Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, January 2, 2009

ආහාර නිෂ්පාදනය වැඩි වුණත් ගුණාත්මක බවේ පිරිහීමක් ඇති වෙලා දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එස්. ජයවර්ධන

නවීන තාක්ෂණයත් පැරැණි ක‍්‍රමයත් එක්කර දේශීය ආහාර බෝගවල ගුණාත්මක බව රැක ගනිමින් කෘෂිකර්මාන්තයේ පිබිදීම ඇති කළ යුතු බව පවසමින් මේ අදහස් දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එස්. ජයවර්ධන මහතායි.
දේශීය භෝග නිෂ්පාදනය වැඩි දියුණු කිරීම රජය විසින් ආරම්භ කර තිබෙනවා. මේ ගැන දේශීය වෛද්‍යවරයකු වශයෙන් ඔබගේ අදහස කෙසේද ?
මෙය ඉතා හොඳ අදහසක්. මෙම අදහස වඩාත් ඔප් නැංවෙන්නේ දේශීය කියන වචනයෙන්. මෙතැනදී අවංකවම අපේ දේශීය භෝග නිෂ්පාදනය කියන කාරණාව ඉස්මතු කරවා ගැනීම ඉතා වැදගත්.
සොබාවධර්මයා විසින් මිනිසාගේ පැවැත්ම සඳහා එක් එක් දේශවලට අනුරූපිකව ආහාර සපයනවා. අපේ දේශයේ වැවෙන ආහාර භෝග වල ගුණාත්මක බව සරිලන්නේ අපේ දේශයේ ඉපදුන සත්වයාටයි.
මෙය තමයි ස්වභාවධර්මයේ සමතුලිතභාවය. මේ මතය බිඳින්න විද්‍යාත්මක සංකල්පයේදී පදනමක් තිබුණත් ස්වභාවධර්මයේ රීතිය ඊට වඩා වෙනස් යයි මා සිතනවා. එම නිසා දේශීය භෝග දිරිගැන්වීමේ රජයේ සැලැස්ම ඉතා හොඳ දෙයක්.
දේශීය කෘෂි කර්මාන්තයේ පිබිදීමකට මෙය හේතුවී තිබෙනවායයි ඔබ හිතනවාද ?
මේ පිබිදීමට හේතුව මා දකින්නේ මේ විදිහට. බටහිර වැසියන් නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් දියුණු යයි සිතමින් කාලය ගත කළත් ඔවුන් දැන් නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා.
එම නිසා ආසියාතිකරයේ පවතින සෑම දෙයකම වටිනාකම ගැන අවබෝධයකින් උනන්දුවකින් පසුවනවා. කාබනික පොහොරවලින් හෝ ස්වභාවිකව වැවෙන හෝග සහ ඖෂධ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිබිදීම ඉල්ලුමක් බවට පත් වෙලා. අපේ රටේ දේශීය දේවල් ඉල්ලීමට ඔවුන් පෙළඹෙන නිසා කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයද දේශීය බවේ පිබිදීම ඇතිවීමට හේතුවක් වෙලා.
විද්‍යාත්මක වශයෙන් අපේ ආහාර රටාවේ වටිනාකම පිළිබඳ වෛද්‍යවරුන් නිතර නිතර ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමත් මෙම පිබිදීමට තවත් සාධකයක්.
ස්වභාවිකව වැවෙන දේශීය භෝගයන්ගෙන් ශරීරයට අහිතකර විෂ පදාර්ථයන් අවම වීම පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ජනිත වීමත් තව හේතුවක්. ඒ වගේම දේශීය බව අගයන ජාතික සංවිධාන මේ රට තුළ හඬක් නැගීමත් මෙම දේශීය කෘෂිකර්මයේ පිබිදීමට මහත් පිටිවහලක් වී තිබෙනවා.
මෙවර යල කන්නයේදී වී අස්වැන්න 22 % වැනි ප‍්‍රමාණයකින් වැඩි වූවා....
මෙතන තමයි ගැටලුව තිබෙන්නේ. වී නිෂ්පාදනය වැඩිවූවාට වැඩිවූයේ පිටරටින් ගෙනෙන බීජ වර්ගවල වී අස්වැන්නයි. පිටරටින් එන බීජ ඔවුන් අලෙවි කරන්නේ කෘෂිකර්මාන්තය වෙළෙඳපොළකරණයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි.
අපේ ජනතාව ආහාර වැව්වේ වෙළෙඳපොළකට නොවෙයි. එදිනෙදා පරිභෝජනයටයි. වැඩිවන ජනගහනය සමග ඔවුන්ට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය වැඩි වෙනවා.
එම නිසා නිෂ්පාදනයද වැඩිවිය යුතුයි. නිෂ්පාදන ප‍්‍රතිශතය වැඩි කිරීමට උත්සාහ ගැනීමේදී නවීන තාක්ෂණය භාවිතා කිරීමට සිදු වනවා. එතැනදී දේශීය භෝගයේ ගුණාත්මක බව විනාශවීමට ඉඩ කඩ වැඩි වෙනවා.
මෙය අවම කර ගැනීමටත් නිෂ්පාදනය වර්ධනය කර ගැනීමටත් අපේ පැරැණ්නන් භාවිත කළ ක‍්‍රම අධ්‍යයනය කර ඒවා උපයෝගී කර ගැනීමට ක‍්‍රමවේද සකස් විය යුතුයි. නමුත් මෙය අමාරු කර්තව්‍යක්.
ගොවියා නිෂ්පාදනය කළ යුත්තේ තම අවශ්‍යතා සඳහා පමණක්ද ?
මා අදහස් කෙළේ එය නොවේ. ගොවියා එදා කෘෂිකර්මාන්තයේ යෙදුනේ ‘බහුජන හිතාය බහුජන සුඛාය’ යන සංකල්පයේ හිඳගෙනයි. කාරමිකකරණයත් සමගම බහුජාතික ව්‍යාපාර කෘෂිකර්මාන්තයට පැමිණියා.
මෙහි ප‍්‍රතිඵලයක් හැටියට අප රටේ ද කෘෂිකර්මාන්තය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් වුණා. වෙළෙඳ ව්‍යාපාරයක මූලික ලක්ෂණය වූ ලාබය අරමුණු කරගෙන ඕනෑම දෙයක් කිරීමට පෙළඹීම් ආවා.
ඒ අනුව ඕනෑම විදිහට නිෂ්පාදනය වැඩි කිරීම මත ගුණාත්මක බවේ පිරිහීමක් ඇති වෙනවා. ආහාර නිෂ්පාදනය වැඩි කළත් නිෂ්පාදිත ආහාරයේ ගුණාත්මක බව හීන නම් ඒ නිෂ්පාදනය එතරම් වැදගත් නැහැ. සෞඛ්‍ය විද්‍යාවේදී කියන්නේ එයයි.
වර්තමාන ආහාර බෝග නිෂ්පාදනය ගැන මොනවද හිතන්නේ ?
මෙය විමර්ශනය කිරීමේදී ලැබෙන පිළිතුරු ප‍්‍රතිඵල රහිත බවකුයි මට හැඟෙන්නේ. මේ නිෂ්පාදන පරිභෝජනය කරන අයගේ පැත්තෙන් බැලුවත් එදා ගොවියා වවන ලද භෝග සහ අද නිෂ්පාදනය කරන ආහාරවල ගුණාත්මක බව පරිභෝජනය කරන්නාට ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ.
එදා කාපු කෙසෙල් ගෙඩියක, අඹ ගෙඩියක රසය අද දැනෙනවාද ? එළවුළු ගත්තත් හාල් ගත්තත් මේ තත්ත්වය එහෙමමයි. එදා උයන බතක සුවඳ අද දැනෙනවාද ? රසය අද තිබෙනවාද ? අද අපට පරිභෝජනය කරන්ට සිදුව ඇත්තේ ශරීරයට අහිතකර වූ රසායනික පදාර්ථයන්ගෙන් සමන්විත ආහාරයි. මෙවැනි නිෂ්පාදන වැඩිවීම නිසා අපේ ජනතාව ලෙඩ වීමේ ප‍්‍රවණතාවට ශීඝ‍්‍ර ලෙස හසුවෙමින් සිටිනවා.
නිෂ්පාදන පැත්තෙන් බලන විට නොයෙක් වෙසින් එන උපදෙස් පොහොර කෘමිනාශක භාවිතාව හේතු කොට වෙනත් වෙළෙඳ පන්තියක් බිහි වී ගොවියා ණය උගුලේ හිරවූ උපද්‍රවයද වැඩිවී තිබෙනවා.
අවසානයේ සිදුව ඇත්තේ පරිභෝජනය කරන අපිත් නිෂ්පාදනය කරන ගොවියාත් උගුලකට හසුවීමත් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය හරහා අපව අගාධයකට ඇද දමා ඔවුන් ලාබ ලබා ඇති බවයි. අපට ආරෝග්‍යා පරමාලාභාවත් නැති කොටයි ඔවුන් එම ලාබ ලබා ඇත්තේ.
කාබනික පොහොර භාවිතාව සඳහා දැන් ගොවීන්ව නැඹුරුකොට තිබෙනවා නේද ?
අපේ ගොවියා කොම්පෝස්ට් පොහොර හදා ගත්තේ කොහොමද යොදා ගන්නේ කෙසේද යන පාරම්පරික ඥානයෙන් පරිපූර්ණ වී සිටි අයෙක්. ඔවුන්ගේ මෙම පාරම්පරික ඥානය කාන්දුවීමේ ගතිය අප විසින්ම ඉවත් කළා.
එසේ වුවත් අප දැන් කාබනික පොහොර නිෂ්පාදනය කොට දිරි ගැන්වීම කාලෝචිත වෙනවා. ප‍්‍රමාද වී හෝ මෙම කි‍්‍රයාවලියට රජය අතගැසීම ඉතා හොඳයි.
ඔබ කියන්නේ අපට අවශ්‍ය ආහාරභෝග වැඩි දියුණු කිරීමේ කි‍්‍රයාවලිය කෙබඳු එකක් විය යුතු බවද ?
ආහාර භෝග නිෂ්පාදනය වැඩි කිරීමේ කි‍්‍රයාවලියක් රටට අවශ්‍යයි. අපේ කෘෂිකර්මාන්තය කියන්නේ අපේම භෝගයි. අපේ භෝග සඳහා වූ වෙනමම සංස්කෘතියක් තියෙනවා.
එයම තමයි අපේ සංස්කෘතිය. අපේ අනන්‍යතාවත් එයමයි. මෙම අනන්‍යතාව මත ඉඳිමින් වැඩිවන ජනතාවට සාපේක්ෂව අපේම භෝග වගා කළ හැකි බවයි මා කියන්නේ.
අපේ කමේ සිට නවීන තාක්ෂණය භාවිතා කරනවා විනා බටහිර සංකල්ප වල සිට නවීන තාක්ෂණය භාවිත කළ යුතු නැහැ. සතුටු විය යුතු කරුණක් සඳහන් කළ යුතුව තිබෙනවා.
මෙය අවබෝධ කොටගත් කෘෂි විද්‍යාඥයන් පිරිසක් අප රටේ දැන් සිටිනවා. එවැනි අයට බල කරමින් මේ සඳහා මැදිහත් කර ගත යුතුව තිබෙනවා.
දේශීය භෝග වගාවට ගොවියා පෙළඹවීමත් හැකි පමණ රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව දේශීය ක‍්‍රමෝපායන් උපයෝගී කර ගැනීමට පෙළඹවීමත් කළ යුතු වෙනවා.
තම සහෝදර ජනතාවට ගුණාත්මක බවෙන් සපිරි, නිරෝගි භාවයට අවශ්‍ය භෝගයන් නිෂ්පාදනය කළ යුතු යයි යන හැඟීම සහ චේතනාව ගොවියා කෙරෙහි රෝපණය කිරීම වැදගත් වෙනවා.


ඡායාරූප සහ සංවාද සටහන එම්. එච්. ස්ටැන්ලි අබේරත්නබෙම්මුල්ල සමූහ

No comments: