Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, February 13, 2009

චලෙයි විජයග‍්‍රහණය සහ මුහුදු කොටි බළකායේ අවසානය

කො ටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් තම සංවිධානය ඇති කිරීමෙන් පසු එහි කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිණිස කොටස් වලට බෙදා වෙන් කෙළේය.
සෘජුවම තමාට වග කියන ආකාරයට තමා විසින් මෙහෙයවනු ලබන ආකාරයට කොටි සන්නද්ධ බුද්ධි දේශපාලන මුහුදුකොටි කොටි පොලීසිය මරාගෙන මැරෙන අංශය කොටස් වලට බෙදා තිබිණි.

ජයග‍්‍රහණයෙන් පසු හමුදා සෙබළුන්
ඉන් ප‍්‍රධාන අංශයක් වුයේ එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි බළකායයි. එතෙර මෙතෙර මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන සියලුම කටයුතු හොර ජාවාරම් අවි ආයුධ ප‍්‍රවාහනය සාමාජිකයන් ගෙන යාම මරාගෙන මැරෙන මුහුදු කොටි පුහුණුව රජයේ හමුදාවලට ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු කර්තව්‍යයන් රැසක් සිදු කෙරුණේ මුහුදු කොටි බළකාය ඔස්සේය.
1990 දී පමණ එල්. ටී. ටී. ඊ. යේ ව්‍යුහය ක‍්‍රමානුකූලව සකස් වීමට පෙර මුහුදු කොටි බළකාය එතරම් විදිමත්ව සකස් වී තිබුණේ නැත.
එහෙත් 1990 න් පසු මුහුදු කොටි බළකාය පිරිමි සහ කාන්තා අංශ යනුවෙන් කොටස් දෙකකට බෙදුණි. මරාගෙන මැරෙන කළු මුහුදු කොටි බලකායක් බිහිවුණේද ඉන් අනතුරුවය.
තුරු නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි කඳවුරු ප‍්‍රධාන ඒවා දහයක් පමණ විය.
කුඩා කඳවුරු 15 ක් පමණද විය. බොහෝ විට ඒවා ජංගම කඳවුරු වශයෙන්ද තැනින් තැනට ගෙන ගිය ඒවා විය.
උස් වැලි කඳු
කොටි සංවිධානයේ මුහුදු කොටි බළකාය කැපී පෙනෙන තත්ත්වයට පත් වූයේ එහි නායකයා වශයෙන් සුසෙයි පත්වීමෙන් අනතුරුවය.
ප‍්‍රභාකරන් උපත ලැබූ වැල්වැටිතුරේ ප‍්‍රදේශයේදී 1963 ඔක්තෝබර් 10 වැනිදා උපත ලැබූ නිල්ලෙයාම් පාලම් සිවනේෂන් හෙවත් සෙල්වම් සේරා ඔස්තා හෙවත් මයිකල් නීලගම් හෙවත් සුසෙයි කොටි සංවිධානයට එකතු වූයේ වයස අවුරුදු 17 දී පමණය.
මෙරටට ඉන්දියන් හමුදාව පැමිණෙන විටත් සුසෙයි එම සංවිධානයේ කැපී පෙනෙන සාමාජිකයෙකි.
උතුරු නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ මුහුදු කොටි කඳවුරු විශාල ප‍්‍රමාණයක් ඇතිකර තිබුණද ඔවුන්ගේ ප‍්‍රධානම කඳවුර පිහිටියේ චලෙයි ප‍්‍රදේශයේය.
චලෙයි ප‍්‍රදේශය භූගෝලීය වශයෙන් ස්වභාවික කළපුවක් ආශ‍්‍රිතව පිහිටා තිබීම නිසා මෙම ප‍්‍රදේශය උස් වැලි, කඳු සහ ලඳු කැලෑ සහිත භූමි ප‍්‍රදේශයකි.
චලෙයි ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන් පුරා දශක දෙකකට වඩා වැඩි ප‍්‍රමාණයක් මරාගෙන මැරෙන මුහුදු කොටි කි‍්‍රයාකාරකම් සඳහා යුදමය වශයෙන් ඉතා ප‍්‍රබල ස්ථානයක් ලෙස හැඳින්විය.
නැවකට ප‍්‍රහාර
මෙම මුහුදු කොටි කඳවුර ත‍්‍රස්තවාදීන්ගේ අන්තර්ජාතික මුහුදු කොටි ජාලය හරහා ලැබෙන අවි ආයුධ ගෙන්වා ගැනීම නාවික හමුදා යාත‍්‍රා ගමනාගමනය පිළිබඳ තොරතුරු රැස්කිරීම රේඩාර් මධ්‍යස්ථානය පිහිටා තිබීම සහ මුහුදු කොටි ප‍්‍රහාර එල්ල කිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් චලෙයි ප‍්‍රදේශය භාවිතා කර ඇත.

චලෙයි විජයග‍්‍රහණය ලබා
2007 වර්ෂයේ ජනවාරි මස 22 වැනිදා වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ යාපනයේ සිවිල් වැසියන්ට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ ‘සිටි ඔෆ් ලීඩර් පෝල්’ නෞකාවට ප‍්‍රහාරයක් එල්ල කළේ චලෙයි ප‍්‍රදේශයේ සිටය.
2008 ජනවාරි 22 වැනිදා මරාගෙන මැරෙන බෝට්ටු හතරක් පැමිණ මයිලවි මුහුදු තීරයේ නවතා තිබූ භාණ්ඩ ප‍්‍රවාහන නැව් වන රුහුණු හා නිල්වලා යන නැව් දෙකට ප‍්‍රහාරයන් එල්ල කළේ චලෙයි සිට ගිය මරාගෙන මැරෙන මුහුදු කොටින්ය.
සුසෙයිගේ පුතා මරුට
කොටි නායක සුසෙයි මෙම කඳවුර ඔහුගේ නිවෙස මෙන් රැකගෙන සිටියේය. ඔහු නිතරම ඔහුගේ බළකායේ මරාගෙන මැරෙන සාමාජිකයන් හමු වූයේ ඔවුන් සමග ගත කළේ විශේෂ මරාගෙන මැරෙන බෝට්ටු පරීක්ෂා කෙළේ රහසිගත සාකච්ඡා පවා ඔවුන් සමග පැවැත්වූයේ චලෙයි මුහුදු කොටි කඳවුරේ සිටය.
වරෙක ඔහු තම පස් හැවිරිදි පුතා සමග ගොස් අලුතින් නිෂ්පාදනය කළ බෝට්ටුවක් අත් හදා බැලීම පිණිස මුහුදට දමා යාත‍්‍රා කළ අවස්ථාවේ එම බෝට්ටුව තවත් ප‍්‍රහාරක බෝට්ටුවක ගැටී පිපිරී යාමෙන් ඔහුගේ පුතා මිය ගියේය.
ඒ මීට වසර පහකට පමණ පෙරය. එම ප‍්‍රහාරයේදී සුසෙයි බරපතළ තුවාලද ලබා සිටියත් ඔහුගේ එක් පාදයක් පණ නැති තත්වයකින් තිබිණි.
මුහුදු කොටි බළකායේ නායකයා වශයෙන් සුසෙයි එම බලකායට අවශ්‍ය අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය, බෝට්ටු ඇතුළු බොහෝ දෑ රැස්කරගත්තේ පසුගිය සටන් විරාම කාලයේදීය.
එහි දී ඔහු ප‍්‍රභාකරන් සමඟ සාකච්ඡා කර මුහුදු කොටි බළකාය පෝෂණය කර ගැනීමට සටන් විරාම කාලය යොදාගත්තේ ය. තමාගේ අසනීපයකට ප‍්‍රතිකාර ලබාගැනීමට යන බව පවසා සුසෙයි අවස්ථා කීපයකදීම කටුනායක ගුවන් තොටුපළ හරහා විදේශගත විය.
ඔහු කොළඹට ගෙන ඒම සඳහා කිලිනොච්චියට විශේෂ ගුවන් යානා ද යැවිණි.
කටුනායක ගුවන් තොටුපළට සහ ගුවන් හමුදා කඳවුරට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වූයේ 2001 ජූලි 24 වැනිදාය. එම ප‍්‍රහාරය සම්පූර්ණයෙන් ම මෙහෙයවූයේ සුසෙයිය.
මුහුදු මාර්ග ඔස්සේ පැමිණි පුත්තලමට බැස ඒ හරහා කටුනායකට කඩා වැදුණු කළු කොටි බළකායේ සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළ විනාශ කෙළේ සුසෙයිගේ සැලැසුමට අනුවය.
එම අන්තර්ජාතික ගුවන් තොටුපළ විනාශ කළ සුසෙයිට එම ගුවන් තොටේ පස් පෑගීමට අවස්ථාව ලැබුණේ සටන් විරාම කාලයේදීය. විශේෂ ගුවන් යානයකින් කොළඹට පැමිණි ඔහු විදේශගත වූයේ 1990 ඉන්දියන් හමුදාව සමඟ පරන්තන් ප‍්‍රදේශයේ ඇති වූ ගැටුමක දී උරහිසේ ඇති වූ තුවාලයකට ප‍්‍රතිකාර ලබාගැනීමට යන බව පවසමින් ය.
එදා පැවැති රජයෙන් ඔහුට විදේශ ගතවීමට අවසර ලැබිණි. ගුවන් ගමන් බලපත් අංක 1365685 යටතේ 2004 ඔක්තෝබර් 18 වැනිදා ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය සකස් කර තිබිණි. හැඳුනුම්පත් අංක 6329004037ඍ යටතේ ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් කර එදා විදේශගත විය.
සබ්මැරීන් තාක්ෂණය

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා
ප‍්‍රතිකාර ලබාගැනීමට යැයි පවසා සුසෙයි විදේශගත වූවත් ඔහුගේ ගමනේ අරමුණ වූයේ මුහුදු කොටි බළකාය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය දේවල් එක් රැස් කර ගැනීමයි.
ඔහුගේ විදේශ ගමනේ දි ඔහු ඒ ආකාරයෙන් තම බළකායට අවශ්‍ය සම්පත් ලබා ගත්තා පමණක් නොව අද අපේ ආරක්ෂක හමුදා ඔවුන් සතුව තිබී සොයාගත් සබ්මැරීනය සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය ඉංජිනේරුවන් ඇතුළු බොහෝ දෑ සොයාගත්තේ ද එම විදේශ ගමනේදී ය.
මේ ආකාරයෙන් පෝෂණය වූ මුහුදු කොටි බළකාය කවදා කෙසේවත් මෙරට හමුදාවලට විනාශ කළ නොහැකි බලගතු අංශයක් බවට ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ සමස්ත කොටි නායකත්වයම පුරසාරම් දෙඩූහ.
ඔවුන් එසේ ප‍්‍රකාශ කළේ මේ ලොව කිසිම ගරිල්ලා සංවිධානයකට නොමැති තරම් වූ ආයුධ ශක්තියක් ඔවුන් සතුව තිබූ නිසාය.
පසුගිය වසර කීපයතුළ ඔවුන්ගේ ශක්තිය ලෝකයටම පෙන්වමින් ගොඩබිම පමණක් නොව මුහුදේද ප‍්‍රහාර ගණනාවක් එල්ල කළහ. ඉන් අපේ ආරක්ෂක අංශවලට හානි සිදු වූ අවස්ථා ගණනාවක් විය.
මාවිල්ආරු සොරොව්ව වසා දැමීමේ සිට ආරම්භ වූ නැගෙනහිර මානුෂීය මෙහෙයුම උතුරට ගොස් අවසානයේ උතුරේ අවසන් වර්ග කිලෝමීටර් 200 දක්වා යනතෙක් ම මුහුදු කොටි බළකායේ චලෙයි මුහුදු කොටි කඳවුර ඔවුහු රැකගෙන සිටියහ.
ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ සමස්ත නායකයන්ට මුහුදු මාර්ග ඔස්සේ පළා යාහැකි ප‍්‍රබල කවුලුවක් වූයේ නම් ඒ චලෙයි මුහුදු කොටි කඳවුරු ප‍්‍රදේශයයි.
ඔවුන්ගේ මරාගෙන මැරෙන කොටි කණ්ඩායම් නිරතුරුව ම එම ප‍්‍රදේශයේ රැඳී සිටිමින් චලෙයි ප‍්‍රදේශයට ආරක්ෂක අංශවලට ඇතුළුවීමට හැකි නොවන පරිදි සියලු ආරක්ෂක වළලු යොදා තිබිණි.
කොටි නායක ප‍්‍රභාකරන් සුසෙයි සමඟ අභ්‍යන්තර හිත් නොහොඳකමකින් සිටිය ද ඔහුට මෙරටින් පලා යන තෙක් චලෙයි ප‍්‍රදේශය ආරක්ෂාකර ගැනීමට සුසෙයිට හැකි වන බව විශ්වාස කරගෙන සිටියේ ය.
ඒ සඳහා සුසෙයි සමඟ ඔහුගේ සෙසු මුහුදු කොටිනායකයන් වන විනයාගම්, යගලවන් සහ කාදර් යන නායකයන් ද ඇතුළු මරාගෙන මැරෙන මුහුදු කළු කොටි සාමාජිකයන් විශාල පිරිසක් යොදවා තිබිණි.
උතුරේ මානුෂීය මෙහෙයුමේ යෙදී සිටි බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 55 වැනි සේනාංකය චලෙයි අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම ආරම්භ කෙළේ පසුගිය ජනවාරී 21 වැනි දිනය.
එම සේනාංකය නාගර්කෝවිල් ප‍්‍රදේශයේ සිට මාමුනෙයි, තලෙඅඩි, වෙත්තලයිකර්නි, වනිරායන්, කඩේකාඩු, යන ඊසාන දිග මුහුදු තීරයේ වූ සියලු ම ප‍්‍රධාන සහ පරිවාරක මුහුදු කොටිබලය බිඳ දමමින් යාපනය අර්ධද්වීපයේ අවසාන කොටස වූ චුන්නිකුලම් හි බලය තහවුරු කිරීමෙන් පසු මුලතිව් දිස්ති‍්‍රක්කය වෙත ඇතුළුවීමට නොහැකි වන පරිදි ඉදිකර තිබූ පස් බැම්ම හා ඒ අවට වූ ත‍්‍රස්තවාදී ආරක්ෂක වළල්ල බිඳ දමමින් එදා 21 වැනිදා එම කි‍්‍රයාන්විතය ආරම්භ කළහ.
55 බලසේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ සැලැසුමක් මත 553 වැනි බළසේනාධිපති කර්නල් මහින්ද වීරසූරිය ගේ නායකත්වයෙන් එම කි‍්‍රයාන්විතය සිදු කෙරුණි.
ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානතම සහ ප‍්‍රබල මුහුදු කොටි මරාගෙන මැරෙන කඳවුරු සංකීර්ණය වන චලෙයි මුහුදු කොටි කඳවුර අත්පත් කර ගැනීම සඳහා මෙම සේනාංකය එම කි‍්‍රයාන්විතය දවසේ 24 පැය පුරා නොනවත්වා ම පහරදෙමින් ඉදිරියට ගියහ.
55 බළසේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් 553 බලසේනාධිපති කර්නල් මහින්ද වීරසූරිය 6 වැනි ශ‍්‍රී ලංකා පාබල හමුදාව අණදෙන නිලධාරී මේජර් මානද යහම්පත්, ඒ කණ්ඩායමේ අණ දෙන නිලධාරි කපිතාන් සුගත් රාජකරාණා බී කණ්ඩායමේ කපිතාන් ජානක හපුආරච්චි, සී කණ්ඩායමේ කපිතාන් සුජිත් රත්නායක, සී කණ්ඩායමේ කපිතාන් ප‍්‍රසන්න සේනානායක සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් දීපාල් පුස්සැල්ල, කපිතාන් කාන්ත අරංගල්ල දෙවැනි ලුතිනන් අජිත් තිස්ස කුමාර, කපිතාන් ප‍්‍රසන්න සහ කපිතාන් අසංග ආබෘට සහ පළමුවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී කපිතාන් රුවන් පෙරේරාගෙන් සමන්විත භට පිරිස් චලෙයි අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වූහ.
චලෙයි ප‍්‍රදේශය ආරක්ෂක හමුදා අතට පත්නොවීම සඳහා ත‍්‍රස්තවාදීහු 150 දෙනෙක් පමණ එම ප‍්‍රදේශයේ සටන් වැදුණා. විශාල පස් බැමි 6ක් ඉදිකර තිබිණි.
මර උගුල් පුද්ගලනාශක බෝම්බ විශාල ප‍්‍රමාණයක් වළ දමා තිබිණි. බර අවි යොදා ආරක්ෂක හමුදා ඉදිරියට ගමන් කිරීම වැළැක්වීම සඳහා 37 මිලි මීටර් පැට්ල් අවි 30 මිලි මීටර් කෑනන් අවි සහ 127 මිලි මීටර් අවිවලින් ප‍්‍රහාර එල්ල කෙරිණි.
කොටින්ගේ එම සියලු ප‍්‍රහාර මර උගුල් හමුවේ නොනැවතී ඉදිරියට ගිය ආරක්ෂක බළසේනාවෝ දින කීපයක දී කරගෙන ආ එම කි‍්‍රයාන්විතය පැය 24 පුරා ප‍්‍රහාර එල්ල කරමින් පෙබරවාරි මස 5 වැනිදා පස්වරු වන විට ජයග‍්‍රාහි ලෙස නිමාවූයේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ චලෙයි ප‍්‍රධාන මුහුදු කොටි කඳවුර පමණක් නොව මෙරට එල්. ටී. ටී. ඊ. ය සතුව තිබූ මහා බළකායක් වූ මුහුදු කොටි බළකාය නැත්තමට නැති කර දමමින් ය.
මෙම ප‍්‍රහාරයේ දී මුහුදු කොටි නායක සුසෙයි ඍජුවම චලෙයි බේරාගැනීමේ සටනට සම්බන්ධ විය. එහි දී ඔහුට බරපතළ තුවාල සිදු වූ අතර වසර 25කට ආසන්න කාලයක් කොටි සංවිධානයේ ප‍්‍රබලයන් ලෙස කටයුතු කළ විනයාගම්, කාදර් සහ සගලවන් ද මරුමුවට පත් වූහ.
කොටින්ට එහි දී බරපතළ හානි සිදු විය. මුහුදු කොටි නායකයන් සමඟ සාමාජිකයෝ 40ක් පමණ මිය ගියහ.
බෝම්බ දැරියක් එවයි
තවද චලෙයි ඉදිරි ආරක්ෂකවළල්ල අබියසට පැමිණි කොටි සංවිධානයේ අවුරුදු 12ක පමණ ලාබාල දැරියක් පෙබරවාරි 4 වැනිදා දහවල් 12.45ට පමණ ආරක්ෂක අංශ වෙත බාරවීමට එන බව අඟවමින් මරාගෙන මැරුණාය.

සුසෙයි
ඇය එවනු ලැබ තිබුණේ කොටි නායකයන් විසින් ය. අරමුණ වී තිබුණේ ආරක්ෂක හමුදාවල විශාල පිරිසක් ඝාතනය කිරීමයි.
එහෙත් හමුදා සෙබළුන් අවධානයෙන් සිටි නිසා අවම හානියකින් එම මරාගෙන මැරෙන ප‍්‍රහාරය මැඬ පැවැත්වීමට හමුදාව සමත් විය.
අඩු වයස් දරුවන් උපයෝගී කරගෙන කොටි සංවිධානය කරන එවැනි කි‍්‍රයාකාරකම් තවදුරටත් එම සංවිධානයේ ම්ලේච්ඡත්වය පිළිඹිබු කෙළේය.
චලෙයි අත්පත් කර ගැනීමේ ජයග‍්‍රාහී මෙහෙයුම සඳහා 4 වන සන්නාහ සන්නද්ධ බළකායේ යුද ටැංකි වෙඩිබලය ද, 4 වැනි කාලතුවක්කු රෙජිමේන්තුවේ කාලතුවක්කු වෙඩි බලය සහ යාන්ති‍්‍රක බළසේනාවේ සහ එම බළසේනාව වෙත ලබාදුන් අතර 6 වැනි කාණ්ඩ ඉංජිනේරු රෙජිමේන්තුව එම ප‍්‍රදේශයේ තිබූ මර උගුල් සහ පුද්ගල නාශක බෝම්බ නිශ්කී‍්‍රය කිරීම සඳහා අනගිසහායක් ලබා දුන්නේ ය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මේ සඳහා මිග් යානා උපයෝගී කරගෙන ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රහාර එල්ල කෙරිණි. පාබල හමුදාවල තුවාල වූ වීර සෙබළුන් බෙල් 212 සහ 412 ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ප‍්‍රවාහනය කර අගනා සේවාවක් ලබාදුනි.
තව ද චලෙයි මුහුදු කොටි බළකා කඳවුර අත්පත් කර ගැනීමේ දී කොටින් ට අයත් විශාල අවි ආයුධ ප‍්‍රමාණයක් සහ ඔවුන් සතු බඩු බාහිරාදිය විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට ද හැකිවිය.
ඉතාමත් දුෂ්කර ස්වභාවික බාධක මධ්‍යයේ සතුරාගේ දැඩි වෙඩි බලයක් හමුවේ වුව ද 55 වැනි සේනාංකය කොටි සංවිධානය සතුව තිබූ අවසාන මුහුදු කොටි බළකොටුව ජයගැනීමට සමත්වීම මේ රටේ සමස්ත ජනතාවගේ පමණක් නොව විදේශීය රටවල සිටින ශ‍්‍රී ලාංකික ජනතාවගේ ද ගෞරවයට පැසසුමට ලක්වූවකි.
රන් අකුරෙන් ලියැවීම
තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සැඟවී සිටි මුහුදු කොටි නායක සුසෙයි ගුවන් හමුදා ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
එල්. ටී. ටී. ඊ. යේ ප‍්‍රධානම බළකොටුවක් ලෙස පවත්වාගෙන ගිය කිසිම දවසක ආරක්ෂක අංශ අතට පත් නොවන පරිදි ආරක්ෂා කරගෙන සිටි චලෙයි මරාගෙන මැරෙන මුහුදු කොටි බළකායත් සුසෙයි සමඟම විනාශ වී යාම මෙරට ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන ජයග‍්‍රහණයකි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා අභීත රණවිරුවාණන්ගේ ඍජු අධීක්‍ෂණය යටතේ 55 වැනි බළ සේනාංකය සමඟ සෙසු හමුදා නිලධාරීන් ඇතුලු විරෝදාර භට පිරිස් ලබාගන්නා වූ මේ ජයග‍්‍රහණය යුද හමුදාවේ වීරත්වය තව තවත් ලොවට ම පෙන්වීමට හේතුවිය.
එම වීර කි‍්‍රයාවේ දී මේ රට වෙනුවෙන් කැප වූ ජීවිතය පූජාකළ වීර හමුදා සොයුරනි ඔබලා ද ඇතුළු අපේ රටට මේ ජයග‍්‍රහණ ලබාදෙන සමස්ථ ති‍්‍රවිධ හමුදාවට මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තුළින් ඉදිරි ජයග‍්‍රහණයන් ද ලබා ගැනීමට හැකි වනු නියතය.
සටහනවිජයානි එදිරිසිංහ

No comments: