ජයග‍්‍රහණය කළ ආරක්‍ෂක භට පිරිස් ප‍්‍රකාශ කළ බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.
පරන්තන් ඉරණමඩු ජයග‍්‍රහණයත් සමඟම කිලිනොච්චි ජයග‍්‍රහණය කරා ආරක්‍ෂක බළසේනා ඉතාමත් ශීඝ‍්‍රයෙන් ළඟාවෙමින් සිටින බව ප‍්‍රකාශ කරති.
57 වැනි බළ සේනාංකය සමඟ 574 බළ සේනාංකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සේනක විජේසිංහ 16 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ධම්මික දිසානායක, අටවැනි පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඉප්සිත දිසානායකගේ වීරෝදාර බළ සේනාවෝ ඉරණමඩු ජයග‍්‍රහණය ලබා ගැනීමට එක්වූහ.

කිලිනොච්චි ත‍්‍රස්ත ඉලක්ක 3ක් ගුවන් ප‍්‍රහාරවලින් විනාශයි

චන්ද්‍රිකා පෙරේරා
කිලිනොච්චි නැඟෙනහිර ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ කොටි අණදෙන මධ්‍යස්ථානයක් සහිත කඳවුරක් හා මූලතිව් මුල්ලයාවැලි හි ත‍්‍රස්තවාදීන් එක්රැස්වන ප‍්‍රධාන ස්ථානයක් ඇතුළු ත‍්‍රස්තවාදී ඉලක්ක තුනක් ඊයේ (01) පෙරවරුවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් විනාශවිය.
ජෙට් හා එම්. අයි. 24 ප‍්‍රහාරක යානා මඟින් ඊයේ උදෑසන 8.15 ට 10.45 ට හා 11.20 ට පමණ මේ ප‍්‍රහාරයන් එල්ල කළ බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
කිලිනොච්චි බටහිර ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ඉලක්ක වෙත එදින උදෑසන 8.15 ට පමණ ජෙට් ප‍්‍රහාරක යානා මඟින් පහරදී තිබේ.
ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින පළමුවැනි කාර්ය සාධක බළකායට සහාය පිණිස මේ ප‍්‍රහාර එල්ල කැර ඇත.
එදින පෙරවරු 11.20 ට පමණ කිලිනොච්චියට කිලෝමීටර් දෙකහමාරක් පමණ නැඟෙනහිරින් තිබූ ත‍්‍රස්තවාදීන්ගේ අණදෙන මධ්‍යස්ථානයට පහරදී තිබෙන අතර පෙරවරු 10.45 ට පමණ මූලතිව් මුල්ලයාවැලිවලට කිලෝමීටර් හතරහමාරක් පමණ වයඹ දෙසින් වූ ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් එක්රැස් වූ ප‍්‍රධාන ස්ථානයකට පහරදි තිබේ. 59 වැනි සේනාංක භටපිරිස්වලට සහාය පිණිස මේ පහරදීම සිදුකැර ඇත.

සැටලයිට් දුරකථන 3ක් සමඟ කොටි සැකකරු චෙන්නායි හිදී දැලේ

මහින්ද කුලතුංග
එල්. ටී. ටී. ඊ. සංවිධානයට සපයාදීමට තිබූ සැටලයිට් දුරකථන 3ක් සමඟ දිලීපන් නමැති 30 හැවිරිදි ශී‍්‍ර ලාංකික සැකකරුවකු ඉන්දියාවේ චෙන්නායිහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග මත සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
එල්. ටී. ටී. ඊ සංවිධානයට එවීම සඳහා සැටලයිට් දුරකථන චෙන්නායි නගරයේදී කිසියම් පුද්ගලයකුට ලබාදීම සඳහා නගරයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට සිදුවී ඇති බවත් හින්දු පත‍්‍රය වාර්තා කරයි.
දිලීපන් නමැති මෙම සැකකරු වසර කීපයකට පෙර ශී‍්‍ර ලංකාවෙන් පැමිණ ස්වීස්ටර්ලන්තයේ බේකරියක සේවය කර මෑතකදී ඉන්දියාවට පැමිණ ඇති බවත් සොයාගෙන තිබේ.

වාහන තද බදය උග‍්‍රයි: මහරගම පොලිසිය නිහඬයි

පන්නිපිටිය විශේෂ
පන්නිපිටිය හෝකන්දර පාර ආරම්භ වන මොරකැටිය හන්දියේ දිනපතා උදය වරුවේ සහ සවස් භාගයේ සිට රාතී‍්‍ර කාලය දක්වා පවතින වාහන තදබදය අවම කිරීම සඳහා මහරගම පොලිසිය කිසිදු පියවරක් නොගන්නා බව ගම්වාසීන් ඇතුළු මාර්ගයේ ගමන් ගන්නා රියැදුරෝ පවසති.
පෞද්ගලික රෝහල අසල මාර්ගය දෙපස කිසිදු තැකීමකින් තොරව මෝටර් රථවාහන නැවැත්වීම මත හෝකන්දර පාරේ දෙපසට පවතින වාහන තදබදය පරණ කොට්ටාව පාරේ ගමන් ගන්නා වාහන විශාල ප‍්‍රමාණයකටද තර්ජනයක් බවත් මේ පිළිබඳව මහරගම හෝ කොට්ටාව පොලිසිය වෙතින් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බවත් මාර්ගය ප‍්‍රයෝජනයට ගන්නෝ මැසිවිලි නගති.
නුගේගොඩ පොලිස් අධිකාරි නමින් වාහන නවතා තැබීම තහනම් පුවරු සවිකැර ඇතත් එයින් ප‍්‍රයෝජනයක් නොමැති බව ප‍්‍රදේශවාසීහු තවදුරටත් පවසති.

ආහාර නිෂ්පාදනය වැඩි වුණත් ගුණාත්මක බවේ පිරිහීමක් ඇති වෙලා දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එස්. ජයවර්ධන

නවීන තාක්ෂණයත් පැරැණි ක‍්‍රමයත් එක්කර දේශීය ආහාර බෝගවල ගුණාත්මක බව රැක ගනිමින් කෘෂිකර්මාන්තයේ පිබිදීම ඇති කළ යුතු බව පවසමින් මේ අදහස් දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එස්. ජයවර්ධන මහතායි.
දේශීය භෝග නිෂ්පාදනය වැඩි දියුණු කිරීම රජය විසින් ආරම්භ කර තිබෙනවා. මේ ගැන දේශීය වෛද්‍යවරයකු වශයෙන් ඔබගේ අදහස කෙසේද ?
මෙය ඉතා හොඳ අදහසක්. මෙම අදහස වඩාත් ඔප් නැංවෙන්නේ දේශීය කියන වචනයෙන්. මෙතැනදී අවංකවම අපේ දේශීය භෝග නිෂ්පාදනය කියන කාරණාව ඉස්මතු කරවා ගැනීම ඉතා වැදගත්.
සොබාවධර්මයා විසින් මිනිසාගේ පැවැත්ම සඳහා එක් එක් දේශවලට අනුරූපිකව ආහාර සපයනවා. අපේ දේශයේ වැවෙන ආහාර භෝග වල ගුණාත්මක බව සරිලන්නේ අපේ දේශයේ ඉපදුන සත්වයාටයි.
මෙය තමයි ස්වභාවධර්මයේ සමතුලිතභාවය. මේ මතය බිඳින්න විද්‍යාත්මක සංකල්පයේදී පදනමක් තිබුණත් ස්වභාවධර්මයේ රීතිය ඊට වඩා වෙනස් යයි මා සිතනවා. එම නිසා දේශීය භෝග දිරිගැන්වීමේ රජයේ සැලැස්ම ඉතා හොඳ දෙයක්.
දේශීය කෘෂි කර්මාන්තයේ පිබිදීමකට මෙය හේතුවී තිබෙනවායයි ඔබ හිතනවාද ?
මේ පිබිදීමට හේතුව මා දකින්නේ මේ විදිහට. බටහිර වැසියන් නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් දියුණු යයි සිතමින් කාලය ගත කළත් ඔවුන් දැන් නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා.
එම නිසා ආසියාතිකරයේ පවතින සෑම දෙයකම වටිනාකම ගැන අවබෝධයකින් උනන්දුවකින් පසුවනවා. කාබනික පොහොරවලින් හෝ ස්වභාවිකව වැවෙන හෝග සහ ඖෂධ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිබිදීම ඉල්ලුමක් බවට පත් වෙලා. අපේ රටේ දේශීය දේවල් ඉල්ලීමට ඔවුන් පෙළඹෙන නිසා කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයද දේශීය බවේ පිබිදීම ඇතිවීමට හේතුවක් වෙලා.
විද්‍යාත්මක වශයෙන් අපේ ආහාර රටාවේ වටිනාකම පිළිබඳ වෛද්‍යවරුන් නිතර නිතර ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමත් මෙම පිබිදීමට තවත් සාධකයක්.
ස්වභාවිකව වැවෙන දේශීය භෝගයන්ගෙන් ශරීරයට අහිතකර විෂ පදාර්ථයන් අවම වීම පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ජනිත වීමත් තව හේතුවක්. ඒ වගේම දේශීය බව අගයන ජාතික සංවිධාන මේ රට තුළ හඬක් නැගීමත් මෙම දේශීය කෘෂිකර්මයේ පිබිදීමට මහත් පිටිවහලක් වී තිබෙනවා.
මෙවර යල කන්නයේදී වී අස්වැන්න 22 % වැනි ප‍්‍රමාණයකින් වැඩි වූවා....
මෙතන තමයි ගැටලුව තිබෙන්නේ. වී නිෂ්පාදනය වැඩිවූවාට වැඩිවූයේ පිටරටින් ගෙනෙන බීජ වර්ගවල වී අස්වැන්නයි. පිටරටින් එන බීජ ඔවුන් අලෙවි කරන්නේ කෘෂිකර්මාන්තය වෙළෙඳපොළකරණයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි.
අපේ ජනතාව ආහාර වැව්වේ වෙළෙඳපොළකට නොවෙයි. එදිනෙදා පරිභෝජනයටයි. වැඩිවන ජනගහනය සමග ඔවුන්ට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය වැඩි වෙනවා.
එම නිසා නිෂ්පාදනයද වැඩිවිය යුතුයි. නිෂ්පාදන ප‍්‍රතිශතය වැඩි කිරීමට උත්සාහ ගැනීමේදී නවීන තාක්ෂණය භාවිතා කිරීමට සිදු වනවා. එතැනදී දේශීය භෝගයේ ගුණාත්මක බව විනාශවීමට ඉඩ කඩ වැඩි වෙනවා.
මෙය අවම කර ගැනීමටත් නිෂ්පාදනය වර්ධනය කර ගැනීමටත් අපේ පැරැණ්නන් භාවිත කළ ක‍්‍රම අධ්‍යයනය කර ඒවා උපයෝගී කර ගැනීමට ක‍්‍රමවේද සකස් විය යුතුයි. නමුත් මෙය අමාරු කර්තව්‍යක්.
ගොවියා නිෂ්පාදනය කළ යුත්තේ තම අවශ්‍යතා සඳහා පමණක්ද ?
මා අදහස් කෙළේ එය නොවේ. ගොවියා එදා කෘෂිකර්මාන්තයේ යෙදුනේ ‘බහුජන හිතාය බහුජන සුඛාය’ යන සංකල්පයේ හිඳගෙනයි. කාරමිකකරණයත් සමගම බහුජාතික ව්‍යාපාර කෘෂිකර්මාන්තයට පැමිණියා.
මෙහි ප‍්‍රතිඵලයක් හැටියට අප රටේ ද කෘෂිකර්මාන්තය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් වුණා. වෙළෙඳ ව්‍යාපාරයක මූලික ලක්ෂණය වූ ලාබය අරමුණු කරගෙන ඕනෑම දෙයක් කිරීමට පෙළඹීම් ආවා.
ඒ අනුව ඕනෑම විදිහට නිෂ්පාදනය වැඩි කිරීම මත ගුණාත්මක බවේ පිරිහීමක් ඇති වෙනවා. ආහාර නිෂ්පාදනය වැඩි කළත් නිෂ්පාදිත ආහාරයේ ගුණාත්මක බව හීන නම් ඒ නිෂ්පාදනය එතරම් වැදගත් නැහැ. සෞඛ්‍ය විද්‍යාවේදී කියන්නේ එයයි.
වර්තමාන ආහාර බෝග නිෂ්පාදනය ගැන මොනවද හිතන්නේ ?
මෙය විමර්ශනය කිරීමේදී ලැබෙන පිළිතුරු ප‍්‍රතිඵල රහිත බවකුයි මට හැඟෙන්නේ. මේ නිෂ්පාදන පරිභෝජනය කරන අයගේ පැත්තෙන් බැලුවත් එදා ගොවියා වවන ලද භෝග සහ අද නිෂ්පාදනය කරන ආහාරවල ගුණාත්මක බව පරිභෝජනය කරන්නාට ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ.
එදා කාපු කෙසෙල් ගෙඩියක, අඹ ගෙඩියක රසය අද දැනෙනවාද ? එළවුළු ගත්තත් හාල් ගත්තත් මේ තත්ත්වය එහෙමමයි. එදා උයන බතක සුවඳ අද දැනෙනවාද ? රසය අද තිබෙනවාද ? අද අපට පරිභෝජනය කරන්ට සිදුව ඇත්තේ ශරීරයට අහිතකර වූ රසායනික පදාර්ථයන්ගෙන් සමන්විත ආහාරයි. මෙවැනි නිෂ්පාදන වැඩිවීම නිසා අපේ ජනතාව ලෙඩ වීමේ ප‍්‍රවණතාවට ශීඝ‍්‍ර ලෙස හසුවෙමින් සිටිනවා.
නිෂ්පාදන පැත්තෙන් බලන විට නොයෙක් වෙසින් එන උපදෙස් පොහොර කෘමිනාශක භාවිතාව හේතු කොට වෙනත් වෙළෙඳ පන්තියක් බිහි වී ගොවියා ණය උගුලේ හිරවූ උපද්‍රවයද වැඩිවී තිබෙනවා.
අවසානයේ සිදුව ඇත්තේ පරිභෝජනය කරන අපිත් නිෂ්පාදනය කරන ගොවියාත් උගුලකට හසුවීමත් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය හරහා අපව අගාධයකට ඇද දමා ඔවුන් ලාබ ලබා ඇති බවයි. අපට ආරෝග්‍යා පරමාලාභාවත් නැති කොටයි ඔවුන් එම ලාබ ලබා ඇත්තේ.
කාබනික පොහොර භාවිතාව සඳහා දැන් ගොවීන්ව නැඹුරුකොට තිබෙනවා නේද ?
අපේ ගොවියා කොම්පෝස්ට් පොහොර හදා ගත්තේ කොහොමද යොදා ගන්නේ කෙසේද යන පාරම්පරික ඥානයෙන් පරිපූර්ණ වී සිටි අයෙක්. ඔවුන්ගේ මෙම පාරම්පරික ඥානය කාන්දුවීමේ ගතිය අප විසින්ම ඉවත් කළා.
එසේ වුවත් අප දැන් කාබනික පොහොර නිෂ්පාදනය කොට දිරි ගැන්වීම කාලෝචිත වෙනවා. ප‍්‍රමාද වී හෝ මෙම කි‍්‍රයාවලියට රජය අතගැසීම ඉතා හොඳයි.
ඔබ කියන්නේ අපට අවශ්‍ය ආහාරභෝග වැඩි දියුණු කිරීමේ කි‍්‍රයාවලිය කෙබඳු එකක් විය යුතු බවද ?
ආහාර භෝග නිෂ්පාදනය වැඩි කිරීමේ කි‍්‍රයාවලියක් රටට අවශ්‍යයි. අපේ කෘෂිකර්මාන්තය කියන්නේ අපේම භෝගයි. අපේ භෝග සඳහා වූ වෙනමම සංස්කෘතියක් තියෙනවා.
එයම තමයි අපේ සංස්කෘතිය. අපේ අනන්‍යතාවත් එයමයි. මෙම අනන්‍යතාව මත ඉඳිමින් වැඩිවන ජනතාවට සාපේක්ෂව අපේම භෝග වගා කළ හැකි බවයි මා කියන්නේ.
අපේ කමේ සිට නවීන තාක්ෂණය භාවිතා කරනවා විනා බටහිර සංකල්ප වල සිට නවීන තාක්ෂණය භාවිත කළ යුතු නැහැ. සතුටු විය යුතු කරුණක් සඳහන් කළ යුතුව තිබෙනවා.
මෙය අවබෝධ කොටගත් කෘෂි විද්‍යාඥයන් පිරිසක් අප රටේ දැන් සිටිනවා. එවැනි අයට බල කරමින් මේ සඳහා මැදිහත් කර ගත යුතුව තිබෙනවා.
දේශීය භෝග වගාවට ගොවියා පෙළඹවීමත් හැකි පමණ රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව දේශීය ක‍්‍රමෝපායන් උපයෝගී කර ගැනීමට පෙළඹවීමත් කළ යුතු වෙනවා.
තම සහෝදර ජනතාවට ගුණාත්මක බවෙන් සපිරි, නිරෝගි භාවයට අවශ්‍ය භෝගයන් නිෂ්පාදනය කළ යුතු යයි යන හැඟීම සහ චේතනාව ගොවියා කෙරෙහි රෝපණය කිරීම වැදගත් වෙනවා.


ඡායාරූප සහ සංවාද සටහන එම්. එච්. ස්ටැන්ලි අබේරත්නබෙම්මුල්ල සමූහ

ආසියානු කි‍්‍රකට් සූරයෝ

ජගත් කි‍්‍රකට් භූමි දර්ශන චිත‍්‍රය සිය මුදල් හයියත් තරග සාර්ථකත්වයත් මගින් වෙනස් කිරීමට ඉන්දියාව සමත් වුවද ගෙවී ගිය 2008 වසරේ ආසියාවේ ඉහළම කි‍්‍රකට් කණ්ඩායම වීමේ ගෞරවය හිමිකර ගත්තේ ශ‍්‍රී ලංකාව ය.
ආරක්‍ෂක අවදානම හේතුවෙන් සංචාරක කණ්ඩායම් නොපැමිණීම නිසා පාකිස්තානය 2008 වසර ගෙවා දැමුවේ එකම ටෙස්ට් තරගයක් හෝ කී‍්‍රඩා නොකරය.
ආසියාවේ අනෙක් කි‍්‍රකට් කණ්ඩායම වන බංග්ලාදේශය දිගටම මේ වසරේත් තරග බිමේ දඟලද්දී ජගත් කි‍්‍රකට් ජවනිකාවේ ඉහළම තලයට ආසියානු කොඩිය රැගෙන ගියේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ය.
විනෝදයට සන්ධ්‍යාවේ සෙල්ලම් කරන කී‍්‍රඩාවක් බවට පත්ව තිබූ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ස්ථාවරය වෙනස් කරමින් ඉන්දියාව ඩොලර් මිලියන ගණනින් වටිනා ඉන්දියා ප‍්‍රිමියර් ලීගය කි‍්‍රයාත්මක කෙළේ ලොව කි‍්‍රකට් සුපිරි බලය බවට පත්වෙමිණි. ලොව පුරා හොඳම කී‍්‍රඩකයෝ මේ තරගාවලියට සහභාගි වූහ.
සම්ප‍්‍රදායික කි‍්‍රකට් ක‍්‍රීඩාවේදී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව 2008 අවසන් කළේ ජයග‍්‍රාහී අයුරිනි. ඉන්දියාච විසින් එංගලන්තය පරාජය කරනු ලැබූ අතර ශ‍්‍රී ලංකාව බංග්ලාදේශය පැරැදවීය.
ගෙවුණු වසරේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ දීර්ඝ කාලයක් ජගත් ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඒකාධිකාරය හිමිකර ගෙන සිටි දැවැන්ත කැන්ගරුවන්ගේ ඇද වැටීමය.
ලෝක සූරයන් වන රිකී පොන්ටිං ගේ පිල ප‍්‍රථමයෙන් ඔවුන්ගේ රටේ පර්ත් නුවර දී ඉන්දියාවට පරාජය වූ අතර පසුව ඉන්දියාවේදී තරග 2 - 0 කින් තරගමාලාව පරාජය විය.
ජගත් කි‍්‍රකට් බලයේ සමබරතාව අවසානයේ ඔස්ටේ‍්‍රලියානුවන් ගෙන් ඈත් වෙමින් තිබෙන බවට වූ ඒ පළමු ඉඟියෙන් පසුව දකුණු අප‍්‍රිකාව ඔස්ටේ‍්‍රලියානු පොළොවේදී ඔවුන් තරග 2 - 0 කින් පරාජය කෙළේ 1992 - 93 වකවානුවේ මුළු ලොවම ආක‍්‍රමණය කළ ක්ලයිව් ලොයිඩ්ගේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල වෙතින් සිය රටේ දී අත්විඳී පරාජයෙන් පසුව ප‍්‍රථම ටෙස්ට් තරගමාලා පරාජය ඔස්ටේ‍්‍රලියානුවන්ට අත්කර දෙමිනි.
මහේල ජයවර්ධනගේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඉන්දියා පිල ටෙස්ට් තරග 2 - 1 කින් පරාජය කළ අතර පාකිස්තානයේදී මහේන්ද්‍ර සිං දෝනි ගේ කණ්ඩායම පරදවමින් ආසියානු එක්දින ක‍්‍රිකට් කුසලානය දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයට වඩාත්ම යහපත් දෙය වූයේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අජන්ත මෙන්ඩිස් ගේ මතුවීම ය. 23 හැවිරිදි මෙන්ඩිස් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවිය ආරම්භ කෙළේ ලෝක වාර්තාවක් තබමිනි.
මේ අපූරු දඟ පන්දු යවන්නා ටෙස්ට් තරග තුනකදී කඩුලු 26ක් බිඳ හෙලූ අතර එය නවක කී‍්‍රඩකයෙක් සිය මංගල තරග තුනකින් යුත් තරගමාලාවකදී ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව විය.
අතුරු කමිටුව විසුරුවයි
කී‍්‍රඩා අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවත් අතර වසරක පමණ කාලයක පැවැති කඹ ඇදිල්ල කෙළවර වූයේ ගාමිණී ලොකුගේ කී‍්‍රඩා ඇමැතිවරයා විසින් අර්ජුන රණතුංග ප‍්‍රධාන අතුරු කමිටුව විසුරුවා හරිමිනි.
ඉන්දියා ප‍්‍රිමියර් ලීගයේ කී‍්‍රඩක සහභාගිත්වය, සේවක ප‍්‍රශ්න, රූපවාහිනී තරග විකාශන අයිතීන්, අනුග‍්‍රාහකයන් ලබා ගැනීමේ නොහැකියාව හා කොන්ත‍්‍රාත් පදනමේ සිටි සේවකයන් 18 දෙනෙක් සේවයෙන් නෙරපීම යන කාරණා හේතුවෙන් නන්නත්තාරව දියත් වෙන කි‍්‍රකට් පරිපාලන නෞකාවේ මීළඟ කප්පිත්තා කව්රුන් වේදැයි තවමත් නිශ්චිත නැත.
රගර් අර්බුද
විසුරුවා නොහැරියත් ඒ අවදානම ළඟටම ආ තවත් කී‍්‍රඩා සංගමයකි ශ‍්‍රී ලංකා රගර් සංගමය. සංගමය බේරුණේ ඒ වෙනුවට එහි තේරීම් කමිටුව විසුරුවා හැරීමෙනි.
චීන තායිපේහි පැවැති ආසියානු රගර් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායකත්වයට දුෂාන්ත් ලෙව්කේ පත් කිරීමට විරෝධය පාමින් ජාතික සංචිතයෙන් හා පුහුණුවීම්වලින් ඉවත් වූ ප‍්‍රබල මහනුවර කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ ඊට මැදිහත් වන ලෙසට කී‍්‍රඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
තේරීම් කමිටුව විසිරුවා හැර ගාමිණි ලොකුගේ ඇමැතිවරයා නව තේරීම් කමිටුවක් පත්කොට කණ්ඩායම හා නායකයා නැවත තෝරන ලෙසට ඔවුනට නියෝග කළේය.
නව තේරීම් කමිටුව කෙළේ චීන තායිපේ තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන තරග දෙකට නායකයන් දෙදෙනෙකු පත් කිරීමය.
ඉන් එක් නායකයකු දුෂාන්ත් ලෙව්කේ ම වීම හේතුවෙන් සිය වර්ජනය දිගටම ගෙන ගිය මහනුවර කී‍්‍රඩකයෝ එම තරගාවලියට පමණක් නොව ඊට පෙර හොංකොංහි පැවැති 2009 ලෝක කුසලාන සත් සාමාජික රගර් තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියටද සහභාගි වීමෙන් වැලැකී සිටියහ.
ශ‍්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ගෙවුණු වසරේදී විදෙස් තරගාවලි දෙකකට සහභාගි විය. මේ තරගාවලි ද්විත්වයම පැවැතියේ හොංකොං දේශයේය.
වාර්ෂිකව සහභාගි වන හොංකොං සෙවන්ස් තරගාවලියේදී අසාර්ථක වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්පසු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ඊටත් වඩා අසාර්ථක විය.
කණ්ඩායමේ දුර්වලතාව මොනවට ප‍්‍රදර්ශනය කරමින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ශ‍්‍රීලංකාවට පරාජය කිරීමට හැකිවුයේ රගර් තරග බිමට ඉතාම ලාබාලයන් වන අසල්වැසි ඉන්දියාව පමණි. කෙටියෙන් කිවතොත් 2008 යනු ශ‍්‍රී ලාංකික රගර් ක්ෂේත‍්‍රයේ දැවැන්ත කඩාවැටීමක් දිස්වූ වසරකි.
ඔලිම්පික් පදක්කම් සිහිනය
බීජිං ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාවේ පදක්කම් සිහිනය බොඳවී ගියද මතු යම් දිනයෙක එවැනි බලාපොරොත්තුවක පහන් දල්වමින් ෂෙහාන් අඹේපිටිය යොවුන් මලල කී‍්‍රඩකයා ජගත් කරලියට පිවිසියේය.
ඉන්දියාවේ පූනෙ නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කණිෂ්ඨ කී‍්‍රඩා උළෙලේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවකු වන ෂෙහාන් පිරිමි මීටර් 100, මීටර් 200 හා මීටර් 100 ය 4 සහාය දිවීම ඉසව්වල රන් පදක්කම් ති‍්‍රත්වයක් දිනා ගැනීම සමත් විය.
බීජිං ඔලිම්පික් උළෙල දක්වා වූ කාලයේදී ඔලිම්පික් පදක්කමක් ගැන වැඩිම ප‍්‍රචාරයක් ඇති වූයේ බොක්සිං කී‍්‍රඩාවෙනි. එහෙත් ඒ පුරසාරම් අවසානයේ පුස්සක් ම විය.
තවත් ඔලිම්පික් පදක්කම් අපේක්‍ෂාවක් වූ සුසන්තිකා ජයසිංහ බීජිංහිදී අසාර්ථක වුවද ඇය ඉතා අගය කළ යුතු කී‍්‍රඩිකාවක් බවට පත්වූවාය.
ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 අවසාන තරගයට ඇගේ ප‍්‍රවිෂ්ටයම ඉතා ප‍්‍රශංසනීය වේ. ඔලිම්පික් පදක්කමක් දිනා ගෙන අට වසරකට පසුව යළි ඔලිම්පික් අවසාන තරගයකට පිවිසීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
පිහිනුම් පරිපාලනයේ අර්බුද
ගෙවීගිය වසරේදී පිහිනුම් කී‍්‍රඩා පරිපාලනයේ අර්බුද රැසක් මතුවිය. පිහිනුම් අතුරු කමිටුවට චෝදනා ගණනාවක්ම එල්ලවීම හේතුවෙන් එය විසුරුවා වසර අවසානයේ නව පිහිනුම් අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
වසරේ දක්‍ෂතම පිහිනුම් කී‍්‍රඩකයා ලෙස කැපී පෙනුණු මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ හේෂාන් උනම්බුව ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාවෙන් යැවිය යුතු වඩාත්ම සුදුසු කී‍්‍රඩකයා ලෙස බොහෝ දෙනාගේ අදහසක් වුවද පිහිනුම් බලධාරීන්ගේ තීරණය වූයේ ඩැනියෙල් ලී යැවිය යුතු බවයි.
ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් යැවිය යුතු කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම හාස්‍යයෙන් පිරුණු එකක් විය. මයුමි රහීම් තෝරාගෙන තිබුණද පසුව ලැබුණු ඉල්ලීම් සලකා මිනිරුවණී සමරකෝන් සමඟ තේරීම් තරගයක් පැවැත්වීමට තීරණය විය.
තේරීම් තරගය දිනයේදී මිනිරුවණී තරග වැදීම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් මයුමිට ඔලිම්පික් වරම් උදාවුණි. ඔලිම්පික් උළෙලේ දී මයුමිට හා ඩැනියෙල් ලීට පදක්කම් දිනාගත නොහැකි වුවද පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගැනීමට හැකිවිය.
වසරේ කැපී පෙනෙන පිහිනුම් කී‍්‍රඩිකාව ලෙස මිනේකා කරුණාරත්න සම්මානයට පාත‍්‍රවූවාය. නැඟී එන කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව ලෙස හේෂාන් – මිනිරුවණී සම්මාන දිනාගත්හ.
පිටපළාත්වලින් දක්‍ෂතා දැක්වූ පොළොන්නරුවේ සචින්ත වික‍්‍රමආරච්චි පිහිනුම් කී‍්‍රඩාවට අදාළ සම්පත් නොමැතිව දැක්වූ දක්‍ෂතාව ආදර්ශමත් විය. ඔහු වැවේ පිහිනා කොළඹ පිහිනුම් තටාකයේ ජයකෙහෙළි නැංවීම සිත්ගන්නා සුළුවිය.
සරේ පාසල් පිහිනුම් සූරතාවලිය, වයස් කාණ්ඩ පිහිනුම් සූරතාවලිය, ජාතික හා කණිෂ්ඨ පිහිනුම් සූරතාවලි උණුසුම් ස්වරූපයකින් නිමා නොවුණි.
ඔලිම්පික් කී‍්‍රඩිකා මයුමිගේ මීටර් 50 ළය ආර ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳහෙළීමට මිනේකා සමත්වීමත්, හෙෂාන් තමාගේම වාර්තා කිහිපයක් බිඳ හෙලීමත් කැපීපෙනුණි.
වත්මන් පිහිනුම් අතුරු කමිටුවේ සභාපති අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පිට පළාත් පිහිනුම් කී‍්‍රඩාව දියුණු කිරීමට අදහස් කර සිටීම ආරම්භ වූ වසරේ යහපත් බලාපොරොත්තුවකි.
ප‍්‍රගතියක් නුදුටු නෙට්බෝල්
ගෙවීගිය වසරේදී නෙට්බෝල් කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් දක්නට නොලැබුණි. ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධූරය ද ශී‍්‍ර ලංකාවට හිමිවූ වසරේ නෙට්බෝල් සංවර්ධනයට එමගින් හෝ සේවයක් සිදු නොවීම කනගාටුදායකය.
නෙට්බෝල් පරිපාලනය කොතරම් කඩාවැටී තිබුණද යන්න පැහැදිලි කරගැනීමට හොඳම උදාහරණයක් වූවේ නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා ගත් දැඩි තීන්දුවයි.
නෙට්බෝල් සම්මේලනයේ ගිණුම් වාර්තා විගණනයට ලක්කිරීමේදී හෙළිවූ බොහෝ වැරදි හා සාමාජික සංගම් වෙත වාර්තා නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් නිලවරණය අත්හිටුවීමට සිදුවිය.
මාස කිහිපයකින් පසුව අජන්තා විජේසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් නෙට්බෝල් අතුරු කමිටුවක් පත්විය. එම කමිටුව නෙට්බෝල් කී‍්‍රඩාවට අදාළ සංවර්ධන කටයුතු හා තේරීම් කටයුතු වඩාත් වේගවත් කරමින් සිටියදී වසර නිමාවිය.
මේ වසරේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් සූරතාවලියට කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරගයේදී උසින් වැඩි කී‍්‍රඩිකාවන් සොයාගැනීමට හැකිවීම ගෙවීගිය වසරේ ලැබූ ඉහළ ප‍්‍රතිඵලයක් බව අතුරු කමිටු ලේකම් ටි‍්‍රක්සි නානායක්කාර පැවැසුවාය.
එහෙත් එම තේරීම් තරගයේදී දක්‍ෂ කී‍්‍රඩිකාවන්ට අවස්ථාව අහිමි කළ බවට චෝදනාවක්ද එල්ල විය. එම චෝදනා සැලකිල්ලට ගෙන නැවැත තේරීම් තරගයක් පැවැත්වීමට යෑම ගැන වසර අවසානයේදී අසන්නට ලැබුණි.
හිටපු ජාතික පුහුණුකාරිනි හයසින්ත් විජේසිංහ නෙට්බෝල් පරිපාලනයට දොස් නගා තනතුරෙන් ඉවත්වූවාය. පසුව එම තනතුරට තිලකා ජිනදාස මෙනෙවිය පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.
ආසියාවේ යොවුන් නෙට්බෝල් අනුසූරතාව ශී‍්‍ර ලංකාවට හිමිවිය. එය දිනාගත්තේ තෙවැනි වරටය.එළැඹි වසරේදී නෙට්බෝල් කී‍්‍රඩාවේ අභියෝග ජයගන්නට කී‍්‍රඩිකාවන්ට සේම නිලධාරීන්ට ද විශාල ප‍්‍රයත්නයක් දැරිය යුතුව ඇත.
ගෙවීගිය වසරේදී මෙන් කුලල්කා ගැනීම්වලින් තොරව සියලු දෙනාට ඉදිරියට යා හැකිවුවහොත් ආසියානු සූරතාව දිනා ගැනීමට අපහසු නොවනු ඇත.
ජාතික කී‍්‍රඩාවෙන් ජාතික සමගිය
වොලිබෝල් සම්මේලනය වොලිබෝල් කී‍්‍රඩාව දියුණු කිරීමට අනුග‍්‍රාහකයන් සොයා දේශීය තරගාවලි සාර්ථකව පැවැත්වීම ගෙවීගිය වසරේදී දක්නට ලැබුණි. සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා නැවැත වරක් එම ධූරයට පත්වුවේද සම්මේලනය පරිපාලනමය අතින් යහපත් එකක් බවට අමාත්‍යවරයාගේ ප‍්‍රසංශාවද හිමිවීමෙනි.
ජාතික කී‍්‍රඩාවෙන් ජාතික සමගිය ඇතිකරලීම වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන තේමාව විය. පිට පළාත්වලින් කී‍්‍රඩා සමාජ අඩුවෙන් පිවිසෙද්දී වයඹ හා බස්නාහිර පළාත් කණ්ඩායම් තම ආධිපත්‍ය ගෙවීගිය වසරේදීත් පැතිරූහ.අන්තර් ජාතික තරගාවලි කිහිපයකට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ගෙවීගිය වසරේදී යොවුන් කී‍්‍රඩකයෝ ඉදිරියට පැමිණියහ.
කොළඹදී නිමාවු ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව විශාල ප‍්‍රගතියක් පෙන්වමින් 7 වැනි ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණි. මුදල් නොමැති අවස්ථාවකදී වුවද මේ තරගාවලි ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම අභියෝගයක් වුවද කිසිදු චෝදනාවකින් තොරව තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකිවීම සම්මේලනය ලැබූ ජයග‍්‍රහණයකි.
පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට අන්ත පරාජයක් අත්වීම ප‍්‍රබල පසුබෑමක් විය එකම තරගයක් හෝ ජය නොගත් එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් ආසියාවේ අන්තිමයා බවට පත්වීම කනගාටුවට කරුණකි.
කෙසේ වුවද එළැඹි වසරේදී වොලිබෝල් කී‍්‍රඩාවෙන් ආසියාවේ ඉදිරියට පැමිණීමේ අභියෝගය තවමත් ඉතිරිව ඇත.ඒ සඳහා පාසල් මට්ටමේ සිට සංවර්ධන කාර්යයන් දියත් කිරීමේ අවශ්‍යතාවට මුල්තැන දිය යුතු වසරක් ආරම්භ විය.
පාපන්දු කී‍්‍රඩකයන්ගේ දක්‍ෂතා ආපස්සට ගිය වසරක්
මවු බිම බේරාගැනීමේ මානුෂික මෙහෙයුමෙන් ඉදිරියට ඇදෙන යුද හමුදාව වසරේ පාපන්දු කිරුළ හිමිකර ගැනීම ගෙවී ගිය වසරේ කාගේත් අවධානයට ලක්විය.
පි‍්‍රමියර් ලීග් පාපන්දු සූරතාව යුද හමුදාව දිනාගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි. ස්ථිර අධිෂ්ඨානය කැපවීම හා උනන්දුව නිසා ලැබූ ජයක් බව පුහුණුකරු මේජර් පත්මනාදන් පැවසුව ද ඔවුන් කෙරෙහි තිබූ විනය තවත් හේතුවක් බව බොහෝ දෙනාගේ මතය විය.
ගෙවී ගිය වසර මැද භාගයේ කොළඹ දී පැවැති ආසියානු පාපන්දු සංගම් කුසලාන තරගාවලියේ දී ශී‍්‍ර ලංකා පිලේ පසුබෑම හේතුවෙන් ජාතික පාපන්දු පුහුණුකරුට ප‍්‍රබල චෝදනා එල්ල විය. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු දක්‍ෂතා නොදැක්වීම නිසා ශී‍්‍ර ලංකා පිලට වාසියක් අත් නොවුනි.
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ දී ජාතික පාපන්දු පුහුණුකරු ජැං ජුන්ග් ගෙදර යැවිය යුතු යැයි මතයක් පළවීමෙන් පසුව පාපන්දු පුහුණුකරු පිළිබඳ නිර්දේශ ලබාගැනීමට කමිටුවක් ද පත් කෙරුණි.
ගෙවී ගිය වසරේ අවසන් සති දෙකේදී ශී‍්‍ර ලංකා පිලේ නව පාපන්දු පුහුණුකරු ලෙස හිටපු පුහුණුකරුවෙකු වූ සම්පත් පෙරේරා මහතා පත් විය.
ගෙවී ගිය වසරේ පාපන්දු කී‍්‍රඩකයන්ගේ දියුණුවක් නැති වුවද විනය පිරිහීමේ දියුණුවක් ඇතිවී තිබුණි. පාපන්දු කී‍්‍රඩකයන් හා පෙ‍්‍ර්ක්‍ෂකයන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වූයේ ද ඒ නිසාය කී‍්‍රඩකයන්, පුහුණුකරුවන් හා විනිසුරුවන් අතර මතභේද හේතුවෙන් තරග අත්හිටුවීමට ද සිදුවිය.
එළැඹි නව වසරේ දී ශී‍්‍ර ලංකා පාපන්දු පිලට අලුත් මුහුණු එක් කළ යුතු යැයි අදහසක් මතුවීමද යහපත් එකකි. මේ වසරේ පැවැත්වෙන ආසියානු පාපන්දු සංගම් කුසලානය දිනාගැනීමේ සැලැස්ම නව පුහුණුකරුට මෙන්ම බලධාරීන්ට ඇති ප‍්‍රධානතම අභියෝගයකි.
කැරම් ලෝක සූරයෝ
2008 ජගත් කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ජය කෙහෙලි නැංවීමට ශ‍්‍රී ලංකා කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. ජගත් කැරම් සුරතාවලියේදී ශ‍්‍රී ලංකාව පිරිමි සූරතාවත් කාන්තා අනු සූරතාවත් දිනා ගත්හ. වූෂූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝද අන්තර්ජාතික රන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ගෙවී ගිය වසරේදී පාපැදි කී‍්‍රඩාවේ දක්නට ලැබුනේ ප‍්‍රබල පසුබෑමකි. එය තරග අඩුවෙන් ම පැවැති වසරක් විය.
එල්ලේ කී‍්‍රඩාව පසුගිය වසරේ සුරක්‍ෂිත වූයේ ගම්බද කී‍්‍රඩා සමාජ ඔවුනට හැකි පමණින් ඉරිදා දිනවල පැවැත්වූ කී‍්‍රඩා තරගාවලි නිසාවෙනි.
ශෝකාන්ත
2008 ජාතික කී‍්‍රඩා තරාදියේ බර ජය පරාජයන්ගෙන් මෙසේ දෙපැත්තට දෝලනය වෙද්දී ශෝකාන්ත සිදුවීම් දෙකකට මුහුණ දීමට තරම් ශ‍්‍රී ලාංකේය කී‍්‍රඩා ක්ෂේත‍්‍රය අවාසනාවන්ත විය.
කොටුව දුම්රිය ස්ථානයේ සිදු වූ කුරිරු ත‍්‍රස්ත බෝම්බ පිපිරීමෙන් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ බේස්බෝල් කී‍්‍රඩකයන් හත් දෙනෙකු ම මිය ගියහ.2008 අප්‍රේල් 6 වැනි දින වැලිවේරියේ පැවැත්වීමට සංවිධානය කර තිබූ මැරතන් තරගයක් ආරම්භයේ මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියෙක් විසින් සිදු කළ බෝම්බ පිපිරීමකින් තරග ආරම්භක සංඥාව නිකුත් කිරීමට පැමිණි ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ, ජාතික කී‍්‍රඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, ජාතික මැරතන් සුර කේ. ඒ. කරුණාරත්න (මැරතන් කරු), මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරි ආර්. ඒ. සිරිපාල, තරග ආරම්භක නිලධාරි කර්නල් උදයදීර, කාලඝනක නිලධාරීන් වන සිසිර විජේසිංහ හා චමින්ද රත්නායක යන මහත්වරු සහ ක‍්‍රීඩකයන් තිදෙනෙක් ද එතැනදීම මිය ගියහ.
හොඳ හා නරක දෙකම අත්විඳීන්නට සලස්සමින් 2008 කී‍්‍රඩා වසර ගෙවී ගියේය. දැන් එළැඹ ඇත්තේ 2009 නව කී‍්‍රඩා වසරකි. උදා වූ අලුත් කී‍්‍රඩා අවුරුද්ද අයහපතට වඩා යහපත් එකක් ම වේවායි අපි ප‍්‍රාර්ථනය කරන්නෙමු.

Monday, December 22, 2008

ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.


දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් අධිකාරි ලැබූ හමුදා නිලධාරීන් 151 දෙනකුගේ විසිර යාමේ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (20) දියතලාවේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු. යුද හමුදාපති සරත් පොන්සේකා සහ බි‍්‍රගේඩියර් කුමුදු පෙරේරා මහත්වරු ද මෙහි වෙති.